ඉස්මතු වන ගෝලීය යුද්ධය සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර මූලෝපාය

තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ නායක සාමාජිකයෙකු වන උලාශ් අතේශි 2024 මැයි 4 වෙනිදා පැවති ඔන්ලයින් ජාත්‍යන්තර මැයි රැලියේදි කල කතාව පහත පල කෙරෙයි. (ඉංග්‍රීසි ලිපියට මෙතැනින්)

වීඩියෝ කැප්ෂන්: මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමෙන් විප්ලවවාදී සුබ පැතුම්!.

පලමු ලෝක යුද්ධය ආරම්භ වී වසර 110 කට පසු ව සහ දෙවන ලෝක යුද්ධය ආරම්භ වී වසර 85 කට පසුව, දැනටමත් ආරම්භ වී ඇති හා න්‍යෂ්ටික ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන තුන්වන ලෝක යුද්ධයක ව්‍යාප්තිය අපි අත්දකිමින් සිටිමු. ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැනුවත් දේශපාලන මැදිහත්වීම තුලින් මේ විනාශකාරී ගමන නැවැත්විය යුතුයි.

අධිරාජ්‍යවාදී යුද්ධයේ සුලි කුනාටුව මුලු කලාපය ම ගිල ගනිමින් තිබේ. යුක්‍රේනය අරභයා රුසියාවට එරෙහි නේටෝ යුද්ධය වසර දෙකකට වඩා වැඩි කාලයක් පුරා විහිදී පවතින්නකි. නේටෝ පිටුබලය ලබමින් ඊශ්‍රායලය මාස හතක් තිස්සේ, ගාසා තීරයේ දියත් කර ඇති ජන සංහාරය, ඉරානයට සහ එහි මිත්‍ර රාජ්‍යයන් ට එරෙහි ව තීව්‍ර වන යුද ප්‍රකෝප කිරීම් සමග බැඳී පවතී.

කලාපයේ අනෙකුත් ප්‍රධාන යුද ජ්වලන කේන්ද්‍ර අතර ද, පැරනි යුගෝස්ලාවියාවේ කොටස් වන සර්බියාව සහ කොසෝවෝ අතර ද, නේටෝ සාමාජික රටවල් වන තුර්කිය සහ ග්‍රීසිය අතර ද දේශසීමා අර්බුද පවතියි. පෙර පැවති කොකේසියානු සෝවියට් රාජ්‍යයන් දෙකක් වන අසර්බයිජානය සහ ආර්මේනියාව අතර නැවතත් යුද්ධයක් ඇවිලී යාමේ තර්ජනය ඉස්මතු ව ඇත.

එක්සත් ජනපදය නායකත්වය දෙන නේටෝ අධිරාජ්‍යවාදයේ ආක්‍රමනය, 1917 රුසියානු සහ 1949 චීන විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස දශක ගනනාවක් පුරා ඔවුන් ව බැහැර කෙරී පැවතුනු රුසියාවේ සහ චීනයේ සුවිශාල භූමි ප්‍රදේශ නැවත බෙදා ගැනීමේ සහ මැද පෙරදිග මත සම්පූර්නයෙන්ම ආධිපත්‍යය තහවුරුකර ගැනීමේ අරමුන ඇතිව කෙරෙන්නකි.

1922 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය එහි ආරම්භයේදී. [ඩේවිඩ් බෙන්සන් ලෝසවෙඅ මාධ්‍ය සඳහා] [Photo: David Benson/WSWS]

2022 පෙබරවාරියේ සිට රුසියාව මිලිටරිමය වශයෙන් පරාජය කිරීමේ තම ඉලක්කය සපුරා ගැනීමටත්, මොස්කව්හි පාලනයේ වෙනසක් ඇති කිරීමටත්, මෙම අතිවිශාල සම්පත්වලින් පොහොසත් රට තමන්ට සම්පූර්නයෙන් ම යටත් කර ගැනීමටත් එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අසමත් ව ඇති තතු තුල, යුධ බිමට නේටෝ හමුදා යෙදවීම සහ න්‍යෂ්ටික අවි භාවිතය වඩාත් වියහැකි දෙයක් බවට පත් ව තිබේ.

මෙම යුද්ධය, 1990 ගනන්වල සිට නේටෝවේ ආක්‍රමනශීලී නැගෙනහිර ප්‍රසාරනයේ සහ රුසියාවට එරෙහි ආක්‍රමනික මධ්‍යස්ථානයක් බවට යුක්‍රේනය පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් වන අතර එය, ස්ටැලින්වාදී නිලධරය සිදු කරන ලද ඔක්තෝබර් විප්ලවයේ අවසාන පාවාදීම වන 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමට ගෙවීමට සිදු ව ඇති බිහිසුනු වන්දිය ද වෙයි.

