වෘත්තීය සමිති, කිසිදු ඉල්ලීමක් නොලබා අනධ්‍යයන සේවක වර්ජනය අවසන් කරති

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා 2024 මාර්තු 13 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැති විරෝධතාව

2016 අයවැයේ දී කප්පාදු කරන ලද සියයට 15 වැටුප් වැඩිවීම සහ දීමනා වැඩිකරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (විවිවෘසඒක) අඟහරුවාදා දහවල් 12 සිට ආරම්භ කල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමකින් තොරව බදාදා සවස 4 ට අවසන් කලේ ය. කොලඹ, මොරටුව, ජයවර්ධනපුර, පේරාදෙනිය සහ මාතර රුහුනු විශ්වවිද්‍යාලය ඇතුලු සියලුම විශ්වවිද්‍යාලයන්හි 15,000 පමන අනධ්‍යයයන සේවකයෝ වර්ජනය ට සහභාගි වූහ. සේවකයින්ගේ මෙම සහභාගිත්වය පෙන්නුම්කරන්නේ තම අයිතීන් සඳහා සටන් කිරීමට ඔවුන් තුල පවතින දෘඩතර උවමනාවයි.

විශ්වවිද්‍යාල සේවක වර්ජනය ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරවලට එරෙහිව පැනනැගෙමින් තිබෙන පුලුල් ගෝලීය පන්ති අරගලයේ මෙන් ම වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙලට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීම ට එරෙහිව වර්ධනය වන ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අරගල වල කොටසකි. ජනවාරි මාසයේ 3-5 පුද්ගලීකරනය ට එරෙහිව 22000 ලංකා විදුලිබල මංඩලයේ (ලංවිම) කම්කරුවෝ ද, වැටුප් ඉල්ලීම් මත ජනවාරි සහ පෙබරවාරි මාසවල 100,000 ට අධික සෞඛ්‍ය සේවකයෝ ද ඉක්බිතිව විදුහල්පතිවරු සහ ගුරුවරු දහස් ගනනක් ද අරගලවල ට පිවිසියහ.

වර්ජනය කැඳවුම් කල විවිවෘසඒක විධායක නිලධාරීන්ගේ සංගමය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතිය, පාලක පොදුජන එක්සත් පෙරමුනේ පොදු ජන ප්‍රගතිශීලී වෘත්තීය සමිතිය ඇතුලු වෘත්තීය සමිති හතක එකතුවකි.

මෙය මෙම වසර තුල විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ තුන්වන වර්ජනයයි. ඊට පෙරාතුව ඔවුහු ජනවාරි 28 සහ පෙබරවාරි 27-28 දිනවල සංකේත වර්ජනවල නිරතවූහ.

2016 සිට වසර 8 ක් තිස්සේ සමිති නිලධරය විසින් මෙවන් විරෝධතා උද්ඝෝෂන කැඳවා ඇත. ඒ හැම උද්ඝෝෂනයක දී ම නායකයන් කලේ ආන්ඩුවට පිඩනය යෙදීමෙන් තම ඉල්ලීම් ජයගත හැකියයි ගිරව් මෙන් කියවමින් කම්කරුවන් එම මිත්‍යාවට යටත් කොට ඔවුන්ගේ අරගල දියකර හැරීමයි. ආන්ඩුවත් එක්ක කේවල් කිරීමෙන් ඉල්ලීම් දිනා ගත හැකිය යන සමිති නිලධරයේ මෙම බංකොලොත් පිලිවෙත තම ඉල්ලීම් සඳහා අව්‍යාජ සටනකින් අනධ්‍යයන කම්කරුවන් වලකා ඇත.

අප වාර්තාකරුවන් සමග කතාකල අනධ්‍යයන කම්කරුවන් කිහිප දෙනෙකු වෘත්තීය සමිති වල පාවාදීම සහ වේගයෙන් ඉහල යන ජීවන වියදම මධ්‍යයේ මුහුන දෙන දුෂ්කරතා ගැන විස්තර කලහ.

අවුරුදු හතක් නිමක් නැතුව ගිනි අවුවේ පිකට් කලත්, රැස්වීම්වලට ගියත් තම ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුන බව මොරටුව

විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සඳහන් කලේ ය. 'වෘත්තීය සමිති කලේ මේ අවුරුදු හතේම අපේ කාලය කා දැමීම. මේ විදිහට බඩුමිල සහ අනෙකුත් සේවාවල මිල ඉහල ගියපු කාලයක් මට මතක නැහැ '.

