වෘත්තීය සමිති ආන්ඩුවේ "විසඳුම" ට එකඟ වී සෞඛ්‍ය සේවක අරගලය නතර කරති

සෞඛ්‍ය සේවකයින් 2024 මාර්තු 13 වන දින මහනුවර රෝහලේ පිකට් කිරීම

බාධන, උපයෝජ්‍යතා සහ ප්‍රවාහන (ඩැට්) දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ, ජනවාරි, පෙබරවාරි සහ අවසානයේ අප්‍රේල් 2 වැනි දින ආදී වශයෙන් විරෝධතා කිහිපයක නිරත වූහ. එම විරෝධතාවන්ට විකීරන ශිල්පීන්, රසායනාගාර කාර්මික ශිල්පීන්, ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයින්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය සහායක සේවකයන් ඇතුලු ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වූහ.

විරෝධතා කැඳවන ලද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය (සෞවෘසස) වනාහි, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සම්මේලනය, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ආන්ඩුවේ වින්නඹු සේවිකාවන්ගේ වෘත්තීය සමිතිය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72 ක එකතුවකි.

අප්‍රේල් 2 වෙනිදා සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යංශ බලධාරින් සමග සාකච්ඡාවකින් පසු සමිති නායකයෝ කලින් නිවේදනය කර තිබූ “අඛන්ඩ” වර්ජනය නතර කලහ.

සෞඛ්‍ය සේවකයන් සඳහා “නිර්දේශිත” දීමනාවෙන් කොටසක් ලෙස “වෘත්තීය කාන්ඩවලට අදාලව රුපියල් 3000 ක් සහ 1000 මැයි මස වැටුපට ලබාදීමට සහ ඊට අදාල චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන” බවත් “නිර්දේශිත දීමනාවේ ඉතිරි මුදල් ප්‍රමානය ලබාදීමට අදාල කාලරාමුව පිලිබඳව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු සති 4 ක් ඇතුලත තීරනය කර දැනුම් දෙන” බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පී.ජි.මහීපාල විසින් නිකුත් කල ලිපියක සඳහන් කර තිබේ .

“නිර්දේශිත” දීමනාව කොපමනදැයි එහි සඳහන් කර නැත. එමෙන් ම ආන්ඩුව සමග ඇතිකරගත් එකඟතාවය ගැන සමිති නායකයන් මුලුමනින් ම නිහඬය. සෞඛ්‍ය සේවකයන්ගෙන් මතුවිය හැකි විරෝධය යටපත් කරනු වස්, ලේකම් මහීපාලගේ ලිඛිත පොරොන්දුව සනාත කෙරෙන චක්‍රලේඛයක් සති තුනක් ඇතුලත නිකුත් නොකලොත්, යලි අරගලය පටන්ගන්නා බවට සෞවෘසස කැඳවුම්කරු රවි කුමුදේශ් මාධ්‍යට පවසා ඇත.

සෞඛ්‍ය සේවකයන් පසුගිය මාස තුන තුල අරගලවලට පිවිසියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් යටතේ වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ආර්ථික කප්පාදු වැඩපිලිවෙල මගින් එල්ල කෙරෙන ප්‍රහාර යටතේ ජීවන වියදම නොදැරිය හැකි මට්ටමකට ඉහලයාම තුල ඊට සරිලන වැටුප් වැඩිවීමක් නොලද කොන්දේසි තුලය. එය සමස්ත කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතින අරගලවල කොටසකි.

ආන්ඩුව වෛද්‍යවරුන් සඳහා වැඩි කල ඩැට් දීමනාවට සමානුපාතිකව සෙසු සෞඛ්‍ය සේවකයන් සඳහා ද එය වැඩිකරන ලෙස සෞවෘසස ඉල්ලා සිටියේ ය. ආන්ඩුව වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව රුපියල් 35,000 න් ජනවාරි මාසයේ දී වැඩි කලේ ය. තමන් “මස් රාත්තල ම” නො ඉල්ලන බවත් සෙසු සෞඛ්‍ය සේවකයන් සඳහා 'ආර්ථික යුක්තිය' ඉටුකරන ලෙස පමනක් ඉල්ලා සිටින බවත් පුන පුනා කියා සිටිමින් ආන්ඩුව සමග කවර හෝ සම්මුතියක ට යාමේ සූදානම සෞවෘසස මුල සිටම පෙන්නුම් කලේ ය.

