හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම්

[මෙය The Historical and Political Foundations of the Fourth International මැයෙන් 2023 අගෝස්තු 15 දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

පහත දේශනය සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) සාමාජිකාවක සහ එක්සත් ජනපදයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ ජාතික ලේකම්වරිය වන ක්ලාරා වයිස් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජර්මානු භාෂා අංශයේ කර්තෘ ජොහැන්නස් ස්ටර්න් විසින් 2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප ජාත්‍යන්තර ගිම්හාන පාසලට ඉදිරිපත් කරන ලදි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් “ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ සහ සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය” මැයින් ගිම්හාන පාසලට ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාව පසුගිය සතියේ ප්‍රකාශයට පත් විය. ලෝසවෙඅ ඉදිරි සතිවලදී පාසලේ සියලුම දේශන ප්‍රකාශයට පත් කරනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම්

හැඳින්වීම

මෙම දේශනයේ කර්තව්‍යය වන්නේ මාක්ස්වාදයේ එකම අඛන්ඩතාව ලෙස ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මතු වූ ඓතිහාසික අත්දැකීම් ගෙනහැර දැක්වීම සහ ජාත්‍යන්තර කමිටුව විසින් පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ දී 1953 සිට ආරක්ෂා කරන ලද ට්‍රොට්ස්කිවාදයේ මූලික දේශපාලන සංකල්ප හඳුන්වා දීමයි.

අප ඉතිහාසයේ පක්ෂයක් බව අපි නිතරම අවධාරනය කරන්නෙමු. නමුත් අපගේ කාර්යයට පාදක වන ඉතිහාසය කෙරෙහි ප්‍රවේශය කුමක්ද යන්න තේරුම් ගැනීම වැදගත්‍ ය. අප ඉතිහාසයට පිවිසෙන්නේ ආත්මීයව නොවේ. එනම්, අප ඉතිහාසයට පිවිසෙන්නේ පුද්ගලයන්ගේ “හොඳ” හෝ “නරක” ක්‍රියා හෝ චේතනා පිලිබඳව සදාචාරාත්මක විනිශ්චයන් ලබා දීමේ ආස්ථානයෙන් නොවෙයි. මාක්ස්වාදීන්ගේ කර්තව්‍යය වන්නේ එංගල්ස්ගේ සුප්‍රසිද්ධ වචන වලින් කිවහොත්, “චේතනා පිටුපස ඇති ගාමකයන් හෙලිදරව් කිරීම” යි: ප්‍රවනතාවල සහ පුද්ගලයන්ගේ දේශපාලන චින්තනය සහ ක්‍රියාවන් පිටුපස ඇති වෛෂයික සමාජ ගාමක බලවේග නිර්නය කර ගැනීමයි .

එහෙත් ඉතිහාසය පිලිබඳ මෙම වෛෂයික ප්‍රවේශය යනු නිෂ්ක්‍රීය ප්‍රවේශයක් නොවේ. අප ඉතිහාසයට පිවිසෙන්නේ විප්ලවවාදී අරගලයේ ආස්ථානයෙනි. සමාජවාදී විප්ලවය, නියාම මගින් මෙහෙයවනු ලබන ක්‍රියාවලියක් මෙන් ම විප්ලවවාදී පන්තියේ සහ එහි පක්ෂයේ වැඩපිලිවෙල, තීරන සහ ක්‍රියාවන් විසින් තීරනාත්මකව හැඩගස්වනු ලබන ක්‍රියාවලියක් ලෙස අපි තේරුම් ගනිමු.

ඉතිහාසය කෙරෙහි මෙම ප්‍රවේශය අධිරාජ්‍යවාදී යුගය සහ සමාජවාදී විප්ලවයේ විප්ලවවාදී නායකත්වයේ භූමිකාව පිලිබඳ අපගේ සංකල්පය සමග සහජයෙන්ම බැඳී ඇත. 1991 දී ස්ටැලින්වාදීන් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිතිව, 20 වැනි සියවස පිලිබඳව එකිනෙකට වෙනස් සංකල්ප තුනක් වර්ධනය කෙරුනි. පලමු වැන්න, ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ “ඉතිහාසයේ අවසානය” පිලිබඳ කුප්‍රකට ප්‍රකාශය. දැන් එය සවිස්තරාත්මකව ප්‍රතික්ෂේප කිරීමක් අවශ්‍ය නොවේ. ඔහු මෑතකදී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී නව-නාසි අසෝව් බලඇනියේ සාමාජිකයින් සමඟ වේදිකාවක පෙනී සිටියේය.

ෆ්‍රැන්සිස් ෆුකුයාමා (වමේ) අර්සීනී ෆෙඩෝෂෙක්, ජූලියා ෆෙඩෝෂෙක් සහ කැටරිනා ෆ්‍රෝකෝපෙන්කෝ සමඟ. [ඡායාරූපය: ස්ටැන්ෆර්ඩ්හි යුක්‍රේන ශිෂ්‍ය සංගමයේ ෆේස්බුක් පිටුව] [Photo: Facebook page of the Ukrainian Student Association at Stanford]

දෙවැන්න බ්‍රිතාන්‍ය ස්ටැලින්වාදියෙකු හා ඉතිහාසඥයෙකු වූ එරික් හොබ්ස්බෝම් විසින් වර්ධනය කරන ලදී. ඔහුගේ මතයට අනුව, සෝවියට් සංගමයේ අවසානය රුසියානු විප්ලවයේ 'අභාවය' සහ එමගින් සියවසේ 'අවසානය' සනිටුහන් කල නිසා, 'කෙටි විසිවන සියවසක්' පැවති බව ඔහු කියා සිටියේය.[1]

තුන්වන සංකල්පය ජාත්‍යන්තර කමිටුව විසින් වර්ධනය කරන ලද්දකි: ' නොනිමි විසිවන සියවස'. සාරය වශයෙන්, මෙම සංකල්පය තුල ගැබ් ව පවතින්නේ ලෝක යුද්ධ දෙකකට සහ ෆැසිස්ට්වාදයේ නැගීමට පමනක් නොව, ඔක්තෝබර් විප්ලවයට ද කොන්දේසි නිර්මානය කල ලෝක ධනේශ්වර පද්ධතියේ අතිමූලික ඓතිහාසික ප්‍රතිවිරෝධතා නොවිසඳී පවතින බවයි.

“නොනිමි විසිවන සියවස” පිලිබඳ සංකල්පය තුල පරදුවට තැබුවේ, පලමුව, අධිරාජ්‍යවාදී යුද්ධවල සහ ලෝක සමාජවාදී විප්ලවයේ යුගය ලෙස අපගේ යුගය පිලිබඳ මාක්ස්වාදී අවබෝධය සහ දෙවනුව, එම විප්ලවය තුල මාක්ස්වාදී නායකත්වයේ භූමිකාව සහ අඛන්ඩ පැවැත්මයි. ස්ටැලින්වාදයට එරෙහි වාම විපාර්ශවයේ අරගලය “සමපේක්ෂනාත්මක” යැයි කියමින් ඒ ගැන මොන යම් හෝ සලකා බැලීමක් ප්‍රතික්ෂේප කල හොබ්ස්බෝම්ගේ රචනයකට ප්‍රතිචාර වශයෙන් සමාජවාදී විප්ලවයේ දී ආත්මීය සාධකයේ භූමිකාව -- පක්ෂ, ක්‍රියාමාර්ග සහ දේශපාලන අරගලයේ ක්‍රියාවලිය ම -- 'වෛෂයික' ඓතිහාසික ක්‍රියාවලියෙන් බැහැර කල නොහැකි බව ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කලේ ය. ඇත්ත වශයෙන්ම, හොබ්ස්බෝම්ගේ ම රචනය පෙන්නුම් කලේ, 'ආත්මීය' සාධකය නොසලකා හැරීමේ හෝ අවතක්සේරු කිරීමේ ප්‍රතිඵලය විය හැක්කේ ඓතිහාසික වාර්තාවේ විකෘතියක් පමනක් බවයි. වාම විපාර්ශවයේ අරගලය 'ප්‍රතිපරිසිද්ධික' (සිද්ධ නොවුනු) දෙයක් ලෙස බැහැර කිරීමෙන්, ඔහු සාරභූතව, ස්ටැලින්වාදය සදහා ක්ෂමාලාපයක් සම්පාදනය කලේය.

ඩේවිඩ් නොර්ත් 1989 මොස්කව් ඓතිහාසික ආයතනයේ දේශනය පවත්වමින්

හොබ්ස්බෝම්ගේ සංකල්ප සමඟ වඩාත් අතිමූලික න්‍යායික මට්ටමකින් පොර බදමින්, නෝර්ත් අවධාරනය කලේ, හොබ්ස්බෝම් කියාපාන පරිදි ඔක්තෝබර් විප්ලවය, විද්‍යාඥයන් විසින් පුරෝකථනය කරනු ලැබිය හැකි නමුත් මිනිසුන්ගේ ක්‍රියාවන්ගෙන් ගුනාත්මකව බලපෑම් කල නොහැකි භූමිකම්පාවක් හෝ ගංවතුරක් වැනි ස්වභාවික ව්‍යසනයකට සමාන නොවන බවයි. සමාජවාදී විප්ලවය ධනේශ්වර විප්ලවයට වඩා ගුනාත්මකව වෙනස් වූ ආකාරයෙන් වර්ධනය විය. ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේ ය:

“මාක්ස්වාදයේ ආගමනයත් සමඟ තමාගේ ම ඉතිහාසයට මිනිසාගේ සම්බන්ධය ප්‍රගාඪ පරිවර්තනයකට ලක් විය. මිනිසා තම චින්තනය සහ ක්‍රියාවන් සමාජ-ආර්ථික වශයෙන් සවිඥානිකව විග්‍රහ කිරීමටත්, එමගින් ඓතිහාසික හේතුඵල දාමයක් තුල තමාගේ ක්‍රියාකාරකම් නිශ්චිතව ස්ථානගත කිරීමටත් හැකියාව ලබා ගත්තේය. … දේශපාලන සංවිධානවල විශ්ලේෂන, ඉදිරිදර්ශන, මුලෝපායන් සහ ක්‍රියාමාර්ග ඓතිහාසික ක්‍රියාවලිය තුල මුලුමනින්ම පෙර නොවූ විරූ භූමිකාවක් අත්පත් කර ගත්තේය. ඉතිහාසය සරලව සිදුවීම නතර විය. එය පෙරදකිනු ලැබ, සුදානම් කරනු ලැබ සහ, මෙතෙක් කල නොහැකි වූ තරමට, දැනුවත්ව මෙහෙයවනු ලැබීය'.[2]

වෛෂයික යථාර්ථය සමග විප්ලවවාදී පන්තියේ සමාජ චින්තනය සහ භාවිතාව පෙලගැස්වීම 1917 දී කම්කරු පන්තිය විසින් ඔක්තෝබර් මස බලය අල්ලා ගැනීම තුලින් එහි මේ දක්වා වූ අසමසම කූටප්‍රාප්තියට ලඟා විය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඓතිහාසිකව මතුවූයේ පලමු ලෝක යුද්ධය අවසන්වීමට බල පෑ සහ 1917 විප්ලවයට තුඩු දුන් විප්ලවවාදී රැල්ල බැසයාමක් මධ්‍යයේ ය.

එක් අතකින්, මෙය ඉතිහාසයේ වඩාත්ම ඛේදජනක කාල පරිච්ඡේදය නොවන්නේ නම්, වඩාත්ම ඛේදජනක කාල පරිච්ඡේදවලින් එකක් විය. ඔක්තෝබර් විප්ලවය සහ දෙවන ලෝක යුද්ධයේ අවසානය අතර ගත වූ වසර 30 ආසියාව හා යුරෝපය පුරා දැවැන්ත විප්ලවවාදී අරගලවල පරාජයන්, ජර්මනියේ නාසිවාදයේ ආගමනය, මිලියන 6ක් මිය ගිය දෙවන ලෝක යුද්ධය, යුදෙව් සමූලඝාතනය සහ ස්ටැලින්වාදය විසින් මාක්ස්වාදීන්ගේ සහ සමාජවාදීන්ගේ පරම්පරාවන් මුලුමනින් විනාශ කිරීම දුටුවේ ය.

එහෙත් එය ඛේදනීය පරාජයන්ගේ, ප්‍රතිගාමීත්වයේ සහ ධනේශ්වර ම්ලේච්ඡත්වයේ කාලපරිච්ඡේදයක් පමනක් නොවීය. එය මාක්ස්වාදයේ අඛන්ඩතාව සුරැකීම හා වර්ධනය කිරීම ද කම්කරු පන්තිය අරගලයේ දී මෙහෙයවිය හැකි ජාත්‍යන්තර විප්ලවවාදී කේඩරයක් පන්නර ගැන්වීම ද සඳහා වූ අධිෂ්ඨානශීලී සහ වීරෝදාර අරගලයක කාලපරිච්චේදයක් ද විය. ට්‍රොට්ස්කි එම කාලපරිච්ඡේදයේ වඩාත්ම තීරනාත්මක පාඩම හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ලේ ප්‍රථම වාක්‍ය තුල මෙලෙස සාරාංශ ගත කලේය: “සමස්තයක් ලෙස ලෝක දේශපාලන තත්වය නිර්ධන පංති නායකත්වයේ ඓතිහාසික අර්බුදයකින් ප්‍රධාන වශයෙන් සංලක්ෂිත වේ.” [3]

පලමුවන කොටස: ඔක්තෝබර් විප්ලවය සහ වාම විරුද්ධ පාර්ශවයේ ඉස්මතුවීම

1991 වන විට ඔක්තෝබර් විප්ලවය 'අභාවයට පත්ව' තිබූ බවටත් ස්ටැලින්වාදය නො වැලැක්විය හැකි බවටත් එරික් හොබ්ස්බෝම් කරන ප්‍රකාශය රඳා පැවතියේ අන්තර්-සම්බන්ධිත තර්ක දෙකක් මත ය: පලමුව, විප්ලවය බොහෝ දුරට පාලනය කල නොහැකි, ස්වයංක්‍රීය ක්‍රියාවලියක් බව සහ දෙවනුව, එය සියල්ලට ම වඩා ජාතික සංසිද්ධියක් සහ හුදකලාව පැවතීමට නියමිතව තිබූ සිද්ධියකි. හොබ්ස්බෝම් ජර්මනියේ විප්ලවයක් 'සිදුවීමට තිබූ හැකියාව' මුලුමනින් ම බැහැර කලේ ය: “ජර්මානු ඔක්තෝබර් විප්ලවයක්,. .. බැරෑරුම් ලෙස ක්‍රියාත්මක නොවූ අතර එබැවින් පාවා දීමට අවශ්‍ය නොවීය.” යයි ඔහු ලිවීය. [4]

මෙම ප්‍රකාශ අසත්‍ය ය. ඔක්තෝබර් විප්ලවය අහසින් වැටුනේ නැත. එයට වෛෂයික සහ ආත්මීය පූර්ව කොන්දේසි තිබූ අතර, මේ දෙකම, අතිමූලික වශයෙන්, ජාත්‍යන්තර ස්වභාවයක් ඉසිලීය. එහි සමාජ-ආර්ථික පදනම සම්බන්ධයෙන් ගත් කල, ඔක්තෝබර් විප්ලවය පැන නැගුනේ පලමු ලෝක යුද්ධයට තුඩු දුන් ලෝක අධිරාජ්‍යවාදී ක්‍රමයේ ම ප්‍රතිවිරෝධයන් ම තුලිනි. කෙසේ වෙතත්, මෙම වෛෂයික ප්‍රතිවිරෝධතා රුසියාවේ විප්ලවවාදී අරගල මතුවීම පැහැදිලි කරන අතර ම, කම්කරු පන්තිය විසින් සාර්ථක ලෙස බලය අල්ලා ගැනීම ගැන ඒවායින් පැහැදිලි නොකෙරෙයි.

ලෙනින් සහ ට්‍රොට්ස්කි ඔක්තෝබර් විප්ලවයේ දෙවන සංවත්සර සැමරුමක

1917 දී රුසියාවේ කම්කරු පන්තිය විසින් අත්පත් කරගන ලැබූ දේශපාලන විඥානයේ මට්ටම, “ඊට පෙර වසර 70ක කාලය පුරා විහිදී ගිය යුරෝපීය හා රුසියානු කම්කරු පන්තිය තුල මාක්ස්වාදය සඳහා වූ සවිඥානික, “දිග්ගැස්සුනු ඓතිහාසික අරගලයක' නිෂ්පාදනයකි. [5] මෙම අරගලය, විප්ලවයේ ප්‍රධාන නායකයන් දෙදෙනා වන ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ වැඩ කටයුතු තුල එහි න්‍යායික හා දේශපාලනික උච්චස්ථානයට එලැඹුනි. එයට ප්‍රධාන අංග දෙකක් ඇතුලත් විය: පලමුවැන්න නම්, ජාතික අවස්ථාවාදයට එරෙහි සටනක් තුල කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් සඳහා ලෙනින්ගේ බොල්ෂෙවික්වරුන් ගෙන ගිය අරගලයයි.

දෙවැන්න නම්, ට්‍රොට්ස්කි නොනවතින විප්ලවය පිලිබඳ සංකල්පය වර්ධනය කිරීමයි. සමාජ විප්ලවයේ සහ ලෝක ආර්ථිකයේ සමස්ත පූර්ව වර්ධනය පිලිබඳ ඓතිහාසික ඇගයීමක් මත පදනම්ව, අපගේ යුගයේ දී රුසියාව වැනි ආර්ථික වශයෙන් පසුගාමී රටක පවා විප්ලවයට නායකත්වය දීමටත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් සම්පූර්න කිරීමටත් සමත් එකම විප්ලවවාදී පන්තිය කම්කරු පන්තිය බව ට්‍රොට්ස්කි හඳුනා ගත්තේය. 1905 විප්ලවයේ කාලපරිච්චේදයේ දී ඔහු මෙසේ ලිවීය:

“සියලුම රටවල් තම නිෂ්පාදන ක්‍රමය සහ එහි වානිජ්‍යය සමග එකට බැඳ තබමින්, ධනවාදය මුලු ලෝකය ම එක ම ආර්ථික හා දේශපාලන ජීවියෙකු බවට පරිවර්තනය කර ඇත. ... මෙය, දැන් දිග හැරෙන සංසිද්ධීන්ට ක්ෂනිකව ම ජාත්‍යන්තර ස්වභාවයක් ලබා දෙමින් පුලුල් ක්ෂිතිජයක් විවෘත කරයි. කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන රුසියාවේ දේශපාලන විමුක්තිය එම පන්තිය ඉතිහාසයේ තවමත් නොදන්නා උසකට ඔසවාලමින් ඔවුන් අතට දැවැන්ත බලය හා සම්පත් මාරු කරමින්, ඉතිහාසය ඒ සඳහා අවශ්‍ය සියලු වෛෂයික කොන්දේසි නිර්මානය කර ඇති, ලෝක ධනවාදය දියකර හැරීමේ ක්‍රියාවලියේ ආරම්භකයා බවට ඔවුන් පත් කරනු ඇත. [6]

කෙසේ වෙතත්, ගොවිජන රටක කම්කරු පන්තියේ ආඥාදායකත්වය මුහුන දෙන ප්‍රතිවිරෝධතා විසඳිය හැකිව තිබුනේ විප්ලවය ලෝක පරිමානව ව්‍යාප්ත කිරීම තුලින් පමනි. රුසියාව තුල විප්ලවයේ ඉරනම මූලික වශයෙන් ලෝක තලයේ තීරනය වීමට නියමිතව තිබුනි.

සමාජවාදී විප්ලවයේ ගතිකත්වය පිලිබඳ මෙම මූලෝපායික සංකල්ප, 1917 ඔක්තෝබරයේ බලය අල්ලා ගැනීම සහ 1922 දෙසැම්බරයේ සෝවියට් සංගමය පිහිටුවීම සඳහා පදනම විය. කෙසේ වෙතත්, බොල්ෂෙවික්වරුන්ගේ අපේක්ෂාවන්ට පටහැනිව, සියල්ලටත් වඩා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පාවා දීම්වල ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමට අසමත් විය. විප්ලවවාදී ව්‍යාපාර ගනනාවක් ම -- විශේෂයෙන්ම 1918-1919 ජර්මනියේ, 1919 දී හංගේරියාවේ සහ 1919 දී ඉතාලියේ -- ලේ විලක ගිල්වා දමන ලදී.

පන්ති අරගලයේ ජාත්‍යන්තර සිතියම, 1917-1923. [WSWS මාධ්‍ය සඳහා ඩේවිඩ් බෙන්සන්] [Photo: David Benson/WSWS]

ආර්ථික වශයෙන් විනාශ වූ සෝවියට් සමූහාන්ඩුව ධනේශ්වර වටලෑම තුල අනපේක්ෂිත ලෙස හුදකලා විය. ඊනියා නව ආර්ථික ප්‍රතිපත්තිය (1921) සමඟ සැලකිය යුතු පසුබැසීමක් ආරම්භ කිරීමට සෝවියට් ආන්ඩුවට බලකෙරුනි. මෙම ප්‍රතිපත්තිය, දෙන ලද කොන්දේසි යටතේ අවශ්‍ය වුව ද, එය සෝවියට් සමාජය තුල ධනේශ්වර බලවේග ශක්තිමත් කිරීමට දායක විය. පක්ෂයේ වඩාත්ම අධිකාරීවත් නායකයා වූ ලෙනින් 1922 දී බරපතල ලෙස රෝගාතුර වී ඇඳට වැටීමෙන් තත්වය වඩාත් දුෂ්කර වීය. පක්ෂය තුල වැඩෙන නිලධාරිවාදී සහ ජාතිකවාදී ප්‍රවනතාවන්ට එරෙහිව අරගලයක් ආරම්භ කිරීමට ඔහු සමත් වුව ද, 1924 ජනවාරියේ දී ඔහු අකාලයේ මිය ගියේ ය.

1922 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය එහි ආරම්භයේදී. [ඩේවිඩ් බෙන්සන් ලෝසවෙඅ මාධ්‍ය සඳහා] [Photo: David Benson/WSWS]

පක්ෂ නායකත්වය තුල, වඩ වඩාත් ධෛර්යමත් වූ ජාතික අවස්ථාවාදී අංශයක් සහ ට්‍රොට්ස්කි හා ලෙනින් විසින් නායකත්වය දෙන ලද මාක්ස්වාදී වාමාංශය අතර පැනනැගුනු දිගුකාලීන අංකුර අරගලයක්, 1923 ඔක්තෝබර් මාසයේ ගබ්සා කරන ලද ජර්මානු විප්ලවයේ සන්දර්භය තුල, විවෘතව පුපුරා ගියේය. ට්‍රොට්ස්කි සහ පක්ෂයේ ජාත්‍යන්තරවාදී විප්ලවවාදී අංශය, එවිට, පක්ෂයේ ප්‍රතිපත්ති යලි දිශාගත කිරීම අරමුනු කරගත් විවෘත අරගලයක් ආරම්භ කලහ. 1923 ඔක්තෝබර් 15 දින, පැරනි බොල්ෂෙවික්වරු 46 දෙනෙක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාව පිලිබඳ ට්‍රොට්ස්කිගේ අවධාරනයට ද රාජ්‍ය කර්මාන්තය සැලසුම්කරනය සහ ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධාරනයක් සඳහා ඔහු කල ඉල්ලීම්වලට ද ඔවුන්ගේ දේශපාලන සහයෝගය ප්‍රකාශ කලහ.

ට්‍රොට්ස්කි වාම විපාර්ශවයේ අරගලය සම්බන්ධයෙන් ගත් ප්‍රවේශය තේරුම් ගත හැක්කේ ඔහු සහ ලෙනින් සමාජවාදී විප්ලවයේ මාක්ස්වාදී නායකත්වයේ භූමිකාව පිලිබදව වර්ධනය කරගෙන තිබූ සංකල්පය මත පදනම්ව පමනි. ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය යන ඔහුගේ රචනයේ දී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කල පරිදි, 1914 දී දෙවන ජාත්‍යන්තරයේ බිඳවැටීමේ සහ 1917 දී බලය අල්ලාගැනීමේ අත්දැකීම් මගින්

කේඩර පුහුනු කිරීමේ හා ජාත්‍යන්තරයේ කාර්යභාරය පිලිබද සංකල්පය, නව ඓතිහාසික අන්තර්ගතයකින් පොහොසත් කෙරින. .... කොමියුනිස්ට් ජාත්‍යන්තරය සිය වැඩ කටයුතු ආරම්භ කලේ, වියුක්තව සංකල්පනය කෙරුනු වෛෂයික ආර්ථික බලවේගයන් සහ සමාජ ප්‍රතිවිරෝධතාවන් විසින් නොවැලැක්විය හැකි ලෙස සිදු කෙරෙන ක්‍රියාවක් හැටියට සමාජවාදී විප්ලවය අත් හැර දැමිය නොහැකි ය යන අතිමූලික ප්‍රස්තුතයෙනි. කොමින්ටර්න්හි විප්ලවවාදී පක්ෂවල නායකයින්ට ... සිය ආත්මීය භාවිතය ධනවාදය පෙරලා දැමීමට තුඩු දෙන ඓතිහාසික සිදුවීම් දාමයේ තීරනාත්මක වෛෂයික පුරුකක් බව හඳුනා ගැනීමට සිදු විය. [7]

මෙම මූලික සංකල්පය 1917 සහ 1923 අතර කම්කරු පන්තිය අත්විඳි පරාජයන් මගින් නිශේධනාත්මකව තහවුරු විය. එම පරාජයන්ට ප්‍රධාන හේතුව වූයේ 1917 බොල්ෂෙවිකයන්ගේ නායකත්වය හා සැසඳිය හැකි විප්ලවවාදී නායකත්වයක් නො තිබීමයි. 1924 දී ට්‍රොට්ස්කි මෙසේ නිගමනය කලේ ය:

“ඉතිහාසය විප්ලවයට අවශ්‍ය කොන්දේසි යාන්ත්‍රිකව නිර්මානය කර, ඉන්පසුව පක්ෂයේ ඉල්ලීම පරිදි, ඕනෑම මොහොතක, බන්දේසියක් මත තබා ඉදිරිපත් කොට, මෙන්න, කරුනාකර රිසිට්පතට අත්සන් කරන්න යයි ඉල්ලනු ඇතැයි සිතිය නොහැක. එය එසේ නො වේ. පන්තියක්, දිගුකාලීන අරගලයක ගමන්මග තුල, යම් තත්වයක දී තම මාවත සොයා ගත හැකි, දොරට තට්ටු කරන විට විප්ලවය හඳුනා ගනු ඇති, අවශ්‍ය මොහොතේ සන්නද්ධ නැගිටීම පිලිබද ගැටලුව කලාව පිලිබද ගැටලුවක් ලෙස ග්‍රහනය කර ගෙන, සැලැස්මක් සකසා, කර්තව්‍යන් බෙදා දී ධනේශ්වරයට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කල හැකි පෙරටු බලඇනියක් ගොඩනැගිය යුතුය. [8]

1917 විප්ලවය අතරතුර බොල්ෂෙවික් පක්ෂය තුල දේශපාලන අරගලය පිලිබඳ සමාලෝචනයක් මත පදනම්ව, ඔක්තෝබරයේ පාඩම් කෘතිය තුල ට්‍රොට්ස්කි මෙම විශ්ලේෂනය තවදුරටත් වර්ධනය කලේය. එකල, ග්‍රිගෝරි සිනෙවෙව්, ලෙව් කමනෙව් සහ ජෝශප් ස්ටැලින් රුසියාවේ තත්වයන් සමාජවාදී විප්ලවය සඳහා ප්‍රමානවත් තරම් “පරිනත” වී නොමැති බවට තර්ක කරමින් බලය අල්ලා ගැනීමට විරුද්ධ වූ කන්ඩායමකට නායකත්වය දුන්හ. ට්‍රොට්ස්කි අවධාරනය කලේ දේශපාලන තත්වයේ තියුනු මාරුවීම්වල කොන්දේසි යටතේ, ධනේශ්වර මහජන මතයට සහ ජාතික ප්‍රවනතාවයන්ට අනුගත වීමේ පීඩනය නොවැලැක්විය හැකි බව යි. විප්ලවවාදී පක්ෂයක් සතුරු පන්ති බලවේගවල පීඩනයට යටත් වේ. පක්ෂ නායකත්වයක අභියෝගය වන්නේ පක්ෂය තම පන්තියේ ඓතිහාසික කර්තව්‍යයන් සමඟ ඉදිරියට යාම සහතික කිරීම සඳහා එවැනි පීඩනයන්ට එරෙහිව සටන් කිරීමයි. නො එසේ නම්, පක්ෂය “අනෙකුත් පන්තීන්ගේ වක්‍ර මෙවලම බවට පත්වීමේ අවදානම දරන” බවට ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය. [9]

1927 දී වාම විපර්ෂවයේ සාමාජිකයින් (වමේ සිට ඉදිරියෙන්) ලියොනිඩ් සෙරෙබ්‍රියාකොව්, කාල් රඩෙක්, ලියොන් ට්‍රොට්ස්කි, මිහායිල් බොගුස්ලාව්ස්කි, යෙව්ගනි ප්‍රෙබ්‍රජන්ස්කි; (පසුපෙල) ක්‍රිස්ටියන් රකොව්ස්කි, ජාකොබ් ඩ්‍රොබ්නිස්, ඇලෙක්සැන්ඩර් බෙලෝබොරොඩොව් සහ ලෙව් සොස්නොව්ස්කි

ඒ වන විට ස්ටැලින්, සිනොවියෙව් සහ කමනෙව් විසින් ආධිපත්‍යය දරන ලද පක්ෂ නායකත්වය, 1924 ඔක්තෝබර් මාසයේ දී ඔක්තෝබරයේ පාඩම් ප්‍රකාශයට පත්කිරීමට ප්‍රතිචාර දැක්වූයේ ට්‍රොට්ස්කිට හා නොනවතින විප්ලවයට එරෙහි කර්කශ උද්ඝෝෂනයකිනි. මෙම උද්ඝෝෂනය තුල දී, බොල්ෂෙවික් පක්ෂයේ සහ 1917 විප්ලවයේ සමස්ත ඉතිහාසයම ක්‍රමානුකූල මුසාකරනයකට යටත් කලේ ය. 1924 දෙසැම්බරයේ දී, ස්ටැලින්, යුරෝපයේ කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගනු ලැබීමෙන් තොරව රුසියාව තුල 'තනි රටක සමාජවාදය' ගොඩනැගිය හැකි ය යන සංකල්පය විස්තාරනය කලේය. මෙම ප්‍රති-මාක්ස්වාදී හා ජාතිකවාදී න්‍යාය ඔක්තෝබර් විප්ලවයට එරෙහි ස්ටැලින්වාදී ප්‍රතිගාමිත්වය සඳහා දේශපාලන පදනම සැකසී ය.

1923-1924 සමයේ දී ඔහුට දේශපාලන බලය අහිමි වූයේ මන්දැයි යන ප්‍රශ්නය ඉදිරිපත් වූ විට, ට්‍රොට්ස්කි, එකී කාරනා “බලය” සඳහා අරගලයක් සහ විවිධ පෞරුෂයන් අතර ගැටුමක් බවට ලඝු කල ආත්මීය පැහැදිලි කිරීම් සෑම විටම ප්‍රතික්ෂේප කලේ ය. බොල්ෂෙවික් නායකත්වයේ දේශපාලන දිශානතියේ මාරුවට සහ පක්ෂයේ පරිහානියට යටින්, සෝවියට් සංගමය තුල දේශපාලන හා සමාජ සම්බන්ධතා කෙරෙහි අතිමහත් බලපෑමක් ඇති කල පන්ති බලවේගවල ජාත්‍යන්තර තුලනයේ ප්‍රගාඪ මාරුවීම් පැවතුනි.

ජාත්‍යන්තර විප්ලවයේ ප්‍රමාදය සංඛ්‍යාත්මකව හා ආර්ථික වශයෙන් දුර්වල වූ සෝවියට් කම්කරු පන්තිය තුල අපේක්ෂාභංගත්වයේ මනෝභාවයන් පෝෂනය කලේ ය. ඒ අතර ම, මෙම පරාජයන් සහ එහි ප්‍රතිඵලය වූ ජාත්‍යන්තර හුදකලාව, පක්ෂ නායකත්වය තුල පැවති ජාතික වශයෙන් නැඹුරු වූ බලවේග විසින් සිය සමාජ අවශ්‍යතා වඩ වඩා ප්‍රකාශයට පත්කරන ලද වේගයෙන් වර්ධනය වන නිලධාරි තන්ත්‍රයක ස්ථාවරය තහවුරු කලේ ය. සිදුවෙමින් පවතින දේශපාලන හා සමාජ-මානසික ක්‍රියාවලීන් ට්‍රොට්ස්කි පසුව පහත පරිදි පැහැදිලි කලේ ය:

'සියල්ල හා සැමදා විප්ලවය සඳහා නොව, තමාට ද යමක්' යන හැඟීම 'නොනවතින විප්ලවය භංගවේවා' ලෙස පරිවර්තනය විය. මාක්ස්වාදයේ තත්‍ය න්‍යායික ඉල්ලීම්වලට සහ විප්ලවයේ තත්‍ය දේශපාලන ඉල්ලීම්වලට එරෙහි කැරැල්ල ක්‍රමක්‍රමයෙන් මෙම ජනයාගේ ඇස් හමුවේ “ට්‍රොට්ස්කිවාදයට” එරෙහි අරගලයක රූපය අත්කරගත්තේ ය. මෙම බැනරය යටතේ, බොල්ෂෙවිකයා තුල පිලිස්තීනුවාගේ විමුක්තිය ඉදිරියට යමින් තිබුනි. මේ නිසා තමයි මට බලය නැති වුනේ. එය තමයි මේ අහිමිවීමේ රුපය නිර්නය කලේ.[10]

සෝවියට් නිලධරයේ නැගීම, සෝවියට් පක්ෂය ප්‍රමුඛ භූමිකාවක් ඉටු කල කොමින්ටර්නයේ දිශානතියේ ප්‍රගාඪ මාරුවක් ද ඇති කලේ ය. 1925 දෙසැම්බරයේ දී බොල්ෂෙවික් පක්ෂය 'තනි රටක සමාජවාදය' ගොඩනැගීමේ ජාතිකවාදී වැඩපිලිවෙල නිල වශයෙන් අනුමත කලේය. සෝවියට් සංගමය සහ ධනේශ්වර රටවල් අතර 'සාමකාමී සහජීවනයේ කාලපරිච්ඡේදයක්' ආරම්භ වී ඇතැයි යන සංකල්පය මගින් මෙම දිශානතිය පැහැදිලිවම අනුපූරක විය. නිලධාරි තන්ත්‍රයේ ආස්ථානයෙන් ගත් කල, වඩවඩාත් කොමින්ටර්නයේ ප්‍රධාන කාර්යය වූයේ, ධනේශ්වරය පෙරලා දැමීමට කම්කරු පන්තියට නායකත්වය දීමේ සටන නොවේ. ඒ වෙනුවට, එහි කර්තව්‍ය වූයේ, ස්ටැලින් පැවසූ පරිදි, ධනේශ්වරය 'මධ්‍යස්ථව තබා ගැනීම' සහ සෝවියට් සංගමයට එල්ල විය හැකි මිලිටරි ප්‍රහාර වැලැක්වීම යි.

මෙම ජාතික දිශානතිය කම්කරු පන්තියේ ව්‍යසනකාරී පරාජයන්ට තුඩු දුන්නේ ය. ස්ටැලින්වාදයේ පලමු ප්‍රධාන පාවාදීම වූයේ 1926 මැයි මාසයේ දී බ්‍රිතාන්‍ය මහා වැඩ වර්ජනයේ පරාජය යි. ස්ටැලින්වාදී නායකත්වය වඩාත් වැදගත් අධිරාජ්‍යවාදී රටක කම්කරු පන්තියේ බලගතු ව්‍යාපාරයක් වෘත්තීය සමිති නිලධරයන්ට සහ ලේබර් ප්‍රතිසංස්කරනවාදීන්ට යටත් කලේ ය. දෙවන ප්‍රධාන පාවාදීම වූයේ 1925-1927 චීන විප්ලවයේ පරාජය යි.

1917 දී කම්කරු පන්තියේ බලය අල්ලා ගැනීම නොනවතින විප්ලවයේ සහ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් සඳහා අරගලයේ සාධනීය තහවුරු කිරීම වුයේ නම්, චීන විප්ලවය ඒවා නිශේධනීය ලෙස ඛේදනීය තහවුරු කිරීමක් විය.

1925-1926 දී චීනය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ දැවැන්ත විප්ලවවාදී ව්‍යාපාරයක පැනනැගීම දුටුවේය. එහෙත්, දුගී ගොවි ජනයාගේ සහාය ඇතිව රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා චීන කම්කරු පන්තිය සහ එහි නායකත්වය සූදානම් කරනවා වෙනුවට, ස්ටැලින්කරනය වූ කොමින්ටර්නය අනුගමනය කලේ, චීන කොමියුනිස්ට් පක්ෂය (චීකොප) සිය සමස්ත ක්‍රියාකාරකම් ජාතික ධනේශ්වරයේ පක්ෂය වූ කුවොමින්ටෑනයේ අවශ්‍යතාවන්ට යටත් කිරීමේ පිලිවෙතකි. කුවොමින්ටෑනය විවේචනය කිරීමට හෝ ස්වාධීන පත්‍රයක් පවත්වාගෙන යාමට පවා චීකොපට ඉඩ නොදුනි.

