සවුදි අරාබියේ දී ආබාධයට ලක් වූ බිරිඳ ලංකාවට ගෙන්වා නොදීම ගැන හලාවත ධීවරයෙක් ආන්ඩුවට චෝදනා කරයි

ගෘහ සේවිකාවක් ලෙස සවුදි අරාබියේ සේවයට ගිය, හලාවත මුන්දලම, කුමුදුනි සන්ධ්‍යා කුමාරි සෙනෙවිරත්න(45) කෲර වද හිංසනයන් නිසා ආබාධිත තත්වයට පත්වී සිටී. ඇගේ සැමියා වන නිරන්ජන් ප්‍රනාන්දු මාස ගනනක් තිස්සේ විදේශ සේවා නියුක්ති කර්යාලයෙන් ඒ පිලිබඳව විමසීම් කලත් නිසි තොරතුරක් ලබාදීමට කවර හෝ උත්සාහයක් ගෙන නොමැත.

ගෘහ සේවිකාවක් ලෙස සවුදි අරාබියේ සේවයට ගිය, කුමුදුනි සන්ධ්‍යා කුමාරි සෙනෙවිරත්න(45) ආබාධිත තත්වයට පත්වීමට පෙ

මෙම අනතුර දැනගත් දින සිට කුරුනෑගල රැකියා ඒජන්සියටත්, කුරුනෑගල විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත්, බත්තරමුල්ලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයටත්, රතුකුරුස කාර්යාලයටත් තම බිරිඳ පිලිබඳව විමසීමට අවස්ථා ගනනාවක්ම ගමන් කල ද කිසිදු ප්‍රතිඵලයක් නොලැබුනු බව ප්‍රනාන්දු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසිය.

ප්‍රනාන්දු පවසන පරිදි, ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් කිරීමේ අරමුනෙන්, කුරුනෑගල රැකියා ඒජන්සියක් හරහා ඔහුගේ බිරිඳ 2023 මැයි මස සවුදි අරාබියට ගොස් ඇත. ඇයට, මාස හයක් තුල, එකම සේවා යෝජකයාට සබඳකම් ඇති නිවාස තුනකට මාරුවීමට සිදුවී ඇති අතර, සේවායෝජකයා වැටුප් ලබා දී තිබෙන්නේ මුල් මාස හයට පමනි. අනතුර සිදුවී මාස තුනක පමන කාලයක් ඉක්මවා ගොස් ඇතත් ඇයගේ රෝගී තත්වය පිලිබඳ හරි විස්තරයක් නොමැත. බිරිඳ සමඟින් කතා බහ කිරීමට පවා අවස්ථාවක් ලැබුනේ, ආරංචිය දැනගත් මුල් දින හතර තුල පමනක් බව ද ප්‍රනාන්දු පැවසීය.

පලමු නිවසේ මුහුනදුන් බලගතු හිංසනය නිසා දින හතරකට පසු එයින් පලා ගොස් ඇති කුමුදිනී තානාපති කාර්යාලයේ රැකවරනය පතා තිබේ. තානාපති කාර්යාලය නැවත සේවායෝජකයාට භාරදීමෙන් පසු දෙවන ස්ථානය තුල ලමුන් හතර දෙනකු බලා ගැනීම කෑම බීම පිලියෙල කිරීම ගෙදර දොර පිරිසිදු කිරීම වැනි කාර්යයන් සඳහා දිනකට පැය 16ක් පමන නිවාඩු නොමැතිව දුෂ්කර කොන්දේසි යටතේ මාස හයක් සේවය කොට ඇත.

සන්ධ්‍යා කුමාරි ආබාධිතව සෞදි රෝහලක පසුවෙද්දී

'වැඩ වැඩි නිසා තමන් වෙනත් තැනකට දමන්න කියල කුමුදිනී ඒජන්සියෙන් ඉල්ලන්න ඇත්තේ. තුන්වන සේවා ස්ථානයේදී තමයි, මේ කරදරය සිදුවෙලා තියෙන්නේ. දැනට මාස තුනකට වැඩි කාලයක් එයා එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ' යැයි ප්‍රනාන්දු පැවසිය.

