ලංකාවේ කැබිනට්ටුව මර්දනීය “පුනරුත්ථාපන” කාර්යාංශ පනතක් ඉදිරිපත් කරයි

[මෙය Sri Lankan cabinet tables repressive “rehabilitation” bureau bill මැයෙන් 2022 ඔක්තෝබර් 6 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පසුගිය මාසයේ දී, නව රුදුරු පුනරුත්ථාපන කාර්යාංශ පනතක් නිකුත් කලේ ය. කැබිනට් මන්ඩල අනුමැතිය ලැබුනු නව නීතිය, අධිකරන, බන්ධනාගාර කටයුතු හා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ඇමති විජයදාස රාජපක්ෂ විසින් සැප්තැම්බර් 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

නව පනත ව්‍යවස්ථා-විරෝධී යයි තර්ක කරමින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගොනු කොට තිබූ පෙත්සම් හයක් විභාගයට ගැනීම, සඳුදා ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ආරම්භ කරන ලදී.

1980 ගනන් මුල දී, ලංකාවේ මහජන ආරක්ෂක ආඥා පනත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් තනතුරක් ලංකාව තුල ස්ථාපනය කෙරුනි. “නො මග ගිය සටන්කරුවන්, ආන්තික හෝ විනාශකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරත වන පුද්ගලයන්” සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා යයි කියමින්, මධ්‍යස්ථාන කිහිපයක් ඒ යටතේ ස්ථාපනය කෙරුනි.

මෙම මර්දන පියවරයන්, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි 26-අවුරුදු ලේවැකි වාර්ගික යුද්ධය සමයේ යොදාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකු “පෙර සටන්කරුවන්” ලෙස ප්‍රකාශ කොට පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙතට යවන ලදී. 2009 වසරේ එල්ටීටීඊයේ පරාජයෙන් පසුව, ලක්ෂ ගනනක් රඳවාගෙන සිටි, මිලිටරිය විසින් පවත්වාගෙන ගිය වව්නියාවේ කඳවුරුවලින් අල්ලා ගන්නා ලද, තරුනයන් 11,000ක් ද මීට අයත් වූ හ. අත්අඩංගුවට පත් සමහරුන් අතුරුදන් වූ අතර, අනෙකුත් අයට වධහිංසා පමුනුවන ලදි. නිදහස් කරන ලද්දවුන්, ඔත්තු සේවා ඒජන්සිවල අනවරත නිරීක්ෂනය යටතේ සිටී.

නවීකරනය කරන ලද කාර්යාංශයේ සම්පූර්න පාලනය විජයදාස රාජපක්ෂ අතේ තිබෙද්දී, එහි මෙහෙයුම් නීර්නය කරන පාලක කවුන්සිලයට, ආරක්ෂ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙක් සහ පොලිස්පති හෝ ඔහුගේ නියෝජිතයෙක් ඇතුලත් වෙති. මේ දක්වා තනතුර දරා ඇති සියලු කොමසාරිස් ‌ජෙනරාල්වරු ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන් ය.

මෙම කාර්යාංශයෙහි භූමිකාව “ජාතික වැදගත්කමකින්” යුක්ත යයි ප්‍රකාශ කරමින්, එයට කලින් පැවති බලතල නව පනත මගින් පුලුල් කෙරෙයි.“... පෙර සටන්කරුවන්, ප්‍රචන්ඩකාරී අන්තගාමී කන්ඩායම්වල සාමාජිකයන් … සහ පුනරුත්ථාපනය අවශ්‍ය වෙනත් යම් තැනැත්තන් කන්ඩායමක් පුනරුත්ථාපනය කිරීම” එහි රාජකාරි හා මෙහෙයුම්වලට ඇතුලත් වේ. වෙනත් වචනවලින් කියන්නේ නම්, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් වදින පලල් පරාසයක දේශපාලන පක්ෂ හෝ කන්ඩායම්වල සාමාජිකයන්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුල රඳවනු ලැබිය හැක.

