ආන්ඩුව, "ලංවිම පනත" කල්දමා ඇති බැවින් පුද්ගලීකරනයට එරෙහි සටනේ හදිසිභාවයන් නැතැයි ජවිපෙ සමිති නායකයා පවසයි

“විදුලිබල සේවක දඩයම නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!” යන හිසින් “කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය” (කක්‍රිකසා) නිකුත් කල ප්‍රකාශයේ පිටපත් ලංවිම ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් අතර බෙදා හරිමින්, එම ප්‍රකාශයෙන් ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරු පංතිය බලමුලු ගැන්වීමේ උද්ඝෝෂනයක, එකී සාමූහිකයේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ, උද්ඝෝෂනයක නිරතව සිටිති.

ලංවිම දඩයමට එරෙහි සීඩබ්ලිව්ඒසී සහ සසප ප්‍රකාශයන්, නාත්තන්ඩියේ ලංවිම කම්කරුවන් විසින් තම දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරයි

එහි කොටසක් ලෙස, සසප/කක්‍රිකසා සාමාජිකයෝ, මාර්තු 16 සෙනසුරාදා, හෝමාගම ලංවිම කාර්මික සේවා මධ්යස්ථානයේ කම්කරුවන් අතරට උද්ඝෝෂනය ගෙනගියහ. ලංවිම පුද්ගලීකරනයට එරෙහිව ජනවාරි 03, 04 සහ 05 යන දිනයන්හි, ලංවිම කම්කරුවන් දීප ව්යාප්තව යෙදීගත් කාර්මික ක්රියා හේතුවෙන්, සහෝදර කම්කරුවන් 66 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සහ පුද්ගලීකරනයට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනක් වර්ධනය කිරීමේ හදිසිභාවය ඔවුහු කම්කරුවන්ට පැහැදිලි කලහ.

මේ මොහොතේ, ජවිපෙ විසින් නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) වෙනුවෙන් “කැප වූවෙකු” ලෙස තමා හඳුන්වාගත්, ජවිපෙ ට අයත් සමස්ත ලංකා විදුලිබල සේවක සංගමයේ ප්‍රාදේශීය නායකයෙකු සාකච්ඡාවට මැදිහත් විය. “නායක (බෞද්ධ) භික්ෂූන් වහන්සේලාගේ සහ පාරිභෝගිකයන්ගේ” මැදිහත්වීම හේතුවෙන් ආන්ඩුව ලංවිම ප්‍රතිව්‍යුහකරන පනත පාර්ලිමේන්තුවට ගෙනඒම “දින නියමයක් නැතිව කල්දමා” ඇති බැවින්, කම්කරුවන් “පාරේ රස්තියාදු කරන” සහ “අවුවේ වේලවන” විරෝධතා කැඳවීමේ හදිසිභාවයක් නැතැ යි ඔහු නරුම ලෙස කියා සිටියේ ය.

හෝමාගම විදුලි බල මන්ඩල මධ්‍යස්ථාන ඉදිරි පිට උද්ඝෝශනයේ යෙදෙන සසප සාමාජිකයෝ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු විධානයන් අකුරටම ක්‍රියාත්මක කරන බවට යලියලිත් ශපථ වන වික්‍රමසිංහ ආන්ඩුව, එම විධානයන්ගෙන් ප්‍රමුඛතම එකක් වන ලංවිම ප්‍රතිව්‍යුහකරනය සඳහා වන පනත හැකි ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ගෙනඑනු ඇති බවත්, මෙම යථාර්ථය වසන් කරමින් කම්කරුවන් දේශපාලනිකව නිරායුධකොට ඔවුන් ජාමූඅ හි ප්‍රහාරයන්ට යටත් කිරීම, ජවිපෙ සමිති නායකත්වයේ මෙම පිලිවෙතෙහි එල්ලය බවත් උද්ඝෝෂකයෝ අනෙකුත් කම්කරුවන්ට පැහැදිලි කලහ.

