(මෙය Sri Lankan SEP demonstrates in Colombo against privatisation and government repression මැයෙන් 2022 ජුනි 19දා පල කල ලිපියේ පරිවර්තනය යි.)
ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ (ශ්‍රීලංරස) කලමනාකාරීත්වය විසින් එහි සේවකයන් දඩයම් කිරීමටත්, රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීමේ වික්‍රමසිංහ ආන්ඩුවෙහි සැලසුම්වලටත් එරෙහි ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප), කොලඹ ශ්‍රීලංරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට, පසුගිය ජුනි 15දා බලගතු විරෝධතාවක් පැවැත්වී ය.
ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට හා එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව, සමාජවාදී පිලිවෙත් මත කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට සසප ගෙන යන උද්ඝෝෂනයෙහි කොටසක් ලෙස මෙම විරෝධතාව පැවැත්වුනි. ජූලි 6 බ්‍රහස්පතින්දා සවස 4ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සසප ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.
ජුනි 15දා, දිවා ආහාර කාලසීමාවේ, තවත් වෘත්තීය සමිති සහ රාජ්‍ය නො වන සංවිධාන කිහිපයක් සමග විරෝධතාවක් සංවිධානය කර තිබුනු, රක්ෂණ සංස්ථා පොදු සේවක සමිතියේ (රසංපොසේස) ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල ගේ ආරාධානාවකට ප්‍රතිචාර වසයෙන්, සසප මෙම විරෝධතාව පැවැත්වී ය.
ශ්‍රීලංරස පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම්වලට එරෙහි ව, මින් පෙර දී පවත්වන ලද විරෝධතාවන්ගෙන් අනතුරු ව, ඇතුගල හා රසංපොසේස මාධ්‍ය ලේකම් නයෝමි හෙට්ටිආරච්චි දඩයමට ලක්කොට බලහත්කාරයෙන් මාරුකරන ලදී.
පුද්ගලීකරනයට හා ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි පක්ෂයේ අඛන්ඩ විරුද්ධත්වය හේතුවෙන්, ශ්‍රීලංරස කම්කරුවන් අතර බලගතු සහයෝගයක් දිනාගෙන තිබීම නිසා, රසංපොසේස විරෝධතාවට සහභාගි වන ලෙස ඇතුගල සසපට ආරාධනා කලේ ය. ආන්ඩුවට පීඩනය යෙදීම මත පදනම් වන ක්‍රියා මාර්ගයක් සහිත රසංපොසේ සමිතියෙන්මත් වෙන් ව, තමන්ගේ ම බැනර, විරෝධතා පුවරු හා සටන් පාඨ සමගින් මෙම කාර්මික ක්‍රියාවට සහභාගි වීමට සසප තීරනය කලේ ය.
කොලඹ ශ්‍රීලංරස මූලස්ථානයේ වැඩකල ඇතුගල හා හෙට්ටිආරච්චි, පිලිවෙලින් කොලඹ සිට කිලෝමීටර 127ක් දුරින් පිහිටි කලවානට හා කිලෝමීටර 28ක් දුරින් පිහිටි පානදුරට බලහත්කාරයෙන් මාරු කරනු ලැබ තිබේ. “වෘත්තීය සමිති කටයුතු සඳහා ආයතනයේ ඊමේල් භාවිතා කිරීම” යොදාගනිමින් ශ්‍රීලංරස කලමනාකාරීත්වය ඔවුන් දඩයමට බඳුන් කලේ, ශ්‍රීලංරසහි ක්‍රියාත්මක වන එකිනෙකට වෙනස් වෘත්තීය සමිති 15ක් විසින් ආයතනයෙහි ඊමේල් යොදාගැනීම දීර්ඝ-කාලීන භාවිතාවක් ව තිබියදී ය.
නව හා උද්ධමනයට පහලින් පිහිටන වැටුප් සහිත තුන්-අවුරුදු සාමූහික ගිවිසුමකට විරෝධය පලකරමින්, පෙබරවාරි 15දා කොලඹ ප්‍රධාන කාර්යාල භූමිය ඇතුලත පවත්වන ලස විරෝධතාවකින් පසු ව, “ආයතන පරිශ්‍රය තුල නීති-විරෝධී ලෙස රැස්වූයේ” යි චෝදනා කරමින්, කලමනාකාරීත්වය සටන්කාමී සේවකයන් 50කට පමන අවවාද කිරීමේ ලිපි යැවී ය.
