ගෘහ සේවිකාවක් පොලිස් අත් අඩංගුවේ දී මිය යාම: වතුකරයේ ජනයා අත්විඳින ඛේදනීය තත්වයේ පැතිකඩක්

කොලඹ ව්‍යාපාරික නිවසක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී, පසුගිය මැයි 12 දා, පොලිස් අත්අඩංගුවේදී මියගිය ආර්. රාජකුමාරිගේ මරනයෙන් මාසයක් ගත්වී ඇතත් එයට සම්බන්ධ කිසිදු ප්‍රධාන සැකකරුවෙකු අත් අඩංගුවට හෝ නොගැනීමෙන් පීඩිත ජනයාගේ ඉරනම සම්බන්ධයෙන් ධනපති ආන්ඩුවේ නොතැකීම ප්‍රදර්ශනය කරයි. එමෙන්ම, මෙම ඛේදනීය සිදුවීමෙන්, ගෘහ සේවයේ යෙදෙන දිලිඳු කාන්තාවන්, විශේෂයෙන්ම වතුකරයේ ජනයා අත්විඳින ඛේදනීය තත්වයේ පැතිකඩක් හෙලිදරව් කෙරේ.

මියයන විට 42 හැවිරිදි පසුවූ රාජකුමාරි, වයස අවුරුදු 7, 11 සහ13 වයසේ පාසැල් යන දරු තිදෙනෙකුගේ මවක් වූවා ය. ඇගේ සැමියා වන සෙල්ලදොරේ යෙසුරාජ් රැකියාව ලෙස කරනුයේ අම්පාර ප්‍රදේශයේ උක්වත්තක උග්ගස් කැපීමයි. ඔවුන්ගේ පදිංචිය බදුල්ල දෙමෝදර ප්‍රදේශය යි.

ආර්.රාජකුමාරි (පින්තූරය- සමාජ මාධ්‍ය)

පවුලේ අගහිඟකම් හේතුවෙන් ගෘහ සේවිකාවක් ලෙස කොලඹ පැමිනි රාජකුමාරි, වසරක පමන කාලයක් සේවය කර ඇත්තේ, ප‍්‍රධාන ව්‍යාපාරික කාන්තාවක් හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ බොරැල්ල කොටා පාරේ පිහිටි නිවසක යි.

“නිවසක තිබූ වටිනා භාන්ඩ මෙහෙකාරිය විසින් සොරා ගත් බව අදාල නිවසින් පොලිසියට දැනුම් දුන් නිසා” වැලිකඩ පොලිසිය ඒ පිලිබඳ විමර්ශනය කර ඇය අත්අඩංගුවට ගෙන තිබුන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මාධ්‍යයට පවසා තිබුනි. ඒ වනවිට ඇය සේවය කරමින් සිට ඇත්තේ වෙනත් නිවසක ය.

2023 මැයි 11 වන දා සෙල්ලදොරේ තම බිරිඳට දුරකථනයෙන් කථා කරන විට ඇය පොලිස් භාරයේ සිට ඇත. පොලිසිය තමන්ට පහර දෙන බව පවසමින් තමා බේරා ගන්නා ලෙස ඇය සැමියාට පවසා ඇති බව, රාජකුමාරි වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මංජුල පතිරාජ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලේ ය.

රාජකුමාරිගේ සැමියා ඇතුලු ඥාතීන් ඇගේ මරනය සැක සහිත යැයි පැවසූ තත්වයක් තුල, ඒ ගැන පරීක්ෂනයක් කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කිරීමට පොලිස්පතිවරයාට බල කෙරිනි.

පොලිසිය විසින් රාජකුමාරි අත් අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටිය ද අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් තබා නැති බවත් මෙය නීති විරෝධී රඳවා තබා ගැනීමක් බවත් උක්ත පොලිස් පරීක්ෂනවලදී අනාවරනය විය. ඇය එහිදී පහරකෑමට ලක්ව ඇති බව ද විමර්ශන මගින් හෙලිදරව්විය. වාර්තාවෙන අන්දමට වැලිකඩ පොලිසිය විසින් රාජකුමාරී කොලඹ ජාතික රෝහලට ඇතුලත්කොට ඇත්තේ, මහමග වැටී සිටි අයෙකු ලෙස සාවද්‍ය ලෙස හඳුන්වා දෙමිනි.

