2022 මහජන නැගිටීම “කුමන්ත්‍රනයකට” පිරිහෙලීමේ පාලක පංති උද්ඝෝෂනය තීව්‍ර කෙරේ

ගාලු මුවදොර පිටියේ පෙලපාලියේ කොටසක් [ලෝසවෙඅ මාධ්‍ය]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකල 2022 මහජන නැගිටීම “කුමන්ත්‍රනයකට” පිරිහෙලීම සඳහා ධනපති පාලක පංතිය ගෙනයන උද්ඝෝෂනය තීව්‍ර කරමින්, මාර්තු 21 දා, කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කලේය. “අරගලය” (මහජන නැගිටීම) හේතුවෙන් රට අර්බුදයට පත්ව තිබූ අවස්ථාවේ විධායක ජනාධිපති ධූරය අත්පත්කර ගන්නා ලෙස “ඇතැම්” විදේශීය බලයන් තමාගෙන් ඉල්ලා සිටි බව අබේවර්ධන තම ප්‍රකාශය තුල සඳහන් කලේය.

එසේ ජනාධිපති ධූරය අත්පත්කර ගැනීම “ව්‍යවස්ථා-විරෝධී” බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවත්, ඔවුන්ගේ “අරමුන වුනේ, රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම” නොව, “තවත් ලිබියාවක් හෝ ඇෆ්ඝනිස්ථානයක් නිර්මානය කිරීම”බවත් ඔහු පැවසීය. කෙසේ නමුත්, අදාල “විදේශීය බලයන්” කවරේද යන්න ඔහු සඳහන් නොකලේය.

මහින්ද යාපා අබේවර්ධන_2023-Wikipedia

ව්‍යවස්ථාවේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථිරසාර ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින් අබේවර්ධන මෙම ප්‍රකාශය කලේ, ඔහුට එරෙහිව විපාර්ශ්වයෙන් ගෙන ආ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුව තුල වැඩි ඡන්දයෙන් පරාජය වීමෙන් ක්ෂනික ඉක්බිත්තේ ය. වැඩබලන පොලිස්පති ලෙස සේවය කරමින් සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අධිකරනයෙන් වැරදිකරුවෙකු බවට තීන්දු කර තිබිය දී පොලිස්පති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව ගත් ව්‍යවස්ථා-විරෝධී තීරනය අනුමත කරමින් එයට අත්සන් තැබීම, අබේවර්ධනට එරෙහි විශ්වාස භංග යෝජනාවට පාදක විය.

කෙසේ නමුත්, අබේවර්ධනගේ ප්‍රකාශය නිශ්චිතවම සේවය කරනුයේ, 2022 අප්‍රේල් මහජන නැගිටීම අව්‍යාජ මහජන අභිලාෂයෙන් පැන නැගුනක් නොව, “විදේශ බලයන්ගේ” සහ ලංකාවේ “සමහර කොටස්වල” කුමන්ත්‍රනයක් බවට, ධනපති පාලක පංතියේ කොටස් සහ ඔවුනගේ කුලී ලියන්නන් ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනයටයි.

අදාල “විදේශීය බලයන්” හෙලි කරන ලෙස කතානායකගෙන් ඉල්ලා සිටි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, මහජන නැගිටීමට මඩගැසීම සඳහා ඔහුගේ ප්‍රකාශය වහා ඩැහැ ගත්හ. සමහරු, මැයි 9 දා රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට එල්ල වූ ප්‍රහාරයන් ඒ සඳහා යොදා ගත්හ.

බලයෙන් පහ කෙරුනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලියන ලදුව මෑතදී ප්‍රකාශයට පත්කල “මා ජනාධිපති ධූරයෙන් ඉවත් කල කුමන්ත්‍රනය” නම් කෘතියේ ද මහජන නැගිටීම අර්ථ දක්වනුයේ “විදේශ බලයන්ගේ” සහ “දේශීය කොටස්වල” කුමන්ත්‍රනයක් ලෙසිනි. ඔහුගේ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුව සිට, ආන්ඩුව බලයෙන් පහ වූ පසු පාර්ලිමේන්තු විපාර්ශ්වයට මාරු වූ කුප්‍රකට සිංහල ස්වෝත්තමවාදියෙකු වන විමල් වීරවංශ විසින් ලියන ලද, “09: සැඟවුනු කතාව” නම් ග්‍රන්ථයෙන් ද, දක්ෂිනාංශික ලේඛකයෙකු වන සේන තෝරදෙනිය විසින් ලියන ලද “ගෝල්ෆේස් විරෝධතාව: සිස්ටම් චේන්ජ් ද? අරාජකත්වය ද?” නම් කෘතියෙන් ද වැගිරෙන්නේ මෙම “කුමන්ත්‍රන” අපවාදය යි.

2022 අප්‍රේල්වල සැබැවින්ම සිදුවූයේ කුමක් ද?

2019 ජනාධිපතිවරනයේදී ඡන්ද 69 ලක්ෂයක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත්වයට පත්වූ අතර, ඉන් අනතුරුව 2020 අගෝස්තු මස පැවති ජාතික මැතිවරනයේ දී ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව වන 225 න් තුනෙන් දෙකකට අධික සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව, ජනාධිපති රාජපක්ෂගේ නායකත්වයෙන් සහ ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂගේ අගමැතිත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුවක් පිහිටුවනු ලැබින.

2019 ජනාධිපතිවරනයේ ප්‍රතිඵල විමර්ශනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) මෙසේ ලිවීය: “කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් සාමාන්‍ය වැඩකරන ජනතාවට දැකගැනීමට ලැබෙනු ඇත්තේ, සිය තත්වය වැඩි දියුනු කිරීම වෙනුවට, වත්මන් (සිරිසේන-වික්‍රමසිංහ) ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල උග්‍ර කිරීම සහ කම්කරුවන්, තරුනයින් සහ දුප්පතුන්ගේ විරෝධය කුරිරු ලෙස මර්දනය කිරීමට යොමුවුන පාලනයක් බලයට පත්වීම ලෙසය.”

2020 මුල් භාගයේ කෝවිඩ්-19 වසංගතය ලොවපුරා පැතිරෙත්ම, වැඩෙමින් පැවති ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරු වූ අතර, එහි තියුනුම ප්‍රකාශනයක් ලෙස ලංකාවේ ආර්ථික අර්බුදය ව්‍යසනකාරී මට්ටම් වලට වර්ධනය විය. ලෝසවෙඅ විමර්ශනය සනාථ කරමින්, ජනාධිපති රාජපක්ෂ වහාම එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීය.

විදේශ සංචිතයන් පතුලටම හිඳී යන තතු තුල, ආනයනය බරපතල ලෙස සීමා කෙරුනි. විශේෂයෙන්ම, රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික ආනයනය, 2021 අප්‍රේල් හි දී එක් වරම නවතා දැමීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනයා, තම ජීවිකාව කිසිසේත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට ඇද වැටුනි. දිවයින පුරා ගොවීහු එයට විරෝධය පල කරමින් අඛන්ඩව උද්ඝෝෂනයේ යෙදුනු අතර, 2022 මුලවන විට ඉන්ධන සහ ආහාරවල දැවැන්ත හිඟයක් වර්ධනය විය.

විශේෂයෙන්ම කිරිපිටි සහ ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල වරු ගනන් ගත කිරීම සිදුවීමෙන් මහජන කෝපය පුපුරනසුලු මට්ටම් වලට වර්ධනය වෙමින් පැවතුනි. දීර්ඝ විදුලි කප්පාදු වලින් හිහිහැරයටපත් මහජනයා, රාත්‍රි කාලයේ නගර වලට එක්‍රැස් වෙමින් අඛන්ඩව විදුලිය ලබදෙන ලෙස ඉල්ලා විරෝධය පෑහ.

මෙයට සමගාමීව, රාජ්‍ය සහ පුද්ගලික ක්ෂේත්‍රයන්හි අඛන්ඩව පංති සටන් වර්ධනය වෙමින් පැවතුනි. විශේෂයෙන්ම, වැඩි වැටුප් ඉල්ලා ගුරුවරුන් ගෙනගිය වර්ජනය දින 100 ඉක්මවා ඇදී ගියේය. මීට අමතරව, සෞඛ්‍ය සහ වරාය ඇතුලු ක්ෂේත්‍රයන්හි යලියලිත් පංති අරගල පැන නැගුනි.

කෝවිඩ්-වසංගතයෙන් 10,000 කට අධික සංඛ්‍යාවක් මිය යද්දී සහ ලක්ෂ සංඛ්‍යාතව ආසාදනය වෙද්දී, ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් කම්හල් සහ අනෙකුත් වැඩපොල වෙත කම්කරුවන් බලහත්කාරයෙන් දැක්කීමට ආන්ඩුවගත් පියවර සහ වසංගතයට මුවාවෙමින්, කම්හල් හිමියන්, ආන්ඩුව සහ වෘත්තීය සමිති එක්ව ඇඟලුම් ආදී ක්ෂේත්‍රයන්හි සිදු කරන ලද දැවැන්ත වැටුප් කප්පාදු කම්කරු-පීඩිත මහජනතාවගේ බලගතු වෛරයට පාත්‍ර විය.

2022 අප්‍රේල් මස මුල දී, තවදුරටත් විදේශ නය ගෙවිය නොහැකි තත්වයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පවසමින් රාජපක්ෂ ආන්ඩුව කප්පාදු මාලාවක් නිවේදනය කිරීමත් සමග මෙම මහජන විරෝධය, මිලියන සංඛ්‍යාත මහජන සහභාගිත්වයෙන් යුත් මහජන නැගිටීමක් දක්වා ක්ෂනිකව වර්ධනය විය. දසදහස් සංඛ්‍යාත කම්කරුවන් වැඩවර්ජනය කොට විරෝධතාවන්ට එක්වීමත් සමග එම මහජන නැගිටීම දැවැන්ත විභවයක් අත්කරගත් අතර, භීතියට පත් ජනාධිපති රාජපක්ෂ රටින් පලාගොස් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහුගේ ආන්ඩුව බිඳ වැටුනි.

මේ වර්ධනයන් අවංකව විමසන කවරෙකුට හෝ, එම නැගිටීම මිලියන සංඛ්‍යාත මහජනතාවගේ සහභාගිත්වයෙන් පැනනැගි අව්‍යාජ මහජන නැගිටීමක් බව ප්‍රතික්ෂේප කල නොහැක.

එම අව්‍යාජ මහජන නැගිටීම කුමන්ත්‍රනයක් ලෙස හුවා දක්වමින් එයට අවලාද නගන්නේ ඇයි?

වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන විසින්, එම මහජන විරෝධය, සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුනේ ඊනියා අන්තර්-කාලීන ආන්ඩු වැඩපිලිවෙල යටතට යොමුකොට මහජන නැගිටීම පාවා දී, වික්‍රමසිංහ තන්ත්‍රයට බලයට ඒමේ කොන්දේසි සකසා දුන්න ද, එහි අව්‍යාජභාවය සහ පාලන තන්ත්‍රයක් පෙරලා දැමීම සම්බන්ධයෙන් එය සතුව පැවති දැවැන්ත විභවය ධනපති පාලක පංතියේ ඇස් ඉදිරියේ ප්‍රකාශයට පත්විය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත වත්මන් ආන්ඩුව එල්ල කරන රුදුරු ප්‍රහාර හමුවේ, 2022 පරයා යන මහජන නැගිටීමක් පුපුරායාමේ ශක්‍යතාව හමුවේ ධනපති පාලක පංතිය ඉමහත් ලෙස භීතියට පත්ව සිටිති.

එම පසුබිම තුල, පාලක පංතිය සහ ඔවුනගේ මාධ්‍ය ආවතේවකරුවන් 2022 මහජන නැගිටීම “කුමන්ත්‍රනයක්” ලෙස හංවඩු ගසනුයේ, යලි පැන නැගීමේ සියලු ශක්‍යතා සහිත එවන් මහජන නැගිටීමකට එරෙහිව ප්‍රතිගාමී බලවේග ඉස්මත්තට ගැනීම සහ මහජනතාව ව්‍යාකූලකොට, ආන්ඩුවටත්, සමස්තයක් ලෙස ධනපති ක්‍රමයටත් එරෙහිව වැඩෙන විරෝධය අපසරනය කිරීමේ අරමුනෙනි.

මහජන නැගිටීම තුල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මැදිහත්වීම

ඊනියා අන්තර්-කාලීන ආන්ඩු වැඩපිලිවෙල එකහෙලා ප්‍රතික්ෂේප කරන ලෙසත්, ධනපති ආන්ඩුව පෙරලා දමා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම දක්වා මහජන නැගිටීම ඉදිරියට ගෙනයායුතු බවත් කම්කරු-පීඩිත මහජනතාවට අවධාරනය කල සසප, එහි මුදුනට පැනගෙන සිටි ව්‍යාජ-වාම සහ අනෙකුත් සංවිධානයන්හි දේශපාලන අවමංගත කිරීම් මහජනතාවට පැහැදිලි කරමින් සහ ඒවාට එරෙහි වෙමින්, මහජන නැගිටීම ආරම්භයේ සිටම එය සමග එකපෙලට සිට ගත්තේ ය.

මහජන නැගිටීම පාවාදීමෙන් පසු, 2022 ජූලි 21 දා සසප නිකුත් කල ප්‍රකාශයේ අපි මෙසේ සඳහන් කලෙමු:

“කම්කරු පන්තිය සඳහා මෙම ඛේදවාචී පරාජය දරා සිටින සාරභූත පාඩම් මොනවා ද? එයට, දේශපාලන ආරම්භකත්වය තම හස්තයෙන් ගිලිහී යාමට ඉඩ දිය නො හැකි ය. ධනේශ්වරයේ සියලු දේශපාලන පක්ෂවලින්, ඔවුන්ගේ ව්‍යාජ-වාම අන්තේවාසිකයන්ගෙන් හා වෘත්තීය සමිති යාන්ත්‍රනයන්ගෙන් එය බිඳී වෙන් වීම අවශ්‍ය ය.

“තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට හා බලය සඳහා සටන් කිරීමට, එය තමන්ගේ ම දේශපාලන උපකරන ස්ථාපිත කල යුතු ය. අන්තර්-කාලීන ආන්ඩුවක් සඳහා වන සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමේ දී, දේශපාලන සංස්ථාපිතයේ හා ධනපති රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී කුමන්ත්‍රනයන්ගෙන් ස්වාධීන, තමන්ගේ ම දේශපාලන බලයේ මධ්‍යස්ථානයක් කම්කරු පන්තිය විසින් ස්ථාපිත කරගත යුතු බව සසප අවබෝධ කරගත්තේ ය. කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන අපගේ කැඳවීමෙහි අර්ථභාරය එය යි.”

Loading