ජුනි 15 විරෝධතාවේ දී, සසප සාමාජිකයෝ හා ආධාරකරුවෝ, “ඇතුගල හා හෙට්ටිආරච්චිගේ ගේ දඬුවම් මාරු හකුලාගනු,” “සියලු මර්දන නීති අහෝසි කරනු,” “ක්‍රියාකාරී කමිටු මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනගනු” හා “ලෝක සමාජවාදය මත පදනම් වන ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනගනු” යනාදී පාඨ දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කල හ. “සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු,” “භාෂනයේ නිදහස වාරනය කිරීම නවතනු,” “පුද්ගලීකරනය හා වානිජකරනය නවතනු,” “රැකියා හා වැටුප් කප්පාදුව එපා,” “මර්දන නීති හකුලාගනු” හා තවත් සටන් පාඨ ද ඔවුහු හඬ නැගූහ.
ජුනි 15දා උදෑසන 7 සිට ශ්‍රීලංරස මූලස්ථානයේ සේවයට පැමිනෙන සේවකයන්ට, “රක්ෂන සංස්ථා සේවකයන්ට එරෙහි රාජ්‍ය මර්දනය නතර කරනු” යන පත්‍රිකාවේ පිටපත් සිය ගනනක් බෙදාහැරීමට ද සසප සාමාජිකයෝ කටයුතු කල හ.
සසප සහකාර ලේකම් සමන් ගුනදාස රැස්වීමේ සිංහල භාෂාවෙන් ඇමතූ අතර, එය දෙමල බසට පරිවර්තනය කරන ලදී. වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) එක් විධානයක් වන පුද්ගලීකරනයට එරෙහි ව, විරෝධතාවක් සංවිධානය කිරීම නිසා, ඇතුගල හා හෙට්ටිආරච්චිගේ මාරු කර තිබුනු බව ඔහු පෙන්වා දුන්නේ ය.
“මෙම දඩයමට එරෙහි අරගලය, ජාමූඅ කප්පාදු වැඩසටහනට එරෙහි අරගලය සමග බැඳී තිබෙනවා. එහෙත් වික්‍රමසිංහ ආන්ඩුව මෙන් ම සියලු විරුද්ධ පක්ෂ ද ජාමූඅ වැඩසටහන සමග වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම පක්ෂවලට ජාමූඅ වැඩසටහන හැර විකල්පයක් නැහැ.
“වෘත්තීය සමිති, ජාමූඅ ක්‍රියා මාර්ගය ආරක්ෂා කරන කන්ඩායමක් ලෙස පරිපාලනය හා ආන්ඩුව සමග එක් ව කටයුතු කරන නිසා, අපට විප්ලවවාදී ක්‍රියා මාර්ගයක් අවශ්‍ය කරනවා. එම නිසා, කම්කරු පන්තිය වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂවලට බැඳී සිටින්නේ නම්, මර්දනයට එරෙහි අරගලය ජයග්‍රහනය කරන්න බැහැ. කම්කරු පන්තිය ස්වාධීන ලෙස සංවිධානය වීම අවශ්‍ය යි. ඒ අනුව, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස අපි ශ්‍රීලංරස සේවකයන්ට ආයාචනා කරනවා” යි ගුනදාස කීවේ ය.
ප්‍රන්සය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල දසදහස් ගනන් කම්කරුවෝ, මේ හා සමාන කප්පාදු පියවරයන්ට හා ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව අරගලයට පිවිසෙමින් සිටින බව සඳහන් කල ගුනදාස, ගෝලීය අරගල තුල තමන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු ස්ථාපිත කරගන්නා ලෙස ලංකාවේ කම්කරුවන්ට ආයාචනා කලේ ය.
සමස්ත දිවයින පුරා, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටුවලින්, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාගන්නා නියෝජිතයන් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප ගෙන යන උද්ඝෝෂනය සමග ශ්‍රීලංරස කම්කරුවන් ඒකාබද්ධ විය යුතු බව ඔහු කීවේ ය. මෙම සම්මේලනයෙහි ඉලක්කය වන්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදිනුවස්, ගම්බද දුගීන් රැලි කරගන්නා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීම බව ඔහු සඳහන් කලේ ය.
ප්‍රධාන ධාරාවේ බොහෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සසප විරෝධතාව නො තකා හැරියේ ය. එහෙත් ජුනි 15දා, “රාජ්‍ය වත්කම් පුද්ගලීකරනයට එරෙහි වත් රැකියා හා වැටුප් ආරක්ෂා කරගැනීමටත් සටන් වැදීමට කම්කරු ක්‍රියාකාරී කමිටු තනාගන්නා ලෙස ඉල්ලමින් සසප කොලඹ දී විරෝධතාවක් පැවැත්වූ” බව වාර්තා කල ඩේලි මිරර් පත්‍රය, ඡායාරූප අටක් පල කලේ ය. පුද්ගලික රූපවාහිනී නාලිකාවක් වන දෙරන, සසප විරෝධතාවක් පැවැත්වූ බව සඳහන් කල ද කිසිදු වීඩියෝ පටයක් පල කලේ නැත.
