ත්‍රීරෝද රථ රියදුරෝ තම ජීවන කොන්දේසි ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව සහ පෙර පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ඉන්ධන මිල දැවැන්ත ව ඉහල නංවා සැපයුම සීමා කරනු ලැබීම හේතුවෙන්, ලක්ෂ සංඛ්‍යාත මහජනයා, තම ජීවන වෘත්තීන් පවත්වා ගෙන යාමට නොහැකි තත්වයට ඇද වැටී සිටිති. ත්‍රිරෝද රථ රියැදුරන් ඉන් ප්‍රමුඛත ම කොටසකි.

ජාතික ඉන්ධන අවසර පත් (QR) ක්‍රමය යටතේ ත්‍රීරෝද රථ සදහා ලැබෙන්නේ සතියකට ඉන්ධන ලීටර 5 ක් පමනි. එය අතැම් විට වරුවෙන් ද තවත් විටක දවස් දෙකකින් ද අවසන් වෙන බව රියදුරෝ පවසති. සතියේ දින 6ක් හෝ 5ක් ඔවුනට රැකියාවේ නියැලීමට නොහැක. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව, 2020 ජනවාරි 16 වන විට, ලංකාවේ ලියාපදිංචි ව තිබූ සමස්ත ත්‍රිරෝද රථ සංඛ්‍යාව 1,175,077 කි. එම දත්ත මගින් පෙන්නුම් කරන්නේ, ත්‍රිරෝද රියැදුරු වෘත්තියෙන් දිවි ගැට ගසා ගත් ලක්ෂ සංඛ්‍යාවකට සහ ඔවුනගේ පවුල්වලට ජීවත් වීමේ කොන්දේසි ඇහිරී ඇති බවයි.

පූර්න කාලීන වෘත්තියක් ලෙස ත්‍රීරෝද රථ ධාවනය කරන පිරිස හඳුනාගැනීමෙන් අනතුරු ව ඔවුන් සඳහා ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරනයක් ගන්නා බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර පැවසූ බව අගෝස්තු 9 දා මාධ්‍ය වාර්තාවන් හි සඳහන් වූ නමුත් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැත.

මේ අතර, ඉන්ධන අර්බුදය ඇතුලු ත්‍රීරෝද රථ රියදුරන්ට පවතින ගැටලු විසඳීමට තමා මැදිහත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූ බව සැප්තෑම්බර් 3 දා අරුන පුවත්පත වාර්තා කලේ ය. මෙය, ආන්ඩුවට එරෙහි ව වැඩී ඇති මහජන විරෝධය ගසා කෑමේ ප්‍රලාපයකට වැඩි යමක් නොවේ.

ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හදිසි නයක් ලබා ගැනීමට සූදානම් වෙයි. ආන්ඩුව එය ලබා ගන්නේ, තමා මුහුන දී සිටින අර්බුදයේ සියලු බර කම්කරු පීඩිත මහජනතාව මත පැටවීමේ කොන්දේසි වලට යටත් ව ය. රාජ්‍ය රැකියාවන්හි දැවැන්ත කප්පාදු, සුවිසල් බදු සහ වේගවත් පුද්ගලීකරනය ඒ අතරින් ප්‍රමුඛ වේ. එමගින්, ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුලු පීඩිත මහජනතාව මුහුනදෙන කොන්දේසි වඩාත් උග්‍රවනු ඇත.

සර්ව-පාක්ෂික පාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කරනු! ජාමූඅ කප්පාදු එපා! කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනැගීමට සටන් කරනු!” යන හිසින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිකුත් කල ප්‍රකාශයේ පිටපත් බෙදා හරිමින් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් කොලඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශයන්හි ත්‍රිරෝද රථ රියදුරන් අතර කල උද්ඝෝෂනයේ දී ඔවුහු තමා මුහුන දෙන දුෂ්කර කොන්දේසි ගැන විස්තර කලහ.