ඇගේ වම් පාදයේ යට කොටසේ ඇටකටුවක් බිඳී ගොස් තිබීම නිසා ඇවිදීමට නොහැකි බවත් පාද වල පිරිස්සුම් තුවාලයක් පවතින බවත් රෝහලේ තබා ගැනීම වියදම් අධික නිසා ඇය සුරක්ෂා නිවස වෙත රැගෙන යන බවත් තමාට දුරකතනයෙන් කතාකල ප්‍රතිකාර ලැබූ රෝහලේ සේවිකාවක් වන ලාංකික කම්කරුවෙකු පැවසූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

සන්ධ්‍යා කුමාරිගේ සැමියා නිරංජන් ්‍රනාන්දු

ප්‍රනාන්දු තෙප්පම් ධීවරයෙකි. හදවත් රෝගයක් වැලඳීම නිසා ඔහුට රැකියාව කරගෙන යෑම අපහසු වීමත් එකම දරුවා විවාහ වූ පසු ඉදිකරන නිවසට උදවු කිරීම අවශ්‍ය වීමත් නිසා කුමුදිනී විදේශගත වී ඇත.

'රැකියා ඒජන්සිය සුරංගනා ලෝකයක් පෙන්නුවා. රුපියල් අනූදාහක විතරක් වැටුපක් ලබා ගන්න පුළුවන් කිව්වා. නමුත් දැන් කියන්නේ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ කියලා. අපි බියුරෝ (විදේශ සේවා නියුක්ති කාර්යාංහය) එකට සල්ලි බැඳලා නීත්‍යානුකූලව කටයුතු කලේ ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතල. මේ වගේ අවස්ථාවක කම්කරුවන්ගේ ආරක්ෂාවට රජය මැදිහත් වෙන්න ඕනේ' යැයි ප්‍රනාන්දු පැවසීය.

කුමුදිනී ජීවත්වූ හලාවත මුන්දලම, පවුල් 250 පමන ජීවත් වන මුහුද අසබඩ පිහිටි ධීවර ගම්මානයකි. එහි බෙහෝ දෙනෙකු තෙප්පම් සහ මාදැල් වැනි නොදියුනු ක්‍රම යොදාගෙන මසුන් අල්ලන සුළු පරිමාන ධීවරයන් වන අතර තවත් පිරිසක් කෘෂි කර්මාන්තයෙන් ජීවිතය ගැට ගසා ගනිති.

'වෙනදා ගම්වල ගෑනු රට ගියේ නැහැ. නමුත් දැන් අපේ ගමේ ගෑනු පස් දෙනෙක් විතරක් රට ගිහිල්ල තියෙන්නෙ එන්න එන්නම වැඩිවන ආර්ථික ප්‍රශ්න හමුවේ ලංකාවේ කරන්න කිසිම දෙයක් නැහැ රට යනවා හැරෙන්න. සවුදි අරාබියේ මෙහෙම තත්ත්වයක් තියෙන බව දන්නවනම් නොකා නොබී හිටියත් කීයටවත් රට යන්න දෙන්නෙ නැහැ. අල්ලපු ගමෙත් ගෑනු කෙනෙකුට සවුදි අරාබියේදී ඇන ගිල්ලලා අසාද්‍ය තත්වයන් ලංකාවට ඇවිත් කියල ආරංචියි' ඔහු පැවසීය.

සවුදි අරාබිය ශ්‍රී ලාංකික විදේශගත කම්කරුවන්ගේ බහුල ගමනාන්තයෙකි. එහි පමනක් නොව මැදපෙරදිග පුරාම සංක්‍රමනික ගෘහ සේවිකාවන් මෙන්ම අනෙකුත් කම්කරුවන් මුහුනදෙන සේවා කොන්දේසි ම්ලේච්ඡත්වයේ මට්ටම්වල පවතී. ඇරැබ් නිවුස් පසුගිය වසරේ දෙසැම්බර් 30 වාර්තා කලේ එම වසර තුල විදේශ ගත ලාංකික කම්කරුවන් ලක්ෂ 2කට අධික පිරිසක් අතරින් 63,000කට වැඩි පිරිසක් සවුදි අරාබියට පිටත්ව ගොස් ඇති බවයි. එයින් අතිමහත් බහුතරය ගෘහ සේවිකාවන්ය.

