සීඩබ්ලිව්සී නායකයා වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරයි

ලංකාවේ විශාලම වතු කම්කරු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ජීවන් තොන්ඩමන්, 2023 වසර සඳහා වික්‍රමසිංහ ආන්ඩුව ඉදිරිපත් කල රුදුරු කප්පාදු අයවැය සම්බන්ධයෙන් නොවැම්බර් 22 දා පාර්ලිමේන්තුව තුල සිදුකල ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් [Photo: Facebook]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත සකස් කෙරුනු මෙම අයවැය මගින්, වැට් සහ සෙස් බදු ඉහල දැමීම, ඩීසල් සහ පෙට්‍රල් මත අධිභාර බද්දක් පැනවීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සහ රාජ්‍ය සේවය කප්පාදු කිරීම ඇතුළු බරපතල ප්‍රහාර මාලාවක් කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව එල්ල කර ඇත.

ඊට අමතරව, වැඩෙන පන්ති අරගල රැල්ල තලා දැමීම සඳහා රුපියල් බිලියන 539 ක දැවැන්ත මුදලක් අයවැයෙන් මිලිටරිය වෙත පොම්ප කර ඇත. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කෙරෙන සමස්ත මුදලට වඩා එය අඩුවන්නේ බිලියන 15 කින් පමනි. කම්කරුවන් වඩාත් සූරා කමින් ධනපතියන්ට වඩවඩාත් ලාභ ගරා ගැනීමට අවශ්‍ය පරිදි කම්කරු නීති වෙනස් කිරීමට ද එයින් යෝජනා කෙරී තිබේ.

මෙම පියවරයන්, වඩාත්ම දරිද්‍ර කොටසක් වන වතු කම්කරුවන් ඇතුළු සමස්ත කම්කරු පන්තියේම සමාජ හා ජීවන කොන්දේසි කාබාසිනියා කරනු ඇත.

රටේ පවතින 'වර්තමාන ආර්ථිකයට ගැලපෙන අයවැයක්” ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කල බැවින් ඊට පක්ෂව ඡන්දය දුන් බව, කොටගල පැවති මාධ්‍ය හමුවකදී තොන්ඩමන් පවසා ඇත. නොවැම්බර් 28 දා ඩේලිනිවුස් පුවත්පත එය වාර්තා කරමින් මෙසේ සඳහන් කරයි: 'රටේ ඇතැමුන් උද්ඝෝෂන කරන අතර තවත් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල යෙදී සිටින බවත් මෙවැනි උද්ඝෝෂන සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසා රටේ ආර්ථිකය නගා සිටුවීමට නොහැකි බවත් තොන්ඩමන් මහතා පැවසීය.'

සීඩබ්ලිව්සී නායකයා මේ ප්‍රතිරාවය කරන්නේ ලංකාවේ ධනපති පන්තියේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ හඬයි. ඔවුනට අනුව, ධනේශ්වර අර්බුදය වෙනුවෙන්, කම්කරු-පීඩිත මහජනතාව සියල්ල කැපකල යුතුය; කෝවිඩ් වසංගතයෙන් සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් ගැඹුරු කෙරුනු එම අර්බුදයේ සියලු බර තම උරමත පටවද්දී ඔවුන් දෑත් බැඳ එය ඉවසා දරා සිටිය යුතුය.

ලංකාවේ මහධනපතියන් නියෝජනය කරන ලංකා වානිජ මන්ඩලය සහ ශ්‍රී ලංකා හෝටල් සංගමය මෙම පිලිවෙත මත පිහිටා, කම්කරුවන් ඇතුළු මහජනතාවට අරගල නොකරන ලෙස ඉල්ලා කල නිවේදන සමග තොන්ඩමන් ගේ මෙම ප්‍රකාශය තකටතක ගැලපේ.

අනෙක් අතට ඔහු සඳහන් කරන 'රටේ ආර්ථිකය' යනු, ධනපති සුළුතරයේ ලාභ සඳහා වන ධනපති ආර්ථිකය මිස කම්කරු පන්තියේ ආර්ථිකය නොවේ. එය වෙනුවෙන් කම්කරු පන්තිය කැපකලයුතු නොවේ.

කම්කරු පන්තිය ඊට විපරීතව, අයවැයෙන් එල්ල කෙරී ඇති ප්‍රහාරයන්ට එරෙහිව දැනටමත් අරගලයට පිවිස සිටී. මෙම සතියේ ටෙලිකොම් කම්කරුවෝ අයවැයෙන් එල්ල කර ඇති පුද්ගලීකරන ප්‍රහාරයට එරෙහිව විරෝධතාවල නියැලෙමින් සිටිති. අයවැය ඉදිරිපත් කිරීමට පෙරාතුව සිටම, ඕල්ටන් වත්තේ කම්කරුවෝද, රාජ්‍ය මුද්‍රනාල සේවකයෝද තමන්ට එල්ල කෙරී ඇති ප්‍රහාර වලට එරෙහිව අරගලයට පැමිනියහ.

