ලියොන් ට්‍රොට්ස්කි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ මධ්‍යම පරිපාලන කොමිසමට 1923 ඔක්තෝබර් 8 වන දින යැවූ ලිපිය

ලියොන් ට්‍රොට්ස්කි 1923 ඔක්තෝබර් 8 රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ (සීසී) සහ මධ්‍යම පරිපාලන කොමිසමේ (සීසීසී) සාමාජිකයින්ට ලියූ ලිපිය, සෝවියට් සංගමය තුල නැගී එමින් පැවති ස්ටැලින්වාදී නිලධරයට විරුද්ධව වාම විපාර්ශ්වය පිහිටුවීමේ පදනම් දමාගැනීමේ අතිශය වැදගත් දේශපාලන ලිපි අතරින් එකකි. මෙම පරිවර්තනය, 1993 ඔක්තෝබර් 18 දින සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය විසින් නිකුත් කරන ලද ඉන්ටර්නැශනල් වර්කර්ස් බුලටින් හි ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී. ලිපි වල සම්පූර්න ලේඛන රුසියාවේ ඉස්වෙස්ටියා ටීඑස්කේ කේපීඑස්එස් (සීපීඑස්ඒයූ වේ මධ්‍යම කමිටු ප්‍රකාශනය) හි මැයි 1990 සංස්කරනයේ, 165-175 පිටුවල පල කෙරිනි. මෙම පරිවර්තනය පදනම් වූයේ සම්පූර්න රුසියානු ප්‍රකාශනය මත ය. ලේඛනය අවබෝධ කර ගැනීම පහසුවීම සඳහා පරිවර්තනය සහ සටහන් තරමක් සංස්කරනය කරන ලදී. එය ලියා ඇති ඓතිහාසික සන්දර්භය පැහැදිලි කරන මෙම ලේඛනයට හැඳින්වීමක් සඳහා ඩේවිඩ් නෝර්ත්ගේ 'වාම විරුද්ධ පාර්ශවය පිහිටුවීම ගැන' බලන්න.
***

[මෙම ලිපිය, සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රීලංකාව) පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කම්කරු මාවත පුවත්පතේ 1993 නොවැම්බර් 8 කලාපයේ සිංහල භාෂාවෙන් පලකෙරුනි.]

1923 ඔක්තෝබර් 8 වැනි දින ලියොන් ට්‍රොට්ස්කි විසින් සෝවියට් සඟරාව වන ඉස්වෙස්ටියා ටීඑස්කේ කේපීඑස්එස් Izvestiia TsK KPSS හි 1990 මැයි සංස්කරනයේ CC සහ CCC වෙත යවන ලද ලිපියේ පලමු සම්පූර්න ප්‍රකාශනය.

1923 ඔක්තෝබර් 8

අතිශය රහස්‍යයි

මධ්‍යම කාරක සභාවේ හා මධ්‍යම පරිපාලන කොමිසමේ[1] සාමාජිකයන් වෙත:

1. ඩ්‍රෂින්ස්කි[2] සහෝදරයාගේ (ස්ට්‍රයික් සහ අනෙකුත් කටයුතු පිලිබඳ) කොමිසමෙහි එක් යෝජනාවක් සඳහන් කරන්නේ පක්ෂය තුල කාන්ඩගැසීම් ගැන දන්නා සාමාජිකයන් ඒ ගැන ජීපීයූවට හා මකාසට හා මපකොට වහාම දැනුම් දීම අවශ්‍ය වන බවයි. පක්ෂ සාමාජිකත්වය අතරෙහි සතුරු කොටස් ක්‍රියාත්මක වෙතැයි යන්න ගැන පක්ෂයට දැනුම් දීම කොතරම් නම් ප්‍රාථමික වගකීමක් වන්නේ ද යත්, ඔක්තෝබර් විප්ලවයෙන් සය වසරකට පසුව ඒ ගැන යෝජනාවක් සම්මත කිරීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නැත. එවැනි යෝජනාවක අවශ්‍යතාව පැන නැගීම පිලිබඳ කරුනම, ඊට නොඅඩුව පැහැදිලි අනෙකුත් සලකුනු හා බැඳුනාවූ අතිශය අන්තරායකාරී සලකුනක් වන්නේ ය. එවැනි යෝජනාවක අවශ්‍යතාව පෙන්නුම් කරන්නේ: (අ) විප්ලවයට අනතුරුදායක විය හැකි නීත්‍යානුකූල නොවන විරුද්ධ කන්ඩායම් පක්ෂය තුල ගොඩ නැගී ඇත[3] යන්න සහ (ආ) එවැනි කන්ඩායම් ගැන දන්නා සහෝදරවරුන් අතර ඒ පිලිබඳව පක්ෂ සංවිධානයට දැනුම් නොදී සිටීමේ මනෝගතියක් පක්ෂය තුල පවතීය යන්නයි. මේ කරුනු දෙකින්ම සහතික වන්නේ, මධ්‍යම කාරක සභා වාර්තාාවන්ට අනුව සියයට අනූවක පූර්න එකමුතුවක් ප්‍රකාශයට පත් කලාවූ දොලොස්වැනි සම්මේලනයෙන් මෙපිට දී පක්ෂය තුල පවතින තත්වය ආන්තික ලෙස නරක් වීමකි. ඉහත සඳහන් තක්සේරුව, ඒ වන විටදීත් සාරදර්ශී ලෙස අතිශයෝක්තියට නැංවීමක් වූ බව සත්‍යයකි. පක්ෂයේ බොහෝ සාමාජිකයෝ - කිසිසේත්ම නරකම අය නොවේ- දොලොස්වැනි සමුලුව කැඳවූ විධිය හා ක්‍රමය ගැන ගැඹුරින්ම වික්ෂිප්තව සිටිති. [4] සමුලුවට පැමිනි නියෝජිතයන්ගෙන් වැඩි දෙනා එවැනි වික්ෂිප්තභාවයට පත් වූහ. ජාත්‍යන්තර තත්වය ද විශේෂයෙන්ම ලෙනින්ගේ රෝගී තත්වය ද සැලකිල්ලට ගත් පක්ෂයේ අති මහත් බහුතරය නව මධ්‍යම කාරක සභාවට සහයෝගය දීමට පූර්න ලෙස සූදානම්ව සිටි බව අවිවාදිතය. අන්සියල්ලටමත් වඩා ආර්ථිකය පිලිබඳ ක්ෂේත්‍රයේ දී පක්ෂයේ වැඩ කටයුතුවල ඒකමතික හා සාර්ථක භාවයට අවකාශ සැලසීමට පැවති මෙම උවමනාව විසින් මය, පක්ෂය තුල කන්ඩායම් සුමට කර, සිය අතෘප්තිය මැඩ ගැනීමටත් සම්මේලන වේදිකාවට නැගී තම යුක්තියුක්ත විරුද්ධත්වයන් ප්‍රකාශ කිරීමෙන් වැලකීමටත් බොහෝ දෙනාට බලකෙරුනේ. කෙසේ වුවද, නව මධ්‍යමකාරක සභාවේ සය මසක වැඩ කටයුතු මගින්, දොලොස්වැනි සමුලුව [1923 අප්‍රේල් මස] කැඳවීමේදී යොදා ගැනුනු විධි හා ක්‍රම තීව්‍ර කෙරී පවතී. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ, පක්ෂය ඇතුලත විවෘතවම සතුරු හා කෝපාවිෂ්ට කන්ඩායම් ගොඩනැගී ඒමත් මෙම තර්ජනය ගැන දන්නේ වී නමුදු ඒ ගැන මුනිවත රකින්නන් පහල වීමත් ය. මෙහිදී අපට, පක්ෂයේ අභ්‍යන්තර තත්වය තියුනු ලෙස පිරිහීම හා පක්ෂය කෙරෙන් මධ්‍යම කාරක සභාව වඩවඩාත් දුරස්ත වීම යන දෙකරුනම දකිත හැකිය.

1993 ඔක්තෝබර් 18 දින සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය විසින් නිකුත් කරන ලද ඉන්ටර්නැශනල් වර්කර්ස් බුලටින් හි ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී.

2. පක්ෂාභ්‍යන්තර තත්වයෙහි ආන්තික පරිහානියට හේතු දෙකක් පවතී: (අ) මූලික වශයෙන්ම වැරදි හා රෝගී පක්ෂාභ්‍යන්තර තන්ත්‍රය සහ (ආ) වෛෂයික අසීරුතා කරනකොට පමනක් නොව, ආර්ථික පිලිවෙතෙහි ඉතා පැහැදිලි මූලික වැරදි හේතු කොටවැඩි දියුනු වී ඇති බරපතල ආර්ථික තත්වය කෙරෙහි කම්කරුවන්ගේ හා ගොවීන්ගේ අතෘප්තියයි. පහත සඳහන් කරන දෙයින් පැහැදිලි වනු ඇති පරිදි මේ හේතු දෙක එකිනෙක සමීපව බැඳී ඇත.

3. දොලොස්වැනි සම්මේලනය මුලුදුන්නේ ස්මිච්කා සටන්පාඨය යටතේය. රාජ්‍යය මගින් කෙරෙන නිෂ්පාදනයේ පිරිවැය පහත හෙලීමේ සංයුක්ත හා තීරනාත්මක කර්තව්‍යයන් උදෙසා “පක්ෂයේ අවධානයෙහි හා අධිෂ්ඨානයෙහි හැරීමක් කැඳවුම් කිරීම ” අපේ කාර්යභාරයව පවතිද්දී දොලොස් වන සමුලුව වෙත අපේ ආර්ථික කර්තව්‍යයන් වියුක්ත -උද්ඝෝෂනාත්මක රූපාකාරයකින් ඉදිරිපත් කෙරුන හොත් එහි පවත්නා දැවැන්ත අන්තරාය, සම්​මේලනයට පෙරාතුව පැවති මධ්‍යම කාරක සභාවේදී, කර්මාන්ත[5] පිලිබඳ ප්‍රවාදයේ කතුවරයා වශයෙන් මම පෙන්වා දුන්නෙමි. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් එම කාල පරිච්ඡේදයේදී දේශපාලන මන්ඩලය[6] තුල හුවමාරු වූ ලිපි කියවා ඒ ගැන දැනුවත් වන ලෙස මධ්‍යම කාරක සභාවේ හා මපකොමේ සාමාජිකයන්ට මම උපදෙස් දෙමි. හුදෙක් උද්ඝෝෂනවලදී කරන පැහැදිලි කිරීම් හා ස්මිච්කා සටන් පාඨය යොදාගැනීම් වෙත පවතින නැඹුරුව සමග එහි යථා ආර්ථික අන්තර්ගතය (සැලසුම් ගත ආර්ථිකය, කර්මාන්ත තියුනු ලෙස සංකේන්ද්‍රගත කිරීම, කර්මාන්තයේ හා වෙලඳාමේ උපරි පිරිවැය තියුනුව පහත හෙලීම ) නොතකා හැරීම මගින් කර්මාන්තයේ සංවිධානාත්මක කර්තව්‍යන් පිලිබඳ වාර්තාවේ ප්‍රායෝගික වැදගත්කම සොරාා ගනු ලැබ ඇත්තේ ය, යන්න මම එහිදී ඔප්පු කලෙමි. කෙසේවුව ද සැසිවාරයේ ඉල්ලීම පරිදි , මා ඉදිරිපත් කල වාර්තාවේ දී, ලෙනින් සහෝදරයා නොමැතිව පලමුවරට තෝරා පත් කර ගැනෙන අනාගත මධ්‍යම කාරක සභාවේ කටයුතුවල අවුලක් ඇති නොකෙරෙන තැනට මගේ පැත්තෙන් මම වග බලා ගත්තෙමි.

ට්‍රොට්ස්කි, 1921 ජූනි-ජූලි කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනයේදී මධ්‍යයේ සිටගෙන සිටි.

