ජනාධිපති අන්තර් කාලීන කප්පාදු අයවැයෙන් සමාජ අයිතීන්ට ප්‍රහාර එල්ල කිරීම වේගවත් කරයි

[මෙය Sri Lankan president deepens social attacks in interim cost-cutting budget මැයෙන් 2022 සැප්තැම්බර් 01 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

මුදල් අමාත්‍ය ධූරය ද හොබවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වසරේ ඉතිරි කාලය සඳහා අතුරු අයවැයක් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

දැනටමත් දුක් විඳිමින් සිටින කම්කරු පීඩිත මහජනතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගවලට අනුකූල ව තවත් විශාල බරක් පටවන අයවැය, ආන්ඩුවේ වියදම් කපා හැර, තවත් බදු පනවා, රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරනය වේගවත් කිරීම යෝජනා කර ඇත.

මේ සතියේ කොලඹ දී අවසන් වූ ජාමූඅහි දූත පිරිස සමග ආන්ඩුවේ සාකච්ඡා “සාර්ථක ව අවසන් අදියරට පැමින ඇති” බව වික්‍රමසිංහ නිවේදනය කලේ ය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ වඩාත් ම්ලේච්ඡ සමාජ ප්‍රහාර සූදානම් වෙමින් පවතින බවයි.

දරාගත නොහැකි ජීවන වියදම නිසා මහජන කෝපය වැඩෙන තත්වය තුල, දුගීන් ගේ දුක්ඛිත තත්වය සමනය කිරීමට කෙසේවත් නොසෑහෙන සුභසාධන දීමනාවල ව්‍යාජ වැඩි වීමක් වික්‍රමසිංහ අවඥා සහගත ව යෝජනා කලේ ය.

අතුරු අයවැයට ඇතුලත් වන්නේ මෙම පියවරයන් ය:

  • මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ම භාන්ඩ හා සේවා මත බද්ද සියයට 12 සිට 15 දක්වා ඉහල දමමින්, එකතු කල අගය මත බද්ද (වැට්) තවත් සියයට 3 කින් වැඩි කර ඇත. මෙය පටවා ඇත්තේ මැයි 31 දින ප්‍රකාශයට පත් කරන ලද වැට් බදු සහ අනෙකුත් ගාස්තු සියයට 8 සිට 12 දක්වා වැඩි කිරීම් මතයි. අගෝස්තු මාසයේදී ආන්ඩුව විදුලි ගාස්තු සියයට 75 කින් පමන වැඩි කල අතර මේ මාසයේ පවුල් මිලියන 2 කට බලපාන පරිදි ජල ගාස්තු සියයට 127 කින් ඉහල දැම්මේ ය.
  • එයාර් ලංකා, ලංකා විදුලිබල මන්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවලින් අරඹා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කරනු ඇත. එයාර් ලංකා සමාගමේ ගොඩබිම් ගුවන් ගමන් කටයුතු සහ ආහාර සැපයීම කටයුතු වලට අදාල අංශවල සියයට 49 ක් පෞද්ගලීකරනය කරන බව සඳුදා නිවේදනය කල අතර ඉදිරි “ප්‍රතිව්‍යුහගත කිරීම්” සඳහා තවත් රාජ්‍ය ව්‍යවසායයන් 50 ක් නම් කරගෙන තිබේ .
  • බැංකු පෞද්ගලීකරනය කිරීමේ පලමු පියවර ලෙස රාජ්‍ය බැංකුවල කොටස්වලින් සියයට විස්සක් තැන්පත්කරුවන් සහ බැංකු සේවකයන් අතර බෙදා දෙනු ඇත.
  • කොලඹ ආන්ඩු කාලයක් තිස්සේ ඉලක්ක කර සිටි දුම්රිය සේවය ද පෞද්ගලීකරනය කරනු ඇත.
  • සැලසුම්ගත ව රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීමට සමගාමී ව, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සහ 62 සිට අවුරුදු 60 දක්වා අඩු කරන ලදී. දැනටමත් නව විශ්‍රාම වයසට පැමින ඇති අය මෙම වසර අවසානයේ ඉවත් ව යා යුතු ය.

