සසප (එජ) 2022 සම්මේලන යෝජනා

කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය එක්සත් ජනපදය තුල ගොඩ නඟනු! කම්කරු පන්තියේ ලෝක ගෝලීය ප්‍රතිප්‍රහාරයක් කරා!

මෙම අභියෝජනාව 2022 ජූලි 31 සිට අගෝස්තු 5 වන දින දක්වා පැවැත්වුනු, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ හත්වන ජාතික සම්මේලනයේ දී ඒකමතික ව සම්මත කර ගන්නා ලදී. මෙය 2022 අගෝස්තු 17 වැනි දින ඉංග්‍රීසී බසින් පල කෙරුනි.

1. 21 වන සියවසේ ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී අවයවය වන කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC කක්‍රිකජාස) සක්‍රිය ලෙස හා ක්‍රමානුකූල ව ගොඩ නැඟීමට කටයුතු කරන බවට එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සම්මත කරයි.

2. කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් (හජාජාක) 2021 මැයි දිනයේ පිහිටුවනු ලැබී ය. එහි සමාරම්භක ප්‍රකාශනයේ දී හජාජාකය සම්මත කර ගත්තේ, දශක ගනනාවක සමාජ ප්‍රතිවිප්ලවයට, අධිරාජ්‍යවාදී යුද්ධයට, මරනීය කොරෝනා වෛරස වසංගතයේ ව්‍යාප්තියට සහ වර්ධනය වෙමින් පවත්නා ෆැසිස්ට්වාදයේ හා ඒකාධිපතිවාදයේ තර්ජනයට ප්‍රතිචාර ලෙස “කම්කරු පන්තියේ ලෝක ගෝලීය ප්‍රතිප්‍රහාරය වර්ධනය කිරීමට” කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සටන් වදිනු ඇති බවයි. එහි සමාරම්භක ලේඛනය කක්‍රිකජාසහි ඓතිහාසික කර්තව්‍යය සංක්ෂිප්ත ව දැක්වීය: ජාත්‍යන්තර කම්කරු පන්තියේ සියලු විෂමජාතීය ස්ථර එක්සත් කිරීම, එහි අරගල ලෝක පරිමාන ව සමායෝජනය කිරීම සහ, නූතන ලෝක නිර්ධන පන්තියේ අති දැවැන්ත සමාජ බලය සංගතවලට හා ධනේශ්වර ක්‍රමයට එරෙහි ව මෙහෙය වීම.

3. ලෝකය පුරා ම, සමාජ අසමානතාවයට හා ඉහල නැඟෙන ජීවන වියදමට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් පැන නැඟීමෙන් තහවුරු වන්නේ කක්‍රිකජාසය ගොඩ නැඟීමේ ඓතිහාසික අත්‍යවශ්‍යතාවයයි. දශක ගනනාවක් පුරා පන්ති අරගලය කෘත්‍රිම ලෙස මැඩ පවත්වා ගෙන සිටි යුගය අවසාන වී ඇති අතර, සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹි ඇත.

4. ඉහල නැඟෙන ජීවන වියදමින් හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එජ නායකත්වයෙන් පවත්වා ගෙන යනු ලබන යුද්ධය විසින් තව දුරටත් උග්‍ර කරනු ලැබ ඇති භාන්ඩ හිඟකමින් ප්‍රේරනය වී ඇති, නැඟී එන ලෝක ව්‍යාපාරය, දශක ගනනාවක කප්පාදු හා විරැකියාවට ද, වැටුප් හා ජීවන මට්ටම්වලට එල්ල වූ ප්‍රහාරවලට ද ඓතිහාසික ප්‍රතික්‍රියාව දැක්වීමට මං සොයමින් සිටියි. මේ දක්වා මිලියන 20 ක ජනකායකට මරනය ගෙන දුන් කොරෝනා වෛරස් වසංගතයට පාලක පන්තිය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් පවත්නා ගැඹුරු සමාජ කෝපය ද කම්කරු පන්තියේ පුපුරන සුලු මනෝ භාවයන්ට වැඩි දුරටත් එක් වී ඇත. රුසියාවට එරෙහි එජ/නැටෝ යුද්ධය දීර්ඝ ලෙස ඇදී යාම විසින් ජනිත තතු යටතේ බිලියන දෙකකට ආසන්න ජනතාවකට නිරාහාර වීමේ තර්ජනය සමඟ පොර බැදීමට සිදු වී ඇති අතර, වඩාත් ම වැඩි දියුනු රටවල කම්කරුවන්ට පවා සිය ආහාර, නිවාස කුලී හා ඉන්ධන සඳහා ගෙවීම වඩවඩාත් අසීරු වී ඇත.

5. ලෝක දේශපාලනයේ නිදා සිටින යෝධයා වන ඇමරිකානු කම්කරු පන්තිය අවදි වීමට පටන් ගෙන ඇත. පාලක පන්තිය න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක් සඳහා කටයුතු සංවිධානය කරමින් සිටින සහ කොරෝනා වෛරස වසංගතයට එරෙහිව ජනඝාතක ප්‍රතිචාරයක් මෙහෙයවන ලෝක අධිරාජ්‍යවාදී ප්‍රතිගාමීත්වයේ කේන්ද්‍රස්ථානය තුල, උද්ධමනය හා වැඩි වන ජීවන වියදම විසින් කම්කරු පන්තියේ වඩවඩාත් පුලුල් කොටස් සමාජ අරගලය කරා තල්ලු කෙරෙමින් පවතී. අනෙකුත් රටවලදී මෙන් ම මෙහිදී ද, ප්‍රධාන කර්මාන්තවල කම්කරුවන් අතර වර්ධනය වී ඇති වර්ජන හා විරෝධතා, සංගත සහ රාජ්‍යය වෙනුවෙන් ආයතනගත පොලිස් බල ඇනි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින වෘත්තීය සමිතිවලට එරෙහි කැරැලි ගැසීම්වල ස්වභාවය වඩවඩාත් අත්පත් කර ගනිමින් පවතී.

6. සංගත හා වෘත්තීය සමිති අතර සන්ධානයට එරෙහි ව කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වයං-සංවිධානය දිරි ගැන්වීමට සමාජවාදී සමානතා පක්ෂය (එජ) මෙකී අරගලවලට සක්‍රිය ලෙස මැදිහත් වී ඇත. සිය මැදිහත් වීම් හරහා, සිය වැඩබිම් හා කර්මාන්ත තුල මෙන් ම ඒවා එකිනෙක අතර ද කම්කරුවන් එකට සම්බන්ධ කරමින් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ජාලයක් පිහිටු වීම සඳහා පක්ෂය පහසුකම් සලසා ඇත. ගුරුවරුන්, සෞඛ්‍ය සේවා කම්කරුවන්, මෝටර් රථ කර්මාන්තයේ කම්කරුවන්, තෙල් හා ගෑස් කම්කරුවන්, දුම්රිය කම්කරුවන්, ඇමසන් ආයතනයේ කම්කරුවන්, බස් රියැදුරන් හා කම්කරු පන්තියේ සෙසු කොටස් අතර පිහිටුවා ඇති කමිටු, ඇමරිකානු කම්කරු පන්තිය මහා පරිමානව අරගලයට එලැඹෙන කල එය සංවිධානය කිරීමේ හා එයට දේශපාලනික අධ්‍යාපනය ලබා දීමේ තීරනාත්මක වාහකයක් බවට පත්ව ඇත.

කම්කරු ක්‍රියාකාරී කමිටු සඳහා සටන

7. කක්‍රිකජාසය පිහිටු වීම නිවේදනය කෙරුනු ප්‍රකාශනයේ දී හජාජාක මෙසේ ලිවීය: “කම්කරු පන්තියට පෙරලා සටන් වැදීම සඳහා, විවිධ කම්හල්, කර්මාන්ත හා රටවල් තුල පාලක පන්තියට හා සම්මුතිවාදී වෘත්තීය සමිතිවලට එරෙහිව සිදු කෙරෙන එහි අරගල සමායෝජනය කිරීමට මාවතක් නිර්මානය කල යුතුය.” සසප (එජ)හි කර්තව්‍යය වන්නේ, කම්කරු පන්තිය මත දැවැන්ත AFL-CIO නිලධරවාදී උපකරනය විසින් පවත්වා ගෙන යනු ලබන ආධිපත්‍යය බිඳීම මඟින් මෙකී මාවත හැඩ ගස්වන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැඟීම සඳහා මෙකී ව්‍යාපාරයට සක්‍රිය ලෙස හා ක්‍රමානුකූල ව මැදිහත් වීමයි.

8. කම්කරු ක්‍රියාකාරී කමිටු, කම්කරුවන් අතර නිදහස් සාකච්ඡා සඳහා පහසුකම් සැපයීම මඟින් ද, AFL-CIO වාරනයන්ට පිටතින් තොරතුරු බෙදා හදා ගැනීම සමායෝජනය කිරීම මඟින් ද, සමාගම් ඉල්ලා සිටින දේ නොව, කම්කරුවන්ට අවශ්‍ය දේ දිනා ගැනීම සඳහා කම්කරු පන්තියේ පුලුල්ම කොටස් අතර පොදු ක්‍රියාමාර්ග සැලසුම් කිරීම මඟින් ද සැබෑ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කොන්දේසි නිර්මානය කල යුතුය. හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමේ ආරම්භක ලේඛනය තුල ලියොන් ට්‍රොට්ස්කි ලියූ පරිදි, අරමුන වන්නේ, “හැකි සෑම අවස්ථාවකදීම, ධනේශ්වර සමාජයට එරෙහිව ජනතා අරගලයේ කර්තව්‍යයන්ට වඩාත් සමීපව අනුකූල වන්නා වූ ස්වාධීන සටන්කාමී සංවිධාන නිර්මානය කිරීම සහ, ඉදින් අවශ්‍ය වන්නේ නම්, ගතානුගතික වෘත්තීය සමිති උපකරනයෙන් ඍජු ලෙස බිඳී යාමට නොපැකිලීමයි.”

9. කක්‍රිකජාසය විප්ලවවාදී පක්ෂයට ආදේශනයක් නොවන අතරම, එය හුදෙක් සාම්ප්‍රදායික වෘත්තීය සමිති අරගලවල උපකරනයක් ද නොවේ. එහි අරමුන වන්නේ සංගතවල හා රාජ්‍යයේ උපකරනයක් වන AFL-CIO පාලනයෙන් පරිබාහිර වූ ව්‍යාපාරයක වර්ධනයට පහසුකම් සැපයීම හා ඇමරිකානු කම්කරු පන්තියේ අතිමහත් සමාජ බලය මුදා හැරීමයි. The Trade Unions in the Epoch of Imperialist Decay (අධිරාජ්‍යවාදී දිරාපත් වීමේ යුගයේ වෘත්තීය සමිති) හි ට්‍රොට්ස්කි ලියූ පරිදි, පක්ෂය, “හුදෙක් ධනේශ්වරයට එරෙහිව පමනක් නොව, වෘත්තීය සමිතිවලමත් පවත්වා ගෙන යන ඒකාධිපති තන්ත්‍රයට එරෙහිව හා එම තන්ත්‍රය බලාත්මක කරන නායකයන්ට එරෙහිව ද මහජනයා බලමුලු ගැන්විය යුතුය.” AFL-CIO උපකරනය සුනුවිසුනු කර දැමීමට, කම්කරුවන් අතටම බලය මාරු කෙරෙන කැරැල්ලකට නොඅඩු දෙයක් අවශ්‍ය වනු ඇත.

