සතොස රැකියා අහිමි කල සේවකයන්ට සාධාරන වන්දියක් ලබා දෙනු! ඔවුන්ගේ සියලු හිඟ නය වාරික අහෝසි කරනු!

සැප්තැම්බර් 30 වෙනිදා සමූපාකාර තොග වෙලඳ සංස්ථාව (ස.තො.ස.) බලහත් කාරයෙන් ඈවර කර එහි සේවය කල ස්ථිර සේවකයන් දෙසීය අනු දෙදෙනෙකුගෙන් සමන්විත අප සියලුම දෙනා සොච්චම් වන්දි මුදලක් දී රැකියාවෙන් දොට්ට දමන ලදි.

2023 සැප්තැම්බර් 27දා කොලඹ වොක්ෂෝල් වීදිය සතොස ශාඛාවේ සත්‍යග්‍රහ විරෝධතාවක නිරත වන සතොස කම්කරුවෝ

ඉදිරියට තවත් අවුරුදු විස්සක, විසිපහක සේවා කාලයක් සහිත ස්ථිර සේවකයන් බහුතරයක් සහිත වූ සේවක අපට වන්දි වශයෙන් ලැබුනේ රුපියල් ලක්ෂ හයක පමන මුදලකි. උපරිම වන්දිය ලක්ෂ 25ට සීමා කෙරිනි. එම වන්දි මුදල ලබා දීමේදී පවා සතොස සේවකයන්ගේ අයිතිවාසිකම් අත්හැරීමේ සහ සතොස ආයතනය සේවකයන් පිලිබඳ සියලු වගකීමවලින් ආරක්ෂාවීමේ ප්‍රකාශයකටත්, වන්දි මුදල ලබාදීමෙන් පසු අවශ්‍ය වුවහොත් වැඩියෙන් ගෙවන ලද මුදල අපට ලැබිය යුතු පාරිතෝෂිකය වැනි නීත්‍යානුකූල දීමනාවනගෙන් නැවත අයකර ගැනීමටත් ඉඩ දෙන ලියවිල්ලකට අපගේ අනුමැතිය බලහත්කාරයෙන් ලබා ගැනීමට පාලනාධිකාරිය ක්‍රියා කලේය.

රජයේ ස්ථිර සේවකයන් ලෙස ඉදිරි සේවා කාලයද සලකා ඒ අනුව බැංකුවලින් ලබාදුන් නය මුදල් මෙම සොච්චම් වන්දි මුදලෙන් ගෙවිය නොහැකි වෙනවා පමනක් නොව අප සියලු දෙනා රැකියා විරහිත නයකරුවන් බවට පත්කර දරු මල්ලන් ද සමග මහ මගට ඇද දමා ඇත.

මාස්පතා බැංකු නය වල වාරික ගෙවිය යුතු අතර දිනෙන් දින ඉහල යන බඩුමිල නිසා ජීවත් වීම අති දුෂ්කර වී ඇති අපට දරුවන් ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම වැඩිහිටි දෙමාපියන් නඩත්තු කිරීමද කල නොහැකි තත්වයට පත්වී ඇත. අපට ලැබූ වන්දි මුදලින් මේ වියදම් පියවා ගැනීම සිතීමට පවා නොහැක.

ශ්‍රී ලංකාවේ වර්තමාන කඩා වැටෙන ආර්ථික තන්වය තුල වසර ගනනාවක් අප කල රැකියාව වැනි රැකියාවක් සොයා ගැනීම ඉතා අසිරු කටයුත්තකි. දෛනික වැටුප් ලබන කුලී වැඩක් හෝ සොයාගැනීම සඳහා දිනපතා මහමගට පිවිසෙන අප බොහෝ දිනවල පැමිනෙන්නේ හිස් අතිනි.

