ඖෂධ විෂවීමෙන් සිදුවන මරන රැල්ල මහජන සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම තියුනුව පෙන්නුම් කරයි

පසුගිය ජූලි 05 වන දින කොලඹ ජාතික අක්ෂි රෝහලේදී නිර්වින්දනය කොට ශල්‍ය කර්මයකට භාජනය කල 34 හැවිරිදි කාන්තාවක් යලි සිහිය නොඒමෙන් මරනයට පත් විය. ඇය රෝහල්ගත වී ඇත්තේ මීට පෙර එම රෝහලෙන්ම සිදු කල කාච බද්ධ කිරීමකින් පසුව ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙනි. ඒ සඳහා භාවිතාකොට ඇති ප්‍රොපොෆෝල් (Propofol) නිර්වින්දන ඖෂධයේ ප්‍රමිතිය මරනයට හේතුවී ඇති බවට වෛද්‍ය විශේෂඥයෝ සැක පහල කරති.

සෞඛ්‍ය සේවකයින්ගේ 2022 ජූලි 7 වන දින කොලඹදී පැවති විරෝධතා පාගමනක කොටසක් [ඡායාරූපය: WSWS]

මීට පෙර පේරාදෙනිය ලමා රෝහලේ මරනයකටද එම ඖෂධය හේතු වූ බවට සාක්ෂි පවතී. අත්ෂි රෝහලේ මරනය ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සැක මතු කෙරුනු මෑත කාලීන සිද්ධි දාමයේ ආසන්නතම සිදුවීම යි.

*මෙම සිදුවීමට සතියකට ඉහත දී රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රාගම ශික්ෂන රෝහලට ඇතුලත් වූ කාන්තාවක් පසුගිය 29 වනදා එන්නතක් ආසාත්මික වීමෙන් මිය ගියාය.

*අප්‍රේල් මාසයේදී, ඖෂධයක විෂබීජ පැවතීමෙන් නුවරඑලිය රෝහලේ අක්ෂි සැත්කම් කල දස දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල විය.

*මේ හා සමාන සිදුවීමක් එම මාසයේදීම කොලඹ අක්ෂි රෝහලෙන්ම වාර්තා විය. ඊට හේතුව වී ඇත්තේ ප්‍රතිකාර සඳහා භාවිතා කල ප්‍රෙඩ්නිසොලෝන් (Prednisolone) වර්ගයේ ඖෂධවල විෂබීජ පැවතීමයි. ඒ හේතුවෙන් සාමාන්‍ය අක්ෂි සැත්කම් තාවකාලිකව දින කිහිපයකට නවතා දීමට සිදුවූ අතර වැඩෙන මහජන විරුද්ධත්වය මධ්‍යයේ මැයි මාසයේදී එම ඖෂධ වර්ගය අසාදු ලේඛනගත (Blacklist) කිරීමට ආන්ඩුව පියවර ගත්තේය.

*පේරාදෙනිය රෝහලේදී ජූනි මාසයේ සහ මාර්තු මාසයේදී නිර්වින්දන එන්නතක් වන බියුපිවැකේන් (Bupivacaine) ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු සංකූලතාවයන් හේතුවෙන් මිය ගොස් ඇත.

*මැයි මාසයේදී, හෘදයාබාධ හඳුනාගැනීමට භාවිතා කරන ට්‍රොපනින් (Tropanin) පරීක්ෂන කට්ටල තත්වයෙන් බාල බවට තහවුරු වීම හේතුවෙන් ඒවා රෝහල් වලින් ඉවත් කර ඇත. ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම පරීක්ෂන කට්ටල ඉවත් කර ඇත්තේ ඒවායින් නියමිත ප්‍රතිඵල ලබා නොදීම හේතුවෙනි.

