ගින්නෙන් නිවාස අහිමි වූ කජීමා වත්තේ සියලු පවුල් වලට නිවාස ලබා දෙනු! සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ නිවාස අයිතියට සටන් වැදීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!

පසුගිය සැප්තැම්බර් 27 දා, කොලඹ, කජීමාවත්ත පැල්පත් සංකීර්නය ගිනිබත් වීමෙන් අවතැන් වූ පවුල් සිය ගනනක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ආන්ඩුව දක්වා ඇති නරුම ප්‍රතිචාරයෙන්, “ශිෂ්ඨසම්පන්න ව ජීවත් විය හැකි” නිවසක් සඳහා වන මූලික සමාජ අයිතිය, ධනපති ආන්ඩු සහ ධනපති ක්‍රමය යටතේ සාක්ෂාත් කල නොහැකි බව යලිත් වරක් සනාථ වී ඇත.

කජීමා වත්තේ නිවාස ගිනිගැනීම

කජීමාවත්තේ පදිංචි ව සිටි පවුල් 214 ක්, නිවසක් ලබාගැනීමට අවශ්‍ය “අවම සුදුසුකම් සපුරා නොමැති” බැවින් ඔවුනට නිවාස ලබා දිය නොහැකි බව, නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ ) විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවකින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය හුදෙක් නාසඅ තීන්දුවක් නොව, වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුවේ සහ ඉන් පෙර පැවති සියලු ධනපති ආන්ඩුවල පිලිවෙතයි.

මෙම ප්‍රකාශය අදාල වනුයේ හුදෙක් කජීමාවත්තට පමනක් නොවේ. කොලඹ නගරය තුල වටිනා ඉඩම් අයෝජකයන් සඳහා පවරා දීමේ වැඩපිලිවෙල යටතේ, “අවම සුදුසුකම් සපුරා නොමැති” යන වගන්තිය යටතේ, ලක්ෂ ගනනක් දුගී ජනයා මහ මගට ඇද දැමීමේ තර්ජනය ඉන් මතු කෙරේ. විශේෂයෙන් ම, රටෙහි විදේශ සංචිත පතුලට ම හිඳී ගිය තතු යටතේ, ජාත්‍යන්තර ආයෝජකයන්ට මෙම ඉඩම් හැකි ඉක්මනින් පවරා දී විදේශ විනිමය උපයා ගැනීම ආන්ඩුවේ ප්‍රමුඛ එල්ලයකි.

විවිධ රෙගුලාසි ඉදිරියට දමමින් නිවාස අහිමි දුගීන්ට නිවාස සම්පාදනය කිරිම ප්‍රතික්ෂේප කරන නාසඅ, ධනපති රාජ්‍යයේ පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව සහ අධිකරනය ආදී සෑම උපකරනයක් මෙන් ම, මහජනතාව ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන්වල පරම ආරක්ෂක ආයතනයක් ලෙස ප්‍රෝඩාකාරී ව පෙනී සිටී.

නාසඅ, තම ආයතනයේ “මෙහෙවර” ලෙස ප්‍රකාශයට පත්කොට ඇත්තේ, “ශ්‍රී ලංකාවේ ජනතාවගේ, විශේෂයෙන් ම නිවසක් සතු කර ගැනීමට මාර්ගයක් නොමැති අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ජාතික වශයෙන් උනන්දු කරවීම, ඉඩ පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරනය කිරීම, එමගින් ඔවුන්ගේ සමාජ පැවැත්ම යහපත් කරලීම හා ආර්ථික සමෘද්ධිය ලඟා කර දීම සඳහා කටයුතු කිරීම' යි.

නාසඅ හි ප්‍රකාශිත මෙහෙවර කෙසේ වෙතත්, දැන් එය නිවාස ඉදිකොට විකුනා මුදල් උපයන ව්‍යවසායක් බවට පත් ව ඇත. මේ අනුව, එය විසින් දැනට ඉදිකර ඇති නිවාස, එජ ඩොලර් වලින් මිල දී ගන්නා අයට ප්‍රමුඛතාව දෙමින්, විශේෂ වට්ටම් යටතේ විකිනීම ආරම්භ කෙරී පවතී.

නිවාසයක් සඳහා “අවම සුදුසුකම් සපුරා නොමැති” බවට නම් කෙරෙන කජීමාවත්තේ පවුල්වල සාමාජිකයන් එම ස්ථානයේ ලියාපදිංචි ඡන්දදායකයින් වන අතර ඔවුන් වසර ගනනාවක් පුරා විදුලිය සහ ජල ගාස්තු මෙන් ම වරිපනම් බදු ද ගෙවා ඇත. ධනපති රෙගුලාසි වලට අනුව, නිවාසයක් සඳහා “අවම සුදුසුකම” කුමක් වුව ද, යහපත් නිවාසයක ජීවත් වීම සෑම මනුෂ්‍යයෙකු ම සතු මූලික සමාජ අයිතියකි.

ධනපති රාජ්‍ය ව්‍යවස්ථාවන් හි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අධිරාජ්‍යවාදී ආයතනවල විවිධ ප්‍රකාශනයන් හි, මෙම නිවාස අයිතිය පිලිබඳ ව කෙතෙක් සඳහන් කෙරුන ද එය ලේඛන වලට පමනක් සීමා වී පවතී. නිවාස අයිතිය පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය මේ සම්බන්ධයෙන් වඩාත් ම ප්‍රෝඩාකාරී ය. එහි මෙසේ සඳහන් වෙයි: “යහපත් නිවාසයක් සඳහා වන අයිතිය වනාහි, යහපත් ජීවන තත්ත්වයක් සඳහා ඇති අයිතියේ කොටසක් ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය විසින් පිලිගත් මානව හිමිකමකි.”

නමුත්, එම අයිතිය තහවුරු කිරීමේ වගකීමෙන් ධනපති රාජ්‍යයන් සහ ධනපති ආන්ඩු නිදහස් කරමින්, පසු ව එන ඡේදයකින් එම ප්‍රකාශනය කියා සිටින්නේ, “රජය විසින් සමස්ත ජනගහනයට ම නිවාස සපයා දිය යුතු බවට ද, නිවාස නොමැති අයට රජයෙන් නිවාස ඉල්ලා සිටීමේ අයිතිය ස්වයංක්‍රීය ව හිමි වන බවට ද වන වැරදි අවබෝධයක්, නිවාස අයිතිය සමග පැටලී” ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ධනපති පාලකයෝ, තම පාලනය ආරම්භ කල 1948 සිට පැවැත්වූ සෑම මැතිවරනයක දී ම නිවාස ප්‍රශ්නය විසඳන බවට මහජනතාවට පොරොන්දු දුන් නමුත්, බලයට පත් වූ සැනින් එම පොරොන්දු අත්හැර දැමූහ. ඉඳහිට ක්‍රියාත්මක කල නිවාස ව්‍යාපෘති රටෙහි පවත්නා දැවැන්ත නිවාස හිඟයට අලගු තැබීමටවත් ප්‍රමානවත් නොවුනි.

වඩාත් ම උග්‍ර වූ නිවාස හිඟයකට මුහුන දී සිටින්නේ, ශත වර්ෂයටත් වඩා අධික කාලයක් පුරා, දිවයිනේ ඈත ගම්මාන වලින් රැකියා සොයා කොලඹ අගනගරයට ඇදුනු දුගී මහජනතාවයි. 2021 දී කොලඹ මහනගර සභාව කල සමීක්ෂනයකට අනුව, කොලඹ නගරය තුල ජීවත්වන සමස්ත ජනගහනයෙන් හරි අඩක් ජීවත් වනුයේ, අධික ජනගහන ඝනත්වයකින් යුත් භූමි භාගයන් හි අටවාගත්, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති, පැල්පත් වලයි.

කජීමාවත්ත මේ සම්බන්ධයෙන් උදාහරනයකි. එහි පවත්නා අන්තරායකාරී තත්වය හේතුවෙන් තෙවසරක් තුල දෙවරක් ම එහි නිවාස ගින්නෙන් දැවී විනාශ විය. මෙවර ගින්නෙන් පසු එහි නිවැසියන්, මුවදොරඋයන ප්‍රජා ශාලාවේ සහ හිස්වූ ගබඩා ශාලවක අත දරුවන්ද සමග මසකට වැඩි කාලයක් ජීවිතය ගෙවන්නේ වැසිකිලි ඇතුලු අවම සනීපාරක්ෂක පහසුකම් පවා නොමැතිවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ, කොලඹ දුගී ජනයාගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ කඩතුරාව යටතේ දියත් කෙරුනු මහල් නිවාස ව්‍යාපෘතීන්හි මූලික අරමුන, එම දුගීන් ජීවත් වූ කොලඹ නගරයේ වටිනා භූමි ප්‍රදේශයන් මුදාගෙන ආයෝජකයන්ට පැවරීමයි.

