කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හලේ දහසකට අධික කම්කරුවන් සංඛ්‍යාවක් ආහාර විසවීමෙන් පෙබරවාරි 11 වන සෙනසුරාදා රෝගී වූ බව ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා විය. ඔවුන්ගෙන් ඇතැමෙකු රෝහල්ගත කිරීමට පාලනාධිකාරයට සිදුවිය.
සෙනසුරාදා වැඩට ගිය සේවක සේවිකාවන්ගෙන් සමහරෙකුට උදරයේ රුදාව වැලඳුනු අතර මෙයට හේතුව, පෙර දින, එනම් සිකුරාදා ගන්නා ලද දිවා ආහාරය බව ඔවුහු පවසති. මෙයට සති දෙකකට පෙර ජනවාරි 27 ද එම ආයතනය තුල මෙවන් ආහාර විසවීමක් සිදුව ඇත. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හල වනාහි සේවකයින් 3,000-4,000 ක් සේවයේ නිරත ප්‍රමූඛ පෙලේ ඇඟලුම් නිෂ්පාදන සමාගමකි.
පාලනාධිකාරය විසින් රෝගී වූ සේවකයින් කම්හලේ ප්‍රතිකාර කාමරයට (සික් රූම්)යොමු කෙරිනි. එහිදී අසමෝදගම් සහ පෙති වර්ග දුන් නමුත් ඔවුන්ගේ තත්වය තවතවත් දරුනු විය. අනතුරුව ඔවුන් මීගමුව, මිනුවන්ගොඩ, සීදුව රෝහල්වලට ප්‍රතිකාර සඳහා යැවීමට පාලනාධිකාරයට සිදුවිය. ඇතැමෙකු වෙලඳ කලාපයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට යොමු කෙරිනි.
රෝගී වූ එක් කම්කරුවකු ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට මෙසේ පැවසුවේය; “වැඩට ගියාට පස්සෙ එක්කෙනා දෙන්න කලාන්තය දාල වැටෙන්න පටන් ගත්තා. ඊට පසුවයි රෝහල්වලට යැව්වේ. සෙනසුරාදා උදේ ඉඳන් තමයි කට්ටියට අමාරු වෙන්න පටන් ගත්තෙ. මීට කලින් සතියකත් සමහර අයට කෑම ඇලජික් වුනා.“
තවත් කම්කරුවෙක් පැවසුවේ, ආහාර සඳහා ලබා දී තිබුනේ කහබත් සමග කුකුල් මස් සහ මෝජු බවත් මෙහි පිරිසිදු කහ වෙනුවට කුඩු සහ කැට වසයෙන් යමක් තිබුනු බවට තමන් නිරීක්ෂනය කල බවත් ය.
ජනවාරි 27 දිනද, දිවා ආහරය ගැනීමෙන් පසු සේවකයින් 500 කට අධික ප්‍රමානයක් රෝගී වූහ. මේ තොරතුරු සමාජගතවීම වැලැක්වීම සඳහා කිසිදු සේවකයෙක් රෝහල්ගත කිරීමට පාලකයන් ක්‍රියා කර තිබුනේ නැත. පලමුව, පාලනාධිකාරය විසින් රෝගී වූ සේවක සේවිකාවන් ට කෝපි ලබාදි තිබුනු අතර ඉන් මඳ වේලාවකට පසුව ආයතනයේ වෛද්‍යවරයා කැදවා ඇත. ඔහු විසින් සේවක සේවිකාවන් කීපදෙනෙකුට සේලයින් ලබාදීමට කටයුතු කල බව කම්කරුවෝ පැවසූහ.
කම්හලේ ආපන ශාලාවක් තිබුනද, ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පාලනාධිකාරය, කම්හල ට ආහාර සැපයීම සඳහා පිටස්තර සැපයුම්කරුවෙකුට කොන්ත්‍රාත් දී ඇත.
මෙම ආහාර විසවීම මගින් කම්කරුවන් කෙරෙහි පාලකයන්ගේ තුච්ච නොතැකීම පිලිබිඹු කෙරේ. කෑම අප්‍රසන්න බව කම්කරුවන් විසින් කිහිප වරක්ම පාලනාධිකාරයට පැමිනිලි කල විට, සැපයුම්කරුට එරෙහිව පියවර ගන්නවා වෙනුවට, කම්කරුවන්ට ගෙදරින් කෑම රැගෙන එන ලෙසට තර්ජනය කර ඇත.
ආහාරවල තත්වය නිසි ප්‍රමිතියකට නොපවතින නිසා කම්කරුවන්ට ආහාර ඉවත දැමීමට සිදුවන බව එක් කාන්තා කම්කරුවකු ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැවසුවාය.
කෝවිඩ්-19 හි පලමු රැල්ල අතරතුර, එයට මුවාවී 2020 ජූනි මස ස්මාර්ට් ෂර්ට් කම්හල් ජාලයට අයත් කම්හල්වල දහස් ගනනකගේ රැකියා අහිමි කෙරිනි. ඒ වන විට කටුනායක කම්හල් තුනේ පමනක් කම්කරුවන් 5,000 ක් පමන සේවයේ යෙදී සිටියද, මෙම සංඛ්‍යාව කිහිප සියයකට කපා හැරිනි. තම ලාභ ආරාක්ෂා කිරීමේ යෙදී සිටින පාලකයෝ, මෙම සේවක කප්පාදුව යටතේ දිගු කාලයක් සේවයේ සිටි කම්කරුවන්ට සොච්චම් වන්දියක් ගෙවූ අතර ඇතැම් කම්කරුවන්ට කිසිදු වන්දියක් නොගෙවූහ.
