පසුගිය ඉරිදා (ජූලි 23) බොරැල්ල කනත්ත ඉදිරිපිට වටරවුමේ දී 'උතුරු දකුනු සහෝදරත්වය', 1983 දෙමල ජන විලෝපනය අනුස්මරනය කිරීමට සංවිධානය කර තිබූ රැස්වීමක් කඩාකප්පල් කර විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කලේය.
1983 ජූලි 23 වැනි දින දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටිඊ) විසින් ඝාතනය කරනු ලැබූ හමුදා සෙබලුන් 13 දෙනෙකු ගේ මල සිරුරු බොරැල්ල කනත්තට ගෙන එමින් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ඇවිලවූ ප්‍රකෝපකරනයක් මගින්, රාජ්‍ය ආරක්ෂක අංශවල අනුග්‍රහය යටතේ ආන්ඩුවේ මැර කල්ලි දිවයින පුරා දෙමල ජනයා සහ ඔවුන්ගේ දේපල ඉලක්ක කරගත් වාර්ගික ජන විලෝපනයක් දියත් කලහ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි දෙමල දේශපාලන සිරකරුවන් ඇතුලු ව දහස් ගනනක දෙමල ජනතාව මරා දමනු ලැබුනු අතර ලක්ෂයකට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි විය.
එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) නායකයන් ඇතුලු ව තවත් සමාජ ක්‍රියාකාරිකයෝ විස්සකට තිහකට පමන ආසන්න පිරිසක් ඉරිදා අනුස්මරනයට සම්බන්ධ ව සිටියහ. “දෙමල ජන සංහාරය අමතක නොකරනු!', 'මරා දමනු ලැබූ අයට යුක්තිය ඉටු කරනු!” යන පාඨ රැගත් විරෝධතා බැනරයක් ඔවුහු ප්‍රදර්ශනය කලහ.
කෙසේ නමුත් මෙම රැස්වීමට එරෙහි ව දහසකට පමන ආසන්න වන දැවැන්ත පොලිස් බලකායක් ගිනි අවිවලින් සහ ජල ප්‍රහාරක රථවලින් සන්නද්ධ ව කනත්ත ඉදිරිපිට බලමුලු ගන්වා තිබුනු බව එසප ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලේ ය. රැස්වූවන් සිටි වට රවුම තුල ම ඔවුන් හා සංඛ්‍යාවෙන් සමාන කැරලි මර්දන පොලිස් භට ඛන්ඩයක් ඔවුන්ට ඉතා ආසන්න ව පසු පසින් සීරුවෙන් තබා තිබුනි. යාබද මංසන්ධියේ ගිනි අවිවලින් සන්නද්ධ වූ විශේෂ කාර්ය බලකා සෙබලු සීරුවෙන් රඳවනු ලැබ සිටියහ.
සාමකාමී ව පැවැත්වුනු රැස්වීමට කඩා වැදීමට පොලිසිය යොදා ගත්තේ සංවිධානය කල ප්‍රකෝපකරනයකි.
එසප තම ෆේස්බුක් ගිනුමේ ෂෙයා කර ඇති මෙම සිද්ධිය හා සම්බන්ධ වීඩියෝපටවලට අනුව අනුස්මරන රැස්වීමේ වැඩකටයුතු ආරම්භවත් ම, සිංහල රාවය නම් සිංහල වර්ගවාදී සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වන මධුභාෂන ප්‍රභාත් රනහංස නමැත්තා රැස්වීම ඉදිරියට කඩා පැන “මේක කරන්න දෙන්න බෑ. ලංකාවේ දෙමල මිනිස්සු මැරුවේ නෑ. කොටි විතරයි මැරුවේ. හැබැයි සිංහල ජන සංහාරයක් කලා උතුරු නැගෙනහිර” යැයි පවසමින් ප්‍රකෝපකරනය අවුලුවයි. මෙම තැනැත්තා අදාල සංවිධානයේ දේශපාලන පක්ෂය වන ලංකා ජනතා පක්ෂයේ ප්‍රචාරක ලේකම් වශයෙන් ද කටයුතු කරයි.
මේ වන විට විරෝධතාකරුවන් තදබදවන ආකාරයට ඔවුන් වටා පොලිස් භටයෝ රැස් ව සිටියහ. ප්‍රකෝපකරනය ඩැහැ ගනිමින් පසු පස සිට විරෝධතාකරුවන් පීරමින් ඉදිරියට පැමිනි පොලිස් නිලධාරියෙක් පිරිසට විසිරී යන ලෙස විධානය කලේ ය. එයට විරෝධය පල කල විරෝධතාකරුවන් අත් අඩංගුවට ගන්නැයි ඔහු කෑ ගසා තර්ජනය කලේ ය.
ප්‍රකෝපකාරීයා ඉවත් කර තම කටයුත්ත බාධාවකින් තොර ව කරගෙන යාමට ඉඩ සලසා දෙන්නැයි ඉල්ලූ විට, ඉහල පොලිස් නිලධාරීයා දැක්වූයේ නරුම ප්‍රතිචාරයකි. “මිනිසුන්ට කතා කරන්න අයිතියක් තියෙනවා” යැයි ඔහු පැවසීය. ඊට හාත්පසින් ම වෙනස් ආකාරයට, අනුස්මරනයට රැස්වූවන්ට ඔහු විධානය කර සිටියේ විසිර යන ලෙසටයි.
ප්‍රකෝපකාරීයා දිගින් දිගට ම ප්‍රකෝපකරනයේ යෙදෙන අතර කැරලි මර්දන භටයෝ තම පලිහවලින් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඔවුන් මංසන්ධියෙන් ඉවත් කිරීමට කටයුතු කලහ.
“මේ ගොල්ලො ඩයස්පෝරාවේ ඇජෙන්ඩා එකකට වැඩ කරන්නේ. මේ ගොල්ලන්ට ඩොලර් හම්බු වෙනවා. මේ අය අරගලය මෙහෙයවපු අය” යනුවෙන් කෑ ගසමින් ප්‍රකෝපකාරියා අවටින් පසුගාමී කොටස් රැස් කර ගැනීමේ උත්සාහයක යෙදුනේ ය.
පොලිසියේ බලහත්කාරී විසුරුවා හැරීම මැද ජයසූරිය, සහ එම පක්ෂයේ තවත් නායකයකු වන ශ්‍රීනාත් පෙරේරා සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ (රජය විසින් අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ) බිම ඇද වැටුනෝ ය. තල්ලු කිරීම්වලට ප්‍රතිරෝධය පාමින් සිටි මාධ්‍යවේදියෙකු වන තරිඳු උඩුවරගෙදරගේ කමිසයෙන් ඇඳ ගත් පොලිස් නිලධාරියා “පොලීසියත් එක්ක ඕවා දාන්න එන්න එපා” යැයි ඔහුට තර්ජනය කලේ ය.
පසුව ජයරත්න මල්ශාලාව ඉදිරිපිට පදික වේදිකාවට රැස් වූ විරෝධතාකරුවෝ, පොලිසියේ වට කිරීම සහ වර්ගවාදියාගේ නොනවතින ප්‍රකෝපකරනය මැද තම අනුස්මරන කටයුතු ආරම්භ කලහ. පා ගමනේ යෙදීම ආරම්භ කරත්ම, පොලිස් බලකාය නැවතත් පිරිස තල්ලු කරමින් ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කලේ ය.
එදින ම ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) තරුන සංවිධානය, 1983 දෙමල ජන විලෝපනය අනුස්මරනය කිරීමට සංවිධානය කර තිබූ පා ගමනකට ද පොලිසිය රුදුරු ප්‍රහාරයක් එල්ල කලේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව එල්ල කරනු ලැබූ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පොලිස් ප්‍රහාරයන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩිලෙස හෙලා දකිී. සසප එම ආස්ථානය ගනුයේ, කම්කරු පංතියේ පංති ස්වාධීනත්වයට වලකපනුවස් එසප යෙදී සිටින ධනේශ්වර ගැති ව්‍යාජ-වාම දේශපාලනයට සහ ජවිපෙ හි ප්‍රතිගාමී ධනේශ්වර දේශපාලනයට තම අශමනීය විරුද්ධත්වය පැවතියදීම ය.
මෙම ප්‍රහාරවලින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් ක්‍රියාවට දමමින් සිටින වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව මොන යම් හෝ විරෝධතාවක් ප්‍රකාශයට පත්වීම නො ඉවසන බවයි.
අනෙක් අතට, 26 අවුරුදු වර්ගවාදී යුද්ධයේ ආරම්භය වූ 1983 ජූලි විලෝපනය පිලිබඳ කවර හෝ අනුස්මරනයක් නොඉවසනුයේ, එවැනි වාර්ගික භේදකාරී ව්‍යාපාරයකට ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතිය යලි අර අදිමින් සිටින බැවිනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාරයන්ට එරෙහිව නැගෙන කම්කරු පංතික අරගල රැල්ල තුල, වාර්ගික රේඛා කපා දමමින් වැඩෙන පංති එකමුතුව බිඳ දැමීම සහ එම අරගල වලට එරෙහිව ෆැසිස්ට් පන්නයේ මැර කන්ඩායම් මෙහෙයවීම මෙම වර්ගභේදවාදී ව්‍යාපාර ඉස්මත්තට ගැනීමේ අරමුනයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ, අක්මීමන දයාරතන භික්ෂුව නායකත්වය දරන සිංහල රාවය වැනි සිංහල ස්වෝත්තමවාදී සංවිධාන කලඑලි බස්සවනු ලැබූයේ මෙම අරමුනෙනි. උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට යැයි කියමින් සිංහල වර්ගවාදී විස පැතිරවීමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් ආන්ඩුව මිලිටරිය සහ බෞද්ධ සංස්ථාපිතය සමග එක් ව කර ගෙන යමින් සිටිී.
සිංහල රාවය පොලිස් අනුග්‍රය යටතේ සිදුකල පලමු දාමරික ක්‍රියාව මෙය නොවේ. එය පසුගිය දශකයක කාලය තුල පොලිස් අනුග්‍රය යටතේ අන්‍යාගමික ස්ථානවලට පහරදීම් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දීම් සහ මුස්ලිම් විරෝධය අවුලුවා ලීම වැනි වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියාවන්ගේ කුප්‍රකට වාර්තාවකට හිමිකම් ඇති සංවිධානයකි.
1983 ජන විලෝපනයෙන් වසර 40කට පසු වර්තමාන තත්ත්වය දෙස එම දේශපාලන අත්දැකීමේ පාඩම්වල ආලෝකයෙන් බැලිය යුතු ය.
1978 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ විධානයන් මත විවෘත ආර්ථික ප්‍රතිපත්ති කරා යොමු වූ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට කම්කරු පන්තියේ දැවැන්ත ප්‍රතිරෝධයකට මුහුන දීමට සිදු විය. 1983 ජූලි 17 වැනි දා වෘත්තීය සමිති 28ක් එකමුතු ව ඉල්ලීම් 11 ව්‍යාපාරය දියත් කලහ. පෞද්ගලීකරනය නතර කිරීම, වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය, දෙමල ජනයාගේ ස්වයං නිර්නය, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ත්‍රස්තවාදය වැලැක් වීමේ පනත ඉවත් කිරීම ආදී දේශපාලන ඉල්ලීම් රැගත් මෙම ව්‍යාපාරය 1980 ජූලි වර්ජනය මැඬ පැවැත්වීමෙන් පසු කම්කරු පන්තිය යලිත් ධනපති ආන්ඩුවට එරෙහි ව සටනට පෙල ගැසීමක් සලකුනු කලේ ය.
සමාජ කප්පාදු ක්‍රියාවට දමනුවස් ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ එල්ල වෙමින් පැවති පීඩනය හමුවේ ජයවර්ධන ආන්ඩුව මෙම වාර්ගික විලෝපනය සංවිධානය කලේ ය. එහි පන්ති අරමුන වූයේ සිංහල දෙමල භේදයකින් තොර ව එක්සත් ව අරගලයට ඇදුනු කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමත් පොලිස් රාජ්‍යයක් අටවා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමත් ය.
මෙය 26 වසරක දෙමල විරෝධී වාර්ගික යුද්ධයට පාර කැපූ අතර අනුප්‍රාප්තික ආන්ඩු යුද්ධය හරහා රාජ්‍ය යන්ත්‍රය කම්කරු පීඩිත මහජනතාවට එරෙහි ව වඩ වඩාත් සවිබල ගන්වන ලද්දේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ විධානයන් ක්‍රියාවට දැමීමට අවශ්‍ය පරිසරය සකසා ගනිමිනි.
ධනේශ්වර ක්‍රමය පද්ධතිමය බිඳ වැටීමකට මුහුන දී සිටින අද දවසේ ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ පීඩනය වඩාත් තීව්‍ර වී ඇති අතර, සමාජ සේවාවන්ගේ සහ කම්කරු පන්තිය දිනා ගත් අයිතීන්ගේ සියලු ශේෂයන් අතු ගා දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ධනපති පාලක පන්තියේ සියුලු කොටස් ඒකාබද්ධ වී සිටිති.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් පලවා හරිමින් ධනේශ්වර පාලනය සෙල වූ පසුගිය වසරේ මහජන නැගිටීමෙන් කනස්සලු වී සිටින වික්‍රමසිංහ තමන් පාලනය ගෙන යන්නේ සමාජ වෙඩි බෙහෙත් පීප්පයක් මත බව දනී. ඉතා ම සුලු පරිමාන හෝ විරෝධයකින් දැවැන්ත සමාජ ආතතිය පුපුරා එනු ඇතැයි ඔහු උත්සුක ය.
පුද්ගලීකරනය ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාරයන්ට එරෙහිව පංති අරගල වැඩී එනුයේ, එකී අරගල කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බවට වර්ධනයවීම දැනුවත්ව වලකා සිටින වෘත්තීය සමිති නිලධරයට එරෙහි කැරැල්ලක ආරම්භක ලකුනු ප්‍රකට කරමිනි. මෙවන් තත්ත්වයක දී ධනපති පන්තිය තම රාජ්‍ය යත්ත්‍රයේ නිල මර්දන මෙවලම්වලට අමතර ව, වර්ගවාදය සහ ස්වෝත්තමවාදී සංවිධාන නැවතත් තම සේවයට කැඳවා ගනිමින් සිටී.
මෙම පොලිස් මර්දනයන්ගේ ස්වභාවය ම පෞද්ගලීකරනය ඇතුලු සමාජ ප්‍රහාරවලට එරෙහි ව සිංහල-දෙමල-මුස්ලිම් වාර්ගික එකමුතුවකින් අරගලයට ඇදෙමින් සිටින කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි.
වැඩිදුර කියවීම්:
වර්ගවාදී යුද්ධයට විසි පස් වසරක් - 1983 කලු ජූලිය (කම්කරු මාවත ප්‍රකාශන)