දුප්පතුන්ට දී ඇති වික්‍රමසිංහගේ ඊනියා සහන සමන්විත වන්නේ රුපියල් 5,000 සිට රුපියල් 7,500 දක්වා මාසික සමෘද්ධි ගෙවීම්වල සොච්චම් ඉහල දැමීමකි. මෙම දරිද්‍ර සුබසාධන ගෙවීම් දැනට පවුල් ලක්ෂ 17 කට ලැබේ. දැනටමත් සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 726,000 කට මාසික ව රුපියල් 5,000 බැගින් තාවකාලික ව ගෙවීමට නියමිත ය.

වයෝවෘද්ධ, ආබාධිත, වකුගඩු රෝගීන් සහ ගැබිනි මව්වරුන් සඳහා වන දීමනා ද රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා සුලු වශයෙන් වැඩි කරන ලදී. අඩු ආදායම්ලාභී පවුල් 61,000 කට පමන මාස හතරක් සඳහා රුපියල් 10,000 ක මාසික දීමනාවක් ලැබෙනු ඇත.

අගෝස්තු මාසයේදී නිල වශයෙන් උද්ධමනය සියයට 64 කට සහ ආහාර උද්ධමනය සියයට 94 ක් ලෙස වාර්තා විය. අහස උසට නැඟෙන උද්ධමනය නිසා දැඩි ලෙස දැනටමත් ඛාදනය වී ඇති සොච්චම් දීමනාවලට මෙම ඉහල දැමීම් වලින් අලුතින් එකතුවන දෙයක් නැත.

පැහැර හරින ලද ගොවීන්ගේ නය රුපියල් මිලියන 688 ක් කපා හැරීමට වික්‍රමසිංහ යෝජනා කලේ ය. එහෙත් බැංකුවලට පොලීය ගෙවිය යුතුය. පසුගිය මාස පහ තුල ඉන්ධන, පොහොර සහ කෘෂිකාර්මික යෙදවුම්වල මිල විශාල ලෙස වැඩි වීමට මුහුන දී සිටින ගොවීන් මුහුන දෙන දුෂ්කර ආර්ථික ගැටලු මෙම නය කපා හැරීමෙන් කිසිසේත් ම සමනය නොවනු ඇත.

2021 අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.2 ක් වූ නමුත් එය මේ වසරේ සියයට 9.9 ක් ද 2023 දී සියයට 6.8 ක් සහ 2025 දී ශුන්‍ය දක්වා ද අඩු කරන බව ඔහු පාර්ලිමේන්තුවට පැවසී ය. මෙම කප්පාදු සංඛ්‍යා මගින් පෙන්නුම් කෙරෙන්නේ රාජ්‍ය අංශයට සහ මහජනතාවට ආන්ඩුව එල්ල කිරීමට යන සමාජ ප්‍රහාරයේ පෙර නොවූ විරූ රුදුරු ස්වභාවයයි.

ඊයේ (අගෝස්තු 30) කොලඹ පැවති සම්මන්ත්‍රනයක් අමතමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රශංසාවට ලක් කලේ ය. අතුරු අයවැය “දූරදර්ශී” එකක් බවත්, “මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම්, අප මෙම වේදනාකාරී ක්‍රියාවලිය හරහා යා යුතු” බවත් ඔහු පැවසී ය. මෙම “වේදනාකාරී ක්‍රියාවලිය”, ඇත්ත වශයෙන් ම, විඳ දරා ගත යුත්තේ ධනවතුන් නොව, ලංකාවේ ධනවාදයේ ගැඹුරු අර්බුදය පියවීමේ බරට යට කෙරෙන කම්කරුවන් හා දුප්පතුන් විසින් පමනි.

“අපේ අභිලාෂය 2026 වසර වන විට ශක්තිමත් ආර්ථික පදනමක් ස්ථාපිත කිරීමයි” වික්‍රමසිංහ උජාරුවෙන් ප්‍රකාශ කලේ ය. 2026 වන විට අර්බුදය සමනය කරමින් ආර්ථිකය “ස්ථාවර පදනමක” තැබීමේ ඔහුගේ ප්‍රක්ෂේපනය හුදු මනඃකල්පිතයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම ගෝලීය ධනේශ්වර අර්බුදයේ තියුනුත ම ප්‍රකාශනයකි. කෝවිඩ්-19 වසංගතය විසින් ආරම්භ කරන ලද සහ යුක්‍රේනයේ එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය විසින් මේ වසරේ තීව්‍ර කරන ලද එය දැන් ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවලට සහ පසුගාමී රටවලට එක සේ බලපායි.

තමන් යෝජනා කල ආර්ථික ආශ්චර්යය සිදුවනු ඇත්තේ, “අපි පොදු එකඟතාවයෙන් යුතු ව සමගියෙන් වැඩ කලහොත්” පමනක් බව වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැවසී ය. සර්ව පාක්ෂික ආන්ඩුවකට එක්වන ලෙස ඔහු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, “මෙම පෙර නොවූ විරූ තත්ත්වයට අප සැම වගකිව යුතු” යැයි පවසමිනි.

මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මුහුන දෙන විනාශකාරී කොන්දේසි නිර්මානය කරන ලද්දේ කම්කරු පන්තිය හෝ නාගරික හා ග්‍රාමීය දුගීන් විසින් නොවේ. එයට වගකිව යුත්තේ පාලක ප්‍රභූවත් එහි ධනේශ්වර පක්ෂත් ය.

එල්ල කිරීමට නියමිත සමාජ ප්‍රහාරවලට මහජනතාව විරුද්ධ වන බව හොඳින් දන්නා වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආන්ඩුවක් සඳහා ආයාචනා කරන්නේ මහජන විරෝධය මැඩ පැවැත්වීම සඳහා කොලඹ සමස්ත දේශපාලන සංස්ථාපිතය ම බලමුලු ගැන්වීමටයි.

විපක්ෂයේ පාර්ලිමේන්තු පක්ෂ, පුලුල් ලෙස පිලිකුලට ලක් වූ වික්‍රමසිංහගේ සර්ව පාක්ෂික ආන්ඩුවක් සඳහා කරන ආරාධනය පිලිගෙන නැත්තේ, ඔවුන් ජාමූඅහි ඉල්ලීම් වලට එකඟ නැති නිසා නොවේ; වික්‍රමසිංහට මහජන ප්‍රතිරෝධය යටපත් කිරීමට නොහැකි වනු ඇතැයි ඔවුන් බිය වන නිසා ය.

වික්‍රමසිංහ දිගින් දිගට ම රාජ්‍ය හමුදා බලමුලු ගන්වමින් පවතින මහජන අරගල බිය ගැන්වීමේ උත්සාහයක නිරත වේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය විසින් කැඳවා තිබූ ශිෂ්‍ය උද්ඝෝෂනයකට සහභාගි වූ 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආන්ඩුව ඊයේ (අගෝස්තු 30) පොලිසිය මුදා හැරියේ ය. ත්‍රස්ත-විරෝධී නීති යටතේ පසුගිය සතියේ පොලිසිය විසින් රඳවාගනු ලැබ සිටින ශිෂ්‍ය නායකයින් තිදෙනා නිදහස් කරන ලෙස සිසුහු ඉල්ලා සිටියහ. මෙම ක්‍රියාකාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය මර්දනයට, නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාරවලට සහ ඉවසිය නොහැකි ජීවන තත්වයන්ට එරෙහි ව පැවති ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර දී ය.

2022 අගෝස්තු 30 වන දින කොලඹ දී සිසුන් විරෝධතාවයේ යෙදෙමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

මේ සතියේ ජාමූඅහි සාකච්ඡා කන්ඩායම කොලඹ දී විපක්ෂ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සගයින් හමු විය. ජාමූඅහි කප්පාදු සැලැස්මට එකඟ ඔහු, ප්‍රේමදාස පසු ගිය වසර මුල සිට ම පැවති රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ජාමූඅහි ආධාර පතන ලෙස ය. සජබ දැන් මැතිවරනයක් සඳහා උද්ඝෝෂනය කරන්නේ බලයට පැමින ජාමූඅ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අපේක්ෂාවෙනි.

වික්‍රමසිංහගේ අයවැය කතාවෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දෙනු ලබන ජාතික ජන බලවේගයේ (ජාජබ) පාර්ලිමේන්තු මන්ත්‍රීනී මහාචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කලේ ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ “ස්ථාවර ආන්ඩුවකින්” පමනක් බවයි.

සජබ මෙන්ම ජවිපෙ/ජාජබ ද ජාමූඅ පියවර පැටවීම සඳහා මහ මැතිවරනයක් සහ නව ධනේශ්වර ආන්ඩුවක් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමල ජාතික සන්ධානය ඇතුලු අනෙකුත් පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ, එක ම විසඳුම දැඩි කප්පාදුව බව අවධාරනය කරමින් මූලික වශයෙන් ඊට එකඟ වෙයි.

වික්‍රමසිංහ තන්ත්‍රයේ සහ ශ්‍රී ලංකා ධනවාදයේ ප්‍රධාන මුක්කු වන්නේ, පසුගිය මාස හතර තුල මිලියන ගනනක් කම්කරුවන්ගේ මහජන විරෝධය අප්‍රේල් සහ මැයි මාසවල එක්දින මහා වැඩ වර්ජන බවට හරවා පාර්ලිමේන්තු විපක්ෂයට දේශපාලනික ව පිටුබලය දුන් වෘත්තීය සමිති ය. ඒවා, අන්තර්වාර ධනේශ්වර ආන්ඩුව සඳහා වන සජබ සහ ජවිපෙ ඉල්ලිම් වලට සහාය දෙමින් වික්‍රමසිංහ තන්ත්‍රයට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට විරුද්ධ වෙති.

2022 අගෝස්තු 22 දින කොලඹ දී ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ විරෝධතා පාගමන [ඡායාරූපය: ලෝසවෙඅ]

කම්කරු පන්තියේ ප්‍රතිරෝධය වර්ධනය වෙමින් පවතී. පසුගිය සතියේ ඛනිජ තෙල්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රජයේ මුද්‍රනාලය සහ සෞඛ්‍ය අංශයේ ආදී වසයෙන් කම්කරුවෝ කාර්මික ක්‍රියාමාර්ග ගැනීමට පටන් ගත්හ. ධීවරයෝ ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහි ව විරෝධතා පැවැත් වූහ. ම්ලේච්ඡ පොලිස් ප්‍රහාර නොතකා සිසුහු නැවත නැවතත් උද්ඝෝෂන පැවැත් වූහ.

සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පන්තිය තීන්දු ගැනීම තම අතට ගත යුතු ය. සෑම වැඩබිමක ම, වතුයායක ම සහ කම්කරු නිවහන් ප්‍රදේශයක ම වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. එක ම ප්‍රහාරයට මුහුන දෙන ග්‍රාමීය දුගීන්ගේ සහයෝගය කම්කරුවන් විසින් රැලි කර ගත යුතු ය. ග්‍රාමීය ජනතාව ද මේ අරගලය ගෙන යාම සඳහා තමන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීම අවශ්‍යය.

ආන්ඩුවේ ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහි ව හා සමාජ ප්‍රහාර අවසන් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට කැඳවුම් කරන්නේ ජීවිතයේ අත්‍යවශ්‍ය දෑ නිෂ්පාදනය හා බෙදා හැරීමේ පාලනය සියතට ගන්නා ලෙසයි. මෙය කල හැක්කේ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කිරීම මගිනි. ජීවන වියදමට අනුකූල ව වැඩි වන වැටුප් සහිත ව සැමට පූර්න රැකියා සහතික කල යුතු වන අතර කුඩා ගොවීන්ට සහ ගම්බද දුප්පතුන්ට සියලු පහසුකම් සහ සහනාධාර කඩිනමින් ලබා දිය යුතු ය.

සර්ව පාක්ෂික ආන්ඩුව සඳහා වන ආන්ඩුවේ උපාමාරු සහ මහ මැතිවරනය සඳහා විරුද්ධ පක්ෂවල කැඳවීම සැලසුම් කර ඇත්තේ පාර්ලිමේන්තු රාමුවේ ආවෘත-අන්තය තුල ජනතාව කොටු කිරීමට ය. මෙම ප්‍රතිගාමී පියවරයන්ට එරෙහි ව සසප සියලු සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.

ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් වන මෙම සම්මේලනය, මහජනතාවගේ හදිසි අවශ්‍යතා විසඳීමට සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සන්ධානගත ව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙන යාමට සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අරගලය වර්ධනය කල යුතු ය.

Loading