10. පක්ෂයේ මුලපිරීමක් ලෙස, කක්‍රිකජාසය යනු එවැනි ව්‍යාපාරයක් වර්ධනය කළ හැකි සංවිධානාත්මක ස්වරූපයයි. කම්කරු පන්තිය එක්සත් කිරීම සාක්ෂාත් කිරීමට, කම්කරු ක්‍රියාකාරී කමිටු විසින්, පන්ති අරගලය පෙරට ගෙන යාම සඳහා එකට සටන් කිරීමට සූදානම් විවිධ දේශපාලන දෘෂ්ටීන්ගෙන් යුත් කම්කරුවන් ඒකරාශී කරනු ලැබිය යුතුය. AFL-CIO ට එරෙහි කැරලිකාරී ව්‍යාපාරයක වර්ධනය අත්‍යවශ්‍ය ලෙස ම, ඓතිහාසික හා දේශපාලන ප්‍රශ්න මතු කරනු ඇත. සමස්තයක් ලෙස පන්තියේ දේශපාලන හා සංස්කෘතික මට්ටම ඉහල නැංවීම සඳහා ද, සමාජවාදී විඥානය වර්ධනය වීමේ කොන්දේසි නිර්මානය කිරීම සඳහා ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම්වල පාඩම් මෙම අරගල තුලට හඳුන්වා දීමට සසප පරිශ්‍රම දැරිය යුතුය.

සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹි ඇත

11. කක්‍රිකජාසය ගොඩ නැඟීම සඳහා සසප අරගලය සිදු කෙරෙමින් පවතින්නේ කම්කරු පන්තියේ ලෝක ගෝලීය නැඟී සිටීමක තතු යටතේ ය. අසමානතාවයට හා දශක ගනනාවක කප්පාදුවලට එරෙහිව 2018-19 දී ලෝකය පුරා මහජන විරෝධතා ගනනාවක් ඇති වූයේය. ඉක්වදෝරයේ, ලෙබනනයේ, ඉරාකයේ, ප්‍රංශයේ, සුඩානයේ, චිලියේ හා තවත් දුසිම් ගනනක් රටවල්වල, 2011 අරාබි වසන්තයේ පෙලපාලිවලට ද වඩා විශාල ද, ගෝලීය පරිමාන ද වූ මහජන විරෝධතා මාලාවක් පුපුරා ගියේය. 2020 මුල් කාලයේ වසංගතයේ ප්‍රහාරය මධ්‍යයේ මෙම ව්‍යාපාරය තාවකාලික විරාමයකට පත් විය.

12. දැන්, 2022 වසරේ මුල් අඩ තුල, ජීවන වියදම හා වසංගතයේ ව්‍යසනකාරී බලපෑම විසින් ප්‍රේරිත නව විරෝධතා, පරිමානයෙන් හා විෂය පථයෙන් ඊට ද වඩා පුලුල් ලෙස පැන නැඟී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම ලෝක අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රස්ථානයන්හි ද කෝටි සංඛ්‍යාත ජනයා සම්බන්ධ වන පෙලපාලි 20 වසරක කම්කරු පන්ති අප්‍රසාදයේ කුලු ගැන්වීම සනිටුහන් කරයි.

13. “පවතින තතුවලට එරෙහිව වෙනසක් ඉල්ලා සිටිමින් ජනයා විශාල සංඛ්‍යාවන් විරෝධය දක්වන අවස්ථා ඉතිහාසයේ පවතියි”, යනුවෙන්, World Protests: A Study of Key Protest Issues in the 21st Century (ලෝක විරෝධතා: 21 වන සියවසේ ප්‍රධාන විරෝධතාවලට මුල් වූ කරුනු) යන මෑතකාලීන අධ්‍යයනයේ කතුවරු ලියති. “එය 1830-1848 කාලයේ සිදු විය, 1917-1924 කාලයේ සිදු විය, 1960 ගනන්වල සිදු විය, දැන් අද දවසේ එය නැවත සිදු වෙමින් පවතී.' මෙම ව්‍යාපාරය වඩවඩාත් ජාත්‍යන්තර වන අතර, එයට මඟ පෙන්වනු ලබන්නේ රැඩිකල් දේශපාලන වෙනසක් සඳහා වූ අභිලාෂය විසිනි. ‘ලෝක විරෝධතා’හි කර්තෘවරුන්ට අනුව, “පෙලපාලි සංඛ්‍යාව 2006 සිට ක්‍රමයෙන් වැඩි වූවා” පමනක් නොව, “ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක නො වීම, දේශපාලනඥයන් කෙරේ වූ ඉච්ඡා භංගය හා ආන්ඩු කෙරේ විශ්වාසයක් නොමැතිවීම නිසා ඇති වූ කලකිරීම් මත, විරෝධතා වඩවඩාත් දේශපාලනික වී ඇත.”