රාජකුමාරිගේ ”ශරීරය පුරා තැළුම් පහරවල් දක්නට තිබුනු” බව නීතීඥ පතිරාජ ලෝසවෙඅ ට තවදුරටත් පැවසුවේ ය. මේ කරුනු සනාථ කරමින් ”සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ” සභාපති නීතීඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන්ට පැවසුවේ, රාජකුමාරිගේ සිරුරේ පහර කෑමේ සලකුනු තිබෙන බව මූලික වෛද්‍ය වාර්තාවේ පැහැදිලිවම සටහන් වී ඇති බවයි.

පොලිස් තොරතුරුවලින් තවදුරටත් අනාවරනය වී ඇත්තේ ඇය කිසිවක් සොරකම් නොකල බව පුනපුනා කීවද, පොලිස් නිලධාරීන් විසින් ඇයට පහර දී තිබෙන බවත්, එහිදී හුස්ම ගැනීමට අපසහුවීමෙන් සිහිසන් වූ ඇය ජාතික රෝහලට ඇතුලත් කල බවත් ය.

රාජකුමාරී පිලිබඳ නඩුවාරවලදී, කම්කරු පීඩිත ජනයා කෙරෙහි ධනපති ආන්ඩුවේ, ධනපති රාජ්‍යයේ, එහි බලධාරින්ගේ සහ ඉහල මධ්‍යම පන්තිකයන්ගේ නොතැකීම සහ පිලිකුල එලිමහනට පැමින තිබේ. ජූනි 2දා පැවති නඩු වාරයේ දී හෙලිවූයේ, රාජකුමාරි අවසන් වරට සේවය කල නිවසේ හිමිකරුවන් අදාල සීසීටීවී දර්ශන විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලබා දීම ප්‍රතික්ෂේප කොට තිබෙන බවයි. ඒ අනුව, අදාල සීසීටීවී දර්ශන ලබා ගෙන විමර්ශනය කර කරුනු ඉදිරිපත් කරන්නැයි අධිකරනය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කලේය.

මෙම සිදුවීමේදී පොලිසිය, පැමිනිල්ල කල ධනපති ව්‍යාපාරික කාන්තාවගේ අවශ්‍යතාවන්ට සේවය කර ඇති බව නීතිඥ පතිරාජ අධිකරනයේ පෙන්වාදුන් කරුනු අනුව පැහැදිලි වෙයි. වැලිකඩ පොලිසියේ නිලධාරීන් පවසන පරිදි මිය ගිය රාජකුමාරිගේ දේහය මහ මඟ තිබී සොයා ගත්තේ නම් පවතින නීති මාලාවට අනුව “පොලිස් නිලධාරීන් තම සාක්කු සටහන් පොත්වල එය සටහන් කිරීම, අධිකරන වෛද්‍ය කාර්යාලයේ පෝරම සම්පූර්න කිරීම, රෝහල් පොලිස් මුරපොල දැනුවත් කිරීම කල යුතු” නමුත් පොලිසිය ඒ අවශ්‍යතා සපුරා ඇති ද යන්න ගැන සැකයක් පවතින බව නීතිඥ පතිරාජ අධිකරනයට කීවේ ය. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මෙම කරනු ගැන සොයා බැලිය යුතු බව කියාසිටි ඔහු ඒ සඳහා නියෝග නිකුත් කරන ලෙස ඔහු අධිකරනයෙන් ඉල්ලා සිටියේ ය.

අධිකරනයේදී තවදුරටත් හෙලිවූයේ මෙලෙස ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන කාන්තාවන්ට ඇත්තේ “ඉතා අවම අයිතිවාසිකම්” බවයි. මේ අනුව පොලිසිය පරීක්ෂන “ස්වාධීනව” කරන්නේ ද යන්න ගැන අධීක්ෂනය කරන ලෙස නීතිඥ පතිරාජ අධිකරනයෙන් තවදුරටත් ඉල්ලා සිටියේ ය.

