වික්‍රමසිංහ ආන්ඩුව, රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය තුල අදහස් පල කිරීම වාරනය කරයි

රාජ්‍ය නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් පල කිරීම වාරනය කරමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, සැප්තැම්බර් 27 වනදා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කලේ ය. එයට අනුව, සමාජ මාධ්‍ය තුල රජය හෝ රජයේ දෙපාර්තමේන්තුවක් විවේචනය කිරීම හෝ රාජකාරී හෝ නොවන දුක් ගැනවිලි ප්‍රකාශ කිරීම “විනයානුකූල” වරදක් බවට පත් කොට ඇත.

04/2022 ලෙස නම්කොට ඇති මෙම චක්‍රලේඛය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.පී.කේ. මායාදුන්නේ විසින් අමාත්‍යංශ ලේකම්වරුන්, පලාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රජයේ නිලධාරීන් වෙත, “සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම” යන ශීර්ෂය යටතේ නිකුත් කෙරිනි.

රාජ්‍ය සේවකයන් දඬු ගැසීමට නිරන්තර ව යොදා ගැනෙන, ආයතන සංග්‍රහයේ පලමු කාන්ඩයේ XXXI පරිච්ඡේදයේ 3:2 උපවගන්තිය, එකී සංග්‍රහයේ XLVII පරිච්ඡේදයේ 6,7 වගන්ති සහ 4/2015 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්හි ඇති රුදුරු ප්‍රතිපාදන යටතේ, නව චක්‍රලේඛය නිකුත් කෙරී ඇත.

ඔක්තෝබර් 3 වනදා මව්බිම පුවත්පත වාර්තා කලේ “රාජ්‍ය සේවකයින් සමාජ මාධ්‍ය භාවිත කරන ආකාරය පිලිබඳව අවධානයෙන්” සිටින බවත් චක්‍රලේඛයට පටහැනි ව කටයුතු කරන අයට විරුද්ධ ව විනය ක්‍රියාමාර්ග ගන්න බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කල බවයි.

මෙම වාරන පියවර, කම්කරුවන්ට තම අදහස් පල කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය මත එල්ල කල බරපතල ප්‍රහාරයකි. මෙහි අර්ථය වනුයේ, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් සමාජගත වීම සහ එම විරුද්ධත්වය සමාජ බලයක් ලෙස සංවිධානය වීම වලකා ලීමයි. මෙය, ප්‍රජාතන්ත්‍ර අයිතීන් වලට එරෙහි ව වික්‍රමසිංහ ආන්ඩුව දියත්කොට ඇති මුර්ග ප්‍රහාරය නව ඉහලකට නැංවීමකි.

ආන්ඩුව, විරෝධතාවන්ට සහභාගි වන පිරිස් දඬු ගැසීම එල්ල කර ගනිමින්, සැප්තැම්බර් 23 වනදා විශේෂ පියවර දෙකක් ගත්තේ ය. කොලඹ හා එහි අවට ප්‍රදේශ කිහිපයක්, රුදුරු මර්දන නීති වලට යටත් කෙරුනු “අධි ආරක්ෂිත කලාප” ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉන් එකකි. අනෙක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු 'පුනරුත්ථාපන කාර්යාංශ පනත්' කෙටුම්පත යි. මෙම පනතට අනුව, සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරන පුලුල් පරාසයක දේශපාලන පක්ෂ හෝ කන්ඩායම්වල ඕනෑම පුද්ගලයෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිරගත කල හැකි වේ.

වැඩුනු මහජන විරෝධය හමුවේ “අධි ආරක්ෂිත කලාප” ගැසට් නිවේදනය හකුලාගත් නමුත්, වික්‍රමසිංහ තම මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය ඉදිරියට ම ගෙන යමින් සිටී.

මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමුඅ) ඩොලර් බිලියන 2.9 ක හදිසි ඇප නයක් බලාපොරොත්තු වන වික්‍රමසිංහ ආන්ඩුව, ඒ වෙනුවෙන් ජාමූඅ පනවා ඇති රුදුරු කප්පාදු නියෝග ක්‍රියාවට දමමින් සිටී. වික්‍රමසිංහ මේ මර්දනකාරී පියවරයන් හරහා සූදානම් වෙමින් සිටින්නේ, එම කප්පාදු වලට එරෙහිව සටන් වලට අවතීර්න වෙමින් සිටින කම්කරුවන් ඇතුලු පීඩිත මහජනතාවට එරෙහි පන්ති යුද්ධයට යි.

රාජ්‍ය අංශය, ආන්ඩුවේ කප්පාදු හේතුවෙන් ක්ෂනික ව සහ ඝෘජුව ප්‍රහාරයට ලක්වන ක්ෂේත්‍රයකි. ජූනි මාසයේ දී, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, රැකියා කප්පාදුව පිලිබඳ ඉඟියක් ලබා දෙමින්, “රාජ්‍ය අංශයේ රැකියා දරාගත හැකි උපරිමය 500,000 හෝ වැඩි ම වුනොත් 800,000 ක්” යැයි පැවසී ය. එහි අර්ථය වනුයේ, රාජ්‍ය අංශයේ රැකියා මිලියනයකට වඩා කප්පාදු කිරීමට ආන්ඩුව සැලසුම් කර සිටින බවයි. වැටුප් සහ දීමනා කප්පාදු මෙන් ම පුද්ගලීකරනය මෙම කප්පාදුවේ අත්‍යන්ත අංගයෝ වෙති.

මෙම ප්‍රහාරයන් මගින් රාජ්‍ය අංශයේ කම්කරුවන් තුල දැවැන්ත විරෝධයක් අවුලුවා ඇත. රජයේ මුද්‍රනාලයේ, ඉන්ජිනේරු, රූපවාහිනි හා ඛනිජ තෙල් සංස්ථාවල හා ධීවර අමාත්‍යාංශය යටතේ පවතින නෝර්ත් සී මුහුදු දැල් නිෂ්පාදනය කරන කම්හල්වල කම්කරුවෝ පසුගිය මාසයේදී විරෝධතාවලට හා වර්ජනවලට එක් වූහ. ඉදිරියේදී මෙම අරගල වඩාත් පුලුල් වීමට නියමිතය.

2022 අගෝස්තු 22 දින කොලඹ දී ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ විරෝධතා පාගමන [ඡායාරූපය: ලෝසවෙඅ]

වැඩෙන අර්බුදය මධ්‍යයේ රජයේ රෝහල් සහ පාසල් ඇතුලු රාජ්‍ය ආයතන මුලුමනින්ම අඩපන වී ඇත. ඖෂධ සහ වෛද්‍ය උපකරන වල හිඟය හේතුවෙන් රෝහල්වල වැඩකටයුතු මුලුමනින් ම අඩාල වී පවතී. මේ තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය තුල පල වූ තොරතුරු සහ විවේචන, ආන්ඩුවට එරෙහි මහජන කෝපය වඩාත් පුපුරනසුලු මට්ටම් වලට නැංවීමට ඍජු ව බලපා ඇත.

රාජ්‍ය සේවකයන්ට එරෙහි සමාජ මාධ්‍ය වාරන චක්‍රලේඛය වනාහි, මෙම මහජන කෝපය වර්ධනය කිරීමේ ලා සමාජ මාධ්‍ය විසින් ඉටු කරන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආන්ඩුව දක්වන දැඩි උත්සුකයේ ප්‍රකාශනයකි.

චක්‍රලේඛයට අනුව, “රජය හෝ රජයේ දෙපාර්තමේන්තුවක් විවේචනය කිරීම”, “රාජකාරීමය හෝ නොවූ සිය දුක් ගැනවිලි (උදා : සිය රාජකාරී ඉටු කිරීමට කාර්ය මන්ඩල ප්‍රමානවත් නොවීම සම්බන්ධ විවේචන හෝ පැමිනිලි)” ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය යොදා නොගත යුතු ය. අවධාරනය කර ඇති වගන්ති වලට අනුව කම්කරුවන්ට මේ ප්‍රහාර වලට එරෙහි ව සමාජ මාධ්‍ය තුල අදහස් පල කිරීම “විනයානුකූල වරදකි.”

පසුගිය මාස කිහිපය තුල සිදුවූ මහජන නැගිටීම ආන්ඩුව ඇතුලුව සමස්ත ධනපති සංස්ථාපිතය ම භීතියට පත් කලේ ය. අප්‍රේල් 28, මැයි 6 සහ මැයි 11 මහ වැඩවර්ජනයන්හිදී කම්කරු පන්තිය තමා සතුව පවත්නා අතිමහත් විභවය ප්‍රකාශයට පත් කලේ ය. කෙසේ වෙතත් වෘත්තීය සමිති, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු අනෙකුත් ධනපති පක්ෂ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම සංවිධාන කම්කරුවන්ගේ ස්වාධීන මැදිහත් වීමක් වලක්වා අන්තර්වාර ආන්ඩුවක් යටතට එම විරෝධය අපසරනය කර වික්‍රමසිංහට බලයට ඒමට ඉඩ සැලසූහ.

