කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුවාගේ හදිසි මරනය සරසවි සිසුන් මුහුන දෙන කටුක තත්වයන් හෙලිදරව් කරයි

[මෙය Sudden death of Sri Lankan student at Kelaniya University exposes harsh conditions facing undergraduates යන මැයෙන් 2024 අප්‍රේල් 02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

කැලනිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ භූගෝල විද්‍යාව හදාරමින් සිටි නිරෝෂන ලක්මාල් පසුගිය මාර්තු 24 වැනිදා හදිසියේ රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේය.

විශ්ව විද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරයේ නැවතී සිටි ලක්මාල්ට එදින රාත්‍රී 10 ට පමන මීමැස්මොරය උත්සන්න වී වලිප්පුව වැලඳුනි. සිසුන් පවසන පරිදි, ඔහුව රෝහල් ගත කල යුතු බව ඔහුගේ මිතුරන් නේවාසිකාගාර පාලකයන්ට දන්වා ඇත. නේවාසිකාගාරය පිහිටා ඇත්තේ විශ්ව විද්‍යාල භූමියේ සිට කිලෝමීටර තුනක් පමන දුරිනි.

නිරෝෂන ලක්මාල් [ඡායාරූපය: ෆේස්බුක්/නිරෝෂන ලක්මාල්] [Photo: Facebook/Niroshana Lakmal ]

ගිලන් රථයක් ලබා ගැනීමට නොහැකි වූ ලක්මාල්ගේ මිතුරන්, අවසානයේ දී, රාත්‍රී කාලයේ ඉතා දුෂ්කර ලෙස ත්‍රීරෝද රථයක් සොයා ගෙන ඔහුව රෝහලට ගෙන ගියහ. ඔහු පැමිනෙන අතරතුර ම ඛේදජනක ලෙස මිය ගියේය. රාගම උතුරු කොලඹ ශික්ෂන රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, විනාඩි කිහිපයකටවත් කලින් ඔහු රෝහල් ගත කලේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බවයි.

තම දුරකථන ඇමතුම්වලට නේවාසිකාගාර පාලකයිවන් ප්‍රතිචාර නොදැක්වූ බවට චෝදනා කරමින් සියගනනක් සිසුන් පසුදින විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. විශ්ව විද්‍යාලයේ ගිලන් රථයක් තිබුනේ නම් ලක්මාල්ගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බව ඔවුහු පැවසූහ.

සිසුන්ගේ කෝපය අපසරනය කිරීමට උත්සාහ කරමින්, කැලනිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි නිලන්ති ද සිල්වා, පරීක්ෂනය සඳහා ත්‍රිපුද්ගල කොමිසමක් පත් කරන බවට පොරොන්දු වී තිබේ. ලක්මාල්ගේ මෘත දේහය පශ්චාත් මරන පරීක්ෂනය සඳහා උතුරු කොලඹ ශික්ෂන රෝහල වෙත යවා ඇති අතර, මෙය ලියන අවස්ථාව වන විට, ඒ පිලිබඳ වාර්තාවක් නිකුත් කර නොමැත.

ලක්මාල්ගේ අවසන් කටයුතු සඳහා සිය ගනනක් විශ්වවිද්‍යාල සිසුන්, ලක්මාල් පැමිනි ඈත ගම්මානය වන බෝගහපැලැස්ස වෙත ගමන් කලහ.

බෝගහපැලැස්ස පිහිටා ඇත්තේ කොලඹ සිට කිලෝමීටර් 250 ක් පමන දුරින් බඩල්කුඹුර ආසන්නයේය. ප්‍රදේශයේ බොහෝ ගම්වැසියන් කුඩා රබර් වතුවල රැකියාවල නිරත වේ; නැතිනම් ජීවනෝපාය සඳහා ආහාර බෝග වගා කරති. ලක්මාල් ගොවි පවුලක බාල පුත්‍රයාය.