මොරටුව, අඟුලාන හන්දියේ පිහිටි, ත්‍රිරෝද 40 කින් පමන යුත් රථගාලේ රියැදුරන් විසින් පිහිටුවාගෙන ඇති සුමිතුරෝ ත්‍රීරෝද සංගමයේ සංවිධායක ආසිරි තමන් මුහුන දෙන ගැටලු මෙ ලෙස පැහැදිලි කලේ ය:

“දැන් අපිට සුමානෙකට දෙන්නේ පැට්‍රල් ලීටර් 5 යි. එම ප්‍රමානයෙන් සුමානෙකට දවස් දෙකයි වැඩ කරන්න පුලුවන්. හරියට දිව්වොත් ඔය ලීටර් 5 වරුවෙන් ඉවරයි. දැන් අපි අවම ගාස්තුව රු 120 කරලා තියෙන්නේ වැඩිවන හැම කිලෝමීටරයකටම රු. 100 ක් අය කරනවා. “අපිට පෙට්‍රල් මදිවුනාම අනිත් අයගෙන් පෙට්‍රල් ලිටරය රු600 ට රු 700 ට වැඩිමිලට ගන්නවා.”

අගුලාන හන්දියේ සුමිතුරෝ ත්‍රීරෝද රථ සංගමයේ සංවිධායක ආසිරි

තව දුරටත් කතා කරමින් “මොනවා කරන්න ද? බෙල්ලේ වැල දාගන්න තමයි සිද්ධ වෙන්නේ.මම අවුරුදු 30ක් මේ රස්සාව කලා. අපි හම්බකල දෙයක් නැහැ. ඉස්සර අපි සාමාන්‍යයෙන් කාලා බීලා ජීවත් වුනා. දැන් අපිට කොහොමටවත් ජීවත් වෙන්න බැහැ.'

ඔහු තව දුරටත් පැවසූයේ, ඔවුනට වෙනත් කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොමැති බවයි. සෑම භාන්ඩයමක මිල දිනෙන් දින ඉහල යන බව කියා සිටි ඔහු, “දවස් දෙකක් වැඩකරලා ඊලග දවස් පහේ අපි මොනවද කන්නේ ? මොනවද ලමයින්ට කන්න දෙන්නේ ?දැන් රෝද තුනෙන් ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ” යැයි පැවසී ය.

වාහන නඩත්තු කිරීම ඉතා අපහසු බවත් ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ඔහු විස්තර කලේය: “රු20 ට රු25ට දාපු කේබල් එක දැන් රු80 වයි, රු 100 යි . ඉස්සර ෆෝ ස්ට්‍රෝක් ත්‍රීවිල් එකක් සර්විස් කරන්න රු3500 ක් රු4000 විතර ගියා. දැන් සර්විස් කරන්න රු 7000 විතර යනවා. රු450 ට තිබුනු ඔයිල් ලීටරය දැන් රු1800 යි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 5000 ගියා ම සර්විස් කරන්න ඕන. දැන් මගේ ත්‍රීවිලය කිලෝමීටර් 20000 ගිහිල්ලා. තව ම සර්විස් කරලා නැහැ. '.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ජාතික පරිමාන සංවිධානයක් තිබුන ද ඉන් කවර හෝ යහපතක් සිදු නොවන බව පැහැදිලි කරමින් ඔහු මෙසේ කීවේ ය: “සංවිධානයක් තියෙනවා. එකෙන් වැඩක් නෑ.දැන් රජයෙන් යොජනා කලොත් සාකච්ඡාවකට ඒන්න කියලා, කොලඹ ඉන්න සභාපති යනවා සාකච්ඡාවට ගිහිල්ලා රජය කියන දේ පිලිඅරගෙන එනවා. එයාට මොනවා හරි වරප්‍රසාදයක් දුන්නොත් එයා කට වහගන්නවා. අපේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ.”

මොරටුව සොයිසාපුර රුහුනු ස්ටෝර්ස් ඉදිරිපිට ත්‍රිරෝද 10 ක රථගාලේ රියදුරෙක් ප්‍රකාශ කලේ “දැන් ඉස්සර වගේ හයර් නැහැ. ඉස්සර අපි රු.50ට රු.60ට ගිය දුර අපි දැන් යන්නේ රු 100ට ඒ නිසා හුඟක් අය දැන් පයින් යනවා.”

රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව යෝජනා කරන සර්ව පාක්ෂික ආන්ඩුව සම්බන්ධ ව අදහස් දක්වමින්, පාර්ලිමේන්තුවේ සිටින 225ම විශ්වාස නොකරන බව ඔහු පැවසී ය: “අපේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. ඒක වෙනස් නොකර කවදාවත් හරියන්නේ නැ. ඔය ව්‍යවස්ථාව ජේ.ආර්. ගෙනත් තියෙන්නේ ඒ කට්ටියට උපරිම වාසි ලැබෙන විදියට මහජනතාවට වාසි ලැබෙන විදියට නොවෙයි. ඇමති කෙනෙක් කොච්චර ලොකු වරදක් කලත් එයාව අත්අඩංගුවටගන්න බැහැ.” ඔහු තවදුරටත් කියා සිටියේ දුප්පත් කම නිසා කෙහෙල් කැනක් කපපු මිනිහෙක් විනාඩි 10න් අත්අඩංගුවට ගන්නා බව යි.

සොයිසාපුර හන්දියේ හි ත්‍රීරෝද රථ හිමියන් 70 දෙනෙකු පමන සංවිධානය වී සිටින ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් දෙදෙනෙකු වන සරත් හා සමන් යන දෙදනා ද ලෝසවෙඅ ට කරුනු දැක්වූහ.

සොයිසා පුර ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් දෙදෙනකු වන සරත් සහ සමන්

සරත්: “ජීවත්වෙන්න ලැබෙන්නේ මාසෙකට පැට්‍රල් ලීටර් 20 යි.නමුත් ඇමති කෙනෙකුට ලැබෙනවා මාසෙකට පැට්‍රල් ලීටර් 1800ක්. වෘත්තිය සමිතියක් තියෙනවා. ඒකෙනුත් ක්‍රියාමාර්ගයක් නැහැ. ඒගොල්ලෝ සැප්තැම්බර් මාසයේ සතියකට පැට්‍රල් ලීටර් 15ක් අරන්දෙනවා කිව්වා. ඒත් නැහැ.”

මේ වනවිට ඔවුනට ෆිනෑන්ස් වාරික ගෙවීම බරපතල ප්‍රශ්නයක් වී ඇති බව සරත් පෙන්වා දුන්නේ මෙසේය. “මම මාසෙකට රූ. 15400 ෆීනෑන්ස් ගෙවන්න ඕනා. මට මාස 3ක ඇරියස් තියෙනවා ගෙවන්න .ෆීනෑන්ස් කොම්පැනියෙන් කෝල් කරනවා. මම කිව්වා තෙල් අර්බූදයේ ඉන්නේ පොඩ්ඩක් ඉන්න අපි කොහොම හරි ගෙවන්නම් කියලා. ෆීනෑන්ස් කොම්පැනි කාරයෝ අපිට ගානට පොලිය දානවා.”

සමන්: “කොරෝනා කාලේ ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව මට රු. 180,000 ඇරියස් වුනා .ඒකට අවුරුද්දට පොලිය රු. 180,000 නියම කරල තිබුනා. එකට එකක් පොලිය. මගේ වාහන දෙකකට. කාර් එකටයි ත්‍රීවීල් එකටයි. මම කිව්වා වාහන දෙකට ගිනි තියනවා කියලා. කොහොම හරි ටිකක් අඩු කලා.”

“මිල ඉහලයාම නිසා ලමයෙකුට අශාවට යමක් අරන් යන්න විදියක් නෑ. ඉස්සර රු. 30 ට රු 40 තිබුන ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එක දැන් රු.160 යි. රු. 100 තිබුන ලෙමන්පෆ් එක දැන් රු.360 යි. පොඩි එවුන් බලන් ඉන්නවා අපි මොනවා හරි ගේනකන්.”

තොටලග කජීමා වත්තේ පදිංචි ව සිටින ත්‍රීරෝද රථ රියදුරෙක් තමන් මුහුනදෙන පෙට්‍රල් ප්‍රශ්නය පිලිබදව මෙසේ කරුනු දැක්වී ය:

“ඊයේ මගේ බාප්පගෙ පුතා ආමර් වීදියේ ඉඳලා කෝල් කලා, අයියේ තෙල් නැති වුනා කියලා කිවුවා. ඔහු තෙල් ටිකක් ඉල්ලුවත් මට තෙල් ටිකක් දෙන්න බැරි වුනා. මගේ ලඟ තිබුනේ තෙල් ලීටරයක් විතර. මම යාන්තමින් ගේ අසලට අවා. අදයි හෙටයි දුවන්නේ නෑ. ඊලඟ දවසෙ සඳුදා. ආයෙ තෙල් කෝටා එක ලැබෙනවා.”

තම ජීවන වෘත්තීන්ට බාධා කරන ඉන්ධන සීමාවන් ඉවත් කර ගැනීමට, බඩුමිල පාලනය කර ගැනීමට, මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය අතුලු සියලු අයිතීන් ආරක්ෂා කර ගැනීමට නම්, නිෂ්පාදනය සහ බෙදා හැරීම ධනපතියන් අතින් කම්කරු පංතිය අතට ගෙන, ධනපතියන්ගේ ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපිරෙන පරිදි සමස්ත ආර්ථිකය ජාත්‍යන්තර පරිමාන ව ප්‍රතිසංවිධානය කර ගත යුතු බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔවුනට පෙන්වා දුන්හ. කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ මෙම සමාජවාදී ආර්ථික වැඩපිලිවල ක්‍රියාවට දැමිය හැකිබව වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කලහ.

අනතුරුව ඔහු මෙසේ පැවසී ය:

“මම හිතනවා සසප කියන ඒ වැඩපිලිවෙල හරි කියලා. අපිට තනියම මේ අරගලය කරන්න බැහැ. කම්කරු පන්ති නායකත්වය යටතේ අනෙකුත් පීඩිත අය සමග එකතු වෙලා මේ වැඩපිලිවෙලට සටන් කරන්න ඕන. ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් මේ තත්වය වෙනස් කරන්න බෑ. දැන් බලන්න වෘත්තීය සමිති නායකයෝ දවසක් ම බල ශක්ති අමාත්‍යාංශය ඉස්සරහා උපවාස කලා. ඒත් වෙනසක් වුනේ නෑ.'

අනෙකුත් ත්‍රිරෝද රථ රියැදුරන්ට මෙම වැඩපිලිවෙල පහදා දිය යුතු බව පැවසූ ඔහු ඒ සඳහා සාකච්ඡාවක් සංවිධානය කිරීමට කටයුතු කරන බව කීවේ ය. තමා ඇතුලු සගයන් නිවාස ප්‍රශ්නයට මුහුන දෙන ආකාරය ද ඔහු පැහැදිලි කලේ ය: “දැන් අපේ ගෙවල් වලට කරන්ට් නැහැ. අපිට හදපු ගෙවල් යතුරු දාලා තාම අපිට දෙන්නේ නෑ. කජීමා වත්තෙ අපි බරපතල ප්‍රශ්නයන්ට මුහුන දෙනවා..”

පසුගිය මහජන නැගිටීම ගැන කෙරුනු සාකච්ඡාවේ දී ඔහු මෙසේ කීවේ ය: “අරගලයෙදි සිංහල, දෙමල, මුස්ලිම් මිනිස්සු එකතු වීම ලොකු දෙයක්. හැබැයි අන්තිමට වුන දේ මොකක්ද? ගෝඨාභය පැන්නුව. රනිල් ජනාධිපති වුනා. ආයි පරන විදියටම වැඩේ කෙරී ගෙන යනවා.”

ඉහත ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගැන්වීම සඳහා කම්හල්වල, වැඩබිම්වල සහ නිවස්නා ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමටත්, එම කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් කැඳවීමටත් සමාජවාදී සමානතා පක්ෂය ගෙනයන වැඩපිලිවෙලට පූර්න සහයෝගය ලබා දෙන බව ද ඔහු පැවසී ය.

Loading