ධනපති සංස්ථාපිතයේම කොටසක් වන බෞද්ධ භික්ෂූන්ගේ මැදිහත්වීම් මගින් මුල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් ආපසු හැරවිය හැකිය යනුවෙන් ජවිපෙ සමිති නායකයන් වපුරන මිත්‍යාව කම්කරුවන් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය. මෙම බෞද්ධ සංස්ථාපිතය වනාහි , ධනපති පංති පාලනය රැකගනුවස් කම්කරු පංතිය බෙදීම සඳහා කොලඹ පාලකයන් ආරම්භයේ සිටම යොදාගත් සිංහල වර්ගෝත්තමවාදයේ සහ එහි කුලුගැන්වීම වන කුරිරු සිවිල් යුද්ධයේ ප්‍රමුඛ  කසකරුවෙකි.

කම්කරුවන් හැරිය යුත්තේ, කම්කරු පංති විරෝධී මෙම ප්‍රතිගාමී සංස්ථාපිතය දෙසට නොව, තම පංති සගයන් වන ජාතික සහ ජාත්‍යන්තර කම්කරු පංතිය වෙතයි. ධනපති ප්‍රහාර පරාජය කල හැක්කේ කම්කරු පංතියේ සමස්ත ශක්තිය බලමුලු ගන්වා ගනිමින්, ධනපති ආන්ඩුවට සහ එයට විධානය දෙන ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට  එරෙහිව එල්ල කරන දේශපාලන ප්‍රතිප්‍රහාරයකින් පමනි.

කම්කරු සටන්, “පාරේ රස්තියාදු කරන” සහ “අවුවේ වේලවන” ක්‍රියාවන් ලෙස ගර්හාවට ලක් කරමින් ඔහු කල ප්‍රකාශය සමස්ත කම්කරු පංතිය හෙලා දැකිය යුතුය. ජවිපෙ වෙනුවෙන් “කැපවන්නාගේ” එකී ප්‍රකාශයන්ට විපරීතව කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය තම ප්‍රකාශය තුල මෙසේ සඳහන් කරයි:

“සේවය අත්හිටුවා ඇති සියලුම ලංවිම සේවකයින් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු! ඔවුන් ආරක්ෂා කර ගැනීමට මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම ඇතුලු කාර්මික ක්‍රියාමාර්ග සඳහා කැඳවුම් කරමු. අත්‍යවශ්‍ය මහජන සේවා පනත සහ අනෙකුත් මර්දන නීති ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමු.”

“එම අරගලය මෙම ඉල්ලීම සමග සම්බන්ධ කල යුතුය: පෞද්ගලීකරනය හෝ කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමක් එපා! සියලුම රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු! විදේශ නය ගෙවීම එපා!”

“ලංවිම පනත” කල්දමා ඇති බව පවසමින් ජවිපෙ සමිති නායකයා කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගසද්දී, එය “අදාල සංශෝධන” සහිතව අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආන්ඩුව සියලු වැඩකටයුතු සූදානම් කරමින් සිටී. ඇමති විජේසේකර, මාර්තු 08 දා, මාධ්‍යයට මෙසේ පවසා ඇත:

“යෝජිත සංශෝධන සම්බන්ධයෙන් පාර්ශවකරුවන්, එනම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල, ප්‍රතිපෝෂන අනුව, සංශෝධන 46 ක් අනුමැතිය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. කැබිනට් අනුමැතිය මත, සංශෝධිත පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීම සඳහා අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපි අපේක්ෂා කරමු.”

ලංවිම පාඩු ලැබීමට හේතුව වෘත්තීය සමිතිවල “ත්‍රස්ත ක්‍රියා” බව මාර්තු 08 දා පාර්ලිමේන්තුව අමතමින් ඇමති විජේසේකර පැවසීය. ඔහු “ත්‍රස්ත ක්‍රියා” ලෙස නම් කරනුයේ, ජනවාරි මස 03,04 සහ 05 දිනයන්හි ලංවිම සේවකයන් යෙදීගත් අසනීප නිවාඩු උද්ඝෝෂනය ආදී කාර්මික ක්‍රියාවන් වන අතර, සමිති වලට ඇඟිල්ල දිගු කල ද ඔහු ඇතුලු ආන්ඩුවේ සැබෑ එල්ලය සටනට පිවිස සිටින කම්කරුවන් ය.

සැබැවින්ම, සමිති විසින් එම කාර්මික ක්‍රියා කැඳවූයේ පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්ගේ වැඩෙන කෝපය වාෂ්පකර හැරීමේ අරමුනෙනි. ලංවිම සමිති නායකත්වය ඇතුලු ලංකාවේ සහ ලොවපුරා සමස්ත සමිති නිලධරයේ භූමිකාව වැඩෙන පංති සටන් වලට හැකි සෑම ආකාරයකින්ම ඇබ ගැසීමයි. හෝමාගම ලංවිම හි ජවිපෙ වෙනුවෙන් “කැපවන්නාගේ”ගේ ප්‍රකාශය ඒ පිලිබඳ පැහැදිලි සාක්ෂියකි.

කක්‍රිකසා ප්‍රකාශය සමිති නිලධරයේ එම භූමිකාව මෙසේ පැහැදිලි කරයි:

“කෙසේ වෙතත්, සේවය අත්හිටවූ කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස ආන්ඩුවට නැවත නැවතත් ආයාචනා කිරීම හැර, ආන්ඩුව විසින් එල්ල කරන ලද මෙම මාරක ප්‍රහාරයට එරෙහිව ලංවිම හෝ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් බලමුලු ගැන්වීමට ඔවුන් කිසිවක් කර නැත.”

අනෙක් අතට, කම්කරුවන්ගේ කාර්මික ක්‍රියා “ත්‍රස්ත ක්‍රියා” ලෙස හංවඩු ගැසීමේ බරපතල අර්ථභාරයක් පවතී. දැනටමත් “අත්‍යවශය සේවා” විධිවිධාන කඩකිරීමේ චෝදනා මත දංගෙඩියට නියමව සිටින විදුලිබල කම්කරුවන් එම චෝදනාවන්ට වරදකරුවන් බව අධිකරනය තීන්දු කලහොත් ඔවුනගේ රැකියාව පමනක් නොව, සිර දන්ඩනයට ද ලක්විය හැක. ආන්ඩුව සම්මත කිරීමට යන ප්‍රති-ත්‍රස්ත පනත යටතේ, වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන් ත්‍රස්ත ක්‍රියාවන් ලෙස නම් කරමින්, වඩාත් බරපතල දන්ඩනයන්ට කම්කරුවන් ගොදුරු කෙරෙනු ඇත.

මෙම තතු තුල, දඩයමට ලක්ව සිටින ලංවිම කම්කරුවන්ගේ රැකියා සම්බන්ධයෙන් සමිති නිලධරය ඔවුනට බලගතු මිත්‍යාවන් ගිල්ලවමින් සිටී. හෝමාගම ප්‍රාදේශීය ලංවිම කාර්යාලයේ වැඩතහනමට ලක්ව සිටින මුදල් ලිපිකරුවෙකු හා දුරකථනයෙන් සම්බන්ධ වූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු, ඔවුනට එරෙහිව පාලනාධිකාරිය විසින් ගෙනයන පරීක්ෂන සම්බන්ධයෙන් විමසූවිට ඔහු කියා සිටියේ, සමිතිවල උපදෙස් මත තමා ඇතුලු සගයන් පරීක්ෂනයට “සාර්ථකව” මුහුනදෙනබව සහ ඉතා ඉක්මනින්ම වැඩතහනම ඉවත් කෙරෙනබව තමාට විශ්වාස බවයි.

ඒ සමගම ඔහු කියා සිටියේ, ඔවුනට විරුද්ධව ලංවිම පාලනාධිකාරය ගෙනයන විනය පරීක්ෂන සම්බන්ධයෙන්, “පිටස්තර” අයට කිසිවක් නොපවසන ලෙසත්, විශේෂයෙන්ම “දේශපාලනය ඈඳා ගැනීමට” ඉඩ නොදෙන ලෙසත්, සමිති නිලධරය විසින් තමා ඇතුලු වින්දිතයන්ට උපදෙස් දී ඇති බවයි.

කම්කරුවන්ට දී ඇති මෙම “උපදෙස්” වල අර්ථභාරය කුමක් ද?

පලමුවෙන්ම මෙම නිලධරයට ධනපති මාධ්‍ය කිසිවක් “පිටස්තර” නොවේ. ඔවුනට පිටස්තර වන්නේ, ලොව එකම අව්‍යාජ කම්කරු පංතික මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) යි. අනෙක් අතට, අන් සෑම සටනකට මෙන්ම, ලංවිම පුද්ගලීකරනයට එරෙහි සටනට ද ජවිපෙ මුලසිටම “දේශපාලනය ඈඳා” ගෙන සිටී. විශේෂයෙන්ම ජවිපෙ සමිති නායකයන්, ලංවිම, වරාය සහ අධ්‍යාපන ආදී සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ට කියා සිටින්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට පැමින ප්‍රශ්න විසඳනතෙක් ආන්ඩුවේ ප්‍රහාර ඉවසා දරා සිටින ලෙසයි.

ජවිපෙ ට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් නිරෝෂන් ගොරකාන එම සමිතියේ මුහුනු පොතේ පලකල ප්‍රකාශයක් මගින්, “ඔබ මුහුනදෙන ප්‍රශ්න දේශපාලනික නිසා දේශපාලනික උත්තරයක් සොයා ගැනීමට ඔබේ ඉවසීම මාස හයකට කල් දාන්න” යයි වරාය කම්කරුවන්ගෙන් ඉල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් ලෝසවෙඅ පලකල ලිපියකින් පැහැදිලි කල පරිදි,

“ධනේශ්වර නිෂ්පාදන-ආර්ථික ක්‍රමය තුල, ප්‍රධාන දේශපාලනයන් දෙකක් පවතී: නිෂ්පාදන මාධ්‍ය හිමි සහ කම්කරු පංතියේ ශ්‍රමය සූරාකෑමෙන් ධනය සමුච්ඡය කර ගන්නා ධනපති පාලක පංතියේ දේශපාලනය ඉන් එකකි. නිෂ්පාදන මාධ්‍ය අහිමි සහ තම ශ්‍රම ශක්තිය විකිනීමෙන් පමනක් ජීවිතය ගැටගසා ගැනීමට නියමිත කම්කරු පංතියේ දේශපාලනය අනෙකයි. ධනපති දේශපාලනයේ අරමුන ධනපති ක්‍රමය ආරක්ෂා කිරීම වන අතර, කම්කරු පංතික දේශපාලනයේ අරමුන ධනපති ක්‍රමය අහෝසි කිරීමයි.”

ජවිපෙ ද එයට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුලු සමස්ත සමිති නිලධරය යෙදී සිටින්නේ ධනපති දේශපාලනයේ වන අතර, පාර්ලිමේන්තුව ඇතුලු ධනපති සංස්ථාපිතයන්ට, සමස්තයක් ලෙස ධනපති ක්‍රමයට කම්කරුවන් බැඳ තැබීම ඔවුනගේ දේශපාලනය යි.

ඊට ප්‍රතිවිරුද්ධව, තමාට එරෙහි සකල සියලු ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමය පෙරලා දැමීම එල්ල කරගත් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් කම්කරුවන්ට අත්‍යවශ්‍යය. මේ සඳහා ප්‍රථම පියවර ලෙස, තමා ධනපති ක්‍රමයට බැඳ තබන වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ, කම්කරු ක්‍රියාකාරී කමිටු, සෑම වැඩපොලකම, කම්හලකම, වැඩබිමකම සහ නිවස්නා ප්‍රදේශයකම ගොඩනැගීමට සියලු කම්කරුවන් ආරම්භකත්වය ගතයුතු වෙයි.

එම කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරාගත් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් කැඳවීමටත්, එහි දි , ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමේ වැඩපිලිවෙල සම්මතකොට ඒ සඳහා කම්කරු පංතිය බලමුලු ගැන්වීමටත් සසප සටන් වදී.

Loading