වික්‍රමසිංහ ආන්ඩුව නෝර්ත් සී කම්හල් පෞද්ගලීකරනය කිරීමට සැරසෙයි

රාජ්‍ය ආයතනයක් වන නෝර්ත් සී සමාගමට අයත් මත්ස්‍ය දැල් නිපැයීමේ කම්හල් තුනක් වසා දැමීමට හෝ පෞද්ගලික අංශයට පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් සැලසුම් කෙරෙමින් පවතී. යාපනයේ ගුරුනගර්, පුත්තලමේ ලුනුවිල සහ හම්බන්තොට වීරවිල පිහිටා මෙම කම්හල්වල සේවයේ නියුතු 200 කට ආසන්න කම්කරු පිරිසක් මේ හේතුවෙන් රැකියා අහිමි වීමේ තර්ජනයට මුහුන දී සිටිති.

අමුද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් මෙම කම්හල් තුනේම නිෂ්පාදන ඇනහිට ඇත. දැල් නිෂ්පාදනයට අවශ්‍ය කෙරෙන අමුද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර, ආන්ඩුව මුහුන දී සිටින විදේශ සංචිත අර්බුදය හමුවේ ආනයන සීමා කිරීම සහ ශ්‍රී ලංකා විනිමය අනුපාතය දැවැන්ත ව පහත වැටීම හේතුවෙන් පසුගිය වසර වලට සාපේක්ෂ ව සුවිසල් මුදල් ප්‍රමානයක් වැය කිරීමට සිදු වීම මෙම අමුද්‍රව්‍ය හිඟයට මූලික හේතුවයි.

කම්හල් තුනේ ම කම්කරුවන්ට මාස තුනක වැටුප් ලැබී නැති අතර, කම්කරුවන්ගේ වැටුපෙන් අය කර ගත් මුදල් අවුරුදු දෙක හමාරකින් අර්ථසාධක භාරකාර අරමුදලට බැර කර නොමැත. ගුරුනගර් කම්හලේ පරිපාලනය කම්කරුවන්ට පවසා ඇත්තේ කම්කරුවන් විසින් මුදල් යෙදවුවහොත් කම්හල පවත්වාගෙන යා හැකි බවයි. එසේ කිරීමට නොහැකි නම් කම්හල පුද්ගලික අංශයට පවරා දීමට සිදු වන බව ද පරිපාලනය පවසා ඇත.

වැටුප් නොලැබෙන බැවින් තම දරු පවුල් රැකීමට ධීවර කර්මාන්තයේ යෙදීමට සිදු ව ඇති බව ගුරුනගර් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ. “පවුල රකින්න රාත්‍රියේ ධීවර රැකියාවේ යෙදීමට සිදු ව තියෙනවා. විශාල වශයෙන් නය ලබාගෙන කම්හල පවත්වා ගෙන ගොස් ඇති නිසා තවත් නය ගත නොහැකි තත්ත්වයක ඉන්න බව මෑතක මෙහි පැමිනි ධීවර ඇමති පැවසුවා” යැයි එක් කම්කරුවෙක් පැවසුවේ ය.

තවත් කම්කරුවෙක් මෙසේ කියා සිටියේය: “යුද්ධයෙන් පසු ඉන්දියාවෙන් ආධාර වශයෙන් ලැබුනු මේ යන්ත්‍ර දැන් ආන්ඩුවේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න විකුනන්න යනවා. කම්කරුවන්ට අයිති දේවල් විකුනා දැමීම ඉවසා සිටින්න බෑ.”

ගුරුනගර් කම්හල, 2011 වසරේ දී නෝර්ත් සී සමාගමට පැවරීමට පෙර, සීනෝර් පදනම යටතේ පැවතියදී එය වසා දැමීමට සහ පුද්ගලීකරනය කිරීමට එවකට පැවති ආන්ඩු දැරූ ප්‍රයත්නයන් කම්කරුවන් විසින් සටන්කොට පරාජය කල අයුරු ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කලහ.

1991 දී එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව එම කම්හල වසා දැමීමට දැරූ ප්‍රයත්නයත්, 2001 වසරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව යටතේ එය පෞද්ගලීකරනය කිරීමට කල සැලසුමත්, පරාජය කිරීමට හැකි වූයේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදක ව සිංහල දෙමල කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මත පදනම් වෙමින්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙන ගිය අරගලය තුලිනි. සසප මෙම සටන ගෙනගියේ, ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) ගෙන ගිය වන්දි ලබාගෙන රැකියාවෙන් ඉවත්වීමේ ප්‍රතිගාමී වැඩපිලිවෙලට එරෙහිවයි.

