විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ට කැඳවුමක්: කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් වැටුප් අරගලය අපි අතට ගනිමු!

සහෝදර/සහෝදරියනි,

සසප සාමාජික දේහින් වසන්ත

පසුගිය වසර කිහිපය තුල වේගයෙන් පහල වැටෙමින් පවත්නා ජීවන තත්ත්වයන් යටතේ, වැටුප් වැඩි කර ගැනීම, අන්සෑම කම්කරුවෙකුගේ මෙන්ම, අනධ්‍යන කම්කරුවන්ගේ ද දැවෙන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

උද්ධමනය පහල ගොස් ඇතැයි ද රජයේ සේවකයන්ට වැටුප් වැඩි කර ඇතැයිද පම්පෝරි ගසන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ජීවන තත්ත්වයන් “තවදුරටත් ඉහල දමාගැනීම” සඳහා තම කප්පාදු වැඩපිලිවෙලට සහාය දෙන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙවැනි මුලාවන්ට කම්කරුවන් අසුවියයුතු නැත.

2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බලයට පත් වූ කාලයට සාපේක්ෂව අත්‍යවශ්‍ය භාන්ඩවල මිල සියයට 200-500 කින් ඉහල ගොස් ඇති බව සංඛ්‍යාලේඛන අනාවරනය කරයි. සහල්, කිරිපිටි, පරිප්පු, මස් සහ මාළු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල තවදුරටත් දැරිය නොහැකි මට්ටම් වලට නැග ඇත. රුපියල් 145කට අලෙවි වූ පරිප්පු කිලෝවක මිල දැන් රුපියල් 300 ඉක්මවා තිබේ. රුපියල් 17.ක් වූ බිත්තරයක අද මිල රුපියල් 60කි. භාන්ඩ හා සේවා ඉහල ගිය පරිමාවට අලගු තැබීමට හෝ ප්‍රමානවත් වැටුප් වැඩිකිරීමක් අපට ලැබී නොමැත.

උද්ධමනය පහලගොස් ඇතැයි ආන්ඩුව පවසයි. එහි අර්ථය වනුයේ, භාන්ඩ සහ සේවාවන්ගේ මිල පහලගොස් ඇතිබව නොව, මිල ඉහලයාමේ රේට්ටුව පහලගොස් ඇති බවයි. ඒ අනුව, අපේ පඩිපතට කිසිසේත් දැරිය නොහැකි මට්ටමට ඉහලගොස් ඇති අත්‍යවශ්‍ය භාන්ඩවල මිල තවදුරටත් ඉහල යමින් පවතී. අපේ දරුවන් මන්ද පෝෂන තත්ත්වයට සහ වැඩිහිටි අප ඖෂධ නොමැතිව මියයන තත්වයට ඇද දමා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියෝග මත ආන්ඩුව දේශීය නය ප්‍රතිව්‍යූහගත කිරීමේදී සේවක භාරකාර අරමුදල සහ විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල ඒ සඳහා ප්‍රයෝජනට ගත්තේ තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාත කපා දමමිනි. විශ්වවිද්‍යාල කම්කරුවන් වන අපට විශ්‍රාම වැටුපක් හිමි නොවන තතු යටතේ, මෙලෙස පොලී අනුපාත කපා දැමීම හේතුවෙන්, ජීවිතය යන්තමින් හෝ ගැටගසා ගැනීමට තිබූ මංපෙත් ඇවිරී අපේ විශ්‍රාම දිවිය මුලුමනින්ම අඳුරු කෙරී පවතී.

ජීවන තත්ත්වයන් පවත්වා ගැනීමට පඩිපත කිසිසේත් ප්‍රමානවත් නොවීම සම්බන්ධයෙන්, සෙසු කම්කරුවන් අතර මෙන්ම, විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන් වන අප අතර ද වැඩී පවතින්නේ ඉවසිය නොහැකි කෝපයකි. පෙබරවාරි 28 සහ 29 යන දිනවල සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට, විශ්ව විද්‍යාල වෘත්තිය සමිතිය ඒකාබද්ධ කමිටුව (විවිවෘසඒක) විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිට දැනුම් දී ඇත්තේ, මෙම කෝපය තම නායකත්වයට පිටතින් පුපුරායතැයි යන භීතියෙනි. විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල පරිපාලන හා මූල්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්ව විද්‍යාල සේවා වෘත්තීය සමිතිය, සමගි සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය එම ඒකාබද්ධ කමිටුවේ ප්‍රධාන වෘත්තීය සමිති වේ.

අනධ්‍යන වෘත්තිය සමිති මෙම සංකේත වැඩ වර්ජනය කැඳවා ඇත්තේ, ඔවුන් දශකයට ආසන්න කාලයක් යලියලිත් ඉල්ලා සිටින “වැටුප් විෂමතා ඉවත් කිරීම” මතය. 2015 දී වැටුප් වැඩි කිරීමට පෙර අනධ්‍යන සේවකයන් ලබමින් සිටි වැටුපෙන් සියයට 15 ක වැටුප් වැඩිවීමක් සමිති විසින් ඉල්ලා සිටි. ඒ අනුව සාමාන්‍ය කම්කරුවෙකුට හිමි වැටුප් වැඩිවීම රුපියල් 3000ක් පමන වන සොච්චම් අගයකි. එය, පසුගිය අවුරුදු නවය තුල වැඩි වූ ජීවන වියදම පූරනය කිරීමට කිසිසේත් නොසෑහේ.

සැබැවින්ම, සමිති නිලධරය මෙම ප්‍රතිශතයන් නිර්නය කලේ, එම සමිතිවල සාමාන්‍ය සාමාජිකයන් වන අප සමග කවර හෝ සාකච්ඡාවකින් තොර, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආකාරයකින් බව ඔබ හොඳින් ම දනී.

ඒකාබද්ධ කමිටුව තම සාමාජිකත්වය අතර බෙදා හරින ලද පත්‍රිකාවට අනුව, ජනවාරි 24 වැනිදා යූජීසී යේ සභාපතිවරයා වැටුප් විෂමතා ඉවත් කිරීමට එකඟ වී තිබේ. පෙබරවාරි 20 දින කැබිනට් මන්ඩල රැස්වීමේදී මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදෙන්නේනම් පෙබරවාරි 28, 29 දෙදින සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව එම කමිටුව යූජීසී සභාපතිට ලිපියක් මගින් දැන්වා තිබේ. වියහැකි පරිදිම, කැබිනට් මන්ඩලයෙන් “විසඳුමක්” නොලැබුනි.

වෘත්තිය සමිති නායකත්වයම පවසන ආකාරයට පසුගිය අවුරුදු හතක කාලය තුල මෙම ඉල්ලීම මත, පැවති ආන්ඩු සමඟ සාකච්ඡා සහ උද්ඝෝෂන විශාල සංඛ්‍යාවක් පවත්වා ඇත. පසුගිය ජනවාරි 18 වෙනිදා ද මෙම ඉල්ලීම් මුල්කරගනිමින් එක් දින වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂනයක් දියත් කෙරුනු අතර අපි ඒවාට සහභාගි වූයෙමු. විරෝධතා පා ගමනක යෙදුනු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අප සහෝදර කම්කරුවන්ට ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ, පොලිසිය සහ කැරලි මර්දන ඒකක යොදා ගනිමින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමිනි.

අයිඑම්එෆ් විධානයෙන් ක්‍රියාත්මක කෙරෙන තම කප්පාදු වැඩපිලිවෙලට එරෙහි කවර හෝ විරෝධතාවක් රුදුරු ලෙස මැඩීම වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත බව එම ප්‍රහාරයෙන් යලිත් තහවුරු කෙරුනි.

වැඩවර්ජන තහනම් කරමින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී “අත්‍යවශ්‍ය සේවා” විධිවිධාන පැනවීම මෙම මර්දනයේ ප්‍රධානතම අංගයකි. රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග නොතකමින් පුද්ගලීකරනයට එරෙහිව අරගලයට පැමිනි ඛනිජ කෙල් සංස්ථාවේ කම්කරුවන් 23 දෙනෙකුගේ සහ ලංකා විදුලිබල මන්ඩලයේ කම්කරුවන් 66 දෙනකුගේ රැකියා අහෝසි කිරීමට ආන්ඩුව වහා පියවර ගත්තේ ය. ආන්ඩුවේ “අත්‍යවශ්‍ය සේවා” නියෝගයන්ට සහ එය යටතේ ඛනිජතෙල් සහ විදුලිබල කම්කරුවන් දඩයම් කිරීමට එරෙහිව කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම කෙසේ වෙතත්, 'අත්‍යවශය සේවා' නියෝගයන්ට එරෙහිව කටක් නොඅරින, අනධ්‍යන සමිති ඇතුලු සියලු වෘත්තීය සමිති ආන්ඩුවේ මෙම මර්දනයට ඝෘජුව කරබදු වී සිටිති.

සහෝදර/සහෝදරියනි, අප ඉදිරියේ යලියලිත් තහවුරු වන්නේ, ආන්ඩුවට ආයාචනා කිරීමෙන් හෝ පීඩනය යෙදීමෙන් එහි පිලිවෙත් ආපසු හැරවිය නොහැකි බවයි. අවශ්‍යව ඇත්තේ, ධනපති ආන්ඩුවටත් එහි පිලිවෙත් නිර්නය ‌කරන ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයටත් එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ප්‍රතිප්‍රහාරයකි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ ප්‍රද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනවාදයට එරෙහි විකල්පයක් කිසිදා නොදකින, හිසේ සිට දෙපතුල දක්වා ධනපති ක්‍රමයට බැඳීගත් වෘත්තීය සමිති සහ එහි නිලධරය එවන් දේශපාලන ප්‍රතිප්‍රහාරයකට මුලුමනින්ම එරෙහිය.

මෙම සමිති, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු ධනපති පක්ෂ වලට හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ වලට ඝෘජුව සම්බන්ධය. මේ දිනවල ඔවුනගේ ප්‍රධාන කර්තව්‍යය බවට පත්ව ඇත්තේ තම පක්ෂය නියෝජනය කරන හෝ එහි සහයෝගය ලබන ජනාධිපති අපේක්ෂකයෙකු බලයට පැමිනියහොත් කම්කරුවන් ඇතුලු මහජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි බවට මිථ්‍යාවන් වැපිරීමය. මෙම සියලු පක්ෂ අයිඑමිඑෆ් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටිති.

තම ජීවන තත්ත්වයන් සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට ඉදිරියට ඇදෙන අනධ්‍යන කම්කරුවන් වන අපට මෙම අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ වෘත්තීය සමිති අතින් එය අපේ අතට ගැනීමෙනි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දු ගතහැකි, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වියහැකි, වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන ව්‍යුහයක් ගොඩනගා ගතයුතුය.

එවැනි සංවිධාන රූපයක් වන ක්‍රියාකාරී කමිටු, කම්හල්, වැඩබිම්, වතුයායන්, ගොවිබිම්, විශ්වවිද්‍යාල සහ නිවස්නා ප්‍රදේශවල ගොඩනගන ලෙසත්, එම කමිටු සන්ධානගත කරන ලෙසත්, මා සාමාජිකත්වය දරන සමාජවාදී සමානතා පක්ෂය (සසප) යෝජනා කරයි.

එම ක්‍රියාකාරී කමිටු සන්ධානය පහත ඉල්ලීම් මත සටන් වැදිය යුතු වෙයි:

• සෑම කම්කරුවෙකුටම ජීවන වියදමට සරිලන වැටුපක් සහතික කරනු!

• විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ඇතුලු සෑම කම්කරුවෙකුටම පූර්න විශ්‍රාම වැටුපක් සහතික කරනු !

• සේවය අත්හිටවූ සියලුම විදුලිබල, ඛනිජ තෙල් සේවකයින් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු!

• කාර්මික ක්‍රියා තහනම් කෙරෙන අත්‍යවශ්‍ය සේවා පනත අහෝසි කරනු!

මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කම්කරුවෙකු වන මම, ජාත්‍යන්තර සමාජවාදියෙකු ලෙස විශ්වාස කරනුයේ, ඉහත ඉල්ලීම් සාක්ෂාත් කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක කොටසක් ලෙස, ලංකාවේ ධනපති ආන්ඩුව පෙරලා කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනක් බවයි. ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමටත් ඒ සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් පෙරට එන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

දේහින් වසන්ත

අමතන්න: 0773562327

Loading