'2023 දී ලංකාවට පැමිනි විදේශ ප්‍රේෂන ඩොලර් බිලියන 7 න් සැලකිය යුතු කොටසක් සවුදි අරාබියේ ශ්‍රී ලාංකික කම්කරුවන් විසින් දායක කර ඇති බව' සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පී.එම්.අම්සා ප්‍රකාශ කල බව පුවත්පත වැඩිදුරටත් සඳහන් කොට තිබේ. විදේශ කම්කරුවන්ගේ දුෂ්කර රැකියා කොන්දේසි කෙරෙහි කවර හෝ සැලකිල්ලක් නොදක්වන ශ්‍රී ලංකාවේ ආන්ඩුව සහ තානාපති අංශ සතුටට පත්ව තිබෙන්නේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රේෂන තුලින් ලැබෙන පිටුවහල පිලිබඳව පමනි.

තම සේවායෝජකයන්ගේ අනේකවිධ හිංසනයන් ඉවසනු බැරිව සේවා ස්ථාන වලින් පලා එන කම්කරු කාන්තාවන්ට ඒජන්සි හිමියන් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය තුල සංසරනය වේ. මේ අතර, තානාපති කාර්යාල විසින් තමාගේ දුක්ගැනවිලි නොසලකා හැරීම පිලිබඳව සංක්‍රමනික කම්කරු කාන්තාවෝ නිරන්තරව චෝදනා කරති.

මෙම ලිපියේ කතුවරයා රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, අනතුරට ලක්ව සිටින කුමුදිනී කුමාරි සෙනෙවිරත්න පිලිබඳව ලිඛිතව විමසූවිට, රැකියා සහ සුභසාධන කොන්සියුලර් එච්.ඩබ්ලිව්.සමන්ත පිලිතුරු ලෙස දැන්වූයේ, එහි තවත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් ඒ ගැන විමසන ලෙසයි. ඔවුන්ට යැවූ ලිපි වලට මෙතෙකුදු පිලිතුරු ලැබී නැත. ශ්‍රී ලංකාවේ තානාපති සේවාවන්, දුෂ්කරතාවයට පත්වන ගෘහ සේවිකාවන් කෙරෙහි දක්වන නරුම නොතැකීම පිලිබඳව එයම සාක්ෂියකි.

සවුදි කම්කරු නීතියේ පවතින පසුගාමී ස්වභාවය කම්කරුවන් දැඩිලෙස සුරාකෑමට විශාල පිටුවහලකි. පවතින සේවාදායක අනුග්‍රාහකත්ව නිතිය අනුව කම්කරුවන්ට කොන්ත්‍රාත් කාලය අවසන්වනතුරු තම සේවාදායකයා වෙනස් කිරීම දුෂ්කරය. කොන්ත්‍රාත් ගිවිසුම් අරාබි භාෂවෙන් බැවින් එහි තමාගේ සේවා කොන්දේසි හෝ මැදපෙරදිග කම්කරු නීති විදේශ කම්කරුවා නොදනී. ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු ඒ පිලිබඳ විධිමත් අධ්‍යාපනයක් කම්කරුවාට ලබාදීම පැහැරහැර තිබේ.

විද්ශ රැකියා සඳහා කම්කරුවන් දිරිගන්වනුවස් කම්කරු අමාත්‍යංශය විසින් දියත්කොට ඇති 'ජයගමු ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ විදේශ රටවල කම්කරු නීති පිලිබඳව කම්කරුවන් දැනුවත් කරන 'විධිමත්' වැඩපිලිවෙලක් දියත් කරන බවට ඇමති මනූෂ නානායක්කාර පාරම්බෑව ද එම ව්‍යාපෘතියේ සැබෑ අරමුන සංක්‍රමනික කම්කරුවන් මුහුනදෙන දුෂ්කර කොන්දේසි අවම කිරීම නොව, කෙසේ හෝ විදේශ ප්‍රේෂන ඉහල දමා ගැනීමයි.

