ඉදිරිදර්ශන

යුක්‍රේන ආන්ඩුවට විවෘත ලිපියක්: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!

[මෙය An Open Letter to the Ukrainian government: Release Bogdan Syrotiuk! යන මැයෙන් 2024 ජූනි 12 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජූනි 13 බ්‍රහස්පතින්දා, සමාජවාදී සමානතා පක්ෂයෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයෙන් පහත ලිපිය වොෂින්ටන්, ඩී.සී. හි යුක්‍රේන තානාපතිනී ඔක්සානා මාකරෝවා වෙත භාර දෙනු ඇත.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

තානාපතිතුමියනි:

2024 අප්‍රේල් 25 වන දින, එස්බීයූව—යුක්‍රේන ආන්ඩුවේ රාජ්‍ය ආරක්ෂක සේවය—රුසියාව, යුක්‍රේනය සහ පූර්ව සෝවියට් සංගමයේ කොටස් වූ අනෙකුත් රටවල ක්‍රියාකාරී ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල හි නායක 25 හැවිරිදි බොග්ඩන් සයිරොටියුක් අත්අඩංගුවට ගත්තේය. පසුගිය සති හත තුල, සයිරොටියුක් සහෝදරයා මයිකොලයිව් හි බන්ධනාගාරයක රහසිගතව රඳවා තබා සිටී. ඔබ නියෝජනය කරන ආන්ඩුව විසින් ඔහුට එරෙහිව එල්ල කර ඇති අසත්‍ය චෝදනාවලට එරෙහිවීමට ප්‍රමානවත් නීතිමය නියෝජනයක් ලබාගැනීමට ඔහුට නොහැකි වී ඇත. යුක්‍රේන ආන්ඩුවේ දේශපාලනිකව අභිප්‍රේරිත අභිචෝදනා සහ ව්‍යාජ හේතු දැක්වීම් වලට එරෙහිව සටන් කිරීමේ පලපුරුද්ද ඇති කියෙව් සහ මයිකොලයිව් හි නීතීඥයින් සයිරොටියුක් වෙනුවෙන් පෙනී සිටීමේ යෝජනාව ඉල්ලා අස්කර ගත්තේ, පලිගැනීමේ තර්ජන හේතුවෙන් ඔවුන් තමන්ගේම පුද්ගලික ආරක්ෂාව ගැන බිය වීම නිසා ය.

බොග්ඩාන් සයිරොටියුක්ට එරෙහි චෝදනා අංශුමාත්‍රයක හෝ සත්‍ය කරුනු වලින් තොරය. ඔහු රාජද්‍රෝහී ක්‍රියාවක නියැලී ඇති බවට වන ප්‍රකාශය මුලුමනින්ම පදනම් වී ඇත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ [wsws.org] පල කල ලිපි වලින් ප්‍රකාශ කර ඇති පරිදි, යුක්‍රේන-රුසියානු යුද්ධයට ඔහුගේ ප්‍රසිද්ධ විරුද්ධත්වය මත ය.

සයිරොටියුක් විසින් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් භාෂනයේ අයිතිය ක්‍රියාවට නැංවීම සාපරාධීකරනය කිරීමේ මංමුලා සහගත ප්‍රයත්නයේ දී, එස්බීයූ හි බොරු ගෙතීමේ කප්පිත්තන් ඔවුන්ගේ චෝදනා ලේඛනවල කියා සිටින්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය “රුසියානු ප්‍රචාරක සහ තොරතුරු ඒජන්සියක්” බව ය.

බොග්ඩාන් සයිරොටියුක් තම කාර්යාලයේ දී

මෙම සාහසික චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් 1923 දී එය ආරම්භ කල දා සිට ආරක්ෂා කරන ලද සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලධර්ම මත පදනම් වූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉතිහාසය හා දේශපාලනය ගැන හුරුපුරුදු අය පසෙකින් තැබූවද, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සෑම පාඨකයෙකුටම මෙම බොරුවේ අභූතභාවය පැහැදිලිය.

