දුම්රිය කම්කරුවෙකු සහ යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා සමාජවාදී අපේක්ෂක විල් ලෙහ්මන් අතර ලිපි හුවමාරුව: ක්‍රියාකාරී කමිටු ගොඩනගන්නේ කෙසේ ද?

[මෙය Exchange with a railroad worker and Will Lehman, socialist candidate for UAW president: How to build rank-and-file committees මැයෙන් 2022 අගෝස්තු 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මැක් ට‍්‍රක් රථ කම්කරුවෙකු වන යුනයිටඩ් ඔටෝ වර්කර්ස් හි සභාපති ධූර අපේක්ෂක විල් ලෙහ්මන් හට දුම්රිය කම්කරුවෙකුගෙන් පහත ලිපිය ලැබුනි. ලෙහ්මන්, යූඒඩබ්ලිව් යාන්ත‍්‍රනය අහෝසි කිරීමේ සහ ක්‍රියාකාරී කමිටු හරහා කම්කරුවන්ගේ බලය ගොඩනැගීමේ වේදිකාවක් මත දිරියට යමින් සිටී. කම්කරුවාගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ලිපි හුවමාරුව සංස්කරනය කර ඇත.

දුම්රිය කම්කරුවෝ වසර තුනකට ආසන්න කාලයක් නව කොන්ත්‍රාත්තුවක් නොමැතිව සිටිති. බයිඩන් විසින් පත් කරන ලද 'ජනාධිපති හදිසි ජනාධිපති බේරුම්කාර මන්ඩලය' (Presidential Emergency Board) විසින් නිකුත් කරන ලද මෑත වාර්තාව නිසා ඔවුන් කුපිත වී ඇත, එය සෑම කරුනක් සම්බන්ධයෙන්ම පාහේ දුම්රිය සමාගම්වලට හිතකර විසඳුමක් යෝජනා කරයි. වර්ජන ක්‍රියාමාර්ග සඳහා දුම්රිය කම්කරුවන් අතර අතිමහත් මනෝභාවයක් ද එලෙසින් ම, ජනාධිපති බේරුම්කාර මන්ඩලය පත් කරන ලෙස බයිඩන්ට බල කිරීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සමඟ කලකිරීමක් සහ කෝපයක් ද ඇත. වාර්තාව නිකුත් කිරීමෙන් පසු වෘත්තීය සමිති දැන් ජාම බේරා ගැනීමක යෙදී සිටී. මෙය දුම්රිය සමාගම් මෙන් ම වෘත්තීය සමිති නිලධරය යන දෙකට ම විරුද්ධ වීමටත් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමටත් දුම්රිය කරුවන් අතර වැඩෙන උනන්දුවට දායක වේ.

ලෝසවෙඅ ලෙහ්මන්ගේ උද්ඝෝෂනයට සහය පල කරයි. විල් ලෙහ්මන්ගේ උද්ඝෝෂනය පිලිබඳ වැඩි විස්තර සඳහා WillforUAWPresident.org වෙත පිවිසෙන්න.

***

2021 ජූනි 15 වන දින, බීඑන්එස්එෆ් දුම්රිය පර්යන්ත කම්කරුවෙකු ඉලිනොයිස්හි, ගේල්ස්බර්ග් හිදී භාන්ඩ ප්‍රවාහන දුම්රියක් පිටත් වීම නිරීක්ෂනය කරයි. වැඩ පැහැර හැරීමේ චෝදනා යටතේ කම්කරුවන්ට දඩ නියම කල හැකි නව පැමිනීමේ ප්‍රතිපත්තියකට එරෙහි ව ලබන මාසයේ එහි වෘත්තීය සමිති දෙකක් වැඩ වර්ජනයකට යාම වැලැක්වීමට බීඑන්එස්එෆ් දුම්රිය සමාගම ෆෙඩරල් අධිකරන තීරනයක් බලාපොරොත්තු වෙයි. (ඒපී ඡායාරූප/ෂෆ්කට් අනෝවර්, ගොනුව)

හිතවත් විල්,

මම එක්සත් ජනපදයේ පලමු පන්තියේ දුම්රිය මාර්ගයක දුම්රිය එන්ජින් රියදුරෙක්මි. අපගේ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කන්ඩායම් නිර්මානය කිරීම ගැන මට දිගින් දිගට ම අසන්නට ලැබේ. මම මෙය මගේ ප්‍රදේශයේ කිරීමට උනන්දු නමුත් ඒ කෙසේදැයි වැඩි දෙයක් නොදනිමි.

