හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ලේඛනාගාරයෙන්-

වාම විපාර්ශවය පිහිටුවීම ගැන

1923 ඔක්තෝබර් 15 වනදා වාම විපාර්ශවය පිහිටුවීමෙන් ශත සංවත්සරය සැමරීමට ආරම්භකිරීම සඳහා, 1993 දී පලමු වරට වාම විපාර්ශ්වය පිහිටුවීමට අදාල මූලික ලේඛන ඉංග්‍රීසි බසින් ඉන්ටනැශල් වර්කර්ස් බුලටීන් හි ප්‍රකාශයට පත් කිරීම හඳුන්වාදෙමින් ඩේවිඩ් නෝර්ත් ලියන ලද කතුවැකිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මෙසේ යලි පල කරමු.

ඒ වන විට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) වාම විපාර්ශවය පිහිටුවීමේ හැත්තෑ වන සංවත්සරය සමරමින් සිටියේ ධනපති විජයග්‍රහනවාදයේ සහ තිස් වසරක එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අඛන්ඩ යුද්ධ වල ආරම්භක කාල පරිච්ඡේදයේ කොන්දේසි යටතේ ය. යන්තම් වසර දෙකකට පෙර 1991 දෙසැම්බරයේදී, ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරියේය. එය, 1930 ගනන් වල ක්‍රියාත්මක කල දේශපාලන ජනඝාතන යටතේ සිදු කල සමාජවාදී පරම්පරාවන් සමූල ඝාතනය සහ 1940 දී මෙක්සිකෝවේදී ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය ද ඇතුලත් ඔක්තෝබර් විප්ලවයේ ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය පාවාදීමේ දශක ගනනාවක වැඩ කටයුතු වල කූඨප්‍රාප්තිය විය. ඔක්තෝබරයට එරෙහි ස්ටැලින්වාදී ප්‍රතිගාමීත්වයේ කේන්ද්‍රීය අංගය වූයේ ඉතිහාසය මුසාකරනය කිරීමයි. ලියොන් ට්‍රොට්ස්කි සහ වාම විපාර්ශවයේ නායකයින් මරා දැමුවා පමනක් නොව ඔවුන් ව ඉතිහාසය පිලිබඳ පොත්පත් වලින් මකා දැමිනි. වඩාත් වැදගත් ස්ටැලින්වාදයට එරෙහි මාක්ස්වාදී ලේඛන විනාශ කිරීම හෝ රහසිගත ලේඛනාගාර තුල අගුලු ලෑමෙන් මහජනයා අතට පත් වීම වැලැක්වීය..

සෝවියට් සංගමයේ අවසාන කාලයේදී නිලධරයට මෙම වාර්තාවේ කොටස් ප්‍රකාශයට පත් කිරීමට බල කෙරිනි. 66 වසරක් පුරා 1990 වන තෙක්ම පල නොවූ ලියෝන් ට්‍රොට්ස්කි ඔක්තෝබර් 8 සහ 23 වන දිනවල පක්ෂ නායකත්වයට යැවූ ලිපි, එමෙන්ම 46 දෙනාගේ ප්‍රකාශය, විපාර්ශවය පිහිටුවීමේ ලිපි වල සම්පූර්න ලේඛන රුසියාවේ ඉවෙස්ටියා ටීඑස්ක් කේපීඑසෙස් (සීපීඑස්ඒයූ වේ මධ්‍යම කමිටු ප්‍රකාශනය) හි පල කෙරිනි. මෙම ලේඛන පරිවර්තනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම හරහා ඒවා ජාත්‍යන්තර කම්කරු පන්ති ශ්‍රාවකත්වයට ලැබීමට සැලැස්වීමට ප්‍රයත්නය දැරූවේ ජාත්‍යන්තර කමිටුව පමනි. එය, ස්ටැලින්වාදයේ බිඳ වැටීමට ජාත්‍යන්තර කමිටුව දැක්වූ ප්‍රතිචාරයේ ප්‍රධාන අංශයක් බවට පත් විය: එනම්, ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කි ගේ අරගලය පිලිබඳ ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම මත පදනම්ව කම්කරු පන්තිය තුල මාක්ස්වාදී විඥානය යලි තහවුරුකිරීම සඳහා විධිමත් අරගලයක් දියත් කිරීම යි.

වාම විපාර්ශවය පිහිටුවීමෙ 70 වසරකට පසු 1993 ඔක්තෝබර් 18 වනදා ඉන්ටනැශනල් වර්කර්ස් බුලටීනයේ ප්‍රකාශයට පත් කෙරුනු ඩේවිඩ් නෝර්ත් ගේ කතු වැකිය