4. කර්මාන්ත පිලිබඳ යෝජනාව,[7] ගොස්ප්ලෑන් (රාජ්‍ය පොදු සැලසුම් කොමිසම) සංවිධානය ශක්තිමත් කිරීමක් හා යලි තිර කොට පිහිටුවීමක් ද සැලසුම්කරනයේ ප්‍රමුඛ අයවැය ලෙස එය ප්‍රතිෂ්ඨා කිරීමක් ද ඉල්ලා සිටි දොලොස්වන සම්මේලනයෙන් පසුව ද රෝගීව සිටින ගමන් ලෙනින් සහෝදරයා විසින් සකසන ලද සටහන මධ්‍යම කාරක සභාව වෙත ලැබුනේ ය, යන්න අතිශය වැදගත් ය. එහිදී, ගොස්ප්ලෑන් සංවිධානයට නීති සම්පාදන (හෝ වඩාත් නිශ්චිතව කියතොත් පරිපාලනමය අධ්‍යක්ෂන) බලතල ලබාදීමේ අවශ්‍යතාව[8] ගැන ඔහු අදහස් පලකරසිටී. කෙසේවුව ද සම්මේලනයෙන් පසු කාලයේ දී ගොස්ප්ලෑන් සංවිධානය තවත් පසුපසට පවා තල්ලු කර යැවී ඇත. විවධ ක්ෂේත්‍රවල එහි කටයුතු ඵලදායී හා අවශ්‍යකර වන්නේ මුත් දොලොස්වැනි සමුලුවේ දී තහවුරු කෙරුන ස්වරූපයෙන් ආර්ථිකය සැලසුම්ගතව මෙහෙයවීම සමග මෙහි කිසිදු පොදු බවක් නැත. කේන්ද්‍රීය හා පොදුවේ මෙන්ම, අති මූලික රාජ්‍ය ආර්ථික අංශවලදී , සැලැස්මේ විසන්ධිමය ස්වභාවය එහි ඉතාම පැහැදිලි රූපාකාරයන් අත්කර ගනී. දොලොස්වැනි සමුලුවට පෙරදී පැවතියාට වඩා වැඩි ප්‍රමානයකින් දේශපාලන මන්ඩලයේ දී, ඉතාම වැදගත් ආර්ථික ප්‍රශ්න තීන්දු කෙරෙන්නේ කඩිමුඩියේ ය; අවශ්‍ය සූදානම් කිරීමකින් තොරව හා සැලැස්මට ඇති සම්බන්ධතාවෙන් ඛන්ඩනය කොට ය. සැප්තැම්බර් 19 වැනිදා මධ්‍යමකාරක සභාව වෙත වාර්තාවක් එවමින්, රාජ්‍ය කර්මාන්ත භාරව සිටින රයිකොව් සහ පියටකොව්[9] (සමස්තයක් වශයෙන් ආර්ථිකය භාරවී ඇත්තේ රයිකොව් සහෝදරයාට ය) සහෝදරවරු එහි ලා ඉතා පරෙස්සම් සහගතව ප්‍රකාශ කර සිටින්නේ “වර්ධනය වී ඇති තතු යටතේ, අපට භාර කොට ඇති රාජ්‍ය කර්මාන්ත මෙහෙයවීම, දේශපාලන මන්ඩලයේ තීන්දු කීපයක් හේතු කොටගෙන, වඩ වඩාත් අසීරු වෙමින් පවතින්නේය යන කරුන කෙරෙහි අවධානය යොමු කරවීමට අපට බලකෙරී පවතී,” යනුවෙනි. සත් වන සැසිවාරයේදී මේ මාතෘකාව මත සාකච්ඡාවක් ආරම්භ කිරීම නුවනට හුරු නොවේ යැයි සැලකූ ඉහත නම් සඳහන් සහෝදරවරු සිය ලිපිය බෙදා හැරීම ප්‍රතික්ෂේප කල බව සත්‍යයකි. එහෙත් එම කරුන (තම ලිපිය බෙදාහැරීම ප්‍රතික්ෂේප කිරීම) කිසි ලෙසකිනුත් තත්වය වෙනස් නොකරයි. එනම්, ආර්ථික කටයුතුවල මෙහෙයුම්කරුවන් විසින්, ආර්ථික ප්‍රශ්න සම්බන්ධව දේශපාලන මන්ඩලයේ පිලිවෙත අහම්බ හා අක්‍රමවත් තීරන වල පිලිවෙතක් ලෙස ද ආර්ථිකයේ කවර හෝ සැලසුම්ගත මෙහෙයවීමක් “වඩාත් අසීරු” කරන්නක් ලෙස ද පවතින තත්වය ගුනාංගීකරනය කෙරුනේය යන්නයි. පෞද්ගලික කතා බහේ දී මෙම තක්සේරුව අසමාන ලෙස වඩාත් නිශ්චිත ස්වරූපයෙන් ඉදිරිපත් වෙයි. ආර්ථික ප්‍රශ්න ඒ්වායේ අභ්‍යන්තර සම්බන්ධතාවෙන් ද අවශ්‍ය ඉදිරි දර්ශනයෙන් ද විභාග කෙරෙන හා කෙටුම්පත් කෙරෙන එකදු පක්ෂ හෝ සෝවියට් සංස්ථාවක් ඇත්තේ නැත. ඉතාමත්ම නිශ්චිත වීම සඳහා අපි මෙසේ කිව යුතු වෙමු: ආර්ථිකය කෙරෙහි මොනම මෙහෙයවුමක් වත් නැත; මුදුනේ සිට අවුල ගලා එයි.

1924 ක්‍රෙම්ලිනයේ බොල්ෂෙවික් නායකත්වයේ දක්ෂිනාංශයේ ප්‍රමුඛ නියෝජිතයෙකු වූ ඇලෙක්සි රයිකොව්

5 බොාහෝ සෙයින් තොරතුරු සම්පාදනය කරමින් ඉතා සංකීර්න තර්කනයක් වර්ධනය කල යුතු වන හෙයින්, මේ ලිපියේ රාමුව තුලදී මම, මුදල්, කර්මාන්ත, ධාන්‍ය අත්පත් කරගැනීම, ධාන්‍ය අපනයනය බදු පිලිබඳ ක්ෂේත්‍රයන්හි අපේ පිලිවෙත ගැන සංයුක්ත විශ්ලේශනයක් කිරීමට උත්සාහ නොකරමි. වර්තමාන වෙලඳ හා කාර්මික අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ, අපේ මූල්‍ය ප්‍රතිපත්තියේ ස්වයංපූරිත ස්වභාවය ය; එනම්, එය පොදු ආර්ථික සැලසුමකට යටත් වූවක් නොවීම ය යන්න ගැන අද කිසිදු සැකයක් තිබිය නොහේ. රාජ්‍ය ආර්ථිකයේ මූලික අංශවල සම්බන්ධීකරනයක් නොපැවතීම හේතුකොට ගෙන, කර්මාන්තයේ හුදෙකලා සාර්ථකත්වයන්ට එක්කෝ බාධා පැමිනවෙයි. නැතහොත් ඒවා බාධාවන්ට මුහුන දීමේ අනතුර දරා සිටී. එසේම නව ආර්ථික ප්‍රතිපත්තියේ ස්වභාවය නිසා ම, රාජ්‍ය කර්මාන්තයේ හා රාජ්‍ය වෙලඳාමේ සිදුවන හැම බාධා කිරීමක ම අර්ථය වන්නේ රාජ්‍ය ප්‍රාග්ධනයේ වියදමින් පෞද්ගලික ප්‍රාග්ධනය වර්ධනය වීම ය. මේ මොහොත ප්‍රධාන වශයෙන් ගුනාංගීකරනය වී ඇත්තේ, කෘෂිකාර්මික හා කාර්මික භාන්ඩවල මිලෙහි වැඩෙමින් පවතින අසමතුලනය මගින්, නවආර්ථික ප්‍රතිපත්තියේ පදනම වූ ගොවියා සම්බන්ධයෙන් ගත් කල, එම ආර්ථික ප්‍රතිපත්තිය අහෝසි කරනු ලැබ ඇත්තේ ය යන කරුනෙනි. තමන්ට ක්‍රය ශක්තියක් නොමැත්තේ ආඥා මගින් වෙලඳාම තහනම් කොට ඇති නිසාද නැතහොත් ගිනිපෙට්ටි දෙකක් ධාන්‍ය රාත්තල් 36කට මිලෙන් සමාන වන නිසාද යන්න ගැන ගොවියා සැලකිලිමත් නැත. කර්මාන්තයට ජීවිතයත් මරනයත් පිලිබඳ ප්‍රශ්නයක් වන සංකේන්ද්‍රනය, හැම පියවරකදී ම, 'දේශපාලනික ' (එනම් , ප්‍රාදේශීය) අවශ්‍යතා සමග ගැටෙමින් කාර්මික භාන්ඩවල මිල නැගීමට වඩා බෙහෙවින් හෙමින් ගාටන සැටි පිලිබඳ චිත්‍රයක් ඇඳීමට මම දැන් පටන් නොගනිමි. එහෙත්, සම්පූර්න ප්‍රශ්නය සම්බන්ධයෙන් අතිශය පැහැදිලි චිත්‍රයක් ලබා දෙන, ගැටලුවේ අනු අංගයක් ගැන සඳහන් කිරීම අවශ්‍ය වෙතැයි මට හැඟේ . සැලසුමක්, ක්‍රමවත්කමක් හා නිවැරදි පක්ෂ පිලිවෙතක් නොමැති කමින් පක්ෂය විසින් කෙරෙන ආර්ථික මෙහෙයුම කවර නම් පරිහානියකට පාත්‍ර වේද යන්න එයින් පෙන්නුම් කෙරේ.

පක්ෂ සංවිධාන කීපයක් අතින් සිදු කෙරෙන කාර්මික හා වෙලඳ ප්‍රචාරක දැන්වීම් පිලිබඳ තැතිගන්වන සුලු අවභාවිතයන්, දොලොස්වැනි සම්මේලනයේදී පෙන්නුම් කරනු ලැබුනේ ය.[10] මේ අවභාවිතයන්හි සාරභූත දේ කවරේද? හෘදයංගමභාවය හා ස්විනිශ්චිතභාවය හා අරපිරිමැස්ම හා වගකීම පිලිබඳ හැඟීම ද අතින් ඉහල මට්ටමක් උගන්වමින් ආර්ථික සංවිධානවලට නායකත්වය සම්පාදනය කිරීමේ නිරත වියයුතු යැයි සැලකුනු ඇතැම් පක්ෂ සංවිධාන අතින් තත්‍ය වසයෙන් සිදුවූයේ ඒවා අවභාවිත කරනු ලැබීම ය; ඒ සඳහා ආන්ඩුවට වංචා කිරීමේ කර්කෂ හා අතිශය නාස්තිකාර වැඩවල යෙදී ගැනීම ය, යන්න එහිදී පෙන්නුම් කෙරුනේය. මෙය සිදු කෙරුනේ, නීති විරෝධී වුවද යථා අර්ථයක් ගැබ් කර ගත හැකි වූ අයුරින්, පක්ෂ සංවිධාන වෙනුවෙන්, කාර්මික ව්‍යවසායන් මත සරලව බද්දක් පැනවීම වෙනුවට, කඩදාසි, අකුරු ඇමිනීමේ ශ්‍රමය හා එවැනි අනිකුත්දේ නාස්තිකාර ලෙස යොදා ගැනුන විකාර සහගත ප්‍රචාරක දැන්වීම් බලහත්කාරයෙන් ලබා ගැනීමට යොමු වී ගැනීමෙනි. මේ සියල්ලෙහි දී සිදු වූ වඩාත්ම කුපිත කරවන සුලු දෙය වූයේ, කම්හල් කලමනාකරුවන් විසින් මේ කොල්ලකෑමට ප්‍රතිරෝධය නොදැක්වීමට තීන්දු කර සිටීමත්, ඒ වෙනුවට ඔවුන්, නාගරික කමිටුවේ ලේකම්ගේ නියත අන පරිදි යම්, 'කොමියුනිස්ට්වාදීන්ගේ සගයෙකුගේ ' පත්‍රයක, පිටු භාගයක හෝ මුලු පිටුවක ප්‍රචාරක දැන්වීමක් සඳහා යටහත්පහත්ව ගෙවීම් කිරීමත් ය. යම් හෝ කලමනාකරුවකු මෙය ප්‍රතික්ෂේප කිරීමට තරම් නිර්භය වූයේ නම්, එනම් පක්ෂ වගකීම පිලිබඳ ඔහුගේ අව්‍යාජ අවබෝධය ප්‍රදර්ශනය කෙරුනේ නම්, වහාම ඔහු 'පක්ෂ නායකත්වය ' පිලිගැනීමට අසමත් වූවන්ගේ ගොඩට ඇද දමනු ලැබෙන්නේ, ඒ හා බැඳුනු සියලු ආනිශංස සමග ය. ඇතැම්විට යම් කීප පොලක හැරුනු විට, මේ ක්ෂේත්‍රයේ කටයුතු දොලොස්වැනි සමුලුවෙන් පසු හොඳ වූයේ නැත. මෙම වර්ගයේ ආර්ථික 'නායකත්වයක්' ලද විට , ඒ ගැන අහක බලා ගැනීමට හෝ, එවැනි ප්‍රපංචයකට ඇත්තේ අඩු වටිනාකමක් යැයි සැලකීමට, යමෙකුට, නියම ආර්ථික කටයුතු කවරේද යන්න ගැන වැටහීමක් වත් වගකීම පිලිබඳ හැඟීමක්වත් අවශ්‍ය නොවේ.

6. සිය ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන විධික්‍රමහා ප්‍රතිඵල පිලිබඳව කලමනාකරුවන් මෙහෙයවීම හා ඔවුන් මත අව්‍යාජ වගකීමක් පිහිටුවීම පිලිබඳව පක්ෂයට පවතින අධීක්ෂන හා නායක බලපෑම යලි පිහිටුවීම සඳහා සමස්ත පක්ෂය සමග දොලොස්වන සමුලුව ප්‍රයත්න දැරුවේය, යන්න ගැන සැකයක් නැත. එහෙත්, අර්ථභාරයන් අවම වී ඇත්තේ මේ (ආරම්භකත්වය, අරපිරිමැස්ම, වගකීම යනාදියඇතුලු) දිසාවේ දී ය. කවර හෝ අව්‍යාජ මග පෙන්වීමකින් හෝ පරිපාලනයකින් තොරව, තමන්ගේ වැඩ කටයුතු පෙර පරිදිම පවත්වාගෙන යා හැකි වන අයුරින් , පක්ෂ 'නායකත්වයට' වඩාත්ම කැමැත්තෙන් යටත්ව සිටින්නාවූ (විකාර සහගත ප්‍රචාරක දැන්වීම් හා අනිකුත් මංකොල්ලයන්ගේ ස්වරූපයෙන්) නායකයන්ගෙන් සමන්විත බොහෝ ආර්ථික සංස්ථාවල නාස්තිකාර භාවය හා ගිනුම්ගත නොහැකිභාවය හේතු කොට ගෙනය, මහජනතාවගේ අතෘප්තිය ප්‍රාථමික වසයෙන්ම පැනනැගී ඇත්තේ.

7. මධ්‍යමකාරක සභාවේ පසුගිය සැසිවාරය විසින්, වියදම් අඩු කිරීමේ හා මිල පහත හෙලීමේ අතිවිශේෂ කොමිසමක් පත් කරන ලදී.[11] මේ කරුනම, අපේ ආර්ථික කටයුතුවල වැරදි සහගත බව පිලිබඳ සාක්ෂියකි. මිල කිරීම් සම්බන්ධ සියලු අංශ කාලෝචිත ආකාරයකින් විශ්ලේෂනය කල දොලොස්වන සමුලුවේදී නිෂ්පාදන පිරිවැය හා වානිජ වැය කිරීම් අඩු කිරීමේ යෝජනා ඒකමතිකව සම්මත කෙරුනි.[12] මේ යෝජනාවන් ක්‍රියාවට දැමියයුතු වූ සංවිධානයෝ ඇති තරම් ප්‍රකටය හ: ඒ නම්, මහජනතාවගේ ආර්ථිකය පිලිබඳ සුපිරි සෝවියට් සභාව, ගොස්ප්ලෑන්, ශ්‍රමය ආරක්ෂාව පිලිබඳ සෝවියට් සභාව සහ නායක දේශපාලන අවයවය ලෙස දේශපාලන මන්ඩලය යන ඒවාය. මේ තතු යටතේ අතිවිශේෂ කොමිසමක් පත් කිරීමේ තේරුම කුමක් ද? හැකි අවම පිරිවැයකින් නිෂ්පාදනය කිරීම සෘජු ලෙසම භාරව පවත්නා සංස්ථා, අවශ්‍ය ප්‍රතිඵල අත් කර දීමට අසමත් වීය යන්න එකම හේතුව යි. අතිවිශේෂ කොමිසමකින් අත්කරගත හැකි දේ කවරේ ද? පැත්තක සිට ක්‍රියාත්මක වෙමින්, එතැනක හෝ මෙතැනක කටයුතු සිදුවීමට සැලැස්වීමටත්, නිවැරදි දිසාවට තල්ලුවක් දීමටත් සමහර පියවර අවධාරනය කිරීමටත් අවසාන වශයෙන් පරිපාලනමය ලෙස නොයෙකුත් මිල පහල හෙලීම් සඳහා අන දීමටත් ඊට පුලුවන් වනු ඇත. එහෙත් දේශපාලනික බලපෑමේ පීඩනය යටතේ ආන්ඩු සංස්ථා මගින් කෘත්‍රිම ලෙස මිල පහත බැස්සවීම් බොහෝ විට අතර මැදියන් පොහොසත් කරනු ඇති බවත් ගොවිජන වෙලඳපොල සම්බන්ධයෙන් මොනම බලපෑමක් වත් නොකරනු ඇති බවත් ඇති තරම් පැහැදිලිය. කතුර වැසීම,[13] එනම් යථා හා අව්‍යාජ ස්මිච්කාවක් කරා ප්‍රවිෂ්ටවීම , කල හැක්කේ ඓන්ද්‍රීය වශයෙන් පමනි: ඒ නම්, දැඩි ලෙස සැලසුම් කෙරුනු සංකේන්ද්‍රනයක්, බලෙන් ඇතිකෙරුනු නොව ඓන්ද්‍රීය වූ නිෂ්පාදන පිරිවැය පහත හෙලීමක්, තමන්ගේ ආර්ථික කටයුතු සම්බන්ධ විධික්‍රම හා ප්‍රතිඵල පිලිබඳ ව කලමනාකරුවන්ගේ තත්‍ය වගකීම සහතික කිරීමක් මගිනි. සැලසුම්ගත හැඩගැස්මක් සඳහා ක්‍රියාත්මක වීමේ වැදගත්කම නොතකන පිලිවෙතක්, එහිම නොවැලැක්විය හැකි විපාක වල බලපෑම මගින්, නැවතත් යුද කොමියුනිස්ට්වාදය යටතේදී මෙන්, මිල හැසිරවීමට දරන ප්‍රයත්නයක හඬ නගා කියැවෙන හා එගමන්ම විනාශකාරී වන සනාථනය වනාහී මිල පහත හෙලීම සඳහා කොමිසමක් පත් කරනු ලැබීමයි. එකක් අනෙක කරා මෙහෙයවෙන්නේ, ආර්ථිකය සුවපත් කරනවා වෙනුවට එය අන්තරායේ හෙලමිනි.

කෘෂිකාර්මික හා කාර්මික මිල ගනන්වල අපසරනය නිදර්ශනය කිරීම සඳහා සමාන රූප සටහනක් ඔහු ඉදිරිපත් කල 12 වැනි පක්ෂ සම්මේලනයේ දී ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයෙන් ආභාසය ලබන "කතුරු අර්බුදය" පිලිබඳ ප්‍රස්ථාරයක්. [ඡායාරූපය ස්වේච්ඡා Marek / CC BY-SA 3.0] [Photo by Volunteer Marek / CC BY-SA 3.0]

8. භයානක මිල විසමතාව, යථා ආර්ථික සම්බන්ධතාවලට නොගැලපෙන හෙයින් බර පැටවීමක් බවට පත් ඒකීය බදු ක්‍රමයේ බරට එකතුවී, ගොවි ජනතාව අතර යලි වතාවක් ආන්තික අතෘප්තියක් උද්ගත කර ඇත. මෙය කම්කරුවන්ගේ මනෝගතීන්හි සෘජුව හා වක්‍රව ප්‍රකාශිත වෙයි. අවසානයේ දී කම්කරුවන්ගෙන් වෙනස් වූ මනෝගතිය, පක්ෂයේ පහල සාමාජිකත්වය අතර පැතිරෙයි. විරුද්ධ කන්ඩායම් ජීවමාන වී ශක්තිමත් වෙයි. ඔවුන්ගේ අසහනය තියුනු වී ඇත. මේ අනුව ස්මිච්කාව: ගොවීන්ගෙන් පටන් ගෙන කම්කරුවන් හරහා පක්ෂයට කා වැදී එහි පසුපස අපට පෙන්නුම් කර ඇත. මෙය කල් තියා දැක නොගත් හෝ මෑතක් වන තුරු ඊට දෑස් වසා ගෙන සිටි කවරකුට වුවද මෙය කදිම පාඩමකි. කේන්ද්‍රීය ප්‍රශ්නයට විසඳුමක් නොමැති වේ නම් ස්මිච්කාවේ පොදු උද්ඝෝෂනාත්මක සූත්‍ර ගෙන එනු ඇත්තේ එක එල්ලේම ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය; කේන්ද්‍රීය ප්‍රශ්නය නම් රාජ්‍යමය නිශ්පාදනයේ සහේතුකත්වය හා කතුර පියවීම ය. දොලොස්වැනි සමුලුව අභියස දේශපාලන මන්ඩලය තුල සිදුවූ තියුනු ගැටීමේ සාරය එයයි. මෙම තර්කනයට, යථා ජීවිතයේ දී, නොබිඳිය හැකි පිලිතුරක් ලබා දී තිබේ. ආර්ථික සාධක අතර අන්තර් ප්‍රතික්‍රියා පිලිබඳ නිවැරදි ගනන් බැලීමක ප්‍රවිෂ්ටයක් හා මූලික ආර්ථික ගැටලු පිලිබඳ සැලසුම්ගත ප්‍රවිෂ්ටයක් තිබූයේ නම්, අප විසින් තවමත් විසඳීමට ප්‍රයත්න දරා නැති මේ කුරිරු පැනය තුන් කාර්තුවකින් නොවේ නම් හරි අඩකින්වත් මග හැර ගැනීමට ඉඩ තිබුනි.

9. කලමනාකරුවන් ඉහල සිට පහලට ඉතා සැලකිල්ලෙන් පෞද්ගලිකවම තෝරා ගැනීීම, නව මධ්‍යමකාරක සභාවේ එක් ඉතා වැදගත් කර්තව්‍යයක් බව, දොලොස්වැනි සමුලුව සටහන් කලේ ය.[14] කෙසේ වුවද, පුද්ගලයන් තෝරා ගැනීම පිලිබඳව සංවිධායක කමිටුවේ අවධානය යොමු කරනු ලැබූයේ මුලුමනින් වෙනස් දිසාවටය. පක්ෂයේ සාමාජිකයන් පත් කිරීමේදී, ඉවත් කිරීමේදී හා අන් තැනක පිහිටුවීමේදී අන් සියල්ලටමත් වඩා අගය කොට තැකුනේ, සංවිධායක මන්ඩලය හා මධ්‍යම කාරක සභාවේ ලේකම් මඬුල්ල විසින්, රහසිගත හා නිල නොවන ලෙස මුත්, බෙහෙවින් බලධාරී ලෙස පවත්වා ගෙන යනු ලබන පක්ෂාභ්‍යන්තර තන්ත්‍රය නඩත්තු කිරීමට එය කවර ප්‍රමානයකින් උදව් වන්නේ ද නැතහොත් විරුද්ධ වන්නේද යන්නයි. දොලොස්වැනි සමුලුවේදී ප්‍රකාශ කෙරුනේ, මධ්‍යම කාරක සභාව 'ස්වාධීන '[15] පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු බවයි. වෙනත් අතිරේක අර්ථ කථනයක් මේ වචනයට දැන් අවශ්‍ය නොවේ. මිනික්බිතිව, ගබ්කොම් (ප්‍රාදේශීය කමිටු) ලේකම්වරුන් ද ඉන් එහා ඉතා කුඩා පාක්ෂික කවය දක්වාම, ඒවායේ ඉහල සිට පහලට ලේකම්වරුන්ද පත් කිරීමෙහි ලා ප්‍රධාන ලේකම් මන්ඩලය[16] විසින් මෙම 'ස්වාධීනත්වය' පිලිබඳ ප්‍රවර්ගය උපයෝග කරන ලදී. ඉහත සඳහන් අර්ථයෙන් ස්වාධීන වූවන් ලෙස ලේකම් මන්ඩලය විසින් හඳුන්වනු ලැබූ සහෝදරවරුන් අතරින් පක්ෂ නිලධරයන් තෝරාගැනීමේ ක්‍රියාදාමය මෙතෙක් නොඇසූ විරූ පරිශ්‍රමයකින් ඉදිරියට ගමන් කලේය. මෙවැනි සිය ගනනක් ප්‍රධාන සිදුවීම් ගැන සමස්ත පක්ෂය ම දන්නා හා කතාබහට ලක්කරන තතු යටතේ මෙහි ලා වෙන් වෙන් නිදර්ශන ඉදිරිපත් කිරීම අනවශ්‍ය වෙයි. එලඹෙන මාස වලදී, සත්‍ය වශයෙන්ම කඩාකප්පල්කාරී වන මෙම කටයුතුවල බරපතල විපාක අපට අත්විඳින්නටසිදුවනු නිසැක යුක්‍රේනය ගැන පමනක් මම මතක් කරමි.[17]

ට්‍රොට්ස්කිගේ සමීපතම සම චින්තකයෙකු වූ ක්‍රිස්ටියන් රකොව්ස්කි 1923 ජූලි මාසයේදී සෝවියට් යුක්‍රේන ආන්ඩුවේ ප්‍රධානියා ලෙස ඔහුගේ තනතුරෙන් ඉවත් කරන ලදී.