විදුලිබල වර්ජනයට සහභාගි වූ සේවකයන් 66 දෙනෙකුගේ වැඩ තහනම් කරමින් ආන්ඩුව ගෙනයන දඩයම ගැන තමන් නොදැන සිටි බව ඔහු පැවසිය. 'ඔවුන් ව ආරකෂා කිරීම සහ නැවත රැකියාවේ පිහිටුවීම සඳහා කම්කරු පන්තිය සටන් කල යුතු යි. වෘත්තීය සමිති ඒ ගැන කිසිවක් සඳහන් නොකිරීම බරපතල කාරනයක්. ඒ ගැන ඔවුන් කටයුතු කරන්නේ එහෙම නම් අපිව රස්සාවෙන් එලියට දැම්මත් ඊට විරුද්ධව ඔවුන් සටන් කරයි කියල හිතන්න බැහැ'.

පිම්මේ ඉහල යන ජිවන වියදම හමුවේ දැන් ඉදිරිපත් කර තිබෙන වැටුප් ඉල්ලීම ප්‍රමානවත් නොවන බව ගෘහනිර්මාන ශිල්පීය අංශයේ කම්කරුවෙකු පැවසිය. 'සමිති ඉල්ලන මෙම ඉල්ලීම දැන් කල් ඉකුත්වෙලා. තවමත් වෘත්තීය සමිති එම ඉල්ලීම කරේ තබාගෙන යනවා.”

ලැබෙන වැටුපෙන් මාසික වියදම් පියවා ගත නොහැකි බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු පැවසිය.

නයවලට කැපුනු පසු අතට එන්නේ සුලු මුදලක් බවත්, විදුලි සහ ජල ගාස්තු ද, යතුරුපැදිය සඳහා ඉන්ධන වියදම් ද ගෙවූ පසු ඉන් කිසිවක් ඉතිරි නොවන බවත් ඔහු පැවසීය. 'සියයට 15 වැඩි වීම ලැබුනත් රුපියල් 3500 වගේ මුදලක් වැඩිවෙන්නේ. ජාතික ජන බලවේගයේ හෝ වෙනත් මොන ආන්ඩුවක් බලයට ආවත් මේ ක්‍රමය තුල අපේ ප්‍රශ්න විසඳෙන්න නැහැ. වෙන් වෙන් ව අරගල කරලා අපේ අයිතීන් දිනා ගන්න බැහැ. ඔබ කියනවා වගේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධව කම්කරුවන්ගෙ ඒකාබද්ධ අරගලයක් අවශ්‍යයි”

.

යාපනය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු වන ආර්.සිවරූබන් මෙසේ කියා සිටියේය: 'මගේ සේවාකාලය අවුරුදු අටක්. මම මේ වර්ජනයට සම්බන්ධ වෙන්නේ දරාගත නොහැකි ආර්ථික අර්බුදයකට අපි මුහුන දෙන නිසා. 2018 ට පෙර මට මගේ වැටුපෙන් පවුලේ වියදම පිරිමහ ගන්න පුලුවන් වුනා. නමුත් දැන් ඉතා අපහසුයි.'

තම මාසිකවැටුප රුපියල් 53000 බවත් විශ්‍රාම අරමුදල් වලට අඩුකිරීමෙන් පසු අතට ලැබෙන්නේ රුපියල් 44,000 බවත් ඔහු පැවසිය. 'අපේ පවුලේ හය දෙනෙක් ඉන්නවා. වියදම පියවා ගන්න අමාරුයි. බඩු ගන්න කඩේ නය ගෙවන්න මාසෙකට රුපියල් 30 000 ඕන. බැංකු නය ට රුපියල් 17000 ක පොලියක් ගෙවනව. ඉතිරි වෙන පොඩි මුදලෙන් පවුලේ අයට සෞඛ්‍ය සම්පන්න ආහාර දෙන්න බැහැ. මූලික අවශ්‍යතා සඳහා පමනක් මාසයකට රුපියල් 65,000කට වඩා අවශ්‍යයි. ඒ නිසා සති අන්තයේ වෙනත් රැකියාවක් කරලා අමතර ගානක් උපය ගන්නවා” යැයි රූබන් කීවේය.

වර්ජනය තුල අනධ්‍යයන සේවකයන් ඇමතු සමිති නායකයෝ ඉල්ලීම් නොලැබෙන්නේ නම් 'දැවැන්ත අරගල' කරන බවට සුපුරුදු කයිවාරු ගැසූහ.