මෙම සිදුවීම් දාමය රෝගීන් සඳහා භාවිතා කරන සියලු ඖෂධ වල ප්‍රමිතිය පිලිබඳව සැලකිය යුතු සැක මතු කරයි. එසේ වුවද, ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීහු එම ඖෂධවල ප්‍රමිතිය පිලිබඳව විධිමත් පරීක්ෂනයක් සිදු නොකර ඒවා වෙනත් හේතුන් නිසා සිදුවූ බවට හේතු දක්වා අත පිසදා ගනිමින් සිටිති. 05 වෙනිදා සිදුවූ අක්ෂි රෝහලේ මරනය හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූවක් බවට පශ්චාත් මරන පරීක්ෂනයෙන් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුනවර්ධන මාධ්‍යයට සඳහන් කලේය.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජූලි 7 වනදා පැවැත්වුනු මාධ්‍ය සාකච්ඡාවකදී ගුනවර්ධනගේ ප්‍රකාශය ප්‍රශ්නයට බඳුන් කලේය. “මරනයෙන් පස්සෙ ඊයේ හවස් වෙන කොට වාර්තා වෙනවා එය හෘදයාබාධයකින් සිදුවූ මරනයක් කියලා. හැබැයි හෘදයාබාධයට හේතුව කුමක්ද කියන එකට පටකවේදී පරීක්ෂනය සහ ක්ෂුද්‍ර ජීවී පරීක්ෂනය අපිට අවශ්‍ය වෙනවා. ඕනෑම රෝගියෙක් මැරෙන්නෙ හදවත නතර වෙලා පෙනහළු ක්‍රියාකාරීත්වය නතර වෙලා කියන එක ඕන කුඩා දරුවෙක් දන්නවා” යැයි ඔහු ප්‍රකාශ කලේය.

මෙතෙකුදු මරනයට හේතු දක්වා නොමැති, කිලිනොච්චි රෝහලේ සිදුවූ නවක ලදරු මරන හතරක් ඇතුළු රෝහල් කීපයක කුඩා දරුවන්ගේ මරන පිලිබඳව වාර්තා වන බව වෛද්‍ය සංජීව කීවේය. “ඒවා පිලිබඳව නිශ්චිත විද්‍යාත්මක වෝහාරික වාර්තා නොමැති” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉහත සිදුවීම් පෙන්නුම් කරන්නේ ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු පහුගිය දශක කිහිපය තිස්සේ දියත් කල කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් වලින් මහජන සෞඛ්‍යය සේවයට අත් කර දී ඇති ඉරනමයි. එක් පසෙකින් පවතින ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධ ගැටළු මතු වන අතර අනෙක් පසින් ඖෂධ හිඟය තීව්‍ර වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව හිඟය ජූලි මාසය වන විට ඖෂධ වර්ග 90ක සිට 180 දක්වා දෙගුනයකින් වර්ධනය වී ඇත.

එමෙන්ම වෛද්‍යවරු, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය සහායකයන් ඇතුළු සේවක හිඟයෙන් සහ ඌන යටිතල පහසුකම් හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අද්දරට ගෙනැවිත් ඇත. රජයේ රෝහල් වල පවතින එම්ආර්අයි ස්කෑන් යන්ත්‍ර 13 න් යන්ත්‍ර දෙකක් ද, පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක්ද, අපේක්ෂා රෝහලේ කුඩා ලමුන් සඳහා පවතින පිලිකා සෛල විනාශ කිරීමට භාවිතා කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය ද, මහනුවර රෝහලේ පවතින එම යන්ත්‍ර දෙකද අඩපන වී ඇත.

මෙම තතු මගින් දසදහස් සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලා ඇත. පුද්ගලික රෝහල්වල අධික ගාස්තු දරා ගැනීමට නොහැකිව රජයේ රෝහල් වලට පැමිනෙන රෝගීන්ට සිදුව ඇත්තේ, වෛද්‍යවරුන් නියම කරන බොහෝ ඖෂධ එහි නොමැති බැවින් විශාල මුදලක් වැයකොට පිටතින් ලබා ගැනීමට සහ ප්‍රමිතියෙන් බාල ඖෂධ භාවිතය හරහා ජීවිතය පරදුවට තැබීමයි.

මෙසේ නිදහස් සෞඛ්‍ය සේවය වල දමමින් සිටින ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ ගෙවන වාට්ටු ක්‍රමය ක්‍රියාවට නංවමින් අතමිට ඇති අයට පමනක් සෞඛ්‍යයට ප්‍රවේශ වීමට ඉඩකඩ ලැබෙන පරිදි රජයේ රෝහල් පෞද්ගලීකරනය කරමින් සිටී.

මෙම තතු පෙන්වා දෙන්නේ ධනපති ක්‍රමයේ යථා ස්වභාවයයි. ධනපති ආන්ඩු උත්සුක වන්නේ මහජනයාගේ යහපත් සෞඛ්‍යය පිලිබඳව නොව ධනපති සුළුතරයකගේ ලාභ අවශ්‍යතා පිලිබඳවය. මෙය කෝවිඩ් වසංගතයට දැක්වූ ප්‍රතිචාරයේදී තියුනු ලෙස ප්‍රකාශයට පත්විය. මිලියන සංඛ්‍යාත මිනිසුන් බිලි ගනිමින් වසංගතය ලොවපුරා පැතිර යද්දී, ධනපතියෝ ඔවුනගේ ලාභ වෙනුවෙන් කම්කරුවන් බලෙන් වැඩට දැක්කූහ.