කොතනින් කෙසේ පටන් ගත යුතු දැයි මට වැටහෙන්නේ නැත. මට ප්‍රාදේශීය ක්‍රියාකාරී කන්ඩායමක් සංවිධානය කිරීමට ආරම්භකත්වයක් ගත හැකි මුත් ඉන් පසු කරන්නේ කුමක්දැයි වැටහීමක් නැත. මේ සදහා බලපාන නෛතික තත්ත්වයන් මොනවා ද? මේ මග පෙන්වීම ලබා ගත හැකි ලියවිලි හෝ ඔබගේ උපදෙසක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි.

විල්: ක්‍රියාකාරී කමිටුවක අරමුන වන්නේ කම්කරුවන් ස්වාධීන බලයක් ලෙස සංවිධානය කිරීමයි. සමාගමට පමනක් නොව, සංගත ගැති වෘත්තීය සමිති යාන්ත්‍රනයට ද එරෙහිව සටන් කිරීමට ඔවුන් සූදානම් කිරීම සහ නිලධරය විසින් කම්කරු අරගලයේ ගෙල සිර කිරීමට එරෙහිව සටන් කිරීම මෙහි අරමුනයි. දුම්රිය කම්කරුවන් සම්බන්ධයෙන් නම්, වැඩවර්ජන ක්‍රියාමාර්ග සඳහා ඇති අභිලාශය අතිමහත් බව මම දනිමි. කෙසේ වෙතත්, ගැටලුව පවතින්නේ—බීඑල්ඊටී, ස්මාර්ට්-ටීඩී යනාදී—දුම්රිය වෘත්තීය සමිති දුම්රිය කම්කරු නීති පනතෙහි විධිවිධාන දෙසට සියල්ල හරවා යවමින්, වැඩ වර්ජන විරෝධී වාරන ආක්‍රමනශීලී ලෙස ක්‍රියාත්මක කරමින්, ආන්ඩුව “අපක්ෂපාතී බේරුම්කරුවෙකු” ලෙස පෙන්වන මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීම තුල ය. ජනාධිපති බේරුම්කාර මන්ඩල තීන්දුවෙන් මේ සියල්ල හෙලිදරව් වී ඇති අතර, දැන් දුම්රිය කම්කරුවන්ට එපා වී ඇත.

මගේ වැටහීම නම් සැප්තැම්බර් 15 තරම් මෑත දිනක ඔබට නීත්‍යානුකූල ව වැඩවර්ජනය කිරීමට හැකිවනු ඇති බවයි. නමුත් සියල්ලට ම පලමු ව, ඔබ සහ ඔබේ සහෝදර කම්කරුවන් ඒකමතික ව වැඩවර්ජනයක් ඉල්ලා සිටියත් එ පමනින් වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවනු ඇති යැයි නොසිතිය යුතුයි. ඔවුහු සංගතවල සහ රාජ්‍යයේ බැලයෝ වෙති. වර්ජනයක් පිපිරී යාම වැලැක්වීමට ඔවුන් හැකි සෑම දෙයක්ම කරනු ඇත. දුම්රිය සමාගම්වල කොටස් හිමියන් සහ බයිඩන් පරිපාලනය ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ එයයි. වැඩ වර්ජනයක් සිදු වුවහොත්, හෝ සමහර විට ඊට පෙර පවා, කොන්ග්‍රසය මැදිහත් වීමට උත්සාහ කරනු ඇත.

දුම්රිය කම්කරුවන්ට ප්‍රබල සතුරෝ සිටිති. නමුත් දුම්රිය කම්කරුවෝ ඊට වඩා බලවත් වෙති. ඔබ දන්නා පරිදි දුම්රිය වර්ජනයක් සමස්ත රට ම වසා දමනු ඇත. එය, පිම්මේ ඉහල යන උද්ධමනය හා දරා ගත නොහැකි අධික වැඩ කරමින් සිටින අපගේ ම ඉල්ලීම් ඉදිරියට දැමීම සඳහා සංඥාවක් ලෙස සලකන, කම්කරු පන්තියේ අප සියලු දෙනාගෙන් ද එයට දැවැන්ත සහයෝගයක් ලැබෙනු ඇත. කෙසේ වෙතත්, ගැටලුව වන්නේ, දුම්රිය කම්කරුවන් විසින් ම පාලනය කෙරෙන සහ සැබෑ ලෙස ඔවුන් නියෝජනය කරන සංවිධානයක් දුම්රිය කම්කරුවන්ට නොමැති වීමයි. එබැවින් ක්‍රියාකාරී කමිටු පිහිටු වීමේ හා ගොඩනැගීමේ අවශ්‍යතාවය මතු වේ.

දැන් ඔබේ ප්‍රශ්නයට පිවිසෙමු, කෙනෙක් කොහොමද ක්‍රියාකාරී කමිටුවක් හදන්නේ? කමිටුවක් ස්වභාවික ව ම පලමු පන්තියේ සියලු ම දුම්රිය කම්කරුවන් හරහා සහභාගීත්වය ඇතුලත් කර ගැනීම දක්වා පුලුල් කිරීමට උත්සාහ ගන්නා අතර ම, අවම වශයෙන් දුම්රිය කම්කරුවන්ගේ තීරනාත්මක කොටසක් ඔවුන්ගේ සංවිධානය, ඔවුන්ගේ නායකත්වය ලෙස දැකිය යුතු ය. නමුත් එය සොයා ගැනීමට ඔබට එම මට්ටමේ සහයෝගය ලැබෙන තෙක් බලා සිටිය යුතු බවට සිතිය යුතු නැත. ඔබ ඔබේ සගයන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු සමඟ කතා කර ඇත්නම් සහ ඔවුන් කමිටුවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයට එකඟ වන්නේ නම්, ඔබට ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට පදනමක් ඇත.

කමිටුවට බලය ලැබෙන්නේ, ප්‍රථමයෙන් ම, කම්කරුවන් සඳහා ශක්‍ය උපාය මාර්ගයක් ඇති එකම කන්ඩාය ම සහ කම්කරුවන්ගේ ගැඹුරින් ම දැනෙන විරෝධය ප්‍රකාශ කරන සහ එයට ප්‍රකාශිත ස්වරූපයක් ලබා දෙන එක ම කන්ඩායම එය වීමෙනි. එවිට ඔබට ආරම්භක ප්‍රකාශයක් වෙත යා හැකි අතර, මගේ උද්ඝෝෂනයට ඔබට නිර්නාමික ව ලිවීමට සහ ප්‍රකාශනයට පත් කිරීමට උපකාර කල හැකි ය. එවිට ඔබට, කමිටුව කුමක්ද, එය ආරම්භ කර ඇත්තේ මන්ද සහ එය සටන් කරන්නේ කුමක් සඳහා ද යන්න පිලිබඳ පැහැදිලි කිරීම හැකිතාක් පුලුල් ලෙස බෙදා හල හැක. එහි උපාය මාර්ගය කුමක් ද සහ එහි ඉල්ලීම් මොනවා ද? මෙම ආරම්භක වැඩසටහනේ පදනම මත, ඔබට කමිටුවේ බලපෑම සහ සාමාජිකත්වය පුලුල් කිරීමේ කාර්යය ආරම්භ කල හැකි ය.