14. මෙම ව්‍යාපාරය, පෙර කවරදාටත් වඩා සංඛ්‍යාත්මක ව ශක්තිමත් වූ ද, වඩාත් අන්තර් සම්බන්ධිත වූ ද, වඩාත් නාගරික වූ ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී බලය පිලිබිඹු කරයි. 1980 සිට 2020 දක්වා ලෝකයේ නිෂ්පාදන බලවේගවල වර්ධනය විසින් කම්කරු පන්තියේ ප්‍රමානය බිලියන දෙකක ජන සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබ ඇත. ලෝක ඉතිහාසයේ පලමු වරට, ලෝක ජනගහනයෙන් බහුතරයක් දැන් නගරවල ජීවත් වන අතර, මෙම සංඛ්‍යාව සෑම සතියක ම මිලියන ගනනින් ඉහල යමින් පවතී. ලොමු දැහැ ගැන්වෙනසුලු තාක්ෂණික ප්‍රගමනයන් විසින් ආර්ථිකය පරිවර්තනය කරනු ලැබ ඇති අතර, දේශපාලන විඥානයේ හා මානව සංස්කෘතියේ නව නිම්වලලු විවෘත කරනු ලැබ ඇත. 2000 වසරේ සිට 2020 දක්වා බිලියන 5 කට ආසන්න ජනයා අන්තර්ජාලයට ප්‍රවේශය ලබා ඇත.

15. විරෝධතා එක්කෝ වෘත්තීය සමිති මඟ හැර හෝ නැතහොත් ඒවාට එරෙහි ව කැරැල්ලකින් හෝ වර්ධනය වූ ඒවා විය. කම්කරු පන්තිය ප්‍රමානයෙන් හා ආර්ථිකය මත තමන් දරන භාරයෙන් ඉමහත් සේ වැඩී ගිය දශක ගනනාවක් පුරා ජාතික වෘත්තීය සමිති තමන්ට ඇහුම්කන් දෙන ශ්‍රාවකත්වයක් දිනා ගැනීමට අසමත් වූවා පමනක් නොව, ලෝක පරිමාන ව ම සාමාජිකත්වය පහත වැටීමෙන් ද, සිය සුජාතභාවය බිඳ වැටීමෙන් ද පෙලුනෝ ය. වෘත්තීය සමිතිවලට බැඳී සිටි කම්කරුවන්ගේ ප්‍රතිශතය 1990 පැවැති සියයට 36 මට්ටමේ සිට 2016 දී සියයට 18 ක් දක්වා ඇද වැටුනි. සෑම තැනක ම වෘත්තීය සමිති, මහා පරිමාන මරනවලට පහසුකම් සම්පාදනය කරමින්, පාලක පන්තියේ මරනීය කොවිඩ් පිලිවෙත් බලහත්කාරයෙන් කම්කරු පන්තියට බැස්සවීමට කටයුතු කලෝ ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2021 වාර්තාවකින් සඳහන් කෙරෙන පරිදි, “වෘත්තීය සමිති පොදුවේ සිය ආන්ඩුවල ‘කොවිඩ්-19 ප්‍රතිචාරවලට’ සහයෝගය දුන්” අතර, දැන් ඒවා, පුලුල් ව පැතිරී ඇති කොවිඩ් මරන සම්බන්ධයෙන් පහලින් එන විරෝධය සමඟ පොර බදමින් සිටිති.

ඇමරිකානු කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම

16. එක්සත් ජනපදය තුල, වර්ජනවල හා කම්කරු පන්ති විරෝධතාවල ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවත්නා, දශක ගනනාවක් තුල පැමිනි විශාලත ම රැල්ල දැන් නැඟ එමින් පවතී. 2022 ජනවාරි සිට මැයි දක්වා කම්කරුවන් 73,000 ක් සහභාගී වූ වර්ජන 153 ක් ඇති විය. මෙය පසුගිය වසයේ මෙම කාලයේ අගය මෙන් තුන් ගුනයකට ද වැඩිය. ලෝක අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානය වන එක්සත් ජනපදය තුල කම්කරු පන්තියේ විරෝධයේ වර්ධනය, ලොව පුරා පන්ති අරගලය කෙරේ ආවශ්‍යක මූලෝපායයික වැදගත්කමක් දරයි. එය ජාත්‍යන්තර වශයෙන් කම්කරුවන්ගේ ප්‍රතිරෝධය දිරි ගැන්වීමට හා ඒ සඳහා පෙලඹවීමට සමත් ය; එසේ දිරි ගන්වනු හා පොලඹවනු ඇත. එමඟින් එය, ඇමරිකානු කම්කරු පන්තිය “ප්‍රතිගාමී” යැයි මධ්‍යම පාන්තික රැඩිකලුන් විසින් තොරොම්බල් කරනු ලබන මුසාව හෙලිදරව් කරනු ඇත.

17. මෙම ව්‍යාපාරයේ ඉස්මතු වීම වෛෂයික ක්‍රියාදාමයක කොටසකි. ගෝලීයකරනය වූ නිෂ්පාදනයකින් සමන්විත ලෝකයක් තුල පන්ති අරගලය වූ කලී එහි අන්තර්ගතයෙන් මෙන්ම ආකෘතියෙන් ද ජාත්‍යන්තර වන අතර, ඇමරිකානු කම්කරුවෝ ගෝලීය ව්‍යාපාරයක සංඝටකයක් වෙති. එජ තුල මෙන් ම ජාත්‍යන්තර ව ද, ඉහල නැඟෙන උද්ධමනය හා, ආහාර, ගෑස් සහ නිවාස කුලී ඇතුලු මූලික අවශ්‍යතාවයන්ගේ මිල ඉහල යාම් කම්කරුවන් අතර නව කොටස් සමාජ අරගලය තුලට එලවා දමා ඇත. ඇමරිකාවේ දකුන ද ඇතුලුව විවිධ භූගෝලීය කලාප හරහා මෙන් ම, සියලු වයස් කාන්ඩවලට හා සියලු ජනවර්ගවලට ද, වැටුප්වල හා නිපුනතාවයේ විවිධ මට්ටම්වලට ද අයත් කම්කරුවන් අතර වර්ජන හටගෙන ඇත. මිලියන ගනන් ජනයා නය බරෙහි වඩාත් ගැඹුරට කිඳෙමින්, නොගිලී හිඳිම සඳහා සිය සීමිත ඉතිරි කිරීම් ගිල්වා දමන තතු තුල, ආර්ථික හා සමාජ මංමුලා සහගතභාවයේ දර්ශක ඉහල නඟිමින් පවතී. වැටුප් තල්ලුවක් ඇතිවීම වැලැක්වීම සඳහා පොලී අනුපාත වැඩි කිරීමට ෆෙඩරල් මහ බැංකුව ගෙන ඇති තීරනයේ අර්ථය වන්නේ, රැකියාවලින් දොට්ට දැමීම්, ඉහල නය පොලී අනුපාත හා පුපුරන සුලු සමාජ අරගල ක්‍ෂිතිජයෙන් මතු වෙමින් පවතින බවයි. එජ තුල පමනක් දැනටමත්, ශීඝ්‍රයෙන් වාෂ්ප වී යන සමාජ ආරක්‍ෂනයේ ආරක්ෂක දැලට අල්ප වශයන් පමනක් ප්‍රවේශයක් ඇති හෝ, කිසිදු ප්‍රවේශයක් නැති මිලියන හයක් විරැකියාවෙන් පෙලෙමින් සිටිති.

18. එක්සත් ජනපද කම්කරුවෝ වසංගතය ආරම්භ වූ තැන් පටන් පන්ති අරගලයේ තීරනාත්මක අත්දැකීම් තුලින් ගමන් කොට ඇත්තාහ. සෑම අදියරක දී ම, කම්කරුවන් බලමුලු ගැන්වීමට හා ඔවුන් පසු කරමින් සිටින අත්දැකීම්වල පාඩම් උකහා ගැනීමට ද, එම පාඩම් පන්ති අරගලයේ ඊලඟ අදියර තුලට සංයුක්ත කිරීමට ද සටන් කරමින් සමාජවාදී සමානතා පක්ෂය සක්‍රිය කාර්යභාරයක් ඉටු කර ඇත. සසප කාර්යභාරය වූ කලී දුරින් සිට මෙකී අරගල පිලිබඳව අදහස් පල කරන නිෂ්ක්‍රිය නිරීක්ෂකයෙකුගේ ක්‍රියා කලාපයක් නොව, කම්කරුවන් මත AFL-CIO නිලධරය විසින් පනවනු ලැබ ඇති හුදෙකලාභාවය බිඳීමට හා කක්‍රිකජාසය ගොඩනැඟීම හරහා කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ලෝක ව්‍යාපාරය එක්සත් කිරීමට කම්කරුවන්ට මාවතක් පාදා ගැනීම සඳහා සටන් වදින සක්‍රිය සහභාගීකරුවෙකුගේ කාර්යභාරයක් විය.

19. වසංගතයේ මූලාරම්භක අවස්ථාවේ පටන්ම සසපය, වසංගතය තුල ධනවාදය විසින් අනුයනු ලබන, ලාභාපේක්ෂාවන්ගෙන් ධාවක බලය ලබන පිලිවෙත්වලට කම්කරුවන් අතර විරෝධය බලමුලු ගැන්වීම සඳහා සටන් වැදී ඇත. 2020 මාර්තුවේ දී සසපය, “කොරෝනා වෛරස් ව්‍යාප්තිය නැවැත්වීමට මෝටර් රථ කර්මාන්තය නවත්වනු!” නමින් ප්‍රකාශනයක් නිකුත් කල අතර, දසදහස් ගනනින් එය කියැවූ මෝටර් රථ කම්කරුවෝ, කර්මාන්ත ශාලා විවෘත ව තබා ගැනීමේ යුනයිටඩ් ඔටෝ වර්කර්ස්හි ප්‍රයත්නවලට එරෙහි ව හදිසි වර්ජන කැරැල්ලක් දියත් කරමින්, එම වැඩ පිලිවෙල තුමූ ම භාවිතයට දැමූහ. මෙම වර්ජන රැල්ල මෝටර් රථ කර්මාන්තය දෙමසකට වසා දැමීමට බල කරමින් එමඟින් ගනන් තැබිය නොහැකි තරම් ජීවිත රැක ගත්තේ ය. එම වසරේ ගිම්හානයේ වසා දැමීම් නිමා වීමත් සමඟ, වසංගතය නව හා වඩාත් මරනීය රල වේගයන් හා ප්‍රභේදයන් කරා පැතිර යන අතරතුර, සසපය, ප්‍රමුඛ කර්මාන්ත ගනනාවක කම්කරුවන්ට අනාරක්ෂිත සේවා කොන්දේසිවලට විරුද්ධත්වය දැක්වීමේ උපායයක් සම්පාදනය කරනු පිනිස කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට කම්කරුවන් සමඟ උරින් උර ගැටී සටන් කලේ ය.

