ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය-දෙවන කොටස

2 . ජනතා විමුක්ති පෙරමුන සහ කම්කරු පන්තිය

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. අද පල කරන්නේ දෙවන කොටසයි.පලවන කොටස 20 දින පලවිය. ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

2 . ජනතා විමුක්ති පෙරමුන සහ කම්කරු පන්තිය

1965-70 කාලය තුල දී යූඇන්පී ආන්ඩුව පෙරටු කොට ගත් ධනේශ්වර පන්තිය ලංකාවේ කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට එල්ල කල බලවත් ප්‍රහාර, කම්කරු පන්තියේ පමනක් නො ව ගොවි ජනතාව හා ශිෂ්‍යයන් ද ඇතුලු පීඩිත කොටස්වලත් ඉමහත් රැඩිකලීකරනයක් ඇති කිරීමට තුඩු දුන්නේ ය.

1966 වතුකරයේ ද, 1967 පෞද්ගලික අංශයේ ද, 1968 රාජ්‍ය අංශයේ ද, 1969 සංස්ථා අංශයේ ද ඇති වූ ස්ට්‍රයික් සටන් ප්‍රකාශයට පත් කලේ කම්කරු පන්තියේ රැඩිකලීභවනය යි. මේ සෑම ස්ට්‍රයිකයක් තුලින් ම කම්කරුවන් ඉදිරිපත් කල කිසි ම ඉල්ලීමක් සපුරා ලීමට ධනේශ්වර පන්තියට නොහැකි වූ අතර, ධනපති ආන්ඩුව මේ සටන් මැඩීමට රාජ්‍ය බලය යෙදී ය.

කම්කරු පන්තියේ ඇති වූ මේ රැඩිකල් භාවයත් සමග අත්වැල් බැඳ ගෙන ශිෂ්‍යයන් හා අනෙකුත් පීඩිත කොටස් ද රැඩිකලීකරනය වූ අතර, ජනතාවගේ එදිනෙදා කටයුතුවලට රාජ්‍යය වඩ වඩාත් ඇඟිලි ගැසීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පවා රාජ්‍යයේ තර්ජනයට ලක් වීමත් මධ්‍යම පන්තිකයන්ගේ ජීවන තත්වයන් කඩා බිඳ වැටීමත් මේ රැඩිකලීභවනය පසුපසින් විය.

කම්කරු පන්තියට හා දුගී ජනතාවට ධනේශ්වර පන්තිය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් අර්බුදයට හසු වූ ධනේශ්වර ක්‍රමය තම ජීවිතය පවත්වා ගෙන යාමට ගත් උත්සාහයන් වූ අතර, මේ ප්‍රහාරයන් කම්කරු පන්තිය හා පීඩිත කොටස් ඉදිරියේ ඉස්මතු කලේ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ ප්‍රශ්නය යි.

යූඇන්පී ආන්ඩුව බලයෙන් තල්ලු කර දමා අධිරාජ්‍යවාදී හා ධනේශ්වර දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කරන, සමාජවාදී ප්‍රතිපත්තිවලින් යුතු ආන්ඩුවක් බලයට ගෙන ඒම කම්කරු පන්තියත් දුගී ජනතාවත් මුහුන දුන් සෑම ප්‍රශ්නයක ම හරය විය.

පීඩිත ජනතාවගේ සහයෝගයෙන් යුතුව කම්කරු පන්තියේ බලය ස්ථාපනය කිරීමේ මේ ප්‍රශ්නය මතු වත් ම, එය යටපත් කර දැමීම සඳහා සමසමාජ හා කොමියුනිස්ට් නායකත්වයන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යටතට කම්කරු පන්තියත් දුගී ජනතාවත් ගෙන යාම යි. මේ සඳහා කම්කරු පන්තියේ සෑම ස්ට්‍රයිකයක් ම “ආර්ථික” සටනක මට්ටමේ හිර කර තැබීමටත් ඒවායින් මතු වූ දේශපාලන ප්‍රශ්නය වූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම වසං කිරීමටත් කම්කරු පන්තියට පාර්ලිමේන්තුවාදී “විසඳුමක්” ඇතැයි පෙන්වීමටත් සමසමාජ- කොමියුනිස්ට් නායකයෝ ක්‍රියා කලහ.

ඔවුන්ගේ මේ සියලු ම ක්‍රියාවන් කේන්ද්‍රගත වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග ඔවුන් ඇති කර ගෙන සිටි ප්‍රතිවිප්ලවවාදී පෙරමුන ආරක්ෂා කිරීම හා මේ පෙරමුන කඩා ගෙන ස්වාධීනව පෙරට යාමට කම්කරු පන්තිය දරන උත්සාහයන්ට විරුද්ධව සටන් කිරීම වටා ය.

කම්කරු පන්තියේ ස්ට්‍රයික් සටන්වලින් ඉස්මතු වූ ඇත්ත ප්‍රශ්නය වූ රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය, ඒ සටන් තුල දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් ඉස්මතු කරනු ලබන විට, සමසමාජකොමියුනිස්ට් නායකත්වයන් එය දුටුවේ ශ්‍රීලනිපයට කම්කරු පන්තිය ගැට ගැසීමේ තම දේශපාලනයට එල්ල කරන ලද බලවත් දේශපාලන අභියෝගයක් හැටියට ය. සත්තකින් ම එය එසේ ම විය.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මේ සටන් ඇතුලත රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය ඉස්මතුව ඇති බව කියන විට, එයින් කෙලින් ම ඇඟවුනේ ධනපති පන්තියත් සමග ඇති කර ගෙන ඇති සෑම සම්මුතියක් ම බිඳ දමා ස්වාධීනව බලය ගැනීමට කම්කරු පන්තිය සූදානම් විය යුතු ය යන්න යි.

1968 රාජ්‍ය අංශයේ සටන මැද දී මව් බිම පත්‍රය අපට “ජේ.ආර්.ගේ ඔත්තුකරුවන්” යැයි පහර දුන්නේ ධනපති පන්තියට කම්කරුවන් යට කිරීමේ ස්ටැලින්වාදීගේ මිනීමරු ප්‍රතිපත්තියට විරුද්ධව කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා අප සටන් කල නිසා ය.