තමන් සමාජවාදී හෝ “ට්‍රොට්ස්කිවාදී” යැයි කියාගන්නා අනෙකුත් දේශපාලන ප්‍රවනතාවලට ප්‍රතිවිරුද්ධව, ජාත්‍යන්තර කමිටුව සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම තක්සේරු කලේ සමාජවාදයේ අවසානය ලෙස නොව, ස්ටැලින්වාදී නිලධරය ඔක්තෝබරය පාවාදීම කුලු ගැන්වීමක් සහ ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියේ අර්බුදයේ නව අදියරක් ලෙසය. ඩේවිඩ් නෝර්ත් 1992 මාර්තු 11 වනදා පැවැත්වුනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ
12 වන සමුලුවට ඉදිරිපත් කල වාර්තාවෙන් පැහැදිලි කලේ යුරෝපයේ සහ රුසියාවේ මාක්ස්වාදී ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය වර්ධනය සඳහා ගෙන ගිය වැඩ කටයුතු මගින් ඔක්‍තෝබර් විප්ලවය පැන නැගුනු බව යි.
ඊට ප්‍රතිවිරුද්ධව,

“ස්ටැලින්වාදීන් මාක්ස්වාදයේ වැදගත්ම විජයග්‍රහනය විනාශ කිරීම සඳහා ක්‍රියා කලේය: පීඩිත සහ සූරා කැවෙන පන්තිය දැනුවත් ඓතිහාසික බලවේගයක් බවට පරිවර්තනය කිරීම මගින් කම්කරු පන්තිය තුල විප්ලවවාදී දේශපාලන විඥානය වර්ධනය කිරීමේ.... මාක්ස්වාදයේ බලගතු දේශපාලන සංස්කෘතිය කම්කරු පන්තිය තුල යලි ස්ථාපිත කිරීමේ කර්තව්‍ය පැවරෙන්නේ ජාත්‍යන්තර කමිටුව නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරය මතය. කම්කරුවන්ගේ අව්‍යාජ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ මෙම පදනම පමනි.”

මෙම තක්සේරුව මත පදනම්ව ජාත්‍යන්තර කමිටුව වාම විපාර්ශවයේ ඉතිහාසය පිලිබඳ වෙලුම් හතක් රචනා කරමින් සෝවියට් ඉතිහාසඥ වඩීම් රොගොවින් සමග සමීප ශාස්ත්‍රාලීක සහයෝගයකින් වාම විපාර්ශවයේ හැත්තෑ වෙනි සංවත්සරය සැමරීමට මුල පුරමින් ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලයට එරෙහිව අරගලයේ දී තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉෂ්ට කලේය.

ඩේවිඩ් නොර්ත් 1989 මොස්කව් ඓතිහාසික ආයතනයේ දේශනය පවත්වමින්

වසර තිහකට පසු මෙම අරගලය සම්පූර්නයෙන්ම සනාථ කෙරී ඇත. ලෝකය පවතින්නේ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද නැටෝ යුද්ධයත් සමග ඇරඹුනු අධිරාජ්‍යවාදීන්ගේ ලෝකය යලි බෙදා ගැනීමේ මුල් අවධියක ග්‍රහනයේ ය. ඩාත් මූලික ඓතිහාසික විශ්ලේශනයක් අනුව ගත් කල, මෙම යුද්ධය සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමේ සහ ඔක්තෝබර් විප්ලවය ස්ටැලින්වාදී පාවාදීමේ ප්‍රතිඵලයකි. ස්ටැලින්වාදයට එරෙහිව සමාජවාදී විකල්පයක් පැවතුනිද යන පැනය අද වන විට ධනවාදයට එරෙහිව සමාජවාදී විකල්පයක් පවතීද යන්න බවට පත් වී ඇත.

එලඹෙන සති හා මාස වලදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හජාජාක මෙම ලිපි සහ අනෙකුත් එලිමහනට නොපැමිනි ලිපි පල කිරීමෙන් මෙන්ම රැස්වීම් සහ අනෙකුත් අධ්‍යාපනික අරම්භකත්වයන් මගින් සියවසකට පෙර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීම සමරනු ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන මහජන ව්‍යාපාරය දැනුවත් මාක්ස්වාදී නායකත්වයෙන් සන්නද්ධ වූ අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ධනවාදයට එරෙහි ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම සඳහා සටනේදී මෙම ඉතිහාසය ස්වීකරනය කරගැනීම අත්හල නොහැකි කර්තව්‍යයකි.

වාමාංශික විරුද්ධ පාර්ශ්වය පිහිටුවීමෙන් වසර 70ක් 1923-1993

මෙම ලිපියේ පරිවර්තනය 1993 නොවැම්බර් 8 දින සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) කම්කරු මාවත පුවත්පතේ පල කෙරින.