නීතීඥ භවානි ෆොන්සේකා සඳහන්කොට ඇත්තේ, සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කලයුතු කාර්ය පටිපාටියට අයත් කිසිවක්, එනම් සැකකරුගේ පවුලේ අය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම, ප්‍රශ්න කිරීමේදී නීතිඥයෙකුගේ උපකාරය ලබා ගැනීමට ඉඩදීම සහ කිසිදු පහර දීමක් සිදු නොකිරීම යනාදිය මෙම සිදුවීමේදී අනුගමනය කෙරී නැති බව හෙලිවී ඇති බවයි. මේ කරුනු අවධාරනය කරන ඇය, මෙම මරනය, ”අත්අඩංගුවේදී මියයාමක් (Custodial Death)” බවත් “මෙවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කිරීම අවශ්‍ය” බවත් ඇය කියා සිටී.

සිද්ධිය පිලිබඳ වැඩෙන මහජන වෛරය හා පිලිකුල සමහන් කිරීමේ අරමුනින්, පොලිස්පතිගේ නියෝගයන් මත, දැනට පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, කොස්තාපල්වරියන් දෙදෙනෙකු හා කොස්තාපල්වරයෙකු වෙනත් පොලිස් ස්ථානයන්ට මාරුකර ඇත.

මේ පිලිබඳ අදහස් දක්වමින්, නීතීඥ සේනක පෙරේරා අවධාරනය කලේ. වැඩ තහනම් කිරීම හුදෙක් “විනයානුකූල විමර්ශන පියවරක් පමනක්” බවත් සිදුව ඇති අපරාධයට “අපරාධ නීතිය කි‍්‍රයාත්මක විය යුතු” බවත් ය.

අපරාධයට හවුල්වූ පොලිස් නිලධාරීන් ඇතුලු සෙස්සන්ට නිසි දඬුවම් ලබා දිය යුතුය යන්න සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැත. එහෙත්, රාජකුමාරිගේ මරනය සම්බන්ධයෙන් 'හිමිකම් සංවිධානයන්' ගෙනයන උද්ඝෝෂනය තුල එක් මූලික කරුනක් සිතාමතාම යටපත්කර දමයි. එනම්, කම්කරු පන්තියේ පීඩිතම කොටසක්වන වතුකම්කරු ජනයාට අයත් වන රාජකුමාරිගේ මරනයට, කුනුවී ඕජස් ගලන සමස්ත ධනපති ක්‍රමයම වගකිවයුතු බව යි.

ශ‍්‍රී ලංකාවේ ඉහලම කාන්තා ශ‍්‍රම දායකත්වයක් සම්පාදනය කරන රැකියා අතුරෙන් දෙවන ස්ථානයේ පවතින්නේ වතු කම්කරු රැකියාවයි. නමුත් පහත් ම වැටුප් ලබන්නේ සහ දරිද්‍රතාවෙන් මුල් තැනට පැමින ඇත්තේ වතු කම්කරු ජනතාවයි. බහුතර දරුවන් පාසල්වලින් ගිලිහෙන්නේ ද වතුකරයේ ය. ධනවාදය විසින් ඔවුන්ට උරුම කර දී ඇත්තේ, දැවැන්ත විරැකියාව, විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන් අතර උග්‍ර මන්ද පෝෂනය ඇතුලු අනේකාකාර සමාජ, ආර්ථික ප්‍රශ්න පමනි.

මෙම තත්වය හමුවේ, ලංකාවේ සෙසු ප්‍රදේශවල පීඩිත කාන්තාවන් මෙන්ම වතුකරයේද බොහෝ කාන්තාවන්, තරුනියන් මැදපෙරදිග රටවල මෙහෙකාරකමට ගොස් අනේක තාඩන, පීඩනවලට ගොදුරු වෙති. ඇතම් අය මරනයට පත් වෙති.

රාජකුමාරි ඇතුලු තවත් දහස් ගනන් කාන්තාවන්, කොලඹ සහ අනෙකුත් ප්‍රධාන නගරයන්හි ධනවත් හා ඉහල මධ්‍යම පන්තික නිවාසයන්හි අනේක ගැහට මැද බැලමෙහෙවර කිරීමට තල්ලු කෙරී ඇත්තේ, වතුකරය තුල ඔවුන්ට නිසි ජීවනෝපායක් නොමැතිවීම බව, රාජකුමාරිට “යුක්තියේ සාධාරනය” යදින උද්ඝෝෂකයන්ට අදාල නැත.