පනතට විරුද්ධ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ, එම පනත තුල කිසිදු අධිකරනමය ක්‍රියාවලියක් අන්තර්ගත නො වන නිසා, පොලීසියට ඕනෑ ම අයෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් ඍජු ව පුනරුත්ථාපන කඳවුරුවලට යැවීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙති. පනතෙහි අනෙකුත් වගන්ති අතරට පහත සඳහන් දෑද අඩංගු වෙයි:

  • පුනරුත්ථාපන කඳවුරුවල “බලතල, කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට බලය පවරා ඇත.” ඔවුහු රැඳවියන් පිලිබඳ රහසිගත වාර්තා තබාගනිති.
  • මෙම කඳවුරුවල සේවයේ යොදවනු ලබන සියලු දෙනාගේ රාජකාරිය වන්නේ, “පුනරුත්ථාපනය වෙමින් සිටින තැනැත්තන් අතර සාමය සහ විනය පවත්වා ගෙන යාම” වන අතර, “එවැනි තැනැත්තෙකු (නිලධාරියා) විසින් දෙන ලද යම් නීත්‍යානුකූල විධානයන්ට අවනත කර ගැනීමට බල කිරීම සඳහා සාධාරන ලෙස අවශ්‍ය විය හැකි අවම බලය ඇතුලු එවැනි සියලු උපක්‍රම ඔහු විසින් තත්කාර්ය සඳහා භාවිතා කිරීම” වේ.
  • “මේ පනත යටතේ කාර්යාංශය මත පනවන ලද හෝ පවරන ලද යම් බලතල, කාර්ය හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී හෝ ඉටු කිරීමේ දී සද්භාවයෙන් කරන ලද කිසිවක් සඳහා කාර්යාංශයේ යම් නිලධරයෙකුට හෝ එවැනි නිලධරයෙකු විසින් බලය පවරන ලද යම් නිලධරයෙකුට සිවිල් හෝ අපරාධ වගකීමක් පවරනු නොලැබිය යුතු ය.”

මෙහි අර්ථය වන්නේ, මෙම කඳවුරු භාර ව සිටින මිලිටරි නිලධාරීන් සඳහා, රැඳවියන්ට එරෙහි ව කායික ප්‍රචන්ඩත්වය හා වද බන්ධන යොදාගැනීමට අවසර දෙමින්, ඔවුන්ට ඍජු “මුක්තිය” ලබා දෙන බව යි.

මෑත සිදු වූ සිද්ධියක දී, කඳවුර තුල පවතින අනාරක්ෂිත සෞඛ්‍ය කොන්දේසිවලට එරෙහිව කන්දකාඩු පුනරුත්ථාපන මධයස්ථානයේ රැඳවියන් පලකල විරෝධතාවක් අතරතුර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු යයි චෝදනා ලදු ව එහි රඳවා සිටි 36-හැවිරිදි පුද්ගලයෙකුට සොල්දාදුවෝ මැරෙන තුරු පහර දුන්හ. එම සිද්ධිය අරබයා සොල්දාදුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූව ද නව නීතිය යටතේ රැඳවියන්ට එරෙහි ව ප්‍රචන්ඩත්වය යොදාගන්නා ඕනෑ ම නිලධාරියෙකුට සම්පූර්න නෛතික මුක්තිය ලැබෙනු ඇත.

  • පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නිලධාරීන්ට “බාධා කිරීම” හෝ “එසේ කිරීමට තැත් කිරීම” දඬුවම් ලැබිය හැකි වරදකි. ඊට සැකරුවන් වන අය මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පමුනුවන අතර, එම මහේස්ත්‍රාත්වරයාට රුපියල් 50,000ක දඩයක්, සය මස් සිර දඬුවමක් හෝ ඒ දෙක ම පැනවිය හැකි ය.
  • “ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා ගන්නා අයගේ හැකියාවන්, ආර්ථිකය ඵලදායී ලෙස වැඩි දියුනු කිරිම සඳහා භාවිතා කිරීම සඳහා සංවිධානාත්මක ආකාරයකින් යෙදවීම” එනම්, මෙම කඳවුරු බලහත්කාරී ශ්‍රම කඳවුරු බවට ද පත්වනු ඇත.