1969 දෙසැම්බරයේ ඇත්ත පත්‍රයකින් සුමනා පල්ලෙගෙදර නමැත්තිය අප “යූඇන්පියට විරුද්ධව සටන් නො කර නිදිවැද සිටිනවා” යැයි ලීවේ යූඇන්පිය පැරදවීමේ මාවත ශ්‍රීලනිපයට බලය දීම ය යන ඔවුන්ගේ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්තිය අප නොපිලිගෙන සිටි නිසා ය.

මේ අයුරින් සමසමාජ-කොමියුනිස්ට් නායකත්වයන් එක දිගට ම සටන් කලේ කම්කරු පන්තිය ධනපති පක්ෂයක් යටතට කෙසේ හෝ ගැට ගැසීමට යි.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සටන් කලේ ධනපති පන්තියට කම්කරු පන්තිය යටත් කිරීමට විරුද්ධව කම්කරු පන්තිය ස්වාධීනව බලය කරා මෙහෙයවීමට සමත් විප්ලවවාදී පක්ෂය ලංකාව තුල ගොඩ නැගීමට ය.

සමසමාජ-කොමියුනිස්ට් නායකයගේ මෙන්ශේවික්වාදී දේශපාලනයට විරුද්ධව බෝල්ශේවික්වාදී දේශපාලනය සඳහා සටන් කලේ අප පමනි. ලංකාව තුල සිටි මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය, ලසසප(වි)ය ආදිය සමසමාජ-කොමියුනිස්ට් නායකත්වයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට කිසි ම සටනක් කලේ නැත.

ලංකාව තුල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවනු ලැබුයේ ම ද සමසමාජවාදයේ හා ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී දේශපාලනය පරාජය කර දමා සියලු ම ධනේශ්වර පක්ෂයන්ට විරුද්ධ ස්වාධීන කම්කරු පන්ති පක්ෂයක් කම්කරු පන්තිය තුල ගොඩ නැගීම සඳහා ය.

ලංකාවේ සාම්ප්‍රදායික වාම පක්ෂයන් වන සමසමාජ-කොමියුනිස්ට් පක්ෂයන් ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂයකට විවෘතව ම සහයෝගය දෙද්දී මාක්ස්වාදීන් සතු ප්‍රධානතම කටයුත්ත වන්නේ සියලු ම ධනේශ්වර දේශපාලන පක්ෂයන්ට විරුද්ධව සටන් කරන පක්ෂයක් ගොඩ නැගීම මගින් සමසමාජ-කොමියුනිස්ට් පක්ෂයන්ගේ බලපෑම පෙරලා දැමීම යි.

ජනතා විමුක්ති පෙරමුන නමැති සංවිධානය ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුලට පිවිසියේ එබඳු අරමුනක් ඇතිව නො වේ.

ලංකාවේ රැකියා නැති තරුනයන් අතරත් ගොවි ජනතාව අතරත් ඇති වුනු දරුනු රැඩිකලීභවනය මේ ජනතා විමුක්ති පෙරමුන විසින් ප්‍රකාශයට පත් කරන ලදි. එහෙත් ජනතා විමුක්ති පෙරමුන මේ පීඩිත ජන කොටස්වලට තමන්ට පමනක් සීමිත විසඳුමක් ඇතැයි යන ප්‍රතිගාමී මායාවේ සිරකරුවෙකු බවට ආරම්භයේ සිට ම පත්ව සිටියේ ය. (එකල ඔවුන් ජනතා විමුක්ති පෙරමුන යන නමින් ප්‍රසිද්ධියේ ක්‍රියා කලේ නැත.)

ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ මාරාත්මක අර්බුදය පීඩිත පන්තීන්ට කෙලින් ම පහර ගසන තත්වයකට ධනපති පන්තිය ඇද දමා ඇති තතු තුල ධනවාදය පෙරලා දැමීමෙන් තොර වෙනත් විසඳුමක් පීඩිත පන්තීන්ට නොමැත.

එහෙත් ගොවි ජනතාව, රැකියා නැති තරුනයන් ආදින්ට ඔවුන්ගේ සටන්කාමිත්වය හා අරගලයන් තුලින් ධනවාදය පෙරලා දැමිය නොහැකි ය. ඔවුන්ගේ සටන්කාමිත්වය හා අරගලයන් හුදෙකලාව පැවතීම ඒවා විරෝධතා ව්‍යාපාරයන් හැටියට හා ප්‍රතිසංස්කරනවාදී ව්‍යාපාරයන් හැටියට අවසන් වීමක් කරා ගෙන යයි.

මේ නිසා මාක්ස්වාදීන් සටන් කරන්නේ ධනපති රාජ්‍යයට විරුද්ධ සටනේ නායකත්වය ගත හැකි එක ම බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය යටතට මේ මධ්‍යම පන්තික කොටස්වල අරගලයන් ගෙන ඒමට ය. මෙය කල හැකි වන්නේ කම්කරු පන්තිය ධනපති පන්තියෙන් වෙන් කර ගෙන, දේශපාලන වශයෙන් ස්වාධීන බලවේගයක් බවට පත් කර ගෙන, ගොවි ජනතාවගේ හා මධ්‍යම පන්තිකයන්ගේ ප්‍රශ්න විසඳීමේ විප්ලවවාදී ක්‍රියා මාර්ගයක් කම්කරු පන්තිය වෙතින් ඉදිරිපත් කිරීමෙනි.

ජනතා විමුක්ති පෙරමුන මධ්‍යම පන්තික කොටස් තුල ඇති වූ රැඩිකලත්වය අමු අමුවේ ම පිලිබිඹු කල ද, මේ රැඩිකලිත්වයේ ස්වභාවයත් එය ඉබේ විකාශනය වන දිශාවත් ගැන විද්‍යාත්මක විග්‍රහයක් ඔවුන්ට නොමැත.

ගොවියන්ට ඉඩම් නැතිකම, තරුනයන්ට රැකියා නැතිකම, වියලි කලාපයේ නියඟය හා අනෙක් තැන්වල ගංවතුර, සෝදාපාලු වීමෙන් ස්වභාවික සම්පත් විනාශ වීම යන මේ සියල්ලක් ම නිසා ගැමි ජනතාවට හා විශේෂයෙන් ම ඔවුන්ගෙන් මතු වී සිටින රැකියා නැති තරුනයන්ට ඇති වී තිබෙන අසහනය ජනතා විමුක්ති, දේශප්‍රේමී බඳු පත්‍රවල පිටුවක් පිටුවක් ගානේ ම ඉතා ම හොඳින් පිලිබිඹු වේ.

මේ අසහනය ම පදනම් කර ගෙන ඔවුන් ගොඩ නගා ඇති විරෝධතා ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුන යි. ඉහත කී සුවිශේෂ ප්‍රශ්න උඩ තරුනයන් සංවිධානය කර පෙරට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුන යත්න දරන විට ම මේ තරුනයන් ඉල්ලන ප්‍රතිසංස්කරනයන් ධනපති ක්‍රමයට සැලසිය නොහැකි නිසා ම අර්බුදයට හසුව ඇති ලාංකික ධනේශ්වර පන්තියේ ප්‍රධානතම පක්ෂයන් දෙක වන යූඇන්පියත් ශ්‍රීලනිපයත් මේ ව්‍යාපාරයට විරුද්ධව සිටී.

පසු ගිය මැතිවරනයට පෙරාතුව යූඇන්පී හවුලත්, ශ්‍රී ලංකා හවුලත් යන දෙක ම මේ ව්‍යාපාරයට විරුද්ධව මහා ගෝට්ටියක් ගෙන ගියේ මොන යම් ම හෝ ප්‍රතිසංස්කරනවාදී ව්‍යාපාරයක් ඔවුන්ට දැරිය නොහැකි නිසා ය.

මේ ව්‍යාපාරය සීඅයිඒ ව්‍යාපාරයක් හෝ ඔත්තුකාර ව්‍යාපාරයක් ලෙස හඳුන්වා පහර ගසන සෑම නායකත්වයක් ම කම්කරු පන්තියට බොරු කියන්නවුන් පමනක් නො වේ; දුගී ජනතාවගේ කිසි ම ප්‍රශ්නයක් විසඳීමට තමන් ලැහැස්ති නැති බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරනවුන් ය.

තමන්ගේ සුවිශේෂ ප්‍රශ්නවලට විසඳුමක් ලංකාවේ සාම්ප්‍රදායික වාම පක්ෂවලින් නොලැබෙන නිසා ම “ස්වාධීනව” ව්‍යාපාරයක් ගොඩ නැගීමට මේ සංවිධානය තල්ලු වී ඇත. සමාජය තුල මධ්‍යම පන්තිවල ඇති වී ඇති දරුනු රැඩිකලීභවනය, මෙබඳු විරෝධතා ව්‍යාපාරයක් තුලින් ප්‍රකාශයට පත් වීම වමේ නායකයන් සැම විට ම සටන් කරන එල්ලය වන “පන්ති සාමය” තබා ගැනීමට ඉමහත් බාධාවක් වේ. එනිසා ඔවුහු මේ ව්‍යාපාරය “කඩාකප්පල්කාරී ව්‍යාපාරයක්” ලෙස හඳුන්වති.

වමේ නායකයන් විසින් මේ සංවිධානය වෙත එල්ල කර ඇති අවලාදයන් හා මඩ ගැසීම් මේ සංවිධානයේ ඇත්ත දේශපාලනය හා පන්ති ස්වභාවය ගැන නියම විග්‍රහයක් කිරිමට ඇති බාධක ය.

පන්ති හැගීමෙන් යුතු කම්කරුවන්, මේ ජනතා විමුක්ති පෙරමුන කුමක් ද යන්න වටහා ගැනීමේ දී වමේ නායකයන් ඉදිරිපත් කර ඇති කුනුහරුප විග්‍රහයෙන් මුලුමනින් ම ස්වාධීන විය යුතු ය.

මේ සංවිධානය කුමක් දැයි වටහා ගැනීම සඳහා කම්කරු පන්තිය රාජ්‍ය බලයට කරන අරගලයේ ආස්ථානයෙහි, එනම් විප්ලවවාදී මාක්ස්වාදය මත අප පදනම් විය යුතු ය.

1970 අගෝස්තු 1 වන දා නිකුත් වූ ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම පුවත්පත වන ජනතා විමුක්ති පත්‍රයේ මැද පිටුවල ජනතා විමුක්ති පෙරමුන කුමක් දැයි හඳුන්වා දෙන ලිපියක් පල කර තිබුනි. මේ ලිපියට අනුව ජනතා විමුක්ති පෙරමුනේ අරමුනු මෙසේ ය:

ජනතාවගේ දුක් වේදනා තුලින් බිහි වූ ජනතා විමුක්ති පෙරමුන ලක් මවත් ඇගේ දූදරුවනුත් පරාධීනත්වයෙන්, අන්ධකාරයෙන් මුදා නිදහස් සමාජවාදයේ ආලෝකය කරා ගමන් කැරැවීමේ උත්තුංග කාර්යය වෙනුවෙන් දිව්රුම් දී සිටී.

ජීවන බරින් මිරිකී මන්දපෝෂනයට බිලි වී රෝගීන් බවට හා කාලකන්නිකමට පත්ව අකල් මරනය කරා ගමන් කරමින් සිටින මෙරට ජනතාව නිරෝගී ශක්ති සම්පන්න වාසනාවන්තයින් බවට පත් කිරීමේ උත්තුංග කාර්යය සඳහා දිව්රුම් දී සිටී.

රැකියා ප්‍රශ්නයෙන් වෙලී දෙමාපියන්ටත් රටටත් බරක්ව සියලු බලාපොරොත්තු බිඳ වැටී පරාජිතවාදයට බිලි වී සිටින මෙරට තරුන තරුනියන් ඉන් මුදා ජාතියේ ජීවය බවට පත් කරමින් වාසනාව කරා ගෙන යෑමේ උත්තුංග කාර්යය වෙනුවෙන් දිව්රුම් දී සිටී.

අවුරුදු පතා අනිවාර්ය ජල ගැලීම්වලට ගොදුරු වූ සදාකාලික නියඟයෙන් හා ජල හිඟයෙන් දුක් විඳින වියලි කලාපීය ජනතාවන් ඉඩම් හිඟයෙන් වෙලී සිටින උඩරට ගැමි ජනතාවන් ඉන් මුදා ගැනීමේ උත්තුංග කාර්යය සඳහා දිව්රුම් දී සිටී (ජනතා විමුක්ති, මංගල කලාපය).

කම්කරු පන්තියේ ප්‍රශ්න ගැන හෝ කම්කරු පන්තිය සංවිධානය කිරීම ගැන හෝ එක ම වචනයක් වත් මේ හැඳින්වීමේ ලිපිය තුල නොමැත්තේ අහම්බයෙන් නො වේ.

මේ ලිපියේ ප්‍රකාශ කර ඇති පරිදි ම ජනතා විමුක්ති පෙරමුන බිහිව ඇත්තේ ඔවුන් “ජනතාව යැ”යි හඳුන්වන ලංකාවේ සිංහල සුලු ධනපති පන්තියේ දුර්වේදනා තුලින් ම ය.

මන්දපෝෂනයෙන් හා ජීවන බරින් පෙලෙන “ලක්මවගේ දරුවන්”, වියලි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන් හා රැකියා නැති තරුනයන් ආදි සිංහල සුලු ධනේශ්වරයේ දුක් වේදනා සත්තකින් ම ජනතා විමුක්ති පෙරමුන තුල වෙයි.

මේ සංවිධානය සිංහල සුලු ධනපති තට්ටුවේ “විමුක්තිය” සඳහා සටන් කරන සංවිධානයක් පමනි. ඔවුන්ගේ පත්‍රවල “නිර්ධන පන්තිය” යනුවෙන් එක දිගට ම හඳුන්වා ඇත්තේ ඉහත කී සමාජ තට්ටුව වන අතර එය මාස්වාදීන් නිර්ධන පන්තිය ලෙස හඳුන්වන්නේ නැත. නිර්ධන පන්තිය යනු කම්කරු පන්තිය පමනි. අනෙක් කිසි ම සමාජ කොටසක් නිර්ධන පන්තිය නොවේ. ගොවියන්, රැකියා නැති තරුනයන් ආදින් කොතෙක් පීඩාවට ලක්ව සිටියත්, මේ ආර්ථික අර්බුදය විසින් කම්කරු පන්තිය දිශාවට තල්ලු කර දමා ඇතත්, ඔවුන් සුලු ධනේශ්වර පන්තිය මිස නිර්ධන පන්තිය (කම්කරු පන්තිය) නො වේ.

මේ රටේ සුලු ධනේශ්වර පන්තිය නිර්ධන පන්තිය ලෙස හඳුන්වා, මේ සුලු ධනේශ්වර පන්තියේ දුක් ගැනවිලි හා වේදනාවන් කම්කරු පන්තියේ දුක් ගැනවිලි සමග එකට පාස්සා, කම්කරු පන්තිය ඔවුන් කියන පලල් 'නිර්ධන පන්තිය” තුල දිය කර දමා සුලු ධනේශ්වර විරෝධතා ව්‍යාපාරයක් ගොඩ නැගීම ඔවුන්ගේ අරමුන යි.

ගොවියන්, රැකියා නැතියවුන් ආදින් නිර්ධන පන්තිය ලෙස නම් කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුන මාක්ස්වාදයේ ඉතා ම මූලික සත්‍යයක් සංශෝධනය කරයි. එපමනක් නො වේ. මාක්ස්වාදය “පීඩිත පන්තියේ අනභිභවනීය ආයුධය” (සමාජවාදී සංගමයේ පලමු පත්‍රය, 4 පි.) බව ඔවුන් කියන විට මාක්ස්වාදය සුලු ධනේශ්වරයන්ගේ අවශ්‍යතාවන්ට අනුව විකෘත කිරීමට තමන් සූදානම් බව ඔවුහු ප්‍රකාශ කරති. මාක්ස්වාදය කම්කරු පන්තියේ පමනක් ආයුධය වන අතර, එය අනෙක් පීඩිත පන්තිවල ආයුධයක් නො වේ.

ඔවුන්ගේ මේ විකාරයන් හා මාක්ස්වාදය අතර කිසි ම සම්බන්ධයක් නැත.

මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි සඳහන් කල පරිදි:-

අද ධනේශ්වර පන්තියට මුහුණට මුහුණ ලා නැගී සිටින සියලු ම පන්තීන් අතුරෙන් නිර්ධන පන්තිය පමණක් ම නියම වශයෙන් විප්ලවවාදී පන්තියක් වෙයි. නවීන කර්මාන්තයන් හමුවෙහි අන් සියලු ම පන්තීන් දිරාපත් වී ගොස් අවසානයේ දී අතුරුදහන් වෙති. නිර්ධන පන්තිය වූ කලි නවීන කර්මාන්තයේ විශේෂ වූත් අවශ්‍ය ම වූත් ඵලය යි.

පහල මධ්‍යම පන්තිය, කුඩා කර්මාන්ත හිමියා, කඩකාරයා, හස්ත කර්මාන්ත ශිල්පියා, ගොවියා යන මේ සියල්ලෝ ම ධනේශ්වර පන්තියට විරුද්ධව සටන් කරන්නේ මධ්‍යම පන්තියේ කොටස් වශයෙන් වූ සිය පැවැත්ම අභාවයට යෑමෙන් වළක්වා ගනු පිණිස ය. ඔවුහු එම නිසා විප්ලවවාදී නො ව ආචීර්ණ කල්පික වෙති. එමතු ද නො වෙයි. ඔවුහු ප්‍රතිගාමී වෙති. මන්ද යත්, ඔවුන් ඉතිහාසයේ රියසක ආපසු කරකැවීමට යන්න දරන බැවිනි. අහම්බෙන් හෝ ඔවුන් විප්ලවවාදීන් වන්නේ නම් එසේ වන්නේ ඔවුන් නිර්ධන පන්තිය තුළට මාරු වීම ආසන්නව ඇති බැවිනි. එබැවින් ඔවුන් ආරක්ෂා කරන්නේ ඔවුන්ගේ වත්මන් වුවමනාවන් නො ව අනාගත වුවමනාවන් ය. ඔවුහු නිර්ධන පන්තියේ ප්‍රතිෂ්ඨානය දැරීම සඳහා තමන්ගේ ප්‍රතිෂ්ඨානය අත හැර දමා යති (කොමියුනිස්ට් ප්‍රකාශනය, මහජන ප්‍රකාශකයෝ, 1961, 66-67 පිටු).

මාක්ස්වාදීන් නිර්ධන පන්තිය ලෙස හඳුන්වන්නේ ජනතා විමුක්ති පෙරමුන “නිර්ධන පන්තිය” ලෙස හඳුන්වන පලල් පීඩිත ජනතාව නො වේ. අද ධනේශ්වර අර්බුදය තුලින් මේ පලල් පීඩිත කොටස්, “තම ප්‍රතිෂ්ඨානය අත හැර දමා නිර්ධන පන්තියේ ප්‍රතිෂ්ඨානය කරා ඒමට නැඹුරු වත් ම” ජනතා විමුක්ති පෙරමුන කරන්නේ මේ පීඩිත කොටස්වල සුලු දුක් ගැනවිලි මත පදනම්ව කම්කරු පන්තියට පිටින් ව්‍යාපාරයක් හැදීම පමනි. ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන්නේ මේ මධ්‍යම පන්තික තට්ටුවල වර්තමාන වුවමනාවන් බව මේ ලිපි මාලාවේ නිසි අවස්ථාවේ දී පෙන්වමු.

ඊට ප්‍රථම, කම්කරු පන්තිය හා අනෙකුත් පීඩිත කොටස් අතර මාක්ස්වාදීන් තහවුරු කරන පැහැදිලි බෙදීම පාස්සන්ට ජනතා විමුක්ති පෙරමුන දරන උත්සාහයන් ගැන අප තවත් ගැඹුරට සොයා බැලිය යුතු ය.

නිර්ධන පන්තියේ (කම්කරු පන්තියේ) කලකිරිම්, සුලු නිෂ්පාදකයන්ගේ කලකිරීම් සමග සමාන කිරීම සහ ... එකිනෙකට පෑස්සීම සහමුලින් ම වැරදි ය. සුලු නිෂ්පාදකයන්ගේ කලකිරීම් නිතර ම වාගේ සුලු ධනපතියන් හැටියට ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂ කර ගැනීමේ අවශ්‍යතාවන් ජනනය කරයි.

... සුලු නිෂ්පාදකයන් අතරත් සටන තියුනු ලෙස වර්ධනය වන බව ඇත්ත ය. එනමුත් ඔවුන්ගේ අරගලය හැම විට ම වාගේ කම්කරු පන්තියට විරුද්ධව එල්ල කරනු ලැබෙයි. මක් නිසා ද? සුලු නිෂ්පාදකයාගේ තත්වය නිසා ම, බොහෝ ආකාරවලින් ඔවුන්ගේ අවශ්‍යතාවන් කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට තියුණු ලෙස විරුද්ධව යන තත්වයක් සකසයි (ලෙනින්, එකතු කල කෘති, 6 වන වෙලුම, 49 පි.)

යනුවෙන් 1903 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලේබර් පක්ෂයේ ක්‍රියා මාර්ගය හැටියට ප්ලෙකනොව් ඉදිරිපත් කල කෙටුම්පත විවේචනය කරමින් ලෙනින් ලීවේ ය.

සුලු ධනපති පන්තියේ “ප්‍රධානතම නියෝජිතවරයා” කම්කරු පන්තිය යැයි ප්‍රකාශයට පත්ව තිබූ අදහසට විරුද්ධව කම්කරු පන්තිය සුලු ධනේශ්වරයේ “ප්‍රධානතම නියෝජිතයා” වන්නේ නැතැයි ලෙනින් ප්‍රකාශ කලේ ය:

... එය එසේ වේ නම් වන්නේ, තමන්ගේ විනාශය අනිවාර්ය බව සුලු නිෂ්පාදකයා වටහා ගෙන, ඔහු තමන්ගේ ප්‍රතිෂ්ඨානය අත හැර දමා කම්කරු පන්තියේ ප්‍රතිෂ්ඨානයට එත් නම් පමනි (එම, 50 පි.)

යැයි සඳහන් කල ලෙනින්, “තමන්ගේ ප්‍රතිෂ්ඨානය තව මත් අත හැර නැති” වර්තමාන සුලු නිෂ්පාදකයාගේ ප්‍රධානතම නියෝජිතයන් වන්නේ යුදෙව් විරෝධියා, ලොකු ඉඩම් හිමියා, ජාතිවාදියා, නරෝද්නිකයා, සමාජ ප්‍රතිසංස්කරනවාදියා හා “මාක්ස්වාදයේ විවේචකයා” බව සඳහන් කලේ ය.

ලෙනින් මේ සියල්ල කීවේ සුලු ධනේශ්වරයන්ගේ “සටන්” කම්කරු පන්තිය තුල සිටින අවස්ථාවාදී නායකත්වයන්ගේ මාක්ස්වාදයට විරුද්ධ සටනත් සමග සම්බන්ධව ඇති කාලයක දී, සෑම සමාජ තට්ටුවක ම අරගලයන් එකට ගොනු කර ගැනීමේ ඇති අයෝග්‍යතාව රුසියානු මාක්ස්වාදීන්ට පැහැදිලි කර දීමට ය.

සුලු ධනේශ්වර පන්තිවල “සටන්කාමිත්වය' හා 'අරගලයන්” ඇත්තට ම ප්‍රකාශ කර ඇත්තේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය නිසා ම ඔවුන් කම්කරු පන්තිය දෙසට කඩා වැටෙන බව වුවත්, මේ “සටන්කාමිත්වය” හා “අරගලයන්” කම්කරු පන්තියේ සටනත් සමග මාට්ටු කිරීම කෙලින් ම මග පාදන්නේ කම්කරු පන්තිය ඔවුන්ට යටත් කිරීමට යි.

කම්කරු පන්තියට මේ පීඩිත කොටස් තමන් වෙත දිනා ගත හැක්කේ ඔවුන් සමග මාට්ටු වීමෙන් නො ව තමන් පන්තියක් හැටියට ස්වාධීන වීමෙනි.

ජනතා විමුක්ති පෙරමුන, මාක්ස්වාදයේ වචන මාලාවෙන් “නිර්ධන පන්තිය” යන වචනය පැහැර ගෙන එය සියලු ම සුලු ධනපතියන් එකට ගොනු කර නම් කිරීම සඳහා යොදන විට, ඔවුන් කරන්නේ කම්කරු පන්තියේ නායකත්වය යටතට පීඩිත කොටස්වල අරගලය ගෙන ඒම නො වේ; සුලු ධනපති සටන්කාමිත්වයට කම්කරු පන්තිය ගැට ගසන්ට තැතනීම යි.

රජරට හේන් ගොවියන්, උඩරට ගැමියන් හා රැකියා නැති තරුනයන් ආදින් පීඩා විඳින “නිර්ධන පන්ති” ජනතාව ලෙස නම් කර “පීඩා විඳින නිර්ධන පන්ති ජනතාව විසින් ම පීඩනයට එරෙහිව සටන් කල යුතු යැයි ජනතා විමුක්ති පෙරමුන කියන විට, ඔවුන් එයින් අදහස් කරන්නේ සුලු ධනේශ්වර පන්තිය, නිර්ධනික වීමෙන් වලක්වා ලීමට සටන් කිරීම ගැන හා සුලු ධනේශ්වරයගේ අවශ්‍යතාවන් ඒකාධිකාරී ධනවාදයේ ප්‍රහාරයන් හමුවේ සුලු ධනේශ්වර ක්‍රමවලින් ආරක්ෂක්ෂා කිරීමත් ගැන ය.

ලංකාවේ උඩරට ගැමියන්, රජරට හේන් ගොවියන් හා රැකියා නැති තරුනයන් ආදින්ගේ අවශ්‍යතා කම්කරු පන්තියේ අවශ්‍යතා නො වේ. කම්කරු පන්තිය ධනවාදයට විරුද්ධ වන ආකාරයෙන් ඉහත කී එක ම කොටසක් වත් ධනවාදයට විරුද්ධ නො වේ.

කම්කරු පන්තිය හා ඉහත කී ජන කොටස් අතර ඇති වෙනස හුදු නිර්වචනමය වෙනසක් නො වේ. මාක්ස්වාදීන් කම්කරු පන්තිය පමනක් වර්තමාන සමාජය තුල විප්ලවවාදී බලවේගය බව කියන විට එසේ කියන්නේ වර්තමාන නිෂ්පාදන බලවේගයන් හා කම්කරු පන්තිය අතර ඇති සුවිශේෂ සම්බන්ධය මත පිහිටා ය.

නිෂ්පාදන බලවේගයන් පෞද්ගලික අයිතියට යටපත් කිරීම තුලින් තම ශ්‍රම ශක්තිය භාන්ඩයක් හැටියට විකිනීම හැර වෙනත් ජීවන මාර්ගයක් නොමැති විශාල පන්තියක් ධනේශ්වර දේපල ක්‍රමය තුල බිහි වුනු අතර, කම්කරු පන්තියේ මේ ශ්‍රම ශක්තිය සමග ප්‍රාග්ධනය හුවමාරු කර ගැනීම මත ශ්‍රමය මතුපිට ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ගොඩ නගා ඇති ආකාරය මාක්ස්වාදය විසින් පෙන්වා දෙන ලදි.

භාන්ඩයක වටිනාකම එම භාන්ඩය නිපදවීම සඳහා සමාජ වශයෙන් අවශ්‍ය වන ශ්‍රම ප්‍රමානයෙන් මැනේ. එමෙන් ම ශ්‍රම ශක්තිය නමැති භාන්ඩයේ වටිනාකමත් එම භාන්ඩය නිපදවීමට සමාජ වශයෙන් අවශ්‍ය වන ශ්‍රම ප්‍රමානයෙන් මැනේ.

ධනපතියන් අතිරික්ත වටිනාකමක් අත් කර ගන්නේ ශ්‍රම ශක්තිය නමැති මේ සුවිශේෂ භාන්ඩය මිලයට ගෙන එය වැඩෙහි යෙදවීමෙනි. ශ්‍රම ශක්තිය නමැති භාන්ඩයේ වටිනාකම ජීවමාන කම්කරුවා යම්තමින් ජීවත් කර තැබීමට යන වියදම වන අතර, මේ භාන්ඩය වැඩෙහි යෙදවීම මගින් කම්කරුවා යම්තමින් ජීවත් කර තැබීමට වැය වන වියදමට වඩා වටිනාකමකින් යුත් භාන්ඩ තොගයක් නිපදවා ගත හැකි ය. ධනපතියාට අතිරික්ත වටිනාකමක් ගෙන දෙන්නේ මේ ක්‍රියා පිලිවෙල යි. ධනේශ්වර පන්ති පීඩනයේ හරය හැටියට පවතින්නේ මේ ක්‍රියා පිලිවෙල යි.

ධනේශ්වරයන්ට අතිරික්ත වටිනාකම් සපයා දීමේත්, එමගින් ප්‍රාග්ධනය ගොඩ නගා ගැනීමට උපයෝගි කර ගනු ලබන මාර්ගය වන්නේත් කම්කරු පන්තිය යි. ධනේශ්වර ක්‍රමය තුල නිෂ්පාදන බලවේගයන් අතුරින් ඉතා ම වැදගත් නිෂ්පාදන බලවේගය වන්නේ කම්කරු පන්තිය ම ය. මේ නිසා, ධනේශ්වර සූරා කෑමෙන් නිදහස් වීමට කම්කරු පන්තිය කරන සටන නිෂ්පාදන බලවේගයන් මත පෞද්ගලික අයිතිය විසින් පටවා ඇති බාධාවන් විනාශ කර දැමීමේ සටන බවට පත් වේ. නිෂ්පාදන බලවේගයන් හා කම්කරු පන්තිය අතර ඇති මේ සම්බන්ධතාව නිසා ම පමනක් ධනේශ්වරයේ මිනී වල කනින අවිය බවට පත් වන්නේ කම්කරු පන්තිය යි.

අධිරාජ්‍යවාදීන්ගේ හා දේශීය ධනපතියන්ගේ සූරා කෑමෙන් ලෝකය ම විමුක්ත කර ගත හැක්කේ කම්කරු පන්තියට ම පමනක් වන අයුරින් ම ලංකාවේ අධිරාජ්‍යවාදී හා ධනේශ්වර සූරා කෑම මුලිනුපුටා දැමිය හැක්කේ ද කම්කරු පන්තියට පමනි.

උඩරට ගැමියා, රජරට හේන් ගොවියා ආදි මධ්‍යම පන්තික කොටස් සුලු නිෂ්පාදකයන් වන අතර, ඔවුන්ගේ ප්‍රශ්නය ඉස්මතු වන්නේ කම්කරු පන්තියේ ප්‍රශ්නය ඉස්මතු වන තැනින් නො වේ.

අධිරාජ්‍යවාදීන් හා මහ ධනපතියන් අතට නිෂ්පාදන බලවේගයන් පත්ව යාම නිසා, තම සුලු නිෂ්පාදකයන්ට පහර වැදීමෙන් හට ගත් වේදනාවන්ගෙන් ද, තම අයිතිවාසිකම් හා වරප්‍රසාදයන් මිරිකී යාම නිසා ඇති වූ වේදනාවන්ගෙන් ද යුතු මේ මධ්‍යම පන්තිය විරුද්ධ වන්නේ අධිරාජ්‍යවාදී හා ධනේශ්වර සූරා කෑමට නො වේ. ඔවුන් විරුද්ධ වන්නේ මේ ක්‍රමය විසින් ඔවුන්ගේ ජීවිතයන් මත පටවා ඇති විවිධාකාර බාධකයන්ට පමනි.

උදාහරනයක් හැටියට, වතුකරයේ කම්කරුවන් හා උඩරට සුලු ගොවියන් වතු අයිතිකාර ධනපතියන්ට විරුද්ධ වන ආකාරය දෙස බැලිය හැකි ය.

වතු කම්කරුවා තම ශ්‍රම ශක්තිය වතු ධනපතියාට විකුනන අතර, වතු කොම්පනිකාරයාගේ අතිරික්තය හැදෙන්නේ මේ ශ්‍රමය සූරා කෑමෙනි. වතු කම්කරුවාගේ නිදහස යනු සූරා කනු ලැබීමෙන් නිදහස් වීම යි. එනම්, වතු අයිතිකාර ධනපතියන් පෙරලා දැමීම යි.

උඩරට ගැමියන් මේ අධිරාජ්‍යවාදී සූරා කෑමට ලක් වූවන් නොවන අතර, ඔවුන් මේ අධිරාජ්‍යවාදී දේපලවලට විරුද්ධව ඇ ත්තේ ඔවුන්ගේ ඉඩම් අධිරාජ්‍යවාදීන් කොල්ල කා ගෙන ඇති බැවිනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉඩම් නිසා, ඉඩම් සම්බන්ධ ඔවුන්ගේ අවශ්‍යතාව නැවතත් වරක් සුලු පෞද්ගලික නිෂ්පාදන ක්‍රමයක් ඇති කිරීම මිස, පෞද්ගලික දේපල අයිතිය නැති කර දැමීම අරමුනු කර නො ගනී.

ධනවාදයේ අර්බුදයත් සමග ඔවුන්ගේ අයිතිවාසිකම්වලින් හා වරප්‍රසාදයන්ගෙන් ඉතිරි වී ඇති ටිකටත් පහර වදින විට, නිර්ධන පන්තිය දෙසට තමන් ඇද වැටීම ඔවුන්ට පැහැදිලි වන විට, ඔවුහු තම අයිතිවාසිකම් අතලොස්සක් රැක ගැනීම සඳහා එක් අතකින් ඒකාධිකාරි ධනවාදයටත් අනෙක් අතින් නැගී එන කම්කරු පන්ති විප්ලවයටත් තර්ජනය කරති.

උඩරට ගැමියාට වතු අධිකාරයන්ට විරුද්ධව නැගෙන දුක් ගැනවිලි මාලාවක් ඇතුවාක් මෙන් ම, වතුකරයේ පමනක් නො ව මුලු කම්කරු පන්තියට ම ද විරුද්ධව නැගෙන දුක් ගැනවිලි මාලාවක් ද ඔවුන්ට ඇත.

කම්කරු පන්තිය ධනවාදයට විරුද්ධව, එය පෙරලා දැමීමට කරන සටන මගින් තමන්ගේ පන්ති අවශ්‍යතාවන් නැතිභංග වී යතැයි යන බියට අමතරව, වෘත්තීය සමිති හා වෙනත් සංවිධාන හරහා කම්කරු පන්තිය සහන උදුරා ගෙන, තමන්ගේ “පංගුවට” පහර වැදෙතැයි යන බිය ද ඔවුන් තුල ඇත.

ඔවුන්ගේ වර්තමාන තත්වය මත ඔවුන් සිටින තාක් දුරට, ඔවුන් ක්‍රියා කරන්නේ කම්කරු පන්තියට විරුද්ධව යි. ජනතා විමුක්ති පෙරමුනේ ඇති කම්කරු විරෝධී භාවය ඉහත කී සුලු ධනේශ්වර තට්ටුවේ ඇති කම්කරු විරෝධී භාවය ම ය.

එහෙත් ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය ගෙන යන සටනට සම්බන්ධ වීමට පිටින් ඔවුන්ට වෙනත් ඉදිරි මාවතක් ඇත්තේ ද නැත. ඔවුන් එසේ සම්බන්ධ වීම සඳහා තමන් දැන් නියෝජනය කරන සුලු ධනේශ්වර අවශ්‍යතාවන් හැර දා කම්කරු පන්තිය සමග එක් විය යුතුව තිබේ.

ලංකාවේ සුලු ධනපති කොටස් අතුරිනුත් ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන්නේ සිංහල සුලු ධනේශ්වරය පමනි. ලංකාව තුල අධිරාජ්‍යවාදයේ හා දේශීය ධනවාදයේ පීඩනයට අමතරව ජාතික පීඩනයට ද ලක්ව සිටින උතුරේ දුගී ජනතාව ගැන මේ සංවිධානය ප්‍රසිද්ධියේ කිසිවක් නොකියන්නේ එබැවිනි.

එපමනක් නො වේ. උඩරට ගැමියන් “නිර්ධන පන්තිය” ලෙස බදා ගන්නට යන මොවුන් ලංකාවේ වතු කම්කරුවන්ට විරුද්ධ ය. වතු කම්කරුවන්ට ඔවුන්ගේ ඇති විරුද්ධත්වය සිංහල සුලු ධනේශ්වර පන්තිය ධනවාදයේ ආධිපත්‍යය පෙරලා නො දමා මේ ක්‍රමය තුල ම ඇති “වරප්‍රසාදයන්” අතලොස්ස තම තමන් අතර බෙදා ගැනීමට දක්වන උනන්දුව පමනක් ප්‍රකාශ කරයි.

“නිර්ධන පන්තියේ අවශ්‍යතාවන්” යැයි කියමින් උඩරට ගැමියන් ආදි සුලු ධනේශ්වරයන්ගේ අවශ්‍යතාවන් ආරක්ෂා කිරිමට ජනතා විමුක්ති පෙරමුන පෙරට එන විට ඔවුන් එසේ කරන්නේ කම්කරු පන්තියේ වතු කම්කරු කොටසට පමනක් නො ව සෑම කොටසකට මත් විරුද්ධව ය.

ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන්නේ කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවන් නො වේ. ඒ නිසා එය මාක්ස්වාදී ව්‍යාපාරයක් නො වේ.

කම්කරු පන්තියට විරුද්ධව සුලු ධනපතියන්ගේ අවශ්‍යතාවන් ආරක්ෂ කරන්නවුන් පිරිසක් වන මේ ව්‍යාපාරය, මේ සුලු ධනපතියන්ගේ අවශ්‍යතාවන්ට අනුව මාක්ස්වාදී න්‍යාය සංශෝධනය කරන ආකාරය අපි පෙන්වූයෙමු. ඔවුන් මේ සංශෝධනය කර ඇත්තේ ඉතා ම නිශ්චිත අරමුනක් ඇතිව ය. එනම්, කම්කරු පන්තියත්, එහි ඇත්ත රැඩිකලත්වයත් ධනේශ්වරයෙන් ස්වාධීන වීමේ මාවතකට පිවිසීම නවත්වා දැමීම සඳහා සුලු ධනේශ්වරයේ අවශ්‍යතාවන් පස්සෙන් යන්නෙකු බවට කම්කරු පන්තිය පත් කර ගැනීමේ අරමුන ඇතිව ය.

ධනේශ්වර ක්‍රමයත් සමග තමන්ට ඇති බැඳීම්වලින් මිදිය නොහැකි සුලු ධනේශ්වර තට්ටුවේ දැනුවත් නියෝජිතයෝ මාක්ස්වාදය සංශෝධනය කිරීමෙන් හා මේ සංශෝධනයන් තුලින් කම්කරු පන්තිය මධ්‍යම පන්තිවලට ගැට ගැසීමට උත්සාහ කිරීමෙන් සපුරන්නේ අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් ය.

අධිරාජ්‍යවාදයට කම්කරු පන්තිය තම ග්‍රහනයේ තබා ගෙන සිටිය හැක්කේ, කම්කරු ව්‍යාපාරය තුල සිටින සමසමාජවාදී හා ස්ටැලින්වාදී ද්‍රෝහීන්ගේ පිහිටෙනි. පිපිරෙන කම්කරු පන්ති සටන්කාමිත්වය සමසමාජවාදයේ හා ස්ටැලින්වාදයේ මල බෙරය හඬවත් ම, කම්කරු පන්තිය පන්තියක් වශයෙන් ස්වාධීන වීම නවත්වා දැමීමට මධ්‍යම පන්තික රැඩිකල්වාදී දේශපාලනය ක්‍රියාත්මක වෙයි.

සිංහල සුලු ධනේශ්වර තට්ටුවේ ප්‍රතිගාමී අවශ්‍යතාවන් ආරක්ෂා කරන අතර ම, තමන් මාක්ස්වාදීන් ද බව කියා ගැනීමෙන් ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්තිය ඇතුලට මධ්‍යම පන්තිකයන්ගේ රැඩිකල්වාදී දේශපාලනය ගෙන ඒමට දොර විවෘත කර ගනී.

මාක්ස්වාදීන් නියෝජනය කරන්නේ කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාව පමනි. මාක්ස්වාදය වෙන මොන ම පන්තියක වත් අවශ්‍යතාවන් නියෝජනය නො කරයි. මේ ගැන සැකයක් ඇතියෙකු සිටිනවා නම් මාක්ස්වාදී ව්‍යාපාරයේ ආරම්භක ලියවිල්ල වන කොමියුනිස්ට් ප්‍රකාශනය කියවා ඒ සැකය දුරු කර ගත හැකි ය.

හේන් ගොවියන්, උඩරට ගැමියන් ඇතුලු සිංහල සුලු ධනේශ්වරයේ අවශ්‍යතාවන් නියෝජනය කරන අමුතු ම වර්ගයක “මාක්ස්-ලෙනින්වාදී” ව්‍යාපාරයක් හැදීමට යන ජනතා විමුක්ති පෙරමුනට විරුද්ධව, මාක්ස්වාදය රැකීම සඳහා එල්ල කල බලවත් ප්‍රහාරයක් හැටියට 1902 දී “ජාත්‍යන්තර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (මාක්ස්වාදී ව්‍යාපාරය) වැඩ කරන හා සූරා කැවෙන ජනතාවගේ විමුක්ති ව්‍යාපාරයේ පෙරමුනේ සිටී” යනුවෙන් ප්ලෙකනොව් කල ප්‍රකාශනයට විරුද්ධව ලෙනින් කී දෑ ඉදිරිපත් කල හැකි ය.

ලෙනින් කීවේ: “කිසි සේත් ම නැත. එය (මාක්ස්වාදී ව්‍යාපාරය) පෙරමුනේ සිටින්නේ කම්කරු පන්තියේ හා කම්කරු පත්ති ව්‍යාපාරයේ පමනි” යන්න ය. වෙනත් කොටස් මේ පන්තියත් සමග එක් වෙනවා නම්, ඔවුන් කොටස් පමනක් මිස පන්ති නොවන බවත් ඔවුන් අප කරා එන්නේ ඔවුන්ගේ ප්‍රතිෂ්ඨානය සහමුලින් ම අත හැර දැමීමෙන් පමනක් බවත් ලෙනින් තව දුරටත් කියා සිටියේ ය. ලෙනින් මෙසේ ද කීවේ ය:

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු (මාක්ස්වාදීහු) සුලු නිෂ්පාදකයන්ගේ සටන් බලවේගයන් කොතැනක දී වත් සංවිධානය නො කරති. එය සංවිධානය කරන්නේ කම්කරු පන්තියේ සටන් බලවේගයන් පමනකි (ලෙනින්, එකතු කල කෘති, 6 වන වෙලුම, 50 පි.).

විශේෂයෙන් ම වතු කම්කරුවන්ට විරුද්ධවත්, පොදුවේ සමස්ත කම්කරු පන්ති යට ම විරුද්ධවත් සිංහල සුලු ධනේශ්වරයේ “සටන් බලවේගයන්” සංවිධානය කරන ජනතා විමුක්ති පෙරමුනේ “මාක්ස්වාදය” ලෙනින්ගේ මාක්ස්වාදය නම් නො වේ.

එය මාක්ස්වාදයේ සුලු ධනේශ්වර විකෘති කිරීමක් පමනක් වන අතර, ලෙනින් රුසියානු සුලු ධනේශ්වර තට්ටුවේ ඇත්ත නියෝජිතයන් ලෙස පෙන්වූ - “ජාතිවාදියා, නරෝද්නිකයා, සමාජ ප්‍රතිසංස්කරනවාදියා හා මාක්ස්වාදයේ විවේචකයා” යනාදී සියල්ලන් ම ලංකාවේ තත්වයන් තුලින් ජනතා විමුක්ති පෙරමුන තුලට පිවිස සිටින හැටි ඉතිරි ලිපිවල දී පෙන්වමු.

Loading