ශ්‍රීලංරස සේවකයන් දුසිම් කිහිපයකට හිතාමතා ම තම විරෝධතාව සීමා කල වෘත්තීය සමිති නිලධරය, සංස්ථාවේ ශ්‍රම බලකාය මහා පරිමානයෙන් බලමුලුගැන්වීමක් කැඳවුම් නො කලේ ය. සමහර රාජ්‍ය නො වන සංවිධාන ද ඇතුලත් වූ මෙම විරෝධතාවට සමස්තයක් ලෙස සහභාගි වූයේ පුද්ගලයන් 100ක් පමන පිරිසකි.
ආන්ඩුවේ පුද්ගලීකරන න්‍යාය පත්‍රයට හා අනෙකුත් කප්පාදු පියවරයන්ට එරෙහි ව වැඩෙන කම්කරු-පන්තික විරෝධය සීමා කිරීම හා වාෂ්ප කිරීම, මෙම විරෝධතාව සංවිධානය කිරීමේ දී, වෘත්තීය සමිති නායකයන්ගේ ඉලක්කය විය. ඔවුන්ගේ සටන් පාඨ හා ආන්ඩුවට මාවත වෙනස් කරන ලෙස ආයාචනා කල ඔවුන්ගේ කතා තුල මෙය පිලිබිඹු විය. ඔවුන්ගේ සටන් පුවරු තුල සඳහන් වූයේ; “දිවාකරගේ අසාධාරන මාරුව නවතනු,” “රාජ්‍ය ව්‍යවසාය කොමිසම විසුරුවනු,” “රක්ෂන වෘත්තීය සමිති මර්දනය නවතනු,” “රක්ෂනය දෙකට කැඩීම නවතනු.”
එම විරෝධතාවට සහභාගි වූ වෘත්තීය සමිති නිලධාරීන් අතරට, එක්සත් තැපැල් වෘත්තීය සමිතියේ කැඳවුම්කාර චින්තක බන්ඩාර, සියලු ටෙලිකොම් සේවක සමිතියේ (ඒටීඊයූ) සභාපති ජගත් ගුරුසිංහ සහ වෛද්‍ය රසායනාගාර විද්‍යා කොලීජියේ සභාපති ද වන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායක රවී කුමුදේශ් ඇතුලත් වූ හ.
මාධ්‍ය වෙත කතා කරමින් බන්ඩාර මෙසේ කීවේ ය: “(රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීමේ) තීන්දුව වෙනස් කරන්න අපි රනිල් වික්‍රමසිංහට බලකරනවා, එහෙම නැත්නම් රාජ්‍ය, අර්ධ-රාජ්‍ය හා පුද්ගලික අංශවල කම්කරුවන් 8,000,000ක් වීදිවලට කැඳවන අපේ සැලසුම ක්‍රියාත්මක කිරීමට අපට සිදු වේවි.”
මෙම හිස් පූච්චානම “ප්‍රජාතන්ත්‍රවාදයට පැවතීමට ඉඩ දෙමින්, රට පාලනය කිරීමට ගැලපෙන නායකයෙකු තෝරාගැනීම සඳහා මැතිවරනයට අවශ්‍ය වටාපිටාව නිර්මානය කරන” ලෙස වික්‍රමසිංහට කරන ආයාචනාවක් සමග ඒකාබද්ධ කරන ලදී. වෙනත් වචනවලින් කියන්නේ නම්, ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහි ව වැඩෙන කම්කරු-පන්තික විරෝධය විකල්ප ධනේශ්වර ආන්ඩුවක් සඳහා වන උද්ඝෝෂනය පිටුපසට අපසරනය කල යුතු ය.
මෙම කියාපෑම්වලට විපරීත ව, වික්‍රමසිංහ ආන්ඩුව සහ එය විස්ථාපනය කරමින් පැමිනෙන වෙනත් ඕනෑ ම ධනේශ්වර පාලන තන්ත්‍රයක්, සදා ගැඹුරු වන ආර්ථික අර්බුදය මධ්‍යයේ, මෙම මූල්‍ය විනාශයේ සමස්ත බර කම්කරුවන් හා ගම්බද දුගීන් මත පටවන ලෙස ජාමූඅ කරන විධානයන් ක්‍රියාත්මක කිරීමට අනුකම්පා විරහිත ලෙස උත්සාහ දරනු ඇත.
