සමාජවාදී සමානතා පක්ෂය සිය දේශපාලන වැඩ කටයුතු පුලුල් කිරීම සඳහා පක්ෂ සංවර්ධන අරමුදලක් දියත් කරයි

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) තමන් මුහුන දී සිටින හදිසි දේශපාලන කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 3.5 ක පක්ෂ සංවර්ධන අරමුදලක් දියත් කිරීමට තීරනය කර ඇත.

2023 ජූනි 23 වැනි දින, සසප සාමාජිකයෙකු, දඩයමට ලක්වූ ඕල්ටන් වතු කම්කරුවන් සඳහා කොලඹ වරාය කම්කරුවන්ගේ සහයෝගය දිනාගනිමින්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිඳවැටීමට තුඩු දුන් මිලියන සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ වූ 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම සහ වික්‍රමසිංහ ආන්ඩුවේ උත්සන්න වන සමාජ ප්‍රහාර වලින් ඉක්බිතිව, ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් යලිත් කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් කරා පැමිනෙමින් තිබේ.

ගැඹුරු සමාජ ප්‍රහාර සැලසුම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව විසින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) දරුනු නියෝග අනුව දැන් ක්‍රියාත්මක කරන කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්, දුගීන් සහ තරුනයින් අතර උදහස නැගෙමින් තිබේ.

පසුගිය සතියේ, රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය නිවේදනය කලේ, මෙම වසරේ අගෝස්තු මාසය වන විට එම ව්‍යවසායන් වලට අදාල සියලුම ගනුදෙනු අවසන් කිරීමට අවශ්‍ය බවයි. මෙම ආයතනවල සේවය කරන කම්කරුවන් 500,000 ගේ රැකියාවලින් දහස් ගනනක් විනාශ කෙරෙනු ඇත, වැටුප් කප්පාදු කෙරෙනු ඇත, වැඩ බර වැඩි කෙරෙනු ඇත, සහ විදුලිය හා ජලය සඳහා ඉහල ගාස්තු පටවනු ඇත.

වෘත්තීය සමිති නිලධරයෝ, විපක්ෂයේ සමගි ජන බලවේගය (එස්ජේබී) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග සහයෝගී වෙමින් සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ආධාරය ලබමින් ඉදිරි ජනාධිපතිවරනයේදී සහ ජාතික මැතිවරනවලදී ආන්ඩු වෙනසක් ඉල්ලා සිටින අතර ම කොලඹ ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කරමින්, මෙම ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියෙන් නැගෙන විරුද්ධත්වය හිතාමතාම විසුරුවා හරිමින් ද එය වෙනතකට යොමු කරමින් ද සිටිති.

.

මේ දේශපාලන න්‍යාය පත්‍රය වංචාවකි. ශ්‍රී ලංකාවේ සියලුම විරුද්ධ පක්ෂ ජාමූඅ නියෝග වලට මුලුමනින්ම කැපවී සිටිති. වික්‍රමසිංහ තන්ත්‍රය මෙන් ඔවුන් ද ජාමූඅ ඉල්ලීම් ක්‍රියාවට නැංවීමේදී කම්කරුවන්ගේ ප්‍රතිරෝධය තලා දැමීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමට ක්‍රියා කරනු ඇත.

සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර පැවැත්වීමට නියමිත මේ වසරේ ජනාධිපතිවරනයේ ප්‍රතිඵලය පිලිබඳව ශ්‍රී ලංකාවේ අපකීර්තිමත් ධනේශ්වර දේශපාලන පක්ෂ දැඩි ලෙස තැතිගැනී සිටිති.

වික්‍රමසිංහගේ වෛරයට පාත්‍ර වූ එක්සත් ජාතික පක්ෂය (එජාප) කඩමාල්ලක් බවට පත්ව ඇති තතු තුල, ඔහුට 'ස්වාධීන අපේක්ෂකයෙකු' ලෙස මැතිවරනයට තරඟ කිරීමට ජනාධිපතිවරයාට බලකෙරී ඇත. පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට ජනාධිපති අපේක්ෂකයෙකු නොමැති තතු තුල බොහෝ මන්ත්‍රීවරු ඉන් ඉවත්වෙමින් සිටිති. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සජබ අර්බුදයකට ලක්ව ඇති අතර බොහෝ මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ අනුමත කරනු දැකිය හැකිය. තමන්ගේ දේශපාලන ඉතිහාසය වසන් කිරීමට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුන මැතිවරනයට ඉදිරිපත් වන්නේ එහි පෙරමුනු සංවිධානය වන ඉහල මධ්‍යම පන්තික ජාතික ජන බලවේගයට මුවා වීගෙන ය.

මෙම ගැඹුරුවන දේශපාලන අර්බුදයට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය සතියේ දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන්ම අව්‍යාජ සමාජවාදීන්, අනාගත සියලූ මැතිවරනවලින් බැහැර කිරීමට නව පියවර මාලාවක් පැනවීමට තීරනය කලේය. ඒ අනුව, ලියාපදිංචි පක්ෂවල ජනාධිපතිවරන අපේක්ෂකයින්ගේ ඇප මුදල් පෙර නොවූ විරූ ලෙස 52 ගුනයකින් වැඩි කරමින්, එය රුපියල් මිලියන 2.6 දක්වාත්, ස්වාධීන අපේක්ෂකයින් සඳහා දැනට පවතින රුපියල් 75,000 තැන්පතු මුදල රුපියල් මිලියන 3.1 දක්වාත් වැඩි කිරීමට අමාත්‍ය මන්ඩලය තීරනය කලේය. අනෙකුත් මැතිවරන සඳහා ද තැන්පත් මුදල් වැඩිකර තිබේ.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරනය ගෙන ඇත්තේ, සංස්ථාපිත දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ට—එනම්, ධනවතුන් විසින් තෝරාගෙන අරමුදල් සපයන අයට—ඡන්දදායකයින් සීමා කර ගැනීමත්, දේශපාලන විරුද්ධවාදීන් සහ ආන්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන ස්වාධීන අපේක්ෂකයින් කොන් කිරීමත් සඳහා ය. අන් සියල්ලටත් වඩා, කම්කරුවන්ට, දුප්පතුන්ට සහ තරුනයින්ට ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයන් පරාජය කල හැකි එකම මාර්ගය වන අව්‍යාජ සමාජවාදී වැඩපිලිවෙලක් පිලිබඳ ඕනෑම සාකච්ඡාවක් අවහිර කිරීමට ය.

අප්‍රේල් 18 දා නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ සසප ප්‍රකාශය පැහැදිලි කල පරිදි:

“සමාජ ව්‍යසනයට, අසමානතාවට හා යුද්ධයට එරෙහි ව සටන් වැදීමටත්, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමටත්, ලංකාව තුල සමාජවාදී පිලිවෙත් ඉදිරිපත් කරන එක ම පක්ෂය සසප යි. ලාභ පද්ධතියේත්, ආන්ඩුව, පාර්ලිමේන්තු විපක්ෂය සහ වෘත්තීය සමිති යන සියල්ල කැප වී සිටින ජාමූඅ කප්පාදු විධානයන්ගේත් රාමුව ඇතුලත කම්කරුවන්ට හා දුගීන්ට විසඳුම් නැත.”

කොරෝනා වෛරස් වසංගතයෙන් අවුලුවන ලද සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ අධිරාජ්‍යවාදී පිටුබලය සහිත ජන සංහාරක යුද්ධය සහ ඉරානයට එරෙහි මිලිටරි ප්‍රකෝප කිරීම් මගින් උත්සන්න කරන ලද ධනවාදයේ ගෝලීය අර්බුදය මානව වර්ගයා ව්‍යසනකාරී ලෝක යුද්ධයකට ඇද දමයි. වික්‍රමසිංහ තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන නීති සහ මුර්ග කප්පාදු පියවර වනාහි, දැන් සෑම රටකම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ගෝලීය ප්‍රහාරයේ කොටසකි.

ජාත්‍යන්තර කමිටුවේ අපගේ සහෝදර පක්ෂ සමග ශ්‍රී ලංකාවේ සසප, විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය එක්සත් කිරීමට සටන් කරන එකම සංවිධානය වේ. මෙම අරගලයට ඉන්දියානු උපමහාද්වීපය පුරා කම්කරු පන්තිය හා ග්‍රාමීය ජනතාව එකමුතු කිරීම ඇතුලත් ය.

මෙම ඉදිරිදර්ශනයට අනුව, සසප නව සාමාජිකයින් බඳවා ගැනීමටත්, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය ගොඩනැගීමටත් අභිලාෂකාමී වැඩපිලිවෙලක් දියත් කරයි. අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අපගේ ආවරනය තවදුරටත් වර්ධනය කර ගත යුතු අතර සිංහල සහ දෙමල භාෂාවලින් කෙරෙන මාක්ස්වාදී සාහිත්‍ය ප්‍රකාශනය පුලුල් කල යුතුය.

මැතිවරනය ප්‍රකාශයට පත් කරන්නේ නම් එවිට, අපගේ සමාජවාදී ඉදිරිදර්ශනය ප්‍රචලිත කිරීමටත්, විප්ලවවාදී මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂය වන සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය පිලිබඳව කම්කරුවන් හා තරුනයන් දැනුවත් කිරීමටත් සසප ඒ සඳහා තරඟ කරනු ඇත. මෙම ප්‍රයත්නයට සහාය දෙන ලෙස අපි කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් සහ දේශපාලනිකව බැරෑරුම් බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම ඉදිරිදර්ශනයට එකඟ වන සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් සසප ඉල්ලා සිටින්නේ අගෝස්තු අග වන විට අපට සම්පූර්න කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 3.5 ක සංවර්ධන අරමුදලට නොමසුරුව දායක වන ලෙසයි.

ඔබගේ ආධාරය යොමු කලයුතු අපගේ පක්ෂ ගිනුමේ විස්තර:

ගිනුම් අංකය: 1472834301
ගිනුම් හිමියාගේ නම: සමාජවාදී සමානතා පක්ෂය
බැංකුව: කොමර්ෂල් බැංකුව
ශාඛාව: කිරුලපන

සසප ක්‍රියාමාර්ගය පිලිබඳව සාකච්ඡා කිරීමට පහත දුරකථන/WhatsApp අංකය හරහා අප හා සම්බන්ධ වන ලෙස අපි සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

දුරකථන/WhatsApp අංකය: +94773562327
Loading