මෙම පන්ති සහයෝගිතාවාදී පිලිවෙත පදනම් වූයේ 'අවධි දෙකේ' විප්ලවයක් පිලිබඳ පැරනි මෙන්ෂෙවික් සංකල්පයේ පුනර්ජීවනයක් මත ය. මෙම සංකල්පය මත පදනම්ව, ආර්ථික වශයෙන් පසුගාමී රටවල කම්කරු පන්තිය පලමුව ධනේශ්වරය බලයට ගෙන ඒමට උදව් කල යුතු ය. කම්කරු පන්තියට බලය තමන් විසින්ම අල්ලා ගැනීම අපේක්ෂා කල හැකිවන්නේ ධනේශ්වර සංවර්ධනයේ දීර්ඝ කාලයකට පසුව පමනි. චීනය සම්බන්ධයෙන් ගත් කල, අධිරාජ්‍යවාදී පීඩනය “පංති හතරක සංධානයක් ” සඳහා පදනම දමනු ඇතැයි ස්ටැලින් තර්ක කලේ ය: එනම්, කම්කරු පන්තිය, ගොවි ජනතාව, නාගරික සුලු ධනේශ්වරය සහ ජාතික ධනේශ්වරය අතර සන්ධානයක්. එහෙත් ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි:

අධිරාජ්‍යවාදය චීනයේ සියලුම පන්ති පිටත සිට යාන්ත්‍රිකව එකට පුරුද්දන බව සිතීම බරපතල වරදකි. … අධිරාජ්‍යවාදී පීඩනය විසින් ධනේශ්වරයත් කම්කරු හා ගොවි ජනතාවත් අතර පන්ති අරගලය දුර්වල කෙරෙනවා නොව, ඊට පටහැනිව, සෑම බරපතල ගැටුමක දී ම ලේ වැකි සිවිල් යුද්ධයක් දක්වා එය මුවහත් කෙරෙනවා ඇත.[11]

කොමින්ටර්නයේ දේශපාලනය ව්‍යසනකාරී ප්‍රතිවිපාක ජනනය කලේ ය. 1927 අප්‍රේල් මාසයේ දී, කුවොමින්ටෑන් නායක චියැන් කායි ෂෙක් ෂැංහයිහි කුමන්ත්‍රනයක් දියත් කර චීන කම්කරුවන් සහ කොමියුනිස්ට්වාදීන් දස දහස් ගනනක් ඝාතනය කලේ ය .

ෂැංහයි හි දී ප්‍රසිද්ධියේ කොමියුනිස්ට්වාදියෙකුගේ හිස ගසා දැමීම, 1927 අප්‍රේල්

ජාත්‍යන්තර විප්ලවයේ නව පසුබෑම, නිලධරයේ සමාජ හා දේශපාලන ආස්ථානය ශක්තිමත් කරන අතර ම, ගතානුගතිකත්වයේ සහ අධෛර්යමත් වීමේ මනෝභාවයන් දිරිගන්වමින්, සෝවියට් කම්කරු පන්තියට ප්‍රගාඪ බලපෑමක් ඇති කලේ ය. 1927 දෙසැම්බර් මාසයේ පැවති කොමියුනිස්ට් පක්ෂයේ 15 වැනි සම්මේලනයේ දී වාම විපාර්ශ්වය පක්ෂයෙන් නෙරපා හරින ලදී. ඉක්බිති සති කිහිපය තුල ට්‍රොට්ස්කි සහ විපාර්ශ්වයේ අනෙකුත් සියලු ම නායකයන් පාහේ පිටුවහල් කරන ලදී. 1928 පුරාවට, විරුද්ධවාදීන් දහස් ගනනක් නෙරපා හරින ලද, අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන ලද හෝ සිරගත කරන ලදී.

මෙම සිදුවීම්වලට ට්‍රොට්ස්කිගේ ප්‍රමුඛ ප්‍රතිචාරය වූයේ, කම්කරු පන්තිය මේ වන විට පසුකර ඇති මූලෝපායික අත්දැකීම් පිලිබඳව ක්‍රමානුකූල සමාලෝචනයකි. එහි ප්‍රතිඵලය වූ ලියවිල්ල, කොමින්ටර්නයේ 6 වැනි සම්මේලනයේ කෙටුම්පත් වැඩපිලිවෙල පිලිබඳ ඔහුගේ විවේචනය, අපගේ ඓතිහාසික ඉදිරිදර්ශනයට පමනක් නොව, ජාත්‍යන්තර කමිටුවේ සහ ලෝසවෙඅ දේශපාලන විශ්ලේෂනය හා වර්ධනය සම්බන්ධයෙන් අප ගන්නා ප්‍රවේශයට ම පදනමක් ලෙස පවතී.

ස්ටැලින්වාදය සිදු කල මාක්ස්වාදයේ ජාතිකවාදී සංශෝධනය ට්‍රොට්ස්කි විසින් ප්‍රතික්ෂේප කිරීමෙහි ලා කේන්ද්‍රීය වූයේ, අධිරාජ්‍යවාදී යුද්ධයේ සහ සමාජවාදී විප්ලවයේ යුගය ලෙස අපගේ යුගය මූලෝපායිකව නිර්වචනය කිරීම පිලිබඳ ඔහුගේ අවධාරනය යි. ලෝක ආර්ථිකයේ සහ මුල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය මෙන් ම, වෛෂයික තත්වයේ තියුනු මාරුවීම් මගින් සංලක්ෂිත වූ මෙම යුගයේ දී විප්ලවවාදී නායකත්වයේ භූමිකාව සුවිශේෂී අර්ථභාරයක් අත්කර ගත්තේය. එබැවින්, එම නායකත්වයේ නිවැරදි මූලෝපායාත්මක සහ ක්‍රියාමාර්ගික දිශානතියක් පිලිබඳ ප්‍රශ්නය තීරනාත්මක විය. ජාත්‍යන්තරයේ දේශපාලන දිශානතියට පාදක විය යුතු මූලික ජාත්‍යන්තරවාදී මූලධර්ම ට්‍රොට්ස්කි පහත පරිදි සාරාංශගත කලේ ය:

ජාත්‍යන්තර ක්‍රියාමාර්ගය, සමස්තයක් ලෙස ගත්, ලෝක ආර්ථිකයේ සහ ලෝක දේශපාලන ක්‍රමයේ කොන්දේසි සහ ප්‍රවනතා විශ්ලේෂනය කිරීමෙන් සෘජුවම ඉදිරියට යා යුතුය. ... වර්තමාන යුගයේ දී, අතීතයට වඩා බොහෝ දුරට, නිර්ධන පංතියේ ජාතික දිශානතිය ගලා යා යුත්තේ සහ ගලා යා හැක්කේ ලෝක දිශානතියකින් මිස අනෙක් අතට නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය සහ ජාතික සමාජවාදයේ සියලු ප්‍රභේද අතර මූලික හා ප්‍රාථමික වෙනස ඇත්තේ මෙහි ය. [12]

ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෙකු ලෙස 1928 ගිම්හානයේ දී මොස්කව්හි පැවැති කොමින්ටර්නයේ සම්මේලනයට සහභාගී වූ ජේම්ස් පී. කැනන්ට, මෙම ලේඛනයේ පිටපතක් අහම්බෙන් ලබා ගැනීමට හැකි විය. ඔහු එය අධ්‍යයනය කර සෝවියට් සංගමයෙන් පිටතට එය රහසේ ගෙන ගියේ ය. මෙය ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මතුවීම සහ ජාත්‍යන්තර වාම විපාර්ශ්වයේ ක්‍රමානුකූල වැඩ කටයුතුවල ආරම්භය සනිටුහන් කලේ ය.

ජේම්ස් පී. කැනන්, මැද "බිග් බිල්" හේවුඩ්, දකුනේ සහ මැක්ස් ඊස්ට්මන් සමග එක්ව, මොස්කව්හි දී, 1922

ස්ටැලින්වාදයේ පාවාදීම් සහ වාම විපාර්ශ්වයට එරෙහි වඩ වඩාත් ප්‍රචන්ඩ මර්දනය නොතකා, ට්‍රොට්ස්කි මෙම කාලය පුරාවට ම අවධාරනය කලේ, විපාර්ශ්වය සෝවියට් පක්ෂයේ සහ කොමින්ටර්නයේ ප්‍රතිසංස්කරනයක් දෙසට නැඹුරු විය යුතු බව යි. මෙම මාවත වෙනස් කරනු ලැබුවේ 20 වැනි සියවසේ විශාලතම දේශපාලන ව්‍යසනයන්ගෙන් එකකට ප්‍රතිචාරයක් ලෙස පමනි: එනම්, ජර්මනියේ හිට්ලර් බලයට පැමිනීම.

දෙවන කොටස: 1933 සහ ෆැසිස්ට්වාදයටත් ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ මහජන පෙරමුනුවාදයේ ද්‍රෝහිත්වයටත් එරෙහි අරගලය

.'ජර්මානු ව්‍යසනය' තුල කේපීඩී [ජර්මානු කොමියුනිස්ට් පක්ෂය] සහ සමස්ත කොමින්ටර්නය විසින් ඉටු කරන ලද මාරක භූමිකාව නව, හතරවන ජාත්‍යන්තරයක් ගොඩනැගීම ආරම්භ කිරීමේ අවශ්‍යතාව නිර්මානය කලේ ය. මෙම නව-දිශානතිය නාටකාකාර සංසිද්ධීන්වලට ආත්මීය ප්‍රතික්‍රියාවක් නොව, ඓතිහාසික වර්ධනය හා ස්ටැලින්වාදයේ භූමිකාව පිලිබඳ වෛෂයික විශ්ලේෂනයක් මත පදනම් විය.

ජර්මානු ව්‍යසනයට තුඩු දුන්නේ බලය සඳහා අරගලයේ දී කේපීඩී නායකත්වය යටතේ කම්කරු පන්තිය එක්සත් කරනු ඇති එක්සත් පෙරමුනු පිලිවෙතක් සඳහා සටන් කිරීම කේපීඩීය ප්‍රතික්ෂේප කිරීමයි.

ඇත්ත වශයෙන්ම, හොබ්ස්බෝම් මෙය 'සමපේක්ෂනයක්' ලෙස හෙලා දකිනු ඇත. නමුත් හිට්ලර්ව නැවැත්වීමේ හැකියාව තිබූ බවට විවාදයක් නැත. සමාජවාදී හා කොමියුනිස්ට් කම්කරුවන් මිලියන ගනනක් සිටි ජර්මනියට ලෝකයේ විශාලතම සංවිධානාත්මක කම්කරු ව්‍යාපාරය තිබුනි. එම කම්කරු ව්‍යාපාරය සටන් කිරීමට ඇති සිය කැමැත්ත ඔප්පු කර තිබුනේ එක් වරක් නොවේ. එමෙන් ම එයට පොහොසත් මාක්ස්වාදී ඉතිහාසයක් ද පැවතියේ ය. කම්කරුවෝ හිට්ලර්ට විරුද්ධ වීමට සූදානමින් සිටියහ. 1932 නොවැම්බරයේ පැවති අවසන් සාධාරන නිදහස් මැතිවරනයේ දී, ප්‍රධාන කම්කරු පන්තික පක්ෂ දෙක, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (එස්පීඩී) සහ කොමියුනිස්ට් පක්ෂය එක්ව සියයට 37.3ක ඡන්ද දිනා ගති. එය හිට්ලර්ගේ එන්එස්ඩීඒපී (සියයට 33.1) ට වඩා බෙහෙවින් වැඩි ය. නිල මැතිවරන සැබෑ බල තුලනයේ දුර්වල පිලිබිඹුවක් පමනක් විය.

1933 මාර්තු 21පොට්ස්ඩෑම් දිනයේ, ජර්මානු ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ග් (දකුනේ) නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු චාන්සලර් ලෙස පත් කිරීම පිලිගනී. [ඡායාරූපය Theo Eisenhart/Bundesarchiv, Bild 183-S38324 / CC BY-NC-SA 3.0] [Photo by Theo Eisenhart/Bundesarchiv, Bild 183-S38324 / CC BY-NC-SA 3.0]

එහෙත් ෆැසිස්ට්වාදයට එරෙහිව විප්ලවවාදී ඉදිරිදර්ශනයක පදනම මත කම්කරු පන්තිය එක්සත් කිරීම වෙනුවට, කේපීඩීය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ෆැසිස්ට්වාදයට සම කරමින් අතිවාමාංශික පිලිවෙතක් අනුගමනය කලේ ය. මෙසේ කම්කරු පන්තිය බෙදීම සහ ව්‍යාකූල කිරීම තුලින් සුලු ධනේශ්වරයේ විශාල පදාසයන් හිට්ලර්ගේ ෆැසිස්ට් වාචාලත්වයට භාර දුන්නේ ය. මෙම ක්‍රියාවලියේ දී, ෆැසිස්ට් අන්තරායට එරෙහිව කේපීඩීය එස්පීඩීය සමග කිසිදු සහයෝගීතාවක් ප්‍රතික්ෂේප කලා පමනක් නොව, සමහර අවස්ථාවල දී, එය නාසීන් සමඟ පොදු එකඟතාවකට පවා එලඹුනි -- සමහර විට වඩාත් කුප්‍රකට ලෙස ජර්මානු ප්‍රෂියා ප්‍රාන්තයේ එස්පීඩී නායකත්වයෙන් යුත් ආන්ඩුව නෙරපා හැරීම සඳහා 1931 දී එන්එස්ඩීඒපී ( ජාතික සමාජවාදී ජර්මානු කම්කරුවන්ගේ පක්ෂය) විසින් දියත් කරන ලද “රතු ජනමත විචාරනයට” කේඩීපීය දුන් සහාය එක් නිදසුනකි.

එක්සත් පෙරමුනු පිලිවෙතේ දේශපාලන අරමුනු සහ අර්ථභාරය පැහැදිලි කරමින් ට්‍රොට්ස්කි 1933 මැයි මාසයේ දී මෙසේ ලිවී ය:

කොමියුනිස්ට් පක්ෂයේ කිසිදු ප්‍රතිපත්තියකට, ඇත්ත වශයෙන් ම, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය විප්ලවයේ පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට හැකි වී නැත. එහෙත් අරමුන වුයේ ද එය නොවේ. අවශ්‍ය වූයේ, ෆැසිස්ට්වාදය බෙලහීන කිරීම සඳහා ප්‍රතිසංස්කරනවාදය සහ ෆැසිස්ට්වාදය අතර ප්‍රතිවිරෝධය හැකි තරම් උපරිමයට පාවිච්චි කිරීම මෙන් ම, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ නොහැකියාව කම්කරුවන්ට හෙලිදරව් කරමින් ප්‍රතිසංස්කරනවාදය දුර්වල කිරීමට යි. මෙම කාර්යයන් දෙක ස්වභාවිකව ම එකට ඒකාබද්ධ විය. කොමින්ටර්න් නිලධරයේ ප්‍රතිපත්තිය තුඩු දුන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයට යි: එනම්, ප්‍රතිසංස්කරනවාදීන්ගේ යටත්වීම සේවය කලේ කොමියුනිස්ට්වාදයේ නොව ෆැසිස්ට්වාදයේ අවශ්‍යතාවට ය; සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන් ඔවුන්ගේ නායකයින් සමඟ රැඳී සිටියහ; කොමියුනිස්ට් කම්කරුවන්ට තමන් පිලිබදව ම සහ සිය නායකත්වය කෙරෙහි විශ්වාසය නැති විය. [13]

කොමින්ටර්නය හිට්ලර්ට බලයට ඒමට මග පෑදූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලා පමනක් නොව, එම සිදුවීම් පිලිබඳ කිසිදු විවේචනාත්මක සාකච්ඡාවක් ද තහනම් කලේ ය. එහි තේරුම තුන්වන ජාත්‍යන්තරය කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානයක් ලෙස පැවතීම ඓතිහාසිකව අවසන් වූ බවයි. ස්ටැලින්වාදය, 1914 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්, අවසානයේ ධනේශ්වර ප්‍රතිවිප්ලවයේ කඳවුර තුලට ගිය බව ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය.

අවශ්‍ය දේශපාලන නිගමනවලට එලඹීමට සිදු විය. මෙතැන් සිට, කොමියුනිස්ට් පක්ෂවල සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රතිසංස්කරනයක් සඳහා වූ ඉදිරිදර්ශනයට වලංගු භාවයක් තිබුනේ නැත. ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය කෘතිය තුල දී ඩේවිඩ් නෝර්ත් සඳහන් කරන පරිදි, “දේශපාලන පාවාදීම්වල ප්‍රමානාත්මක සමුච්චය ස්ටැලින්වාදයේ ම ගුනාත්මක පරිවර්තනයක් නිර්මානය කර තිබුනි. එය නිලධාරිවාදී මාධ්‍යමිකවාදයේ සිට සවිඥානික ප්‍රතිවිප්ලවය දක්වා ගමන් කර තිබුනි.” [14]

ට්‍රොට්ස්කි 'කොමියුනිස්ට් පක්ෂ සහ ජාත්‍යන්තරයක් අලුතෙන් ගොඩ නැගීමට' යන ඔහුගේ වැදගත් ක්‍රියාමාර්ගික ලිපියේ දී 'දිශානතිය වෙනස් කිරීම' ගැන මෙසේ ලිවීය:

දේශපාලනයේ දී භයානකම දෙය නම්, ඊයේ උචිත, නමුත් අද සියලු අන්තර්ගතයෙන් තොර වූ තමන්ගේම සූත්‍රයේ සිරකරුවෙකු බවට පත්වීමයි. ...ෆැසිස්ට්වාදයේ ගිගුරුම් හඬින් අවදි නොවූ සහ නිලධාරි තන්ත්‍රයේ එවැනි සාහසික ක්‍රියාවලට නිවට ලෙස යටත් වන සංවිධානයක් එමගින් පෙන්නුම් කරන්නේ තමන් මිය ගොස් ඇති බවත් කිසිවකට යලි එයට පනදිය නොහැකි බවත් ය. මෙය විවෘතව හා ප්‍රසිද්ධියේ පැවසීම නිර්ධන පන්තිය සහ එහි අනාගතය කෙරෙහි අපගේ සෘජු යුතුකම යි. අපගේ සියලු පසුකාලීන වැඩවල දී නිල කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ඓතිහාසික බිඳවැටීම අපගේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගැනීම අවශ්‍ය වේ. [15]

ට්‍රොට්ස්කිගේ වැඩකටයුතුවල කේන්ද්‍රයේ පැවතියේ, දේශපාලන හා ඓතිහාසික තත්ත්වය සහ එයින් පැන නගින කර්තව්‍යයන් පැහැදිලි කිරීම යි. කම්කරු පන්තියේ නව දේශපාලන නායකත්වය ලෙස වාම විපාර්ශවයේ වර්ධනය ඉදිරියට ගෙන යාම කල හැකි වූයේ මෙම පදනම මත පමනි. කේඩරයක වර්ධනය යනු “හුදෙක් සංවිධානමය ගැටලුවක් නොවේ, එය දේශපාලන ගැටලුවකි: කේඩර හැඩගස්වනු ලබන්නේ නිශ්චිත ඉදිරිදර්ශනයක පදනම මතයි” යනුවෙන් ඔහු “කේපීඩී ය හෝ නව පක්ෂය” යන ලේඛනය තුල පැහැදිලි කලේ ය:

පක්ෂ ප්‍රතිසංස්කරනය පිලිබද සටන් පාඨය නැවතත් ප්‍රකෘතිමත් කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ දැනුවත්ව මනෝරාජික ඉලක්කයක් පිහිටුවීම සහ එමගින් අපගේ ම කේඩරය නව සහ තියුනු බලාපොරොත්තු සුන්වීම් කරා තල්ලු කිරීම යි. එවැනි ක්‍රියාමාර්ගයක් සමඟින් වාම විපාර්ශවය දිරාපත් වන පක්ෂයක උපාංගයක් බවට පත්ව එය සමග වේදිකාවෙන් අතුරුදහන් වනු ඇත.[16]

සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය සහ ස්ටැලින්කරනය වූ කොමින්ටර්නය දැන් විප්ලවයේ විරුද්ධවාදීන් ලෙස වඩාත් විවෘතව ක්‍රියා කරන අතර ට්‍රොට්ස්කිගේ පිලිවෙත ජාත්‍යන්තර පන්ති අරගලයේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනය දෙසට නැඹුරු විය. ට්‍රොට්ස්කි උත්සුක වූයේ කම්කරු පන්තියේ විඥානය නඟා සිටුවීම සහ එය ඓතිහාසික තත්වයේ අවශ්‍යතාවයන්ට අනුකූල වන මට්ටමට ගෙන ඒම පිනිස නිවැරදි දේශපාලන පිලිවෙතක් වර්ධනය කිරීම කෙරෙහි ය.