මෙම වසරේ ඔක්තෝබර් මාසය, යුගකාරක වැදගත්කමක් දරන්නා වූ දේශපාලන අරගලයක හැත්තෑවන සංවත්සරය සලකුනු කරයි. 1923 ඔක්තෝබර් 8 වැනිදා , ලියොන් ට්‍රොට්ස්කි, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (බොල්ෂෙවික් ) මධ්‍යම කාරක සභාවේ හා මධ්‍යම පරිපාලන කොමිසමේ සාමාජිකයන් වෙත ලිපියක් යැවී ය. ලිපිය ලද්දවුන් තිගැස්සීමට පත් කල නිර්දය භාවයකින් ලියූ ට්‍රොට්ස්කි, පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමානුකූලව මැඩ ලූ තන්ත්‍රයක් අත ඉමහත් ලෙස බලය සංකේන්ද්‍රනය කෙරුනු නිලධාරිකරනයක ක්‍රියාදාමයක් මගින් පක්ෂය විනාශ කෙරෙමින් පවතී යැයි ප්‍රකාශ කලේය. නරක දේශපාලන තන්ත්‍රයක් මගින් දුර්වල කෙරුනාවූ පක්ෂය විසින්, සෝවියට් රාජ්‍යයේ පැවැත්ම තර්ජනයට පත් කරවමින් උග්‍රවන්නා වූ ආර්ථික අර්බුදය සමග පොරබැදීමේ හැකියාව නැතිකර ගනු ලැබ ඇතැයි, ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය. සෝවියට් සංගමය බිඳ දැමීමෙන් පසුව, දැන් පමනක් එහි අඩංගු වූ දූරදර්ශීභාවය පූර්න වසයෙන් අගැයිය හැක්කා වූ වචන වලින් ඔහු මෙසේ කියා සිටියේය: “පක්ෂයේ ඉතිහාසයෙහි අතිශය තීරනාත්මක විය හැකි යුගයට එය අවතීර්න වෙමින් සිටින්නේ අපේ නායක මන්ඩල විසින් සිදු කෙරෙන වැරදිවල දැවැන්ත බර දරා ගෙන ය. ”

ලියොන් ට්‍රොට්ස්කි සිවිල් යුද්ධය පැවති සමයේ රතු හමුදාවේ නායකයා

මෙම ලිපිය ඇති කලේ දේශපාලන බෝම්බ ප්‍රහාරයක බලපෑමකි. එහි අඩංගු දැඩි විවේචනයෙහි ඉලක්කය, තමන්ගේ නායකත්වය හා විධික්‍රම බව දත්තවුන්ට රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (රුකොප) දේශපාලන මන්ඩලය තුල අධිකාරය දරා සිටි මූලධර්ම විරහිත කන්ඩායම වූ, සිනොවියෙව්, කමනෙව් හා ස්ටැලින් ගෙන් සමන්විත වූ නිල නොවූ 'තුන් කට්ටුව' - ට්‍රොට්ස්කිගේ ලිපිය සැලකූයේ යුද්ධ ප්‍රකාශ කිරීමක් වශයෙනි. එහෙත්, විප්ලවයේ සහ සිවිල් යුද්ධයේ කාලපරිච්ඡේදයේ දී කැපී පෙනෙන මාක්ස්වාදී නායකයන් ලෙස ක්‍රියා කල වුන් ද ඇතුලත් කර ගත් අන්‍යයන්ට ඔක්තෝබර් 8වැනි දා ලිපිය ආශ්වාද ජනක වූයේය. සෝවියට් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අතිශය පන්ති විඥානයෙන් යුතුවූ කොටස් අතර ලබා සිටි දේශපාලනික හා ‌පෞරුෂමය අධිකාරය අතින් ට්‍රොට්ස්කිගේ ආරෝහය ඉක්මවා සිටියේ ලෙනින් පමනි. ඒ අනුව, ආර්ථික පිලිවෙතෙහි වැරදි පිලිබඳ සිත් කාවදින විශ්ලේෂනයක් සමග පක්ෂයෙහි හා රාජ්‍යයෙහි නිලධාරිකරනය ගැන ට්‍රොට්ස්කි ඉදිරිපත්කල විවේචනය, පක්ෂ සාමාජිකත්වය පුරා පැතිරෙමින් පැවති අතෘප්තියට එල්ලයක් සම්පාදනය කලේ ය.

මින් සතියකට පසුව , ඔක්තෝබර් 15 දා, 46 දෙනාගේ වේදිකාව ලෙස ප්‍රසිද්ධියට පත් ලේඛනය, රුකොපයේ දේශපාලන මන්ඩලය වෙත භාර දෙනු ලැබුනි. ට්‍රොට්ස්කිගේ ලිපිය මත පිහිටා විස්තර කථනය කරමින් , මෙම වේදිකාව, සෝවියට් සංගමය අනතුරට ලක්කලා වූ බැරෑරුම් ප්‍රශ්න ජය ගැනීම උදෙසා අවශ්‍ය දේශපාලන කොන්දේසි තහවුරු කරනු වස්, පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පුනර්ජීවනය කිරීමේ පියවර ඉල්ලා සිටියේ ය. ප්‍රියෝ බ්‍රෙසෙන්ස්කි, පියාටකොව්, සෙරෙබ්‍රියාකොව්, මුරලොව්, ස්මිර්නොව්, බොගොස්ලැව්ස්කි, සොස්නොව්ස්කි, සහ මොරොන්ස්කි ආදී කැපීපෙනුන පුද්ගලයන් ඇතුලත්වූ අත්සන් කරුවන්ගේ වේදිකාව ප්‍රකාශයට පත් කිරීම, වාමාංශික විරුද්ධ පාර්ශවයේ දේශපාලන කටයුතුවල ආරම්භය සලකුනු කලේය.

රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුල ආන්තික ආතතියක් පැවති වසරක කුලුගැන්වීම වූයේ වාමාංශික විරුද්ධපාර්ශ්වයේ ආරම්භය යි. 1923 අරම්භය යි. 1923 මාර්තු 9 වැනිදා වැලඳුන හදිසි ආබාධය කරනකොට, සිය දේශපාලන වැඩ කටයුතු ක්ෂනික අවසානයකට ගෙන ආ ලෙනින්ගේ රෝගීභාවය මගින් පොරොත්තුවේ හා අවිනිශ්චිතතාවයේ පොදු මනෝගතිය තීව්‍ර කෙරුනි. එහෙත්, රෝගී භාවය නිසා ලෙනින් දර්ශනපථයෙන් ඉවත් කෙරෙන්නට පෙරාතුව පවා රුකොප ය තුල අර්බුදය පැවතුනි. ලෙනින්ගේ හදිසි ආබාධිත වීම සිදු වූයේ මත්, රුකොපයේ පැවැත්ම රඳා පැවතියේ රාජ්‍යයේ හා පක්ෂ තන්ත්‍රයේ නිලධරයට එරෙහි සම්මුති විරහිත අරගලයක් මත යැය ඔහු විසින් නිගමනය කරනු ලැබුවා හා සමග ය.

අර්බුදයේ වෛෂයික පදනම පැවතියේ රුසියානු විප්ලවයේ මූලික ගැටලුව තුලමය. බොල්ශෙවික් වරුන්ගේ නායකත්වය යටතේ රුසියානු කම්කකරු පන්තිය බලයට පත් වූයේ යුරෝපීය ධනපති රාජ්‍යයන් අතර වඩාත්ම පසුගාමී වූ රටෙහි ය. නූතන සෝවියට් කර්මාන්තයන් ගොඩනැගීම, ඒ්වා සමාජවාදී මාවතේ වර්ධනය කිරීම මෙන්ම , රඳා පැවතියේ බටහිර යුරෝපයේ කම්කරු පන්තික විප්ලවයෙහි ඉරනම මත ය. රුසියාවේ තම ජයග්‍රහනය පසුපසින්, අනෙකුත් සමාජවාදී විප්ලව සිදුවනු ඇතැයි බොල්ෂෙවිකයෝ අපේක්ෂා කලහ. කෙසේවතුදු බොල්ෂෙවිකයන්ට සමාන කල හැකි පක්ෂයක් යුරෝපයෙහි නොපැවතීම, පලමුවන ලෝක යුද්ධයෙන් පසුව ධනවාදී ක්‍රමය ස්ථාවර කිරීම සඳහා ධනපති පන්තියට අවශ්‍ය වූ හුස්ම ගැනීමේ අවකාශය ලබා දුන්නේ ය.

1917 ඔක්තෝ්බර් මාසයේදී සෝවියට් කම්කරුවන් සහ සොල්දාදුවන්ගේ උද්ඝෝශනය. [ඡායාරූපය: Hulton Archive/Getty Images] [Photo: Hulton Archive/Getty Images]

විප්ලවයට පසුව එලඹුන සිවිල් යුද්ධය ප්‍රතිවිප්ලවවාදී බලවේග පැත්තෙහි අධිරාජ්‍යවාදීන් කල සෘජු මැදිහත්වීම මගින් දිග්ගස්සනු ලැ බූ - ලදරු සෝවියට් සංගමයෙහි ආර්ථිකය ආලාපාලු කලේය. ගොවි ජනයා කෙරෙන් බලහත්කාරී ලෙස අත්පත් කර ගැනීම් ද ශ්‍රම හමුදාව මිලිටරි කරනය කිරීම ද මගින් (ඊනියා යුද කොමියුනිස්ට් වාදය යටතේ ) කර්මාන්ත පුනරුත්ථාපනය කිරීම පිනිස දැරුනු ප්‍රයත්නය තීව්‍ර විරෝධයක් ජනිත කලේ ය. කම්කරුවන්ගේ ආන්ඩුවට ගොවි ජනයාගේ සහයෝගය නැතිව ගියහොත් බොල්‌‌ෂෙවික් පාලන තන්ත්‍රයේ ස්ථාවර භාවය භංග වනු ඇතැයි යන බිය නිසා ද ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයෙහි පසුබැස්ම සැලකිල්ලට ගනිමින් ද ලෙනින් තාවකාලික පසුබැස්මක් යෝජනා කලේ ය. 1921 මාර්තුවේදී යෝජිත නව ආර්ථික පිලිවෙත යටතේ , ගොවි ජනයාට තම පලදාව වෙලඳපොලෙහි අලෙවි කිරීමට අවසර ලැබුනි. ධනපති ව්‍යවසායන් මත පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීම, කෙටි කාලයේ දී, ආර්ථික පිබිදීමකට මග පෑදුවේ ය. නගර හා ගම්බද අතර සම්බන්ධතා පුනස්ථාපනය විය. කෙසේවුවද, නිසැක වැඩි දියුනුවක් පැවතියේ මුත් , මාක්ස්වාදී විශ්ලේෂනයේ නියැලුනාහු නව අන්තරායන් දැක ගත්හ.

