වැටුප් කප්පාදුවට හා පුද්ගලීකරන වැඩපිලිවෙලට විරෝධතා පැන නැගෙයි

ඉහල යන ජීවන වියදම හමුවේ වැටුප් හා අතිකාල කප්පාදුවට මෙන් ම රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනයට එරෙහි ව රජයේ මුද්‍රනාලයේ, ඉන්ජිනේරු, රූපවාහිනි හා ඛනිජ තෙල් සංස්ථාවල හා ධීවර අමාත්‍යාංශය යටතේ පවතින සීනෝර් ආයතනයේ කම්කරුවෝ පසුගිය සතියේ විරෝධතාවලට හා වර්ජනවලට එක් වූහ.

2022 අගෝස්තු 22 දින කොලඹ දී ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ විරෝධතා පාගමන [ඡායාරූපය: ලෝසවෙඅ]

පසුගිය මාසවල පැවති දරුනු ඉන්ධන හිඟය මධ්‍යයේ රජයේ මුද්‍රනාලය අත්‍යාවශ්‍ය සේවක පිරිසක් පමනක් වැඩට ගෙන්වා ගැනීම හේතුවෙන් බහුතරයක් සේවකයන්ගේ අතිකාල හා වෙනත් දීමනා කප්පාදු කෙරුනි. අගෝස්තු 1 දා සිට එහි සියලු ම සේවකයන් යලි වැඩට පැමිනියේ අතිකාල හා නිෂ්පාදන දීමනා ලබා දෙන බවට දුන් පොරොන්දුව මතයි. නමුත් කප්පාදුව දිගට ම සිදු කෙරී ඇත. රජයේ මුද්‍රනාල සේවකයෝ මෙම දීමනා සහ අතිකාල කප්පාදුවට එරෙහි ව අගෝස්තු 24 දින වැඩ වර්ජනයක නිරත වූහ.

මුද්‍රන සේවක සංගමය මෙම සේවකයන් අතර පැන නැගුනු විරුද්ධත්වය සමනය කිරීමට උත්සාහ දැරුවේ ය. ආන්ඩුව වගකීමෙන් නිදහස් කිරීමට තැත් කරමින් එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් සඳහන් කලේ “පරිපාලනයේ තියෙන අකාර්යක්ෂමභාවය” නිසා මෙම කප්පාදුව සිදු වී ඇති බවයි.

වෘත්තීය සංගමයේ තවත් ක්‍රියාකාරිකයෙකු වන අමිත් චතුරංග මාධ්‍යයට ප්‍රකාශ කලේ මුද්‍රනාලයේ කටයුතු දැනටමත් පෞද්ගලික අංශයට භාර දී තිබෙන බවයි. “දෙපාර්තමේන්තුව රැක ගන්න නම්, සේවකයන්ට වේලාවට වැටුප් ගෙවන්නැ” යි ඔහු ආන්ඩුවට ආයාචනා කලේ ය.

ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන වෙන්නප්පුව ලුනුවිල ප්‍රදේශයේ පිහිටි ධීවර දැල් ආම්පන්න නිෂ්පාදනය කරනු ලබන සීනෝර් කර්මාන්ත ශාලාවේ සියයක පමන කම්කරුවන් පසුගිය බදාදා කොලඹ ධීවර අමාත්‍යාංශය ඉදිරියේ උද්ඝෝෂනයේ යෙදුනේ මාස තුනකින් වැටුප් නො ගෙවීමට එරෙහිවයි.

මෙම ආයතනයට අවශ්‍ය නිෂ්පාදන අමුදව්‍ය ගෙන්වීම ඇන හිටීම හේතුවෙන් මාස 04 ක් ආයතනය වසා දමා තිබේ. වසා දැමීමට පෙර මාස කිහිපයක් සේවකයන්ට ලබා දී ඇත්තේ වැටුපෙන් භාගයකි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ අගෝස්තු මස වැටුප ලබා නො දීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුලු කර ගනිමින් අගෝස්තු 29 දා සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. ජූනි හා ජූලි මස වැටුප් කොටස් වශයෙන් ගෙවීම සේවකයන්ගේ විරුද්ධත්වයට හේතු වී ඇත.

වසර දෙකක පමන කාලයක් රජයේ ඉදි කිරීම් අකර්මන්‍ය වීම හේතුවෙන් සංස්ථාවට වැඩ නොමැති වී ඇතැයි ද වැටුප් කප්පාදුව සම්බන්ධ අධ්‍යක්ෂක මන්ඩලය කිසිදු සාකච්ඡාවක් නො දෙන බව ද සංස්ථාවේ නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. විශේෂයෙන්, දැන් ලංකාව ගිලී ඇති පෙර නොවූ විරූ අර්බුදය මධ්‍යයේ අප්‍රේල් මාසයේ සිට රජයේ සියලු ඉදිකිරීම් නතර කොට ඇත.