සමස්ත ඓතිහාසික අත්දැකීම ම පෙන්නුම් කරන්නේ ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කල හැක්කේ ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනක් බව යි. ෆැසිස්ට්වාදය යනු හුදෙක් වැරදි හෝ නරක පිලිවෙතක් නොව, ධනේශ්වර ක්‍රමයේ අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය යි. ට්‍රොට්ස්කි 1932 ජනවාරියේ දී “ඊලඟට කුමක් ද?” යන ලේඛනයේ ලියා ඇති පරිදි, “ධනේශ්වර ආඥාදායකත්වයේ 'සාමාන්‍ය' පොලිස් හා මිලිටරි සම්පත්, ඔවුන්ගේ පාර්ලිමේන්තු කඩතුරාවන් සමග එකට ගත් කල, ඒවා සමාජය සමතුලිත තත්වයක තබා ගැනීමට තව දුරටත් නො සෑහෙන මොහොතේ - ෆැසිස්ට් පාලන තන්ත්‍රයේ වාරය එලඹෙයි”. [17]

ජර්මනියේ දී, 1933 මාර්තු 24 දා, සියලු ධනේශ්වර පක්ෂ, කිසිදු ව්‍යතිරේකයකින් තොරව, හිට්ලර්ගේ බලාත්මක කිරීමේ පනතට ඡන්දය දුන් අතර, එමඟින් නාසි ආඥාදායකත්වය පිහිටුවීම සඳහා “නෛතික” පදනම් දැමී ය. එසේ කිරීමෙන්, ජර්මානු ධනේශ්වර පන්තිය අන්තර්-සම්බන්ධිත ඉලක්ක දෙකක් හඹා ගියේ ය: පලමුව, කම්කරු ව්‍යාපාරය තලා දැමීම සහ දෙවනුව, පලමු ලෝක යුද්ධයේ ව්‍යසනයෙන් පසු තවත් අධිරාජ්‍යවාදී යුද්ධයකට සූදානම් වීම.

ට්‍රොට්ස්කි “ජාතික සමාජවාදය යනු කුමක්ද?” ලේඛනය තුල මෙය විස්තාරනය කලේය.

අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සඳහා ජනතාවගේ සියලු බලවේගවල හා සම්පත්වල අනිවාර්ය සංකේන්ද්‍රනය -- ෆැසිස්ට් ආඥාදායකත්වයේ සැබෑ ඓතිහාසික මෙහෙවර -- යන්නෙන් අදහස් කෙරෙන්නේ යුද්ධයට සූදානම් වීම යි. මෙම කාර්යය, අනෙක් අතට, කිසිදු අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොඉවසන අතර බලය තවදුරටත් යාන්ත්‍රිකව සංකේන්ද්‍රනය කිරීමකට මෙහෙයවෙයි. ෆැසිස්ට්වාදය ප්‍රතිසංස්කරනය කිරීමට හෝ සේවයෙන් විශ්‍රාම ගැන්වීමට නොහැකි ය. කල හැක්කේ එය පෙරලා දැමීම පමනි. පාලන තන්ත්‍රයේ දේශපාලන කක්ෂය යුද්ධය හෝ විප්ලවය යන විකල්ප මත රඳා පවතී. [18]

ජර්මනියේ නාසීන්ගේ ජයග්‍රහනයට ප්‍රතිචාර වශයෙන්, යුරෝපය පුරා කම්කරු පන්තිය තුල ධනවාදයට හා ෆැසිස්ට්වාදයට එරෙහි විරෝධය දැවැන්ත ලෙස වර්ධනය විය. එහෙත් ප්‍රන්සයේ සහ ස්පාඤ්ඤයේ කම්කරු පන්තියේ විප්ලවවාදී ප්‍රහාරක ව්‍යාපාර ද පරාජයෙන් අවසන් විය. මෙම පරාජයන්ට හේතුව වූයේ “මහජන පෙරමුනු” එනම් ස්ටැලින්කරනය වූ කොමියුනිස්ට් පක්ෂ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිති සමඟ පමනක් නොව, ප්‍රධාන ධනේශ්වර පක්ෂ සමඟ ද සන්ධානයක් ඇතිකර ගැනීමේ කොමින්ටර්නයේ ප්‍රතිපත්තිය යි. දෘෂ්ටිමය වශයෙන්, ස්ටැලින්වාදීන් විසින්, මෙම සන්ධානය යුක්ති සහගත කරන ලද්දේ, එය ෆැසිස්ට්වාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සදහා යයි තර්ක කරමිනි. එහෙත්, සාරභූතව, එය කම්කරුවන්ගේ විප්ලවවාදී අභිලාෂයන්ට එරෙහිව ධනේශ්වර අවශ්‍යතා ආරක්ෂා කිරීමට සමාන විය.

ට්‍රොට්ස්කි සටන් කලේ ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේ දී කම්කරු පන්තිය ධනේශ්වරයේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියනු ලබන කන්ඩායමට – නැත හොත් වර්තමාන ව්‍යාජ-වාමවාදීන් පවසන පරිදි, 'අඩු නපුර'ට – සහය දිය යුතුය යන ආස්ථානයට එරෙහිව ය. ඔහු එසේ කලේ කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්න සහ කර්තව්‍යයන් පැහැදිලි කිරීමේ ආස්ථානයේ සිට ය.

ෆ්‍රැන්සිස්කො ෆ්‍රැන්කො

ට්‍රොට්ස්කි “ස්පාඤ්ඤයේ පාඩම්: අවසන් අනතුරු ඇඟවීම” යන ලේඛනය තුල මෙසේ ලිවීය.

ෆැසිස්ට්වාදය ... වැඩවසම් නොව, ධනේශ්වර ප්‍රතික්‍රියාවකි. ධනේශ්වර ප්‍රතිගාමිත්වයට එරෙහි සාර්ථක සටනක් දියත් කල හැක්කේ නිර්ධන පන්ති විප්ලවයේ බලවේග හා විධික්‍රම සමග පමනි. ධනේශ්වර චින්තනයේ ශාඛාවක් ම වන මෙන්ෂෙවික්වාදයට මෙම කරුනු පිලිබඳව කිසිදු අවබෝධයක් නැත, එසේ තිබිය හැක්කේ ද නැත.

හතරවන ජාත්‍යන්තරයේ නව ශාඛාව විසින් පමනක් පැහැදිලිව ප්‍රකාශ කරන ලද බොල්ෂෙවික් දෘෂ්ටිය, නොනවතින විප්ලවයේ න්‍යාය එහි ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගනී, එනම් නිර්ධන පංතිය විසින් බලය අල්ලා ගැනීමෙන් තොරව; අර්ධ වැඩවසම් ඉඩම් හිමිකම අහෝසි කිරීම වැනි හුදු ප්‍රජාතන්ත්‍රවාදී ගැටලු පවා විසඳිය නොහැක; නමුත් මෙය, අනෙක් අතට සමාජවාදී විප්ලවය න්‍යාය පත්‍රය මත තබයි. [19]

ට්‍රොට්ස්කි, ස්ටැලින්වාදී පක්ෂ සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය අතර, එනම් ප්‍රතිසංස්කරනවාදී සහ විප්ලවවාදී දේශපාලනය අතර, මැද මාවතක් සෙවීමට උත්සාහ කල මාධ්‍යමික දේශපාලන ප්‍රවනතාවලට එරෙහිව නිරන්තර විවාදයක් තුල කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී ඉදිරිදර්ශනය සහ නායකත්වය වර්ධනය කලේ ය.

'මාධ්‍යමිකවාදය සහ හතරවන ජාත්‍යන්තරය' යන ඔහුගේ ලිපියේ ට්‍රොට්ස්කි දේශපාලන ප්‍රවනතාවක් ලෙස මාධ්‍යමිකවාදයේ වැදගත්ම ලක්ෂන පැහැදිලි කලේය: “න්‍යායාත්මකව, මාධ්‍යමිකවාදය අනියතාකාර සහ සාරසංග්‍රහවාදී ය; එය, මාක්ස්වාදී න්‍යායට පමනක් ම භාවිතයට විප්ලවාදී දිශානතිය ලබා දිය හැකි හැකි බව තේරුම් නොගෙන, හැකිතාක් දුරට, න්‍යායික වගකීම් මග හරිමින් න්‍යායට වඩා ‘විප්ලවවාදී භාවිතයට’ ප්‍රමුඛතාව ලබා දීම සඳහා (වචනයෙන්) නැඹුරු වේ.” මධ්‍යමිකයෙක් “විප්ලවවාදී මූලධර්මය වෛරසහගතව දකියි: පවතින දෙය ප්‍රකාශ කරයි” සහ “මුලධර්මාත්මක පිලිවෙතක් වෙනුවට පුද්ගලික උපාමාරු සහ සුලු සංවිධානාමය රාජ්‍ය තාන්ත්‍රිකත්වය ආදේශ කිරීමට” නැඹුරු වෙයි. '‘කට්ටිවාදයේ’ අනතුර ගැන සඳහන් කිරීමෙන් මාධ්‍යමිකයා ඔහුගේ වැනෙන සුලු බව නිතරම සඟවා ගනියි. එමගින් (කට්ටිවාදය යනුවෙන්-පරිවර්තක) ඔහු තේරුම් ගන්නේ වියුක්ත-ප්‍රචාරකවාදී නිෂ්ක්‍රීයත්වය නොව... ප්‍රතිපත්තිවල පාරිසුද්ධභාවය, ස්ථාවරයේ පැහැදිලිකම, දේශපාලන ස්ථීරසාරභාවය, සංවිධානාත්මක සම්පූර්නත්වය පිලිබඳ ක්‍රියාකාරී උත්සුකතාවකි'. එමෙන් ම “වර්තමාන යුගයේ ජාතික විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය හැක්කේ ජාත්‍යන්තර පක්ෂයක කොටසක් ලෙස පමනක් බව' ඔහුට නොතේරේ.[20]

1936 ස්පාඤ්ඤ සිවිල් යුද්ධය සමයේ සටන්

සමාජවාදීන්ට සහ ස්ටැලින්වාදීන්ට අරාජික-සින්ඩිකල්වාදීන්ගේ සහ මධ්‍යමිකවාදී පූමයේ (POUM-මාක්ස්වාදී එක්සත් කිරීමේ කම්කරු පක්ෂය- පරිවර්තක) උදව් නොමැතිව ස්පාඤ්ඤ කම්කරු පන්තියේ විප්ලවවාදී ප්‍රහාරයේ ගෙල සිරකිරීම කල නොහැකිව තිබුනි. ඔවුන් මහජන පෙරමුනේ වාමාංශය පිහිටුවා තීරනාත්මක මොහොතේ ආන්ඩුවට එක් වූයේ ප්‍රතිවිප්ලවයට මාවත සකස් කරමිනි. 1937 දී ට්‍රොට්ස්කි, 'ස්පාඤ්ඤයේ පාඩම්: අවසාන අනතුරු ඇඟවීම' යන ඔහුගේ ලිපිය තුල දී මෙසේ නිගමනය කලේය: 'පූමය, එහි ම අභිප්‍රායයන්ට පටහැනිව, ඔප්පු කලේ, අවසාන විග්‍රහයේ දී, විප්ලවවාදී පක්ෂයක් නිර්මානය කිරීමේ මාවතේ ප්‍රධාන බාධාව එය බවයි.' ඔහු පූමයේ භූමිකාවේ පාඩම් පහත පරිදි සාරාංශ කලේ ය:

'විප්ලවයේ ගැටලුව අවසානය දක්වාම, එහි අවසාන සංයුක්ත නිගමන දක්වාම සිතා බැලීම අවශ්‍ය වේ. විප්ලවයේ මූලික නීතිවලට අනුකුලව ප්‍රතිපත්ති සකස් කිරීම අවශ්‍ය වේ; එනම්, 'මහජන' පෙරමුනු සහ අනෙකුත් සෑම ආකාරයක ම පෙරමුනු ලෙසින් තමන්ව හඳුන්වා ගන්නා අවිචක්ෂන (ගැඹුරට සිතා නොබලන – පරිවර්තක) සුලු ධනේශ්වර කන්ඩායම්වල අගතීන් ට හෝ භීතියට නොව, අරගලයේ යෙදී සිටින පන්තීන්ගේ ව්‍යාපාරයට අනුකූලව ය'. විප්ලවය අතරතුර අවම ප්‍රතිරෝධයේ මාවත දැවැන්ත ම ව්‍යසනයේ මාවත වේ. ධනේශ්වරයෙන් 'හුදකලා වීමට' බිය වීම යනු ජනතාවගෙන් හුදකලා වීමට මුහුන පෑමකි. කම්කරු වංශාධිපති පැලැන්තියේ තත්වාරක්ෂක අගතීන්ට අනුගත වීම කම්කරුවන් හා විප්ලවය පාවාදීමකි. වැඩිමනත් 'ප්‍රවේසම' යනු වඩාත්ම විනාශාකාරී ලෙස ප්‍රවේසමක් නොමැතිකම යි. ස්පාඤ්ඤයේ වඩාත්ම අවංක දේශපාලන සංවිධානය වන මාධ්‍යමිකවාදී පූමය විනාශවීමේ ප්‍රධාන පාඩම මෙය යි. ලන්ඩන් බියුරෝවේ පක්ෂ සහ කන්ඩායම් පැහැදිලිව ම ඉතිහාසයේ අවසාන අනතුරු ඇඟවීමෙන් අවශ්‍ය නිගමනවලට එලඹීමට කැමති නැත, නැතහොත් එසේ කිරීමට අපොහොසත් ය. මෙම සඥාව මගින් ඔවුන් තමන් ව ම විනාශ කර ගනී. [21]

ප්‍රංශයේ මහජන පෙරමුනු දේශපාලනයේ අත්දැකීම්වල පාඩම් ද හතරවන ජාත්‍යන්තරයේ වර්ධනයට කේන්ද්‍රීය විය. ප්‍රංශය කොයිබට ද වැනි ලේඛන අපගේ ව්‍යාපාරයේ සාරභූත පදනම් ය. ඒවා, අන් සියල්ලට මත් වඩා, වෛෂයිකව වර්ධනය වන විප්ලවවාදී තත්වයක් තුල ආත්මීය සාධකයේ තීරනාත්මක වැදගත්කම අවධාරනය කරයි. 'විප්ලවවාදී ක්‍රියාව පිලිබඳ න්‍යාය ඉරනම්වාදී ආගමකින්' විස්ථාපනය කරමින් තත්වය 'විප්ලවවාදී නොවන' බව පවසමින් ධනේශ්වරය දෙසට ඔවුන්ගේ නැඹුරුව සාධාරනීකරනය කල ස්ටැලින්වාදීන්ගේ ආකල්පයට එරෙහිව තියුනු ලෙස ඔහු තර්ක කලේ ය. ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

කොමින්ටර්නයේ විනිශ්චය මුලුමනින්ම වැරදි ය. කම්කරු පන්තියේ පක්ෂවල විප්ලවවාදී නොවන ප්‍රතිපත්ති සැලකිල්ලට ගත් කල්හි, තත්වය විප්ලවවාදී ය හැකි තරම් විප්ලවවාදී ය. වඩාත් නිවැරදිව, කිවහොත් තත්වය පූර්ව-විප්ලවවාදී ය. තත්වය එහි සම්පූර්න පරිනතභාවයට ගෙන ඒම සඳහා, සමාජවාදයේ නාමයෙන් බලය අත්පත් කර ගැනීමේ සටන් පාඨය යටතේ මහජනතාවගේ ක්ෂනික, ශක්තිමත්, නොනවතින බලමුලු ගැන්වීමක් තිබිය යුතු ය. පූර්ව විප්ලවවාදී තත්වය විප්ලවවාදී තත්වයක් බවට පත් කල හැකි එකම මාවත මෙයයි. අනෙක් අතට, අප දිගටම කල්මරුවොත්, පූර්ව විප්ලවවාදී තත්ත්වය අනිවාර්යයෙන්ම ප්‍රති-විප්ලව තත්වයක් බවට පරිවර්තනය වී ෆැසිස්ට්වාදය ජයග්‍රහනය කරනු ඇත.[22]

ට්‍රොට්ස්කි විප්ලවය වර්ධනය කිරීමේ දී දේශපාලන සූදානමේ තීරනාත්මක භූමිකාව අවධාරනය කලේ, එය සමන්විත වන්නේ කුමකින් ද යන්න පැහැදිලි කරමිනි:

'එය සමන්විත වන්නේ මහජනතාවගේ විප්ලවවාදී එකමුතුවෙනි, “ප්‍රජාතන්ත්‍රවාදී වහල් හිමියන්ගේ' අනුකම්පාව, ත්‍යාගශීලීභාවය සහ පක්ෂපාතිත්වය පිලිබඳ වහල් බලාපොරොත්තුවලින් ඔවුන් විමුක්තවීමෙනි, නිල මහජන මතයට විවෘතව අභියෝග කරන්නේ කෙසේදැයි දන්නා හා ධනේශ්වරය වැඩ කරන ජනයා කෙරෙහි දක්වන ක්ෂමාවිරහිත භාවයෙන් දහයෙන් පංගුවක් ධනේශ්වරය කෙරෙහි දක්වන්නේ කෙසේදැයි දන්නා විප්ලවවාදී කේඩරයන්ගේ අධ්‍යාපනයෙනි.' [23]

“ධනපති ක්‍රමයේ අවසාන අර්බුදය” තවමත් ආරම්භ වී නැතැයි යන ස්ටැලින්වාදීන්ගේ කියාපෑමට ට්‍රොට්ස්කි මෙසේ පිලිතුරු දුන්නේය:

නිර්ධන පංති විප්ලවයේ එකම විද්‍යාත්මක න්‍යාය වන මාක්ස්වාදයට “අවසාන” අර්බුදය පිලිබඳ ඉරනම්වාදී බලාපොරොත්තුව සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව විප්ලවවාදී කම්කරුවා, අන් සියල්ලටම පෙර, තේරුම් ගත යුතු ය. මාක්ස්වාදය යනු, එහි හරයෙන් ම, විප්ලවවාදී ක්‍රියාව සඳහා වූ මඟපෙන්වීම් මාලාවකි. මාක්ස්වාදය අධිෂ්ඨානය සහ ධෛර්යය නොසලකා හරින්නේ නැත, නමුත් ඒ වෙනුවට නිවැරදි මාර්ගය සොයා ගැනීමට ඒවාට උපකාර කරයි. [24]

ඔහු තවදුරටත් මෙසේ පැවසීය:

ධනවාදයට, තනිකර ම, මාරාන්තික විය හැකි අර්බුදයක් නැත. ව්‍යාපාරික චක්‍රයේ දෝලනය, නිර්ධන පන්තියට ධනවාදය පෙරලා දැමීම පහසු හෝ දුෂ්කර වන තත්වයක් නිර්මානය කරනවා පමනි. ධනේශ්වර සමාජයක සිට සමාජවාදී සමාජයකට සංක්‍රමනය වීම, තමන්ගේම ඉතිහාසයේ නිර්මානකරුවන් වන ජීවමාන මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය පූර්වකල්පනය කරයි. ඔවුන් ඉතිහාසය නිර්මානය කරන්නේ අහම්බයකින් හෝ ඔවුන්ගේ හිතුමතයට අනුව නොව, වෛෂයිකව නිර්නය කෙරුනු හේතුවල බලපෑම යටතේ ය. කෙසේ වෙතත්, ඔවුන්ගේම ක්‍රියාවන් – ඔවුන්ගේ මූලිකත්වය, නිර්භීතකම, කැපවීම සහ ඒ හා සමානව ඔවුන්ගේ මුග්ධත්වය සහ බියගුලුකම - ඓතිහාසික වර්ධනයේ දාමයෙහි අවශ්‍ය පුරුක් වෙති. [25]

මෙම ප්‍රශ්න අද දැවෙන යථාර්ථයකි. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල මතුවීමට පටන් ගෙන ඇති තතු තුල, අද ව්‍යාජ වාම සංවිධාන නැවත වරක් අවධාරනය කරන්නේ තත්වය “විප්ලවවාදී නොවන” බවත්, එබැවින් කම්කරුවන්ට විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයක් සහ නායකත්වයක් අවශ්‍ය නොවන බවත්, ඒ වෙනුවට ඔවුන්ගේ ක්‍රියාවන් පවතින ධනේශ්වර දේශපාලන රාමුවට කොටුකල යුතු බව යි.