මෙම මර්දන පියවරයන් සහ රාජ්‍ය යන්ත්‍රය දැඩි ව ශක්තිමත් කිරීම වනාහි, මිලියන ගනන් කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මාසයේ දී ආරම්භ වූ ආන්ඩුවට එරෙහි මහජන විරෝධතා පුපුරා යාමට දක්වන ප්‍රතිචාරයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට බල කෙරුනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දීර්ඝ-කාලීන ගැත්තෙකු වන, රාජපක්ෂගේ පසුප්‍රාප්තික රනිල් වික්‍රමසිංහ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර තීව්‍ර කර තිබේ.

අප්‍රේල් පටන් මේ දක්වා පුද්ගලයින් 4,000ට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, වික්‍රමසිංහ ආන්ඩුව විසින් රඳවනු ලැබ තිබෙන සිය ගනනක් ඇතුලු 2,000ට ආසන්න පිරිසක්, තවමත් රිමාන්ඩ් බන්ධනාගාරවල රඳවනු ලැබ සිටී.

අගෝස්තුවේ දී පොලීසිය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා තවත් ක්‍රියාධරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. ඔවුන් තිදෙනා දින 90කට පීටීඒ පනත යටතේ රඳවා ගැනීමට වික්‍රමසිංහ නියෝග කලේ ය. නව පුනරුත්ථාපන කාර්යාංශ පනතට පලමුවෙන් ම ගොදුරු වන්නන් විය හැක්කේ මෙම පුද්ගලයන් ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ


යුද්ධය පැවති සමයේ ගත් පියවරයන්ට සමාන පියවරක් ගනිමින්, කොලඹ නගරයේ සමහර ප්‍රදේශ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින්, සැප්තැම්බර් 24දා වික්‍රමසිංහ ගැසට් පත්‍රයක් නිකුත් කලේ, එම ප්‍රදේශවල විරෝධතා තහනම් කරමිනි.

පලල් විරෝධතාවට හා ගැසට් පත්‍රයෙහි නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක් වීමට මුහුන දුන් වික්‍රමසිංහට, අඩියක් පස්සට ගෙන සඳුදා ගැසට් පත්‍රය ඉවත් කර ගැනීමට බල කෙරුනි. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන පසු ව ප්‍රකාශ කලේ, අධි ආරක්ෂක කලාප ක්‍රියාත්මක කිරීම සඳහා නීති වෙනස් කල හැකි බව යි.

ඉන් දවස් කිහිපයකට පසු ව, සැප්තැම්බර් 27දා, ආන්ඩුවේ නියෝගයක් අනුව කටයුතු කල රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, රාජ්‍ය සේවකයන් සමාජ මාධ්‍ය වේදිකාවන් මත ආන්ඩුව විවේචනය කිරීම තහනම් කරන චක්‍රලේඛයක් නිකුත් කලේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදුවල නව වටයකට ප්‍රතිචාර ලෙස අනිවාර්යයෙන් ම යලි ඉස්මතු වීමට නියමිත මහජන අරගල සඳහා සූදානම් වීමක් වසයෙන් වික්‍රමසිංහගේ මර්දන පියවරයන් පවතී. ඉහල බදු, රාජ්‍ය අංශයේ රැකියා දසදහස් ගනනක් විනාශ කිරීම, සමාජ වියදම් කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දැමීම මෙයට ඇතුලත් වේ.

