ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ ප්‍රධානියා ලෝසවෙඅ ලිපිය උපුටා දක්වමින්, වෘත්තීය සමිති නායකයින්ට වෙබ් අඩවිවලට තොරතුරු ලබා නොදෙන ලෙස අනතුරු අඟවයි

[මෙය Sri Lanka Insurance Corporation boss cites WSWS article, warning union leaders not to give information to websites යන මැයෙන් 2023 ජූනි 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන අලුත්ගමගේ , 'ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා සේවකයන් දඩයම් කිරීමට විරුද්ධ වනු' යන මැයෙන් යුත් ලෝසවෙඅ ලිපියක් උපුටා දක්වමින්, වෘත්තීය සමිති නායකයින්ට අන්තර්ජාල ප්‍රකාශනවලට තොරතුරු ලබා නොදෙන ලෙස අනතුරු ඇඟවූ බව ලෝක සමාජවාදී වෙබ් අඩවියට දැනගන්නට ලැබී ඇත.

2022 දෙසැම්බර් 8 වන දින, කොලඹදී විරෝධතාවයක නිරත වන ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා සේවකයින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

අලුත්ගමගේ සිය ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝගය නිකුත් කලේ, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ (ශ්‍රීලංරස) විවිධ වෘත්තීය සමිති නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය. රක්ෂන පොදු සේවක සංගමයේ (රපොසේසං) ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල සහ එම සංගමයේ මාධ්‍ය ලේකම් නයෝමි හෙට්ටිආරච්චිගේ යන අය හිංසනයට ලක්කිරීම සහ බලහත්කාරයෙන් ස්ථාන මාරු කිරීම පිලිබඳව සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපිය ගැන සඳහන් කරමින්, ප්‍රධාන විධායක නිලධාරියා වාර්තා කලේ, රපොසේසං ප්‍රධාන ලේකම්වරයා වෙබ් අඩවිවලට තොරතුරු සැපයූ නිසා—කොලඹ සිට කිලෝමීටර් 28 ක් දුරින් පිහිටි පානදුරේ සිට—කොලඹට කිලෝමීටර් 127 ක් දුරින් පිහිටි කලවාන දක්වා ඔහුගේ විනය මාරුව දීර්ඝ කරන බවයි. ඔහුගේ චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

හෙට්ටිආරච්චිගේ පානදුරට මාරුකර යවා ඇත. වින්දිත නිලධාරීන් දෙදෙනාටම කොලඹ ප්‍රධාන කාර්යාලයට ඇතුලුවීම අවහිර කරන ලෙස ශ්‍රීලංරසං කලමනාකාරීත්වය සමාගමේ ආරක්ෂක නිලධාරීන්ට ද උපදෙස් දී ඇත.

ලෝසවෙඅ වෙත සපයන ලද තොරතුරුවලට අනුව, රැස්වීමට පැමින සිටි අනෙකුත් වෘත්තීය සමිතිවල නිලධාරීන් ප්‍රධාන විධායක නිලධාරියාගේ තර්ජනවලට විරුද්ධ වූයේ නැත. ඔවුන්ගේ නිශ්ශබ්දතාවය තව දුරටත් අවධාරනය කරන්නේ, මෙම වෘත්තීය සමිති නායකයින් තමන්ට සහ සෙසු කම්කරු පන්තියට තීරනාත්මක මූලික අයිතිවාසිකමක් වන, තම සේවා ස්ථානවල සිදුවන දේ ප්‍රසිද්ධ කරන කම්කරුවන් ආරක්ෂා කිරීමට සූදානම් නැති බවයි.

රපොසේසං නිලධාරීන් වන ඇතුගල සහ හෙට්ටිආරච්චිගේ හිංසනයට ගොදුරු වී ඇත්තේ ඔවුන් සංස්ථාව පෞද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම් වලට විරෝධය දැක්වීම සඳහා දෙසැම්බර් 8 සහ මාර්තු 15 යන දිනවල කම්කරුවන් බලමුලු ගැන්වීම නිසාය. ශ්‍රීලංරස යනු රටේ ප්‍රමුඛතම රක්ෂන සේවා සපයන්නා වන අතර දැනට ශාඛා 154 ක සේවකයින් 2,500 ක් සේවය කරයි.