සමස්ත ධනපති සංස්ථාපිතයම කම්කරු පන්තියේ වැඩෙන අරගල රැල්ල සම්බන්ධයෙන් භීතියට පත් වී සිටී. විරෝධතා මගින් ආර්ථිකය බිඳ වැටෙන බවට තොන්ඩමන් කෑමොර දෙන්නේ එබැවිනි. අනෙක් අතට විරෝධතා උද්ඝෝෂන වලට එරෙහි ඔහුගේ නරුම ප්‍රකාශයන් මගින් පෙන්නුම් කරන්නේ, ආන්ඩුව මෙම කප්පාදු පියවර ක්‍රියාවට දැමීමේදී එයට එරෙහිව පැන නගින කම්කරු අරගල මෙල්ල කර දීමට ඔහු සහ සීඩබ්ලිව්සී ය මුලුමනින්ම කැපවන බවයි.

තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් මෙසේ කැරලිකාරීව ඉදිරියට පැමිනෙද්දී, එම ප්‍රහාර සමග විවෘතවම පෙලගැසෙන සීඩබ්ලිව්සීයේ ක්‍රියා කලාපයෙන්, වෘත්තීය සමිති සහ කම්කරුවන්ගේ අවශ්‍යතා මුළුමනින්ම නොපෑහෙන බව යලිත් තහවුරු කෙරේ.

ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරයන්ට සෘ ජුව දායකවනුවස්, “ආන්ඩුවේ කැබිනට් ඇමති ධුරයක් භාර ගැනීමට” කැමති බව සඳහන් කරමින්, තොන්ඩමන්, ජනාධිපති වික්‍රමසිංහට ලිපියක් ද යොමු කලේය. ලියොන් ට්‍රොට්ස්කි 1938 දී සඳහන් කල පරිදි අද වැනි “යුද්ධය හෝ විප්ලවයේ කාල පරිච්ඡේදයේ, ධනේශ්වරය සුවිශේෂී දුෂ්කරතාවලට ඇද වැටෙන විට, වෘත්තීය සමිති නායකයෝ සාමාන්‍යයෙන් ධනේශ්වර ඇමතිවරුන් බවට පත්වෙති.” මෙය, තොන්ඩමන්ට හොඳින්ම ගැලපේ. කෙසේ වෙතත්, වික්‍රමසිංහ ආන්ඩුව ඔහුට ඇමති ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් තවමත් ගනන් බලමින් සිටී.

සීඩබ්ලිව්සීය පසුගිය කාලය තුල කම්කරු පන්තියේ සටන් මැඩීමට වතු හිමියන් සහ ආන්ඩුව සමග එක්ව කටයුතු කලේය. නුවරඑලිය දිස්ත්‍රික්කයේ අප්කොට්හි ග්ලෙනුජ් වත්තේ කම්කරුවන් 500 ක් පමන තම නොඉවසිය හැකි සේවා කොන්දේසි සහ වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසයේ අග පටන් සති තුනකට ආසන්න කාලයක් වැඩ වර්ජනයක නිරත වූහ. සීඩබ්ලිව්සීය කටයුතු කලේ වැඩ වර්ජකයින් ආපසු වැඩට යැවීමටය.

පසුගිය වසරේ රුපියල් 1,000 ක දෛනික වැටුපක් ඉල්ලා වර්ජනය කල ඕල්ටන් වත්තේ කම්කරුවන් දඩයම් කිරීම සඳහා සීඩබ්ලිව්සීය, වතු කලමනාකාරීත්වය හා පොලිසිය සමග ඒකාබද්ධව වැඩ කලේ ය. එහිදී කම්කරුවන් තිස්අට දෙනෙක් වරදකරුවන් කර සේවයෙන් පහ කරන ලදහ. මේවා, ඉදිරියේදී සීඩබ්ලිව්සී ය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ පෙර ඇඟවුම් ය.

මෙම භූමිකාව සීඩබ්ලිව්සීයට පමනක් සීමා වූවක් නොවේ. වතුකරයේ අනෙක් වෘත්තීය සමිතිද ඇතුළු සියළු සමිති කම්කරුවන් මත අර්බුදයේ බර පටවන ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින්ම එකඟ වන අතර ඒවා කම්කරු පන්තිය මත පැටවීමට විවෘතවම කටයුතු කරති.

කම්කරුවන්ගේ කවර හෝ ඉල්ලීමක් ජාමුඅ කප්පාදු න්‍යා ය පත්‍රය සමග සෘජුවම ගැටෙන බැවින්, එම න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට කැපවී සිටින සමිති සමග කම්කරුවන්ට තම අරගල දශමයකින් හෝ ඉදිරියට ගෙන යා නොහැක. තම අරගල පෙරට ගැනීමටනම්, කම්කරුවන් මෙම ධනපති ගැති වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් බිඳී, තමාගේම ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන සහ ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරන ගැනෙන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය.

Loading