රුපියල් දහසකට අඩු දෛනික වැටුපක් ලබන වතුකම්කරුවාට එයින් සිය දරුපවුලක් නඩත්තු කිරීමට හැකියාවක් ඇත්තේම නැත. ඒ හේතුවෙන්, සාපේක්ෂ වසයෙන් යම් හෝ ඉහල ආදායමක් ලැබෙන වෙනත් රැකියාවන්හි යෙදීමට වතුකරයේ ජනයා තල්ලු කෙරී ඇත. රාජකුමාරිට ගෘහ සේවිකාවක් ලෙසත්, ඇගේ සැමියාට අම්පාර ප්‍රදේශයේ උක් කම්කරුවෙකු ලෙසත් රැකියාවට යාමට බල කෙරුනේ මෙම කොන්දේසි විසිනි.

පසුගිය කාලයේදී රාජකුමාරී ද ඇතුලුව මෙරට ගෘහ සේවයේ නියුතු වතුකම්කරු කාන්තාවන් අඩුම ගනනේ තුන් දෙනෙකු මරනයට පත්ව තිබේ. ඒ සියලු මරනවලදී ද ආන්ඩුවල, විපක්ෂවල, වෘත්තීය සමිතිවල සහ අදාල බලධාරීන්ගේ නොතැකීම එක හා සමානය.

විපක්ෂ සමගි ජනබලවේගයේ (සජබ) නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, මැයි 23දා පාර්ලිමේන්තුවේදී, රාජකුමරි ගැන කිඹුල් කඳුලු හෙලමින් කියා සිටියේ, ඇය මුහුන දුන් ඛේදවාචකය, “කන්ද උඩරට සිට කොලඹ පැමින වැඩකරන කාන්තාවන් මුහුනදෙන ප්‍රශ්නයක්” බවත් “මේ සම්බන්ධයෙන් පොලිසිය හරි තීන්දු ගතයුතු” බවත් යය. වතුකර ජනයාගේ වෛරය සමහන් කිරීමට සිදුකරන මෙවන් හිස් ප්‍රකාශවලින්, මෙම වහල් තත්වය පවත්වා ගැනීමට සඳහා සුරේෂ් සහ ඔහු නියෝජනය කරන සජබ ඇතුලු ධනපති පක්ෂ ඉටුකල සාපරාධී ක්‍රියාකලාපය ආවරනය කල නොහේ.

පොදුවේ ගත් කල කම්කරුවන් හා පීඩිත ජනයාට එරෙහි පොලිස් අපරාධවල සීඝ්‍ර ඉහලයාමක් දක්නට ලැබේ. පසුගිය වසරේ මහජන නැගිටීමේදී මිලියන සංඛ්‍යාත මහජනයා ධනපති ක්‍රමය කෙරෙහි දැක්වූ පිලිකුල සහ වෛරයට ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ මහජනයාට එරෙහි පොලිස් මර්දන යාන්ත්‍රනය තීව්‍ර කිරීම ය. මෙම මර්දන යන්ත්‍රය ශක්තිමත් කෙරුනේ, දෙමල ජනයාට එරෙහිව 1983 දී දියත් කොට දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය ලේවැකි වාර්ගික යුද්ධය මගිනි.

පොලිස් අත් අඩංගුවේ දී මිය ගිය පුද්ගලයන්ගේ මරන පිලිබඳව පසු ගිය කාලය පුරා ම වාර්තා වී ඇත. ඒවා බොහොමයක් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන් හා ආයුධ සොයා ගැනීම් ආදිය සඳහා කෙරෙන මෙහෙයුම් වලදී, අපරාධකරුවන් විසින් කරන ලද වෙඩි තැබීම්, පහර දීම් හේතු කොට ගෙන “සිය ආරක්ෂාව සඳහා පොලිසිය සැකකරුට පෙරලා වෙඩි තැබූ අවස්ථාවේ” සිදුවූ මරන බවට තොරොම්බල් කරන බේගලය මාධ්‍ය විසින් අඛන්ඩව ප්‍රවර්ධනය කර ඇත. මේ සම්බන්ධයෙන් මහජනයා තුල ඇත්තේ දැඩි අප‍්‍රසාදයකි.