කෝවිඩ් වසංගතය මගින් තීව්‍ර කරනලද ආර්ථික අර්බුදය හමුවේ හඳුන්වාදුන් කම්කරු නීති, විදේශ කම්කරුවාගේ තත්වය වඩාත් රුදුරු කොට තිබේ. 2019 අගෝස්තු මාසයේ සෞදි රජය කම්කරු නීති උල්ලංඝනය කරන සේවායෝජකයින් සඳහා දඩ සහ දඬුවම් නීති ගෙන ආවේ විදෙස් කම්කරුවන් ආරක්ෂාකිරීමේ අව්‍යාජ අවශ්‍යතාවයකින් නොව කම්කරුවන් ආකර්ශනය කරගැනීමේ ව්‍යාජ කඩතුරාවක් ලෙසයි. පසුව, 2021 ප්‍රතිසංස්කරන මගින් කුඩා සමාගම්වලට දඩුවම් ලිහිල් කිරීම දක්වා නිතිය සංශෝධනය වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හමුවේ සූරාකෑම උග්‍රකිරීමට අවශ්‍ය පසුබිම සැකසීමටයි.

මයිග්රන්ට් රයිට් ඩොට් ඕර්ග් (migrantright.org) වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම වසෙරේ ජනවාරි 10 නිකුත්කල සංශෝධනය මගින්, දඩ මුදල් සියයට 80 දක්වා අඩුකර ඇතිබව සහ අඩු දඬුවම් කාන්ඩ පුළුල්කර ඇති බවයි.

සවුදි අරාබිය ඇතුලු සියලු රටවල කම්කරුවන්ගේ රැකියා කොන්දේසි වඩවඩාත් දුෂ්කර වනුයේ, ලෝක ආර්ථික අර්බුදය ගැඹුරුවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු පන්තිය මත පැටවීම හැර වෙනත් විකල්පයක් ධනපති ක්‍රමයට නොමැත. ලංකාවේ මෙන්ම සවුදි අරාබියේද ප්‍රතිපත්ති සැකසෙන්නේ ඒ අනුවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (අයිඑම්එෆ්) 2023 දෙසැම්බර් 14 වැනිදා නිකුත්කල 'ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (ජිසීසී) සඳහා ආර්ථික අපේක්ෂාවන් සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතා' නමැති වාර්තාව, ගල්ෆ් කලාපයේ කෝවිඩ් අගුලු දැමීමෙන් පසු ආර්ථිකය යලි වර්ධනය වීම ගැන සතුට පලකරයි. මෙම 'යලි වර්ධනයවීම' කම්කරු පංතියේ ශ්‍රමසූරාකෑම උග්‍ර කිරීම මත මූලිකව රඳා පවතී.

සමාජවාදී සමානතා පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩනගා ඇති විදේශගත කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව, සිය ක්ෂේත්‍රය තුල පිඩාවන්ට මුහුනදෙන කම්කරුවන් ආරක්ෂාකිරීම සඳහා ලෝක කම්කරු පංතියේ සහයෝගය ලබාගැනීමට නිරන්තරව කටයුතු කරනු ලබයි.

කුමුදිනී සන්ධ්‍යා කුමාරි සෙනෙවිරත්න මෙන්ම, එවන් රුදුරු තත්වයන්ට මුහුනදෙන අනෙකුත් කම්කරුවන් ආරක්ෂා කලහැකි වන්නේ විනාශකාරී ධනපති ක්‍රමයට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ලොවපුරා කම්කරු පංතිය බලමුළු ගැන්වීමෙනි. ඒ සඳහා සටන් වදින ඉහත ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධවන ලෙස අපි සියලු විදේශ ගත කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading