බන්ඩාරවෙල අයිස්ලැබී වත්තේ කම්කරුවෝ සසප මැතිවරන උද්ඝෝෂනයට සහයෝගය පල කරති

වර්ධනය වන ලෝක යුද තර්ජනයට ද, වික්‍රමසිංහ ආන්ඩුව විසින් සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට ද එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත, කම්කරුවන්, ගම්බද පීඩිතයන් හා තරුනයන් උගන්වා බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) 2023 පලාත් පාලන මැතිවරනයට තරග වැද සිටී.

කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවට ද, වතුකරයේ මස්කෙලිය සහ යාපනයේ කාරෙයිනගර් යන ප්‍රාදේශීය සභා වලට ද සසප අපේක්ෂකයන් 53ක් ඉදිරිපත් කර තිබේ. සසප මෙම පලාත් පාලන බල ප්‍රදේශ වල පමනක් නොව, එය තරග නො වදින දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද කම්කරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා ග්‍රාමීය දිලිඳු ජන කොටස් අතර තම දේශපාලනික මැදිහත්වීම් වර්ධනය කර ඇත.

එහි කොටසක් ලෙස සසප සාමාජිකයෝ හා ආධාරකරුවෝ, බන්ඩාරවෙල අසිස්ලැබී වත්තේ සහ ඒ ආශ්‍රිත පනංගල ගම්මානයේ කම්කරුවන් සහ පීඩිතයන් අතර උද්ඝෝෂනයක නිරත වූහ.

ඉහල යන ජීවන වියදමෙන් දරුනු ලෙස බැට කා සිටින අයිස්ලැබ් වත්තේ කම්කරුවෝ මැතිවරනයෙන් තම ජීවන කොන්දේසිවලට කිසිදු බලපෑමක් ඇති නොවන බව ප්‍රකාශ කලහ.

අයිස්ලැබ් වත්තේ මරුදවේල් (ලෝසවෙඅ)

වයස අවුරුදු 65ක් වන විශ්‍රාමික කම්කරුවෙක් සාකච්ඡාවට එක්වූයේ ධනපති පක්ෂ සියල්ල සම්බන්ධයෙන් තම වෛරය ප්‍රකාශ කරමිනි: “ඡන්ද ගැන අපිට විශ්වාසයක් තියන්න පුලුවන් ද, මම වයසට යනකල් ඡන්ද දීල තියෙනවා. ඡන්දය දෙන මිනිස්සු හැමදාම පැරදුනා. ඡන්දය ගත්ත උන් හැමදාම දිනුවා.”

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසු “මහජනතාවට කන්නත් නැති වූවා” යයි පැවසූ ඔහු, සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉදිරියේ දී බලයට පැමිනියත් මහජනයා මත ප්‍රහාර එල්ල කරනු නියත බව ඔහු සඳහන් කලේ මෙම පක්ෂවල ඉතිහාසය මතක් කරමිනි. “මේ සියලු පක්ෂ ආන්ඩු කරද්දි හමුදාව පොලිසිය දාලා මිනිස්සු මරල තියෙනවා. ජවිපෙ 1989-90 කාලේ ෆැක්ටරි ගිනි තිබ්බා, තුවක්කු බලයෙන් අපිට වැඩට යන්න එපා කියල තර්ජනය කලා. කම්කරුවෝ මැරුවා”.

“සසප පාලත් පාලන මැතිවරනයට තරග කරයි” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ප්‍රකාශ උපුටා දක්වමින්, ලංකාවේ දිගහැරෙන ආර්ථික අර්බූදය, කොවිඩ්-19 වසංගතය හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන් ගෙන යන දරුනු යුද්ධය මගින් ගැඹුරු කෙරෙන ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බූදයේ කොටසක් බව සසප උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් යුද්ධය සඳහා බිලියන ගනන් මුදල් වියදම් කිරීම සඳහා රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් කප්පාදුව වේගවත් කර තිබෙන ආකාරය ලෝසවෙඅ ලිපි, ජායාරූප හා වීඩියෝ පට උපයෝගී කර ගෙන සසප සාමාජිකයෝ කම්කරුවන්ට පෙන්වා දුන්හ.

එම ලෝක අර්බූදයේ කොටසක් ලෙස, තේ කර්මාන්තයත් ඇතුලු ලංකාවේ අපනයන ආදායම් පහත වැටෙමින් විදේශ නය අර්බූදය උග්‍ර කෙරී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග නය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිලිවෙලකට ගමන් කොට ඇති වික්‍රමසිංහ ආන්ඩුවේ එකම විකල්පය වන්නේ අර්බූදයේ බර මහජනයා මත පැටවීමයි. ආන්ඩුවට එරෙහිව වැඩී ඇති විරෝධය ගසා කමින් බලයට පැමිනීමට වලිකන සජබ සහ ජවිපෙ ට ද විකල්පය ලෙස ඇත්තේ එයම බව, සසප සාමාජිකයෝ එම කම්කරුවාට පැහැදිලි කලහ.