යුද්ධය පුපුරා යාමෙන් පසු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ලිපි සිය ගනනක් තුල, යුක්‍රේන හා රුසියානු ආන්ඩු දෙකේම මිලිටරි පිලිවෙත් වලට හජාජාක සිය විරුද්ධත්වය මුලුමනින්ම පැහැදිලි කර ඇත. 2022 පෙබරවාරි 24 දින, එනම් රුසියානු ආක්‍රමනය සිදුවූ දින, ජාත්‍යන්තර කමිටුවේ හඬ වන ලෝසවෙඅ මෙසේ ප්‍රකාශ කලේය:

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යුක්‍රේනය තුල රුසියානු මිලිටරි මැදිහත්වීම හෙලා දකී. එක්සත් ජනපද හා නැටෝ බලවතුන්ගේ ප්‍රකෝප කිරීම් සහ තර්ජන නොතකා, රුසියාවේ යුක්‍රේන ආක්‍රමනයට සමාජවාදීන් හා පන්ති සවිඥානික කම්කරුවන් විරුද්ධ විය යුතුය. ව්ලැඩිමීර් පුටින් විසින් නියෝජනය කරන ධනේශ්වර පාලක පන්තියේ අවශ්‍යතා සඳහා සේවය කරන තරයේම ප්‍රතිගාමී දෘෂ්ටිවාදයක් වන රුසියානු ජාතිකවාදයේ පදනම මත, 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ආරම්භ වූ ව්‍යසනය වැලැක්විය නොහැක.

මෙම තරුන හා ධෛර්ය සම්පන්න සමාජවාදියාට එරෙහි ඔවුන්ගේ රාජද්‍රෝහී චෝදනාව සනාථ කල නොහැකි බව යුක්‍රේනයේ රාජ්‍ය පොලිසිය හොඳින් දනී. එබැවින්, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය විසින්, නාසි ජර්මනියේ ඒජන්තයින් ලෙස ට්‍රොට්ස්කිවාදී විරුද්ධවාදීන් හෙලා දකින ලද ත්‍රස්තයේ සහ මොස්කව් නඩු විභාගවල යුගයේ දී භාවිතා කරන ලද ආකාරයේ බොරුවලට ඔවුන් යොමු විය යුතුය. සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ යුක්‍රේනයේ ධනවාදය පුනස්ථාපනය වීම නොතකා, ස්ටැලින්වාදී පොලිස් ඒජන්සිවල විධික්‍රම සහ ස්වභාවය දිගටම පවතී.

බොග්ඩාන් සයිරොටියුක් සහ ලෝසවෙඅ රුසියානු ප්‍රචාරනයේ ඒජන්තයින් බවට වන එහි චෝදනාවට පටහැනිව, එස්බීයූ අධිචෝදනාව ලෝක සමාජවාදී වෙබ් අඩවිය “සමාජවාදී විප්ලවය හරහා ලෝක සමාජවාදය ස්ථාපිත කිරීමේ අරමුන ඇතිව ධනේශ්වර වෙලඳපොල පද්ධතියට විප්ලවවාදී විරුද්ධත්වයේ ආස්ථානයේ සිට ලොව පුරා ප්‍රධාන සමාජ-දේශපාලන ගැටලු ආවරනය කරන' බව පිලිගනී.

ලෝසවෙඅ මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල පිලිබඳ මෙම සත්‍ය විස්තරය—එය පුටින්ගේ ධනේශ්වර තන්ත්‍රයට අභිශාපයකි—බොග්ඩාන් සයිරොටියුක් සිරගත කිරීමේ සහ නඩු පැවරීමේ වංචනික ස්වභාවය හෙලිදරව් කරයි.

දෙරටේම කතිපයාධිකාරී ධනේශ්වර ප්‍රභූන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දියත් කෙරෙන යුද්ධයකට එරෙහිව යුක්‍රේන හා රුසියානු කම්කරු පන්තියේ එකමුතුකම සඳහා කැඳවුම් කරන නිසා ඔහු හිංසාවට හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කලහැකි තර්ජනයන්ට මුහුන දී තිබේ.

බොග්ඩාන් සයිරොටියුක් 2024 අප්‍රේුල් මැද දී

ඔබේ ආන්ඩුව ස්කොරොපාඩ්ස්කි, පෙට්ලියුරා සහ සියල්ලටම වඩා නරකම නාසි ගැති ස්ටෙපාන් බන්ඩෙරා සහ ඔහුගේ යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ පටන් ධනේශ්වර යුක්‍රේන ජාතිකවාදී ව්‍යාපාරයන්ගෙන් සංලක්ෂිත වූ දරුනු ප්‍රතිගාමී මතවාදයන් සහ වැඩසටහන් උත්කර්ෂයට නංවයි; එසේම එය නොවැලැක්විය හැකි ලෙසම රුසියාවේ තම පන්ති සහෝදර සහෝදරියන් සමග සමගිය සහ යුද්ධය ප්‍රතික්ෂේප කිරීම සඳහා දරන උත්සාහයක ස්වරූපය ගන්නා යුක්‍රේන කම්කරු පන්තිය තුල සමාජවාදී හැඟීම්වල පුනර්ජීවනය ගැන බිය වේ. බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, 2024 ජූනි 3 දින නිකුත් කෙරුනු රාජ්‍ය නියෝගයක් මගින් යුක්‍රේනය පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට අන්තර්ජාල ප්‍රවේශය තහනම් කර ඇත්තේ එබැවිනි.

යුද නීතියේ පදනම මත මැතිවරන සහ නීති අවලංගු කර ඇති සෙලෙන්ස්කි පාලනය යුක්‍රේනයේ සියලුම වාමාංශික සහ සමාජවාදී සංවිධාන නීතිවිරෝධී කර ඇති බව බව ප්‍රසිද්ධය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවා, මැයි මාසයේදී එහි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කාර්යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් ඔබේ ආන්ඩුවේ කුරිරු මර්දනකාරී ස්වභාවය කෙරෙහි අවධානය යොමු කිරීමට බල කෙරුනි.

වාර්තාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස විශේෂයෙන් සඳහන් කර ඇත්තේ, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, වධහිංසා පැමිනවීම සහ කුරිරු, අමානුෂික, හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් කිරීම; දරුනු සහ ජීවිතයට තර්ජනයක් වන බන්ධනාගාර කොන්දේසි; අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම; අධිකරනයේ ස්වාධීනත්වය පිලිබඳ බරපතල ගැටලු; මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම් ඇතුලුව, පුවත්පත් කලාවේදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය හෝ ප්‍රචන්ඩත්වයේ තර්ජන,…”

බොග්ඩාන් සයිරොටියුක් ඔබේ ආන්ඩුවේ අවනීතියේ ගොදුරකි. යුක්‍රේන කම්කරුවන් හා තරුනයින් අතර යුද්ධයට එරෙහිව නැගෙන විරෝධය පිලිබඳ ජාත්‍යන්තර මාධ්‍යවල පලවූ නොයෙකුත් වාර්තා මධ්‍යයේ අප්‍රේල් 25 දා ඔහු අත්අඩංගුවට ගැනීම සිදු විය. රාජද්‍රෝහී චෝදනා මත සයිරොටියුක් පිලිබඳ මුසාකරනය, යුක්‍රේනයේ ධනේශ්වර ප්‍රභූවේ සහ එහි අධිරාජ්‍යවාදී සහචරයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඔබේ ආන්ඩුව ගෙන යන යුද්ධයේ විරුද්ධවාදීන් බිය ගැන්වීම අරමුනු කර ඇති බව පැහැදිලිය.

බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම ලොව පුරා දරුනු විරෝධයක් පැන නංවා ඇත. ප්‍රගතිශීලී සහ සමාජවාදී සංවිධාන දේශපාලන හොරනඩුව හෙලා දැක තිබේ.

ඔහුගේ නිදහස සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතී. ලොව පුරා සිටින දහස් ගනනක් මිනිසුන්—කම්කරුවන්, තරුනයින්, කලාකරුවන් සහ ශාස්ත්‍රාලිකයින්—මෙම මුසාකරනය අවසන් කරන ලෙස සහ බොග්ඩාන් සයිරොටියුක් වහාම සිරෙන් නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් කර ඇත.

තානාපතිතුමියනි, මෙම ලිපිය සහ බොග්ඩන් සිරෝටියුක්ගේ නිදහස සඳහා වන අපගේ ඉල්ලීම ඔබගේ ආන්ඩුව වෙත යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

උචිත සංවේදීභාවයෙන්,

ඩේවිඩ් නෝර්ත්

සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති

Loading