රක්ෂන සංස්ථා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල, කොලඹ ශ්‍රීලංරස මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අමතමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ඇතුගලට සහ හෙට්ටිආරච්චිට ජූනි 5 දා බලහත්කාර ස්ථාන මාරු ලිපි යවන ලද්දේ “සංගම් කටයුතු සඳහා සමාගම් විද්‍යුත් තැපෑල භාවිතා කරන” බවට “විනය පරීක්ෂනයකින්” චෝදනා කිරීමෙන් පසුවය. සමාගම් විද්‍යුත් තැපෑල භාවිතා කිරීම ශ්‍රීලංරස හි ක්‍රියාත්මක වන විවිධ වෘත්තීය සමිති 15 ක සාමාන්‍ය භාවිතය වේ.

ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ප්‍රධාන නිර්දේශවලින් එකක් වන රාජ්‍ය සතු ව්‍යවසායන් (රාසව්‍ය) සිය ගනනක් පුද්ගලීකරනය කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව ගෙන ඇති පියවරට එරෙහිව කම්කරු පන්තියේ විරෝධය දිවයින පුරා ඉහල යමින් තිබේ.

මෙම ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම මිලියන භාගයකට වැඩි කම්කරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන් මිලියන කිහිපයකට දැඩි ලෙස බලපානු ඇත. රැකියා ලක්ෂ ගනනක් ඉවත් කරනු ඇත, වැටුප් කප්පාදු සහ විශ්‍රාම වැටුප් හා සේවා කොන්දේසි සඳහා දරුනු ප්‍රහාර එල්ල වනු ඇත.

ශ්‍රීලංරස කලමනාකාරීත්වය කම්කරුවන්ගේ විරෝධයට ප්‍රතිචාර දක්වා ඇත්තේ සංස්ථා පරිශ්‍රය තුල රැස්වීම් සහ සාකච්ඡා ඇතුලුව සියලුම වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තහනම් කිරීමෙනි. එය කොලඹ ප්‍රධාන කාර්යාලය සිර කඳවුරක් වැනි තත්වයකට පරිවර්තනය කර ඇත. රපොසේසං නායකයන් වන ඇතුගල සහ හෙට්ටිආරච්චිගේ ගොදුරු කර ගැනීම, ආන්ඩුව සහ රාජ්‍ය අංශයේ ප්‍රධානීන් විසින් එහි සමාජ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ සියලු ප්‍රතිරෝධයන් තලා දැමීමට උත්සාහ කිරීම සඳහා මුදා හරින මර්දනකාරී පියවරයන් උත්සන්න කිරීමේ කොටසකි.

සමාගමේ විද්‍යුත් තැපැල් සේවාව භාවිතා කිරීම සහ මාධ්‍ය වෙත තොරතුරු සැපයීම යන චෝදනාව මත ශ්‍රීලංරස විසින් වෘත්තීය සමිති නිලධාරීන් දඩයම් කිරීම දරුනු අනතුරු ඇඟවීමක් වන අතර සියලුම රාසව්‍ය කම්කරුවන් සහ සමස්ත කම්කරු පන්තිය එයට විරුද්ධ විය යුතුය.

ගොදුරු වී ඇත්තේ ශ්‍රීලංරස වෘත්තීය සමිති නිලධාරීන් දෙදෙනෙකු වන මුත්, මෙම ප්‍රහාරයේ සැබෑ ඉලක්කය සමස්ත කම්කරු පන්තියයි. එය, ජාමූඅ කප්පාදු පියවර මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් සමග නොගැලපෙන බවට තවත් ඇඟවීමකි.

වික්‍රමසිංහ ආන්ඩුව කම්කරුවන්ගේ වැඩවර්ජන සහ විරෝධතා සාපරාධීකරනය කිරීමට කුරිරු අත්‍යාවශ්‍ය සේවා නීති ක්‍රමානුකූලව භාවිතා කර ඇත. එය විශ්වවිද්‍යාල සිසුන්ගේ පෙලපාලි මැඩපැවැත්වීම සඳහා පොලිසිය මුදා හැර තිබේ.

පෞද්ගලීකරනයට විරෝධය පල කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන් විසින් දියත් කරන ලද වැඩ වර්ජන ක්‍රියාමාර්ගය බිඳ දැමීම සඳහා මාර්තු මාසයේදී ආන්ඩුව මිලිටරිය සහ පොලිසිය යෙදවීය. වෘත්තීය සමිති නිලධාරීන් ඇතුලු වැඩ වර්ජිත කම්කරුවන් 20 ක් හිංසනයට ගොදුරු කර, අනිවාර්ය නිවාඩු යවන ලදී. පසුව මෙම සේවකයන්ට ඔවුන්ගේ සේවය අත්හිටුවමින් ජුනි 8 වැනි දින ලිපි යවා ඇත.