පලමුවනුව, ආර්ථික ක්ෂේත්‍රයෙහිලා සිදුවූ පිබිදීමෙන් ප්‍රධාන ලෙස වාසි ලැබූයේ කෘෂි කර්මාන්තය හා ගොවි ජනයා ය. සෝවියට් සංගමයේ ඉරනම අවසාන වශයෙන් රඳා පැවති කර්මාන්තවල වැඩීම ඉතා සීමිත විය. නව ආර්ථික පිලිවෙතේ රාමුව තුල කර්මාන්තයේ වැඩීමක් අත්පත් කර ගත නොහැකි වීමෙහි පිලිබිඹුව ලෙස මතුවූ ප්‍රපංචයට, ට්‍රොට්ස්කි සිය ආවේනික දීප්තිමත් භාවයෙන් අවධානය යොමු කලේය. කෘෂිකාර්මික භාන්ඩවල මිල අඛන්ඩව පහත වැටෙද්දී කර්මාන්ත ක්ෂේත්‍රයේ භාන්ඩ මිල වේගයෙන් ඉහල ගියේ ය. 1923 අප්‍රේල්හි පැවති දොලොස්වැනි පක්ෂ සම්මේලනය ඉදිරියේ කල කථාවේදී ට්‍රොට්ස්කි, මෙම කෘෂිකාර්මික හා කාර්මික මිලෙහි එකිනෙකට වෙනස් වූ චලනය , රේඛා සටහනක් මගින් පෙන්නුම් කලේය. ඒහි රේඛා දෙක විවර කෙරුනු කතුරක තලවල හැඩ ගති. සෝවියට් ආර්ථිකයේ මූලික අංශ දෙකෙහි නිපදවුනු හුවමාරු භාන්ඩවල මිල ප්‍රතිවිරුද්ධ දිශාවන්ට විහිදී යද්දී “කතුර” වඩාත් පලල්ව ඇරුනි. මේ “පලල් වීම ”නව ආර්ථික පිලිවෙතේ ගැබ්වූ අනතුර එලිදරව් කලේ ය. කෘෂිකර්මය හා කර්මාන්තය අතර වෙලඳ ගනුදෙනුව දිගටම පිරිහී යා නම්, ගම්බද හා නගර අතර ආර්ථික භේදයක ද කම්කරුවන් හා ගොවි ජනතාව අතර දේශපාලන භේදයක ද අනතුර වැඩි දියුනු වේ.

ප්‍රියෝ බ්‍රෙසෙන්ස්කිගේ පැහැදිලි සහයෝගය සහිතව ට්‍රොට්ස්කි තර්ක කලේ, කාර්මික භාන්ඩ මිල පහත හෙලීම සඳහා සෝවියට් පිලිවෙත ප්‍රයත්න දැරිය යුතුය යනුවෙනි. මේ සඳහා , නිෂ්පාදනය සංවිධාානය කිරීමට හා ඉතිමත් කාර්යක්ෂම ආකාරයෙන් සම්පත් වෙන්කර දීමට සෝවියට් රාජ්‍යයට හැකි වන පරිදි ආර්ථික සැලසුම්කරනය පිලිබඳ සංකල්පය, වර්ධනය කිරීමක් අවැසි විය. එසේම, කාර්මික ආායෝජන උදෙසා අවශ්‍ය සම්පත් සම්පාදනය කරනු වස් කෘෂිකර්මාන්තය මත වැඩි බරක් පැටවීම ද ඊට අවශ්‍ය විය.

ඉව්ජෙනි ප්‍රියෝබ්‍රෙෂන්ස්කි

ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය නිශ්චිත භාවයේ ද පැහැදිලි බවේ ද ආදර්ශයකි. දොලොස්වැනි සැම්මේලනයේ දී ඔහුගේ විශ්ලේෂනයට විරුද්ධ වීමට මොනම උත්සාහයක් වත් නොදරන ලදී. කෙසේ වුවද, විප්ලවවාදී කුනාටු හා වෙහෙසකර භාවයේ සියලු වසර වලට පසුව, නව ආර්ථික පිලිවෙතේ වඩා ලිහිල් වාතාවරනය බෙහෙවින් සුවදායී ලෙස සැලකූ පක්ෂ නායකත්වයේ හා අනුගාමිකත්යේ තට්ටූන් එයින් සලිත කෙරුනි.රුකොපයේ දේශපාලන මනෝගතියෙහි මෙම වෙනස්වීම, පක්ෂයෙහි අභ්‍යන්තර සංයුතියේ වෙනස්කම් හා බැඳී පැවතුනි. සිවිල් යුද්ධයේ කාලපරිච්ඡේදය, පක්ෂයෙන් හා කම්කරු පන්තියෙන් දැවැන්ත මානුෂික වැය වීමක් ඩැහැ ගෙන තිබුනි. සටන් බිම තුවාල, ඝාතන හා ලෙඩ රෝග වලට, විෂිශ්ඨතම පක්ෂ කේඩරයේ හා කම්කරු පන්තියේ ඉතාම හොඳ කොටස් ගොදුරු කෙරුනාහ. කාර්මික නිෂ්පාදනයට නොවෙන්කල හැකි සේ බැඳුනාවූ පන්තිය වන සෝවියට් කම්කරු පන්තිය මුහුන දුන් ආර්ථික විනාශයන් ගේ බලපෑම බමගින් මානුෂික අහිමිවීම් වල බලපෑම උග්‍ර කෙරුනි. කර්මාන්තයේ විශාල පදාස බිඳ වැටීම, බොල්ෂෙවික්වාදයේ සමාජ පදනම් වෛෂයිකව දුර්වල කෙරුන අයුරින්, ප්‍රතිනිර්ධනීකරනය වීමකට යම් පමනින් දායක විය.