තම අතීත සටන්කාමිත්වය යලි ප්‍රදර්ශනය කරමින් පසුගිය අප්‍රේල් මාසයේ දී ගුරුනගර් කම්කරුවෝ වැඩ වර්ජනයක නිරත වූහ. තම වැටුප් සහ දීමනා නියමිත කලට ගෙවන ලෙසත්, වැටුප්වලින් අයකර ගන්නා ඊපීඑෆ් සහ ඊටීඑෆ් මුදල් එම ගිනුම්වලට බැර කරන ලෙසත්, අමුද්‍රව්‍ය සැපයුම් පවත්වා ගනිමින් නිෂ්පාදනය අඛන්ඩ ව පවත්වා ගෙනයන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

මෙම වැඩවර්ජන පැන නැගුනේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත්, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ හිඟය අවසන් කොට ඒවායේ මිල පහත හෙලන ලෙසත් බල කරමින් දිවයින අලලාගෙන වැඩුනු මහජන නැගිටීමට සමගාමී ව යි. ඉල්ලීම් ඉටු කරන බවට පරිපාලනය දුන් පොරොන්දු මත කම්කරුවන් වර්ජනය අත්හල ද, එම පොරොන්දුව කඩ කෙරුනේ අප්‍රේල් මාසයට නියමිත අලුත් අවුරුදු දීමනා සහ වැටුප් ගෙවීම් පැහැර හරිමිනි.

මේ වන විට කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් රාත්‍රී කාලයේ දී ධීවර හා වෙනත් ක්ෂේත්‍රයන්හි අමතර රැකියාවල යෙදෙති. කම්කරුවන් දෙදෙනෙකු දුෂ්කර ජීවන කොන්දේසි උසුලා ගත නොහැකි ව බෝට්ටු මගින් ඇමරිකාවට සංක්‍රමනය වීමට යාමේ දී අතුරුදන් ව ඇති බව ද ලෝසවෙඅ ට වාර්තා විය.

මාර්තු මාසයේ දී, ලුනුවිල කම්කරුවෝ ද මේ කොන්දේසිවලට එරෙහි ව ම වැඩවර්ජනවල සහ විරෝධතාවන්හි යෙදී ගත්හ.ඔවුහු අගෝස්තු 31 වැනි දා මාලිගාවත්ත ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට දී පිකට් උද්ඝෝෂනයක් පැවැත් වූහ. “හැම මසක ම වැඩ කරලා වැටුප ගන්න අරගල කල යුතු ද?”, “රාජ්‍ය ආයතන වට්ටා පුද්ගලික ආයතන රකින්නේ කවුද?”, “හිඟ ඊපීඑෆ් ඊටීඑෆ් ගෙවනු!” යන සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂනය කලහ.

මෙම විරෝධතාවය අවසානයේ වෘත්තීය සමිති සමග ධීවර ඇමති පැවැත්වූ සාකච්ඡාව වාර්තා කරමින්, සැප්තැම්බර් 1 වැනි දින දිනමින පුවත්පත කියා සිටියේ, “රජයේ ප්‍රතිපත්තිය වන පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිය අනුව නොර්ත් සී ආයතනයේ ලුනුවිල කර්මාන්තශාලාව පවත්වාගෙන යෑමේ ඉදිරි ක්‍රමවේද සැකසීම සඳහා එහි සේවකයන් 05 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා කටයුතු යොදා තිබෙන” බවයි. මූල්‍ය ආයතන සමග සාකච්ඡා කොට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරන බවට ඇමතිවරයා පොරොන්දු වී ඇත.

සමාගමේ දුර්වල කලමනාකාරීත්වය නිසා මෙම අර්බුදකාරී තත්ත්වය ගොඩ නැගී ඇති බව පවසන දේවානන්දා, එමගින් අර්බුදයේ වගකීම සේවකයන් මත පටවා ආයතනය පෞද්ගලීකරනයට හෝ ඈවර කිරීමට අවශ්‍ය පසුබිම සම්පාදනය කරයි.

ලුනුවිල කම්හලේ ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විසින් අටවා ඇති ශ්‍රි ලංකා නිදහස් සේවක සමිතිය සහ ජාතික සේවක සමිතිය යි. ධනපති ප්‍රහාර කම්කරුවන්ගේ හිසමතට එල්ල කිරීමේ අත්ගෙඩි ලෙස කුප්‍රකට මෙම සමිති දේවානන්දාගේ බොරු කම්කරුවන්ට ගිල්ලමින්, “පාඩු ලබන” රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරිමේ සහ වසා දැමීමේ වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිගාමී වැඩපිලිවෙලට පූර්න පිටුබලය ලබා දෙති.