2010 මැයි මාසයේ දී, ගෝඨාභය රාජපක්ෂ ලේකම් තනතුර දැරූ ආරක්ෂක අමාත්‍යාංශය යටතට නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) පත් කෙරුනි. අනතුරු ව, නීත්‍යානුකූල හිමිකම් නොසලකා හරිමින් සහ නීතිය උල්ලංඝනය කරමින් මහජනයා ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට ආන්ඩුව සන්නද්ධ හමුදා යොදවා ගත්තේ ය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන්, 280,000 ත් 500,000 ත් අතර නිවැසියන් පිරිසක් අවතැන් වනු ඇති බවට විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය 2015 දී තක්සේරු කර තිබුනි.

එම බලහත්කාරයට එරෙහි ව පැන නැගුනු මහජන විරෝධය ද ගසා කමින් 2015 දී බලයට පත් වූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, “මෙගාපොලිස්” වැඩපිලිවෙල යටතේ, සමස්ත බස්නාහිර පලාත ම ඇතුලත් වන පරිදි ව්‍යාපෘතිය තවත් පුලුල් කලේ ය. 2016 පෙබරවාරි මාසයේ කජීමා වත්තේ නිවාස විශාල ගනනක් පොලීසිය යොදවා කඩා දමා, ජලය හා විදුලි සැපයුම ද කපා හැරිනි.

අනුප්‍රාප්තික ආන්ඩු නිවැසියන් ඉවත් කරනු ලැබුවේ වඩා පහසුකම් සහිත මහල් නිවාස ලබාදීමේ පොරොන්දුව මත වුවද, ඉවත් කරන ලද බහුතරයක් පවුල්වලට කිසිදු නිවාසයක් ලැබී නැත. ලබා දී ඇති කුඩා මහල් නිවාසයන් ද මූලික පහසුකම් වලින් සහ නිසි ප්‍රමිතියෙන් තොර ය.

නිවාස හිඟයෙන් උග්‍රලෙස පීඩා විඳින තවත් ජන කොටසක් වන, වතු කම්කරු ප්‍රජාව රටේ සමස්ත ජනගහනයෙන් සියයට 3.6 කි. ඔවුනගේ පවුල්වලින් සියයට 56ක් නැතහොත් පවුල් 135,000 ක් මෙතෙකුදු ජීවත් වන්නේ, 19 වන සියවසේ ආරම්භයේ දී, බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කෙරුනු ලයින් කාමර වල බව, “සිටීස් පීපල් ප්ලේසස්” නමැති ජාත්‍යන්තර සඟරාවේ 2021 අගෝස්තු කලාපයේ පල වූ සමීක්ෂන වාර්තාවකින් අනාවරනය වෙයි. මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් දෙදෙනෙකු වන එස්.එස්.හපුආරච්චි සහ එස්.එස්.කාරියවසම් විසින් එම සමීක්ෂනය සිදු කර ඇත.

මෙම ලයින් කාමරයක සාමාන්‍ය වපසරිය වර්ග අඩි 175 ක් පමන වන අතර එය පවුලකට ජීවත් වීමට කිසිසේත් ම ප්‍රමානවත් නොවේ. පොදු‌වේ පරිහරනය කලයුතු අප්‍රමානවත් ජල සැපයුම් සහ වැසිකිලි පහසුකම් ගරා වැටෙමින් පවතී. වතු කලමනාකාරිත්වයන් මගින් නව නිවාස සම්පාදනය කිරීම සහ පවත්නා නිවාස අලුත්වැඩියාව මුලුමනින්ම පාහේ නතරකොට ඇත. නිවාස නොමැති නව පරම්පරාවට, තම දරුපවුල් සමග, දෙමාපියන්ගේ ගරා වැටුනු ලයින් කාමරවල ම වාසය කිරීමට බලකෙරී පවතී. ඉන් සමහරු අටවාගත් පැල්පත් වල දිවි ගෙවති.