ඖෂධ නිෂ්පාදනයේ නියැලෙන මහා ඖෂධ සමාගම් පාලනය කරන්නේ මෙම සුළුතරයක් වන මහා ධනපතියන් ය. ඔවුන් ලාභ ඉහල නැංවීම සඳහා අඩු ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිශ්පාදනය කරන අතර ඒ සඳහා විද්‍යාගාර මීයන් ලෙස භාවිතා කරන්නේ සාමාන්‍ය ජනතාවයි.

ඖෂධ ප්‍රමිතිය පිලිබඳ සොයා බැලීමට පවතින ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා නිසි පරීක්ෂනයකින් තොරව රිංගා යාමට ආන්ඩුව එවන් සමාගම් වලට පහසුකම් සපයා ඇත. ජූලි 01 වනදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දුන්නේ අධිකාරිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි.

එහි ඖෂධ මිල සම්බන්ධ කමිටුව තවදුරටත් ක්‍රියාත්මක නොවන බවත්, ප්‍රමිතිය සම්බන්ධ ගැටළු විනිශ්චය කරන කමිටුව යලි පත් කර නොමැති බවත්, නියාමන අධිකාරියේ සිටින වෛද්‍ය විශේෂඥයන්ට බාධා කරන බවත් එහිදී හෙලිදරව් කෙරුනු අතර එය අධිකාරියේ වැඩකටයුතු අඩපන කිරීමට “ඕනෑකමින්” කරන කටයුත්තක් බවට සංගමය චෝදනා කලේය. සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න සඳහන් කලේ “මෙම කටයුතු මගින් මහජනතාව අතර රාජ්‍ය සෞඛ්‍ය සේවය පිලිබඳ විශ්වාසය අහිමි වනු ඇති බවට තමන් උත්සුක” වන බවයි.

ලංකාවේදී තියුනුම ප්‍රකාශනයක් අත්කරගෙන ඇති මහජන සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම ලෝක පරිමාන ප්‍රපංචයකි. එය පෙන්නුම් කරන්නේ ධනපති ක්‍රමයේ ඓතිහාසික පරිහානියයි. මහජන සෞඛ්‍යය වනාහි, කිසියම් සමාජයක ප්‍රගතිය සහ එම සමාජයේ සමස්ත කොන්දේසි පිලිබඳ වඩාත් තීරනාත්මක දර්ශකයකි. ශාස්ත්‍රඥ ජෝර්ජ් රොසෙන් 1958 ප්‍රසිද්ධ කරන ලද මහජන සෞඛ්‍යය පිලිබඳ ඉතිහාසය කෘතියේ ලියූ පරිදි “පොදු සනීපාරක්ෂාව පිලිබඳ දියුනුව, මානව ජීවය පිලිබඳ අවබෝධය, රෝගවලට ප්‍රතිකාර කිරීම, ආසාදනවලට එරෙහිව සටන් කිරීමට විෂබීජ නාශක පරිසරයක වැදගත්කම හඳුනා ගැනීම, එන්නත් සහ ප්‍රතිජීවක සංවර්ධනය, ලදරු මරන අඩුකිරීම සහ ආයු අපේක්ෂාව ඉහල යාම - වැනි ජයග්‍රහන මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසයෙහි සන්ධිස්ථානයන් ලෙස සැලකේ.”

කෙසේ වෙතත්, පද්ධතිගත කඩාවැටීමකට ලක්වී ඇති ගෝලීය ධනපති ක්‍රමය මෙම ජයග්‍රහන ආපසු හරවමින් සිටී. මානව සෞඛ්‍යය ඉහල නැංවීමට පවත්නා එන්නත් සහ ඖෂධ වැනි දෑ ලාභ ගැරීමට යොදා ගනිමින් ජීවිත අනතුරේ හෙලා ඇත.

ඉහත කී ජයග්‍රහන මානව වර්ගයාගේ සුභ සිද්ධිය සඳහා යොදා ගත හැක්කේ, ලාභය සඳහා නොව මානව අවශ්‍යතා වෙනුවෙන් සමස්ත ආර්ථිකය ප්‍රතිසංවිධානය කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීමෙන් පමනි. එම කර්තව්‍යය පැවරී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තියටයි.

වැඩිදුර කියවන්න

Loading