එම පැහැදිලි කිරීම් තමාට ආලෝකයක් සැපයූ බව පැවසූ කම්කරුවා, වර්ධනය වන දරිද්‍රතාවය පිලිබඳව අවධානය යොමු කලේය. පසුගිය සතියේ අරනායක ප්‍රදේශයේ තරුන පියෙකු තම දරුවන් දෙදෙනාත් සමග සියදිවි නසා ගැනීමේ සිද්ධිය වැනි ඛේදජනක සිද්ධීන් තව වර්ධනය විය හැකි යයි ඔහු කියා සිටියේ ය.

ආන්ඩුව, අනෙකුත් ධනපති පක්ෂ, මාධ්‍යය, ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති, යුක්‍රේන යුද්ධය තුලින් වර්ධනය වියහැකි විනාශකාරී තත්වය සම්බන්ධව මහජනයා මුලුමනින්ම අඳුරේ තබා ඇත. 'වසංගත ලෙඩදුක් අවසන් කිරීමට කටයුතු කරනවා වෙනුවට සම්පත්, මිනිස් ජීවිත විනාශ කරන යුද්ධ කරන්නේ ඇයි” දැයි තවත් කම්කරුවෙකු ප්‍රශ්න කලේ ය.

එකිනෙකට පසමිතුරු ජාතික රාජ්‍ය පද්ධතිය ද, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ නිෂ්පාදනය ද යුද්ධයේ සහ සමාජ කාලකන්නිභාවයේ මූලය බව සසප සාමාජිකයෝ ඔහුට පෙන්වා දුන්හ. වේගයෙන් වැඩෙන න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක විනාශය නතර කල හැක්කේ, ජාත්‍යන්තරව වැඩෙමින් පවතින බලගතු පංති සටන් ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනයෙන් සන්නද්ධ කිරීමෙන් පමනි.

“මේ දේවල් වෙනත් දේශපාලන පක්ෂ කතා කරන්නේ නෑ. මේ පිලිබඳව ජනතාව දැනුවත් කල යුතුයි” යයි පැවසූ එම කම්කරුවා “යුක්‍රේන යුද්ධය නතර කිරීමට මහජන ව්‍යාපාරයක් ගොඩනගනු” යනුවෙන්, සසප තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) නිකුත් කල ප්‍රකාශයේ පිටපතක් මිල දී ගත්තේ ය.

තරුනයෙක් වන රූබන් ( කලු ඇඳුමින් ) (ලෝසවෙඅ)

තම මිතුරන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් උසස් පෙල අධ්‍යාපනය හඳාරන වත්තේ තරුනයෙක් වන රූබන් තවත් සසජාතශි ප්‍රකාශයක් මිල දී ගත්තේ ය.

තුර්කියේ හා සිරියාවේ පසුගිය සතියේ සිදු වූ භූ කම්පනය ගැන අවධානය යොමු කරමින් සසප උද්ඝෝෂකයන් ගෙනගිය සාකච්ඡාවට එක්වෙමින් අයිස්ලැබී වත්තේ කම්කරුවෙකු වන සෙල්වරාජා මෙසේ පැවසීය: 'කොයි රටේත් පාලකයන්ට මනුෂ්‍ය ජීවිත ගැන කිසි තැකීමක් නෑ. ලංකාවේ සුනාමියේ දී, මීරියබැද්දේ නායයෑමේ දී අපි වගේ සාමාන්‍ය කම්කරුවෝ තමයි විපතට පත්වූවන්ට උදව් කලේ” යයි සෙල්වරාජා ප්‍රකාශ කලේ ය.

සසප පෙරගමන්කරු වූ විප්ලවවාදී කොමිියුනිස්ට් සංගමය 1992 දී අයිස්ලැබී වත්තේ කුරුකුදේ කොටසට පැමින, ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල ඉදිරිිපත් කරමින් ආරම්භ කල දේශපාලන මැදිහත්වීම් අද දක්වා නොකඩවා සිදු කෙරෙමින් පැවතීම සම්බන්ධයෙන්, මරදවේල් නමැති කම්කරුවා සසප අගය කලේය. “මේ පක්ෂෙ අවුරුදු ගානක් තිස්සෙ මේ වත්තට ඇවිල්ල අපිට මේ වැඩපිලිවෙල කියල දීල තියනවා' යැයි ඔහු තම නිවසට පැමින සිටි ගැමියෙකුට පැවසීය.