පසුගිය වසරේ මුල් භාගයේදී ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව සෞඛ්‍ය සේවකයින්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් මහජනතාවට තොරතුරු ලබා දීම තහනම් කලේය.

වික්‍රමසිංහ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී මුකවාඩම එලෙසම පවත්වා ගෙන ගොස් ඇත්තේ සෞඛ්‍යයට අරමුදල් කප්පාදු කරමින් සහ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ආනයන සීමා පනවමිනි.

පසුගිය සැප්තැම්බරයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් “රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම” යන මැයෙන් චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. එය, මෙම නියෝගය කඩ කරන ඕනෑම සේවකයෙකුට ඊනියා ආයතන සංග්‍රහය යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කලේය.

එම මාසයේදී ම ආන්ඩුව විසින්, මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ ලමා මන්දපෝෂනය පිලිබඳ “අසත්‍ය” තොරතුරු ඉදිරිපත් කරමින් “ආන්ඩුව අපහසුතාවයට පත් කිරීම” සම්බන්ධයෙන් චෝදනා කරමින්, වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෘත්තීය වෛද්‍ය සංගමයේ සභාපති සහ හිටපු හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කලේය. දකුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලමා මන්දපෝෂනය පිලිබඳව ඔහු ඇතුලු වෛද්‍යවරුන් පිරිසක් විසින් කරන ලද සමීක්ෂනයක ප්‍රතිඵල නිකුත් කිරීම නිසා ඔහු දඩයමකට ලක් විය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), සහ ලෝසවෙඅ මෙම මර්දනකාරී පියවරයන්ට විරුද්ධ වේ. පුද්ගලීකරනය සහ අනෙකුත් ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු ඉල්ලීම් වලට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ ව්‍යාපාරයක් අපි දියත් කර ඇත්තෙමු.

එම උද්ඝෝෂනයට සහ ජුලි 6 දා කොලඹදී පැවැත්වීමට නියමිත සසප මහජන රැස්වීමට පුලුල් කම්කරු ස්ථරයකින් උද්‍යෝගිමත් සහයෝගයක් ලැබෙමින් පවතී.

ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තිය අනුගමනය කල යුතු වැඩපිලිවෙල පිලිබඳව විස්තර කරමින්, අපගේ මැයි 30 ලිපිය මෙසේ පැවසීය:

“ආන්ඩුවේ පුද්ගලීකරන න්‍යාය පත්‍රය සහ එහි පුලුල් කප්පාදු පිලිවෙත් පරාජය කල හැක්කේ, ධනේශ්වර ගැති වෘත්තීය සමිති වලින් ස්වාධීනව සහ ආන්ඩුවට සහ ධනේශ්වර පාලනයට අභියෝග කරන දේශපාලන මූලෝපායක් මත පදනම් වූ කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයකට පමනි. මෙයින් අදහස් කරන්නේ, ශ්‍රීලංරස සේවකයින් අතර ඇතුලුව සෑම සේවා ස්ථානයකම, කම්හලක, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අවශ්‍ය වන අතර කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ඔවුන්ගේ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් වෙත ලඟා විය යුතු බවයි.

“ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය සඳහා සටන් කල යුතුය. දිවයින පුරා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් වන මෙම සම්මේලනය, වික්‍රමසිංහ පාලනයට එරෙහිව සටන් කිරීමටත්, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටත්, කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් සුරක්ෂිත කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් අවශ්‍ය අඩිතාලම දමනු ඇත.'

මෙම ඉදිරිදර්ශනය සඳහා අරගලය ඉදිරියට ගෙන යන ලෙසත් අපගේ ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන ලෙසත් සසප ශ්‍රීලංරස කම්කරුවන්ගෙන් සහ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අනෙකුත් සියලුම කොටස්වලින් ඉල්ලා සිටී.

දිනය සහ වේලාව: ජූලි 6, බ්‍රහස්පතින්දා, ප.ව. 4 ට
ස්ථානය: මහජන පුස්තකාල ශ්‍රවනාගාරය, කොලඹ

Loading