කම්කරු පන්තිය AFL-CIO සමඟ මුහුනට මුහුන පා ගැටෙයි

20. වසංගතයේ මුල් මාසවල ගනු ලැබූ සීමිත මහජන සෞඛ්‍ය පියවරයන් ද අතහැර දැමීම කම්කරුවන් අතර ගැඹුරින්ම අප්‍රසාදයට පත් වී ඇති බව සනාථ වූ නමුදු, සංගත හා පාලක පක්ෂ දෙක සමඟ සහයෝගයෙන් AFL-CIO ව කම්කරුවන්ට පෙරලා වැඩට යන ලෙස බල කලේය. සංගතවලට ඩොලර් ට්‍රිලියන ගනනක ඇප ලබා දුන් කෙයාර්ස් පනත අතිමහත් බහුතරයකින් සම්මත කිරීමට කොංග්‍රසය ඡන්දය දීමෙන් පසු, සියලු කර්මාන්තවල සේවය කරන මවුපියන් බලහත්කාරයෙන් ආපසු වැඩට යැවීමේ ප්‍රථම අත්‍යවශ්‍ය පියවර ලෙස පොදු පාසල් බලහත්කාරයෙන් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ විරෝධයට ගුරුවරුන්ගේ ඇමරිකානු ෆෙඩරේෂනය හා එහි සභාපති රැන්ඩි වයින්ගාර්ට්න් ප්‍රතිප්‍රහාර දුන්හ. චිකාගෝහි, ඕක්ලන්ඩ්හි හා අනෙකුත් ප්‍රධාන පාසල් දිස්ත්‍රික්කවල ගුරුවරුන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටු වීම හරහා පාසල් යලි විවෘත කිරීමට එරෙහි ව සසපය සක්‍රිය ලෙස මැදිහත් වූයේ ය.

21. 2021 දී මෙන්ම 2022 මුල් අර්ධයේ දී ද, එක්සත් ජනපදය සිසාරා, කක්‍රිකජාසය හා බැඳුනු කම්කරු ක්‍රියාකාරී කමිටුවල ප්‍රමානයේ හා අධිකාරයේ වැදගත් වර්ධනයක් සිදු විය. වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන්ගේ, ඩේනා කම්කරුවන්ගේ, ජෝන් ඩියර් කම්කරුවන්ගේ හා රට පුරා රෝහල්වල හෙද හෙදියන්ගේ වර්ජන වශයෙන් එකක් පසුපස එකක් වශයෙන් සිදු වූ අරගලවල දී, කම්කරු පන්තියේ වඩාත් ම පන්ති විඥානයකින් යුත් ස්ථර සිය ශ්‍රේනි තුලට ආකර්ශනය කර ගනිමින්, කම්කරු ක්‍රියාකාරී කමිටු, විරෝධයේ සංවිධාන කේන්ද්‍ර ලෙස ඉස්මතු විය.

22. පන්ති අරගලය සීමා කොට පාලනය කිරීමට AFL-CIO ව සමත් වී නැති අතර, සිදු වී ඇත්තේ ඒ සඳහා දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලය ලෙස එය තමන් තව දුරටත් හෙලිදරව් කර ගැනීම පමනෙකි. සෑම අරගලයක දී ම, කම්කරුවන් හා සංගතවලට පක්ෂපාතී වෘත්තීය සමිති අතර සංඝට්ටනය වඩ වඩාත් විවෘත හා ඍජු ගැටුමක් බවට පත් වී ඇත. කම්කරුවෝ, පාවා දීමේ කොන්ත්‍රාත් ගිවිසුම් ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවන්ගෙන් නැවත නැවතත් ප්‍රතික්ෂේප කරමින් ද, වර්ජනයකට පක්ෂ ව ඒකමතික ව ඡන්දය දෙමින් ද සටන් කිරීමට ඇති සිය අධිෂ්ඨානය පෙන්නුම් කරති. සංගතවල ලාභය රැකීම සඳහා හා රුසියාවට එරෙහි ව බයිඩන් පාලනයේ යුද්ධයට පහසුකම් සැපයීම සඳහා AFL-CIOව වැටුප් තල්ලුවක් වැලැක්වීමට දැනුවත් ව කටයුතු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2021 මාර්තුව හා 2022 මාර්තුව අතරතුර වෘත්තීය සමිතිගත කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම වෘත්තීය සමිතිගත නොවන කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම්වලට වඩා මන්දගාමී අනුපාතයක් වූ සියයට 3.3 ක සොච්චම් අගයක් ගත්තේ ය.

23. මෑත මාසවල දී වරාය තටාක කම්කරුවන්, දුම්රිය මාර්ග කම්කරුවන්, සහ ට්‍රක් රථ රියැදුරන් ද ඇතුලු ව එක්සත් ජනපදයේ හා ගෝලීය සැපයුම් දාමයන්හි මූලෝපායාත්මක ව තීරනාත්මක කොටස් අරගලයට එලඹෙනු දක්නා ලදී. දැවැන්ත වැටුප් වැඩි වීම්, සියලු වැටුප් හා ප්‍රතිලාභ සඳහා ජීවන වියදම් ගැලපීම් සහ නිසි කොවිඩ් ආරක්ෂාව සහතික කිරීමට නිෂ්පාදනය මත කම්කරුවන්ගේ පාලනය ඇති කිරීම යන ඉල්ලීම් දිනා ගැනීම සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීමට සසපය මැදිහත් වෙයි. AFL-CIOවේ ආයතනික ස්ථායීතාවය වැර ගැන්වීම සඳහා ද, තීරනාත්මක කර්මාන්තවල වර්ජන පුපුරා යාම වලක්වමින් සැබෑ වැටුප් හා වැඩ කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් හාම්පුතුන්ට දැවැන්ත අනුග්‍රහයන් බලාත්මක කරනු වස් වෘත්තීය සමිති රාජ්‍යය තුලට සමෝධානය කිරීම සඳහා ද බයිඩන් පාලනය වඩාත් ඍජුව මැදිහත් වෙමින් සිටී. එහෙත් කම්කරු “සාමය” බලහත්කාරයෙන් පැටවීමේ මෙම සැලසුම් ආපස්සට කරකැවෙමින් පවතී. ඒවා විසින් ඉමහත් කෝපයක් දල්වා ලනු ලැබ ඇති අතර, හුදෙක් AFL-CIOව පාලනය කරමින් එහි කාර්ය සම්පාදනය කරන විධායකයන් සමඟ පමනක් නොව, ධනේශ්වර රාජ්‍යය ම සමඟ ද ගැටුමක් සඳහා එමඟින් වේදිකාව සැකසෙමින් පවතී.

24. එක්සත් ජනපදයේ මතු වෙමින් පවත්නා දෙය වූ කලී හුදෙක් ආර්ථිකයේ අවනතියකට කම්කරුවන් විසින් කලින්කලට දක්වනු ලබන ප්‍රතික්‍රියාවක් නොව, සමාජ ප්‍රතිවිප්ලවයේ දශක ගනනාවක් විසින් නිර්මිත සමාජ පිපිරීමකි. 1980 දී රොනල්ඩ් රේගන් තේරී පත්වීමෙන් හා 1981 දී පැට්කෝ වර්ජනය කුඩුපට්ටම් කිරීමෙන් ඇරැඹී පසුගිය දශක හතර, පන්ති අරගලයේ කුරිරු මැඩ පැවැත්වීමක් පිලිබඳව සාක්ෂි දැරීය. එහෙත් එකී දශක හතර තුල ඇමරිකානු ධනවාදය ද බලගතු වෙනසකට භාජනය වූයේය. අද දින ඇමරිකානු සමාජය බිඳ වැටෙමින් පවතී. පශ්චාත් යුද කාලීන “ඇමරිකානු සිහිනයේ” ද්‍රව්‍යමය පදනමෙහි සමස්ත අන්තර්ගතය ඉවත් කෙරී ඇති අතර, ඇමරිකාවට ලෝක ආධිපත්‍යයික බලය ලෙස තමන් දැරූ ස්ථානය අහිමි වී ඇත.

25. මෙහි අදහස වන්නේ, AFL-CIOවට කම්කරු පන්තිය මත ආධිපත්‍යය දැරීමට ඉඩ සැලසූ වෛෂයික කොන්දේසි අහෝසි වී ඇති බව සහ ප්‍රති-කොමියුනිස්ට්වාදයේ සංකල්පීය බලපෑම බලවත් ලෙස නාය ගොස් ඇති බවයි. “අසීමිත අවස්ථාවන්ගේ දේශය”, “අසීමිත දුක් පීඩාවන්ගේ දේශය” බවට පරිවර්තනය වීම, මාක්ස්වාදයේ වර්ධනය සඳහා අතිමහත් ශක්‍යතාවයන් නිර්මානය කිරීමට පටන් ගනිමින් පවතී. සිය 2010 වැඩ පිලිවෙලේ සසප ලියූ පරිදි, “වෛෂයික තතුවල වෙනස් වීම, ඇමරිකානු කම්කරුවන්ට සිය අදහස් වෙනස් කර ගැනීමට මඟ පෙන්වනු ඇත.”

26. 2021 දී, සමාගමට හා UAW සමිතියට එරෙහි ව වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු කැරැල්ලට ප්‍රතිචාර ලෙස ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවී ය:

ඉතිහාසයේ ඵල විපාක දීම ලෙස සැලකෙන දෙයක් ඇත. පසුගිය අවුරුදු 40 පුරා කම්කරු පන්තියට එරෙහි ව ධනේශ්වර ක්‍රමය විසින් සිදු කරන ලද අපරාධ වෙනුවෙන් පාලක පන්තිය, කම්කරු පන්තියට ප්‍රහාර එල්ල කරමින් තමා අතිමහත් ලෙස සමෘද්ධිමත්වීමේ ක්‍රියාවලිය තුල දී ම, නිෂ්පාදනයේ ධනේශ්වර පර්යාය දැවැන්ත ලෙස ප්‍රසාරනය කිරීම හා සමෝධානය කිරීම සිදු කර ඇත. විද්‍යාවේ හා තාක්ෂනයේ අති විශාල ප්‍රගමනයන්ගෙන් දිවැවෙන මෙම ක්‍රියාවලියේ වඩාත් ම කැපී පෙනෙන හා විප්ලවවාදී ප්‍රතිවිපාකය වන්නේ ලෝක ගෝලීය කම්කරු පන්තියේ දැවැන්ත වර්ධනයයි.

27. ලෝක ගෝලීය කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවත්නා ව්‍යාපාරයේ කොටසක් ලෙස ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලන පිබිදීම සඳහා වෛෂයික කොන්දේසි මුහුකුරා ගොස් ඇත. 2021 ජනවාරි 6 දින ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනයෙන් හා ඩිමොක්‍රටික් පක්ෂය ඊට දැක් වූ බෙලහීන ප්‍රතිචාරයෙන් ප්‍රකට වූ එක්සත් ජනපද දේශපාලන පර්යායේ පුපුරනසුලු අර්බුදය, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික බිඳ වැටීමේ තවත් ප්‍රකාශනයකි. ඇමරිකානු සමාජ අර්බුදයට විසඳුම අනම්‍ය ද්වි පක්ෂ ක්‍රමයෙන් නොලැබෙන බවත්, එය ලබා ගත හැක්කේ ඊට එරෙහි ව කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය ගොඩනැඟීමෙන් බවත්, එය තහවුරු කරයි. එහෙත් මෙම ව්‍යාපාරය එහි විප්ලවවාදී විභවය සාක්ෂාත් කරන්නේ ද යන්න රඳා පවතින්නේ සසප ක්‍රියාකාරීත්වය මත ය.

සසප කර්තව්‍යයෝ

28. මෙම තත්ත්වය විසින් පක්ෂය හා එහි කේඩර මත අතිමහත් වගකීම් භාරයක් පැවරෙයි. කම්කරු පන්තියේ බලගතු ව්‍යාපාරයක් ආරම්භ වෙමින් පවතී. ඉදින් එය AFL-CIO නිලධරය විසින් කඩාකප්පල් කරනු හා පාවා දෙනු නොලැබීමට නම්, මෙම ව්‍යාපාරය තමන් ස්වාධීන බලයක් බවට හා ලෝක ව්‍යාපාරයක කොටසක් බවට පත් කල හැකි ආකාරයේ සංවිධානාත්මක හා දේශපාලනික ක්‍රමෝපායයන් සොයා ගත යුතු ය. මෙම ක්‍රමෝපායයන් සම්පාදනය කල හැක්කේ සසපයට පමනෙකි. කක්‍රිකජාසය වර්ධනය කිරීම එලඹෙන කාල පරිච්ඡේදයේ සසපයේ කේන්ද්‍රීය කර්තව්‍යයක් වනු ඇත.

29. ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලය ප්‍රවර්ධනය කිරීමේ හා එය ජනයා අතර ප්‍රකට කිරීමේ නියුක්ත වීම මඟින්, කම්කරුවන්ගේ හා තරුන ජනයාගේ කිසිදා නොවූ විරූ තරමේ පුලුල් ස්ථරයන් තමන් කරා ආකර්ෂනය කර ගනිමින්, පක්ෂය මෙම මාවත හැඩ ගස්වා ගත යුතු ය. පක්ෂය සිය ආනුභාවය සඳහා සටන් වදින තීරනාත්මක වැඩබිම්, නිවහන් ප්‍රදේශ හා පාසල් හඳුනා ගත යුතු ය. එහි ශාඛා හා සාමාජිකයන්, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව හා පොදු ක්‍රියාකාරීත්වයේ නායකත්ව සංවිධාන ලෙස මෙන් ම, විවිධ අරගලවල අත්දැකීම් සමස්ත පන්තියේ පොදු දේපලක් බවට පත් කරන පාසලක් ලෙස ද කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැඟීමට ක්‍රමානුකූල ව, සවිඥානක ව හා නිර්මානාත්මක ලෙස සටන් කල යුතු ය. වර්ගවාදය, අනන්‍යතා දේශපාලනය, සහ සංක්‍රමනික විරෝධී ජාත්‍යෝත්තමවාදය හරහා කම්කරුවන් භේද කිරීමට ගන්නා සියලු ප්‍රයත්නවලට නිර්දය ලෙස එරෙහි වෙමින්, සියලු ජන වර්ගවලට, ජාතික පසුබිම්වලට, වයස්වලට සහ කුසලතා කුලකවලට අයත් කම්කරුවන් එක්සත් කිරීමට පක්ෂය පරිශ්‍රම දැරිය යුතු ය.

30. 2022 වසරේ කක්‍රිකජාසයේ කටයුතුවල වැදගත් අංගයක් වන්නේ මැක් ට්‍රක් කම්කරුවෙකු වන විලියම් ලෙහ්මන්, අධිකරනයෙන් පත් කල නිරීක්ෂනයක් යටතේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන UAW නිලවරනයේ දී එහි සභාපතිකමට තරඟ කිරීමයි. සසප ලීමන්ගේ නිලවරන ව්‍යාපාරය අනුමත කරයි. ඒ, UAW නායකත්වය වෙනස් කිරීම මඟින් එය “ප්‍රතිසංස්කරනය” කිරීමේ ප්‍රයත්නයක් ලෙස නොව, නිලධරය විසුරුවා හැරීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවලට බලය ගැනීමට හා එහි සම්පත් පෙරලා කම්කරුවන් අතටම ගැනීමට මෝටර් රථ කම්කරුවන්ගේ පුලුල්ත ම කොටස් මහජන ව්‍යාපාරයක් තුල බලමුලු ගැන්වීමේ උපක්‍රමයක් ලෙස ය.

31. කම්කරු පන්තියේ සෑම කොටසක් තුල ම සිය මැදිහත් වීම් හරහා සසප සාමාජිකයන්, කම්කරුවන් සමඟ ක්‍රමානුකූල ව සම්බන්ධකම් හා දේශපාලන සබඳතා වර්ධනය කර ගැනීම මඟින්, හොඳ ම හා වඩාත් ම බැරෑරුම් කම්කරුවන් සමාජවාදීන් ලෙස පුහුනු කිරීම මඟින් හා ඔවුන් පක්ෂයට බඳවා ගැනීම මඟින් කම්කරු පන්තියේ නායකත්වය සඳහා සසපයට ඇති අයිතිය තහවුරු කර ගැනීමට සටන් වදිනු ඇත.

Loading