ශ්‍රම බලකායන් කපා හැරියද කම්හල් හිමියන් ලාභය පවත්වා ගැනීම සඳහා ඵලදායිතාව වැඩි කිරීම සඳහා වැඩ වේගවත් කිරීමට සහ වැඩ බර වැඩි කිරීමට පියවර ගත්හ.
චීනය, හොංකොං, කාම්බෝජියාව, වියට්නාමය, ඉතියෝපියාව යනාදි රටවල කම්හල් පවත්වාගෙන යන ස්මාට් ෂර්ට් සමාගම 1978 කටුනායක කලාපයේ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර කටුනායක කලාපය ඇතුලුව සමස්ත කම්හල් ජාලයට අයත් කම්හල් අටක් රටේ විවිධ ප්‍රදේශවල පැවතිනි.
දැනට වසර 35 ක් ආසන්නව පැවතී ඇති මෙම කම්හල් ජාලය ඩොලර් බිලියන ගනන් ලාභ උපයාගෙන ඇති බව නොරහසකි. එහෙත් සෑම විටම යම් ලාභ අඩුවීමේ තර්ජනයකට කම්හල් හිමියන් මුහුන දුන් විට කම්කරුවන් මත එය පැටවේ.
ස්මාර්ට් ෂර්ට් පාලකයින් විසින් කොරෝනා වසංගත කාලයේ ලබා දුන් රුපියල් 5,000 දීමනාව පසුගිය දෙසැම්බරයේ සිට නවතා ඇති අතර අතිකාලද අඩු කර ඇත. මේ හේතුවෙන්, කම්කරුවන්ගේ මාසික ඉපයීම් තවතවත් අඩු වී ඇත. අතිකාල ගෙවීම් සහිතව තමන්ට ලැබුනු මාසික ඉපයීම් රුපියල් 10,000 කින් පමන අඩුවී ඇති බවත්, ආහාර, බෝඩිං කුලී සහ විදුලි බිල් සඳහා වියදම් කල පසුව මුදල් කිසිවක් ඉතිරි නොවන බවත් කම්කරුවෙක් පැවසීය.
කම්කරුවන්ගේ පසුම්බි හිස් වූවද ඇඟලුම් හාම්පුත්තුන්ගේ ලාභ තර වී ඇත. රටේ සමස්ත අපනයනවලින් සියයට 40 ක් පමන වන ඇඟලුම් කර්මාන්තයේ අපනයන ආදායම වැඩි වී ඇත. දෙසැම්බර් 20 වැනිදා ඩේලි එෆ්ටී පුවත්පතේ වාර්තාවකට අනුව, වසරේ පලමු මාස 11 තුල ආදායම ඇමරිකානු ඩොලර් (ඇඩො) බිලියන 5.14 ක එදාමෙදා තුර ඉහලම අගයකට ලඟා වී තිබිනි. මෙම ආදායම 2021 වසරේ මෙම කාලයට සංසදානාත්මකව සියයට 12.3 ක වර්ධනයකි. තවද, මෙය කොරෝන වසංගතයට පෙරාතු එනම් 2019 වසරේ ආදායම වූ ඇඩො 4.84 ද ඉක්මවා යාමකි.
කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය නිසා ගැඹුරු වී ඇති ලෝක ආර්ථික අර්බුදය තුලින් නිර්මානය කෙරී ඇති තත්වය මගින් ඇනවුම් පහත වැටී ඇත.
ඇනවුම් සියයට 40කින් පහත වැටී ඇති බවත්, එම තතු තුල සතියක වැඩ දින ගනන පහේ සිට තුන දක්වා අඩු වී ඇති හෙයින් අතිකාල වැඩ නොමැති බවත්, ඒ නිසා කම්කරුවන් රැකියාවෙන් ඉවත් ව යන බවත්, සුලු පරිමාන ඇඟලුම් අපනයනයන කර්මාන්තය ද බරපතල අර්බුදයකට මුහුන දී ඇති බවත් සුලු පරිමාන ඇඟලුම් අපනයන කරුවන්ගේ සංගමයේ මහ ලේකම් මෑතකදී බිස්නස් ටයිම්ස් පත්‍රයට පැවසීය.
කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂනය නොතකා, මිනිස් ජීවිතවලට වඩා ලාභය සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ඇඟලුම් හිමියන්, ඇනවුම් අඩු වීමෙන් ඇතිවන පාඩුව පියවා ගන්නේ කම්කරුවන් තවතවත් සූරා කෑම උග්‍ර කිරීම මගිනි. ආන්ඩුව ද, ඇඟලුම් හිමියන් සමග සම්මුතිවාදීව වැඩ කරන වෘත්තීය සමිතිද මෙයට පූර්න සහාය ලබාදෙති.
කම්හල තුල දී ගුනාත්මක ආහාර ලබා ගැනීම සහ තම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, කම්කරුවන් විසින් එම කටයුතු අධීක්ෂනය කිරීම මත රඳා පවතී. ගුනාත්මක ආහාර වේලක් ලබා ගැනීම ඇතුලු අනෙකුත් අයිතීන් ආරක්ෂා කිරීම සඳහා, ආන්ඩුවේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති, ව්‍යාජ වාම පක්ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, කම්කරුවන් තම අයිතීන් සඳහා සටන සියතට ගත යුතු ය.