1990 ගනන් මුල දී කුරුකුදේ කොටසේ කම්කරුවන් 300 ක් පමන සේවය කල නමුදු, 1990 ගනන් මැද භාගයේදී පුද්ගලික සමාගම්වලට වතු විකිනීමෙන් පසු එවක කම්කරුවන් මත පැටවූ අධික වැඩ බර හා අඩු වැටුප් හේතුවෙන් බොහෝ කම්කරුවෝ සහ ඔවුනගේ දරුවෝ වෙනත් රැකියා සොයා යන්නට පටන් ගත්හ. දැන් එහි ඇත්තේ කම්කරුවන් 60ක් 70ක් පමනි. ඔවුන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ රැකියා කරන අතර ජීවත්වීමට සරිලන වැටුපක් නැති නිසා නිවාඩු දිනට ගමේ කුලී වැඩට යති. “දැන් ගමේ වැඩත් එච්චර නැහැ” යැයි සභාරත්නම් කීවේ ය.

අයිස්ලැබී වත්තට යාබද පනංගල ග්‍රාමයට ගිය උද්ඝෝෂකයන්ට දැකගත හැකි වූයේ, බහුතරයක් ගොවීන් වන එහි ජනයා අන්ත දරිද්‍රතාවයට ඇදවැටී ඇති අයුරුයි. 2021 මුල දී ජනාධිපති රාජපක්ෂ පැනවූ රසායනික පොහොර තහනම ඔවුනගේ වගාවන් සහ ජීවිත කෙරෙහි දරුනු බලපෑමක් ඇතිකලබව ඔවුහු සසප සාමාජිකයන්ට පැවසූහ.

සිංහල සහ දෙමල භාෂා කතා කරන කම්කරුවන් පීඩිතයන් සම සමව සිටින එම ප්‍රදේශයේ තරුන විරැකියාව වඩාත් උග්‍ර වී පවතී. 'ගෝඨාභය රාජපක්ෂ එලවා දමපු පසුගිය අරගලය අවසානෙදි අපි අපේක්ෂා කල අරමුනු කිසිවක් ඉටුවුනේ නැත්තෙ ඇයි?' යනුවෙන් විරැකියාවෙන් පෙලෙන තරුනියක් ප්‍රශ්න කලා ය.

වෘත්තීය සමිති නායකයන්, ජවිපෙ, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඒකාබද්ධව, එම මහජන නැගිටීම කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් ඔස්සේ වර්ධනය කිරීමට හතුරුව, විපක්ෂයේ ධනපති පක්ෂවල අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල තුලට අපගමනයකොට පාවාදීමට ක්‍රියා කල අයුරුත්, එම පාවාදීමේ ප්‍රතිඵලය ලෙස, මහජන පදනමක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට ඔසවා තැබුනු බවත් සසප සාමාජිකයෝ ඇයට පැහැදිලි කලහ.

ඉහත ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති වලට එරෙහිව, සමස්ත නිෂ්පාදනය සහ බෙදා හැරීම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගෙන මානව අවශ්‍යතා සපිරෙන පරිදි ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීම සඳහා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමේ විකල්ප වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සසප එම මහජන නැගිටීම තුල සටන් වැදුනි.

ජාමූඅ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල යටතේ වික්‍රමසිංහ දැන් ක්‍රියාවට නගමින් තිබෙන බඳු බර ඉහල නැංවීම, සුභ සාධන වියදම් කප්පාදුව, රාජ්‍ය අංශයේ සේවක කප්පාදුව හා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය කිරීමේ කප්පාදු හේතුවෙන් මහජනයා මුහුන දෙන ගැටලු තවත් උග්‍ර වෙමින් වරාය, ටෙලිකොම්, විදුලිබල, සෞඛ්‍ය අංශවල කම්කරු පන්තියේ සටන් යලි පැන නංවා ඇති බවත්, ගියවසරේ මහජන නැගිටීම ඉක්මවා යන තත්වයක් වර්ධනය වෙමින් පවතින බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දියත් කර ඇති ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක වැඩපිලිවල මත පදනම්ව, තම පන්ති සටන් ඉදිරියට ගෙන යෑම සඳහා සෑම කම්හලකම, වතුවල නිවහන් ප්‍රදේශවල වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමටත් එම කමිටුවල නියෝජනයෙන් කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප මූලිකත්වය ගෙන ඇත.

යුද්ධය පරාජය කිරීමේ අරගලය හා සමාජවාදය සඳහා සටනින් වෙන් කල නො හැකි බවත් ඒ සඳහා සසප හා එක්වන ලෙසත් සසප සාමාජිකයෝ කල කැඳවුමට සාකච්ඡාවට සම්බන්ධ කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ලැබුනේ උද්‍යෝගිමත් ප්‍රතිචාරයකි.

Loading