අප මුහුන දී සිටින්නේ පුද්ගලීකරනයට, විකුනාදැමීමට හෝ වසා දැමීමට ලක්කරන රාජ්‍ය ආයතන 430 කට ආසන්න ප්‍රමානයක පලමු ප්‍රහාරයටයි. මෙම දරුනු කප්පාදුව යටතේ ලක්ෂ පහකට ආසන්න රජයේ සේවකයින්ට රැකියා අහිමි වීමට නියමිත අතර තවත් ලක්ෂ සංඛ්‍යාත රජයේ සේවකයින්ට ඉසිලිය නොහැකි තරම් වැඩ අධික කිරීම ආදී දරුනු කොන්දේසි වලට මුහුන පෑමට සිදු වනවා ඇත. මෙම කොන්දේසි පැටවෙන්නේ දැනටමත් දරා ගත නොහැකි මට්ටමට ජීවන වියදම ඉහල දමා වැටුපෙන් ජීවත් විය නොහැකි මට්ටමට කොන්දේසි සකසා ඇති පසුබිමක බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙහිදී අපට මුලින් අපැහැදිලිවත් පසුව වඩාත් පැහැදිලිවත් පෙනුනේ සතොස ආයතනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට අයත් ශ්‍රී ලංකා පොදුජන ප්‍රගතිශීලී වෘත්තීය සමිතියේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් අපව පාවා දුන් ආකාරයයි. ආයතන ප්‍රධානින් සමග එකට පෙලගැසී ක්‍රියාකල මෙම සමිති නායකයෝ, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ලබාගන්නා ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න නය මුදලට හිලව් වශයෙන් නියෝග කරඇති කප්පාදු වැඩ පිලිවෙල අප මත පැටවීමට පාලකයන්ගේ ඒ්ජන්තයන් ලෙස වැඩ කලහ.

මෙම සමිති නායකයන් පාලනාධිකාරිය සමඟ කල සාකච්ඡා සාර්ථක බව හඟවමින් අපට සාධාරන විසඳුමක් ලබාගතහැකි බවට අපව ඒත්තු ගන්වා ගැනීමට ක්‍රියාකොට සතොස ඈවර කිරීමට පෙර අප අනෙකුත් රාජ්‍ය සේවකයින් සමඟ එක්ව සටන් මඟට පිවිසීම අවහිර කලේය.

කිසිදු ආකාරයකට සතොස රැකියා කප්පාදුවට එරෙහිව අනෙකුත් සහෝදර කම්කරු පීඩිත මහජනතාව බලමුලු ගන්නනවා තියා සතොස ආයතනයට සිදුවනදේ පිලිබද වැඩ කරන ජනයා දැනුවත් කිරීමටවත් වෘත්තීය සමිති නායකයෝ කිසිවක් සිදු නොකලෝය.

පසුව කැබිනට් මන්ඩලය ගත් තීන්දුවක් වෙනස් කල නොහැකි බවට පාලනාධිකාරය පවසන බව කියමින් අධිකරනයෙන් සාධාරනය ඉෂ්ඨ කර ගත හැකි යැයි පවසා සටන් මඟට පිවිසීම යලිත් වැලැක්වූයේය. රැකියා රැක ගැනීමේ සටනකට යොමු වීමට අපගේ දැඩි ප්‍රයත්නය “උපවාසයකට” සීමා කල අතර පසුව සමිති නායකයන් අපට දැනුම් දුන්නේ ගොනු කල නඩුවද පැරදුනු බැවින් දෙන සොච්ච්ම් වන්දිය පිලිගෙන ගෙදර යන ලෙසයි.

අපට සොයා ගන්නට ලැබුනේ ධනපති රාජ්‍යයේම කොටසක් ලෙස ක්‍රියා කරන අධිකරනය රැකියා අහෝසි කිරීමේ ආන්ඩුවේ තීන්දුව වෙනස් කිරීමට මැදිහත් නොවන බව ප්‍රකාශ කල බවයි.

රැකියා අහිමි කිරීමේ තර්ජනයට ලක්වන සෑම රජයේ සේවකයෙකුගේම අවධානයට ලක් විය යුතු එම නඩු වේ තීන්දුවේ සඳහන් වූයේ “නීත්‍යානුකූලභාවයේ සහ සාධාරනත්වයේ සීමාවන් තුල ආන්ඩුවේ ප්‍රතිපත්ති පවතිනතාක්, ආර්ථික කටයුතුවලදී, විශේෂයෙන් අර්බුදකාරී කාලයන්හි දී, විධායක බලයට ගරු කිරීමේ වැදගත්කම පිලිගනිමින් මෙවන් නඩු වලදී ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට මැදිහත් නොවීමේ මූලධර්මය අධිකරනය විසින් තහවුරු කර ඇත.” යන්නයි.

වෘත්තීය සමිති නිලධරයේ පිලිවෙත වන්නේ සේවක අයිතීන් රැක ගැනීමේ අව්‍යාජ ඒ්කාබද්ධ අරගලයක් සංවිධානය කරනු වෙනුවට ආන්ඩුවට කන්නලව් කිරීමේ සහ බලපෑම් දැමීමේි හුදු විරෝධතාවලට ඒ් ඒ් තැන්වල කම්කරුවන් කොටුකර කම්කරුවන්ගේ සටන්කාමීත්වය දිය කර හැර පාවා දීම බව දැන් අපට පැහැදිලිවී තිබේ.

සමගි ජන බලවේගය , ජනතා විමුක්ති පෙරමුන වැනි විරුද්ධ පක්ෂවලටද ජාමූඅ කප්පාදු වැඩ පිලිවෙලට පිටින් වෙනත් වැඩ පිලිවෙලක් ඇත්තේ නැති බව අපි වටහාගෙන සිටිමු.

සතොස කම්කරුවන් වන අපි, අපගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා මෙම ප්‍රහාර මාලාවට මුහුන දෙන ටෙලිකොම්, රක්ෂනය, වරාය, විදුලි බලමන්ඩලය, තෙල් සංස්ථාව ඇතුළු අනෙකුත් ආයතන වල කම්කරුවන්ද පීඩිත මහජනතාවද ඒකාබද්ධකර ගනිමින්, අරගලය සංවිධානය කිරීමට පියවර ගන්නෙමු. පසුගිය දිනවල පැන නැගුනු ගුරුවරුන්ගේ, සෞඛ්‍ය හා වරාය සේවකයින්ගේ මෙන්ම සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂන හා වර්ජන වලින් මෙන්ම රටපුරා දිනපතා පවතින ආන්ඩු විරෝධී උද්ඝෝෂන වලින් පැහැදිලි වන්නේ අපට අපගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන ඉදිරියට ගෙන යාමට පවතින හැකියාවයි.

අප සෑම වැඩපලකම ආයතනයකම සේවකයින්හට කියා සිටින්නේ වෘත්තීය සමිති නිලධරය මත විශ්වාසය නොතබා තමන්ගේ ස්වාධීන සංවිධාන ගොඩ නගන ලෙසයි. එලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්ද ඒවා අතර සම්බන්ධතා ජාලයක් ගොඩනගමින්ද ජාත්‍යන්තරවද කම්කරු සන්ධානයක් ගොඩ නගමින්ද අරගලය පෙරට ගත යුතුය.

සතොස රැකියා අහිමි කල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව වන අපි පහත ඉල්ලීම් මාලාව මත අපේ අරගලය පෙරට ගෙන යන්නෙමු. ඊට සහය දෙන ලෙසත් රැකියා අහිමිකිරීම හා ජීවන වියදම දැරිය නොහැකි ලෙස ඉහල දැමීම හා ඉසිලිය නොහැකි තරම් වැඩ අධික කිරීම ආදී වශයෙන් මේ වනවිට වැඩ කරන ජනයාට එල්ල කර ඇති පීඩනයන්ට එරෙහි සටන අප සටන සමඟ ඒ්කාබද්ධව සංවිධානය කර ගැනීමට අප කමිටුව සමඟ සාකච්ඡාවට එලඹෙන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සහෝදර කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු .

*රැකියා අහිමිවූ සෑම සතොස සේවකයකුටම අවම වශයෙන් ලක්ෂ 35 ක වන්දි මුදලක් ලබා දෙනු!

*සතොස සේවකයන්ගේ පාරිතෝෂික මුදල හා සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු කිසිම දීමනාවකට අත නොතබනු!

* රැකියා අහිමි කල සේවකයන්ගේ සියලු ආයතනික හා බැංකු නය අහෝසි කරනු!

*ජීවන වියදම පහත හෙලනු!

සතොස රැකියා අහිමිකල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව

දූරකථන අංකය:0773562327

Loading