වෘත්තීය පුහුනු නිලධාරී සමන්ත ප‍්‍රීති කුමාර පොලිස් අත් අඩංගුවේ දී මොට ආයුධවලින් පහර දීම නිසා මෘදු පටකවලට හානි වීමෙන් මිය ගිය බව මහේස්ත‍්‍රාත් අධිකරනය තීරනය කලේ මැයි 6 දා ය.

රාජකුමාරීගේ “ඝාතකයන්ට වහා දඬුවම් කරනු” යැයි පැවැති නිහඬ උද්ඝෝෂනයකට පැනගත් ව්‍යාජ වාම එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, “මේ රටේ එක නීතියක් නෑ. දුප්පතුන්ට එක නීතියක් ධනවතුන්ට එක නීතියක්” යැයි කියමින් මාධ්‍ය ඉදිරියේ කන්කෙඳිරි ගෑවේ ය. ජයසූරිය මෙහිදී හිතාමතාම වසන් කරන්නේ, ධනපති නීතිය සහ ධනපති අධිකරනය යනු පීඩක ධනේශ්වර රාජ්‍යයේ උපකරනයන් මිස කම්කරුවන්ගේ හෝ දුප්පතුන් සඳහා පවතින්නක් නොවන බවයි. මෙවන් ප්‍රකාශවල අරමුන වන්නේ ඊනියා බලපෑම් දැමීම හරහා ඒ හෝ මේ ආකාරයෙන් ධනපති රාජ්‍යය තුල “යුක්තිය ඉටුකරගත හැකිය” යන මිත්‍යාව වගා කිරීම යි.

කම්කරු අයිතීන් පිලිබඳ නීතීඥයෙකු ලෙස ප්‍රකට එස්.එච්.ඒ.මොහමඞ් රාජකුමාරිගේ මරනය ගැන කතා කරමින්, ”මෙවැනි අපරාධවලට එරෙහි ව පියවර ගත හැක්කේ ඔවුන් වෘත්තීය සමිතියක් තුල සංවිධානය කිරීමෙන් පමනි”යැයි කියා ඇත. එහෙත් දශක ගනනක් තිස්සේ, වතුකම්කරුවන් මුහුනු දෙන මෙම වහල් කොන්දේසි පවත්වා ගෙන ගොස් තිබින්නේ, ධනපති දේශපාලන පක්ෂ බවටම පරිවර්ථනයවී ඇති ලංකා වතු කම්කරු කොන්ග්‍රසය, කදුරට ජනතා පෙරමුන, ලංකා ජාතික වතුකම්කරු සමිතිය යනාදී සියලු වතු වෘත්තීය සමිතිවල පූර්න පිටුබලය ලබමිනි.

මේ කරුනු පෙන්නුම් කරන්නේ, ධනපති ක්‍රමයට ගැටගැසුනු උක්ත වෘත්තීය සමිති හෝ තවත් වෘත්තීය සමිතියක් හරහා රාජකුමාරි වැනි ගෘහසේවිකාවන්ට යුක්තිය සැලසීම සිදුවේය යන්න මිත්‍යාවක් බවයි. ඒ වෙනුවට සමාජවාදී සමානතා පක්ෂය යෝජනා කරන්නේ, මෙම වෘත්තීය සමිතිවලින් ස්වාධීනවූ සහ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අව්‍යාජව සටන් වදින කම්කරු ක්‍රියාකාරී කමිටු තනාගත යුතු බවයි. කම්කරු පන්තියේ මෙම සුවිශේෂී කන්ඩායමේ අයිතිවාසිකම් වෙනුවෙන් අව්‍යාජ සටනක් දියත් කල හැක්කේ, අවශේෂ කම්කරු පන්තියේ කොටස්ද හවුල්කරගනිමින් ගෘහසේවක/සේවිකාවන් විසින් පිහිටුවා ගන්නා එවන් ක්‍රියාකාරී කමිටුවක්, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරු ක්‍රියාකාරී කමිටු සමග ජාතිකව සහ ජාත්‍යන්තරව සන්ධාන ගතවීමෙන් පමනකි.

Loading