රූපවාහිනි සංස්ථාවේ සේවකයෝ ද වැටුප් ප්‍රමාදයට එරෙහි ව උද්ඝෝෂනයේ නිරත වූහ. මහ භාන්ඩාගාරයෙන් සංස්ථාවට ලැබෙන මුදල් ප්‍රමාදය හා ජාතික ලොතරැයි මන්ඩලයේ දිනුම් ඇදීමේ කටයුතුවලින් ලැබුනු ආදායම් අඩක් අහිමි වීම වැටුප් ප්‍රමාදයට බලපා ඇතැයි එහි සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලේ ය.

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකනරය කිරීමට එරෙහිව පසුගිය 22 දා එහි සේවකයෝ 1,500 ක් විරෝධතාවයක නිරත වූහ. “පෞද්ගලීකරනය නතර කරනු” යයි සටන් පාඨ කියමින් ඔවුන් ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට සිට අමාත්‍යාංශය දක්වා පාගමන් ගමන් කලෝ ය.

මීට අමතරව රට පුරා ධීවර ජනයා ඉන්ධන හිඟයට හා මිල ඉහල දැමීමට එරෙහි ව පසුගිය සති තුනක් පුරා අඛන්ඩ විරෝධතාවල නිරතව සිටිති. ඉන්ධන සහ බලශක්ති ඇමති භුමි තෙල් මිල ඉහල දැමීමෙන් පීඩා විඳින ධීවරයන්, වතු කම්කරුවන් ඇතුලු සියල්ලන්ට සහනාධාරයක් දෙනබව කීවේ ය. එහෙත් සහනාධාරය කුමක් දැයි ඔහු කීවේ නැත. ආන්ඩුවේ මේ ප්‍රෝඩාකාරී ප්‍රකාශ ධීවරයෝ හෙලා දකිති.

නැගෙන විරෝධතා, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු ක්‍රියාවට නැගීමට එරෙහිව සෑම ක්ශ්‍රේත්‍රයක ම වැඩ කරන ජනතාව අතරින් වර්ධනය වෙමින් පවතින පලල් විරුද්ධත්වය පෙන්නුම් කරයි. එමෙන්ම, කම්කරුවන්ගේ රැකියා, අතිකාල ගෙවීම හා වැටුප් කප්පාදුව හා පුද්ගලීකරනය රාජ්‍ය වියදම් වියදම් කපා අර්බුදයේ බර මහජනයා මත පැටවීමේ පියවරකි. රාජ්‍ය වියදම් කැපීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එහි නය දීම සඳහා පනවා ඇති ප්‍රධාන කොන්දේසියකි.

මුදල් ඇමති වන ජනාධිපති වික්‍රමසිංහ විසින් පසුගිය 30 දා ඉදිරිපත් කල අතුරු අය-වැය කම්කරු පන්තිය මත එල්ල කිරීමට නියමිත දුරදිග යන ප්‍රහාර පෙන්නුම් කරයි. දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) ප්‍රතිශතයක් ලෙස සියයට 12.2 වූ 2021 පැවති අය-වැය පරතරය මේ වසරේ දී 9.9 දක්වාත් ලබන වසර වන විට එය 6.8 දක්වා අඩු කරමින් වියදම් කපා හැරීමේ ආන්ඩුවේ එල්ලය සපුරා ගත හැක්කේ මහජනයා මත දැවැන්ත බරක් පැටවීමෙනි.

එයාර් ලංකා, ලංකා විදුලිබල මන්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 50 ක් පෞද්ගලීකරනයට නම් කොට තිබේ. එයාර් ලංකා සමාගමේ ගොඩබිම් ගුවන් ගමන් කටයුතු සහ ආහාර සැපයීම් කටයුතුවලට අදාල අංශවල සියයට 49 ක් පෞද්ගලීකරනය කරන බව සඳුදා නිවේදනය කෙරුනි.

මෙම පියවරයන් නිසා දැවැන්ත රැකියා කප්පාදුවක් මෙන් ම මහජන සේවාවන්හි ගාස්තු බරපතල ලෙස ඉහල දැමීමක් සිදු වනු ඇත. රාජ්‍ය අංශය කපා හැරීම ආන්ඩුවේ වැඩපිලිවෙලේ කොටසකි. “වැඩ කරනවා නම් වැඩ කරන්න. නැතිනම් ගෙදර යන්න. අපි නිකං ගෙවන්න ලෑස්ති නෑ” යි වික්‍රමසිංහ අගෝස්තු 21 දා අනුරාධපුරයේ පැවති රැස්වීමක දී වියරු සහගත තර්ජනයක් කලේ ය.

