සසප පලාත් පාලන මැතිවරන උද්ඝෝෂනය කොලඹ අවට පෙදෙස් හි සහයෝගය දිනා ගනී

[මෙය Sri Lanka: SEP’s local government election campaign wins support in Colombo outer-suburb මැයෙන් 2023 ජනවාරි 30 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාර්තු 9 දා පැවැත්වෙන පලාත් පාලන මැතිවරනය සඳහා සිය උද්ඝෝෂනය අරඹා ඇත. පක්ෂය, පලාත් පාලන ආයතන තුනක් සඳහා අපේක්ෂකයින් 53 දෙනෙකු ඉදිරිපත් කරයි: ඒ කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාව, මධ්‍යම වතුකරයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රාදේශීය සභාව සහ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවටයි.

විලානි පීරිස්, මයිල්වාගනම් දේවරාජා සහ තිරුඥාන සම්බන්ධර් (ඡායාරූපය: ලෝසවෙඅ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ප්‍රමුඛ ආන්ඩුව මීට පෙර මෙම මැතිවරන කල් දැමීමට උත්සාහ කලේ, පුලුල් මහජන විරෝධය හේතුවෙන් නින්දිත මැතිවරන පරාජයක් අත්වනු ඇතැයි යන බියෙනි.

සසප, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් ව කම්කරු පන්තියේ හා ගම්බද ජනතාවගේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලයේ කොටසක් ලෙස පලාත් පාලන මැතිවරනයට මැදිහත් වේ. සසප, කම්කරුවන්, තරුනයින් හා ගම්බද දුගීන් යුද විරෝධී වැඩපිලිවෙලක් මත බලමුලු ගන්වමින්, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරවලට එරෙහිව සටන් වදියි.

පසුගිය සතියේ සසප කන්ඩායමක් කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශය තුල උද්ඝෝෂනය කලේ, “ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන ප්‍රකාශය ඇතුලු පක්ෂ සාහිත්‍යයේ පිටපත් බෙදාහරිමිනි. 2022 ජූලි 20 වැනි දින එලි දක්වන ලද මෙම ප්‍රකාශය, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයකට නියෝජිතයන් යැවීමේ පදනම ලෙස, රැකියා ස්ථානවල සහ තදාසන්න ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා වැඩකරන ජනතාවගේ සහ තරුනයින්ගේ ජාතික ව්‍යාපාරයක් කැඳවුම් කරයි.

කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් තීව්‍ර වී ඇති ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයේ දේශපාලන හා ආර්ථික මූලයන් පිලිබඳව උද්ඝෝෂකයින් කම්කරුවන් හා තරුනයන් සමඟ සාකච්ඡා කලහ. ඔවුන්, පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ විසින් ඉටු කරනු ලබන භූමිකාව, සසප සමාජවාදී වැඩපිලිවෙල සහ ක්‍රියාකාරී කමිටු වල අවශ්‍යතාවය පැහැදිලි කලහ.

මීතොටමුල්ල ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී ජනාකීර්න ප්‍රදේශයකි. එහි පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ගබඩාවල, කුඩා ඇසුරුම් කම්හල්වල සහ ප්‍රාදේශීය සභාවේ සේවය කරන දෛනික කම්කරුවන් ය. ඇතැමුන් ත්‍රිරෝද රථ රියදුරන්, සපත්තු සාදන්නන් සහ පදික වෙලෙන්දන් ලෙස වැඩ කරති.

නිවැසියන් සසප උද්ඝෝෂකයින් සමග උද්‍යෝගයෙන් යුතුව දේශපාලන සාකච්ඡාවන්හි නිරත විය. බහුතරයක්, අනුප්‍රාප්තික ආන්ඩුවල දේශපාලනඥයන් දැඩි ලෙස හෙලා දුටුවේ ඔවුන් නරක අතට හැරෙන ආර්ථික හා සමාජ ව්‍යසනය සමඟ කටයුතු කිරීමට උත්සාහ කරන ආකාරය කෝපයෙන් පැහැදිලි කරමිනි. සමහරු පසුගිය වසරේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන විරෝධතාවලට සහභාගී වූවන් විය. පසුගිය සහ වත්මන් ආන්ඩු, තම දරුවන්ගේ ජීවිත විනාශ කරන බවට බොහෝ දෙනා චෝදනා කලහ.

එක් වැන්දඹුවක් ඇගේ පවුල ජීවන වියදම වැඩිවීම නිසා ජීවත් වීමට අරගල කරන ආකාරය පැහැදිලි කලාය. “අපි ජීවත් වන්නේ මගේ [ඉදිකිරීම් සේවකයෙකු ලෙස ලබන] පුතාගේ වැටුපෙන්, නමුත් සිමෙන්ති මිල ඉහල යාමෙන් ඉදිකිරීම් කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇති නිසා ඔහුට දිගටම වැඩ ලැබෙන්නේ නැහැ. ඔහුට දිනකට රුපියල් 3,000 ක් ලැබෙනවා. අපි දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ගන්නේ නැහැ, උදේ ආහාරය විතරයි. මම මගේ ස්වර්නාභරන උකස් කර ඇති නමුත් දැන් එය නිදහස් කර ගැනීමට හැකියාවක් නැහැ,” ඇය පැවසුවාය.

දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ වකුගඩු ආබාධ සඳහා ප්‍රතිකාර ලබන ඇය, කොලඹ ජාතික රෝහලේ ඖෂධ හිඟය පිලිබඳව ද පැමිනිලි කලාය. රෝහල්වල අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවරයන්ට අනුකූලව, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් සෞඛ්‍ය වියදම් කපා හැරීමේ ප්‍රතිඵලයක් බව සසප උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.

මීට වසර හයකට පමන පෙර එනම් 2017 අප්‍රේල් 14 වැනිදා ජනතාව සිංහල හා දෙමල අලුත් අවුරුද්ද සමරමින් සිටියදී එම ප්‍රදේශයේ විශාල කුනු කන්දක් නාය යෑමට ලක්විය. නිවාස දුසිම් ගනනක් විනාශ විය, 32 දෙනෙකු මිය ගිය අතර ඔවුන්ගෙන් සමහරක් පනපිටින් වැලලුනි. අනුප්‍රාප්තික ආන්ඩුවල සහ ධනේශ්වර ලාභ පද්ධතියේ සාපරාධී වගකීම හෙලිදරව් කරමින් සසප ඛේදවාචකය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයක් දියත් කලේය.

2017 අප්‍රේල් 14 දා මීතොටමුල්ල කුනු කන්ද නාය යාමෙන් පසු

කසල කන්ද කඩාවැටීමෙන් පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ ආකාරය ගයානි නම් ගෘහනිය ඉතා කනගාටුවෙන් විස්තර කලාය. කොලඹ මහ නගර සභාවේ සේවකයකු වූ ඇගේ සැමියාගේ එක් පාදයක් මෙම ව්‍යසනයෙන් බරපතල ලෙස තුවාල වී තිබිනි. “මගේ ආබාධිත සැමියා තවමත් රැකියාවට යන නමුත් ඒ ඉතා දුෂ්කර තත්වයන් යටතේ යි. ජීවිතය එන්න එන්නම අසීරු වෙනවා, ඔක්කෝටම වඩා, රෝහල්වල බෙහෙතුත් නැහැ,” ඇය පැවසුවාය.

“මේ කිසිම දේශපාලකයෙකුට ඡන්දය දීමට බලාපොරොත්තුවක් නැහැ,” ගයානි සියලුම ධනේශ්වර දේශපාලඥයින් කෙරෙහි සිය පිලිකුල ප්‍රකාශ කරමින් පැවසුවාය. 'නමුත් අපි ඔබ ගැන දන්නවා,' ඇය කුනු කන්දේ ඛේදවාචකය පිලිබඳ සසප ස්වාධීන කම්කරු විමර්ශනය සිහිපත් කරමින් තවදුරටත් පැවසුවාය. ඇය විමර්ශනය පිලිබඳ සසප පොතේ පිටපතක් මිල දී ගත්තාය. තම අසල්වැසි ප්‍රදේශයේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමේ වැදගත්කම උද්ඝෝෂකයින් පැහැදිලි කිරීමෙන් පසු ඇය ඊට සම්බන්ධ වීමට කැමැත්ත පල කලා ය.

දරුවන් හතර දෙනෙකුගේ මවක් සියලු දේශපාලන පක්ෂ හෙලා දුටුවාය. “ඔබ වගේ කෙනෙක් දේශපාලනය ගැන කතා කලාම අපිට කේන්ති යනවා. අසල්වැසියන් පවසන්නේ ඔවුන් [දේශපාලකයන්] සමඟ කතා කිරීමට ඔවුන්ට අවශ්‍ය නැති බවයි,” ඇය පැවසුවාය.

“කාට ඡන්දය දුන්නත් වැඩක් නැති නිසා අපි ගොඩක් කලකිරිලා ඉන්නේ, ඒක ප්‍රයෝජනයක් නැති වැඩක්. ඡන්දය වැදගත්, නමුත් අපට එය දරුවන්ගේ පාසල් ඇතුලත් කිරීම් සඳහා අවශ්‍ය නිසා පමන යි. දේශපාලකයෝ එන්නේ මැතිවරන කාලෙට විතරයි. ඊට පස්සේ ඒ අය පේන්න නැහැ.”

8 වැනි ශ්‍රේනියේ දියනියක් සහ 9 වැනි ශ්‍රේනියේ පුතෙකු ඉගෙනුම ලබන සිටින සේවිකාවක වන කෞෂල්‍යා මෙසේ පැවසුවාය: “කුඩා කර්මාන්තශාලා වැසීම නිසා බොහෝ දෙනෙකුට රැකියා ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒවගේම, එයාලට වැඩ ලැබුනත්, ඒ සතියකට දවස් දෙක තුනක් විතරයි. මගේ මහත්තයා වැඩ කරන්නේ නගර සභාවේ. ඔහුගේ මූලික වැටුප රුපියල් 20,000 ක් නමුත් නය වාරික අඩු කිරීමෙන් පසු කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ.

“බොහෝ කම්කරුවන් වෙනත් රටවලට සංක්‍රමනය වීමට උත්සාහ කලත්, ඒ සමඟ තවත් අවදානම් තිබෙනවා. නමුත් [විදේශ රැකියා වලින් ආදායමක් නොලබා] අපි ජීවත් වෙන්නේ කොහොමද ? අපේ දරුවන් පාසල් යවන්නේ කොහොමද? සපත්තු දෙකක් රුපියල් 4500 ක්, පාසල් බෑගය රුපියල් 4000 ක්” ඇය වැඩිදුරටත් පැවසුවාය.

කම්කරු පන්තිය ස්වාධීනව සමාජවාදී වැඩපිලිවෙලක් මත බලමුලු ගැන්වීමේ සසප අරගලයට එකඟ වූ ඇය, එම ප්‍රදේශයේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීම පිලිබඳ සාකච්ඡාවක් සංවිධානය කරන බව පැවසුවාය.

තරුන ත්‍රිරෝද රථ රියදුරෙකු වන හසන් මීට පෙර වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට (එජාප), ශ්‍රීලංපොපෙට සහ වත්මන් ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයට පවා ඡන්දය දී ඇත.

හසන්

මෙම සියලු පක්ෂ ගැන කලකිරීමට පත් ඔහු සසප උද්ඝෝෂකයන්ට පැවසුවේ තමන් ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ඡන්දය දෙන බවයි. “[ජවිපෙ නායක] අනුර කුමාර [දිසානායක]ගේ ප්‍රතිපත්ති හොඳයි,” නමුත් ජවිපෙ ඒවා ක්‍රියාත්මක කරයිද යන්න ගැන තමාට සැකයක් ඇති බව ඔහු පැවසීය.

සසප උද්ඝෝෂකයෝ, ජවිපෙ ජාමූඅ කප්පාදු පිලිවෙත් වලට සහය පලකල ආකාරය සහ එය 1994 සිට සෑම ධනේශ්වර ආන්ඩුවකම පාහේ හවුල්කරුවන් හෝ ආධාරකරුවන් වූ ආකාරය පැහැදිලි කලහ. එමෙන්ම ඔවුහු, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ෆැසිස්ට්වාදී දෙමල විරෝධී වාර්ගික යුද්ධයට එහි උද්‍යෝගිමත් සහයෝගයත්, 1988-90 කාලය තුල ජවිපෙහි කම්කරු පන්තියට එරෙහි භීෂනයත් සමාලෝචනය කලහ.

ජවිපෙ දේශපාලන වාර්තාව “ගැටලු සහගත” බවට පිලිතුරු දුන් හසන්, සාවධානව සවන් දෙමින්, සසප සහ එහි මැතිවරන ව්‍යාපාරය ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට කැමැත්ත පල කලේය.

තුන්වන අධිරාජ්‍යවාදී යුද්ධයක වැඩෙන අන්තරාය පිලිබඳ සසප විශ්ලේෂනය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: “රුසියාවට සහ චීනයට එරෙහිව ඇමරිකාවේ සහ නැටෝවේ යුද්ධයක් ඉදිරියට ගියහොත්, සමස්ත ලෝකයම විනාශ වී යාමේ අනතුර පවතිනවා. හිරෝෂිමා සහ නාගසාකි වලට බෝම්බ හෙලීමේ ප්‍රතිවිපාක අදටත් ජපන් දරුවන් මුහුන දෙනවා. මම, යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සහ තරුනයන් බලමුලු ගැන්වීම සඳහා එනඟයි. විශේෂයෙන්ම යුද්ධයට එරෙහිව සංවිධානය වීම ගැන මම අනෙකුත් තරුනයන් සමඟ සාකච්ඡාවක් සංවිධානය කරන්නම්.

“මේ තත්ත්වය තුල ජනතා විමුක්ති පෙරමුන ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සමඟ අත්වැල් බැඳගෙන සිටින බව ඔබ පැහැදිලි කලා. මම ඒ කරුනු තේරුම් ගත්තා. ජනතා විමුක්ති පෙරමුනට ධනේශ්වර ආන්ඩු සමඟ ගනුදෙනු කිරීමේ ඉතිහාසයක් තිබෙනවා,” ඔහු පැවසීය.

Loading