බෝගහපැලැස්ස කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. තිලකරත්න ලෝසවෙඅ වෙත මෙසේ පැවසීය: “ලක්මාල් සාමාන්‍ය පෙල දක්වා ආවේ මේ ඉස්කෝලෙට; ඔහු අධ්‍යයන කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවෙක්. පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා ඔහුගේ සහෝදරයාට මෙහි ඉගෙනීම කරගෙන යාමට නොහැකි වුනා. එයාගේ තාත්තා ලක්මාල් ගැන ලොකු බලාපොරොත්තු තියාගෙනයි හිටියෙ.”

බෝගහපැලැස්ස කනිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙල අධ්‍යාපනය හැදෑරීමෙන් පසු සිසුන් කිලෝමීටර් නවයක් දුරින් පිහිටි බඩල්කුඹුර ප්‍රදේශයේ පාසලකට යා යුතුය. එසේ වුවද, එහි යාමට බස් නැත; එබැවින් ඔවුන්ට කුලී ත්‍රිරෝද රථවල තදබද වී යාමට සිදුවේ. ප්‍රධාන විෂයයන් සඳහා ගුරුවරුන් නොමැති මෙම පාසලේ දැනට සිටින්නේ සිසුන් 75 ක් පමනි. ගුරුවරුන්ට ද පාසලට යාමට කුලී ත්‍රිරෝද රථ භාවිතා කිරීමට බලකෙරෙන අතර, ඔවුන්ට ඒ සඳහා මසකට රුපියල් 10,000 ක් පමන වැය වේ.

ප්‍රදේශයේ ගැමියන් මුහුන දෙන දුෂ්කර තත්වයන් ගැන ගුරුවරයෙක් ලෝසවෙඅ වෙත පැවසීය. සමහර අය රබර් වතුවල වැඩ කරන නමුත්, එක් ගසකින් එකතු කරන රබර් කිරි සඳහා ගෙවන්නේ රුපියල් තුනක මුදලක් බව ඔහු පැවසීය. එතරම් ගස් ප්‍රමානයක කිරි එකතු කර ගැනීමට නොහැකි නිසාත්, වැස්ස හේතුවෙන් වැඩ කිරීමට නොහැකි වීම නිසාත් කම්කරුවෙකුට දිනකට රුපියල් 2000 ක් වත් උපයා ගත නොහැක.

කොලඹ සිට කිලෝමීටර් 10 ක් පමන දුරින්, අක්කර හයක භූමි ප්‍රදේශයක පිහිටා ඇති කැලනිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුන් 10,000 ක් පමන ඉගෙනුම ලබයි. අධ්‍යාපන වියදම්වලට දිගින් දිගටම එල්ල වන ප්‍රහාර නිසා එයට ගිලන් රථයක්, නිසි වෛද්‍ය මධ්‍යස්ථානයක් හෝ වෙනත් අවශ්‍ය පහසුකම් හෝ සුබසාධන නොමැත.

ඉහල ජීවන වියදම් සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල පිරිහෙන තත්වයන්, ඔවුන්ගේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට බරපතල ලෙස බලපා ඇති බව කැලනිය විශ්වවිද්‍යාල සිසුන් ලෝසවෙඅ වෙත පැවසීය.

සමාජ විද්‍යා අංශයේ සිසුවියක් කලා පීඨ නේවාසිකාගාරවල තත්වය විස්තර කලාය.

“සිසුන් හතර දෙනෙකුට පමනක් ප්‍රමානවත් වන කාමරවලට බලධාරීන් විසින් සිසුන් හය දෙනෙකු ගාල් කරලා. අපේ පොත්පත් ඇඳුම් පැලඳුම් තියාගන්න තැනක් නැහැ; ඒවා ඇඳන් මත තබා ගත යුතුයි. මේ දවස්වල හරිම උනුසුම් වුනත් ෆෑන් නැහැ.” ඇය පැවසුවාය.

“පසුගිය වසරේ සිසුන් හතර දෙනෙකුට සරම්ප ආසාදනය වුනා; සිසුන් නේවාසිකාගාරයෙන් ඉවත් කරගත්ත හින්දා තමයි ඒක පැතිර නොගියෙ. සෑම වසරකම බොහෝ සිසුන් ඩෙංගු උන රෝගයට ගොදුරු වෙනවා; කොවිඩ් 19 වසංගතය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල පැතිරෙන්න ගත්තම බොහෝ සිසුන්ට ආසාදනය වුනේ මේ තදබදය නිසාම යි,' ඇය පැවසුවාය.