රාජ්‍ය අංශය තුල ලක්ෂ 8ක පමන රැකියා කප්පාදුවක් සැලසුම් කරමින් සිටින ආන්ඩුව දැනටමත් රාජ්‍ය සේවකයන්ට වැටුප් රහිත නිවාඩු ලබා විදෙස් ගත වීමට අවසර ලබා දෙන නීති සම්පාදනය කර තිබේ.

මේ තත්වය තුල, රාජ්‍ය හා පෞද්ගලික සෑම අංශයක ම කම්කරු පන්තිය අතර ආන්ඩුවේ ප්‍රහාරවලට සටන් කිරීමේ අවශ්‍යතාවය නැගෙමින් තිබේ. නමුත්, වෘත්තීය සමිති කම්කරු පන්තිය මෙම ප්‍රහාරවලට එරෙහි ව දේශපාලන වැඩපිලිවෙලක් මත කම්කරුවන් බලමුලු ගැන්වීමට සතුරු ය. ඔවුන් විරෝධතා කැඳවන්නේ නම්, ඒ කම්කරුවන්ගේ අරගලයක් වර්ධනය කිරීමට නොව, ඔවුන් අතර නැගී ඇති විරුධත්වය වාෂ්ප කිරීම සඳහා ය.

ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට හා රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එහි නායක ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහි ව විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ විරෝධතා අඛන්ඩ ව ක්‍රියාත්මක වී ඇත.

ලංකාවේ දිග හැරෙන අර්බුදය, ගෝලීය වසංගතයෙන් හා යුක්ක්‍රේනය තුල රුසියාවට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන් ගෙන යන යුද්ධය මගින් තීව්‍ර කෙරෙන ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බුදයේ ප්‍රකාශනයකි. ඒ තත්වය උඩ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා අයිතීන් දිනා ගත හැකි ය යන වෘත්තීය සමිතිවල වැඩපිලිවෙල මුලුමනින් ම බංකොලොත් එකකි. කම්කරුවන්ගේ අයිතීන් දිනා දෙනවා වෙනුවට රටක් රටක් පාසා වෘත්තීය සමිති පත් ව ඇත්තේ අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවන ධනපති ආන්ඩුවල හා හාම්පුතුන්ගේ උපකරන බවටයි.

කම්කරු පන්තියේ අරගල ආන්ඩුවල බොරු පොරොන්දු මත පාවා දීම සම්බන්ධ ව අපකීර්තියට පත් ව ඇති වෘත්තීය සමිති වික්‍රමසිංහ ආන්ඩුව විසින් ජාමූඅ විසින් පනවා සිටින කප්පාදු නියෝග ක්‍රියාවට දැමීමේ දී ආන්ඩුවේ ප්‍රධාන ආධාරකය බවට පත්ව තිබේ.

මාස තුනක් වැටුප් ගෙවා නැති සීනෝර් ආයතනයේ වෘත්තීය සමිතිය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය වැනි ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂවල සමිති වන ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය හා ජාතික සේවක සංගමය වැනි සමිතිවලට විටින් විට මාරු වන බව එහි වසර 20ක පමන සේවා කාලයක් ඇති කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය.

ආයතනය වැසි යෑමෙන් හා වැටුප් නොගෙවීමෙන් පසු එම කම්කරුවා පරන බයිසිකල් අලුත්වැඩියා කොට විකිනීමේ නිරත වූ නමුත් දැන් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති ව ඥාතින්ගේ ආධාරයෙන් පවුල නඩත්තු කරයි.

“ආයතනය වැසි යෑම නතර කරන්න කියලා ආන්ඩුවට කිව්වට වැඩක් නෑ. ඒවගේම ඒ පක්ෂවලට සම්බන්ධ සමිතිවලින් අපේ රැකියා ආරක්ෂා කර ගන්න බෑ” යයි එම කම්කරුවා වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

ලෝසවෙඅ සමග අදහස් දැක් වූ එක් ඉංජිනේරු සංස්ථා සේවකයෙක් මෙසේ සඳහන් කලේ ය: “පඩි නොගෙවීම නිසා කෝච්චියට සීසන් එක ගන්න විදිහක් නෑ. ලමයි ඉස්කෝලෙ යවා ගන්න තියෙනවා. ඒ මොකකටවත් මුදල් නැති වෙන තත්වයක් තියෙන්නෙ. වික්‍රමසිංහ පහුගියදා රාජ්‍ය සේවකයොන්ට තර්ජනය කරා. වෘත්තීය සමිති මේ ප්‍රහාරවලට ඉඩකඩ සලසලා තියෙන්නේ. ”

වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහි ව තම පන්ති අවශ්‍යතා සඳහා සටන් වැදීම සඳහා සෑම වැඩබිමක ම, වත්තක ම හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය ලෝසවෙඅ වාර්තාකරුවෝ මෙම කම්කරුවන් සමග සාකච්ඡා කලහ.

Loading