ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීමට එරෙහි ව සසප සහ සසජාතශි ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) සැප්තැම්බර් 25 ඉරිදා සවස 4ට “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීම නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” මැයෙන් ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. සූම් තාක්ෂනය හරහා විකාශනය කරනු ලබන මෙම රැස්වීම පක්ෂයේ ෆේස්බුක් පිටුව හරහා සජීවී ව විකාශනය කෙරේ. මෙතැනින් රැස්වීමට ලියාපදිංචි වන්න.

ප්‍රමුඛ පෙලේ ක්‍රියාධරයින් අත්අඩංගුවට ගනිමින් සහ 1,000ට අධික පිරිසක් මෙතෙකුදු බන්ධනාගාරවල හෝ රැඳවුම් කඳවුරුවල රඳවා ගනිමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආන්ඩු-විරෝධී විරෝධතාකරුවන්ට එරෙහි පොලිස් මර්දනය තීව්‍ර කර ඇත. සමහර ක්‍රියාධරයන් මාස ගනන් රැඳවුම් කඳවුරු තුල රඳවා තබා ගැනීම සඳහා විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යොදා ගනිමින් පවතී.

වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කර ඇත: “විරෝධතාකරුවන් ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරන්නේ නැති නම්, ඔවුන්ට විරුද්ධ ව පියවර ගත යුතු යි.” මෙහි අර්ථය, සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහා හෝ අතිශයින් ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී වන රටෙහි ව්‍යවස්ථාවට, රාජ්‍යයට හා ධනපති ක්‍රමයට එරෙහි ව කම්කරුවන් හා දුගීන් විසින් ගනු ලබන ඕනෑ ම පියවරක් ‌සාපරාධීකරනය කිරීම හැර, අනෙකක් නො වේ.

මිලියන ගනන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාශීලී සහයෝගය සහිත ව මෑත දී සිදු වූ මහජන නැගිටීම, පාලක පන්තිය අරටුවට ම සොලවා දැමුවේ ය. තමා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු විධානයන් පැටවීමේ දී, මෙම මහජන විරෝධය වඩා විශාල පරිමානයකින් පුපුරා යනු ඇති බව වික්‍රමසිංහ දනී. කම්කරු පන්තිය මත නිර්දය ලෙස කඩා පැනීමට ඔහු සූදානම් වෙමින් සිටී.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි මෙම ප්‍රහාරය ලංකාවට පමනක් සීමා වූවක් නො වේ. ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදයෙහි බර පැටවීම සඳහා, සෑම රටක ම පාලක පන්තීහු ෆැසිස්ට්වාදී හා ආඥාදායක පාලන රූප කරා හැරෙමින් සිටිති.

වෘත්තීය සමිති, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා මධ්‍යම-පන්තික විරෝධතා කන්ඩායම් මෙම මර්දනයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට විරුද්ධ ව අප්‍රේල් මාසයේ පුපුරා ගිය මහජන අරගල පාවා දුන් ඔවුහු, වික්‍රමසිංහට බලයට පැමිනීම සඳහා පාර කැපූ හ.

වික්‍රමසිංහගේ මර්දනයට එරෙහි අරගලය, අධිරාජ්‍යවාදී බලයන්ට හා රාජ්‍යයට කරන නිෂ්ඵල ආයාචනා තුලට අපසරනය කිරීම ඉලක්ක කර ගනිමින්, දැන් මෙම බලවේග සමගි ජන බලවේගය වැනි විපක්ෂ ධනපති පක්ෂ සමග සන්ධානයක් ගොඩනගා ගනිමින් සිටිති. ඔවුන්ගේ ඉලක්කය වන්නේ කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීම යි.

මර්දනය පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත, ධනවාදයට එරෙහි ව ගම්බද දුගීන් රැලි කර ගන්නා, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමක් විසින් පමනක් බව, මෙම ප්‍රතිගාමී වැඩපිලිවෙලට එරෙහි ව, සසප අවධාරනය කරයි.

කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන ඉදිරියට ගනුවස්, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පාදක වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා ගෙන යන උද්ඝෝෂනය තුල, සසප මෙම ඉදිරි දර්ශනය පෙරට ගෙන ඇත. එම ක්‍රියා මාර්ගය සාකච්ඡා කරන මෙම වැදගත් රැස්වීමට සහභාගි වන ලෙස, අපි කම්කරුවන්, තරුනයන් හා සියලු ගම්බද පීඩිත ජනයාගෙන් අපි ඉල්ලමු.

රැස්වීමට මෙම සබැඳියෙන් ලියාපදිංචි වන්න.

Meeting Registration - Zoom

Loading