ජුනි 15 විරෝධතාව ඇමතූ ඒටීඊයූ සභාපති ගුරුසිංහ, ලංකාවේ අධිකරනය පිලිබඳ මිථ්‍යාවන් දිරිමත් කලේ ය. ඔහුගේ සමිතිය හා තවත් සමිතියක් විසින් ගොනු කරනු ලැබ ඇති, මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් පිලිබඳ ව සඳහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරනය කිරීමට එරෙහි ව, ටෙලිකොම් වෘත්තීය සමිති නෛතික ක්‍රියා මාර්ග ආරම්භ කර ඇති බව ඔහු කීවේ ය. එම දින ම පසුභාගය වන විට, මෙම පෙත්සම් දෙක ම විභාගයට නො ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කලේ ය.
දඩයමට ලක් වූ රසංපොසේස නිලධාරී දිවාකර ඇතුගල, විරෝධතාව අමතමින් මෙම විරෝධතාව “හුදු ආරම්භය පමනක්” බව සඳහන් කරමින්, පුද්ගලීකරනය නැවැත්වීම සඳහා “අනාගතයේ දී” ක්‍රියා මාර්ග තීව්‍ර කරන බවට පොරොන්දු විය. එහෙත්, මේ සඳහා අවශ්‍ය දේශපාලන ක්‍රියා මාර්ගය කවරක්දැයි ඔහු විස්තර කලේ නැත.
වෘත්තීය සමිතියේ විරෝධතාවට සහභාගි වෙමින් සිටි සමහර කම්කරුවන් සමග ලෝසවෙඅ වාර්තාකරුවෝ කතා කල හ. පුද්ගලීකරනය හකුලාගැනීම සඳහා ආන්ඩුවට පීඩනය යෙදිය හැකි යයි වෘත්තීය සමිති නායකත්වය කරන කියාපෑම විශ්වාස කරන්නේදැයි විමසූ විට, එක් ශ්‍රීලංරස කම්කරුවෙක් මෙසේ පිලිතුරු දුන්නේ ය: “ඒ වගේ විධික්‍රමවලින් පලක් නැහැ කියල මට තේරෙනවා.”
විරෝධතාවට සහභාගි වූ තරුනයෙක් පුද්ගලීකරනය ගැන අදහස් දක්වමින් මෙසේ කීවේ ය: “මේ දවස්වල දුම්රිය, සෞඛ්‍යය, රක්ෂන සංස්ථාව හා ටෙලිකොම් පුද්ගලීකරනය කිරීම ජනප්‍රිය මාතෘකාවක් වෙලා. මේ සියලු අංශ පුද්ගලීකරනය කලොත්, ජීවනෝපායකට තිබෙන අයිතිය අහෝසි වේවි.”
තවත් තරුනයෙක් රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය ගැන සඳහන් කලේ ය: “රුසියාව යුරෝපීය රටවලට ගෑස් සම්පාදනය කරන නිසා, විශේෂයෙන් ම යුරෝපය ඇතුලු සමස්ත ලෝකයට යුද්ධය බලපා තිබෙනවා. මිල ගනන් ඉහල ගොස් තිබීමෙන් ලංකාවට ද යුද්ධයෙන් බලපෑම් එල්ල වෙලා තිබෙන බව පේනවා. මේක ගෝලීය ප්‍රපංචයක්. කම්කරු පන්තිය දේශපාලන බලය අරගෙන මේ දූෂිත පද්ධතියට අවසානයක් තැබිය යුතු බවට අපි බලාපොරොත්තු වෙනවා. ධනවාදය ඉතිහාසයේ දීර්ඝ කාලයක් පැවතිලා අසමත් බව ඔප්පු කර තිබෙනවා. අපිට මේ වර්ගයේ තවත් උදාහරනයක් අවශ්‍ය නැහැ.”
නව කම්කරු නීති සඳහා ආන්ඩුවේ සැලසුම් ගැන තරුන කාන්තාවක් අදහස් දැක්වූවා ය: “මේ (කම්කරු නීති) හාම්පුතුන්ට වාසි වන ආකාරයට ප්‍රතිසංස්කරනය කරමින් දවස් තුනේ වැඩ සතියක් හඳුන්වා දී අතිකාල කැපීමට යනවා.”
සමාජවාදයේ අවශ්‍යතාව ගැන අදහස් දක්වන ලෙස කී විට ඇය මෙසේ පිලිතුරු දුන්නා ය: “කම්කරුවන් එක් තනි ඉලක්කයක් සඳහා ඒකාබද්ධ විය යුතු යි...අරගල තිබිය යුතු වුනත් ඔවුන්ට පොදු ඉලක්කයක් තිබිය යුතු යි. (ධනවාදය යටතේ) තරුනයන්ට අනාගතයක් නැති නිසා අපි ඔබගේ ක්‍රියා මාර්ගය තේරුම්ගත යුතු යි.”