අර්බුදයේ සම්පූර්න වගකීම සමාගම් කලමනාකාරිත්වයට පවරමින්, රාජපක්ෂ ආන්ඩුව සහ වත්මන් වික්‍රමසිංහ පාලනය වගකීමෙන් මුදා හරින දේවානන්දාගේ කුතර්කයන් අනුයමින් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් අරුන ප්‍රියංකර පෙරේරා මාධ්‍යයට පැවසුවේ, සමාගමේ සභාපති ද දැනුවත් ව පෞද්ගලික සමාගමකට අමුද්‍රව්‍ය විකුනා දමා ඇති බවයි. සේවකයන් විසින් මුදල් යොදවා කම්හල් පවත්වාගෙන යාහැකි බවට ඇමතිවරයා කරන නරුම යෝජනාව අනුමත කරමින්, “පෞද්ගලීකරනය කරන්න අවශ්‍ය නෑ. මේක අපිට කර ගෙන යන්න පුලුවන්” යැයි පෙරේරා කියා සිටියේ ය.

ජූනි 22 වැනි දා මවුබිම වාර්තාවකට අනුව වීරවිල කම්හලේ නිෂ්පාදනය ද අමුද්‍රව්‍ය හිඟතාවයෙන් ඇන හිට පවතී. වාර්තාවට අනුව, ආන්ඩුව විසින් එම කම්හලේ අර්බුදය ද කලමනාකරුගේ අක්‍රමිකතාවන්ට සිඳුවා ඇත.

නෝර්ත් සී සමාගමේ කම්කරුවන් මුහුන දී සිටින තත්ත්වය, කිසිසේත් ම මෙම සමාගමේ කම්කරුවන් පමනක් මුහුන දෙන තත්ත්වයක් නොවේ. පසුගිය සතියේ රාජ්‍ය ආයතන ගනනාවක කම්කරුවෝ ආන්ඩුවේ වැටුප් කප්පාදු සහ පෞද්ගලීකරන පියවරවලට එරෙහි ව අරගලයට පිවිසියහ.

ආන්ඩුවේ මෙම ප්‍රහාරයන් ගලා එන්නේ, ආන්ඩුව ඉල්ලා සිටින හදිසි ඇපනයක් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කොට ඇති, රාජ්‍ය ආයතන “ප්‍රතිව්‍යූහගත කිරීමේ” වැඩපිලිවෙලිනි. ශේෂ ව ඇති සමාජ වියදම් ද කපා දමා ලාභ ගැරීමට බාධාවක් ව ඇති රාජ්‍ය ක්ෂේත්‍රයද මහ සංගත සහ ව්‍යාපාරවලට විවෘත කර දීම ජනාධිපති වික්‍රමසිංහගේ අරමුනයි.

මේ අරමුනු සම්බන්ධයෙන් කිසිදු ධනේශ්වර විපක්ෂයකට හෝ එහි ඒජන්ත ව්‍යාජ වාම කන්ඩායම්වලට කිසිදු මතභේදයක් ඇත්තේ නැත.

ලෝක ධනේශ්වර පද්ධතියේ කඩා වැටීමේ ම කොටසක් වන ශ්‍රී ලංකාවේ අර්බුදය, ගෝලීය වසංගතය, ඇමරිකා-නේටෝ අධිරාජ්‍යවාදී බලයන් යුක්‍රේනයේ දී රුසියාවට එරෙහි ගෙන යන වක්‍ර යුද්ධය සහ ලෝකයේ මහ බැංකු විසින් නිර්මානය කෙරෙන “ආර්ථිකය මන්දගාමී කිරීම” හරහා උග්‍ර කෙරී පවතී.

අර්බුද ග්‍රස්ථ ධනේශ්වර ක්‍රමය තුල කම්කරුවන්ගේ රැකියා සහ ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීම හෝ ඉහල නංවා ගැනීම මෙන් ම, පෞද්ගලීකරනය නතර කිරීම යතාර්ථයක් නොවේ. එය සාක්ෂාත් කල හැක්කේ මේ හා සමාන කොන්දේසිවලට ම මුහුන දෙන ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන් සමග ඒකාබද්ධ ව සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීමෙන් පමනි. ලෝක පරිමාන ව කම්කරු පන්තික අරගලයන්ගේ පුනර්ජීවනය මෙම ඉදිරිදර්ශනයේ ශක්‍යතාවට සහතිකයයි.

නෝර්ත් සී කම්කරුවන් තම අරගලය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක පදනම මත පෙරට ගත යුතු ය. එම වැඩපිලිවෙලට පරම සතුරු වෘත්තීය සමිති වලින් බිඳී තමාගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම එම අරගලයේ පලමු පියවරයි. කම්කරුවන්ගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වයෙන් ගොඩ නැගෙන කම්කරු ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ඒකාබද්ධ වෙමින් මෙම අරගලය ජාත්‍යන්තර පරිමාන ව සංවිධානය කර ගත හැකිවනු ඇත.

Loading