ආන්ඩුව මැතිවරන අපේක්ෂකයන්ට පෙර නුවූ විරූ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සීමා පැනවීම් නිවේදනය කරයි

[මෙය Sri Lankan government announces unprecedented anti-democratic restrictions on election candidates මැයෙන් 2024 අප්‍රේල් 19දා සමාජවාදී සමානතා පක්ෂය පල කල ප්‍රකාශයේ පරිවර්තනය යි.]

සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 18 අතර පැවැත්වීමට නියමිත, ජනාධිපතිවරනය හා ලබන වසරේ ජාතික මැතිවරනය ඇතුලු සියලු අනාගත මැතිවරනවලට තරඟ කරන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු ගාස්තු දැවැන්තව ඉහල දැමීමේ යෝජනාවකට, අප්‍රේල් 9දා ශ්‍රී ලංකාවේ කැබිනට් මන්ඩලය අනුමැතිය දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

මෙම යෝජනාව, විශේෂයෙන් ම සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ස්වාධීන අපේක්ෂකයන් මැතිවරනවලට තරඟ කිරීමෙන් වලක්වා, ධනවතුන්ගේ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට ඡන්ද දායකයන් සීමා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පාලක ප්‍රභූව ගනන් බලා ගන්නා ලද තීන්දුවකි.

මෙම පියවර වනාහි, කෝවිඩ්-19 වසංගතය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය හා අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය සහිත ඊස්රායලයල ගාසා තීරය තුල ගෙනයන ජනසංහාරක යුද්ධය විසින් තීව්‍ර කරනු ලබන, ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදයක් මධ්‍යයේ, සෑම රටක් තුල ම පාලක පන්තීන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් මතට එල්ල කරන තීව්‍ර ප්‍රහාරයක කොටසකි.

යෝජිත වෙනස්කම් යටතේ, ලියාපදිංචි දේශපාලන පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙක් රුපියල් මිලියන 2.6ක් තැන්පත් කල යුතු අතර, එය දැනට පවතින රුපියල් 50,000 මෙන් පනස් දෙගුනයක ඉහල දැමීමකි. ස්වාධීන අපේක්ෂකයන් තැන්පත් කල යුතු මුදල, දැනට පවතින රුපියල් 75,000 සිට වඩා විශාල තැන්පතුවක් වන රුපියල් මිලියන 3.1ක් දක්වා ඉහල දමා තිබේ.

පාර්ලිමේන්තු, පලාත් සභා හා පලාත් පාලන මැතිවරනවල දී තැන්පත් කල යුතු මුදල් ද ඉහල දමා ඇත. පාර්ලිමේන්තු මැතිවරනයක දී ලියාපදිංචි දේශපාලන පක්ෂයක අපේක්ෂකයන් එක් අයෙකුට රුපියල් 11,000ක් ද ස්වාධීන අපේක්ෂකයන් එක් අයෙකුට රුපියල් 16,000ක් ද තැන්පත් කල යුතු ය. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පවත්වන ලංකාවේ අනෙකුත් සියලු මැතිවරන වලදී තරඟ වදින පක්ෂය හෝ ස්වාධීන කන්ඩායම සෑම දිස්ත්‍රික්කයකට ම අපේක්ෂක ලැයිස්තුවක් මැතිවරන කොමිසමට ඉදිරිපත් කල යුතු අතර, ඇප මුදල් ලෙස රුපියල් ලක්ෂ ගනනක් තැන්පත් කල යුතු ය.

ජනාධිපති වික්‍රමසිංහගේ ආශීර්වාදය සහිත ව, අධිකරන ඇමති විජයදාස රාජපක්ෂ විසින් යෝජනා කරන ලද අපේක්ෂක ඇප තැන්පතු පෙර නුවූ විරූ ඉහල දැමීම, පාර්ලිමේන්තුවෙන් අනුමත කල යුතු ය. එහෙත් සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) හෝ ඉලංකෙයි තමිල් අරසු කච්චි යන කිසිදු විපක්ෂයේ දේශපාලන පක්ෂයක්, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට විරුද්ධත්වය පල කර නැත.

විශේෂයෙන් ම කම්කරු පන්තියේ හා දුගීන්ගේ මූල්‍යමය ප්‍රතිපාදන මත රඳා සිටින දේශපාලන පක්ෂ මත සුවිශාල මූල්‍යමය බරක් පටවන මෙම පියවරයන්ගේ ඉලක්කය පැහැදිලි ය.

තම මහ ධනපති ව්‍යාපාරික පිලිවෙත්වලට එරෙහිවන සියලු විරුද්ධවාදීන්, විශේෂයෙන් ම අව්‍යාජ සමාජවාදීන් මැතිවරනවලට තරඟ කිරීමෙන් වැලැක්වීමට ආන්ඩුව හා සමස්ත දේශපාලන සංස්ථාපිතය අධිෂ්ඨානවත් ය. මෙමගින්, ධනවත් පාලක ප්‍රභූන්ගේ හෝ ඔවුන් විසින් මූල්‍යාධාර සපයන අපේක්ෂකයන්ට ඡන්ද දායකයන් ව සීමා කෙරෙනු ඇත.

ලංකාවේ ආන්ඩු හා මැතිවරන කොමිසම මීට පෙර ද අවස්ථා කිහිපයක දී මැතිවරන අපේක්ෂකයන්ගේ තැන්පතු විශාල ලෙස වැඩි කිරීම‌ට උත්සාහ දැරූවද එම ප්‍රයත්නයන් පලල් ලෙස විවේචනයට ලක් ව අත්හැර දමනු ලැබිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග යටතේ ක්‍රියාවට දමමින් තිබෙන කප්පාදු ප්‍රහාරයන්ට එරෙහි ව වර්ධනයවන මහජන විරුද්ධත්වය මධ්‍යයේ, අපේක්ෂකයන්ගේ තැන්පතු විශාල ලෙස වැඩි කිරීම සමග ආන්ඩුව දැන් වේගයෙන් ඉදිරියට යාමට ක්‍රියා කරමින් සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව සමාජ අයිතීන්ට එල්ල කල මුර්ග ප්‍රහාරයන්ට එරෙහි ව, දෙවසරකට පෙර 2022 අප්‍රේල්-ජූලි සමයේ, ලංකාවේ මිලියන ගනන් කම්කරුවෝ සහ නාගරික හා ග්‍රාමීය මහජනයා නැගී සිටියේ, ඔහුට රටින් පලා ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු කරමිනි.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) සහයෝගය සහිත ව විපක්ෂයේ සජබ, ජවිපෙ සහ වෘත්තීය සමිති,  අන්තර්-වාර ආන්ඩුවක් තැනීමේ කැඳවීම් තුලට මෙම මහජන ව්‍යාපාරය අපසරනය කර.අපකීර්තිමත් පාර්ලිමේන්තුවට වික්‍රමසිංහ ජනාධිපති ලෙස ස්ථාපිත කිරීමට මාවත විවෘත කලහ. එසේ වුවද, තවත් මහජන නැගිටීමක අවතාරයන් දකින පාලක පන්තිය තැතිගැනී සිටියි.

දේශපාලන උපාමාරු හරහා, ධනපති පන්තිය උදා කරගත් තාවකාලික දේශපාලන ස්ථාවරත්වය, වේගයෙන් අවසානයක් කරා එලඹෙමින් තිබේ. සමහර වෘත්තීය සමිතිවලට සීමිත කාර්මික ක්‍රියා හා විරෝධතා කැඳවීමට බලකෙරී තිබුන ද ජාමූඅ නියෝග කරන ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට විරුද්ධ ව සටන් කිරීමට කම්කරුවන්ට පවතින අධිෂ්ටානය වාෂ්ප කිරීමට, එම වෘත්තීය සමිති වියරුවෙන් ක්‍රියාකරමින් සිටිති. තමන්ගේ ඛාදනය වෙමින් තිබෙන සමාජ කොන්දේසි සහ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට එරෙහිව, ගම්බද දුගීන් හා ශිෂ්‍යයන් අතර ද කෝපය වර්ධනය වෙමින් පවතී.

1931 දී සර්ව-ජන ඡන්ද බලය අනුමත කිරීම හුවා දක්වමින්, මෙම දිවයින ආසියාවේ දීර්ඝතම ප්‍රජාතන්ත්‍රවාදී රට යයි, දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිත කියා සිටී. මෙය අමු ම අමු වංචාවකි.

කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී  සම්ප්‍රදායක් නැති බියගුලු, බෙලහීන ලංකාවේ ධනේශ්වරය සෑම විට ම කම්කරු පන්තියට එරෙහි ව ක්‍රියාත්මක වූයේ, තම විජිත පාලකයන්ගේ හා අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ දාසයන් ලෙස යි. පාර්ලිමේන්තු පාලනය තිබුන ද, මහජනයාට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නො තිබුනි. දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට මුල පටන් ම සලකන ලද්දේ දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස යි.

1948 දී නාමික නිදහස ප්‍රදානය කිරීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්ගේ පුරවැසි භාවය එක පැහැර අහෝසි කල එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව, ඊලඟ වසරේ දී ඔවුන්ගේ ඡන්ද අයිතිය කටු ගා දැමී ය. මෙම ප්‍රතිගාමී ප්‍රහාරයේ ඉලක්කය වූයේ, වාර්ගික‌රේඛා ඔස්සේ බෙදීම මගින් කම්කරු පන්තිය දුර්වල කිරීම යි. ඊලඟ දශක කිහිපය පුරා, ලංකාවේ පාලක ප්‍රභූව, සිංහලය රටේ රාජ්‍ය භාෂාව බවටත්, බුද්ධාගම රාජ්‍ය ආගමට බවටත් ඔටුනු පැලැන්දූයේ, හිතාමතා ම වාර්ගික එදිරිවාදිකම් අවුලුවමිනි.

1983 දී, එජාප ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 26-අවුරුදු වර්ගවාදී යුද්ධය ඇවිලවූ අතර, 2009 මැයි දක්වා පත් වූ සියලු අනුප්‍රාප්තික ආන්ඩු විසින් එම ම්ලේච්ඡ ගැටුම අඛන්ඩ ව පවත්වාගෙන ගියේ ය. 100,000ට අධික දෙමල සිවිල් වැසියන් මරා දමමින් දුෂ්ට සමාජ ව්‍යසනයක් ජනනය කල එම යුද්ධය, රැකියා, වැටුප් හා සමාජ කොන්දේසි මතට ආන්ඩු එල්ල කල ප්‍රහාරයන්ට කම්කරුවන්ගෙන් පැමිනි ප්‍රතිරෝධය බිඳ දැමීමට යොදා ගනු ලැබුවේ ය.

විවෘත වෙලඳපොල ආර්ථික පිලිවෙත් පැටවීම සඳහා, 1978 දී එජාප ආන්ඩුව විධායක ජනාධිපති පාලනය හා අනෙකුත් ඒකාධිපති විධික්‍රම පැටවී ය. දෙමල වැසියන් මැඩීමට බලාත්මක කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ද කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට විරුද්ධ ව යොදා ගැනුනි. මෑතක දී, සමාජ මාධ්‍ය මත තහනම් පැටවීම සඳහා තම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ඔන්ලයින් ආරක්ෂක පනත හඳුන්වා දුන් වික්‍රමසිංහ ආන්ඩුව, දැනට මත් පවතින මර්දන නීතිවලට අමතර ව නව ත්‍රස්ත-විරෝධී පනතක් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටී.

ලංකාවේ පාලක ප්‍රභූව ප්‍රජාතන්ත්‍ර අයිතීන් මැඩීමට අලුතින් පියවර ගනුලබමින් සිටින්නේ රට තුල පලල් වන සමාජ අසමානතාව හා මහා දරිද්‍රතාව මධ්‍යයේ ය. ගෙවී ගිය වසර හතර තුල -2019 දී සියයට 11 සිට 2024 දී සියයට 26‌ට ආසන්න මට්ටමක් දක්වා- ලංකාවේ දරිද්‍රතාව ඉහල ගොස් ඇතැයි මෑත නිකුත් කල ලෝක බැංකුවේ වාර්තාවක් හෙලිදරවු කලේ ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ජනගහනයෙන් හතරෙන් පංගුවකට වැඩි පිරිසක් ජීවත් වන්නේ දුගී භාවයට මුහුන දෙමිනි. ලංකාවේ කුටුම්බවලින් සියයට 60ක පමන ආදායම් පහත වැටී, ඉහල යන ආහාර අනාරක්ෂිතතාවට, මන්ද පෝෂනයට හා ඌන වර්ධනයට මුහුන දෙති.

මෙම සමාජ ව්‍යසනය මධ්‍යයේ, සසප විසින් යෝජනා කරන සමාජවාදී විකල්පය ගැන සාකච්ඡා කිරීම පසකෙ තැබුවත්, සිය මර්දන පියවරයන් කිසිදු ලෙසකින් විවේචනයට බඳුන් කිරීමට ඉඩ දීමට පවා ධනපති පන්තියට නො හැක. ජාමූඅ වෙලඳපොල-ගැති න්‍යාය පත්‍රය සාමකාමී ව ක්‍රියාත්මක කල නො හැකි බව වික්‍රමසිංහ ආන්ඩුව දනී.

වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රජාතන්ත්‍ර අයිතීන් මතට එල්ල කරන ප්‍රහාරය ජාත්‍යන්තර ක්‍රියා දාමයක කොටසකි. ජනවාරි මාසයේ නිකුත් කල ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ අලුත් අවුරුදු ප්‍රකාශය සඳහන් කල පරිදි: “ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් ට වල කපන සාරභූත පන්ති පරස්පර-විරෝධයන්, සියල්ලට ඉහලින් සමාජ අසමානතාවේ ආන්තික වර්ධනය තුල ප්‍රකාශයට පත් වෙයි. ධනපති සමාජය විසින් අත්පත් කරගෙන තිබෙන්නේ, සියලු ආර්ථික, සමාජ හා දේශපාලන ජීවිතය කුඩා ප්‍රභූවක් විසින් පාලනය කරනු ලබන කතිපයාධිකාරයක රූපයකි. වෙනත් අයුරකින් කිවහොත්, ධනය ආන්තික ලෙස සංකේන්ද්‍රනය වීම, රාජ්‍යයේ, අධිකරනයේ සහ මාධ්‍යයේ සෑම ආයතනයකටම පැතිරී ඒවා ආසාදනය කරන පිලිකාවකට සමාන වේ.”

සෑම රටක් තුල ම ක්‍රියාත්මක වන මෙම ප්‍රවනතා, ලෝක ධනවාදයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය තුල තියුනු ලෙස ප්‍රකාශයට පත් වේ. නොවැම්බර් ජනාධිපතිවරනය කරා එලඹෙද්දී, ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය හා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය, ආධිපත්‍යධාරී ද්වි-පක්ෂ ක්‍රමය පවත්වාගෙන යාමට අධිෂ්ටානවත් ව සිටී.

තුන්වැනි පක්ෂවල අපේක්ෂකයන් ගැන සුවිශේෂී ලෙස උත්සුක වන ඩිමොක්‍රටික් පක්ෂය, මාධ්‍යවලට අනුව, එවන් අපේක්ෂකයන් එලඹෙන මැතිවරනයට තරඟ කිරීමෙන් වලක්වාලීම සඳහා, “පූර්න-පරිමාන යුද්ධයක” නිරත වී සිටී. එක්සත් ජනපදයේ අපේ සහෝදර සසප ජනාධිපති අපේක්ෂක ජෝසෆ් කිෂෝර් හා උප-ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් මැතිවරනයට තරඟ කිරීමෙන් වැලැක්වීම, ඩිමොක්‍රටික් පක්ෂයට අවශ්‍ය ය.

2021 ඕස්ට්‍රේලියාවේ දී, එවකට විපාර්ශවික ලේබර් පක්ෂයේ පිටුබලය ලත් ලිබරල්-නැෂනල් සභාග ආන්ඩුව, දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමටත්, එම පක්ෂයේ නම ඡන්ද පත්‍රිකාවේ තිබීමටත් අවශ්‍ය සාමාජික සංඛ්‍යාව 500 සිට 1,500 දක්වා තෙගුන කලේ ය. අන් සියල්ලටමත් වඩා එම පියවර, සමාජවාදී අපේක්ෂකයන්ට ඡන්දය දීමෙන් සාමාන්‍ය ජනයා වැලැක්වීමට ගත් පැහැදිලි පියවරක් විය.

පක්ෂය නිල වසයෙන් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කරන ඡන්ද දායක සාමාජික සංඛ්‍යාව බඳවා ගැනීමට උද්ඝෝෂනයේ යෙදෙන ඕස්ට්‍රේලියාවේ අපේ සහෝදර පක්ෂය මෙම ප්‍රතිගාමී නීතියට අඛන්ඩ ව විරුද්ධ වෙයි.

සමාජ ව්‍යසනයට, අසමානතාවට හා යුද්ධයට එරෙහි ව සටන් වැදීමටත්, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමටත්, ලංකාව තුල සමාජවාදී පිලිවෙත් ඉදිරිපත් කරන එක ම පක්ෂය සසප යි. ලාභ පද්ධතියේත්, ආන්ඩුව, පාර්ලිමේන්තු විපක්ෂය සහ වෘත්තීය සමිති යන සියල්ල කැප වී සිටින ජාමූඅ කප්පාදු විධානයන්ගේත් රාමුව ඇතුලත කම්කරුවන්ට හා දුගීන්ට විසඳුම් නැත.

සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, මහා සංගත හා වතු, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සසප වැඩපිලිවෙලට ඇතුලත් වේ. මෙම පිලිවෙත් ක්‍රියාවට දැමිය හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන හරහා පමනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අපේ සහෝදර පක්ෂ සමගින් අප පක්ෂය කම්කරුවන්ගෙන් හා ගම්බද ජනයාගෙන් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට, සියලු ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස යි.

මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට අප උද්ඝෝෂනය කරමින් සිටින්නේ, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමට යි.

ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරන නවතම ප්‍රහාරයට විරුද්ධ වන ලෙසත්, එයට එරෙහි අපේ පක්ෂයේ උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙසත්, ලංකාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා සටන තීව්‍ර කිරීමට සසපට බැඳෙන ලෙසත්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සමාජවාදී-හිතැති බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading