ඉදිරිදර්ශන

රුසියාවට පහර දීමේ සැලසුම් සමගින් එක්සත් ජනපද-නැටෝ සන්ධානය න්‍යෂ්ටික යුද්ධයේ අනතුර ඉස්මතු කරයි

[මෙය US-NATO risks nuclear war with plans for attacks on Russia මැයෙන් 2024 මාර්තු 5දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.]

යුක්‍රේන මිලිටරියේ තත්ත්වය නරක අතට හැරීම සහ රුසියානු හමුදා සැලකිය යුතු ලෙස ඉදිරියට එන තත්වයට මුහුන දී සිටින නැටෝ බලයන්, නැටෝ ප්‍රහාරක භටයන් යුක්‍රේන භූමියට ඍජු ව දිගේලි කිරීම සහ රුසියානු යටිතල ව්‍යුහයන්ට හා නගරවලට ප්‍රහාර දීම මගින් යුද්ධය දැවැන්ත ලෙස උත්සන්න කිරීමට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් සිටී.

දකුනු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලද මෙම ඡායාරූපය තුල, දකුනු කොරියාවෙහි බටහිර වෙරලේ සරඹයක් අතරතුර ටෝරස් මිසයිලයක් පියාඹා යයි. 2017 සැප්තැම්බර් 13 බදාදා (ඒපී ඡායාරූප/ දකුනු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය) [AP Photo/South Korea Defense Ministry]

අදීව්කා වෙතින් පසුබෑමකින් පසුව, යුක්‍රේනියානු හමුදා යලි වතාවක් පසුබසිමින් සිටී. දැවැන්ත මරන මධ්‍යයේ, මියගිය සොල්දාදුවන්, නවකභටයින් මගින් විස්ථාපනය කිරීමට යුක්‍රේන මිලිටරියට නොහැකි ය. ඉරිදා නිව් යෝක් ටයිම්ස් පත්‍රය, “රුසියානු හමුදා ඉදිරියට එද්දී තව තවත් භටයන් බඳවා ගැනීමට සෙලෙන්කි බැඳී සිටී” නමැති සිරස්තලයක් පල කලේ ය.

පසුගිය සතියේ දී, ප්‍රන්සය, කැනඩාව, නෙදර්ලන්තය සහ ලිතුවේනියාව යන නැටෝ සාමාජික රටවල් හතරෙහි ආන්ඩුවල සාමාජිකයෝ සඳහන් කලේ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව සටන් කිරීම සඳහා ප්‍රහාරක භටයන් යැවීම ගැන තමන් සලකා බලමින් සිටින බව යි. ඉන් පසු, ජර්මනියේ මිලිටරි නායකයන් අතර ක්‍රිමියාවට පහර දීම සඳහා ජර්මානු දිගු-දුර ආයුධ යොදා ගැනීම සාකච්ඡා කරන කාන්දු වූ සාකච්ඡාවක් ප්‍රසිද්ධ කිරීමට, රුසියානු මාධ්‍ය ආයතන සිකුරාදා පියවර ගත්තේ ය. මෙම වර්ධනයන් මධ්‍යයේ, යුක්‍රේනයට මිලිටරියේ “සුලු කන්ඩායමක්” දිගේලි කරනු ලැබ ඇතැයි එක්සත් රාජධානියේ ආන්ඩුව පිලිගත්තේ ය.

යුක්‍රේනය තුල භටයන් දිගේලි කර, රුසියාවට ප්‍රහාර එල්ල කිරීමෙන් සිදුවිය හැකි විනාශකාරී විපාක අවංක ව පිලිගැනීම පසෙක තැබුවත්, නැටෝව සැලසුම් කරමින් සිටින්නේ කවරක් ද යන්න ගැන කිසිදු ප්‍රසිද්ධ විග්‍රහ කිරීමකින් තොරව යුද්ධය ඉව බව නැති ව තීව්‍ර කරනු ලැබේ.

යුක්‍රේනය තුලට නැටෝ හමුදා ඍජු ව මැදිහත් කිරීමක්, න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීම කරා මෙහෙයවනු ඇතැයි පසුගිය සතියේ පුටින් කල ඍජු අනතුරු ඇඟවීම නොතකමින්, රුසියානු ජනාධිපතිවරයා හුදෙක් බොරු මවාපෑමක නිරතව සිටින්නේය යන කියාපෑම් සමගින්, නැටෝ නායකයෝ හා මාධ්‍ය, අන්තරාය සමච්චලයෙන් බැහැර කරති.

එවන් මංමුලාසහගත ස්වයං-තෘප්තියක් සඳහා සාධාරනීකරනයක් නැත. බයිඩන් පරිපාලනය සහ එහි යුරෝපීය සගයෝ, ඇඟ කිලිපොලා යන සෙල්ලමක නිරත වෙමින් රුසියානු න්‍යෂ්ටික සූදුවේ යෙදී සිටිති.

2022 පෙබරවාරියේ යුද්ධයෙහි ආරම්භයේ දී, නැටෝවේ ඍජු මැදිහත් වීමක අර්ථය වනු ඇත්තේ තුන්වැනි ලෝක යුද්ධය බවට තමන් ම කලින් කල ප්‍රකාශ අමතක කරමින්, අධිරාජ්‍යවාදී නායකයෝ දැන් අවධාරනය කරන්නේ, රුසියානු භූමියට ඍජු ව පහර දුන්න ද එය පෙරලා පහර නො දෙනු ඇති බව යි. තවදුවරටත්, යෝධ ප්‍රතිප්‍රහාරයක් හැකියාව පැවතුනත්, නැටෝව එම අන්තරාය හේතුවෙන් පසු නොබසින බව ඔවුහු අවධාරනය කරති.

මාධ්‍ය තුලත්, චින්තන පර්ශද විසිනුත් ඉදිරියට දමන තර්කයක් වන්නේ, යුක්‍රේන යුද්ධය රුසියාව සමග න්‍යෂ්ටික ගැටුමක් දෙසට තීව්‍ර වෙමින් තිබේයැයි මොනයම්ම හෝ ආකාරයෙන්හෝ ඇඟවුම් කිරීම නැටෝව සම්බන්ධයෙන් ගත්කල අත්වැරැද්දක්ව පවතින බවයි.

“පුටින්ගේ න්‍යෂ්ටික තර්ජනයට හිස නැමීම, න්‍යෂ්ටික යුද්ධය වඩාත් ශක්‍ය එකක් බවට පත් කරනු ඇත” යි එක්සත් ජනපදය පාදකකරගත් අත්ලන්තික් කවුන්සිල් නමැති චින්තන පර්ශදයේ පීටර් ඩිකින්සන් ලීවේ ය. “රුසියානු ආඥාදායකයාගේ න්‍යෂ්ටික පුරාජේරුවෙහි හිස් බව හෙලිදරවු කරමින්, යුක්‍රේනය යලි යලිත් පුටින්ගේ වඳ තර්ජනය ගැන සඳහන් කර තිබේ”. ඔහු මෙසේද කීවේ ය: “පුටින්ගේ න්‍යෂ්ටික තර්ජනය හේතුවෙන් බියට පත් වීම යුක්‍රේනය ප්‍රතික්ෂේප කර ඇතත්, බටහිර සම්බන්ධයෙන් එලෙස ම කිව නො හැකි ය ... විශාලතම තනි බාධාව වන්නේ යුද්ධය තීව්‍ර කිරීමට බටහිරට පවතින භීතිය යි.”

න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට රුසියාව කරන තර්ජනය “යථාවත් නො වනු ඇත” යි ජර්මනියේ ද ෆ්‍රැන්ක්ෆර්ටර් අල්ගේමයින් සයිටුං පත්‍රය ලීවේ ය. එය මෙසේ ද ලීවේ ය: “සාමාන්‍යයෙන් සිද්ධ වන පරිදි, ක්‍රිමියාව ඇතුලු රුසියාව විසින් ඈඳාගත් යුක්‍රේන භූමි භාගයන් තුල මිලිටරි ඉලක්කයන්ට පහර දීමට, ඇමරිකානු හා බ්‍රිතාන්‍ය මිසයිල හා කෲස් මිසයිල යොදා ගනු ලැබුවත් එය යථාවත් නො වනු ඇත.”

“ගැටුමෙහි ප්‍රතිඵලය නිමවන තීරනයක් වන, පුටින්ගේ වඳතර්ජනයට බටහිර ප්‍රතිචාර දක්වනු ඇද්ද නැතහොත් ඔහුගේ න්‍යෂ්ටික පරදුතැබීමට යටත් වනු ඇද්ද යන්න මූලික ප්‍රශ්නයයි” යි ඕස්ට්‍රේලියාවේ නැටෝවට ගැති චින්තන පර්ශදයක් වන ලෝවි ආයතනය ප්‍රකාශ කලේ ය.

පුටින් කරන්නේ වඳ තර්ජනයක් පමනයැයි ප්‍රසිද්ධියේ කියෑපෑම මගින් නැටෝව සිදුකරන්නේ ආක්‍රමනශීලී ලෙස ප්‍රතිචාර දැක්වීමට පුටින්ව ඇවිස්වීම පමනකි. එමගින් එහි වැරැදිගනන් බැලීම හෙලිදරව් කරයි.

රුසියාව ප්‍රතිචාර නොදක්වනු ඇතැයි මහහයියෙන් අවධාරනය කරන අතරේ, එක්සත් ජනපද හා යුරෝපීය මූලෝපායඥයන් න්‍යෂ්ටික යුද්ධය දක්වා තීව්‍ර කිරීමක හැකියාව ගැන කතාබස්වල නිරතව තිබේ. “අස්ථාවර ලෝකයක් තුල න්‍යෂ්ටික අවිවල තර්ජනය” මත පදනම් වෙමින්, “අද්දර දී” නමැති අවධාරිත සිරස්තලයක් යටතේ, අත්‍යසාමාන්‍ය උපදේශාත්මක ලිපි මාලාවක් පල කිරීම නිව් යෝක් ටයිම්ස් පත්‍රය ඉරිදා ආරම්භ කලේ ය.

ව්‍යාපෘතියේ ප්‍රමුඛ ලේඛකයා වන ඩබ්ලිව්. ජේ. හෙනිගන් “අද්දර” නමැති තීරු ලිපියක් සමගින් ලිපි මාලාව ආරම්භ කල අතර, එම ලිපිය ඇරඹෙන්නේ මෙසේ ප්‍රකාශ කරමිනි:

න්‍යෂ්ටික ප්‍රහාරයකින් පසුව එන බියකරු පශ්චාත් සමය පූර්වාපේක්ෂා කිරීම අනවශ්‍ය බියගැන්වීමක් සේ පෙනේ නම්, මෙසේ සලකා බලන්න: දැන් අප අත්දකින තත්වය සඳහා එක්සත් ජනපදයේ හා යුක්‍රේනයේ ආන්ඩු අවම වසයෙන් අවුරුදු දෙකක් තිස්සේ සැලසුම් කරමින් සිට ඇත.

2022 ශරත් සමයේ, “යුක්‍රේන හමුදා රුසියාවේ ක්‍රිමියානු ආරක්ෂක වලල්ල උල්ලංඝනය කල හොත් එම හමුදාවන් නැවැත්වීමට රුසියාව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමේ ශක්‍යතාව 50-50ක් ලෙස එක්සත් ජනපද ඔත්තු සේවාවක් විසින් ඇස්තමේන්තු කල ” බව හෙනිගන් ලියයි. ඊට කලින්, “හදිසියේ ක්‍රියාකලයුතු සැලසුම් හා ප්‍රතිචාර දැක්වීම් පිලිබඳ න්‍යෂ්ටික ‘මාර්ගෝපදේශන ග්‍රන්ථයක්’ සැලසුම් කිරීම සඳහා, විශේෂඥයන්ගෙන් හා මූලෝපායඥයන්ගෙන් සමන්විත ‘ව්‍යාඝ්‍ර කන්ඩායමකට’ බයිඩන් පරිපාලනය උපදෙස් දී තිබුනි” යි හෙනිගන් එයට එකතු කරයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපතිවරන උද්ඝෝෂනය නිවේදනය කරමින් සසප (එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් පහත කාරනය සඳහන් කලේ ය:

න්‍යෂ්ටික ගැටුමක් කරා උත්සන්න වීමේ තර්ජනය නිසා යුද්ධය කරායාමෙන් පසුබෑමට තමන් සූදානම් නැති බව නැටෝ බලයන් පුනපුනා කියා තිබේ. උපායික සහ මූලෝපායික න්‍යෂ්ටික අවි හිතාමතා යොදා ගැනීම දශක ගනනාවක් තිස්සේ උමතු සහගත ක්‍රියාවක් ලෙස බැහැර කෙරුනත්, දැන් එය අධිරාජ්‍යවාදී භූ දේශපාලනික මූලෝපායේ යුක්තියුක්ත අංගයක් බවට ‘සාමාන්‍යකරනය’ කෙරෙමින් පවතියි.

වඩා විශාල හා ලේවැකි පරිමානයකට යුද්ධය ධාවනය කරනු ලැබෙමින් පවතී. තොරතුරුවල හිඟය හා වැරදි තොරතුරු මත රැඳෙමින්, මේ සියල්ල සිදුකෙරෙන්නේ මහජනයාට හොර රහසේ ය. ජර්මානු තානාපතිවරයා රුසියානු විදේශ අමාත්‍යාංශයට හදිසියේ කැඳවනු ලැබීම, ජර්මානු මිසයිල ක්‍රිමියාව ඉලක්ක කරගැනීම සමග කිසිදු සම්බන්ධයක් නො තිබුනේ යයි සඳහන් කරමින් ජර්මානු රාජ්‍යය සඳුදා නග්න ලෙස බොරු කීවේ ය.

සිය මිලිටරි කුමන්ත්‍රනයන් සිදු කිරීමේ නිදහස තබා ගැනීම අවශ්‍ය වන නිසා, පාලක පන්තිය මහජනයාට බොරු කියමින් සිටී. යුද්ධය තීව්‍ර කිරීම කෙරෙහි කම්කරුවන් හා තරුනයන් අතර දැනට මත් පලල් විරුද්ධත්වයක් පවතී. යුක්‍රේනයේ දී රුසියාවට එරෙහි ව සටන් කරනු වස්, යුරෝපීය යුද භටයන් යැවීමේ හැකියාව මැක්‍රෝන් විසින් ඉස්මතු කිරීමෙන් පසුව, ප්‍රන්ස ජනයාගෙන් සියයට 68ක් ද ජර්මානු ජනයාගෙන් සියයට 80ක් ද එයට විරුද්ධ බව මත විමසුමකින් සොයා ගැනුනි. සිදු වෙමින් පවතින්නේ කවරක් ද යන්න, එක්සත් ජනපදයේ හා සියලු නැටෝ රටවල මහජනයා දැන ගන්නා ප්‍රමානයට මෙම විරුද්ධත්වය වර්ධනය වනු ඇත.

න්‍යෂ්ටික විනාශයක් කරා මානව වර්ගයා ඇදගෙන යනු වස්, එක්සත් ජනපද-නැටෝ සන්ධානය කරන කුමන්ත්‍රනය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකී. ‌මෙම යුදකාමීන්ගේ හස්තයෙන් බලය උදුරාගත යුතු ව ඇත. ඔවුන්ගේ ක්‍රියාවන් මානව ශිෂ්ටාචාරය විනාශ කිරීමට තර්ජනය කරමින් සිටියි.

සියලු නැටෝ හමුදා යුක්‍රේනයෙන් ඉවත් කල යුතු බවටත් ගැටුම වහා ම අවසන් කරන ලෙසත් විධානය කරමින්, සෑම රටක් තුල ම මහජන විරෝධතා සංවිධානය කල යුතු ය. ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය සමගින් ධනපති ම්ලේච්ඡත්වයට විරුද්ධ වනු පිනිස, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අධිරාජ්‍ය-විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමට මෙය සම්බන්ධ කල යුතු ය.

Loading