එහෙත්, තවත් සාධකයක් විසින් බොල්ෂෙවික්වාදයේ විප්ලවවාදී මුවහත මොට කෙරුනි. රාජ්‍යය සංවිධානය කිරීමේ හා අධීක්ෂනය කිරීමේ අවශ්‍යතා මගින් පාලනයේ පරිපාලන තන්ත්‍රයට, පක්ෂ කේඩරයේ සැලකියයුතු කොටසක් රුවා ගන්නා ලදහ. මෙහිදී බොහෝ අය, නව හා නුහුරු සමාජ තට්ටුවක් තුලට වැටුනාහ. වැඩ කටයුතුවල නව ඇබ්බැහි කම් පමනක් නොව, නව වරප්‍රසාද ද ඔවුන් විසින් අත්පත් කර ගැනුනි. විශේෂයෙන්ම ධනවාදී ලෝකයේ ප්‍රමිති අනුව සැලකූකල එම වරප්‍රසාද සුවිශාල වූයේ නොාවූ මුත්, මේද සහිත මස්වැදැල්ලක් පවා සුඛෝපභෝගී වන්නක් තරමට දරිද්‍රතාවට වැටී සිටි රටක, ඒවා සැලකියයුතු තරම් වීය.

නව ආර්ථික පිලිවෙතේ තවත් නිෂ්පාදිතයක්, සැලකියයුතු පමනින් බෝල්ෂෙවික් පක්ෂයේ පරිහානියට දායක විය. ධනවාදී වෙලඳපොලේ පිබිදීම සමග, පූර්ව විප්ලවවාදී සමයේ ඉහල මධ්‍යම පන්තික වූ කොටස් පක්ෂය තුලට වැද්ද ගැනීම ගැන පැවති ඉතා දැඩි තහංචි සෑහෙන ලෙස ලිහිල් කිරීමක් ගලා ආවේය. ආර්ථික කටයුතු මෙහෙයවීම සඳහා වඩවඩාත් ක්‍රියාකාරී වූ “රතු මැනේජර්වරුන්” හා “රතු කාර්මිකයන්” ලෙස උත්ප්‍රාසාත්මකව නම් කෙරුනවුන් මතු වූවා පමනක් නොව ඔවුන්ට පක්ෂ සාමාජික වරපත්‍රයක් ද ලබා ගත හැකි විය. මෙම කාල පරිච්ඡේදයේ දී පක්ෂයට ඇතුලු වූ එවැනි එක් පුද්ගලයකු වූයේ ආන්ද්‍රේ විෂින්ස්කි ය. ඔහු 1917ට පෙරාතුව , තෙල් සංගත විසින් නීතිඥයෙකු ලෙස යොදා ගැනුනෙකි. පසුව සිවිල් යුද්ධය සමයේදී අද්මිරාල් කොල්චක් විසින් නතු කර ගැනුන ප්‍රදේශයේ ප්‍රතිවිප්ලවවාදී පරිපාලනයේ නිලධාරියෙකු ලෙස විෂින්ස්කි යොදා ගැනුනි. මෙම විෂින්ස්කිම, 1936-38 මොස්කව් හොරනඩු තුනේ දී ස්ටැලින්ගේ ප්‍රධාන චුදක නීතිඥයා ලෙස ක්‍රියා කලේය.

නව ආර්ථික පිලිවෙතේ මුල් දිනවල දී සිටම ලෙනින්, අවාසිදායක වෛෂයික කොන්දේසි යටතේ බොල්ෂෙවික්වරුන් මත පටවනු ලැබූ පසුබෑමේ නිෂේධ කල යුතු ප්‍රතිපල ගැන, අතිශය සංවේදී විය. බොල්ෂෙවික් විප්ලවයේ කුප්‍රකට විරුද්ධවාදීන් වූ බොහෝ “තක්කඩියන්” පක්ෂයට කා වැදී ගැනීම ගැන ඔහු නොයෙක් විට ගර්හිත හඬින් කතා කලේය. එහෙත්, 1922 අවසානයේ දී, ඔහු අත්විඳි ප්‍රථම ප්‍රබල ආබාධයෙන් සුවය ලත් වහාම, ලෙනින්, පක්ෂයේ හා රාජ්‍යයේ තීරනාත්මක ක්ෂේත්‍රවල, කැපී පෙනෙන දේශපාලන රූපාකාරයන් ගනිමින් තිබූ, පෙර පැවති හුදකලා පරිහානි සලකුනු ගැන කම්පාවට පත් විය.

ව්ලැඩිමීර් ලෙනින් 1919 දී මොස්කව්හි ක්‍රෙම්ලිනයේ ඔහුගේ කාර්යාලයේ. [AP ඡායාරූපය] [AP Photo]

දේශපාලන මන්ඩලයෙහි තමා නොමැති තතු යටතේ, ස්ටැලින්ගේ සහාය ලැබ ගත් බුකාරින්, 1922 ඔක්තෝබරයේ දී විදේශ වෙලඳාමේ රාජ්‍ය ඒකාධිකාරය දුබල කිරීම සඳහා , අවකාශ සැලසීමට එකඟවූ බව ලෙනින්ට දැන ගන්නට ලැබුනි. ආන්තික ලෙස බි‌ඳෙන සුලු වූ සෝවියට් ආර්ථිකයට, මෙම තීන්දුව මගින් මුනගස්වනු ලැබූ අන්තරායන් ගැන එකෑවර ඒත්තු ගනිමින් ලෙනින් එම යෝජනාවේ ආරම්භකයින්ට, චෝදනා කලේ, වඩවඩාත් කූට ක්‍රියා කලාපයක් අනුගමනය කරන සුලු ධනේශ්වර ව්‍යාපාරිකයන් එනම්“නෙප්මාන්” වරුන්ගේ (නව ආර්ථික ප්‍රතිපත්තියෙන් බිහි කෙරුනවුන්ගේ) පුලුල් වන බලපෑමට අනුගත වීම පිලිබඳව ය. කොටස් වෙලඳපොලක් පවා නැාවත ක්‍රියාත්මක වෙමින් පැවතුනි.

ට්‍රොට්ස්කිගේ සහයෝගය සහිතව, රාජ්‍ය ඒකාධිකාරය යලි පිහිටුවීම සඳහා බල කිරීමට ලෙනින් සමත් විය. එහෙත් සති කීපයකින් වඩාත් බරපතල අර්බුදයක් පැන නැංගේ ය. එය සිදු වූයේ, ස්ටැලින් හා ඔහුගේ අත් ගෙඩියක් වූ ඕර්ජොනිකිඩ්ස් විසින් ජෝර්ජියානු සමූහාන්ඩුවේ නායකයන්ට, අලුතින් පිහිටුවුනු සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයට අන්තර්ගත වීමේ සිය සැලසුම පිලිගන්නා ලෙස බලකිරීම් වසයෙන් අනුයන ලද කර්කෂ ක්‍රියා පටිපාටිය එලිදරව් කෙරෙන වාර්තා ලෙනින්ට ලැබීමත් සමග ය. ම්ඩිවානිගේ සහ අනෙකුත් ජොර්ජියානු නායකයින්ගේ පැමිනිලි විභාග කිරීමත් සමග රුසියානු නොවන ජාතියකගේ නියෝජිතයන් බිය වැද්දීම සඳහා ස්ටැලින් විසින් දරන ලද උත්සාහය ගැන ලෙනින් කම්පිත විය. ස්ටැලින්ගේ ක්‍රියා මගින් ලෙනින්ගේ සිහියට නැංවුනේ, මහා රුසියානු වර්ගෝත්තමවාදී මර්දනකාරියාගේ දුෂ්ට හා වෛරයට පාත්‍රවූ චිත්‍රයයි.

ස්ටාලින් සහ ඔහුගේ සමීපතම සගයන් වන අනස්තාස් මිකෝයාන් සහ සර්ගො ඔර්ජොනිකිඩ්සේ (සුදු කමිසයෙන්) Tbilisi, 1925

සිය සෞඛ්‍ය තත්වය වේගයෙන් පිරිහෙමින් පැවතියේ නමුදු, ජෝර්ජියානු සිද්ධිය, පක්ෂයේ පැවති තත්වය පිලිබඳ ප්‍රබල නව තක්සේරුවක් ආරම්භ කිරීමට ලෙනින් මෙහෙය වීය. ලෙනින්ගේ දේශපාලන ජීවිතයේ අවසාන සති ගත කෙරුනේ , පක්ෂයේ ප්‍රමුඛ නායකයන් පිලිබඳ නිර්දය අගැයීම් ද නිලධරයට එරෙහිව සටන් වැදීම සඳහා යෝජනා ද අඩංගු සුවිශේෂ සටන් මාලාවක් ලේඛන ගත කරවා ගැනීමට ය. ලෙනින්ගේ සටහන්වල අතිශය වැදගත් අංශය වූයේ, පක්ෂයට තර්ජනයක්ව පැවති නිලධරයීය පරිහානිය සෘජුවම මූර්තිමත් කල පුද්ගලයා ලෙස ස්ටැලින් හඳුන්වා ලීමය. 1923 ජනවාරි 4 වැනිදා , ඔහුගේ දේශපාලන තෙස්තමේන්තුවට කල එකතු කිරීමේදී ලෙනින් සඳහන් කලේ, ස්ටැලින් ඉතා කුරිරුය, යනුවෙනි; ඔහු ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් කලයුතු යැයි ද ලෙනින් රෙකමදාරු කලේය.

එලඹීමට නියමිත වූ පක්ෂ සම්මේලනයේ දී ස්ටැලින්ට එරෙහි තීරනාත්මක සටනකට ලෙනින් සූදානම් වෙමින් සිටිය දී, විදේශ වෙලඳාමේ ඒකාධිකාරය පිලිබඳ අරගලයේදී මෙන්ම, ඔහු දේශපාලන සහයෝගය පතා හැරී ගත්තේ ට්‍රොට්ස්කි වෙත ය. 1923 මාර්තු 5 දා ලෙනින් ට්‍රොට්ස්කිට මෙසේ ලිවීය. “පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ජෝර්ජියානු ප්‍රශ්නය ආරක්ෂා කිරීම ඔබ විසින් භාරගනු ලැබිය යුතුය යන්න මගේ උනන්දු සහගත ඉල්ලීමයි.” එදිනම පසු භාගයේදී, ස්ටැලින් විසින් සිය බිරිඳ කෘප්ස්කායාට වාචිකව අපහාස කරන ලද බව දැන ගන්නට ලැබීමෙන් පසුව, ප්‍රධාන ලේකම් වෙත කෝපාවිෂ්ට ලිපියක් ලියූ ලෙනින්, ඔහු සමග සියලුම පුද්ගලික සම්බන්ධතා බිඳ ලූයේය. මෙය වනාහි ලෙනින්ගේ අවසාන දේශපාලන ක්‍රියාව විය. ඔහුගේ සෞඛ්‍ය තත්වය අතිශයින් නරක අතට හැරුනේ, මාර්තු 9 වැනිදා යලිත් දරුනු ආබාධයකට මුහුන දීමෙන් ඉක්බිතිව, ඔහුට කතා කිරීමේ හෝ ලිවීමේ හැකියාව නැති විය.

ලෙනින් දේශපාලන පථයෙන් ඉවත් වීමත් සමග, ට්‍රොට්ස්කිගේ ඉමහත් කීර්තිය හා බලපෑමට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා සිනොවියෙව්, කමනෙව් හා ස්ටැලින් නිල නොවන සන්ධානයක් පිහිටුවා ගත්හ. මෙම යටිකූට්ටු කටයුත්තේ දී පක්ෂ සංවිධානයෙහි ඔහුට පැවති පරිපාලන බලය ස්ටැලින් විසින් උපයෝගි කර ගැනුනි. ඔහුගේ ප්‍රධාන ආයුධය වූයේ, පක්ෂය හා රාජ්‍ය යන්ත්‍රය තුල වගකිවයුතු තනතුරු සඳහා පත්වීම් කිරීමට ඔහුට තිබූ අවස්ථාවයි. මෙම පත්වීම් දීමේ බලය මගින් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පුස්සක් බවට පත් කෙරුනේ, පක්ෂයේ තනතුරු සඳහා පත් කෙරුනවුන් පක්ෂයේ සාමාජිකත්වයෙන් පරිපූර්න ලෙස ස්වාධීන වූ හෙයිනි. අවසාන විග්‍රහයේ දී, ඔවුන්ගේ බලය රඳා පැවතියේ, කම්කරු පන්තියේ දියුනු තට්ටුව කෙරෙහි ඔවුන්ට තිබූ සම්බන්ධය මත නොව ස්ටැලින්ගේ අනුමැතිය මතය.

ලෙව් කමනෙව්, ග්‍රිගෝරි සිනො වියෙව් හා ස්ටැලින් නිල නොවන සන්ධානයක් පිහිටුවා ගත්හ

ලෙනින් නැවත දේශපාලනිකව ක්‍රියාකාරී වෙතැයි යන අපේක්ෂාවෙන් මාස කීපයක්ම, තුන් කට්ටුවට එරෙහිව එක එල්ලේ පහර දීමකින් ට්‍රොට්ස්කි වැලකී සිටියේ ය. එහෙත් 1923 ගිම්හානය වන විට කරුනු දෙකක් නිසා , එලිපිට කතා කිරීම සඳහා කාලය එලඹ ඇතැයි ට්‍රොට්ස්කි තීන්දු කලේ ය. පලමුවනුව, දොලොස්වැනි සම්මේලනයේදී තමා විසින් අනතුරු අඟවනු ලැබ තිබූ පරිදි, ආර්ථික තත්වය නොනැවතී පිරිහෙමින් පැවතුනි. දෙවනුව, විප්ලවය න්‍යායපත්‍රයට ඇතුලු වී ඇතැයි පෙනී ගිය ජර්මනියේ ගැඹුරුවන අර්බුදය, ඒ හා සමග, ජාත්‍යන්තර දේශපාලන තත්වයෙහි තියුනු වෙනසකට අවකාශය රන්දා ගෙන සිටියේ ය. ට්‍රොට්ස්කි සිය ලිපිය කෙටුම්පත් කලේ මෙම සන්දර්භය තුල ය. එම ලිපියෙහි පූර්න පිටපතක් ඉංග්‍රීසියෙන් ද සිංහලෙන් ද පලවන ප්‍රථම අවස්ථාව මෙය වේ.

Loading