ආන්ඩුවේ “යහපත් ප්‍රතිචාරයන්” කෙරෙහි සෞඛ්‍ය සේවකයන් තුල මිත්‍යාවන් වපුරමින් සෞවෘසස අරගලය හැකි තරම් සීමාකලහ.

ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය, ආන්ඩුවට ගැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, සහ ව්‍යාජ වාම සංවිධානයක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නායකත්වය දෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සේවක සංගමය කට්ටිවාදී පදනමක සෞඛ්‍ය සේවක උද්ඝෝෂනය ට විරුද්ධ වූහ. ඇත්ත වශයෙන් ම සිදුවූයේ සෞඛ්‍ය සේවකයන් ගේ අරගලය පාවා දීම අරබයා මෙම සමිති සහ සෞවෘසස අතර දැනුවත් වැඩ බෙදා ගැනීමකි.

රවී කුමුදේශ් (ලෝසවෙඅ)

“රටේ තත්වය” සැලකිල්ලට ගෙන 2020 සිට කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් නොකල බව කුමුදේශ් මෑතක දී පවසා තිබුනි. ඔහුගේ එම ප්‍රකාශයේ අර්ථය වූයේ ධනපති පාලක පන්තියේ ආර්ථික අර්බුදය කම්කරුවන් මත පැටවීමට සෞවෘසස ආන්ඩුවට ඍජුව සහයෝගය දුන් බවයි. සමිති නිලධරය එසේ කලේ 2020 සිට ජීවන වියදම දැවැන්තව ඉහල යන සහ සෞඛ්‍ය සේවකයන් ඇතුලු රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැටුපේ සැබෑ අගය බරපතල ලෙස ඛාදනය වන කොන්දේසි තුලය.

2019 දෙසැම්බර් මාසයේ ඒකක 129.6 වූ ජාතික පාරිභෝගික දර්ශකය 2022 දෙසැම්බර් වනවිට 221.9 දක්වා ඉහල නැගුනි. එහෙත් මෙම කාලය තුල රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැටුපේ‍ සැබෑ අගය, පදනම් වසර 2013 ලෙස ගත්කල, 2020 දී සියයට 2.9 කින්, 2021 දී සියයට 6.4 කින් සහ 2022 දී සියයට 20.6 කින් ඛාදනය විය.

එම තතු තුල සෞඛ්‍ය සේවකයන් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයන් ට අවශ්‍ය වන්නේ ධනපති ආන්ඩුවේ ආර්ථික අර්බුදයට ගැලපෙන ලෙස කප්පාදු කල වැටුප් වැඩිවීමක් නොවේ. පසුගිය වසර කිහිපය තුල ඉහල ගිය ජීවන වියදම පූරනය වන පරිදි වැටුප් ඉහල නොදැමීම සම්බන්ධයෙන් වන්දියක් සහිතව දැන් පවතින ජීවන වියදමට ගැලපෙන වැටුපක් කම්කරු පන්තියට ලැබිය යුතුයි.

අප්‍රේල් 2 සංකේත වර්ජනය ට පෙරාතුව“වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!” මැයෙන් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් අප්‍රේල් 1 වෙනිදා නිකුත් කල ප්‍රකාශය තුල සෞවෘසසයේ මෙම ක්‍රියාකලාපය පිලිබඳව අනතුරු ඇඟවීය.

අප්‍රේල් 2දා අරගලයට පූර්න සහයෝගය දෙන බව සඳහන් කල එම ප්‍රකාශය වර්ජනයට එක්වන ලෙස සියලුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිමින් මෙසේ පැවසීය: “එහෙත්, වෘත්තීය සමිති නායකයන් ගැන විශ්වාසයක් නොතබන ලෙස අපි අපේ සහෝදර සහෝදරියන්ට අනතුරු අඟවමු...සෞවෘසස නිලධරය නැවත වරක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අපේක්ෂා කරන අතර ඔවුන්ට ලැබෙන පලමු අවස්ථාවේ දී ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවත්වනු ඇත.” පැය 24 ක් යාමට මත්තෙන් එම අනතුරු ඇඟවීම සනාථ විය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ මෙම ප්‍රකාශය සෞඛ්‍ය සේවකයන්ගේ අවධානයට යොමු කරමින් ඔවුන් සමග සාකච්ඡාවන් හි යෙදී ගත්හ. එම සාකච්ඡාවන් තුල දී, දීමනාව පිලිබඳ ආන්ඩුවේ පොරොන්දුව ගැන ඔවුහු සැක පලකල අතර වෘත්තීය සමිතිවල පාවාදීම හෙලා දුටුවහ.