ප්‍රායෝගිකව කමිටු කෙබඳුදැයි බැලීමට, පසුගිය වසරේ වර්ජිනියා හි ඩබ්ලින් හි වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන්ගේ වර්ජනය සමාලෝචනය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. “යුනයිටඩ් ඔටෝ වර්කර්ස්” විසින් ගෙන එන ලද බහුවිධ පාවාදීමේ කොන්ත්‍රාත්තුවලට විරුද්ධත්වය බලමුලු ගැන්වීම සහ වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිතියට බල කිරීම සඳහා එහි ක්‍රියාකාරී කමිටුව තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේ ය. එය ඇත්ත වශයෙන්ම, මට විශාල බලපෑමක් ඇති කලේ ය. මම මුලින්ම වැඩවර්ජනයට සහය දැක්වීම සඳහා මැක් ට්‍රක්ස්හි මගේ කම්හලේ ක්‍රියාකාරී කමිටුව ආරම්භ කලෙමි.

අන්තිමට තව එක් දෙයක් – ඔබ කමිටුවල නීතිමය තත්ත්වය ගැන ඇසුවෙහි ය. ක්‍රියාකාරී කමිටුව සම්පූර්නයෙන්ම නීත්‍යානුකූල බවත්, ප්‍රකාශනයේ නිදහස පලමු සංශෝධන ආරක්ෂනය යටතේ ආරක්ෂා කර ඇති බවත් ප්‍රථමයෙන්ම ඔබට සහතික කිරීමට ඉඩ දෙන්න. එහෙත් වෘත්තීය සමිති නිලධරය කතා කිරීමේ නිදහස නොහඳුනයි. එබැවින් පලිගැනීම්වලට එරෙහි ව ආරක්ෂාවක් ලෙස එහි සාමාජිකයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ඔබ විශේෂයෙන් කමිටුවේ මුල් අවධියේදී පියවර ගත යුතු ය.

සංගමයේ නීත්‍යානුකූල තත්ත්වය ගැන බොරු කීම ඇතුලු ව කමිටුවට සම්බන්ධ වීමෙන් කම්කරුවන් බිය ගැන්වීමට වෘත්තීය සමිතිය ඔවුන්ට කල හැකි සෑම දෙයක්ම කරනු ඇත. කමිටුව විකල්ප කේවල් කිරීමේ නියෝජිතයෙකු වන බැවින් කමිටුවක සාමාජිකත්වය සංගමයේ සාමාජිකත්වයට නොගැලපෙන බව ඔවුන් ව්‍යාජ ලෙස ප්‍රකාශ කරනු ඇත, නමුත් වෘත්තීය සමිතියේ සාමාජික මුදල් ගෙවන්නේ ඔබ බැවින් මෙය අසත්‍යයකි. කමිටුවේ අරමුන වන්නේ සාමාන්‍ය කම්කරුවන් අතට කටයුතු අර ගැනීමයි. වෘත්තීය සමිති නිලධරයේ කූටෝපාය සඟවා තැබීම සඳහා “සාමාජිකත්වය යනු වෘත්තීය සමිතිය” යැයි ප්‍රකාශ කිරීමෙන් වෘත්තීය සමිති නිලධාරීන් කිසිවිටෙක වෙහෙසට පත්වන්නේ නැත. එහෙත් ක්‍රියාකාරී කමිටුවලට ඔවුන් දක්වන ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ යථාර්ථයේ දී නිලධරය දකින්නේ තමන් ම සංගමය ලෙස මිස එය සාමාජිකයන්ගේ දෙයක් ලෙස නොවන බවයි. ක්‍රියාකාරී කමිටුවට ඔවුන් දක්වන ප්‍රතිචාරයෙන් ම, ක්‍රියාකාරී කමිටු මුලින් ම අවශ්‍ය වන්නේ මන්දැයි හරියට ම පෙන්වනු ඇත!

අප හා සම්බන්ධ වූවාට ස්තුතියි,

විල්

[සංස්කාරක සටහන: WSWS.org/workers වෙත පිවිසීමෙන් කම්කරුවන්ට ක්‍රියාකාරී කමිටු පිලිබඳ වැඩිදුර තොරතුරු සොයා ගත හැක. අපි පහත “වැඩිදුර කියවන්න” කොටසේ ලෝසවෙඅ හි ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාකාරී කමිටුවල තෝරා ගත් ප්‍රධාන ප්‍රකාශ ද ඇතුලත් කරන්නෙමු.]

Loading