දැන් වික්‍රමසිංහ, වෘත්තීය සමිති සහ එකී පක්ෂවල සහයෝගය සහිත ව, කම්කරුවන් හෝ මහජනතාව අතරින් මතුවන කවර හෝ විරුද්ධත්වයක් තලා දැමීම අධිෂ්ඨාන කරගෙන කටයුතු කරමින් සිටී. මෙම මර්දනයට එරෙහි ව සටන් කිරීම කම්කරුවන්ගේ දැවෙන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

නමුත් වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂ මෙම මාවතින් කම්කරුවන් පීලී පන්නවමින් සිටියි. ඔවුහු, අධිරාජ්‍යවාදීන්ගේ අත්ගෙඩියක් ලෙස ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුලු මානව හිමිකම් සංවිධාන පිටුපස බඩ ගාමින්, ආන්ඩුවේ මර්දනය නතරකර දෙනලෙස ආයාචනා කරමින් සිටිති. මෙම බයාඳු පියවරයන් මගින්, මර්දනය ගැඹුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ආන්ඩුවට ඉඩ සලසා දී ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සැප්තැම්බර් 28 වනදා බීබීසී සිංහල සේවයට සඳහන් කලේ “අපි රජයට කියන්නේ මේ ඇත්ත හෙලිදරව් කරන්නේ ආන්ඩුවත් එක්ක තියෙන තරහට” නොවන බවයි. “වැරදි මාර්ගය තුල බොහෝ දුර ගියොත් නැවත හැරෙන්නට බැරි මාර්ගයක් වේවි” යැයි, ඔහු කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වය පිලිබඳ ව අනතුරු අඟවමින් ආන්ඩුවට ආයාචනා කලේ ය.

පෙසප නායකත්වය දෙන වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතු ව, පසුගිය සිකුරාදා, චක්‍රලේඛය මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් එය නිකුත් කල රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වගඋත්තරකරුවකු කරමින් මානව හිමිකම් කොමිසමේ පැමිනිල්ලක් ගොනු කලේ ය.

කම්කරු පන්තියෙන් නැගෙන විරුද්ධත්වය පිලිබඳ භීතියට පත් වී සිටින සහ ධනපති මානව හිමිකම් සංවිධාන පිටුපසට කම්කරුවන් ගාල් කරන මෙම ධනපති ගැති සංවිධාන සමග කම්කරුවන්ට සහ අනෙකුත් පීඩිත කොටස් වලට වික්‍රමසිංහ ආන්ඩුවේ පන්ති යුධ පියවරයන්ට එරෙහි ව සටන් කල නොහැක.

මෙම ප්‍රහාර ගලා එන්නේ ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය තුලින් වන අතර ඒවා බලපෑම් දැමීම මගින් ආපසු හැරවිය නොහැක. එම නිසා මේ ප්‍රහාර වලට තිත තැබිය හැක්කේ මෙම අර්බුදගස්ත්‍ර ධනපති ක්‍රමයට ම එරෙහි දේශපාලන අරගලයක් තුලිනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සැප්තැම්බර් 13 වන දා “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” ප්‍රකාශයෙන් පෙන්වා දුන් පරිදි “මෙම ඉල්ලීම් සඳහා වන සටනට, කම්කරු පන්තියෙහි යෝධ සමාජ බලය ස්වාධීන ව බලමුලු ගැන්වීම අවශ්‍ය වෙයි.” ඒ සඳහා, ධනපති ගැති වෘත්තිය සමිති සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු කම්කරුවන් විසින් ගොඩනගා ගැනීම අනිවාර්ය වෙයි.

සසප ප්‍රකාශයේ සඳහන් කෙරුනු පරිදි:

වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයට එරෙහි සටන, ධනවාදයට එරෙහි ද ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා ද වන අරගලය සමග බද්ධ කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි. සියලු විදේශ නය අහෝසි කිරීම, බැංකු, මහා සමාගම් හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතා ඉටුකරන ඉල්ලීම් මාලාවක් අපි ඉදිරිපත් කරමු.

සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් වන සටන ඉදිරියට ගැනීම පිනිස, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනයේ නිරත ව සිටී.

Loading