1930 ගනන්වල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ටැලින්වාදී පක්ෂ මෙන් නොව, ඔවුන්ට කම්කරු පන්තියේ බහුජන පදනමක් නොමැති අතර කවර හෝ අර්ථයකින් කම්කරුවන්ගේ සංවිධාන ලෙස හැඳින්විය නොහැක. කෙසේ වෙතත්, මෙම මහජන පෙරමුනු දේශපාලනයේ සාරභූත පන්ති අන්තර්ගතය සහ දේශපාලන දිශානතිය එයම ය. සමස්තයක් ලෙස පාලක පන්තිය වඩ වඩා ෆැසිස්ට්වාදයට හා ආඥාදායකත්වයට හැරෙමින් සිටින අතර, ව්‍යාජ වාම සංවිධාන ප්‍රකාශ කරන්නේ කම්කරු පන්තිය ධනේශ්වරයේ වඩා “ප්‍රජාතන්ත්‍රවාදී” යයි කියනු ලබන නියෝජිතයින්ට සහාය දිය යුතු බව යි. ඒ අනුව ඔවුහු මත් කම්කරු පන්තියට එරෙහි දක්ෂිනාංශික, ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනයේ කොටස්කරුවෝ වෙති.

ජාත්‍යන්තර කමිටුව පමනක් 1930 ගනන්වල පාඩම් මත සිය පිලිවෙත් පදනම් කරගනී. එදා මෙන් ම, අදත්, ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහි අරගලයට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වන අතර, එය ධනවාදයට හා එහි දේශපාලන රැකවලුන්ට එරෙහිව සහ සමාජවාදය සඳහා තම පොදු පන්ති අවශ්‍යතා මත ජාත්‍යන්තරව එකමුතු කල යුතුය. දේශපාලන නායකත්වය පිලිබඳ ප්‍රශ්නය තීරනාත්මක වන අතර එය විසඳිය හැක්කේ 1930 ගනන්වල ප්‍රතිවිප්ලවවාදී අත්දැකීම් සහ විශේෂයෙන්ම, ස්ටැලින්වාදයේ ස්වභාවය ගැන පැහැදිලි දේශපාලන තක්සේරුවක් මත පමනි.

3 වන කොටස: සෝවියට් සංගමය තුල දේශපාලන ජන සංහාරය සහ ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව

නිලධරය යුරෝපයේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලවල ගෙල සිරකරන අතර එය සෝවියට් සංගමය තුල සහ එහි දේශසිමාවලින් පිටත විප්ලවවාදීන් සමූල ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කලේ ය. 1936 අගෝස්තු 19 වන දින, ප්‍රසිද්ධ නඩු තුනෙන් පලමුවැන්න මොස්කව්හි දී ආරම්භ විය. මෙම නඩු විභාගවලදී, ඔක්තෝබර් විප්ලවයේ වඩාත්ම කැපී පෙනෙන නායකයින්ට -- ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විරුද්ධවාදීයෝ වූහ --“ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාකාරකම්” සම්බන්ධයෙන් චෝදනා කරන ලදී. ව්‍යාජ පාපොච්චාරන ලබා දීමට බල කර, ඔවුන් ඝාතනය කිරීමට පෙර ප්‍රසිද්ධියේ මඩ ගැසීම්වලින් අපකීර්තියට පත් කෙරුනි. ප්‍රධාන විත්තිකරුවන් වූයේ ලියොන් ට්‍රොට්ස්කි සහ ඔහුගේ පුත්‍රයා සහ සමීප සහකරු ලෙව් සෙඩොව් ය. ට්‍රොට්ස්කි ස්වාධීන ඩුවී කොමිසම ආරම්භ කරමින් නඩු විභාගවලට ප්‍රතිචාර දැක්වී ය. ට්‍රොට්ස්කි 1937 ජනවාරි මාසයේ දී මෙම කොමිසම නිර්මානය කිරීම නිවේදනය කරමින් කල කෙටි කතාවක දී නඩු විභාග ගැන සඳහන් කලේ මේ ආකාරයෙනි:

ලියොන් ට්‍රොට්ස්කි මොස්කව් නඩු විභාග ගැන කතා කරයි (ජනවාරි 30, 1

ඩුවී කොමිසම ඔහු සහ නඩු විභාගයේ අනෙකුත් සියලුම විත්තිකරුවන් 'නිවැරදිකරුවන්' ලෙස තීරනය කලේ ය.

අපි භීෂනය ගැන කතා කරන විට, 'දේශපාලන ජන සංහාරය' යන යෙදුම අපි භාවිතා කරමු. මෙය හුදෙක් සදාචාරාත්මක කෝපය ප්‍රකාශ කිරීමේ උත්සාහයක් නොවේ. මෙම යෙදුමට ඉතා නිශ්චිත දේශපාලන හා ඓතිහාසික අර්ථයක් තිබේ. 1930 ගනන්වල දෙවන භාගයේ සහ 1940 ගනන්වල මුල් භාගය තුල සිදුවූයේ සමස්ත ඓතිහාසික කාල පරිච්ඡේදයක් සඳහා ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ වර්ධනයේ පදනම වූ මාක්ස්වාදී හා සමාජවාදී සංස්කෘතියේ ධාරකයන් කායිකව විනාශ කිරීමේ ක්‍රමානුකූල ඉලක්කගත උත්සාහයකි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, මෙම සමූහ ඝාතන ක්‍රියාව සමග:

පාලක ස්ථරය, විප්ලවවාදී අතීතය, සමාජවාදී මුලධර්ම, නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය සහ ලෝක විප්ලවයේ නොවිසඳුනු කර්තව්‍යයන් පිලිබඳ මතක් කරන සියල්ලන්ම තමන් අතරින් නෙරපා හරිමින් සිටී. මර්දනයන්ගේ තිරිසන්කම, වරප්‍රසාද ලත් කුලකය විප්ලවවාදීන් කෙරෙහි දක්වන වෛරයට සාක්ෂි දරයි. [26]

සෝවියට් විප්ලවවාදීන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ මෙම ව්‍යාපාරය පෝලන්ත කොමියුනිස්ට් පක්ෂයේ බොහෝ සාමාජිකත්වය ද ඇතුලුව කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විශාල පදාසයන් කායිකව සමූලඝාතනය කිරීම මගින් අනුපූරක විය. ස්පාඤ්ඤයේ විප්ලවවාදීන් ඝාතනය කිරීම මගින් එය ජාත්‍යන්තරව අනුපූරක විය.

අවම වශයෙන් මිලියනයක ජනතාවක් ඝාතනය කිරීමටත් තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටත් හේතු වූ භීෂනය බලපෑවේ සමාජවාදීන්ට සහ ට්‍රොට්ස්කිවාදීන්ට පමනක් බව ප්‍රකාශ කිරීම නිවැරදි නැත. එහෙත් කැපවූ විප්ලවවාදී කම්කරුවන් සහ බුද්ධිමතුන් සහ අන් සියල්ලන්ටත් වඩා ට්‍රොට්ස්කිවාදීන් එහි ප්‍රධාන ඉලක්ක වූ බව ලේඛනගත, ඓතිහාසික සත්‍යයකි. 1920 ගනන්වල විපාර්ශ්වයේ ලේඛනවලට අත්සන් කල දහස් ගනනක් විප්ලවවාදීන් ක්‍රමානුකූලව හඹාගොස් අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. ඔවුන් අතර සිය ගනනක් ට්‍රොට්ස්කිවාදීන්ගේ නම් සහ කෘතීන් අද දක්වා බොහෝ දුරට නොදන්නා නමුත් කිසිවෙකුත් ස්ටැලින්වාදයට යටත් නොවූ අතර ඝාතනය කෙරුනු දිනය දක්වා ම ඔව්හූ අඛන්ඩව සමාජවාදය සඳහා අරගලයේ නිරතව සිටියහ. බොහෝ අවස්ථාවන්හි, ඔවුන්ගේ බාලවයස්කාර දරුවන් ඇතුලු ඔවුන්ගේ පවුල් අත්අඩංගුවට ගනු ලැබ ඝාතනය කරන ලදි.

උදාහරනයක් ලෙස, ඔබට මෙම රූපයේ, පහල වම් පසින්, මෙම වෙඩි තැබීමේ ලැයිස්තුවේ කවර පිටුව දැකිය හැක. එය ස්ටැලින්, මොලොටොව්, කගනොවිච් සහ වොරොෂිලොව් ඇතුලු දේශපාලන මන්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් අත්සන් කරන ලදී.

ස්ටැලින්, මොලොටොව්, කගනොවිච් සහ වොරොෂිලොව්ගේ අත්සන් සහිත, 1937 මැයි මාසයේ සිට වෙඩි තැබීමේ ලැයිස්තුවක කවර පිටුව

මෙම රූපය එවැනි වෙඩි තැබීමේ ලැයිස්තුවකින් එක් පිටුවක් පෙන්වයි. මිහායිල් බොගුස්ලාව්ස්කි ඇතුලු ප්‍රමුඛ බොල්ෂෙවික්වරු සහ හිටපු විරුද්ධවාදීන් කිහිප දෙනෙක් මෙහි සිටියහ.

1920 ගනන්වල පැරනි බොල්ෂෙවිකයකු සහ වාම විරුද්ධවාදියෙකු වන මිහායිල් බොගුස්ලාව්ස්කි ඇතුලුව, ඉහලම ස්ථානයේ සිටින පුද්ගලයින් 24 දෙනෙකුගෙන් යුත් වෙඩි තැබීමේ ලැයිස්තුවකින් එක් පිටුවක්.

මෙම ලැයිස්තුව 1937 සැප්තැම්බර් 7 සහ 1938 මැයි 3 අතර එවැනි වෙඩි තැබීම් ලැයිස්තු මත පදනම්ව මරන දන්ඩනය පමුනුවන හෝ සිරගත කරන ලද මුලු පුද්ගලයින් සංඛ්‍යාව පිලිබඳ දල විශ්ලේෂනයකි. උදාහරනයක් ලෙස, 1938 ජනවාරි 3 වන දින පුද්ගලයින් 2,771කට මේ ආකාරයෙන් 'දඬුවම්' නියම කරන ලදී. මෙයින් 2,548 දෙනෙකුට වෙඩි තැබීමට නියෝග කරන ලද අතර 223 දෙනෙකු සිරගත කිරීමට නියෝග කරන ලදී.

1937 සැප්තැම්බර් 7 සහ 1938 මැයි 3 අතර දේශපාලන මන්ඩලයේ සාමාජිකයින් විසින් මරන දන්ඩනයට ලක් කරන ලද සහ සිරගත කරන ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව විස්තර කරන වෙඩි තැබීමේ ලැයිස්තුවක එක් පිටුවක්.

ක්‍රියාකාරී සහ හිටපු වාම විරුද්ධවාදීන් යන දෙපිරිස ම මැනවින් ඉලක්ක කෙරුනු වධහිංසා පැමිනවීමක් සිදු විය. රහස් ඔත්තු සේවය විසින් 1920 ගනන්වල විපාර්ශවයේ වේදිකාවල අත්සන් කල අයගේ නම්, උපන් දින, රැකියාවේ යෙදුන ස්ථාන සහ ඔවුන් පක්ෂයට බැඳුනු වසර සඳහන් කරමින් සවිස්තරාත්මක ලැයිස්තු සම්පාදනය කරන ලදී. ඝාතනයට ලක් වූ වඩාත්ම කැපී පෙනෙන, නමුත් එතරම් ප්‍රසිද්ධ නැති තැනැත්තෙක් නම් කලොත්: බොරිස් එල්ට්සින් 1928-1929 දී විපාර්ශ්වයේ ලේකම් වූ අතර රුසියානු කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයන්ගෙන් එකකි. ඔහු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (1898 දී) ආරම්භ කිරීමටත් පෙර, 1897 දී ව්‍යාපාරයට සම්බන්ධ වූ අයෙකි.

ඔහු රුසියානු විප්ලව තුනට ම සහභාගී වූ අතර, ඔහු පමනක් නොව ඔහුගේ දරුවන් තිදෙනා ම විපාර්ශවයේ සටන්කරුවන් බවට පත්විය. ඔහුව ඝාතනය කල ආකාරය කිසිදා යටත් නොවූ අය නියෝජනය කරයි. ඔහු 60 හැවිරිදි වියේ සහ බෙහෙවින් අසනීප තත්ත්වයෙන් පසු වුව ද, අත්අඩංගුවට ගැනීමෙන් පසු, කඳවුරක උපවාසයක් මෙහෙයවූ අතර, ඔහු සහ වර්ජනයේ අනෙකුත් නායකයින් 1937 නොවැම්බර් මාසයේ දී ඝාතනය කරන ලදී. ඔහුගේ පුත් වික්ටර් එල්ට්සින්, ට්‍රොට්ස්කිගේ හිටපු ලේකම්වරයෙකු වූ අතර ප්‍රමුඛ විපාර්ශ්වවාදියෙක් ද විය. යන්තම් මාස හතරකට පසුව, තවත් ට්‍රොට්ස්කිවාදීන් සියයක් සමග, වෝර්කුටා හි වෙනත් කඳවුරක උපවාසයක් මෙහෙයවීමෙන් පසුව ඔහු ඝාතනය කරන ලදී. මෙම උපවාස බලාපොරොත්තු සුන්වීමේ සලකුනක් නොව, එය අවනත නොවීමේ ක්‍රියාවක් බව අවධාරනය කිරීමට මට අවශ්‍යයි: සෝවියට් සංගමයේ ට්‍රොට්ස්කිවාදීන්ට ඔවුන් ස්ටැලින්වාදයට යටත් නොවන විරුද්ධවාදීන් සහ වැඩ කරන ජනතාවගේ අරමුන වෙනුවෙන් සටන් කරන්නන් ලෙස සිටින බව පෙන්වීමට ඉතිරිව තිබූ එකම මාධ්‍යය එය විය.

වික්ටර් එල්ට්සින් (ඉහල දකුනේ) සහ ඊගෝර් පොස්නාන්ස්කි (මැද වමේ) ඇතුලු 1928 දී සෝවියට් වාම විපක්ෂයේ පිටුවහල් කල නායකයින් [Photo: MS Russ 13 (T 1086), Houghton Library, Harvard University, Cambridge, Massachusetts] [Photo: MS Russ 13 (T 1086), Houghton Library, Harvard University, Cambridge, Massachusetts]

මෙම ඡායාරූපය ත්‍රස්තයේ පරිමාව සහ සැබවින් ම එය පැරනි සෝවියට් සංගමය තුල නො අඩුව ක්‍රියාත්මකව පැවති තරම පිලිබඳ හැඟීමක් ලබා දෙයි. භීෂනයේ කොටසක් ලෙස වෙඩි තබා ඝාතන සිදු කල ස්ථානවලින්, මොස්කව් නගරයෙන් පිටත පැවති ප්‍රමුඛතම ස්ථානය මෙය යි. සෝවියට් ආන්ඩුවේ සහ බොල්ෂෙවික් නායකත්වයේ විශාල කොටසක් ඝාතනය කර මෙහි වල දමනු ලැබීය. ඉන් බොහෝ කලකට පසුව, 1991 කැනීම් කටයුතු ආරම්භ කෙරුන අතර 2021 යුද්ධය ආරම්භ වීමට ආසන්නව අවසන් කරන ලදී. භීෂනයේ උච්චතම අවස්ථාවෙන් වසර 85ක ට පසුව ස්මාරක නොමැති සහ කැනීම් කටයුතු සිදු නොකල ස්ථාන ඇතුලු තවත් එවැනි වෙඩි තැබීමේ ස්ථාන බොහොමයක් තිබේ.

මොස්කව් අසල කොම්මුනර්කා වෙඩි තැබීමේ ස්ථානයේ දී ඝාතනය කරන ලද අයගේ නම් සහිත වගු. [© WSWS මාධ්‍ය]

ට්‍රොට්ස්කිවාදීන් සමූහ වශයෙන් ඝාතනය කිරීම පරිමාවෙන් ජාත්‍යන්තර විය. යුරෝපයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැදගත්ම නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කරන ලදී. ඔවුන් අතර අර්වින් වුල්ෆ්, රුඩොල්ෆ් ක්ලෙමන්ට් සහ ට්‍රොට්ස්කිගේ පුත් ලෙව් සෙඩොව් වූහ. මෙම සමූහ ඝාතන ව්‍යාපාරය, ශතවර්ෂයේ දේශපාලන අපරාධය වූ, 1940 අගෝස්තු මාසයේ මෙක්සිකෝවේ දී ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමත් සමග කූටප්‍රාප්ත විය.

මෙම දේශපාලන ජන සංහාරයේ පසුවිපාක 20 වන සියවස පුරාවට ම දැනුනු දෙයක් වූවා පමනක් නොව ඇත්ත වශයෙන්ම අද දක්වාමත් බලපායි. 1937 භීෂනයේ උච්චත ම අවස්ථාවේ දී, ලියොන් ට්‍රොට්ස්කි කම්කරු පන්තියේ විඥානය මත ස්ටැලින්වාදයේ විනාශකාරී බලපෑම සාරාංශ කලේ ය: 'හිට්ලර් ද ඇතුලුව වෙන කිසිවෙක්, ස්ටැලින් තරම් මාරාන්තිකව සමාජවාදයට පහර දී නැත' යනුවෙන් ඔහු ලිවීය. ට්‍රොට්ස්කි මෙසේ පුරෝකථනය කලේය:

ඉතිහාසය, නව මෝලොක්ගේ (ලමා බිලි පූජාවට සම්බන්ධ බයිබලයේ සඳහන් භූත දෙවියෙක්- පරිවර්තක) ස්වකැමැත්ත සහ වරප්‍රසාද සඳහා පූජා කිරීමේදී හෙලන එක ලේ බිඳුවකටවත් සමාව නොදෙනු ඇත. … විප්ලවය සියලු රහස් මැදිරිවල අගුලු විවර කරනු ඇත. සියලු නඩු විභාග සමාලෝචනය කරනු ඇත. අපවාදවලට ලක්වූවන් පුනරුත්ථාපනය කරනු ඇත. අසාධාරනයට ගොදුරු වූවන් සඳහා ස්මාරක තනනු ඇති අතර අලුගෝසුවන්ගේ නම් සදාකාලිකව අපකීර්තියෙන් වසා දැමෙනු ඇත. [27]

ස්ටැලින්වාදයේ අපරාධවල ම්ලේච්ඡත්වය සහ ඓතිහාසික දැවැන්තකම නොතකා, ට්‍රොට්ස්කි කිසි විටෙක, තනි පුද්ගලයෙකු ලෙස, ජෝසප් ස්ටැලින්ගේ භූමිකාව ගැන හෝ වඩාත් පුලුල්ව, සෝවියට් නිලධරය කෙරෙහි ආත්මීය ප්‍රවේශයක් ගත්තේ නැත. ස්ටැලින්ගේ බිහිසුනු භූමිකාව තේරුම් ගත හැක්කේ ඔහු නියෝජනය කල සමාජ බලවේගවල පදනම මත පමනි.