10. යුද කොමියුනිස්ට්වාදයේ අතිශය තියුනු අවස්ථාවලදී පවා, පක්ෂයේ ඉහලින් කෙරෙන පත් කිරීම් දැන් කෙරෙන ප්‍රමානයෙන් දහයෙන් එක් පංගුවක් තරම්වත් ප්‍රචලිතව පැවතියේ නැත. ගබ්කොම් ලේකම්වරුන් පහලින් පත් කිරීම දැන් රීතිය වී තිබේ. මෙයින් නිර්මානය කෙරී පවතින්නේ, සාරභූත වශයෙන් ම ලේකම්වරුන්, ප්‍රාදේශීය සංවිධානයෙන් ස්වාධීනව සිටීමේ තත්වයකි. ඔහු විරුද්ධතාවන්ට, විවේචනයට හෝ අතෘප්තියට මුහුන දේ නම්, මධ්‍යස්ථානය මත යැපී කරන මාරු කිරීම් සඳහා ඔහුට අවකාශය ඇත. දේශපාලන මන්ඩලයේ එක් සැසිවාරයකදී තෘප්තියෙන් සඳහන් කරනු ලැබූයේ, පලාත් එකට එක්කරනු ලැබූ විටදී, ඒකාබද්ධ කෙරෙන සංවිධානවල උනන්දුව දැල්වුනු එකම ප්‍රශ්නය වූයේ ඒකාබද්ධ ගබ්කොම්හි කවුරු ලේකම් වේද යන්න ගැන වීම බවයි. මධ්‍යස්ථානයෙන් ස්වාධීන වූ ලේකම්, එම පලාතේ සීමාව ඇතුලත වෙනත් පත්කිරීම් හා ඉවත් කිරීම් වල කාරකයා වූයේ ය. ඉහල සිට පහලට ගොඩනගන ලද්දා වූ ද වඩවඩාත් ස්වයංපෝෂිත වන්නා වූ ද මෙම ලේකම් මන්ඩලීය තන්ත්‍රය, තම අතට සියලු නූල් ගොනු කර ගනී. පක්ෂ සංවිධානය තථ්‍ය වශයෙන් ගොඩ නැගීම කෙරෙහි, පක්ෂ මහජනතාවගේ සහභාගිත්වය එන්න එන්නම අතුරු සිදුවීමක් වෙයි. පසුගිය අවුරුදු එක හමාර තුලදී නිශ්චිත ලේකම් මන්ඩලීය මානසිකත්වයක් ගොඩනගනු ලැබ පවතී: එහි ප්‍රධාන ලක්ෂනය වන්නේ අත පත් ප්‍රශ්නයෙහි අන්තර්ගතය ගැන වැටහීමකින් තොරව එක් එක් හා සියලු ප්‍රශ්න විසඳීමෙහි ලා ලේකම්ට හැකියාව ඇතැයි විශ්වාස කිරීමයි. තමන් සෝවියට් සංවිධාන වල නායකත්වය දරද්දී කිසිදු සංවිධානාත්මක, පරිපාලන හෝ වෙනත් හැකියාවක් ප්‍රදර්ශනය නොකල සහෝදරවරුන්, තමන්ට ලේකම් ධුරයක් ලැබුන වහාම ආර්ථික, මිලිටරි සහ අනෙකුත් ගැටලු පිලිබඳව අධිකාරවත් ලෙස තීරන ගන්නා අයුරු අපට දැකිය හැකිය. එවැනි භාවිතයක් වඩාත් හානි දායක වන්නේ, එයින් වගකීම පිලිබඳ හැඟීම දුර්වල හෝ විනාශ කරනු ලබන හෙයිනි.

11. දසවැනි පක්ෂ සමුලුව [1921 මාර්තුවේදී ] පැවැත්වූයේ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ලාංඡනය යටතේය.[18] සම්පූර්න වශයෙන් සංවර්ධනය වූ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය හා ආඥාදායක තන්ත්‍රයක් අතර පවතින නොපෑහිය හැකි බව අනුව සැලකූ කල, කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු වස් එවකදී පැවැත්වුනු බෝහෝ කතා, මට පෙනී ගියේ, අතිශයෝක්තියට නැංවුනු හා යම් පමනකට දෙඩවිලි සහගත වූ බවයි. එහෙත් යුද කොමියුනිස්ට්වාදී යුගයේදී සිදු කෙරුනු කඩාපැනීමේ වැඩ ක්‍රමය වෙනුවට, වඩා පලල් සහ වඩා ජීවමාන පක්ෂ සමූහ සහභාගිත්වයක් යොදා ගත යුතුව පැවතියේ ය යන්න ඉතා පැහැදිලි විය. කෙසේ වුවද, දොලොස්වන සමුලුවට පෙරදී පවා මූලික වශයෙන් වර්ධන වී පැවතියා වූද, සමුලුවෙන් පසුව වඩා දැඩි ලෙස ප්‍රතිෂ්ඨා කෙරුනු හා පූර්න ලෙස හැඩ ගැසුනා වූ ද තන්ත්‍රය, යුද කොමියුනිස්ට්වාදයේ අතිශය දරුනු කාලපරිච්ඡේදයේදී පැවති තන්ත්‍රය ට ද වඩා කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් බෙහෙවින් දුරස්ත වෙයි. ලේකම්මන්ඩලීය තෝරා පත් කිරීම් ක්‍රමය යොදා ගන්නා පක්ෂ තන්ත්‍රයේ නිලධාරීකරනය නෙඇසූ විරූ මට්ටමකට නැග ඇත. සිවිල් යුද්ධයේ කුරිරුතම කාල වලදී ද පක්ෂයේ සංවිධාන තුල හා පුවත්පත්වල පවා විශේෂඥයන් යොදාගැනීම ගැන පක්ෂ හමුදාවක් වෙනුවට නිත්‍ය හමුදාවක් ගැන, විනය ගැන හා තවත් දේ ගැන අප තර්ක විතර්ක කලේ නම්, දැන් සත්‍ය වශයෙන්මප පක්ෂයට කරදරවන ගැටලු පිලිබඳව එවැනි විවෘත අදහස් හුවමාරුවක සේයාවක් වත් නොපවතී. රාජ්‍යයේ හෝ පක්ෂයේ තන්ත්‍රයන්හි කොටස් බවට පත් පක්ෂ ක්‍රියාකාරීන් පුලුල් තට්ටුවක් නිර්මානය කෙරී පවතී; ඔවුහු පක්ෂය මත, අඩු වශයෙන් ප්‍රසිද්ධියේ පලකලහැකි මත පවා දරා සිටීම සරලවම ප්‍රතික්ෂේප කරති; පක්ෂ මතය නිර්මානය කෙ​රෙන්නේත් පක්ෂ තීරන ගැනෙන්නේත් ලේකම් මන්ඩලීය ඉහල ස්ථරය විසින් යැයි ඔවුන් සලකන බව පෙනේ. තමන්ගේම අදහස් මැඩගෙන සිටින මෙම තට්ටුවට යටින් පුලුල් පක්ෂ මහජනතාවෝ වෙති. හැම යෝජනාවක්ම ඔවුන් හමුවට එන්නේ ඉල්ලීමක හෝ අනදීමක ස්වරූපයෙනි. ඇතැම්විට පරිපූර්නව ම යුක්ති යුක්ත වන්නා වූත් ඇතැම්විට ඒ මොහොතේ පැන නගින කරුනු හේතුවෙන් මතු කෙරුනා වූත් දැවැන්ත අතෘප්තියක් පක්ෂයේ මෙම තට්ටූන් අතර පවතී. මෙම අතෘප්තිය, පක්ෂ සම්මේලනවලදී සිදුකරන විවෘත අදහස් හුවමාරුවක් මගික් හෝ පක්ෂ සංවිධානය මත පක්ෂ මහජනතාව යොදන පීඩනයක් මගින් (පක්ෂ කමිටු හා ලේකම්වරුන් ඡන්දයෙන් තෝරාගැනීම යනාදී) ප්‍රකාශයට පත් නොකෙරේ. ඒ් වෙනුවට ඒවා රහසේ වැඩී, ඒනිසාම අභ්‍යන්තර සැරවගැලීමක් බවට පත්වෙයි. පක්ෂයේ නිල, එනම්, ලේකම් මන්ඩලීය තන්ත්‍රය විසින්, මුලුමනින්ම පාහේ ඒකමතික භාවයක් දිනා ගැනුනු සංවිධානායක වඩාත් පෘථුල චිත්‍රයක් මවා පාන තතු යටතේ ම, ඉතාම තියුනු හ​ෙ ඉතා වේදනාාකාර ප්‍රශ්න සම්බන්ධ, පිලිබිඹු කිරීම් හා විනිශ්චයන් නිල පක්ෂ තන්ත්‍රය මගහැර යමින් පක්ෂය තුල නීති විරෝධී කාන්ඩ ගැසීම් වලට තතු සකසයි.

ලෙනින් සහ ට්‍රොට්ස්කි (මැද) 1921 මාර්තු මාසයේ මොස්කව්හි පැවති රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ 10 වැනි පක්ෂ සම්මේලනයට නියෝජිතයන් සමඟ.

12 පැරනි බොල්ෂෙවිකයන්ගේ දිසාවට මාවතක් දොලොස්වන සමුලුව මගින් නිල වශයෙන් ස්ථාපිත කෙරුනි.[19] පක්ෂයේ විප්ලවවාදී උත්තේජනය හා එහි සංවිධානාත්මක කොඳුඇට පෙල වනාහී පැරනි, නීතිවිරෝධී සමයේ බෝල්ෂෙවික් කේඩරය බව මුලුමනින් පැහැදිලිය. සියලු යථා දෘෂ්ටිවාදාත්මක හා පක්ෂ පියවර මගින්, නිසැකවම, අවශ්‍ය සුදුසුකම් සහිත පැරනි බොල්ෂෙවිකයන් නායක පක්ෂ තනතුරු සඳහා තෝරා ගැනීමට උදව් වීම අප විසින් කරනු ද කල යුතුද වේ. එහෙත්-දැන් තෝරා ගැනීම් සිදු කරන ක්‍රමය - ඉහලින් තනතුරු දීමේ ක්‍රමය වඩාත් විශාල අන්තරායක් ගැබ් කරගනී. මේ ක්‍රමය අනුව 'ස්වාධීනත්වයේ ' මිනුම් දන්ඩට අනුව පැරනි බොල්ෂෙවිකයෝ, ඉහල මට්ටමේදී කාන්ඩ දෙකකට බෙදී සිටිති. වර්තමාන පක්ෂාභ්‍යන්තර තන්ත්‍රයේ සියලු විකෘතීන්ටද ආර්ථිකය ගො ඩනැගීමෙහි ලා එහි බරපතල වැරදිවලටද, සමස්ත පක්ෂයෙහිම ඇස් හමුවේ, එවන්වූ පැරනි බොල්ෂෙවික්වාදය වග කිව යුත්තා බවට පත් කෙරී ඇත. අප පක්ෂයේ වැඩිමනත් බහුතරය සමන්විතවන්නේ , නීතිවිරෝධී කාලයේ පන්නරය නොමැති තරුන විප්ලවවාදීන්ගෙන් හෝ අනෙකුත් පක්ෂවලින් පැමින සාාමාජිකත්වය ලැබූවන්ගෙන් බව අප විසින් අමතක කල යුතු නොවේ. පැරනි බොල්ෂෙවික්වාදය සමග තමන් අනන්‍ය කර ගන්නා ස්වයංපූරිත ලේකම් මන්ඩලීය තන්ත්‍රය කෙරෙහි වැඩෙන අතෘප්තිය, ඒ ආකාරයෙන්ම සිද්ධීන් තව වැඩි දියුනු වුවහොත් දැන් වන විට පන් ලක්ෂයක් පමන වන අප පක්ෂය තුල පැරනි නීති විරෝධී සමයේ බොල්ෂෙවිකයන්ගේ දෘෂ්ටිවාදාත්මක අධිකාරය හා සංවිධානාත්මක නායකත්වය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වඩාත් බරපතල ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ තිබේ.

1923 අප්‍රේල් මාසයේදී මොස්කව්හි පැවති රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ 12 වැනි පක්ෂ සම්මේලනයේ නියෝජිතයින් සමඟ ලෙව් කමනෙව් සහ ලියොන් ට්‍රොට්ස්කි. නියෝජිතයින් අතර අනාගත වාම විරුද්ධවාදී නිකොලායි මුරලොව් (ට්‍රොට්ස්කි පිටුපසින් වාඩි වී සිටි) ද විය.

13. ආර්ථිකය ගොඩනැගීමෙහි ලා අත්කර ගන්නා සාර්ථකත්වයන් ගෙන් ස්වාධීනව, කම්කරු රාජ්‍යයට ආදායම් ජනනය කර ගැනීම් වස්, වොඩ්කා[20] අලෙවිය මත පාදක කොට අයවැයක් සැකසීම සඳහා දේශපාලන මන්ඩලය දැරූ උත්සාහය අසුභ ලකුනකි. ආර්ථික ක්ෂේත්‍රයේ වැඩකටයුතුවලට පමනක් නොව පක්ෂයටමත් කුරිරුතම පහරක් විය හැකි වූ මෙම උත්සාහය නතර කෙරුනේ, මධ්‍යම කාරකසභාව තුල හා එහි සීමාවන්ගෙන් පිටත පැනනැගි තීරනාත්මක විරෝධය පෑමක් තුලින් පමනි. කෙසේවතුදු , වොඩ්කා තව දුරටත් නීත්‍යානුකූල කිරීම පිලිබඳ අදහස තවමත් මධ්‍යම කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ නැත. වඩවඩාත් පක්ෂයෙන් ස්වාධීනවන ලේකම් මන්ඩලීය සංවිධානයේ ස්වයංපූරිත ස්වභාවයත්, පක්ෂයේ සාමූහික නිර්මාන කටයුතු වල සාර්ථකත්වයෙන් හෝ අසාර්ථකත්වයෙන් හැකිතාක් ස්වාධීනව අයවැයක් නිර්මානය කිරීමේ ප්‍රවනතාවත් අතර අභ්‍යන්තර සම්බන්ධතාවක් පවතින්නේය යන්න ගැන මොනම සැකයකටවත් ඉඩක් නැත. වොඩ්කා නීත්‍යානුකූල කිරීම වනාහි පක්ෂයට අපරාධයක් වන්නේ ය යන්න ගැන නොතැකීම් සහගත ආකල්පයක් ගැනීමේ උත්සාහය ද මේ මරනීය සැලැස්ම සාකච්ඡා කිරීමේ නිදහස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මධ්‍යම පුවත්පතෙහි කර්තෘ මන්ඩලයෙන් සහෝදරයෙකු නෙරපා හැරීම ද පක්ෂ ඉතිහාසයේ අතිශය ගර්හිත මොහොතක් ලෙස සදා පවතිනු ඇත.

ලියොන් ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයෙන් පසු සිවිල් යුද්ධයේදී රතු හමුදාවට නායකත්වය දුන්නේය

14. ආර්ථිකයේ අක්‍රමවත් මෙහෙයුමේත් ඉහත ගුනාංගී කරනය කරන ලද පක්ෂාභ්‍යන්තර තන්ත්‍රයේත් දරුනු බලපෑමට හමුදාව නතු කෙරුනේද තව දුරටත් නතු කෙරෙන්නේ ද වේ. හමුදාව සම්බන්ධයෙන් දේශපාලන මන්ඩලය විසින් ගන්නා ලද තීන්දු හැමවිටම, තත්කාලීන හා වේල පිරිමහින ස්වභාවයක් දැරීය. දේශපාලන මන්ඩලය විසින් ගන්නා ලද තීන්දු හැමවිටම ආනුෂංගික හා වේල පිරිමහින ස්වභාවයක් දැරී ය. දේශපාලන මන්ඩලය, ගනනාවක් විවිධ ප්‍රශ්නවලට මැදිවී සිටිද්දී, හමුදාවක් ගොඩනැගීමේ මූලික ප්‍රශ්න, එය මිලිටරි මැදිහත්වීම් සඳහා සූදානම් කිරීම, යනාදිය එය විසින් කිසිවිටෙකත් විභාග කෙරුනේ නැත; අනෙකුත් ප්‍රශ්න හේතුකොට හමුදාව සම්බන්ධ එකද ප්‍රශ්නයක් වත් සියලු විස්තර සහිතව හා සැලසුම් ගත හා ක්‍රමානුකූල ආකාරයකට විමර්ශනය කිරීමේ අවස්ථාවක් ඊට පැවතියේ නැත. ආර්ථික හා ජාත්‍යන්තර සිද්ධීන් හේතුකොට, ඉතාම කෙටි කාල සීමාවක් තුලදී පවා, හමුදාව සම්බන්ධයෙන් , එකිනෙකට ප්‍රතිවිරුද්ධ තීන්දු ගැනීමක්, දේශපාලන මන්ඩලයෙන් පැන නැංවීය. මේ කරුන සම්බන්ධයෙන් අනවශ්‍ය පමන ගැඹුරට නොයනු පිනිස එක් කරුනක් පමනක් සඳහන් කරමි. කර්සන් අවසාන නිවේදනය[21] නිකුත්වූ සමයේදී, හමුදාවේ සංඛ්‍යාව ලක්ෂයකින් හෝ දෙලක්ෂයකින් ඉහල නැංවීමේ ප්‍රශ්නය දෙවතාවක්ම දේශපාලන මන්ඩලය හමුවේ මතු කෙරුනි. මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සඳහා දැඩි ආයාසයක් දරන්නට සිදුවිය. ජූලි මාසයේදී, මා නිවාඩුවක් ගතකරමින් සිටිය දී , හමුදාවේ සංඛ්‍යාව පනස්දහසකින් හෝ ලක්ෂයකින් අඩු කිරීමේ සැලැස්මක් සැකසීම සඳහා මධ්‍යම කාරක සභාව විප්ලවවාදී මිලිටරි කවුන්සලයට (රෙව්වෝන්සෝවියට් මන්ඩලය) නිර්දේශ කලේය. ජූලි හා අගෝස්තු මාසවලදී, අනදෙන මන්ඩලය තදියමේ මේ වැඩෙහි නිරත විය. අගෝස්තු අවසානයේ ජර්මනියේ සිදුවීම් නිසා[22] එම නිර්දේශ අවලංගු කොට, ඒවෙනුවට හමුදාව ශක්තිමත් කිරීමේ සැලසුමක් සැකසීමේ නියෝග නිකුත් නිකුත් කෙරුනි. සංකීර්න හා අසීරු සැලසුම් කිරීමක් අවශ්‍ය කෙරෙන එවැනි හැම නියෝගයක් මගින් ම, මධ්‍යස්ථානයේ සිට ඈත එපිට දිස්ත්‍රික්කවලට යැවෙන අනුපූරක යෝජනා, නිර්දේශ සහ ප්‍රශ්න මාාලාවක් උද්භව කෙරෙයි. දිස්ත්‍රික්කවල නිර්මානය කෙරුනු අදහස වූයේ රෙව්වෝන් සෝවියට් මන්ඩලයට සිය කටයුතු පිලිබඳ සැලසුම්ගත වැටහීමක් නැත යන්නයි. මෙම තීන්දු සඳහා තල්ලුව ආරම්භකව සැපයුනේ කොතැනින්දැ යි දැන සිටිය යුතු යැයි සැලකුන එක් මධ්‍යමකාරක සභා සාමාජිකයෙක්, රෙව්වෝන් සෝවියට් මන්ඩලයේ නියෝගවල පැවති මෙම පරස්පරවිරෝධී ස්වභාවය පිලිබඳව ඉහත සඳහන් නිගමනය, යුක්‍රේනියානු මිලිටරි දිස්ත්‍රික්කයේ මිලිටරි සඟරාවක ලිඛිතවම සූත්‍ර ගත කොට ඉදිරිපත් කලේ ය. පක්ෂයේ නිල සංස්ථාවල අධිකාරය යටතේ සිදු කෙරෙන පක්ෂ තෝරා පත් කිරීම් සම්බන්ධයෙන් සැලකූ කල එයින් හමුදාවේ අධිෂ්ඨානවත් ඒකාධිකාරයට එල්ල කෙරෙන ප්‍රහාර ඊට වඩා අඩු බරපතල කමක් නොදරයි. පැරනි යුක්‍රේනියානු සොව්නාකොම් සංස්ථාවට එ​රෙහිව ඉහලින් ක්‍රියාත්මක කෙරුනු ක්‍රමානුකූල වැඩ වලට එහැම පිටින් ම සමාන ක්‍රියා , සමූහාන්ඩුවේ රෙව්වෝන් සෝවියට් මන්ඩලයට විරුද්ධව ක්‍රියාත්මක විය; ක්‍රියාත්මක වෙමින්ද පවතී. 14 මේ දෙවන වතාවේදී කරන වැඩ වල වේගය තරමක් බාල වන අතර එහි ස්වරූප තරමක් පරෙස්සම් සහගත හා ආවරනිත වේ. එහෙත් එතැනදී මෙන්ම මෙතැනදීද හරයාාත්මක වසයෙන් දකිත හැක්කේ හමුදාවේ නායක මන්ඩල හුදකලා කරනු වස් උදව් කිරීමට සූදානම් පුද්ගලයන් ප්‍රධානකොට පත් කරනු ලැබීමයි. මිලිටරි යන්ත්‍රනයේ අභ්‍යන්තර සම්බන්ධතාවලට දෙපිටකාට්ටුකම කාවද්දා ඇත්තේ ඉහලිනි.

සාමාන්‍යයෙන් වක්‍රව මුත් ඇතැම්විට විවෘතව ද, රෙව්වෝන් සෝවියට් මන්ඩලයට විරුද්ධව සිදු කෙරෙන්නේ, පක්ෂ සම්මේලනවලදී තීන්දු කෙරුනු පක්ෂ නිර්දේශ පමනක් නොව, දේශපාලන මන්ඩලයේ යෝජනා ද, ඒවා අකුරටම එතරම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන වෙනත් සෝවියට් සංස්ථාවක් නොපැවතියදී ය; ඉහත පෙන්නා දෙනු ලැබූ අයුරු මෙම තීරනවල තත් අවශ්‍යතා හා සම්බන්ධීකරනයක් කැපී පෙනෙන්නේ නැති නමුදු, රෙව්වෝන්සෝවියට් මන්ඩලය සිය බිත්ති තුල එම තීරන හෙලා දැකීමකට හෝ ඒ ගැන සාකච්ඡාවකට පවා ඉඩක් නොදෙයි. සරල පියවර විය හැක්කේ රෙව්වෝන් සෝවියට් මන්ඩලය විස්ථාපනය කිරීමයි. කෙසේ වුවද, දැනට එවැනි පියවරක් ගැනීමට තීන්දු නොකෙරුනේ වුවද සංවිධායක මන්ඩලය විසින්, මිලිටරි ක්ෂේත්‍රය තුල සිය සංවිධානාත්මක පිලිවෙත වර්ධනය කර ගැනෙමින් පවතී. එයින් හමුදාවේ හැම බැරෑරුම් පුද්ගලයකුටම තැවිල්ලෙන් යුතුව අසා ගන්නට බල කෙරෙන ප්‍රශ්නය වන්නේ: මේ වැඩ කෙලවර වන්නේ කොතැනින් ද යන්නත්, එය කොතැනකට යොමු වී පවතී ද යන්නත් ය.

15. හමුදාවේ සටන් ශක්තිය සහතික කිරීම, දැන් දහයෙන් නවයක්ම රැඳී පවතින්නේ යුද්ධ දෙපාර්තමේන්තුව මත නො ව කර්මාන්ත මතය. ආර්ථිකයේ පොදු අක්‍රමවත් ස්වභාවයෙහි බලපෑම, හමුදාවට සැපයුම් කරන කර්මාන්ත මත මුලුමනින් හා පූර්න ලෙස පතිත කෙරෙන බව කිව යුතු නොවේ.'ස්වාධීනත්වයේ' මිනුම් දන්ඩ අනුව, මෙහි සිදු කෙරී ඇති ප්‍රධාන පුද්ගලයන් මාරු කිරීම කොතරම් නම් වේගයකින් නිම කරන ලද්දේද යත්, අද වැනි අතිශයින් වගකිව යුතු කාලපරිච්ඡේදයකදී දස ගුනයක ශක්තියෙන් කරගෙන යා යුතු වන මිලිටරි නිෂ්පාදනයන්, තුන් මසකට ආසන්න කාලයක් පුරා යථා නායකත්වයකින් තොරව පැවතී තිබේ.

සමස්තයක් වශයෙන් කර්මාන්ත කෙරෙහි ද මිලිටරි කර්මාන්ත කෙරෙහි විශේෂයෙන්ද අවධානය සංකේන්ද්‍රනය කරනවා වෙනුවට, පසුගිය සැසිවාරයේදී, ස්ටැලින් සහෝදරයා ප්‍රමුඛ මධ්‍යම කාරක සභිකයින් කන්ඩායමක් රෙව්වෝන්සෝවියට් මන්ඩලයට එකතු කිරීමට උත්සාහයක් දරන ලදී.[23] විස්තර කථනයක් අනවශ්‍ය වන මේ පියව​රේ පක්ෂාභ්‍යන්තර අර්ථයට අමතරව, නව රෙව්වෝන්සෝවියට් මන්ඩලයක් පිලිබඳව ප්‍රකාශයට පත් වීමම අපේ අසල්වැසියන් විසින්, නව, එනම් ආක්‍රමනකාරී පිලිවෙතකට මාරු වීමක් ලෙස හැර අන් ලෙසකින් අවබෝධ කරනු නැත. ඉතාමත් තීරනාත්මක ආකාරයකින් ප්‍රකාශිත කල මගේ විරෝධය නිසාම පමනක්, ඉහත පියවර වහාම ක්‍රියාත්මක කිරීමෙන් සැසිවාරය වලක්වා ලූයේ ය. නව රෙව්වෝන්සෝවියට් මන්ඩලයක් පිහිටුවීම, සැසිවාරය විසින්, 'හමුදා මෙහෙයුමක් තෙක්' කල් තබන ලදී. කල්තියා එවැනි යෝජනාවක්, දුසිම් ගනනක් පිටපත් සහිතව බෙදා හරිමින්, අප විසින් ක්‍රියාත්මක කල යුත්තේ ඇයි ද යන්න බැලූබැල්මට විස්තර කල නොහැක්කක් සේ පෙනී යයි. ඊට හේතුව නම් කවදා, කවර තතු යටතේ එවැනි හමුදා මෙහෙයුමක් ඇවැසි වේද යන්නත් එවැන්නක් ඇවැසි වේ නම්, එවිටදී පක්ෂයට සුවිශේෂ වශයෙන් කව්‍රුන් නම් ඒ සඳහා යොදා ගත හැකි වේද යන්නත් මේ වන විට මුලුමනින්ම නොදැන සිටීමයි. එහෙත් තථ්‍ය වශයෙන් නම්, බැලූ බැල්මට නොපැහැදිලි සේ පෙනෙන මේ නිර්දේශය වනාහී, කලින් සඳහන් කරන ලද ඉලක්කය කරා ලඟා වීමේ එක් වක්‍ර සූදානම් පියවරක් වූයේ ය. දේශපාලන මන්ඩලයේ හා සංවිධායක මන්ඩලයේ බහුතරයෙහි භාවිතය සම්බන්ධයෙන් ඒවා ආවේනික ලක්ෂනයන් ය. මෙපමනක් නොව, සැසිවාරය තීන්දු කලේ , 'මිලිටරි කර්මාන්ත අධීක්ෂනය කිරීම සඳහා විශේෂ තත්වයක් දරන' මධ්‍යම කාරක සභික සාමාජිකයන් එක්කෙනකු හෝ දෙන්නකු වහාම රෙව්වෝන්සෝවියට් මන්ඩලයට එක් කිරීමට ය. මෙය සිදු කරන ලද්දේ, මිලිටරි කර්මාන්ත කවර ලෙසකින් වත් රෙව්වෝන් සෝවියට් මන්ඩලයට යටත් නොකෙරී පවතින හා ඊට නායකයකු නොමැතිව තුන් මසක පමන කාලයක් ගතවී ඇති තතු යටතේ ය. මේ පදනම උඩ දේශපාලන මන්ඩලය විසින් ලැෂෙවිව් හා වොර්ෂිලොව්[24] යන සහෝදරවරු රෙව්වෝන් සෝවියට් මන්ඩලයට එක් කෙරුනාහ; ඒ අතරවාරයේ 'මිලිටරි කර්මාන්ත අධීක්ෂනය කිරීම සඳහා විශේෂ තනතුරට' පත් කරනු ලැබූ වොර්ෂිලොව් සහෝදරයා රොස්ටොව්වල රැඳී සිටී. සාරභූත වශයෙන් මේ පියවරද ඉහත දක්වන ලද ආකාරයේ සූදානම් පියවරකි. රෙව්වෝන්සෝවියට් මන්ඩලයෙහි සිදු කෙරෙන වෙනස්කම් වල තථ්‍ය අරමුන හා නිල වශයෙන් දක්වන ලද හේතු අතර කිසිදු පොදු බවක් නැතැයි මා පල කර සිටි විරෝධයට පිලිතුරු වශයෙන්, කුයිබිෂෙව්[25] සහෝදරයා , එවැනි ප්‍රතිරෝධයක් නැතැයි නොකීවා පමනක් නොව - ඔහු කෙසේ නම් එය නැතැයි කියන්නද? - ඔහු මට විවෘතවම කියා සිටියේ : 'ඔබට විරුද්ධව සටන් කරන්නට අවශ්‍ය යැයි අපට හැඟෙනවා. එහෙත් ඔබ හතුරෙකැයි කියා සිටීමට අපට පුලුවන් කමක් නෑහැ . ඒ නිසයි මෙවැනි විධික්‍රම යොදා ගැනීමට අපට බල කෙරී ඇත්තේ' යනුවෙනි.

16. පක්ෂය තුල වර්තමානයේ දී වේගයෙන් වර්ධනය වන අර්බුදය, මර්දනකාරී පියවර මගින් - එක් එක් කරුන සම්බන්ධයෙන් එවැනි පියවර කොතෙක් වැරදිද නිවැරදිද යන්න නොතකා - ජයගත නොහැකිය. සංවර්ධනය පිලිබඳව පවතින වෛෂයික අසීරුතා විශාලය. එහෙත්, මූලික වශයෙන් වැරදි වන පක්ෂ තන්ත්‍රය මගින්, ඒවා අඩු කෙරෙනවා නොව වැඩිකෙරෙයි. ඒ, නිර්මානාත්මක කර්තව්‍යයන් කෙරෙන් අවධානය, පක්ෂාභ්‍යන්තර කන්ඩායම් වෙත යොමු කරනු ලැබීමෙනි; පක්ෂය තුල හා සෝවියට් සභාවල ඔවුන් දරන තැන ගැන නොසලකා බෙහෝ විට කෘත්‍රිම ලෙස පුද්ගලයන් තෝරා පත් කරනු ලැබීමෙනි; සියල්ලන්ගේ අක්‍රිය අනුකූලතාව අපේක්ෂාවෙන් අධිකාරවත් හා දක්ෂතා සහිත නායකත්වයන් විස්ථාපනය කරනු ලැබීමෙනි. ආර්ථික සංවර්ධනයට බාධා කරවමින්, කොටසකගේ වැඩී ඒන අතෘප්තියට ද අනෙක් කොටසක උදාසීනත්වයට හා අක්‍රීයභාවයට ද තවත් අය බොහෝදුරට වැඩ කටයුතුවලින් ඉවත් කරනු ලැබීමට ද ක්ෂනික හේතුව වූයේ හා වන්නේ මෙම පක්ෂාභ්‍යන්තර තන්ත්‍රයයි. මෙම පක්ෂාභ්‍යන්තර තන්ත්‍රය මගින් ආර්ථික සාර්ථකත්වයක් සහතික කෙරුනේ නම් ඇතැම්විට පක්ෂයට තාවකාලික වශයෙන්, වර්තමාන පක්ෂාභ්‍යන්තර තන්ත්‍රය සමග ජීවත්වීමට ඇතැම්විට හැකි වනු ඇත. එහෙත් තත්වය එය නොවේ. මෙම තන්ත්‍රයට දිගු කලක් පැවතිය නොහැක්කේ එහෙයිනි. එය වෙනස් කල යුතුය.

17. ආර්ථික ප්‍රතිපත්තියේ අක්‍රමවත් ස්වභාවය සහ පක්ෂ දේශපාලනයේ ලේකම්මන්ඩලීය නිලධරවාදය, දොලොස්වැනි සමුලුවට පෙරාතුව පවා තැතිගැන්මක් ඇති කලේ නම්, අනෙක් අතට, ඇතැම්විට කිසිවකුත් මේ පිලිවෙත මෙතරම් ඉක්මනින් එහි බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරනු ඇතැයි අපේක්ෂා කලේ නැත. පක්ෂය, එහි ඉතිහාසයේ අතිශය තීරනාත්මක විය හැකි යුගයට ඇතුලු වෙමින් සිටින්නේ, අපේ නායක මන්ඩල මගින් සිදු කෙරෙන වැරදි වල දැවැන්ත බර දරාගෙන ය. පක්ෂයේ ක්‍රියාකාරීත්වයෙහි ගෙල සිර කරනු ලැබ පවතී. ආර්ථික කටයුතුවල මොරදෙන පරස්පර විරෝධයන්, ඒවායේ සියලු ප්‍රතිඵල සහිතව, පක්ෂය විසින් දැක බලා ගැනෙන්නේ ඉමහත් තැති ගන්මකින් යුතුව ය. ප්‍රධාන පක්ෂ හා සෝවියට් සංස්ථා අසරනභාවයට පත් කරමින්, ඉහල සිට කෘත්‍රිම ලෙස පතිත කෙරෙන භේදකාරීත්වය දෙස, පක්ෂය බලා සිටින්නේ ඇතැම්විට ඊටත් වැඩි තැති ගැන්මකිනි. පත් කිරීම්, පහ කිරීම්, විස්ථාපන හා මාරු කිරීම්වල පවතින නිල අරමුනු, අපේ කාර්යභාරයේ අව්‍යාජ අරමුනු හෝ අවශ්‍යතා සමග හැමවිටම කොහෙත්ම සම්පාත නොවන බව පක්ෂය දනී. මෙහි ප්‍රතිඵල වශයෙන් පක්ෂය බිඳවැටී ඇත. ඔක්තෝබර් විප්ලවයේ සයවැනි සංවත්සරයේදී හා ජර්මානු විප්ලවයේ අද්දරදී දේශපාලන මන්ඩලයට බලකෙරී ඇත්තේ, පක්ෂය තුල පවතින නීති විරෝධී කන්ඩායම් පිලිබඳව, පක්ෂ සංවිධානවලට හා ජීපීයූවට දැන්වීම සෑම සාමාජිකයෙකුගේම යුතුකම වන්නේ යැයි සඳහන් කෙරෙන යෝජනා කෙටුම්පතක් සාකච්ඡා කිරීමට ය.

එවැනි තන්ත්‍රයක්ද පක්ෂය තුල එවැනි පොදු තත්වයක් ද, පක්ෂය මුහුන දිය හැකි, හා සියලු සාාක්ෂි වලට අනුව ජර්මානු විප්ලවය හේතු කොටම පක්ෂය මුහුන දෙනු ඇති, කර්තව්‍යයන් සමග කිසිසේත්ම ගැලපෙන්නේ නැත යන්න අතිශයින් පැහැදිලිය. ලේකම් මන්ඩලීය නිලධාරිකරනය අවසානයකට ගෙන ආ යුතුය. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට, අඩු වශයෙන් පක්ෂය එක තැන පල්වීමේ හා පරිහානිගත වීමේ තර්ජනයෙන් මුදා ගැනීමට අවශ්‍ය සීමාවන් තුල ඒ සඳහා සියලු අයිතීන් පවරා දිය යුතුය. පක්ෂ මූලධර්මවල සීමාව තුල, පක්ෂ සාමාජිකත්වය විසින්, තමන් අතෘප්තියට පත්ව සිටින්නේ කුමක් ගැන දැයි විස්තර කරනු ලැබිය යුතු ය; පක්ෂ රෙගුලාසිවලට අනුව හා මූලික වශයෙන්ම අප පක්ෂයේ මුලුමහත් ජීව ගුනයෙන් ද යුතුව, එහි සංවිධානාත්මක තන්ත්‍රය නිර්මානය කර ගැනීම සඳහා ඔවුන්ට යථා අවකාශය ලැබිය යුතුය. ප්‍රමඛ වශයෙන් කර්මාන්තයේ හා විශේෂ කොට මිලිටරි නිෂ්පාදනයේ, අපේ වැඩ කටයුතු වල යථා අවශ්‍යතාවන්ට අනුකූලව අප පක්ෂයේ බලවේගවල ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු ය. කර්මාන්ත සම්බන්ධයෙන්, දොලොස්වැනි සමුලුවේ තීන්දු අව්‍යාජ ලෙස ක්‍රියාත්මක නොකොට කම්කරුවන්ගේ වැටුප්වල ස්ථාවර මට්ටමක් හා එම මට්ටම ක්‍රමානුකූලව නැංවීමක් කරා ප්‍රවිශ්ඨවීමේ කිසිවක් සහතික කල නොහැකිය. මේ තත්වයෙන් ගොඩ ඒමේ, අවම වේදනාකාරී හා කෙටිම, මාවත විවර විය හැක්කේ නායක කන්ඩායම විසින් කෘත්‍රීම ලෙස සහාය දෙනු ලබන්නා වූ තන්ත්‍රයේ සියලු විපාක පිලිගනිමින්, පක්ෂ ජීවිතය වඩා සෞඛ්‍ය සම්පන්න දිසාවකට මෙහෙයවීමට එය, අවංකවම සූදානම් ය. යන්න ප්‍රදර්ශනය කිරීමට නායක කන්ඩායම ඉදිරිපත් වුවහොත් ය. මෙය සිදු වේ නම්, ගමන් මාවත වෙනස් කිරීමේ විධික්‍රම හා සංවිධානාත්මක රූපාකාරයන් අපහසුවකින් තොරව සොයා ගත හැකිවනු ඇත. පක්ෂය වඩා පහසුවෙන් හුස්ම ගනු ඇත. මා විසින් මධ්‍යම කාරක සභාවට යෝජනා කෙරෙන්නේ මේ නිශ්චිත ගමන් මගයි.

ජෝසප් ස්ටාලින් 1943 දී [AP ඡායාරූපය] [AP Photo]

18. වැරදි පිලිවෙතට, විශේෂයෙන්ම ආර්ථිකය හා පක්ෂාභ්‍යන්තර තන්ත්‍රය පිලිබඳ පිලිවෙතට, එරෙහිව හැකි ඉහලම තීරනාත්මක හා නිශ්චිත අයුරින්, මධ්‍යම කාරක සභාව තුල මා සටන් වැදුනු බව, මධ්‍යම කාරක සභාවේ හා මධ්‍යම පරිපාලන කොමිසමේ සාමාජිකයෝ දනිති. මෙසේ කිරීමේදී, ඉතා සීමිත සහෝදරවරු කවයක් මගින් පවා, විශේෂයෙන්ම ආසන්න නිවැරදි පක්ෂාභ්‍යන්තර තත්වයක් යටතේ, මධ්‍යම කාරක සභාවේ හා මධ්‍යම පරිපාලන කොමිසමේ ප්‍රමුඛ තනතුරුවලට පත්විය හැකිවූ සහෝදරවරුන් මගින් පවා, විනිශ්චයට භාජන කරනු ලැබීමේ සඳහා වුව, මධ්‍යම කාරක සභාව තුල අරගලය ඉදිරිපත් කිරීමෙන් මා තීරනාත්මකව වැලකී සිටි බවද ඉහත මන්ඩලවල සාමාජිකයෝ දනිති. මේ පිලිවෙත අනුව, පසුගිය වසර එකහමාර[26] පුරා මා විසින් දැරුනු ප්‍රයත්නයන් ඵල රහිත වී ඇති බව මෙහිලා සඳහන් කල යුතුය. ආන්තික තියුනු භාවයකින් යුත් අර්බුදයකට පක්ෂය නුසූදානමින් හසුවීමේ අන්තරාය පවතී. එසේ වී නම්, අන්තරාය දැකගත්, එහෙත් අන්තර්ගතයට වඩා ඉහලින් රූපාකාරය තබා, එය විවෘතව නම් නොකල සියල්ලන්ටම චෝදනා කිරීමට පක්ෂයට අයිතියක් පවතිනු ඇත.

නිර්මානය කරනු ලැබ ඇති තත්වය ගැන සලකන කල්හි, ඇති තරම් සූදානම්, පරිනත, ආත්ම විශ්වාසයෙන් යුතු සහ එහි ප්‍රතිපල වශයෙන් , කන්ඩායම්වාදී තිගැස්සීම් හා පිපිරීම් වලින් තොරව පක්ෂයට මෙම ආවෘතයෙන් ගොඩ ඒමට උදව් කරනු හැකි යයි මාවිසින් සලකනු ලබන, පක්ෂයේ සියලුම සමාජිකයන්ට, පවතින්නේ කුමක්ද යන්න කියා සිටීම, මගේ අයිතිය පමනක් නොව යුතුකම ද වන බව මම සලකමි.

ලියොන් ට්‍රොට්ස්කි

1923 ඔක්තෝබර් 8

(පක්ෂයේ මධ්‍යම ලේඛනාගාරය)

වැඩිදුර කියවන්න


[1]

එල්.ඩී. ට්‍රොට්ස්කිගේ ලිපිය ලියැවී ඇත්තේ මතු දැක්වෙන කොන්දේසි යටතේ ය: 1) කම්කරුවන් හා ගොවීන් අතර 'ස්මිච්කා” [සන්ධානය] බිඳ දැමීමට තර්ජනය කල අපේ රටේ තියුනු වන ආර්ථික අර්බුදය; 2) පක්ෂ යාන්ත්‍රනයේ වැඩෙන නිලධාරිවාදය; සහ 3) ට්‍රොට්ස්කි අපකීර්තියට පත් කිරීම සහ දේශපාලනිකව හුදකලා කිරීම ඉලක්ක කරගත් ඊනියා පාලක 'ට්‍රොයිකාව' (ජී.ඊ. සිනොවීව්, එල්.බී. කමනෙව් සහ අයි.වී. ස්ටැලින්) ඇස්පනාපිට ක්‍රියාවට බැසගැනීම. ලිපිය ලිවීමට කඩතුරාව ලෙස යොදාගත්තේ, සමූහාන්ඩු විප්ලවවාදී හමුදා කවුන්සිලයේ (Revvoensovet) සංයුතිය වෙනස් කිරීමට සහ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් හය දෙනෙකු එයටඇතුලත් කිරීමට සැප්තැම්බර් (1923) සැසිවාරයේදී ගෙනතිබූ තීරනය යි. ලිපිය 1990 මැයි මාසයේදී ඉස්වෙස්ටියා ටීඑස්කේ (Izvestia TsK KPSS) හි පලකිරීමට පෙර කිසි විටෙක සම්පූර්නයෙන් ප්‍රසිද්ධ කර නොමැත. එයින් විවිධ උද්ධෘත මුල්වරට පල වූයේ 1990 මැයි සිට Sotsialisticheskii vestnik [සෝෂලිස්ට් හෙරල්ඩ්] (Berlin) #11(81) සඟරාවේ 9-10 පිටුවල සහ 1989 සෝවියට් ප්‍රෙස් හි Molodoi kommunist [යංග් කොමියුනිස්ට්] සඟරාවේ, (1989, #8, 49.පිටුවේය.

[2]

මෙයින් අවධානය යොමුකෙරෙන්නේ, 1923 සැප්තැම්බර් 18 දා පොලිට්බියුරෝ සීසී යෝජනාවකට අනුව, ආර්ථික හා පක්‍ෂ අභ්‍යන්තර තත්වය විශ්ලේෂනය කිරීම සඳහා පිහිටුවන ලද, එෆ්.ඊ ඩ්‍රේසෙර්ෂින්ස්කි, ජී.ඊ. සිනොවීව්, වී.එම්. මොලටොව්, ඒ.අයි. රයිකොව්, අයි.වී.ස්ටැලින් සහ එම්.පී. ටොම්ස්කි යන අයගෙන් සමන්විත කොමිෂන් සභාව වෙතයි. ට්‍රොට්ස්කි නොවැම්බර් මස මුලදී කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලද නමුත් නොවැම්බර් 14 වන විට එයින් ඉවත් වීමට බල කෙරුනි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහ අනෙකුත් කොමිෂන් සභාවල වැඩ අධික වීම හේතුවෙන් එහි කිසිදු සැසිවාරයකට සහභාගී වීමට ඔහුට නොහැකි විය. කොමිසමෙන් ඉවත්වයාම ගැන පැහැදිලි කරන ට්‍රොට්ස්කිගේ ලිපියේ, ඔහුට සහභාගී වීමට “ශාරීරිකව සිදුකල නොහැකි” වන ආකාරයෙන් කොමිෂම කෙටි දැනුම් දීමකින් නිතර හමුවූ බව ඔහු සඳහන් කලේ ය. සැසිවාරවල තුල ක්‍රියාකාරී අවශ්‍යතා මීට පෙර පොලිට් බියුරෝව විසින් එහි සාමාජිකයින් සඳහා වගකීමක් බවට පත් කර තිබුනි. Rossiiskii Gosudarstvennyi Arkhiv Sotsial'no-politicheskoi istorii (RGASPI), f. 17, op. 171, ඩෙලෝ 33, ලැයිස්තුව 142. [2]මෙයින් අවධානය යොමුකෙරෙන්නේ, 1923 සැප්තැම්බර් 18 දා පොලිට්බියුරෝ සීසී යෝජනාවකට අනුව, ආර්ථික හා පක්‍ෂ අභ්‍යන්තර තත්වය විශ්ලේෂනය කිරීම සඳහා පිහිටුවන ලද, එෆ්.ඊ ඩ්සෙර්ෂින්ස්කි, ජී.ඊ. සිනොවීව්, වී.එම්. මොලටොව්, ඒ.අයි. රයිකොව්, අයි.වී.ස්ටැලින් සහ එම්.පී. ටොම්ස්කි යන අයගෙන් සමන්විත කොමිෂන් සභාව වෙතයි. ට්‍රොට්ස්කි නොවැම්බර් මස මුලදී කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලද නමුත් නොවැම්බර් 14 වන විට එයින් ඉවත් වීමට බල කෙරුනි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහ අනෙකුත් කොමිෂන් සභාවල වැඩ අධික වීම හේතුවෙන් එහි කිසිදු සැසිවාරයකට සහභාගී වීමට ඔහුට නොහැකි විය. කොමිසමෙන් ඉවත්වයාම ගැන පැහැදිලි කරන ට්‍රොට්ස්කිගේ ලිපියේ, ඔහුට සහභාගී වීමට “භෞතිකව සිදුකල නොහැකි” වන ආකාරයෙන් කොමිෂම කෙටි දැනුම් දීමකින් නිතර හමුවූ බව ඔහු සඳහන් කලේ ය. සැසිවාරවල තුල ක්‍රියාකාරී අවශ්‍යතා මීට පෙර පොලිට් බියුරෝව විසින් එහි සාමාජිකයින් සඳහා වගකීමක් බවට පත් කර තිබුනි. Rossiiskii Gosudarstvennyi Arkhiv Sotsial'no-politicheskoi istorii (RGASPI), f. 17, op. 171, ඩෙලෝ 33, ලැයිස්තුව 142.

[3]

මෙයින් අවධානය යොමු කෙරෙන්නේ, 'කම්කරුවන්ගේ සත්‍යය' සහ [3]“ආර්සීපිහි කම්කරු කන්ඩායම” ගැනයි. “කම්කරුවන්ගේ සත්‍යය” (මධ්‍යම කන්ඩායම “කම්කරුවන්ගේ සත්‍යය”) යනු 1921 වසන්තයේ දී පිහිටුවන ලද ආර්සීපී (බී) හි නීති විරෝධී කන්ඩායමකි. එහි සහභාගිවන්නන් සිතුවේ නෙප් (නව ආර්ථික පිලිවෙත) වෙත සංක්‍රමනය වීමත් සමඟ ආර්සීපී (බී) “නිර්ධන පංතිය සමඟ එහි බැඳීම් සහ සබඳතා ආපසු හැරවිය නොහැකි ලෙස මුලුමනින්ම අහිමිකරගනිමින් සිටි” බවයි.. 'කම්කරුවන්ගේ සත්‍යය' 'කම්කරු පන්තියේ සාමාන්‍ය කම්කරුවන් වෙතට පන්ති පැහැදිලිකම හඳුන්වා දීමේ' අරමුන සම්මත කරගත්තේ ය. එහි නීති විරෝධී ප්‍රකාශන කිහිපයක එය නව කම්කරු පක්ෂයක් පිහිටුවීම කර්තව්‍යය ලෙස නියම කරගත්තේ ය. පක්ෂයෙන් නෙරපා හැර සිටි හිටපු “කම්කරු විරුද්ධ කන්ඩාමේ” සාමාජිකයන්වූ ජී.මයස්නිකොව් සහ එන්.කුෂ්නෙට්සොව් විසින් 1923 වසන්තයේ හා ගිම්හානයේදී 'කම්කරු කණ්ඩායම ආර්සීපී' පිහිටුවන ලදි. අභ්‍යන්තර-පක්ෂ කල්ලි ගැසීම් පිලිගත නොහැකි යන කාරනය සම්බන්ධයෙන් ආර්සීපී (බී) කන්ඩායමේ දසවන සහ එකොලොස්වන සම්මේලනවල තීරනවලට තමා යටත්කර නොගත් පැරැනි බොල්ෂෙවිකයන් කීප දෙනෙකු එයට සම්බන්ධවූවෝ ය. “කම්කරු කන්ඩායම ආර්සීපී” පහත කරුනු සැලකිල්ලට ගත්තේ ය: සියලුම කර්මාන්තශාලා සහ කම්හල්වල කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභා (කවුන්සිල) පිහිටුවීම අවශ්‍ය බව; සෝවියට් සමුලු වලදී වෙලඳමන්ඩලය සහ පාලක මන්ඩලයට අධ්‍යක්ෂවරුන් තෝරා ගැනීමට; සහ කර්මාන්තය මෙහෙයවීමේදී 'නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදය' මූලධර්මය අනුගමනය කිරීමට; වෘත්තීය සමිති පාලන ආයතන බවට පත් කිරීමට; මහජන කොමසාරිස්වරුන්ගේ සෝවියට් සංගමය තුරන් කිරීමට; සහ 'කම්කරු පන්තියෙන් තීරනාත්මකව කැඩී ගිය' 'පක්ෂයේ පාලක කන්ඩායම ඉවත් කිරීමට යනාදිය යි. 'කම්කරුවන්ගේ සත්‍යය' සහ 'කම්කරුවන් කන්ඩායම ආර්සීපී (බී)', 'කොමියුනිස්ට් විරෝධී සහ සෝවියට් විරෝධී වැඩ' සිදු කරන බවත් ඒවාට සහභාගී වීම RCP (b) හි සාමාජිකත්වයට නොගැලපෙන බවත් ආර්සීපී (බී) මධ්‍යමකාරන සභාවේ සැප්තැම්බර් (1923) සම්මේලනය සඳහන් කලේ ය. 1923 දෙසැම්බරයේ මධ්‍යම පාලන කොමිසමේ යෝජනාවෙන් මෙම කණ්ඩායම් තුල ක්‍රියාකාරීව සහභාගිවන්නන් පක්ෂයෙන් නෙරපා හරින ලදී.