බදාදා දහවල් පේරාදෙනිය ගලහ හන්දියේ දී අනධ්‍යයන සේවකයන් ඇමතු විශ්වවිද්‍යාල විවිවෘසඒක සභාපති ධම්මික එස් ප්‍රියන්ත එලඹෙන අරගලය වඩාත් තීව්‍ර කරන බවට පාරම්බෑවේය. 'එලඹෙන සතියේ මිට වඩා අරගලය තීව්‍ර වෙයි. සමාජ ජීවිතය අඩාල වෙයි. ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙයි' පැවසූ ඔහු ඉල්ලීම නොදීම සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිට චෝදනා කලේ ය. “ඊලඟ වතාවේ සාකච්ඡාවකට කැඳවනවා නම් සභාපති නිශ්චිත යෝජනාවක් ඇතිව ආ යුතු බවත් නැතිනම් සාකච්ඡා මේසයට වාඩි නොවන” බව ද පැවසිය.

අඟහරුවාදා දහවල් මොරටුව විශ්වවිද්‍යාලයේ සේවකයන් ඇමතු අන්තර් විශ්ව විද්‍යාල සේවා වෘත්තීය සමිතියේ නායක, අශෝක චන්දන රැස්වීමට සේවක සහභාගිත්වය අඩුවීම ගැන සේවකයන් ට දොස් පැවරීය. 'ජීවන තත්ත්වයන් දුෂ්කර වී තිබෙනවා… විශ්වවිද්‍යාල සේවකයෝ, වෘත්තීය සමිති සටන් කරලා දිනාගත් අයිතිවාසිකම් රැකගන්නත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්නත් ඉදිරියට අයිතිවාසිකම් දිනා ගන්නත් අරගල වලට යොමු විය යුතුව තිබෙනවා” යැයි ඔහු සඳහන් කලේ ය.

ජවිපෙ වෘත්තීය සමිති සෙසු සමිති සමග එක්ව කම්කරු පන්තියේ අරගල අවහිර කිරීමට සහ නිස්සාර විරෝධතා තුලින් විසිරුවා හැරීමට කටයුතු කරන අතරම මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරන වලින් ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් බලයට පත්වූ විට කම්කරු පන්තියේ සියලු ප්‍රශ්න විසඳන බවට මිත්‍යාවන් වපුරති.

අනතුරුව කථා කල ඒකාබද්ධ කමිටු සම සභාපති ගයාන් පීරිස් යෝජනා අදහස් තිබෙනවා නම් ඉදිරිපත් කරන්නයි ඉල්ලා සිටියේය. එවිට මොරටුව විශ්වවිද්‍යාලයේ කාර්මික නිලධාරියෙකු හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෙකු වන දේහින් වසන්ත ඔහුගෙන් මෙගා ෆෝන් එක ඉල්ලූ අවස්ථාවේ ඔහු එය දීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසිය.: 'ඔයාට මෙගා ෆෝන් එක දෙන්න බැහැ. සාමාජිකයන්ට දෙන්නේ නැහැ අදහස් ඉදිරිපත් කරන්න. ඈතට වෙලා ඉන්න” ඔහු මෙසේද පැවසීය. 'අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ප්‍රශ්නයක් අහන්න දුන්නේ!. ලෝක ආරථිකය සහ ධනවාදය ගැන අපට වැඩක් නැහැ. අපි විශ්ව විද්‍යාල පද්ධතියේ සියයට 107 වැඩිවීම සහ වැඩි කල අධ්‍යයන දීමනාවට සමගාමීව අනධ්‍යන දීමනාවක් ලබාගන්නයි කටයුතු කරන්නේ. ආර්ථිකය ගැන කතා කිරීම අපට අදාල නැහැ'

පීරිස් ඇතුලු සමිති නිලධරයේ 'ප්‍රජාතන්ත්‍රවාදය'යනු නිලධරයේ අදහස් එකහෙලා පිලිගෙන ඊට අවනතව ක්‍රියා කිරීම සහ සාමජිකයන් ට තමන්ගේ ස්වාධීන අදහස් සහ විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට ඇති අයිතිය මර්දනය කිරීමයි.

වසන්ත දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත විශ්වවිද්‍යාල සේවකයන් බලමුලුගැන්වීමට සටන් කර ඇත. සමිති නිලධරය නිරන්තරව සාමාජික රැස්වීම් තුල දී වසන්ත ගේ මැදිහත්වීම වැලකීමට ක්‍රියාකර ඇත.

පසුගිය නොවැම්බර් 30 මොරටුව විශ්වවිද්‍යාලයේ පිටුපස ගේට්ටුව අභියස උද්ඝෝෂනයක යෙදී සිටි වසන්ත සහ සසප තවත් සාමාජිකයෙකු වූ ලක්ෂමන් ප්‍රනාන්දුට පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති ඉන්දික පෙරේරා සහ ලේකම් සුරංග ප්‍රියවර්ධන විසින් මරනීය කායික පහරදිමක් කලහ.

එය සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීම කෙරෙහි සමිති නිලධරයේ මාරාන්තික සතුරු බවේ ආන්තික ප්‍රකාශනයකි. විවිවෘසඒක එම ප්‍රහාරය මුලුමනින් ම ආරක්ෂා කරයි.

විශ්වවිද්‍යාල සේවකයන් ගේ වැටුප් ගැටලු නොවිසදීමත් නිදහස් අධ්‍යාපනය අහෝසි කිරිමත් ධනපති පාලක පන්තිය මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයේ බර ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තුලින් කම්කරු පන්තිය මත පැටවීමේ කොටසකි. ඒ යටතේ නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ පිඹුරුපත් සුදානම් කෙරමින් තිබෙන අතර රාජ්‍ය ආයතන සිය ගනනක් ප්‍රතිව්‍යුහකරනය/පුද්ගලීකරනය කෙරෙයි.

ජාමූඅ ආන්ඩුවට දීමට එකඟ වී ඇති ඩොලර් බිලිය 3 ක නය මුදලේ ඉතිරි වාරිකයන් ලැබෙන්නේ එහි කොන්දේසි සැපිරීම තුල පමනි.

කම්කරු පන්තියේ කිසිදු අරගලයක් ඉවසා සිටීමට වික්‍රමසිංහ ආන්ඩුව සුදානම් නැතිවා පමනක් නොව ඒවා රුදුරු ලෙස මර්දනය කිරීමට ද පැකිලෙන්නේ නැත.

පුද්ගලීකරනයට එරෙහි ලංවිම කම්කරුවන්ගේ අරගලය මර්දනය කිරීම සඳහා ඔවුන් ට එරෙහිව ආන්ඩුව මුදා හැර තිබෙන දඩයම කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. ආන්ඩුව ලංවිම කම්කරුවන් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ නීති යටතේ ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර ඇත. රැකියා අහිමිවීම සහ සිරදඬුවම් ලැබීම ඇතුලු දන්ඩනයන් ට යටත්කිරීමේ තර්ජනයට ඔවුහු මුහුන දී සිටිති.

එවන් තතු තුල වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් හෝ ඒ වෙනුවට සමගි ජන බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුනේ හෝ වෙනත් කවර හෝ ධනපති ආන්ඩුවක් තුලින් කම්කරු පන්තියට තම අයිතීන් රැකගත හැකියයි වෘත්තීය සමිති වපුරන මිත්‍යාව කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතු ය.

ඉන් අවධාරනය කෙරෙන්නේ තම අයිතීන් සඳහා අරගලය කම්කරු පන්තිය විසින් නොපමාව තමන්ගේ අතට ගැනීමේ අවශ්‍යතාවයයි.

ඒ සඳහා විශ්වවිද්‍යාල ඇතුලු සෑම ආයතනයකම, වැඩපලකම, වතුකරයකම සහ කම්කරුවන්ගේ නිවහන් ප්‍රදේශවල තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් මූලිකත්වය ගත යුතුය. තමන්ගේ ඉල්ලීම් කවරේද, අරගලය සංවිධානය කරන්නේ කෙසේද හා රාජ්‍ය මර්දනයට මුහුන දෙන්නේ කෙසේද ආදී ප්‍රශ්න මෙම කමිටු තුල ප්‍රජාතන්ත්‍රියව සකාච්ඡා කොට ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ එකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට පියවර ගැනීම අවශ්‍යවේ.

එය ගම්බද දුගී ගොවීන් ද රැලිකරගනිමින් කම්කරු පන්තියේ පන්ති ශක්තිය මෙහෙයවා වික්‍රමසිංහ අන්ඩුව පලවාහැර සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකි.

Loading