පලමු මොස්කව් නඩු විභාගය ආරම්භ වීමට යන්තම් සති දෙකකට පෙර, ට්‍රොට්ස්කි ඔහුගේ විප්ලවය පාවාදුනි කෘතියේ අත්පිටපත අවසන් කර තිබුනි. මෙය හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික හා ක්‍රියාමාර්ගික දිශානතියට පදනම් ලියවිල්ලක් වන බව සනාථ විය. දිරිසුන් මධ්‍යම පන්තික රැඩිකල්වාදීන් විසින් ස්ටැලින්වාදයේ නැඟීම පිලිබඳව දැක්වූ ආවේගවාදී ප්‍රතිචාරවලට ප්‍රතිවිරුද්ධව, ට්‍රොට්ස්කි සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානිය විද්‍යාත්මක, ඓතිහාසික භෞතිකවාදී විශ්ලේෂනයකට භාජනය කලේ ය.

1917න් පසු කම්කරු රාජ්‍යය මුහුන දුන් ජාත්‍යන්තර හුදකලාවේ සහ ආර්ථික පසුගාමීත්වයේ කොන්දේසි නිර්ධන පංතියෙන් දේශපාලන බලය කොල්ලකාගත් එමෙන්ම අතිවිශාල සමාජ වරප්‍රසාද භුක්ති විඳි නිලධාරි තන්ත්‍රයක් බිහිවීමට තුඩුදුන්නේ ය. සමාජ විද්‍යාත්මකව, මෙම නිලධාරි තන්ත්‍රයේ තත්වය වරප්‍රසාද ලත් කුලයක මිස සමාජ පන්තියක තත්වය නොවී ය. ධනේශ්වරයේ සමාජ-ආර්ථික තත්ත්වයට ප්‍රතිවිරුද්ධව, නිලධරයේ වරප්‍රසාද මුල් බැස තිබුනේ නිෂ්පාදන මාධ්‍යවල හිමිකාරිත්වය තුල නොවේ. ඒ වෙනුවට, එම වරප්‍රසාද පදනම් වූයේ, ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන මාධ්‍යයන් පාලනය කල රාජ්‍ය තුල නිලධරය කම්කරු පන්තියෙන් දේශපාලන බලය උදුරා ගැනීම මත ය.

'සමාජවාදය' සහ 'ධනවාදය' වැනි නිර්නායකයන්ගේ සරල හා අනෛතිහාසික භාවිතය ප්‍රතික්ෂේප කරමින්, සෝවියට් සංගමය 'සංක්‍රාන්තික සමාජයක්' වන අතර, එහි ඉරනම තව ම ත් ඉතිහාසය විසින් නිර්නය කර නොතිබූ බව ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ය. ඔහු මෙසේ ලිවීය:

පාලක ස්ථරය විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදෙනු ලැබ ඇති නමුත් තවමත් පෙරලා දමනු ලැබ නැත. නිර්ධන පංතියේ ජීවමාන බලවේගය, එහි හොඳම කොටස්වල සවිඥානික බව, ලෝක ධනවාදයේ අවුල්ජාලය හා ලෝක විප්ලවයේ නොවැලැක්විය හැකි බව සමග සහ ස්ථාපිත දේපල සම්බන්ධතා සමග සමපාත වන ප්‍රතිරෝධයේ දැවැන්ත බලයක් එයට [ඔක්තෝබර් විප්ලවයට] තිබේ. [28]

බරපතල නිලධරවාදී පරිහානියකට ලක්වෙමින් තිබුනද, සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයක් ලෙස පැවතුනි. එම කම්කරු රාජ්‍යය තුල සහ වඩාත් පුලුල් ලෙස කම්කරු ව්‍යාපාරය තුල, ස්ටැලින්වාදී නිලධරය අධිරාජ්‍යවාදයේ ප්‍රතිවිප්ලවවාදී ඒජන්සියක් ලෙස ක්‍රියාත්මක විය. මෙම කොන්දේසි යටතේ, කම්කරු පන්තියට ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ආරක්ෂා කිරීමට ඇති එකම මාර්ගය, ජාත්‍යන්තරව විප්ලවය ව්‍යාප්ත කිරීමේ සටනක කොටසක් ලෙස දේශපාලන විප්ලවයකින් නිලධරය පෙරලා දැමීම බව ට්‍රොට්ස්කි නිගමනය කලේය. එවන් දේශපාලන විප්ලවයක් සිදු නොවුනොත් 'මුලුමනින් ම ධනවාදය කරා පසුබැසිය හැකි' බවට ඔහු අනතුරු ඇඟවී ය.

ඇත්ත වශයෙන්ම, 1985 දී සෝවියට් නිලධරය ධනවාදය පුනස්ථාපනය කිරීමට පියවර ගැනීමට අඩ සියවසකට පෙර ට්‍රොට්ස්කි, නිලධරය නව දේපල හිමි පන්තියක් බවට පරිවර්තනය වීම සහ සෝවියට් රාජ්‍යය විනාශ කිරීම වර්ධනයේ එක් මාවතක් විය හැකි බව හඳුනා ගත්තේය. කෙසේ වෙතත්, ධනේශ්වර පුනස්ථාපනය පූර්ව නිගමනයක් නොවීය. ට්‍රොට්ස්කි මෙසේ ලිවීය, “ප්‍රශ්නය ජාතික හා ලෝක තලයේ ජීවමාන සමාජ බලවේගවල අරගලයක් මගින් තීරනය කෙරෙනු ඇත.'

දකුනේ සිට දෙවැන්නා, සෝවියට් නායක මිඛායෙල් ගොර්බචෙව් සහ වමේ සිට දෙවැන්නා, එජ ජනාධිපති රොනල්ඩ් රේගන් 1986 ඔක්තෝබර් 11 දින සාකච්ඡා මාලාවක ආරම්භක අවස්ථාවේ, අයිස්ලන්තයේ රේක්ජවික්හි හොෆ්ඩි මන්දිරයෙන් පිටත දී, අතට අත දෙමින් (අනුග්‍රහය: AP ෆොටෝ/ රොන් එඩ්මන්ඩ්ස්)      [AP Photo/Ron Edmonds]

විද්‍යාත්මකව පදනම් වූ මෙම ආස්ථානය විසින් ඓතිහාසිකව ජාත්‍යන්තර කමිටුව, 'සමාජවාදී' හෝ 'ට්‍රොට්ස්කිවාදී' යයි කියා ගන්නා සියලු සුලු ධනේශ්වර ප්‍රවනතාවයන්ගෙන් සුවිශිෂ්ටව වෙන්කරනු ලැබ ඇත. වෙනත් ආකාරවලින් කිවහොත් පැබ්ලෝවාදීන් සහ රාජ්‍ය ධනවාදීන් යන දෙපාර්ශ්වය ම, සෝවියට් නිලධරයට නො හිමි භූමිකාවක් ආරෝපනය කලහ. රාජ්‍ය ධනවාදීහු නිලධරය නව පාලක පන්තියක් බව ප්‍රකාශ කලහ. 'ස්වයං-ප්‍රතිසංස්කරන' මගින් සෝවියට් සංගමය තුල සමාජවාදය 'සාක්ෂාත් කර ගැනීමට' පීඩනය යෙදිය හැකි බව පවසමින් පැබ්ලෝවාදීහු, ඔවුන්ගේ පැත්තෙන්, නිලධරයට විප්ලවවාදී භූමිකාවක් ආරෝපනය කලහ.

බැලූ බැල්මට ප්‍රතිවිරුද්ධ නිගමනවලට එලඹුන ද, මෙම ආස්ථානයන් දෙකම අවසානයේ පදනම් වූයේ ඔක්තෝබර් විප්ලවයේ ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කර කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස නිෂ්ප්‍රභා කල සුලු ධනේශ්වර ස්ථරයන්ගේ සමාජ අවශ්‍යතා මත ය. ඔවුහු ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව අවතක්සේරු කිරීම හෝ මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම සහ එහි දරුනුම අපරාධ වසන් කිරීම සමඟ බැඳී ගත්හ.

ස්ටැලින්වාදයේ සහ අධිරාජ්‍යවාදයේ ඓතිහාසික සහාපරාධිකයන් ලෙස පැබ්ලෝවාදීන්ගේ භූමිකාව, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුව විසින් සිදු කරන ලද විමර්ශනයට එරෙහි ඔවුන්ගේ ප්‍රචන්ඩ විරෝධය තුලින් අවිවාදිතව ප්‍රදර්ශනය විය. එමෙන්ම එක්සත් ජනපදය තුල රාජ්‍ය ධනවාදයේ වර්තමාන අනුගාමිකයින්ගේ නායකයින් වන ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදියෝ, ස්ටැලින්වාදී ට්‍රොට්ස්කි ඝාතනය එලිපිටම සමරති.

හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසය පුරාම, ජාතික අවස්ථාවාදයට හා සංශෝධනවාදයට එරෙහි අරගලය ස්ටැලින්වාදයේ අපරාධ හෙලිදරව් කිරීම හා ඔක්තෝබරය ස්ටැලින්වාදීන් විසින් පාවාදෙනු ලැබීම පිලිබඳ ට්‍රොට්ස්කිගේ විද්‍යාත්මක විශ්ලේෂනය ආරක්ෂා කිරීම සමග කේන්ද්‍රීයව සම්බන්ධ වී ඇත. මෙම විශ්ලේෂනයේ පදනම මත, 1985-1991 ස්ටැලින්වාදී නිලධරය විසින් ධනවාදය පුනස්ථාපනය කිරීම පුර්වඅපේක්ෂා කිරීමට සහ ඊට එරෙහිව අරගලයක් වර්ධනය කිරීමට ජාත්‍යන්තර කමිටුවට හැකි විය. සුලු ධනේශ්වර හිටපු වාම බලවේග අසංඛ්‍යාතයකට ප්‍රතිවිරුද්ධව, ස්ටැලින්වාදයේ අවසාන බිඳවැටීමට හා කම්කරු රාජ්‍යය විනාශ කිරීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රතිචාරය සමාජවාදී ඉදිරිදර්ශනය බැහැරකිරීමක් නොවී ය.

ඊට ප්‍රතිවිරුද්ධව, ජාත්‍යන්තර කමිටුව 1991ට ප්‍රතිචාර දැක්වූයේ, ස්ටැලින්වාදයට එරෙහිව වාම විපාර්ශවයේ අරගලය පිලිබඳ ඓතිහාසික සත්‍යය හෙලිදරව් කිරීමට සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය ආරක්ෂා කිරීමට සෝවියට් ඉතිහාසඥ වඩිම් රොගොවින් සමග සහයෝගීව, ඒකාබද්ධ ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙනි. මෙම ව්‍යාපාරයේ ආරම්භකත්වය ගැනීම මුලෝපායික තීන්දුවක් විය: කම්කරු පන්තිය තුල මාක්ස්වාදී විඥානය හා සමාජවාදී සංස්කෘතියක් පුනර්ජීවනය කිරීම ද විප්ලවවාදීන්ගේ නව පරම්පරාවන් පුහුනු කිරීම ද ඓතිහාසික සත්‍යය සඳහා අරගලය මත පදනම විය යුතු බව අපි හඳුනා ගත්තෙමු. මෙම දිශානතියේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර කමිටුව විසින් නිෂ්පාදනය කරන ලද කෘතීන්ට බහුවිධ වෙලුම් මෙන්ම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි සිය දහස් ගනනක් ඇතුලත් වේ.

වඩීම් රොගොවින් 1996 දී ජර්මනියේ බෝචුම් විශ්ව විද්‍යාලයේ දේශනයක් පවත්වමින්

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුව සිදු කර ඇති සහ තවමත් කරගෙන යන වැඩකටයුතු, අන් සියල්ලටත් වඩා, හතරවන ජාත්‍යන්තරය සඳහා ට්‍රොට්ස්කිගේ අරගලයේ අත්‍යසාමාන්‍ය පුර්වඥානය සහ ඓතිහාසික වැදගත්කම අවධාරනය කරයි. 'ස්ටැලින්වාදයට එදිරිව ට්‍රොට්ස්කිවාදය' මැයින් 1987 අගෝස්තු මාසයේ කල කතාවේ දී ඩේවිඩ් නෝර්ත් සඳහන් කල පරිදි, ස්ටැලින්වාදී නිලධරයේ සමූහ ඝාතන ව්‍යාපාරය මධ්‍යයේ හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමේ දී ට්‍රොට්ස්කි 'මාක්ස්වාදයේ ඓතිහාසික අඛන්ඩතාව සහතික කිරීමෙහිලා හා ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ න්‍යායික උරුමය සහ යෝධ ප්‍රායෝගික අත්දැකීම් මූර්තිමත් කල ලෝක පක්ෂයක් අනාගත පරම්පරාවන්ට දායාද කිරීමෙහි ලා සමත් විය. [29]

4 වන කොටස: හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන

1938 සැප්තැම්බරයේ දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම, “ලියොන් ට්‍රොට්ස්කි මාක්ස්වාදියෙකු හා නිර්ධන පන්ති විප්ලවවාදියෙකු ලෙස ලෙස ගත කල ජීවිතයේ කුලුගැන්වීම සනිටුහන් කරන” බව ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය කෘතිය තුල ඩේවිඩ් නෝර්ත් සඳහන් කරයි.[30] [57 පිටුව, කම්කරු මාවත ප්‍රකාශන]

මෙය ට්‍රොට්ස්කිගේ ම තක්සේරුව ද විය. 1935 මාර්තු 25 දින ඔහු සිය දිනපොතේ මෙසේ සටහන් කර ඇත:

ජාත්‍යන්තර දෙකක බිඳවැටීම, මෙම ජාත්‍යන්තරයන්හි නායකයින් කිසිවෙකුත් විසඳා ගැනීමට කිසිසේත් ම සන්නද්ධව නොසිටි ගැටලුවක් මතු කර ඇත. මගේ පෞද්ගලික දෛවයේ හැලහැප්පීම්වල දී මා මෙම ගැටලුවට මුහුන දී ඇති අතර එය සමඟ පොරබැදීමේ දී වැදගත් අත්දැකීම්වලින් මා සන්නද්ධ කරනු ලැබ ඇත. දෙවන හා තුන්වන ජාත්‍යන්තරයේ නායකයින්ගේ හිසට ඉහලින් විප්ලවවාදී විධික්‍රමයෙන් නව පරම්පරාවක් සන්නද්ධ කිරීමේ මෙහෙවර ඉටු කිරීමට මා හැර වෙන කිසිවෙක් දැන් නැත. [31]

සමහර විට, “විප්ලවවාදී විධික්‍රමයේ” වඩාත්ම තීරනාත්මක අංගය වන්නේ මාක්ස්වාදය කම්කරු පන්තිය තුලට ගෙන ආ යුතු බවත් විප්ලවවාදී නායකත්වය අවිඥානික ස්වයංසිද්ධ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නොවන බවත් ය. 1938 දී පැරිසියේ පැවති හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේ දී ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ මැයෙන් සම්මත කරන ලද ක්‍රියාමාර්ගයේ පලමු වාක්‍යය, මෙම ප්‍රශ්නය එහි සියලු අර්ථයෙන් හා ගැඹුරින් සාරාංශගත කරයි: 'සමස්ත ලෝක දේශපාලන තත්වය මුඛ්‍ය වශයෙන් ම නිර්ධන පන්ති නායකත්වයේ අර්බුදයකින් සංලක්ෂිත වී ඇත.' [32] [1 පිටුව, කම්කරු මාවත ප්‍රකාශන]

ඩේවිඩ් නෝර්ත් මේ පිලිබඳව සිය ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය කෘතිය තුල මෙසේ සඳහන් කරයි:

මෙම වචන සමඟ ට්‍රොට්ස්කි 1938 පැවති තත්වය පමනක් නොව, නූතන ඉතිහාසයේ කේන්ද්‍රීය දේශපාලන ගැටලුව ද සාරාංශගත කලේය. ධනවාදය, සමාජවාදයෙන් විස්ථාපනය කිරීම සඳහා වෛෂයික පූර්වාවශ්‍යතා එනම්, නිෂ්පාදන බලවේගවල ජාත්‍යන්තර වර්ධනය හා විප්ලවවාදී පන්තියේ පැවැත්ම, ජීවමාන විය. එහෙත් විප්ලවය යනු හුදෙක් වෛෂයික ආර්ථික තත්ත්වයන්ගේ ස්වයංක්‍රීය ප්‍රතිඵලයක් පමනක් නොවේ. ඒ සඳහා, සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ සහ පැහැදිලිව විස්තාරනය කරන ලද මූලෝපායික සැලැස්මකින් සන්නද්ධ වූ කම්කරු පන්තිය, ඓතිහාසික සන්තතිය තුල දේශපාලනිකව සවිඥානික මැදිහත්වීමක් කිරීම අවශ්‍ය විය. කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලනය එය පෙරලා දැමීමට බලාපොරොත්තු වන ධනේශ්වර පන්තියේ ප්‍රතිවිප්ලවවාදී දේශපාලනයට වඩා අඩුවෙන් සවිඥානක විය නොහැක. විප්ලවවාදී පක්ෂයේ ඓතිහාසික වැදගත්කම ඇත්තේ මෙහි ය. [33]

හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම පදනම් වූයේ විද්‍යාත්මක හා මුලධර්මාත්මක විචාරනය මත ය. එය ඓතිහාසික අවශ්‍යතාවයක් තුල මුල්බැස තිබු අතර ඊට ප්‍රකාශනය ලබා දුන්නේ ය. සංක්‍රමන ක්‍රියාමාර්ගයේ ආරම්භක කොටසේ ට්‍රොට්ස්කි පවසන්නේ සමාජවාදී විප්ලවයක් සඳහා වන වෛෂයික පූර්වාවශ්‍යතාවයන් “ධනවාදය යටතේ සාමාන්‍යයෙන් මේරිය හැකි උච්චම මට්ටමට දැනටමත් මෝරා තිබේ”

“මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග එකතැන පල් වෙයි. නව සොයා ගැනීම් හා වැඩි දියුනු කිරීම් මේ වනවිටත් ද්‍රව්‍යමය වස්තු සම්භාරයේ මට්ටම නැංවීමට අසමත් ය. සමස්ත ධනේශ්වර ක්‍රමයේ සමාජ අර්බුදයේ කොන්දේසි යටතේ මතුවන ප්‍රාසාංගික අර්බුදයෝ එන්ට එන්ට ම බරපතල වන නැතිබැරියාවන් හා දුක්පීඩා ජනතාවන් මත පටවති. වර්ධනය වන විරැකියාව රාජ්‍යයේ මූල්‍ය අර්බුදය ගැඹුරු කර අස්ථාවර මූල්‍ය පද්ධතීන්ගේ අඩිතාලම බිඳලයි. ෆැසිස්ට්වාදී පාලකයන් මෙන් ම ප්‍රජාතාන්ත්‍රික පාලකයෝ ද එක් බංකොලොත්කමක සිට තවෙකකට ලුහුටා යති.... අලුත් යුද්ධයකින් තම ආධිපත්‍යයට එල්ල වන මාරක අනතුර ගැන ධනේශ්වරය සත්තකින් ම දැනුවත් ය. එහෙත් එම පන්තිය 1914 දීට වඩා අද දින යුද්ධය වැලැක්වීමට අතිශයින් ම නොසමත් ය. [34] [1-2 පිටු, කම්කරු මාවත ප්‍රකාශන]

සමාජවාදය සඳහා ඓතිහාසික කොන්දේසි තවමත් 'මෝරා' නැතැයි කෙරෙන සියලු දෙඩවිලි අඥානත්වයේ නැත හොත් දැනුවත් වංචාවේ නිෂ්පාදිතයෝ ය. නිර්ධන පංති විප්ලවය සඳහා වෛෂයික පුර්ව අවශ්‍යතාවයන් 'මෝරා' ඇතුවා පමනක් නොව, ඒවා තරමක් කුනු වන්නට ද පටන් ගෙන ඇත. යටත් පිරිසෙයින් මීලඟ ඓතිහාසික යුයේ දී සමාජවාදී විප්ලවයක් නො සිදු වුවහොත් මනුෂ්‍ය වර්ගයාගේ මුලු මහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේ ය. දැන් වාරය නිර්ධන පන්තියටයි. එනම්, ප්‍රධාන වශයෙන් ම එහි විප්ලවවාදී පෙරටු බල ඇනියටයි. මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත්තේය.[35] [2 පිටුව, කම්කරු මාවත ප්‍රකාශන]

මේ සමග, සියලු ආකාරයේ ආත්මීය තර්ක භාවිතා කරමින්, හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම ප්‍රතික්ෂේප කල මධ්‍යමිකවාදී ප්‍රවනතාවන්ට එරෙහිව ට්‍රොට්ස්කි තර්ක කලේය. ස්ටැලින්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයට සහ ඔහුගේ දේශපාලන ඉදිරිදර්ශනයට එකඟ වන බව මාධ්‍යමිකවාදීන් ප්‍රකාශ කල නමුදු ඔවුහු හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම නොමේරූ හෝ නිෂ්ඵල හෝ ඒ දෙකම ලෙස සැලකුහ. ඔවුන්ගේ එක් ප්‍රධාන තර්කයක් වූයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නව ජාත්‍යන්තරයක් 'ප්‍රකාශ කිරීමට' නොහැකි තරම් කුඩා හා හුදකලා වූ බවයි. නව පක්ෂයක් බිහිවිය හැක්කේ 'මහා සිදුවීම්වලින්' පමනි.

ට්‍රොට්ස්කි මෙසේ පිලිතුරු දුන්නේය:

හතරවන ජාත්‍යන්තරය දැනටමත් පැන නැගී ඇත්තේ දැවැන්ත සන්සිද්ධීන්ගෙනි: ඉතිහාසය තුල නිර්ධන පන්තියේ දැවැන්තම පරාජයන්. මෙම පරාජයන්ට හේතුව සොයා ගත යුත්තේ ජරපත් නායකත්වයේ පරිහානිය හා ද්‍රෝහීකම තුල ය. පන්ති අරගලය බාධාවක් ඉවසන්නේ නැත. තුන්වන ජාත්‍යන්තරය, දෙවැන්න අනුගමනය කරමින්, විප්ලවයේ අරමුනු සඳහා මිය ගොස් ඇත. හතරවන ජාත්‍යන්තරය දිගුකල් දිනේවා!

එහෙත් එහි නිර්මානය නිවේදනය කිරීම සඳගා තවමත් කාලය එලඹි ඇත් ද? ....එහෙත් සංශයවාදීහු තුෂ්නිම්භූත නොවෙත්. හතරවන ජාත්‍යන්තරයට එය “නිවේදනය” කරනු ලැබීමේ උවමනාවක් නැතැයි අපි මීට පිලිතුරු දෙමු. එය පවතී. එය සටන් කරයි. එය දුබල ද? ඔව්, එහි අනුගාමිකයන් බහුල නැත. එය තවමත් බාල වියේ පසුවන හෙයිනි. එහි අනුගාමිකත්වය තවමත් ප්‍රධාන වශයෙන් කේඩරයන් ය. එහෙත් මේ කේඩර යනු අනාගතය සඳහා ප්‍රතිඥා ය. මෙම කේඩරයන්ගෙන් පිටත මෙම ග්‍රහ ලෝකය මත විප්ලවවාදී යන නමට උචිත එක ද විප්ලවවාදී දහරාවක් නැත. අපගේ ජාත්‍යන්තරය තව මත් දුබල නම් ධර්මයෙනුත්, ක්‍රියාමාර්ගයෙනුත්, සම්ප්‍රදායෙනුත් තම කෙඩරයන්ගේ අසමසම පන්නරයෙනුත් එය ප්‍රබල ය. අද දින මෙය නොදන්නා කෙනෙකු සිටීනම් ඔහු දැනට පසෙකට වී සිටීවා. හෙට දින එය වඩාත් විශද වනු ඇත. (ධනවාදයේ මර ලතෝනිය 50 පිටුව, කම්කරු මාවත ප්‍රකාශන)[36]

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) සිය ඓතිහාසික පදනම් ලේඛනයේ සඳහන් කරන පරිදි, 20 වැනි සියවසේ ඉතිහාසය 'එකම අව්‍යාජ විප්ලවවාදී නායකත්වය වන්නේ හතරවන ජාත්‍යන්තරය පමනක්‍ය යන එම නිගමනයේ නිර්වද්‍යභාව්‍ය සනාථ කලේ ය.'[37] (66 පිටුව, සිංහල පරිවර්තනය) අපගේ යුගයේ තීරනාත්මක කර්තව්‍යය වන්නේ වෛෂයික තත්වයේ පරිනතභාවය සහ කම්කරු පන්තියේ සහ එහි පෙරටු බල ඇනියේ දේශපාලන අපරිනතභාවය අතර පරතරය ජයගැනීම යි.

මෙම මුලෝපායික කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා, සංක්‍රමන ක්‍රියාමාර්ගය, අනුක්‍රම පරිමාන වැටුප්, කර්මාන්ත, බැංකු සහ කෘෂිකර්මාන්තය ජනසතු කිරීම, නිර්ධන පන්තිය සන්නද්ධ කිරීම, කම්කරු-ගොවි ආන්ඩුවක් ආදී ආර්ථික හා දේශපාලන ඉල්ලීම් ගනනාවක් වර්ධනය කලේ ය. මෙම සංක්‍රමන ඉල්ලීම්වලින් අදහස් කෙරුනේ කම්කරු පන්තියේ විඥානය සහ ඔවුන්ට අභිමුඛ කෙරෙන අවසාන විප්ලවවාදී කර්තව්‍යය වන නිර්ධන පන්තිය විසින් බලය අත්පත් කර ගැනීම අතර පාලමක් ගොඩනැගීම යි.

ඉල්ලීම්වලට එක් කේන්ද්‍රීය අරමුනක් තිබුනි: එය නම්, කම්කරු පන්තියේ විප්ලවවාදී විඥානය වර්ධනය කිරීම යි. ඒවායින් කිසිසේත් ම අවස්ථාවාදී උපාමාරු සාධාරනීකරනය කිරීමක් හෝ කම්කරුවන්ගේ පවතින විඥානයට අනුගතවීමක් අදහස් කෙරුනේ නැත. “ක්‍රියාමාර්ගය මගින් ප්‍රකාශයට පත්විය යුත්තේ කම්කරුවන්ගේ පසුගාමීත්වය නොව කම්කරු පන්තියේ වෛෂයික කර්තව්‍යයන් ය. එමගින් පිලිඹිබු විය යුත්තේ සමාජය ඒ හැටියට පවතින ආකාරය මිස කම්කරු පන්තියේ පසුගාමීත්වය නොවේ. එය පසුගාමීත්වය ජය ගැනීමට සහ පරාජය කිරීමට උපකරනයකි.' [38] යයි ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භාකයාවූ ලියොන් ට්‍රොට්ස්කි

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනක් ම දෙවන ලෝක යුද්ධයේ ස්වභාවය තේරුම් ගෙන එම තත්වය පිලිබඳව පැහැදිලි අවබෝධයකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට සහ ධනේශ්වරයේ යුද සිතියමට නිර්ධන පන්ති ලෝක විප්ලවය සඳහා පන්ති අරගලයේ සිතියම ප්‍රතිමුඛ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයට සටන් කල බව ඓතිහාසික සත්‍යයකි. මෙය රැඩිකල් සටන් පාඨ කිහිපයක් ඉදිරිපත් කිරීම පිලිබද ප්‍රශ්නයක් නොවේ. ඊට විපරීතව, නිරන්තරව මාක්ස්වාදය ආරක්ෂා කිරීම සහ මෙම පදනම මත විප්ලවවාදී නායකත්වයක් සහ කේඩරයක් වර්ධනය කිරීම අවශ්‍ය විය.

'ට්‍රොට්ස්කිගේ අවසන් වසර' යන සිය රචනය තුල දී ඩේවිඩ් නෝර්ත් ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමෙන් ඉක්බිතිව එහි තීව්‍ර වැඩකටයුතු පිලිබඳව බලගතු විශ්ලේෂනයක් සම්පාදනය කරයි. ජේම්ස් බර්න්හැම්, මැක්ස් ෂැට්මන් සහ මාටින් ඇබර්න් විසින් නායකත්වය දෙන ලද ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) සුලුතර කන්ඩායමට එරෙහිව ට්‍රොට්ස්කිගේ සුප්‍රසිද්ධ “අවසාන අරගලය” විශේෂයෙන් වැදගත් විය. 1939 අගෝස්තුවේ හිට්ලර්-ස්ලිටැන් ගිවිසුම අත්සන් කිරීමට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ, සෝවියට් සංගමය පිරිහිනු කම්කරු රාජ්‍යයක් ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කරමිනි.

මෙය හුදෙක් සෝවියට් රාජ්‍යය ගුනාංගීකරනය කිරීමට භාවිතා කල යුතු වචන මොනවාද යන්න පිලිබඳ අර්ථවිචාරනය කිරීමේ ප්‍රශ්නයක් නොවීය. ඩේවිඩ් නෝර්ත් ලියන පරිදි, මතභේදය 'දෙවන ලෝක සංග්‍රාමය අතරතුර සහ ඉන් පසුව විප්ලවවාදී මූලෝපාය, ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය පිලිබඳව පැනනැගීමට නියමිත වූ වඩාත් දුෂ්කර ප්‍රශ්න බොහොමයක් පුර්වාපේක්ෂා කලේ ය.'[39] පරදුවට තැබී තිබුනේ, යුගය සමාජවාදී විප්ලවයේ යුගයක් ලෙස තක්සේරු කිරීම, සමාජවාදී සමාජයක් ගොඩනැගීමට හැකි විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තියේ භූමිකාව, ඔක්තෝබර් විප්ලවයේ ස්වභාවය සහ සෝවියට් නිලධරය ගැන මෙන්ම, මාක්ස්වාදී විධික්‍රමය යන ඉදිරිදර්ශනය සහ විධික්‍රමය පිලිබඳ අතිශය මූලික ප්‍රශ්න ය: සෝවියට් සංගමයේ පසුගාමීත්වය සහ හුදකලාව සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර පරාජයන්ගේ ප්‍රතිඵලයක් වූ ප්‍රමුඛ හා ප්‍රතිගාමී භූමිකාවක් සහිත නිලධරය පරපෝෂිත කුලයක් ද, එසේත් නැතිනම් එය මාක්ස්වාදය විසින් පෙර නොදක්නා ලද නව සූරාකෑමේ පන්තියක මතුවීමක් ද?

බර්න්හැම්, ෂැට්මන් සහ ඇබර්න්ගේ ආස්ථානයන් සාරභූතව ඔක්තෝබර් විප්ලවය සහ සමස්ත සමාජවාදී ව්‍යාපෘතිය ම නිෂ්ප්‍රභා කලේ ය. ඒවා මගින් පිලිඹිබු කෙරුනේ සහ පුර්වපේක්ෂා කෙරුනේ කම්කරු පන්තියේ පරාජයන් නායකත්වයේ පාවාදීමවල ප්‍රතිපලයක් නොව කම්කරු පන්තියේ සහ මාක්ස්වාදයේ අසාර්ථකත්වයෙහි ප්‍රතිපලයක් ලෙස මුලිකව නිගමනය කල මධ්‍යම පන්තික මහාචාර්යවරුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සමස්ත ස්ථරයක දකුනට සිදු වූ තියුනු මාරුවීමකි.

පන්තිය, පක්ෂය සහ නායකත්වය යන ඔහුගේ අවසන් ලිපියේ දී ට්‍රොට්ස්කි මෙම ප්‍රශ්නය සම්බන්ධව ප්‍රශස්ථ ලෙස වගවිභාග කල අතර ස්පාඤ්ඤ විප්ලවයේ පරාජය කම්කරු පන්තිය මත පැටවීමට යත්නදැරුවන් ගුනාංගිකරනය කලේ ය.

පරාජයන් විශ්ව වර්ධනයන්ගේ පුරුකක් ලෙස පාහන්නට යත්න දරන මෙම බෙලහීන දර්ශනවාදය, පරාජයේ සංවිධායකයන් වූ ක්‍රියාමාර්ග, පක්ෂ සහ පුද්ගලයන් වැනි සංයුක්ත සාධක පිලිබද ප්‍රශ්නය මතුකිරීමට මුලුමනින් ම නො සමත් වන අතර එසේ මතු කිරීම ද ප්‍රතික්ෂේප කරයි. දෛවාදයේ සහ දනින් වැටීමේ මෙම දර්ශනවාදය විප්ලවවාදී ක්‍රියාව පිලිබඳ න්‍යාය හැටියට මාක්ස්වාදයට මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ වෙයි. [40] (පන්තිය පක්ෂය හා නායකත්වය, 17 පිටුව, කම්කරු මාවත ප්‍රකාශන)

යුද්ධයේ කොන්දේසි සහ ස්ටැලින්වාදයේ පාවාදීම් යටතේ, මෙම “බෙලහීන දාර්ශනිකයන්” තියුනු ලෙස දකුනට මාරු වූ අතර ධනවාදයට හා අධිරාජ්‍යවාදයට සහය දීමේ නව සහ නිර්ලජ්ජිත පදනමක් බවට පත් විය. බර්න්හැම් සහ ෂැට්මන් සම්බන්ධයෙන් මෙම පරිනාමය විශේෂයෙන් කැපී පෙනුනි. පලමුවැන්නා සෝවියට් සංගමයට එරෙහි පූර්වභංග න්‍යෂ්ටික යුද්ධයේ උපදේශකයෙකු සහ ප්‍රධාන නව- තත්වාරක්ෂක දෘෂ්ටිවාදියෙකු බවට පත් විය. දෙවැන්නා කොමියුනිස්ට් විරෝධී ඒඑෆ්එල්-සීඅයිඕ (වෘත්තීය සමිති) නිලධරයේ දේශපාලන උපදේශකයෙකු බවට පත් වූ අතර සීඅයිඒ විසින් සංවිධානය කරන ලද කියුබාවේ බේ ඔෆ් පිග්ස් ආක්‍රමනයය සහ උතුරු වියට්නාමයට එක්සත් ජනපදය බෝම්බ හෙලීම වැනි සාපරාධී අධිරාජ්‍යවාදී මෙහෙයුම්වලට සහ යුද්ධවලට සහාය දුන්නේ ය.

මැක්ස් ෂැට්මන් (1904-1971) [Photo: Marxists.org] [Photo: Marxists.org]

බර්න්හැම් සහ ෂැට්මන් පුදුමයට පත් කරමින් ට්‍රොට්ස්කි අපෝහක තර්කනය පිලිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට භාජනය කල බව නෝර්ත් ඔහුගේ ලිපියෙහි සඳහන් කරයි. නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ දර්ශන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකු වන බර්න්හැම් අපෝහක විධික්‍රමය මුලුමනින්ම ප්‍රතික්ෂේප කලේ ය. තමා දාර්ශනික ප්‍රශ්න ගැන තැකීමක් නොකරන බවත් අපෝහක භෞතිකවාදය විප්ලවවාදී දේශපාලනයට ඇති සම්බන්ධය ගැන සලකා බැලීමට විශේෂ උනන්දුවක් නොදැක්වූ බවත් ෂැට්මන් ප්‍රකාශ කලේ ය. එහෙත් ට්‍රොට්ස්කි, විප්ලවවාදී ක්‍රියාවේ අභිප්‍රාය සඳහා, වෛෂයික යථාර්ථය විශ්ලේෂනය කිරීමට සහ තේරුම් ගැනීමට විධික්‍රමයක් ලෙස අපෝහකයේ වැදගත්කම අවධාරනය කලේය. නොර්ත් මෙම වැදගත් කරුන තවදුරටත් විස්තර කරයි:

කම්කරු පන්තියේ දේශපාලන දිශානතිය සඳහා අවශ්‍ය විද්‍යාත්මක ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීම පිනිස, තත්කාර්යවාදී ආවේගවාදය සමග මිශ්‍ර වූ රුපික තර්කනයේ පදනම මත ග්‍රහනයකර ගත නොහැකි, සංකීර්න, පරස්පර විරෝධී එහෙයින්, වේගයෙන් වෙනස්වන සමාජ-ආර්ථික සහ දේශපාලන තත්වය ග්‍රහනය කර ගැනීමට ඉහල විශ්ලේෂන මට්ටමක් අවශ්‍ය විය. විද්‍යාත්මක විධික්‍රමයක් නැතිකමින් ඔහුගේ දාර්ශනික ප්‍රවීනත්වය සඳහා වූ සියලු මවාපෑම් තිබිය දී, බර්න්හැම්ගේ සෝවියට් සමාජය සහ ප්‍රතිපත්ති පිලිබඳ විශ්ලේෂන ඓතිහාසික අන්තර්ගතයෙන් තොර වූ සහ සමාජයේ මතුපිට දෘශ්‍යමාන ප්‍රපංචය පිලිබඳ බොහෝ දුරට ආවේගවාදී විස්තර මත පදනම් වූ ගොරහැඩි ආකාරයෙහි ප්‍රකාශනයක් ගත්තේ ය. සංකීර්න සමාජ-ආර්ථික හා දේශපාලන සන්තතීන් සම්බන්ධයෙන් බර්න්හැම්ගේ තත්කාර්යවාදී සාමාන්‍ය බුද්ධියේ ප්‍රවේශය න්‍යායිකව වැදගැම්මකට නැති එකකි. ඔහු, පරමාදර්ශී ලෙස, අව්‍යාජ කම්කරු රාජ්‍යයක් විය යුතු යැයි තමන් සිතූ දෙයට ප්‍රතිවිරුද්ධව පවතින සෝවියට් සංගමය පිහිටුවී ය. පරිහානියට යටින් පවතින ජාතික හා ජාත්‍යන්තර පරිමාන සමාජ හා දේශපාලන බලවේගවල ඓතිහාසික සන්තතිය සහ ගැටුම පැහැදිලි කිරීමට ඔහු උත්සාහ කලේ නැත. [41]

මෙම ඓතිහාසික, දාර්ශනික හා දේශපාලන විධික්‍රමය ආරක්ෂා කිරීමේ පදනම මත, එනම් මාක්ස්වාදයේ පදනම මත, ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය දෙවන ලෝක යුද්ධයේ ස්වභාවය විශ්ලේෂනය කිරීමටත් ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය වර්ධනය කිරීමටත් සමත් විය.

