ශ්‍රී ලංකාවේ ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම වසර හතරක් තිස්සේ අඛන්ඩව

[මෙය Four-year witch-hunt continues against Alton Estate workers in Sri Lanka යන මැයෙන් 2024 මැයි 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ මධ්‍යම වතුකර දිස්ත්‍රික්කයේ, මස්කෙලියේ ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම, කම්කරුවන් 22 දෙනෙකුට සහ තරුනයින් දෙදෙනෙකුට එරෙහිව නිමක් නැතිව ඇදෙන අධිකරන ක්‍රියාමාර්ග සමග එහි සිව්වන වසරට එලැඹ තිබේ. මීට පෙර මාර්තු 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අධිකරන නඩු විභාගය ජුනි 5 වැනිදාට කල් තැබිනි.

2022 අගෝස්තු 28 වන දින, මස්කෙලියේ අප්-කොට් දෙසට විරෝධතා පාගමනක් යන කම්කරුවන්

2021 මාර්තු 22 වැනි දින වහාම සේවයෙන් පහ කරන ලද, උසාවි නඩුවේ නම් කර ඇති 22 දෙනා ඇතුලු කම්කරුවන් 38 දෙනා නැවත සේවයේ පිහිටුවීම වතු කලමනාකාරිත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

2021 පෙබරවාරි 15 වැනි දින වතු කලමනාකරු සත්‍යමූර්ති සුභාෂ් නාරායනන්ට සහ සහකාර කලමනාකරු අනුෂාන් තිරුචෙල්වම්ට ශාරීරිකව පහරදී, කලමනාකරුගේ නිවසට හානි කිරීම සම්බන්ධයෙන් කම්කරුවන් 22 දෙනාට බොරු චෝදනා එල්ල වී ඇත. පවතින කලමනාකාරීත්වයේ මර්දනයට එරෙහිව එදින කම්කරුවන්ගේ විරෝධතා අතරතුර මෙම ප්‍රහාර එල්ල වූ බව නාරායන් සහ පොලිසිය පවසයි. ඕල්ටන් වතු කම්කරුවන් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව, වහාම, සේවයෙන් පහ කරන ලද කම්කරුවන් කොන්දේසි විරහිතව යලි සේවයේ පිහිටුවීමට සහ ගොතනලද චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂනයක් දියත් කලහ. මෙම උද්ඝෝෂනය, ශ්‍රී ලංකාව තුල සහ ජාත්‍යන්තර වශයෙන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන් වෙත යවන ලද පෙත්සම් සහ ලිපි ගනනාවක් සමඟ පුලුල් සහයෝගයක් දිනා ගෙන ඇත.

ඉලක්ක කෙරී ඇති ඕල්ටන් කම්කරුවන් මත ඔවුන්ගේ මර්දනය දිගටම පවත්වාගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටින රාජ්‍ය අධිකාරීන් සහ වතුයාය කලමනාකරනය කරන හොරන වැවිලි සමාගම (එච්පීසී) මෙම අභියාචනා නොසලකා හැර ඇත. ප්‍රෝක්ත චෝදනා සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂනයක් පැවැත්වීමට අපොහොසත් වූ එච්පීසීය, ඔවුන්ගේ නිර්දෝෂීභාවය සඳහා අභියාචනා කිරීමට කම්කරුවන්ට ඇති අයිතිය ප්‍රතික්ෂේප කර තිබේ. එපමනක් නොව, ඉලක්ක කෙරී ඇතී කම්කරුවන්ට සහ තරුනයින්ට එරෙහිව කිසිදු චෝදනාවක් ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර නැත.

2023 ජූනි 23 වැනි දින වින්දිත ඕල්ටන් වතු කම්කරුවන්ට සහය දක්වන ලෙස, හැටන් නගරයේ තරුන වතුකර පදිංචිකරුවන් පෙත්සමක් අත්සන් කරති..

මෙම කරුනු පැහැදිලි කරන්නේ, සමස්ත නඩුවම ගොතන ලද්දක් බවත්, මෙම කම්කරුවන් ආවරනය කරන වෘත්තීය සමිතිය වන එච්පීසීය, පොලිසිය සහ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ඒකාබද්ධව කල කුමන්ත්‍රනයක කොටසක් බවත් ය. ඇත්ත වශයෙන්ම, එවකට ප්‍රාදේශීය සීඩබ්ලිව්සී නායකයින් ඇතැම් කම්කරුවන්ට පොලිසියට යටත් වන ලෙසට පවා නියෝග කලහ.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරය සිදු වූයේ, වතු කම්කරුවන් විසින් රුපියල් 1,000 ක දෛනික වැටුපක් සඳහා රටපුරා ගෙන ගිය උද්ඝෝෂනය අතරතුරදීය.

මෙම ඉල්ලීම මත 2021 පෙබරවාරි 2 වැනි දින වැඩ නැවැත්වූ 500 ක් පමන ඕල්ටන් වතු කම්කරුවන්, දින තුනකට පසු පෙබරවාරි 5 වැනි දින ලංකා කම්කරු කොංග්‍රසය විසින් එම ප්‍රශ්නයටම අදාලව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික වතු කම්කරුවන් සම්බන්ධ කරගනිමින් කැඳවූ ජාතික වැඩවර්ජන ක්‍රියාමාර්ගයට එක් විය. ඕල්ටන් වතු කම්කරුවෝ කලමනාකාරීත්වයේ හිරිහැර කිරීම් සහ ප්‍රකෝප කිරීම් වලට විරෝධය දැක්වීම සඳහා මාර්තු 26 දක්වා වැඩ වර්ජනයේ නිරත වූහ.

මෙම දඩයමේදී සීඩබ්ලිව්සීය සෘජුවම එච්පීසී සහ පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කල අතර, ජාතික කම්කරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුන සහ සමස්ත ලංකා වතු කම්කරු සංගමය ඇතුලු අනෙකුත් සියලුම වතු වෘත්තීය සමිති, වින්දිත කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරමින් මුනිවත රැකීය.

මෙම වෘත්තීය සමිති පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ සමග පෙලගැසී සිටී. පලමු හතර සමගි ජන බලවේගය මගිනුත්, අනෙක ජනතා විමුක්ති පෙරමුන මගිනුත් පාලනය වේ. ඕල්ටන් වතු කම්කරුවන් ව්‍යාජ චෝදනා මත ගොදුරු කර ගැනීමට එරෙහිව ශ්‍රී ලංකාවේ කිසිදු වෘත්තීය සමිතියක් ඇඟිල්ලක්වත් ඔසවා නැත.

වින්දිත කම්කරුවන්ගෙන් එක් අයෙක් වන ආර්. කවිතාමනී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට දැන් තම පවුල මුහුන දී සිටින දුෂ්කර තත්වය ගැන පැවසුවාය.

“පසුගිය වසර තුන තුල අපි බොහෝ දුක් වින්දා. අපට කිලෝමීටර් තුනක් ඈතින් පිහිටි වතුවල තාවකාලික සේවකයන් ලෙස රැකියා ලැබිල තියෙනවා; ඒ කියන්නෙ, අප උදේ හතට නිවසින් පිටත් විය යුතුයි, සවස පහ හෝ හය වන තුරු ආපසු එන්න බැහැ.

“මේ තත්වය නිසා, අපිට ලැබෙන සුලු ආදායමෙන්, අපේ දරුවන් බලාගන්නවත්, එදිනෙදා වියදම් කලමනාකරනය කරගන්නවත් බැහැ. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, අපේ ආර්ථික ප්‍රශ්න නිසා පුතාලා දෙන්නෙකුට දැන් ඉගෙන ගන්න විදියක් නැහැ,” ඇය පැවසුවාය.

“සියලුම වෘත්තීය සමිති අපිව පාවා දුන්නා,” ඇය තවදුරටත් පෙන්වා දුන්නේ, හැටන් කම්කරු විනිශ්චය සභාවේ නැවත සේවයේ පිහිටුවීම සඳහා විභාග වෙමින් පවතින නඩුවත් ඇදෙන බවයි. 'අපි මෙම නඩු වලට සහභාගී වන සෑම අවස්ථාවකම, සෑම සේවකයෙකුටම ගමන් ගාස්තු සහ නීතිඥ ගාස්තු සඳහා රුපියල් 4,000 ක් පමන වැය කිරීමට සිදු වෙනවා,' ඇය වැඩිදුරටත් පැවසුවාය.

තවත් කම්කරුවෙකු වන ගනේෂන් පැවසුවේ, “අපි සේවයෙන් පහ කර තියෙද්දී, කලමනාකාරිත්වය වෙනත් වතුවලින් තාවකාලික සේවකයින් බඳවා ගන්නවා, ඒත් ඔවුන්ට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයක් නැහැ. වෘත්තීය සමිති ඉන්නේ පැත්තේ නෙවෙයි, කලමනාකාරීත්වයේ පැත්තේ.”

2021 ජාතික වැඩ වර්ජනයට පෙර වසර තුන තුල වතු කම්කරුවන් රුපියල් 1000 ක දෛනික වැටුපක් ඉල්ලා අඛන්ඩ විරෝධතා සහ වැඩ වර්ජනවල නිරත වූහ. මෙම නැගී එන සටන්කාමීත්වයට මුහුන දෙමින්, එච්පීසීය විසින් ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහිව මුදා හරින ලද මර්දනය, ප්‍රාදේශීය වතු සමාගම් (ආර්පීසී) වෙනුවෙන්, සියලු වතු කම්කරුවන් බිය ගැන්වීම සඳහා ගනන් බලා ගත් උත්සාහයකි.

ආර්පීසී සහ ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනය රුපියල් 1,000 වැටුප් ඉල්ලීමට විරුද්ධ වූ අතර, ආදායම් කොටස් බෙදාගැනීමේ ක්‍රමය පැනවීමට අවධාරනය කලේය. මෙම යෝජනා ක්‍රමය යටතේ කම්කරුවන්ට පොහොර, කෘෂි රසායන වැනි යෙදවුම් සපයන වතු සමාගම්, තේ පඳුරු 1,000 ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් සහිත ඉඩම් කට්ටි වෙන් කර දෙනු ලැබේ.

තේ පඳුරු නඩත්තු කිරීම සහ අස්වනු නෙලීමේ වගකීම දරන කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ගෙවීමක් ලැබෙන්නේ, වතු කලමනාකාරීත්වය එහි “යෙදවුම්වල” පිරිවැය අඩු කර එහි කොටස ලබා ගැනීමෙන් පසුවය.

මෙම රුදුරු සූරාකෑමේ ක්‍රමය පැටවීමට උත්සාහ කිරීම සඳහා වෘත්තීය සමිති නිලධරය විවෘතව ම සමාගම් සමග එක්ව සිටී.

ඕල්ටන් කම්කරුවන් මර්දනයට සම්බන්ධ වීමත් සමග වතු වෘත්තීය සමිති නායකත්වයන් වතු කලමනාකාරීත්වය සමග සහයෝගයෙන් කටයුතු කර ඇත්තේ, වතු කම්කරුවන් දැනට පවතින වැටුප් කප්පාදුව, වැඩ බර වැඩිවීම, පිරිහෙන සමාජ තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර වැඩිවීමට එරෙහිව සටන් වැදීම වැලැක්වීම සඳහා ය.

ඕල්ටන් වත්තේ දඩයමෙන් ඉක්බිතිව, කොවිඩ්-19 අගුලු දැමීම අතරතුර, ආන්ඩුවෙන් ආහාර සහන ඉල්ලා උද්ඝෝෂනය කල හැටන් වැලිඔය වත්තේ කම්කරුවන් පස් දෙනෙකු 2021 ජුනි මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

2021 සැප්තැම්බර් 29 වන දින තලවාකැලේ කටුකැලේ වත්තේ කම්කරුවන් 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. වතු කලමනාකාරීත්වය විසින් පී. පොන්නිර්සෙල්වි නමැති සේවිකාවක ගොදුරු කර ගැනීමට එරෙහිව ඔවුහු වැඩ වර්ජනයක නිරත වූහ.

මෙම ප්‍රහාර දෙකටම එරෙහිව කම්කරුවන් ස්වයංසිද්ධව විරෝධතා සංවිධානය කරද්දී, වෘත්තීය සමිති විසින් මෙම ක්‍රියාමාර්ග අත්හිටුවන ලදී.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ද ඇතුලුව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූර්ත වැටුප්—2013 ඒකක 100 පාදක වසර ලෙස ගත් විට—2023 මැද භාගය වන විට ඒකක 82 දක්වා අඩු වී තිබුනි.

2023 වසරේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවකින් ද හෙලි වී ඇත්තේ, 2022 මාර්තු මාසයේ ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස වතුකරයේ ජනගහනයේ කුටුම්භ ආදායම සියයට 62.9 කින් අඩු වී ඇති අතර ඔවුන්ගේ වියදම් සියයට 90.3 කින් ඉහල ගොස් ඇති බවයි.

2021 අප්‍රේල් මාසයේදී, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කම්කරුවන්ගේ නැඟී එන කෝපය විසුරුවා හැරීමට වතු කම්කරුවන්ට ප්‍රමානවත් නොවන රුපියල් 1,000 දෛනික වැටුපක් ගැසට් නිවේදනය කලේය. ආර්පීසී මෙම වැඩිවීම පිලිගත්තේ අධිකරන තීන්දුවකින් පසුව පමනක් වන අතර, පසුව වියදම් කපා හැරීම සඳහා තේ නෙලීම සහ රබර් කිරි එකතු කිරීම සඳහා ඉටුකල නොහැකි ඉහල දෛනික ඉලක්ක ඇතුලු විවිධ ක්‍රම භාවිතා කලේය. ඉලක්ක සපුරා නොගතහොත් රුපියල් 1000 දෛනික වැටුප රුපියල් 750 කට හෝ ඊටත් අඩු ගනනක් දක්වා කපා හැරිය හැකිය.

දැන් වික්‍රමසිංහ ආන්ඩුව විසින් පනවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් යටතේ, රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක් සමග ආර්පීසී 21 ක් ප්‍රතිව්‍යුහගත කරනු ඇත.

සමහර වතු කොටස් වලට කැඩීම, ඒවා සංචාරක ස්ථාන බවට පත් කිරීම සහ 'ලාබ ලබන' තේ සහ රබර් වතු පමනක් නඩත්තු කරමින් වගා විවිධාංගීකරනය කිරීම මෙයට ඇතුලත් වේ. මෙම “ප්‍රතිසංස්කරන”, මිලියනයක් වන වත්මන් වතු ජනගහනයට සහ එහි ක්‍රියාකාරී කම්කරුවන් 115,000 ට දැඩි ලෙස බලපානු ඇත; එහි ප්‍රතිඵලයක් ලෙස රැකියා විනාශය, වැටුප් කප්පාදුව සහ දැඩි සේවා කොන්දේසි පවා සිදුවනු ඇත.

ආදායම් කොටස් බෙදාගැනීමේ ක්‍රමයේ තමන්ගේම ආතියක් ඇති වික්‍රමසිංහ ආන්ඩුව යෝජනා කරන්නේ, වතු කම්කරුවන්, ආදායම් වැඩිවන බව ව්‍යාජ ලෙස කියාපාන, කුඩා ඉඩම් හිමියන් බවට පරිවර්තනය කල යුතු බවයි.

පසුගිය නොවැම්බරයේදී, ජනාධිපති වික්‍රමසිංහ—ඉන්දියානු සම්භවයක් ඇති දෙමල කම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිනීමේ 200 වැනි සංවත්සරය වන—නාම් 200 නම් උත්සවයක් ඇමතීය.

'ප්‍රාදේශීය වතු සමාගම් තේ දලු නෙලීමට කම්කරුවන් බාහිරින් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා, එමඟින් පවතින වතු ක්‍රමය ඉවත් කර, ඔවුන් ඉඩමේ අයිතිය ඇති කුඩා තේ වතු හිමියන් බවට පරිවර්තනය වනු ඇත,' ඔහු ප්‍රකාශ කලේය.

ඩීඩබ්ලිව්සී නායක මොනෝ ගනේෂන් එම වසරේ මුලදී මෙම යෝජනාව පූර්වාදර්ශයට ගෙන, ජූනි 23 දා සාකච්ඡාවක් අතරතුර පැවසුවේ, “ආන්ඩුව ප්‍රාදේශීය වතු සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරනවා, ඒක හොඳයි. අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි, නමුත් ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ වතු කම්කරුවන් ද එම පද්ධතියේ ම කොටසක් ලෙස සලකා, ඔවුන් එවැනි මන්ඩල වල වැඩ කරන කුඩා-වතු-හිමි හවුල්කරුවන් බවට පත් කල යුතුයි.”

වෙනත් වචන වලින් කිවහොත්, මෙම කුරිරු වියදම් කැපීමේ පියවරයන් පැනවීමට, වතු වෘත්තීය සමිති, ආන්ඩුව හා වතු හාම්පුතුන් සමග උපරිම සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ වීමට කම්කරුවන් තමන්ගේම සංවිධාන රූප—එනම්, වෘත්තීය සමිති, ධනේශ්වර පක්ෂ සහ ඒවායේ හෙංචයියන්ගෙන් ස්වාධීනව, කම්කරු ක්‍රියාකාරී කමිටු—පිහිටුවා ගත යුතුය.

මෙම අරගලයේ දී, වතු කම්කරුවන් සහ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්, ඕල්ටන් සහ අනෙකුත් වින්දිත කම්කරුවන් වහාම යලි සේවයේ පිහිටුවන ලෙසත්, සියලු අධිකරන නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසත් බලකර සිටිය යුතුය.

කම්කරුවන්ට තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ, ලාභ පද්ධතිය පෙරලා දමා, ප්‍රධාන කර්මාන්ත, බැංකු සහ වතු ජනසතු කර, ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන අරගලයක කොටසක් ලෙස පමනි.

Loading