දශක තුනක යුද්ධයෙන් බැටකන ලද උතුරු-නැගෙනහිර දෙමල කතා කරන පීඩිත ජනයා ද නිවාස හිඟයෙන් දැඩි ලෙස පීඩා විඳින මූලික ජන කොට්ඨාසයකි. යුද්ධයෙන් තම නිවාස විනාශ වූ සහ අවතැන්වූ ලක්ෂ සංඛ්‍යාත ජනයා මෙතෙකුදු අටවාගත් පැල්පත්වල වාසය කරති. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව, උතුරු පලාතේ පමනක්, යුද්ධයෙන් මුලුමනින්ම සහ අර්ධ වශයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 160,000 කි.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තුවන හදිසි නය වෙනුවෙන්, රාජ්‍ය වියදම් දැවැන්ත පරිමාන ව කපා හරිමින් සිටී. 2022 අයවැයෙන් නිවාස සහ නගර සංවර්ධන අමාත්‍යංශයට පුනරාවර්තන වියදම් ලෙස වෙන් කොට ඇත්තේ රුපියල් මිලියන 438 ක සොච්චමක් පමනි.

ඉහත දත්ත සහ සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කරන්නේ, සිංහල, දෙමල සහ මුස්ලිම් ධනපති පක්ෂ මෙන් ම, දේශපාලන පක්ෂ ලෙස ක්‍රියාත්මක වන වතුකරයේ වෘත්තීය සමිති, නිවාස ප්‍රශ්නය විසඳන බවට දුන් අනේකවිධ පොරොන්දුවල ව්‍යාජභාවය සහ අනෙකුත් අයිතීන් මෙන් ම නිවාස අයිතිය තහවුරු කිරීමේ ලා ධනපති ක්‍රමය සතු ආන්තික නොහැකියාවයි.

නිෂ්පාදන මාධ්‍යන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වන ධනපති ක්‍රමය තුල, නිවාස අයිතිය ඇතුලු අන් කවර හෝ අයිතියක් සාක්ෂාත් කල නොහැකි බව, ශ්‍රී ලංකාවේ වසර 74 ක ධනපති පාලනයේ සහ ජාත්‍යන්තර ධනපති පාලනයන්ගේ ඓතිහාසික අත්දැකීම් මගින් ලෝක කම්කරු පන්තිය හමුවේ සනාථ කර ඇත.

විද්‍යාත්මක සමාජවාදයේ ශ්‍රේෂ්ඨ පුරෝගාමියෙකු වන ‌ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් මෙ‌සේ පවසා ඇත: “නිවාස ප්‍රශ්නය විසඳීමත් සමග සමාජ ප්‍රශ්නය විස‌දෙනවා නොවේ. නමුත්, සමාජ ප්‍රශ්නය විසඳීමෙන්, එනම් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය අහෝසි කිරීමෙන් පමනක් නිවාස ප්‍රශ්නය විසඳිය හැකි වේ.”

මහජන ජීවිතවලට තීරනාත්මක දෑ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගත යුතු වන අතර, ඒ සඳහා, බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන කම්කරු පංති පාලනය යටතේ ජනසතු කල යුතු වෙයි. ධනපතියන්ගේ පුද්ගලික වත්කම් ලෙස බැංකුවල ගොඩ ගසා ඇති, කම්කරු පංතියේ ශ්‍රමයෙන් උකහාගත් දැවැන්ත ධන ස්කන්ධයන් නිවාස ව්‍යාපෘති ඇතුලු මහජන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට එවිට අවස්ථාව විවරවනු ඇත.

මේ සඳහා සටන් කිරීමට නම්, ධනපති පක්ෂ සහ සංවිධාන වලින් ද, ධනපති ක්‍රමයට බැඳී ගත් වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ වලින් බිඳී, තමා විසින් ම ප්‍රජාතන්ත්‍රවාදී ව තීන්දු තීරන ගනු ලබන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් පෙරට පැමිනිය යුතු ය. එම කමිටු ජාතික පරිමාන ව සහ ජාත්‍යන්තර පරිමාන ව සන්ධාන ගත කොට පහත ඉල්ලීම් මත සටන් වැදිය යුතු වෙයි.

  • විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු!
  • ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!
  • බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!
  • ප්‍රමානවත් පහසුකම් සහිත යහපත් නිවාස සැමට ම සපයනු වස් බිලියන සංඛ්‍යාත මුදල් වෙන් කරනු!

ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදින දේශපාලන ව්‍යාපාරයකට පදනම් දමන, ඉහත ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයකට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සටන් වදී. එය සමග එක්වන ලෙස කජීමාවත්තේ නිවැසියන්ගෙන් ද, නිවාස ප්‍රශ්නය ඇතුලු අනෙකුත් සමාජ-ආර්ථික ගැටලු වලින් පීඩා විඳින කම්කරුවන්ගෙන් සහ අවශේෂ පීඩිතයන්ගෙන් ද සසප ඉල්ලා සිටී.

Loading