[4]

ආර්සීපී(බී) හි XII වන සම්මේලනය 1923 අප්‍රේල් 17-25 දින මොස්කව්හිදී රැස්විය. සම්මේලනය කැඳවූ 'විධික්‍රම සහ උපායන්' ගැන සඳහන් කරන විට, සම්මේලනය ආසන්නයේ බොහෝ පලාත්බද පක්ෂ සමුලු වලදී සම්මේලනයට නියෝජිතයින් විකල්ප අපේක්ෂකයින් නොමැතිව තේරී පත් වූයේ, පලාත් කමිටු ලේකම්වරුන්ගේ නිර්දේශය මත බවත්, 1922 ග්‍රීෂ්ම ඍතුවේ සිට එය පැවති බවත් එල්.ඩී. ට්‍රොට්ස්කිගේ අදහස විය. ඔවුන්, 1922 ගිම්හානයේ සිට මධ්‍යම කාරක සභාවේ නිර්දේශය මත තෝරා ගන්නා ලදී; එනම් ඇත්ත වශයෙන්ම ඔවුන් පත් කරනු ලැබුවේ ජෝසප් ස්ටාලින් විසින් මෙහෙයවන ලද ලේකම් කාර්යාලය විසිනි.

[5]

එල්.ඩී. ට්‍රොට්ස්කිගේ තීසිස වල කොටසක් Stenograficheskii otchet 12-ogo s’ezda RKP/b v Moskve මොස්කව් 1968 සංස්කරනයේ, [ආර්සීපී(බී) හි 12 වන පක්ෂ සම්මේලනයේ ලඝුලේඛන වාර්තාව] 810-815 පිටුවල මුද්‍රනය කරන ලදී.

[6]

මෙම ලිපි හුවමාරුවේ කොටසක් සඳහා, එහිම, 816-820 පිටු බලන්න.

[7]

එහිම, 675-688 පිටු සමග සසඳා බලන්න බලන්න.

[8]

මෙහිදී ට්‍රොට්ස්කි සඳහන් කරන්නේ, සෝවියට් සංගමය 1956 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද වී.අයි. ලෙනින් ගේ 'ගොස්ප්ලෑන් (රාජ්‍ය පොදු සැලසුම් කොමිසම) වෙත නීති සම්පාදන කාර්යයන් ලබා දීම' නම්වූ කෘතිය ගැන ය. (වී.අයි. ලෙනින්ගේ සම්පූර්න එකතු කල කෘති, 45 වෙලුම, 349-353 පිටු සමග සසඳා බලන්න)

[9]

ඇලෙක්සෙයි අයි. රයිකොව් (1881-1938), 1898 සිට පක්ෂයේ සාමාජිකයෙකි; 1923 දී මකාස හි දේශපාලන මන්ඩලයේ සාමාජිකයෙකි; මහජන ආර්ථිකයේ උත්තරීතර සෝවියට් සංගමයේ සභාපති විය; මහජන කොමිසාර්වරුන්ගේ සහ කම්කරු හා ආරක්ෂක සොවියට් සභාවල නියෝජ්‍ය සභාපති ද විය. 1917 දී සහ ඉන් පසුව, ඔහු බොල්ෂෙවික් නායකත්වයේ දක්ෂිනාංශයේ වඩාත් කැපී පෙනෙන නියෝජිතයන්ගෙන් කෙනෙකි. යූරි (ග්‍රිගොරි) එල්. ප්යාට්කොව් (1890-1937), 1910 සිට පක්ෂයේ සාමාජිකයෙකි; 1923 දී ගොස්ප්ලෑන් හි සහ මහජන ආර්ථිකයේ උත්තරීතර සෝවියට් සභාවේ නියෝජ්‍ය සභාපති විය. ඔහු වාම විපාර්ෂවයේ නායකයෙකු බවට පත්විය.

[10]

Stenograficheskii otchet 12-ogo s’ezda ආර්කේපී/බී v Moskve, 327-328 පිටු.

[11]

මෙහිදී ට්‍රොට්ස්කි සඳහන් කරන්නේ ආර්සීපී(බී) හි මධ්‍යම කාරක සභාවේ සැප්තැම්බර් (1923) සැසිය ගැන ය.

[12]

Stenograficheskii otchet 12-ogo s’ezda RKP/b v Moskve, 680-681 පිටු.

[13]

'මිල කතුර (The price scissors)' යනු කාර්මික භාන්ඩ මිල හා කෘෂිකාර්මික භාන්ඩ මිල අතර වර්ධනය වන පරතරයයි. 1923 ඔක්තෝම්බර් මස මුලදී, 1913 මිල ගනන් හා සැසඳීමේ දී සිල්ලර මිල දර්ශකය පිලිවෙලින් 187 සහ 58 ලෙස පැවතුනි [එහිදී 1913=100] ('Ekonomicheskaia zhizn'' 1923 ඔක්තෝබර් 11).

[14]

Stenograficheskii otchet 12-ogo s’ezda ආර්කේපී/බී v Moskve, 673 පිටුව.

[15]

එහිම, 68, 200-201 පිටු සමග සසඳා බලන්න; 4 වෙනි පා සටහන ද බලන්න.

[16]

ට්‍රොට්ස්කි සඳහන් කරන්නේ ජෝසප් ස්ටැලින් විසින් මෙහෙයවන ලද මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලය ගැන ය.

[17]

ට්‍රොට්ස්කි සඳහන් කරන්නේ, යුක්‍රේනයේ සොව්නාකොම් [මහජන කොමිසාර්වරුන්ගේ කවුන්සිලයේ] සභාපති, සී. ජී. රකොව්ස්කි ඉවත් කිරීම ගැන—ඔහු ට්‍රොට්ස්කිගේ වාම විපාර්ෂවයේ සමීපතම සම-චින්තකයෙකු සහ අනාගත නායකයෙකු විය—සහ, යුක්‍රේන කොමියුනිස්ට් පක්ෂයේ ජූනි (1923) මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු බොහෝ සෝවියට් සභා කාර්යමන්ඩල සාමාජිකයින් ආදේශ කිරීම ගැන ය.

[18]

ආර්සීපී(බී) හි දස වන සම්මේලනය 1921 මාර්තු 8-16 දින මොස්කව්හිදී පැවැත්විනි. එහි දී, අනෙකුත් දේ අතර, 'පක්ෂය ගොඩනැගීමේ ප්‍රශ්න' පිලිබඳ යෝජනාවක් සම්මත කරන ලදී, එය පක්ෂ-අභ්‍යන්තර ජීවිතය ප්‍රජාතන්ත්‍රීකරනය කිරීමේ අවශ්‍යතාවය ගැන කතා කලේය. (Stenograficheskii otchet desiatogo s'ezda ආර්කේපී (බී) මොස්කව් 1963, 559-571 පිටු) සමග සසඳා බලන්න [ආර්සීපී(බී) හි දසවන සම්මේලනයේ ලඝු ලේඛන වාර්තාව].

[19]

Stenograficheskii otchet 12-ogo s’ezda ආර්කේපී/බී v Moskve, 705-706 පිටු.

[20]

1923 ජූනි 26-27 දින පැවති ආර්සීපී (බී) මධ්‍යම කාරක සභා රැස්වීමේදී, වොඩ්කා විකිනීම පිලිබඳ රාජ්‍ය ඒකාධිකාරයක් හඳුන්වාදීමේ ප්‍රශ්නය පිලිබඳව සාකච්ඡා විය. එම කාලයේ ඔහුගේ ලිපිවල සහ විශේෂයෙන්ම ජූනි 29 දින ආර්සීපී(බී) මධ්‍යම කාරක සභාවට සහ මධ්‍යම පාලන කොමිසම වෙත යැවූ ලිපියක් මගින් ට්‍රොට්ස්කි මෙම පියවරට එරෙහිව ඒකාන්තයෙන්ම විරෝධය පල කලේය.

[21]

1923 මැයි 8 වැනි දින බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ජී. කර්සන් ගේ සංදේශය, සෝවියට් ආන්ඩුවට බලපෑම් කිරීමේ අසාර්ථක උත්සාහයක් බව ඔප්පු විය. මෙම සිද්ධිය සෝවියට්-බ්‍රිතාන්‍ය සබඳතා කෙටිකාලීනව, එනම් සති කිහිපයකට පිරිහීමකට හේතු වූ අතර, පසුව සෝවියට් සංගමයේ ජාත්‍යන්තර ස්ථාවරය ශක්තිමත් කිරීමට සහාය විය.

[22]

මෙය 1923 ගිම්හානයේදී වර්ධනය වීමට පටන් ගත් ජර්මනියේ විප්ලවීය සිදුවීම් ගැන සඳහනකි. මෙයද බලන්න: පීටර් ෂ්වාස්, The German October: The Missed Revolution of 1923. https://www.wsws.org/en/articles/2008/ 10/1923-o30.html

[23]

මෙහි සඳහන් කරන්නේ, මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු සමූහාන්ඩුවේ Revvoensoviet (විප්ලවවාදී මිලිටරි කවුන්සිලය) වෙත හඳුන්වා දීමටත්, ආර්වීඑස් හි සභාපති යටතේ විධායක මන්ඩලයක් නිර්මානය කිරීමටත්, එහි සාමාජිකයින් අතරට එස්.එස්. කමනෙව්, ජී.එල්. ප්යා ට්කොව්, ඊ.එම්. ස්ක්ලයන්ස්කි, එම්.එම්. ලෂෙවිච්, අයි.වී. ස්ටාලින් සහ වෙනත් අය ඇතුලත් වන විධායක මන්ඩලයක් නිර්මානය කිරීමටත් මධ්‍යම කාරක සභාවේ සැප්තැම්බර් සැසිවාරයේ යෝජනාවක් ගැන ය. (RGASPI, f. 17, op. 2, delo 103, listy 2-3; f.17, op. 3, delo 384, list 3 සමග සසඳා බලන්න).

[24]

මිඛයිල් එම්. ලෂෙවිච් (1884-1928)—1901 සිට පක්ෂයේ සාමාජිකයෙකි. 1922-25 දී සයිබීරියානු විප්ලවවාදී කමිටුවේ සභාපති විය, නොවැම්බර් 1925 සිට සෝවියට් සංගමයේ Revvoensoviet සාමාජිකයෙකි. 1918-19 සහ 1923-25 දී—පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකි. ක්ලිමෙන්ට් ඊ. වොරොෂිලොව් (1881-1969), 1903 සිට පක්ෂයේ සාමාජිකයෙක් විය. 1921-24 දී—ආර්සීපී (බී) හි මධ්‍යම කාරක සභාවේ අග්නිදිග කාර්යාංශයේ සාමාජිකයෙකි, උතුරු කොකේසස් හමුදාවේ භටයින්ට අන දෙන ලදී. දිසා. 1924 සිට—මොස්කව් හමුදා දිස්ත්‍රික්කයේ හමුදා අනදෙන නිලධාරියා විය, සෝවියට් සංගමයේ Revvoensoviet සාමාජිකයෙකු ද විය. 1921 සිට මධ්‍යම කාරක සභිකයෙකි. වොරොෂිලොව් සිවිල් යුද්ධයෙන් පසු ස්ටැලින්ගේ සමීපතම සගයන්ගෙන් කෙනෙකි.

[25]

වැලේරියන් වී. කුයිබිෂෙව් (1888-1935), 1904 සිට පක්ෂයේ සාමාජිකයෙකි. 1922-23 දී ආර්සීපී (බී) හි මධ්‍යම කාරක සභාවේ ලේකම් විය. 1923 සිට මධ්‍යම පාලන කොමිෂන් සභාවේ සභාපති සහ කම්කරු හා ගොවීන්ගේ පරීක්ෂක කාර්යාලයේ මහජන කොමිසාර් විය.

[26]

ට්‍රොට්ස්කි සඳහන් කරන්නේ 1922 වසන්තයේ පටන් ආර්සීපී(බී) හි මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ධූරය ස්ටැලින් භාරගත් කාලය ගැන යි.

Loading