ආපනශාලාවල ඇති ආහාර රසයෙන් හා ගුනයෙන් හීන නිසාත්, පිටතින් ආහාර ගැනීම මිල අධික වන නිසාත්‍, නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම ආහාර වේල තමන් විසින්ම සකසා ගැනීමට සිදුව ඇති බව ඇය පැවසුවාය.

“අපිට කැන්ටිමෙන් උදේට බත් කන්න බෑ. හැමදාම ව්‍යංජනය වන්නේ පොල් සම්බල්, පරිප්පු සහ හාල්මැස්සන්; දවල් කෑමත් ඒතරම් වෙනසක් නැහැ. මේ කෑම වේල් රුපියල් 80 ත් 150 ත් අතර වෙනවා. ඔබට මාලු කෑමට අවශ්‍ය නම් රුපියල් 150 ක් ගෙවිය යුතුයි; ඒ කියන්නේ අපගෙන් බොහෝ දෙනෙක් මාලු හෝ මස් අනුභව නොකරන බවයි. කෙසේ වෙතත්, මෙම ආහාර කොහොමටවත් ප්‍රමානවත් නැහැ.

“අපිට කැම්පස් එකේ ගිලන් රථයක් නැහැ. අපට පෝෂ්‍යදායී ආහාර හෝ නිසි වෛද්‍ය පහසුකම් නොමැතිකම නිසා අකාලේ මිය යා හැකියි,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

තුන්වන වසරේ කලා පීඨ ශිෂ්‍යයෙකු වන කාවින්ද, ලක්මාල් දිලිඳු පවුලක අයෙකු බව පැහැදිලි කලේය. විශ්වවිද්‍යාල සිසුන් බොහෝ දෙනෙකුට මෙම තත්වයට මුහුන දීමට සිදුව ඇති බව ද ඔහු අවධාරනය කලේය.

“සති අන්තයේ මම මේසන් බාස් කෙනෙකුගේ සහායක රැකියාවකට යනවා; මගේ දෛනික ආදායම රුපියල් 3000 යි. මම මෑතකදී බියගම තේ කම්හලක රැකියාවට ගියා; එහි දෛනික ආදායම රුපියල් 1,200 යි; නමුත් සමහර දිනවල වැඩ නොමැති නිසා ආපසු ගෙදර යාමට සිදු වෙනවා.

“නංගියි මල්ලියි තවම ඉස්කෝලේ යන නිසා මගේ වියදම් දරන්න අම්මලාට බැහැ. මට නේවාසිකාගාර පහසුකම් නැහැ; බෝඩිමට මාසෙකට රුපියල් 7,000 ක් ගෙවනවා,” සිසුවා පැවසීය.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් ලෝසවෙඅ වෙත පැවසුවේ ඇයගේ දේශනවලට සහභාගී වන සිසුන් සංඛ්‍යාව දැඩි ලෙස පහත වැටී ඇති බවයි. 'බොහෝ විශ්ව විද්‍යාල සිසුන් අර්ධකාලීන රැකියා කරන බව මම දන්නවා; එයින් අදහස් කරන්නේ, ඔවුන්ට නිදහසේ අධ්‍යයනය කිරීමට හෝ ඉගෙනීමට නොහැකි බවයි,' ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ, අභ්‍යන්තර සිසුන් 100,000 කට වැඩි ප්‍රමානයක් සහ බාහිර බඳවා ගැනීම් 300,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින රජයේ විශ්ව විද්‍යාල 17 කට අධික සංඛ්‍යාවක් ඇත. අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් අධ්‍යාපන වියදම් දැඩි ලෙස කපා හැරීමට සමගාමීව මෙම සිසුන්ගේ තත්වයන් නාටකීයව පිරිහී තිබේ.

වික්‍රමසිංහ ආන්ඩුවේ බදු වැඩිකිරීම් සහ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කැලනිය විශ්ව විද්‍යාල සිසුන් 2024 පෙබරවාරි 28 වැනි දින උද්ඝෝෂනයක් පවත්වයි [ඡායාරූපය: ෆේස්බුක්/අවිශිබම] [Photo: Facebook/IUSF]

වික්‍රමසිංහ ආන්ඩුවේ බදු වැඩිකිරීම් සහ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කැලනිය විශ්ව විද්‍යාල සිසුන් 2024 පෙබරවාරි 28 වැනි දින උද්ඝෝෂනයක් පවත්වයි [ඡායාරූපය: ෆේස්බුක්/අවිශිබම]

ශිෂ්‍යයාගේ මරනයෙන් පසු පැවති විරෝධතාවයේ දී මාධ්‍ය අමතමින් බෞද්ධ භික්ෂුවක් වන කැලනිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සිරි සුමන මෙසේ පැවසීය: “විශ්වවිද්‍යාල පරිපාලනය අත්තනෝමතික ලෙස සහ පවතින ආන්ඩුවල අවශ්‍යතා අනුවයි කටයුතු කරන්නේ. අවශ්‍ය වන්නේ මේ ප්‍රශ්න විසඳීමට සෘජු මැදිහත්වීමක්. එය සිදු වන තෙක් ම, අපි [අපගේම] අඛන්ඩ මැදිහත්වීම් පවත්වා ගත යුතුයි.'

කැලනිය ශිෂ්‍ය සංගමය ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයට (අවිශිබම) අනුබද්ධිතය.

'අඛන්ඩ මැදිහත්වීම්' සඳහා සිරි සුමනගේ කැඳවීම, නොනවතින විරෝධතා ආන්ඩුවට එහි ප්‍රතිපත්ති වෙනස් කිරීමට කෙසේ හෝ බලපෑම් කරනු ඇතැයි යන අවිශිබමයේ අවධාරනය පුනරුච්චාරනය කිරීමකි.

සිසුන් මුහුන දෙන දරාගත නොහැකි සහ නරක අතට හැරෙන තත්වයන්, පරිපාලනයේ පුද්ගලික උදාසීනත්වයකට ඌනනය කල නොහැක; එය ආන්ඩුව විසින්, රාජ්‍ය අධ්‍යාපනයේ සෑම මට්ටමකම කරගෙන යන තීව්‍ර කප්පාදුවේ සෘජු නිෂ්පාදනයකි.

වික්‍රමසිංහ ආන්ඩුව, ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රතිස්ථාපනය කිරීමට නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කරමින් උසස් අධ්‍යාපන පද්ධතියට ඊටත් වඩා විශාල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටී.

මෙම නිර්දේශය ඉදිරිපත් කල කමිටුවේ ප්‍රධානියා වූ ශ්‍රී ලංකා අධිකරන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ මාධ්‍ය වෙත පැවසුවේ “පෞද්ගලික අංශය හරහා සිසුන්ට ගුනාත්මක අධ්‍යාපනයක් ලබා දීම සහතික කිරීම සඳහා ස්වාධීන ආයතනයක් සහාය වනු ඇති” බවයි.

මෙම වර්ධනය “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරනු ඇති” බව ඔහු ප්‍රකාශ කලේය.

රාජපක්ෂගේ “දැවැන්ත වෙනස”, වික්‍රමසිංහ ආන්ඩුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද සමාජ ප්‍රහාරවලට අනුකූලව, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ ඉතිරිව ඇති දේ ඉවත් කිරීමේ තවත් පියවරකට වඩා අඩු දෙයක් නොවේ.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) අවධාරනය කරන්නේ, ශිෂ්‍ය දරිද්‍රතාවයෙන් මිදීමේ අරගලය, ආන්ඩුව කම්කරු පන්තියේ සහ දුගීන්ගේ සියලු කොටස් මත පටවන සමාජ ව්‍යසනයට එරෙහි සටන සමග වෙන් කල නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවයි.

නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීම, වික්‍රමසිංහ ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන්ට එරෙහිව ඒකාබද්ධ අරගලයක් තුල කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ජනතාව බලමුලු ගැන්වීමේ පුලුල් අරගලයක කොටසකි. ශිෂ්‍යයන්, සසජාතශි සමග බැඳී, කම්කරු පන්තිය වෙත හැරෙමින්, මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කල යුතුය.

Loading