1940 මැයි 19-26 දිනවල පැවැත්වූ හතරවන ජාත්‍යන්තරයේ හදිසි සම්මේලනයේ දී සම්මත කරගත් අධිරාජ්‍යවාදී යුද්ධය පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ ප්‍රකාශය දෙවන ලෝක යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය පැහැදිලි කරමින් මෙසේ සඳහන් කලේය. 'එහි සම්භවය තද්භව වී ඇත්තේ, අනවරතයෙන්ම, ජාත්‍යන්තර ධනපති අවශ්‍යතාවන්ගේ ප්‍රස්පරවිරෝධයන්ගෙනි. ජනතාව මත් කිරීම සඳහා නිර්මානය කර ඇති නිල ප්‍රබන්ධවලට පටහැනිව, විරැකියාව, ඉහල ජීවන වියදම, ෆැසිස්ට්වාදය, යටත් විජිත පීඩනය ආදී අනෙකුත් සියලුම සමාජ දුෂ්ටකම්වල මෙන්ම, යුද්ධයේ ප්‍රධාන හේතුව වන්නේ නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය සහ එම පදනම මත රඳා පවතින ධනේශ්වර රාජ්‍යයයි.'

කෙසේ වෙතත්, සමාජයේ ප්‍රධාන නිෂ්පාදන බලවේගයන් හුදකලා ධනේශ්වර කල්ලි විසින් අල්ලාගෙන සිටින තාක් කල් සහ 'ජාතික රාජ්‍යය මෙම කල්ලිවල අත්‍යාවශ්‍ය මෙවලමක් ලෙස පවතින තාක් කල් වෙලඳපොලවල්, අමුද්‍රව්‍ය ප්‍රභවයන් සහ ලෝකයේ ආධිපත්‍යය සඳහා අරගලය අනිවාර්යයෙන්ම වඩ වඩාත් විනාශකාරී ස්වභාවයක් ගත යුතු ය. රාජ්‍ය බලය සහ ආර්ථිකයේ ආධිපත්‍යය කෑදර අධිරාජ්‍යවාදී කල්ලි අතින් උදුරා ගත හැක්කේ විප්ලවවාදී කම්කරු පන්තියට පමනි.” [42]

හතරවන ජාත්‍යන්තරය දිගුකාලීන ඉදිරිදර්ශනයක් මත දිශාගත කිරීමේ සහ ධනේශ්වර පද්ධතියේ අර්බුදයේ සහ ලෝක විප්ලවයේ මුලුමනින් ම නව අදියරක් සඳහා කේඩරය සුදානම් කිරීමේ ප්‍රයත්නයක ට්‍රොට්ස්කි නිමග්නව සිටි බව ඩේවිඩ් නොර්ත් සිය ලිපිය තුල පැහැදිලි කරයි. “දිගුකාලීන මරලතෝනියක් ගැන සලකා බලන්නේ නම්, ධනේශ්වර ලෝකයට ගැලවීමට මගක් නැත. යුද්ධය, නැගිටීම්, කෙටි සටන් විරාමයන්, නව යුද්ධ සහ නව නැගිටීම් සඳහා දශක ගනනාවක් නොවේ නම්, දිගු වසර ගනනක් සඳහා, සූදානම් වීමට අවශ්‍ය', බව හතරවන ජාත්‍යන්තරයේ ප්‍රකාශනය අවධාරනය කලේ ය.

“නායකත්වයේ ගැටලුව” මැයෙන් වූ කොටසක ප්‍රකාශනය මෙසේ අවධාරනය කලේය:

තරුන විප්ලවවාදී පක්ෂයක් මෙම ඉදිරිදර්ශනය මත පදනම් විය යුතු ය. ඉතිහාසය විසින් එයට තමාවම පරීක්ෂා කර බැලීමට, අත්දැකීම් සමුච්චය කර ගැනීමට සහ පරිනත වීමට ප්‍රමානවත් අවස්ථාවන් සහ හැකියාවන් ලබා දෙනු ඇත. පෙරටු බලඇනියේ අනුගාමිකයන් ඒකාග්‍ර වන තරමට ලේ වැකි කම්පන යුගය කෙටි වනු ද අපගේ පෘථිවියට සිදුවන විනාශය අඩු වනු ද ඇත. එහෙත් විප්ලවවාදී පක්ෂයක් නිර්ධන පන්තියේ මුදුනෙහි නැගී සිටින තුරු මහා ඓතිහාසික ප්‍රශ්නය කිසිඳු අවස්ථාවක විසඳෙන්නේ නැත. වේගය (tempo) සහ කාල පරතරයන් පිලිබඳ ප්‍රශ්නය අතිමහත් වැදගත්කමක් දරයි; නමුත් එය අපගේ ප්‍රතිපත්තියේ පොදු ඓතිහාසික ඉදිරිදර්ශනය හෝ දිශානතිය වෙනස් නොකරයි. නිගමනය සරල එකකි: නිර්ධන පන්තියේ පෙරටු බලඇනිය දැනුවත් කිරීමේ හා සංවිධානය කිරීමේ කාර්යය දස ගුනයක ශක්තියකින් යුතුව කරගෙන යාම අවශ්‍ය වේ. හරියට ම හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යය ඇත්තේ මෙහිය.[43]

මෙම පාසලේ දී අප සමාලෝචනය කරන ජාත්‍යන්තර කමිටුවේ සමස්ත වාර්තාව ම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මෙම කර්තව්‍යයට අනුකූලව කටයුතු කල බවට සාක්ෂියකි. දැන්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ පස්වන අදියර ලෙස අප විසින් නිර්වචනය කරන ලද, වේගයෙන් වර්ධනය වන යුද්ධයේ හා විප්ලවයේ නව කාල පරිච්ඡේදයක කොන්දේසි යටතේ, “නිර්ධන පන්ති පෙරටු බලඇනිය අධ්‍යාපනගත කිරීමේ සහ සංවිධානය කිරීමේ” මෙම කාර්යය නැවත වරක් තීව්‍ර කල යුතුව ඇත. නෝර්ත් සහෝදරයා ඔහුගේ “2023 ජූනි මාසයේ සසප සාමාජික රැස්වීමට කල ආරම්භක කතාවේ දී” ප්‍රකාශ කල පරිදි:

මහජන කම්කරු පන්ති අරගල වර්ධනය වෙමින් පවතින කාල පරිච්ඡේදය තුල කම්කරු පන්තියට විප්ලවවාදී පිලිතුරක් සහ විප්ලවවාදී වැඩපිලිවෙලක් සම්පාදනය කිරීමට අපගේ පක්ෂයට හැකි වනු ඇතැයි අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු. එහෙත් එය සිදු වීමට නම්, අපගේ කේඩරයට ඓතිහාසික අත්දැකීම්, ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය පිලිබඳ මූලික ප්‍රශ්න අරබයා අරගලය ගැන සමීප අවබෝධයක් තිබිය යුතු ය. වෙනත් වචනවලින් කිවහොත්, අනෙකුත් සෑම දේශපාලන ප්‍රවනතාවයකින් ම, අපගේ ව්‍යාපාරය වෙන් කෙරෙන්නේ කුමකින් ද, වෙනත් කිසිදු ව්‍යාපාරයක් හැර අපගේ ව්‍යාපාරය පමනක් ම, මාක්ස්වාදය සඳහා අරගලයේ ඓතිහාසික අඛන්ඩතාව නියෝජනය කරන්නේ මන්දැයි කේඩරය තේරුම් ගත යුතුය. මා සිතන පරිදි එම අඛන්ඩතාව, එලිදැක්වීමට නියමිත ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය යන නවතම කෘතියේ මාතෘකාවෙන් මුර්තිමත් වේ. ට්‍රොට්ස්කිවාදය පිලිබඳ අපගේ විශේෂ සංකල්පය වන්නේ සියලු ඓතිහාසික අත්දැකීම් තහවුරු කර ඇති පරිදි මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස සමාජවාදයේ අනාගත වර්ධනය ලියොන් ට්‍රොට්ස්කිගේ දේශපාලන උරුමය මත පදනම් වන බව යි. පසුගිය වසර 60 පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතු හරහා එම උරුමය වර්ධනය වී ඇත… මාක්ස්වාදී ව්‍යාපාරයේ සමස්ත ඓතිහාසික අත්දැකීම පෙන්නුම් කරන්නේ අව්‍යාජ විප්ලවවාදී කර්තව්‍ය සඳහා අත්‍යවශ්‍ය පදනම එය බවයි. [44]


[1]

එරික් හොබ්ස්බෝම් 'අපට රුසියානු විප්ලවයේ ඉතිහාසය රචනා කල හැකි ද?'යන මැයෙන් On History, New York (ඉතිහාසය පිලිබදව, නිව යෝර්ක්) හි පල වූ ලිපියක්, ද නිව් ප්‍රෙස් 1997, පි. 242 පි.

[2]

ඩේවිඩ් නොර්ත්, 'ලියෝන් ට්‍රොට්ස්කි හා විසිවන සියවසේ සමාජවාදයේ ඉරනම. එරික් හොබ්ස්බෝම්ස් ට පිලිතුරක්' යන මැයෙන් රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතිය තුල, කම්කරු මාවත ප්‍රකාශන

[3]

ලියෝන් ට්‍රොස්ට්කි, සංක්‍රමන ක්‍රියාමාර්ගය, කම්කරු මාවත ප්‍රකාශන

[4]

හොබ්ස්බෝම් 'අපට රුසියානු විප්ලවයේ ඉතිහාසය රචනා කල හැකි ද?' 249 සහ 247 පිටු.

[5]

ඩේවිඩ් නෝර්ත්, 'සෝවියට් සංගමයේ අභාවයෙන් පසු: මාක්ස්වාදය සඳහා අරගලය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ'. 1992 මාර්තු 11 ජාත්‍යන්තර කමිටුවේ 12 වැනි සැසිවාරයට ඉදිරිපත් කල වාර්තාව (URL: https://www.wsws.org/en/special/library/fi-19-1/18.html.)

[6]

ලියොන් ට්‍රොට්ස්කි, The Permanent Revolution (නොනවතින විප්ලවය), ලන්ඩන්: නිව් පාර්ක්, 1971, 239-40 පිටු.

[7]

ඩේවිඩ් නෝර්ත්, 'ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය': ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය, මේරිං බුක්ස් 2023, 43 පි.

[8]

ලියොන් ට්‍රොට්ස්කි, “අප ගමන් කරමින් සිටින්නේ කුමන අදියර හරහා ද?”1924 ජුනි 21 පවත්වන ලද කතාව. පලමු වරට රුසියානු භාෂාවෙන් ප්‍රව්දා පුවත්පතේ ද ඉක්බිතිව 'ෂපාඩ් අයි වොස්ටොක්' මැයෙන් පොත් පිංචක් ලෙස ද පල කෙරුනි. (URL: https://www.marxists.org/archive/trotsky/1924/06/stage.html.)

[9]

ලියොන් ට්‍රොට්ස්කි, ඔක්තෝබරයේ පාඩම්, කම්කරු මාවත ප්‍රකාශන

[10]

ලියොන් ට්‍රොට්ස්කි, My Life (මගේ ජීවිතය) (https://www.marxists.org/archive/trotsky/1930/mylife/ch41.html)

[11]

ලියොන් ට්‍රොට්ස්කි, “චීන විප්ලවය සහ ස්ටැලින් සහෝදරයාගේ තීසිස” 1927 මැයි 17 (URL: https://www.marxists.org/archive/trotsky/1932/pcr/01.html)

[12]

ලියොන් ට්‍රොස්ට්ස්කි, The Third International After Lenin (ලෙනින්ගෙන් පසු තුන්වෙනි ජාත්‍යන්තරය) (URL: https://www.marxists.org/archive/trotsky/1928/3rd/ti01.htm.)

[13]

ලියොන් ට්‍රොට්ස්කි, Leon Trotsky, “ජර්මානු ව්‍යසනය: නායකත්වයේ වගකීම”, 1933 මැයි. (URL: https://www.marxists.org/archive/trotsky/germany/1933/330528.html)

[14]

ඩේවිඩ් නෝර්ත්, 'ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය': Leon Trotsky and the Struggle for Socialism in the Twenty-First Century (ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය), 26 පි.

[15]

ලියොන් ට්‍රොට්ස්කි, 'කොමියුනිස්ට් පක්ෂ සහ ජාත්‍යන්තරයක් අලුතෙන් ගොඩ නැගීම පිනිස', 1933 ජුලි (URL: https://www.marxists.org/archive/trotsky/germany/1933/330715.htm)

[16]

ලියොන් ට්‍රොට්ස්කි 'කේපීඩීයේ බිඳ වැටීම', Writings of Leon Trotsky (1932-33) [ලියෝන් ට්‍රොට්ස්කිගේ කෘති (1932-33)], නිව් යෝර්ක්, 1972, 195 පි.

[17]

ලියොන් ට්‍රොට්ස්කි 'ඊලගට කුමක් ද? ජර්මන් නිර්ධන පන්තිය සඳහා වැදගත් ප්‍රශ්න' 1932 ජනවාරි. (URL: https://www.marxists.org/archive/trotsky/germany/1932-ger/index.htm)

[18]

ලියොන් ට්‍රොට්ස්කි, 'ජාතික සමාජවාදය යනු කුමක් ද?' 1933 ජූනි. (URL: https://www.marxists.org/archive/trotsky/germany/1933/330610.htm)

[19]

ලියොන් ට්‍රොට්ස්කි, 'ස්පාඤ්ඤයේ පාඩම්: අවසන් අනතුරු ඇඟවීම' 1937 දෙසැම්බර්. (https://www.marxists.org/archive/trotsky/1937/xx/spain01.htm)

[20]

ලියොන් ට්‍රොට්ස්කි, 'මාධ්‍යමිකවාදය සහ හතරවන ජාත්‍යන්තරය' 1934. (URL: https://www.marxists.org/archive/trotsky/1934/02/centrism-tm.htm)

[21]

ලියොන් ට්‍රොට්ස්කි, 'ස්පාඤ්ඤයේ පාඩම්: අවසන් අනතුරු ඇඟවීම' 1937. (URL: https://www.marxists.org/archive/trotsky/1937/xx/spain01.htm)

[22]

ලියොන් ට්‍රොට්ස්කි, “ප්‍රන්සය කොයිබට ද? යලිත් වරක්, ප්‍රන්සය කොයිබට ද”, 1935 මාර්තු 28. (URL: https://www.marxists.org/archive/trotsky/1936/whitherfrance/ch01.htm)

[23]

ලියොන් ට්‍රොට්ස්කි, “ප්‍රන්සය කොයිබට ද?”, 1934 නොවැම්බර්. ( URL: https://www.marxists.org/archive/trotsky/1936/whitherfrance/ch00.htm)

[24]

ලියොන් ට්‍රොට්ස්කි, “ප්‍රන්සය කොයිබට ද? යලිත් වරක් ප්‍රන්සය කොයිබට ද”, 1935 මාර්තු 28. (URL: https://www.marxists.org/archive/trotsky/1936/whitherfrance/ch01.htm)

[25]

එම.

[26]

ලියොන් ට්‍රොට්ස්කි, 'අවසානයේ ආරම්භය ' 1937 ඔක්තෝබර්. ( URL: https://www.marxists.org/archive/trotsky/1937/10/begin.htm)

[27]

එම.

[28]

ලියොන් ට්‍රොට්ස්කි, The Revolution Betrayed (පාවාදුන් විප්ලවය). ( URL: https://www.marxists.org/archive/trotsky/1936/revbet/ch09.htm)

[29]

ඩේවිඩ් නොර්ත්, 'ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය' 1987 අගෝස්තු 23. ( URL: https://www.wsws.org/en/special/library/trotskyism-versus-stalinism/speech.html)

[30]

ඩේවිඩ් නෝර්ත්, 'ලියෝන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය', Leon Trotsky and the Struggle for Socialism in the Twenty-First Century (ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය) කෘතිය තුල. 31 පි.

[31]

ලියොන් ට්‍රොට්ස්කි, Diary in Exile 1935 (පිටුවහලේ දිනපොත 1935), ලන්ඩන්, 54 පි.

[32]

ලියොන් ට්‍රොට්ස්කි, ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්යෝ: සංක්‍රමන ක්‍රියාමාර්ගය, 1938. කම්කරු මාවත ප්‍රකාශන.

[33]

ඩේවිඩ් නොර්ත් 'හතරවන ජාත්‍යන්තරයේ වසර හැත්තෑ පහක් 1938-2023', Leon Trotsky and the Struggle for Socialism in the Twenty-First Century (ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය) කෘතිය තුල, 31 පි.

[34]

ලියොන් ට්‍රොට්ස්කි, ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්යෝ: සංක්‍රමන ක්‍රියාමාර්ගය.

[35]

එම.

[36]

එම.

[37]

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්, නමැති කෘතියේ 'හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම', කම්කරු මාවත ප්‍රකාශන.

[38]

ලියොන් ට්‍රොට්ස්කි, ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්යෝ: සංක්‍රමන ක්‍රියාමාර්ගය.

[39]

ඩේවිඩ් නෝර්ත්, “ට්‍රොට්ස්කිගේ අවසන් වසර: 1939-1940”, Leon Trotsky and the Struggle for Socialism in the Twenty-First Century (ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය) කෘතිය තුල, 165 පි.

[40]

ලියොන් ට්‍රොට්ස්කි, පන්තිය, පක්ෂය, හා නායකත්වය, කම්කරු මාවත ප්‍රකාශන.

[41]

ඩේවිඩ් නෝර්ත්, “ට්‍රොට්ස්කිගේ අවසන් වසර: 1939-1940”, Leon Trotsky and the Struggle for Socialism in the Twenty-First Century (ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය) කෘතිය තුල, 172-173 පිටු.

[42]

ලියොන් ට්‍රොට්ස්කි, “ආධිරාජ්‍යවාදී යුද්ධය පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ ප්‍රකාශය”, 1940 මැයි. (URL: https://www.marxists.org/history/etol/document/fi/1938-1949/emergconf/fi-emerg02.htm)

[43]

එම.

[44]

ඩේවිඩ් නොර්ත්, “2023 ජූනි 23 දින පැවති සමාජවාදී සමානතා පක්ෂයේ සිකුරාදා රාත්‍රී සාමාජික රැස්වීමට ඉදිරිපත් කල ආරම්භක වාර්තාව”, සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) අභ්‍යන්තර නිවේදන පත්‍රිකාව: 2023 ජූනි.

Loading