ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අනවා ඇති ප්‍රහාර පැටවීමට ආන්ඩුවට සහාය වන ලෙස ජනාධිපති පාර්ලිමේන්තු විපක්ෂයෙන් ඉල්ලා සිටී

[මෙය Sri Lankan president calls on parliamentary opposition to assist his government impose IMF austerity යන මැයෙන් 2024 පෙබරවාරි 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ආන්ඩුවේ අලුත් අවුරුදු ප්‍රතිපත්ති ප්‍රකාශය, පෙබරවාරි 7 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයේ සමාරම්භක අවස්ථාවේදී ඉදිරිපත් කලේය. 2022 ජූලි මාසයේදී ඔහු ජනාධිපති ධූරයට පත් කිරීමෙන් පසු, තම පරිපාලනය සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් ලබා ඇති බව කියා සිටි වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනවන කප්පාදු පියවරයන් අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සමඟ එක්වන ලෙස සියලුම පාර්ලිමේන්තු පක්ෂවලට ආරාධනා කලේය.

2024 පෙබරවාරි 07 වැනි බදාදා කොලඹදී, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන (වම් පසින්) සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහනදීර (දකුනින්) සමඟ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පැමිනෙමින්. [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

වික්‍රමසිංහ සිය ප්‍රකාශය ආරම්භ කලේ, 'අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කල යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ” යයි ප්‍රකාශ කරමිනි. වෙනත් වචන වලින් කිවහොත්, කම්කරුවන් සහ ගම්බද දුගීන් ඔහුගේ පරිපාලනය සහ පෙර පැවති ආන්ඩු විසින් පනවන ලද දුක්ඛිත කොන්දේසි වලින් මිදීමේ මග තමා විසින්ම සොයා ගත යුතුය. මෙම ම්ලේච්ඡ සමාජ ප්‍රහාර දිගටම පවතිනු ඇති බව ඔහු පැහැදිලි කලේය.

2022 වසරේ අප්‍රේල් සහ ජූලි මාසවලදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පරිපාලනය නෙරපා හැරීමට තුඩු දුන්, එම වසරේ පෙබරවාරි මාසයේ පටන් දිගහැරුනු ලංකාවේ තත්ත්වය ගැන ජනාධිපතිවරයා සඳහන් කලේය. 2023 පෙබරවාරියේ සිට 'රටේ තත්වයෙහි සැලකිය යුතු දියුනුවක්' පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් කොලඹ ආන්ඩුවට 'ප්‍රශංසා' කල සංචාරක ජාමූඅ කන්ඩායමක අදහස් වික්‍රමසිංහ පසුව උපුටා දැක්වීය.

'ප්‍රශංසනීය' වූයේ කාහටද? රටේ ජනගහනයෙන් අතිමහත් බහුතරය වන වැඩකරන ජනතාව සහ ග්‍රාමීය දුප්පතුන් සඳහා නොව, සුපිරි ධනවතුන්, ඉහල මධ්‍යම පන්තියේ කොටස් සහ ගෝලීය ප්‍රාග්ධනයේ කුඩා ප්‍රභූ පැලැන්තියක් සඳහා ය.

ගතවූ මාස 12 තුල වික්‍රමසිංහගේ “ප්‍රගතිය” පිලිබඳ දර්ශකවලට, පසුගිය වසරේ සියයට 50.6 සිට අද සියයට 6.4 දක්වා උද්ධමනය අඩුවීම, එම කාලය තුලම ආහාර උද්ධමනය සියයට 54.4 සිට සියයට 3.3 දක්වා පහත වැටීම සහ “සැලකිය යුතු පෙරලියක්” ඇති කරමින්, 2022 දී ප්‍රාථමික අයවැය හිඟය 3.7 සිට 2023 දී ප්‍රාථමික ගිනුමේ අතිරික්තයක් දක්වා ගමන් කිරීම ඇතුලත් විය.

2022 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9 ක හිඟයක සිට, 2023 අවසානයේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් 'සාක්ෂාත් කර ගැනීම' ගැන ජනාධිපතිවරයා පුරසාරම් දෙඩුවේය. මෙය '1977 ට පසු නොදුටු' 'සංධිස්ථානයක්' බව ඔහු පවසයි. එසේම, 2022 අප්‍රේල් 12 වැනි දින ශූන්‍යයට ලං වූ විදේශ විනිමය සංචිත ද උපුටා දක්වමින් එවක පැවති රාජපක්ෂ ආන්ඩුවට නය පැහැර හැරීමක් ප්‍රකාශ කිරීමට බල කෙරුනු බව ද ඔහු සඳහන් කලේය. සංචිත දැන් ඩොලර් බිලියන 4.4 ක් වන බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, 'ප්‍රගතිය' පිලිබඳ වික්‍රමසිංහගේ දර්ශක, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අතිමහත් බහුතරයක් වන වැඩකරන ජනතාවගේ සහ ග්‍රාමීය කම්කරුවන්ගේ ජීවන කොන්දේසි සමග කිසිදු සම්බන්ධයක් නැත. උද්ධමන වේගය අඩු විය හැකි නමුත් භාන්ඩ සහ සේවා මිල දිගටම ඉහල යමින් පවතී. පසුගිය වසරවල ඉහල මිල ගනන්වල සමුච්චිත බලපෑමත් සමඟ මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවන වියදම අහස උසට නැඟීම, කම්කරුවන්ගේ සැබෑ වැටුප් විශාල ලෙස අඩු වීම සහ ඔවුන් තවදුරටත් දරිද්‍රතාවයට තල්ලු කිරීම මෙහි ප්‍රතිඵලය යි.

ආන්ඩුව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පිලිබඳ 'ජයග්‍රහනය' සාක්ෂාත් කර ගෙන ඇත්තේ රාජ්‍ය වියදම් කප්පාදුව හරහා ය. ඖෂධ සහ සෞඛ්‍ය උපකරන වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් ඇති කරමින් ආනයන දැඩි ලෙස කප්පාදු කිරීම සහ විදේශ නය ආපසු ගෙවීම අත්හිටුවීම හරහා විදේශ විනිමය සංචිත ඉහල දමාගෙන ඇත.

“බිඳවැටුනු ආර්ථිකයන් යථා තත්වයට පත් කිරීම සාමාන්‍යයෙන් දිගුකාලීන අභියෝග සහ දුෂ්කරතාවලින් පිරුනු කාර්යයක් බව” ප්‍රකාශ කල වික්‍රමසිංහ, “අනෙකුත් ජාතීන් මෙන් නොව, දරාගැනීමට සිදුවිය හැකි දුෂ්කරතා සහ වේදනාවන් මගහරිමින් අපගේ ආර්ථිකය වේගයෙන් පුනර්ජීවනය කිරීමට අපි සමත් වී තිබෙනවා,” යයි පැවසීය.

සුපිරි ධනවතුන් 'විඳදරාගැනීමට සිදුවිය හැකි දුෂ්කරතා සහ වේදනාවන්' මගහරවා ගෙන ඇතත්, වැඩකරන ජනතාවට මෙය එසේ නොවේ. සංගත බදු අඩු මට්ටමක තබා ඇති නමුත්, ආදායම් බදු වැඩි කිරීම, ඉහල එකතුකල අගය මත බද්ද (වැට්) සහ විවිධ ආනයන බදු සමඟ, වැඩ කරන ජනතාව මත අධික වියදම් පටවා ඇත. ඉන්ධන, කෑම පිසින ගෑස්, පොහොර ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩ 97 ක් දක්වා ප්‍රතික්‍රමන බදු (ප්‍රතික්‍රමන බදු යනු ආදායම ඉහල යාමත් සමඟ සාමාන්‍ය බදු බර අඩු වන බද්දකි - පරිවර්තක) පැනවීමත් සමඟ ජනවාරි මාසයේ සිට වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කර ඇත. එමෙන්ම වැඩකරන ජනතාවගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පවා දරුනු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කෙරෙමින් පවතී.

“අප තවමත් ද්වීපාර්ශවීය හා බාහිර වානිජ පදනමෙන් ලබාගත් කිසිදු නයක් ගෙවන්නේ නෑ. නමුත් ප්‍රතිව්‍යුහගතකරනයෙන් පසු අප නය ගෙවීම් ආරම්භ කල යුතුයි. නය ගෙවන්න රුපියල් වගේම ඩොලර් අප සතු විය යුතුයි' ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.

පසුගිය සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාවේ මුලු නය බර ඩොලර් බිලියන 91 ක් වූ අතර නය ආපසු ගෙවීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 3 ක් අවශ්‍ය බව වික්‍රමසිංහ පැවසීය. ආන්ඩුවේ මුලු වාර්ෂික වියදමෙන් සියයට 38 ක් පමන වැය වන්නේ නය ආපසු ගෙවීම සඳහා බව ඔහු සඳහන් කලේය.

මෙම දැවැන්ත නය බර, තම ආන්ඩුව 'ප්‍රගතියක් ලබමින් සිටින' බවට වික්‍රමසිංහ කරන ප්‍රකාශයේ මුලුමනින්ම පල්ල අරියි. වඩාත්ම වැදගත් කාරනය නම්, නය ගෙවීමට 'අත්‍යවශ්‍ය' යැයි ඔහු පවසන 'රුපියල් සහ ඩොලර්', ජාත්‍යන්තර බැංකුව විසින්ම 'ම්ලේච්ඡ අත්හදා බැලීමක්' ලෙස විස්තර කර ඇති, ඊටත් වඩා දරුනු ජාමූඅ ප්‍රතිපත්ති මගින්, වැඩකරන ජනතාවගෙන් මිරිකා ගනු ඇත.

රැකියා, වැටුප් සහ, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික සේවාවන් සඳහා වෙන් කිරීම් කප්පාදුව හරහා රාජ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීම මගින් රුපියල් එකතු කරගනු ඇත. රජය සතු ව්‍යවසායයන් විදේශීය ආයෝජකයින්ට විකිනීමෙන් ඩොලර් එකතු කරගනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුකූලව, පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය සතු ව්‍යවසායයන් 430 ක් පමන වෙන් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රැකියා මිලියන භාගයක් පමන විනාශ වනු ඇතැයි පුරෝකථනය කෙරේ. මෙම පියවරයන් විදුලිය සහ ජලය වැනි උපයෝගිතා පිරිවැය තවදුරටත් වැඩි කිරීමට හේතු වනු ඇත. විදුලිබල හා ජල ගාස්තු දැනටමත් කම්කරුවන්ට සහ ග්‍රාමීය ජනතාවට දරාගත නොහැකි මට්ටම් වලට ඉහල දමා ඇත.

ඵලදායිතාව වැඩි කිරීමේ කඩතුරාව යටතේ කෘෂිකාර්මික අංශය දේශීය හා විදේශීය ව්‍යාපාරික ආයෝජකයන්ට විවෘත කිරීමේ සැලසුම් වික්‍රමසිංහ විසින් හෙලිදරව් කර ඇත. ජනවසම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි විවිධ ආන්ඩුවේ ආයතන විසින් කලමනාකරනය කරනු ලබන අක්කර ලක්ෂ ගනනක් 'ඵලදායි නොවන ලෙස පවතින බවත්, සැලකිය යුතු සම්පත් නාස්තියකට තුඩු දී ඇති බවත්' ඔහු පාර්ලිමේන්තුවට පැවසීය. මෙම ඉඩම් “විදේශීය තාක්ෂනය සහ ආයෝජනය සඳහා වන විකල්පය ද ඇතුලුව දීර්ඝ කාලීන වානිජ වගාව සඳහා දේශීය ව්‍යවසායකයන්ට බදු දීමට ආන්ඩුව සැලසුම් කරයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

වික්‍රමසිංහගේ කතාවේ අවසාන කොටසේ දී අවධානය යොමු කලේ, ජාමූඅ විසින් නියම කරන ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට ඔහුගේ ආන්ඩුවට සහය වන ලෙස සංස්ථාපිත පාර්ලිමේන්තු පක්ෂවලින්, විශේෂයෙන්ම විපක්ෂයේ සමගි ජන බලවේගයෙන් (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) ඉල්ලා සිටීමට යි.

'අපේ ගමන තවත් වේගවත් කරගන්න පුලුවන් වෙන්නේ අප සියලු දෙනා එකට එක් වී සමඟියෙන් මේ අභියෝගයට මුහුන දුන්නොත් විතරයි,' ඔහු ප්‍රකාශ කලේය. මෙය, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත වඩ වඩාත් කුරිරු ලෙස එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ වැඩෙන විරුද්ධත්වය මැඩලීමට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් සඳහා ආන්ඩුවෙන් කෙරෙන කැඳවීමකි.

ජනවාරි මුලදී, ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන් දහස් ගනනක් ආන්ඩුවේ අත්‍යාවශ්‍ය සේවා නියෝග සහ අනෙකුත් මර්දනකාරී පියවර නොතකා අරගලවලට එක්වූහ. ලංවිම පෞද්ගලීකරනයට එරෙහිව රටපුරා තුන්දින ලෙඩ නිවාඩු දැමීමේ කාර්මික අරගලයකට ඔවුහු සහභාගී වූහ. විශේෂ දීමනා වැඩි කරන ලෙස ඉල්ලමින් ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයෝ මේ වසරේ තුන් වතාවක් වැඩ වර්ජනය කලහ. ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ වර්ජන කඩාකප්පල් කරන්නන් ලෙස හමුදා භටයින් 1,000 ක් රෝහල් වෙත යෙදවීමෙනි.

වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ශ්‍රී ලංකාවේ සමස්ත පාලක පන්තිය තුල ඇති භීතිය නම්, මෙම වැඩෙන කම්කරු පන්ති ව්‍යාපාරය, 2022 අප්‍රේල්-ජූලි කාලවලදී, රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් නෙරපා හරින ලද ආකාරයේ දැවැන්ත නැගිටීමක් දක්වා වර්ධනය වනු ඇතැයි යන්නයි. වික්‍රමසිංහ විරුද්ධ පක්ෂවලට ආයාචනා කරන්නේ, තමන් සමග පෙල ගැසී මෙවැනි ආන්ඩු විරෝධී ව්‍යාපාරයක් මතුවීම වැලැක්වන ලෙසයි.

ආන්ඩුව පිලිබඳ පාර්ලිමේන්තු විපක්ෂයේ විවේචනය, ඔහු ප්‍රකාශ කලේ, 'පුද්ගලයන්, තනතුරුවලට කෑදරකමෙන්' සහ 'රටේ සුබසිද්ධියට වඩා පුද්ගලික ලාභයට ප්‍රමුඛත්වය දීම' මගින් පොලඹවන බවයි. 'මම නැවතත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ රට ගොඩනැංවීමේ සිහිනය සැබෑ කරගන්න එකට එකතු වෙන්න කියලයි..”

විපක්ෂයේ සජබට සහ ජවිපෙට, වික්‍රමසිංහ ආන්ඩුවේ ආර්ථික වැඩපිලිවෙල සමග මූලික වෙනස්කම් නොමැත. එම පක්ෂ ජාමූඅ පිලිවෙත්වලට ම කැපවී සිටී. ඔවුන්ගේ උත්සුකය වන්නේ, රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුව (ශ්‍රීලංපොපෙ) මත යැපෙන වත්මන් ආන්ඩුවට, ජාමූඅ පියවර ක්‍රියාත්මක කිරීමට සහ මහජන විරෝධය මැඩපැවැත්වීමට නොහැකි වීමයි.

වික්‍රමසිංහ ආන්ඩුව පිලිබඳ ව්‍යාජ විවේචන වලින් වැඩකරන ජනතාව සහ ග්‍රාමීය කම්කරුවන් රැවටීමට උත්සාහ කරන සජබ සහ ජවිපෙ, මීලග මැතිවරනයේදී බලයට පැමිනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ගැන යලි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙති.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නයක් සඳහා තමන් අනුයුක්ත කර ඇති දැඩි කොන්දේසිවල කිසිදු වෙනසක් පිලිගන්නේ නැති බව ජාමූඅ යලි යලිත් පැහැදිලි කර තිබේ. මීලඟ මැතිවරනයේදී කවුරුන් බලයට ආවද එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රහාරම දිගටම ක්‍රියාත්මක කරනු ඇත.

ධනේශ්වර විපක්ෂයේ තම ප්‍රතිවාදීන්ට විකල්ප ආර්ථික ප්‍රතිපත්ති නොමැති බව හොඳින් දන්නා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු විපක්ෂයට ඔවුන්ගේ වැඩපිලිවෙල ගෙනහැර දැක්වීමට නැවත නැවතත් අභියෝග කරයි. “අපි දැනට භාවිතා කරන ක්‍රමවලට වඩා උසස් විකල්ප ක්‍රම තිබේ නම්, කරුනාකර ඒවා ඉදිරියට ගෙන එන්න. අපි ඒවා හොඳින් පරීක්ෂා කර සාකච්ඡා කරමු,”යැයි ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

“පසුගිය එදිරිවාදිකම් පසෙකලා සම්මුතියකට එලැඹීම” සම්බන්ධයෙන් රාජපක්ෂගේ පක්ෂය වන ශ්‍රීලංපොපෙට ප්‍රශංසා කල වික්‍රමසිංහ, සජබ හි මූලාරම්භය ඔහුගේම එක්සත් ජාතික පක්ෂය බව උපුටා දක්වමින් මෙසේ විමසීය: “සමගි ජන බලවේගයට එය අනුගමනය කල නොහැක්කේ ඇයි?”.

2015-19 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති වික්‍රමසිංහගේ ආන්ඩුව සමයේ ජවිපෙ “අපි සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කල” බව ජවිපෙට සිහිපත් කල ඔහු, “ජවිපෙට අපේ ජාතියේ උන්නතිය සඳහා එකතු විය නොහැක්කේ ඇයි?” යනුවෙන් විමසීය.

වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ලංවිම සේවකයින්ගේ සහ මහජන සෞඛ්‍ය සේවකයින්ගේ කාර්මික ක්‍රියාමාර්ගයට ඔහු දක්වන මර්දනකාරී ප්‍රතිචාරය, ඔහුගේ ආන්ඩුව කම්කරු පන්තියේ සහ ගම්බද දුගීන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරය තීව්‍ර කරන බව පැහැදිලි කරයි.

සජබ, ජවිපෙ සහ අනෙකුත් පාර්ලිමේන්තු විපක්ෂය මෙම ප්‍රතිපත්ති වැලඳ ගන්නවා මෙන්ම, තේරී පත් වුවහොත් එම පාලක පන්තියේ ප්‍රහාරයම ඉදිරියට ගෙන යනු ඇත.

මෙම ප්‍රහාරයට මුහුන දීමට, ධනේශ්වර ප්‍රභූවට එරෙහිව සටන් කිරීමට කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා කම්කරු පන්තිය තමන් ම ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතුය. අරමුන විය යුත්තේ සමාජවාදී ජාත්‍යන්තරවාදයට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමයි.

Loading