අන් සෑම රටක් තුල මෙන් ලංකාවේ ද කෝවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මූල්‍ය අර්බුදය පෙර නුවූ විරූ මට්ටමකට තීව්‍ර කර තිබේ. සැප්තැම්බරයේ දී කොලඹ උද්ධමනය සියයට 70 දක්වා අහස උසට නැගුනු අතර ආහාර උද්ධමනය සියයට 95ට ලඟා විය. දිවයින පුරා පවතින අධි උද්ධමනය දරාගත නො හැකි ජීවන කොන්දේසි නිර්මානය කරමින් පවතින්නේ, බොහෝ අය කුසගින්නට හෝ ආහාර වේල් මගහැරීමට මුහුන දෙන තත්වය තවත් දරුනු කරමිනි.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ කොන්දේසිවලට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට කොලඹ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව නැගෙන කෝපය සමහන් කරගැනීම සඳහා, ලංකාවේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ මංමුලා සහගත ලෙස උත්සාහ කරමින් සිටිති.

වික්‍රමසිංහගේ පුනරුත්ථාපන පනතට එරෙහි ව පෙත්සමක් ගොනු කර ඇති එක් අයෙක් වන්නේ, සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එස්. එම්. මරික්කාර් ය. සජබහි “ප්‍රජාතන්ත්‍රවාදී” මූනත්තහඩුව ව්‍යාජ ය. ජාමූඅ කප්පාදුවලට එක දිගට පිටුබලය දී ඇති දක්ෂිනාංශික ධනපති පක්ෂක් වන මෙහි නායකයන්ට, මර්දනයට හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට සහයෝගය දීමේ දීර්ඝ ඉතිහාසයක් තිබේ.

නව නීතිය “යම් පුද්ගලයෙක් නෛතික උසාවියක් තුල වැරදි යයි සනාථ කරනු ලබන තෙක් අහිංසක ලෙස සැලකේ යන මූලික මූලධර්මය නග්න ලෙස උල්ලංඝනය කරයි” යනුවෙන් දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මාධ්‍ය වෙත කීවේ ය. එහෙත් මෙම ධනපති පක්ෂය ද ජාමූඅ වැඩසටහනට සහයෝගය දෙන අතර, ආන්ඩුවේ මර්දනීය නීති හකුලා ගැනීම සඳහා එයට පීඩනය දැමිය හැකිය යන්න මහජනයාට ඒත්තු ගැන්වීමට කුහක ලෙස උත්සාහ දරමින් සිටී.

වික්‍රමසිංහගේ නව “පුනරුත්ථාපන” පනතට මෙන් ම, මහජන ආරක්ෂක ආඥා පනත, අත්‍යවශ්‍ය මහජන සේවා පනත හා පීටීඒ ඇතුලු අනෙකුත් සියලු මර්දන නීතිවලට විරුද්ධ වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), ඒකාධිපති විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සටන් කරයි.

කම්කරු පන්තියට, ආඥාදායක පාලන විධික්‍රම කරා වේගයෙන් ගමන් කරන ආන්ඩුව පරාජය කල හැක්කේ ද තමන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ ද තමන්ගේ ම ස්වාධීන දේශපාලන බලය බලමුලු ගන්වා ගැනීමෙන් සහ ගම්බද දුගීන්ගේ සහයෝගය දිනා ගැනීමෙන් පමනි.

මෙම අරගලය පෙරට ගැනීම සඳහා, ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු සමගින්, වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ව, සෑම වැඩපොලක මෙන් ම තමන්ගේ නිවහන් ප්‍රදේශවල ද ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මතට කොලඹ ආන්ඩුව එල්ල කරන තියුනු ප්‍රහාර වේගවත් කර ඇත්තේ ගෝලීය ලාභ පද්ධතියෙහි ගැඹුරු වන අර්බුදයෙනි. කම්කරු පන්තිය එහි සටන ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් කල යුත්තේ ඒ නිසා ය. මෙහි අර්ථය නම්, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීමත්, බැංකු, මහා සංගත හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමටත් පියවර ගත යුතු බව ය.

සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම පිනිස සටන් වැදීමට, ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන සසප උද්ඝෝෂනය පදනම් වන ඉදිරි දර්ශනය එය යි. මෙම සටන සමග ඒකාබද්ධ වන ලෙස කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයන් හා ගම්බද දුගීන්ගෙන් අපි ඉල්ලමු.

Loading