ආන්ඩුව පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම “ඇත්තක්ද බොරුවක්ද” කියල නොදන්නා බව මහරගම අපේක්ෂා රෝහලේ උපස්ථායකයෙකු පැවසීය. “දිගටම අරගලය ගෙනියනවා කියලා වෘත්තීය සමිති මුලින් කිව්වට දැන් ඒ ගැන කිසිම කතාවක් නැහැ. ; හැම දීමනාවක්ම එකතු වුනාම මට අතට ලැබෙන්නෙ මාසෙකට රු. 57,000ක්. ඒ තත්වය තුල ඔය වැඩි කරාය කියන ගානත් කිසිසේත්ම පෑහෙන්නෙ නැහැ. ජීවන වියදම දෙතුන් ගුනයකින් වැඩි වෙලා” යැයි ඔහු සඳහන් කලේය.

වෘත්තීය සමිති හැත්තෑවකට අධික ප්‍රමානයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල තිබෙන බවත් ඒ සියල්ලම අවස්ථාවාදී බවත් ඔහු පැවසීය. “බඩු මිල සහ අනිකුත් ප්‍රශ්න උග්‍ර වෙලා. පඩි වැඩිකර ගැනීමට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරුන්ට පඩි වැඩි කල නිසා නොවෙයි; ලැබෙන පඩිය ජීවත් වීමට ප්‍රමානවත් නොවන නිසා. . නමුත් වෘත්තීය සමිති කරන්නේ අප අතර භේද ඇති කිරීම.”

“හැම රාජ්‍ය සේවකයෙකුට ම පඩි වැඩි කිරීමක් කලොත් බිලියන ගානක් වියදම් වෙනවා. මට හිතෙනවා ආන්ඩුව සමිති කාරයොන්ට මොනව හරි දීලා ඩීල් එකක් ගහලද කියලා. එතකොට සමිති නායකයො තව අවුරුද්දක් විතර කට වහන් ඉඳීවි. මැතිවරනය ආවම සමිති නායකයො මොකක් හරි පක්ෂෙක බොරු පොරොන්දුවක එල්ලල මේ අරගලය ඒ පක්ෂෙ පිටිපස්සෙ යවාවි” යැයි ඔහු සඳහන් කලේය.

වෘත්තිය සමිති වල ද්‍රෝහී ක්‍රියා කලාපය ගලා එන්නේ ඔවුන් සමග ඩීල් එකක් ඇති කර ගත්තාද නොගත්තාද යන්න නොතකා සමිති වලම ස්වභාවයෙන් බව සසප සාමාජිකයෝ ඔහුට පැහැදිලි කර දුන්හ. ඒවා මෙම ධනපති ක්‍රමය රකින ධනපති පන්තියේම උපකරන බව ඔවුන් ඔහුට පෙන්වා දුනි.

“වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය නායකයන් ගේ පුද්ගලික වැරැද්දක් නෙමෙයි කියල ඔබ කියන එක හරි. අප්‍රේල් 1-2 දවස්වල ඔවුන් කිව්වා සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යංශ එක්ක සාකච්ඡාවක් තියෙනවා කියලා. ඒකට ගියායින් පස්සෙ සද්දයක් නැහැ. අරගලය නතර කිරීම ගැන අපෙන් කිසිම දෙයක් ඇහැව්වෙත් නැහැ. ඔබ කිව්වා වගේ කම්කරුවන්ට වෘත්තීය සමිති තුලින් තමන්ගේ අයිතීන් සඳහා සටන් කරන්න බැරි බව පැහැදිලියි. වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය විය යුතු යි කියන කාරනාවට මා එකඟ යි.”

හෙද ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තිය සමිති තුනක් තිබෙන නමුත් නායකයන් කුලල්කා ගැනීම හැර සාමාජිකයන්ගේ ප්‍රශ්න ගැන ඔවුන් අවධානය යොමු නොකරන බවත් අපේක්ෂා රෝහලේ හෙදියක් පැවසුවාය. “රජයට පඩි වැඩි කරන්න සල්ලි නැහැ කියන එක පිලිගන්න බැහැ.; සෞඛ්‍ය ක්ෂේත්‍රයෙම කොයිතරම් අපරාධ සිදුවෙනවද? කෙහෙලිය රඹුක්වැල්ලම කරල තියෙන අපරාධ කොයිතරම් විශාලද? ඒක එකක් පමනයි. දේශපාලනඥයෝ හැම තැනම කරන්නේ විශාල වංචාවන්. ඔවුන් තමන්ගේ මඩිය තර කරගන්නව. අහිංසක මහජනතාවගේ සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ සෞඛ්‍යයට කරන වියදම කපන්න කියලා” ඇය සඳහන් කලාය.

යාපනය ශික්ෂන රෝහලේ එස්.සෙල්වකුමාර් මෙසේ පැවසිය:

“වෘත්තීය සමිති හැමදාම උද්ඝෝෂන කරනවා. නමුත් ප්‍රතිඵලයක් නැහැ. .නායකයෝ ආන්ඩුවත් එක්ක කරන සාකච්ඡා ගැන අපි කිසිදෙයක් දන්නේ නැහැ.. ඔය විදිහට අපේ ප්‍රශ්න විසඳෙන්නේ කවදද? රුපියලේ අගය වැඩිවෙලා කියලා ආන්ඩුව කියනවා. ඒ වුනාට බඩු මිලේ අඩුවක් නැහැ. අපට රෝහලේ නැවතීමේ පහසුකම් නැහැ. මම කිලෝමීටර් 36ක් දුර යන්න එන්න ඕන. දිනකට බස් ගාස්තුව රුපියල් 250 ක්. බැංකුවලින් අරන් තියෙන නයවලට කැපුනම අතට ලැබෙන්නේ සුලු මුදලක්. ජීවත් වෙන්නේ නයවෙලා. ගන්න පඩිය යන්තම් කෑමට විතරක් ඇති. අනෙකුත් වියදම් අධික ලෙස ඉහල ගිහිල්ල.”

ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා හෙද සංගමයේ සාමාජිකත්වය දරන පුත්තලම දිස්ත්‍රික්කයේ හෙදියක් වෘත්තීය සමිති නිලධරය විසින් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වලක්වා ආන්ඩුවේ කප්පාදුවපට ඉඩ හැරීම හෙලා දැක්කා ය.

“සමිති, ශ්‍රේනිවලට සෞඛ්‍ය සේවකයන්ව බෙදලා. විවිධ නම්වලින් සමිති හදා ගෙන කම්කරු පන්තියේ ශක්තිය මොට කරලා. ජවිපෙ සමිති ඡන්දය තියනකන් වර්ජනවලට යන්නේ නැහැ කියනවා. ඒගොල්ලන්ගේ ආන්ඩුවක් ආවා කියල අපේ ප්‍රශ්න විසඳෙයි කියල හිතන්න බැහැ” යයි ඇය ප්‍රකාශ කලා ය.

බලයට පත් ආන්ඩු විසින් සිදු කර ඇති අඛන්ඩ කප්පාදුව හේතුවෙන් හෙද සේවය තුල පවතින දැවැන්ත සේවක හිඟය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිහානිය පිලිබඳව ඇය පෙන්වා දුන්නා ය.

“වැඩ මුරය පැය 06 යි. නමුත් ගොඩක් දවස්වලට අතිකාල කරන්න වෙනවා. අතිකාල කරලා තමයි ගෙදර වියදම් යම්තම් හරි පියව ගන්නේ. නමුත් අපි හරිම ආතතියකින් ඉන්නේ. මම වැඩ කරන මාතෘ වාට්ටුවේ ඇඳන් 100 ක් විතර බලන්න ඕනා. එක හෙදියක් නිවාඩු ගත්තොත් අතිකාල නැතුව වැඩ කරන්න වෙනවා. මාරුවීම් ගන්න විදිහක් නැහැ.

'අපි ජාත්‍යන්තරව ගත් නය ගෙවන්න ඕන නැහැ කියල ඔබ කියන කාරනාව ට මා එකඟයි. ආන්ඩු අරන් තියෙන නයවලින් අපිට කිසිම දෙයක් කරලා නැහැ. ඔබ කියනවා වගේ නය ගෙවීම කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කල යුතු යි” ඇය පැවසුවාය.

Loading