ශ්‍රී ලංකාවේ කම්කරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා අරගලය ගැන සාකච්ඡා කරති

[මෙය Sri Lankan workers discuss the fight for a democratic and socialist congress මැයෙන් 2022 සැප්තැම්බර් 06 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගයන්ට අනුකූල ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමේ සිය පියවරයන් වේගවත් කරමින් සිටී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ කම්කරුවන්ට තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමේ අරගලය වේගවත් කිරීම සහ රැකියා හා සමාජ අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීම මගිනි.

2022 අප්‍රේල් 20 දින කොලඹ වරායේ කම්කරුවෝ පෙලපාලි යති


සම්මේලනය සඳහා සසප කැඳවීම යොමුවන්නේ, පිම්මේ ඉහල යන උද්ධමනය හා උග‍්‍ර හිඟයට එරෙහිව මාස ගනනාවක මහජන විරෝධතා හා වැඩ වර්ජන මගින් හෙලිදරව් වී ඇති වැඩකරන ජනතාව අතර පුලුල් ව පැතිර ඇති විරෝධයට දේශපාලන නාභිය ලක්ෂ්‍යක් සම්පාදනය කිරීම වෙතටයි. මහජන නැගිටීම ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමටත් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමටත් බල කරන ලද මුත් වික‍්‍රමසිංහ ආන්ඩුව, සමස්ත දේශපාලන සංස්ථාපිතයේ පිටුබලය ඇති ව, ජාමූඅහි එම කප්පාදු න්‍යාය පත‍්‍රය ම ක්‍රියාත්මක කරයි.

මෑත සතිවල උද්ඝෝෂකයෝ සසප ප්‍රකාශ බෙදා හරිමින් කොලඹ වරාය හා වාරිමාර්ග දෙපාර්තමේන්තු කම්කරුවන් සමග සාකච්ඡා පවත්වා ඇත. බෙදා හරින ලද ප්‍රකාශ නම්, “සර්ව-පාක්ෂික පාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කරනු! ජාමූඅ කප්පාදු එපා! කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනැගීමට සටන් කරනු!” සහ, “ත්‍රස්ත විරෝධී නීති යටතේ රඳවාගෙන සිටින සිසුන් නිදහස් කරනු!” එසේම “ජවිපෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිත්‍යාවන්ට යලි පනදීමට උත්සාහ කරයි” යන ලෝසවෙඅ ලිපි ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට (ශ්‍රීලංවඅ) අයත් වන, උපාය මාර්ගික ව පිහිටා ඇති කොලඹ වරාය ආන්ඩුවේ පෞද්ගලීකරන ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයකි. ඉන්දියාව සහ චීනය ඇතුලු විදේශීය ආයෝජකයින් සඳහා වරායේ වැඩි කොටසක් දැනටමත් විවෘත කර ඇත.

සසප උද්ඝෝෂකයන් සමග කතා කරමින්, ටග් යාත්‍රා අංශයේ කම්කරුවෙකු මෙසේ පැවසී ය: “මම දශක ගනනාවක් තිස්සේ මෙහි වැඩ කරනවා. වෘත්තීය සමිතිවල පාවා දීම් නිසා දැනටමත් මෙහි බොහෝ අංශ පෞද්ගලික අංශයට පවරලා තියෙනවා. ඉතුරු ටිකත් පෞද්ගලීකරනය කරන්නයි හදන්නේ.

“සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම යන විට ජ්‍යෙෂ්ඨ කලමනාකරුවන් දැනටමත් පුරප්පාඩු පුරවන්නේ නැති අතර මේ වසරේ විශ්‍රාම යාමට නියමිත සේවකයින් විශාල ප්‍රමානයක් සිටිනවා. ඇතැම් විශ්‍රාමික සේවකයන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යොදවන්නේ අඩු මුදලකට වැඩ කර ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල වරාය තුල සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව සූදානම් වෙනවා.”

ටග් යාත්‍රා සේවකයා සසප උද්ඝෝෂකයන්ට පැවසුවේ තමන් මීට පෙර ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග සම්බන්ධ වී සිටි නමුත් එහි ධනේශ්වර ගැති ප්‍රතිපත්ති නිසා එම සංවිධානයෙන් ඉවත් වූ බවයි. පසුගිය දා කොලඹ ඇමරිකානු තානාපතිවරයා සහ ජවිපෙ නායකයින් අතර පැවති හමුවක් පිලිබඳ ව ඔහු එහි දී විශේෂයෙන් සඳහන් කලේ ය.

ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය වන සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමය අනෙකුත් වෘත්තීය සමිති සමග සන්ධානගත ව කම්කරුවන්ගේ අරගල, පුද්ගලීකරනය නතර කරන ලෙස ආන්ඩුවට ආයාචනා කිරීමට සීමා කල බව ඔහු පැවසී ය. මෙය නිෂ්ඵල වී ඇති අතර, “පෞද්ගලීකරනය සිදුවෙමින් පවතී” යනුවෙන් ඔහු පැවසී ය.

2017 පෙබරවාරි 2 වැනි දින කොලඹ වරාය සේවකයෝ පෞද්ගලීකරනයට එරෙහි ව විරෝධතාවයක නිරත වෙති [AP Photo]


කම්කරු ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා පක්ෂයේ කැඳවීම පිලිබඳ ව සහ මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට අවශ්‍ය වූයේ මන්දැයි සසප උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.

“වෘත්තීය සමිතිවල ධනේශ්වර ගැති වැඩපිලිවෙලට එරෙහි ව සමාජවාදී වැඩපිලිවෙලක් සමග කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ වැදගත් යෝජනාවක් ලෙස මම මෙය දකිනවා,” ටග් යාත්‍රා අංශයේ සේවකයා පැවසී ය.

තාක්ෂනික සේවකයෙකු වන නිශාන්ත මෙසේ පැවසුවේ ය: “ජනවාරි මාසයේ සිට ජීවන වියදම වැඩි වී තිබෙනවා ඒත් අපගේ වැටුප් එක තැන පල්වෙමින් පවතින්නේ. අපිට ඕන විසඳුමක්. එක්කෝ බඩු මිල අඩු කරන්න, නැත්නම් අපිට ගැලපෙන වැටුපක් දෙන්න. අඩුම තරමේ මේ ප්‍රශ්න වලින් එකක්වත් විසඳන්න ඕනෑ. සෑම තැනක ම කම්කරුවන් මුහුන දෙන්නේ එකම ප්‍රශ්නවලටයි.”

කම්කරුවන් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය සසප සාමාජිකයෝ පැහැදිලි කලහ. වරාය වෘත්තීය සමිති, ටෙලිකොම් සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති සමඟ පෙරමුනක් පිහිටුවා ගෙන ඇතත් එය සැබෑ කම්කරු පන්තියේ එකමුතුව නොවන බව නිශාන්ත පෙන්වා දුන්නේ ය.

“වෘත්තීය සමිති, බලධාරීන් සහ ආන්ඩුව සමඟ සාකච්ඡා කර, තීරන ගෙන, පසු ව ඒවා අප මත පටවනවා. ඔවුන් සාමාන්‍ය සාමාජිකත්වය සමඟ සාකච්ඡා කරන්නේ නැහැ. අපි අපේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම වැදගත්, එමඟින් කම්කරුවන්ට ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර තීරන ගත හැකියි,” ඔහු පැවසී ය.

ජය බහාලුම් පර්යන්තයේ සේවකයෙක් වරායේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීම සඳහා සසප කරන ලද ඉල්ලීම් සමග එකඟ වූ අතර මෙය කඩිනම් කල යුතු බව පැවසී ය. වරාය වෘත්තීය සමිති, පුද්ගලීකරනය, රැකියා කප්පාදුව සහ උද්ධමනය ඇතුලු කම්කරුවන් මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්න වසන් කරන බව ඔහු පැවසී ය.

“ඔබ ඉදිරිපත් කල කරුනුවලට මම එකඟයි. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු සංවිධානය කල යුතුයි. මෙය පුද්ගලික ලාභය මත පදනම් වූ ධනේශ්වර ක්‍රමයේ අර්බුදයකි.

“ලෝකය පුරා කම්කරුවන් සංවිධානය කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය දරන උත්සාහය මම අගය කරමි. මම ඔබේ උද්ඝෝෂනයට සහය දෙන අතර වරායේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමේ අරගලයට එක්වීමට කැමතියි,” හේ පැවසී ය.

‘සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්’ හි අනියම් සේවකයෙක් සාකච්ඡාවට එක් විය. “අපි වැඩ කරන්නේ අනියම් කම්කරුවන් විදියට. මම වසර දෙකක් මෙහි සිටින මුත් තවමත් ස්ථිර කර නැහැ. දැනට පවතින වැටුපෙන් ජීවත්වීම අතිශයින් දුෂ්කර වන බැවින් අපගේ වැටුප් වැඩි කරන ලෙස අපි මානව හිමිකම් කාර්යාලයෙන් ඉල්ලා සිටියා. රජයේ සේවකයන් අඩුම තරමින් විරෝධතා දක්වනවා. අපට වෘත්තීය සමිති පවා නැහැ,” ඔහු පැවසී ය.

තවත් සේවකයෙකු වන එස්. අරුල් පැවසුවේ: “මම වරායට සම්බන්ධ ආයතනයක ලිපිකරුවෙක්. ආනයන සීමිත නිසා මගේ සමාගමට දැන් වැඩ අඩුයි. මට දැන් මගේ පෙර වැටුපෙන් අඩක් පමනක් ලැබෙන නමුත් ජීවන වියදම තුන් ගුනයකට වඩා වැඩි වෙලා. මට මීට පෙර මගේ පවුලේ වියදම් යම් යම් දුෂ්කරතා සමඟ කලමනාකරනය කිරීමට හැකි වූ නමුත් දැන් නම් එය සම්පූර්නයෙන්ම කල නොහැක්කක්” යනුවෙනි.

උද්දමනය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ විදුලි කප්පාදුවට එරෙහිවත්, හිටපු ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි බල කිරීම සඳහාත් අප්‍රේල් මාසයේ ආරම්භ වූ මහජන විරෝධතාවලට අරුල් සහභාගී විය.

“රාජපක්‍ෂ එලෙව්වා. දැන් ඉන්නේ ජනාධිපති වික්‍රමසිංහ. නමුත් ඔහු සෑම පක්ෂයක් ම සමග ජාමූඅ පිහිට පැතීමට එකඟයි” යැයි ඔහු පැවසී ය. “ඔබ කියන පරිදි, ජාමූඅ කොන්දේසි ක්‍රියාත්මක කලහොත් ජනතාවට ඊටත් වඩා දුක් විඳීමට සිදු වෙනවා. කම්කරුවන් සඳහා ස්වාධීන වැඩසටහනක් සමඟ ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් කිරීමේ වැඩපිලිවෙලකට මම එකඟයි.”

වරාය අසල කුඩා වෙලෙන්දෙකු වන ෂන්මුගරාජා ද සසප උද්ඝෝෂකයන් සමග කතා කලේය.

“රට පුරා විරෝධතා ආරම්භ වූ පසු මම ඔබේ පක්ෂයේ තුන්වන පත්‍රිකාව ද කියෙව්වා. ඔබ අනෙක් සියල්ලට ම [පක්ෂවලට] වඩා හාත්පසින් ම වෙනස් බව මම මෙහි දී දකිනවා. මම මගේ පවුල සමග ජීවත් වෙන්නේ, ඉන්දියාවෙන් බඩු ගෙනල්ලා මෙහෙ විකුනලා ලැබෙන ආදායමෙන්. ඉහල ගිය විදේශ මුදල් රේට්ටු සහ ගුවන් ටිකට්පත්වල වර්තමාන මිල මගේ ආදායම බොහෝ සෙයින් අඩු කරලා තියෙන්නනේ” යැයි ඔහු පැවසී ය.

“මම පක්ෂ කිහිපයකට ඡන්දය දී තිබෙනවා, නමුත් කවුරු බලයට ආවත් වැඩක් නැහැ, අපේ ජීවිත නොකඩවා පහත වැටෙමින් තියෙන්නේ” යැයි ඔහු පැවසී ය.

ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ රාජපක්ෂ බලයෙන් පහ කරන ලෙස බව ඔහු පැවසී ය. “[ඔවුන්] ක්‍රම වෙනසක් ගැන කතා කල නමුත් එය කුමක්ද සහ එය කල හැක්කේ කෙසේද යන්න පැහැදිලි කලේ නැහැ. සමාජවාදය යටතේ එය සිදු විය හැකි බව මට වැටහෙන අතර සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සාහයට ඔබ සැමට ස්තූතිවන්ත වෙනවා. මම ඔබේ යෝජනාවලට එකඟයි” යැයි ඔහු පැවසී ය.

සසප සාමාජිකයින් කොලඹට ආසන්න ව පිහිටි රත්මලාන වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවකයින් සඳහා වූ නිල නිවාස වල ද උද්ඝෝෂනය කලහ. මෙම ප්‍රදේශය, නිල නිවාස 200 කට වැඩි ගනනකින් සමන්විත වේ.

භූ විද්‍යා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග කම්කරුවෙකු වන සුමිත් පැවසුවේ: “වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියලුම ව්‍යාපෘති නවතා දමා තිබෙනවා. අතිකාල සඳහා කිසිදු දීමනාවක් අපට නොගෙවන නිසා, නය වාරික කපා හැරීමෙන් පසු අපට ලැබෙන රුපියල් 30–40,000 ක සොච්චම් වැටුපෙන් ජීවත් වීමට නොහැකියි යනුවෙනි”

“අපි හිතුවා ගාලු මුවදොර ජනතා නැගිටීම හරහා අපිට දිනන්න පුලුවන් කියලා නමුත් රාජපක්ෂ ජනාධිපති ඉවත් කලත් අපිට කිසිම සහනයක් ලැබුනේ නැහැ. මම පුලුවන් හැම වෙලාවකම මේ උද්ඝෝෂනවලට සහය දුන්නත් දැන් අපි කල්පනා කරන්න ඕන අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා” යැයි ඔහු පැවසී ය.

යාන්ත්‍රික අංශයේ වාරි කම්කරුවෙකු වන පියසිරි පැවසුවේ තමන් පසුගිය මහ මැතිවරනයේදී රාජපක්ෂගේ පාලක පක්ෂයට ඡන්දය දුන් නමුත් දැන් කෝපයට පත් වී මෙම තීරනය ගැන කනගාටු වන බවයි.

“අපට මාසික වැටුපෙන් ජීවත් වීමට නොහැකි නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයෝ කලකිරීමට පත් ව සිටිනවා. අපි උද්ඝෝෂනවලට සම්බන්ධ වුනාට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලැබිලා නැහැ” යැයි ඔහු පැවසී ය.

“සියලු පක්ෂ ජාමූඅ නය මුදලක් ලබා ගැනීමට එකඟ වන නමුත් පනවනු ලබන දැඩි කොන්දේසි ගැන කිසිවෙකු කතා කරන්නේ නැහැ” යැයි ඔහු තව දුරටත් අසා සිටියේ කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගන්නේ කෙසේද යන්න ගැනයි.

ක්‍රියාකාරී කමිටු—රාජ්‍ය නීති මගින් නියාමනය කරනු ලබන වෘත්තීය සමිති මෙන් නොව—කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගනු ලබන අතර ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සටන් කරන බව උද්ඝෝෂකයෝ පැවසූහ. ඔවුන් තවදුරටත් කියා සිටියේ ශ්‍රේනි අනුව කම්කරුවන් බෙදමින් වෘත්තීය සමිති පිහිටුවන බවයි. ක්‍රියාකාරී කමිටු එවැනි බෙදීම් ප්‍රතික්ෂේප කරන අතර, කම්කරුවන් එක්සත් කිරීමට සහ ජාත්‍යන්තර කම්කරු සන්ධානය මගින් සියලු කර්මාන්ත හරහා ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර ව ඔවුන්ගේ බලය බලමුලු ගැන්වීමට සටන් කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරෙකු වන මනුවර්න පැවසුවේ: “ඔවුන් [ආන්ඩුව සහ එහි ගෝලයන්] කියා සිටින්නේ සියලුම ප්‍රශ්නවලට මූලික හේතුව රජයේ සේවකයින් වැඩ නොකරන නිසා බවයි. නමුත් අපි දිනකට පැය අටකට වඩා වැඩ කරනවා. ආන්ඩුව සහ මාධ්‍ය රාජ්‍ය සේවකයන්ට මඩ ගහනවා.”

“දැන් ජීවත් වෙන්න හරිම අමාරුයි. දරුවන්ට හරිහැටි අධ්‍යාපනයක් නැහැ, අපේ සොච්චම් වැටුපෙන් දරුවන්ට නිසි ආහාර ලබා දීමට ක්‍රමයක් නැහැ. මේ අවුලෙන් ගොඩ එන්නේ කෙසේදැයි සිතා ගැනීමට අපහසු නමුත් අපට පෙනෙන දෙය නම් වෘත්තීය සමිති සිටින්නේ පාලකයන්ගේ පැත්තේ. වෘත්තීය සමිති නිලධාරීන් උනන්දු වන්නේ ඔවුන්ගේ ම වරප්‍රසාද ගැන මිස කම්කරුවන්ගේ අවශ්‍යතා ගැන නොවේ.”

Loading