ගෝලීය යුද්ධයේ මැදපෙරදිග පෙරමුනේ දශක ගනනාවක් තිස්සේ සිදුවෙමින් පවතින සංහාරය, අප අත්දකිමින් සිටින පලමු අදියර, තුර්කිය, අරාබි රාජ්‍යයන් සහ ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනය ආදි කලාපයේ අධිරාජ්‍ය ගැති ප්‍රතිගාමී පාලන තන්ත්‍රවල සහයෝගයෙන් සිදු වන්නකි.

1991 ට පෙර සෝවියට් සංගමයට එරෙහිව නේටෝ මුරපොලක් ලෙස ක්‍රියා කල තුර්කියේ පාලක පන්තිය, මැද පෙරදිග සහ පශ්චාත් සෝවියට් අවධිය තුල රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ තීරනාත්මක කලාපීය කුලුනක් ලෙස ක්‍රියාත්මක වී ඇත.

1990-91 ගල්ෆ් යුද්ධයට, යුගෝස්ලාවියාව බිඳ දැමීමට, 1999 දී සර්බියාවට බෝම්බ හෙලීමට, 2001 දී ඇෆ්ගනිස්ථානයේ සහ 2003 දී සිදු කල ඉරාකයට එරෙහි ආක්‍රමන වලට, 2011 දී ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විප්ලවවාදී කම්කරු පන්ති නැගිටීම් මධ්‍යයේ ලිබියාවේ සහ සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ අධිරාජ්‍යවාදී යුද්ධ උසිගැන්වීමට එය හවුල් වී ඇත.

මෙම යුද්ධවලින් මිලියන ගනනක් මිය ගිය අතර තවත් මිලියන ගනනක් සරනාගතයන් බවට පත් වූහ. රාජ්‍ය මර්දනය හැර කුර්දි ජනතාවගේ නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන්ට තුර්කි පාලක පන්තියට පිලිතුරක් නොමැති වූ තතු යටතේ එම කාල පරිච්ඡේදය තුල ම තීව්‍ර වූ සිවිල් යුද්ධයකින් දස දහස් ගනනක් ජනයා මිය ගියහ.

ස්පාඤ්ඤ රාජ්‍ය නොවන සංවිධානයක් වන ඕපන් ආම්ස් ක්‍රියාකාරීන් පැමිනෙන තුරු ලිබියානු වෙරලින් සැතපුම් 122ක් ඔබ්බෙන් මධ්‍යධරනි මුහුදේ ජාත්‍යන්තර සාගර කලාපයේ රැඳී සිටින සංක්‍රමනිකයන් සහ සරනාගතයින්ගෙන් පිරී ඉතිරී ගිය දැව බෝට්ටුවක් [AP Photo/Bruno Thevenin]

මැද පෙරදිග අධිරාජ්‍යවාදී ආක්‍රමනයට අන්කාරාව සහයෝගයදීමෙන් සිදු වී ඇත්තේ කුර්දි ප්‍රශ්නය ගැඹුරු වීම පමනි. අද, තුර්කි හමුදා සහ ඉරාන, රුසියානු හමුදා ද රැඳී සිටින සිරියාව තුල එක්සත් ජනපදයේ පිටුබලය ලබන කුර්දි ජාතිකවාදී මිලීෂියාවන් අතර පූර්න පරිමාන යුද්ධයක අනතුර දිගටම පවතියි. ඒ සමගම කුර්දි දේශපාලනඥයින් දහස් ගනනක ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරනු ලැබ ඔවුන් තුර්කිය තුල දිගටම සිරගත කරනු ලැබ සිටියි.

තුර්කිය, ඉරානය, ඉරාකය සහ සිරියාවේ කුර්දි ජනතාව ජීවත් වෙති. කුර්දි ප්‍රශ්නය ස්වභාවයෙන්ම ජාත්‍යන්තර ස්වභාවයක් ගන්නකි. එය 'ජාතික' පදනමකින් විසඳිය නොහැකිය. බංකොලොත් බව ඓතිහාසිකව ඔප්පු වී ඇති මැද පෙරදිග තුල ජාතික රාජ්‍ය ක්‍රමය වෙනුවට ඉදිරි මාවත වන්නේ ජාතික පීඩනය අවසන් කරන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කරන සමාජවාදී සමූහාන්ඩුවකි.

ඉරානයට සහ රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී ආක්‍රමනය තුර්කි අවශ්‍යතාවලට තර්ජනයක් වන අතර එය තුර්කිය යුද්ධයේ සුලි කුනාටුවට ඇද දමන නමුත් තුර්කි ධනේශ්වරයේ එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය මත ගැඹුරින් මුල් බැසගත් යැපීම නිසා එය ධනේශ්වර ජාතිකවාදයේ රාමුව තුල විසඳිය නොහැකි උභතෝකෝටිකයකට ඇද දමනු ලැබ ඇත.

ලොව පුරා කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල ධනේශ්වරයට මෙන්, තුර්කි ධනේශ්වරයට ඇති ප්‍රධාන භීතිය වන්නේ කම්කරු පන්ති විප්ලවයේ තර්ජනය වන අතර එම අන්තරායට එරෙහි ව තුර්කි ධනේශ්වරය තම සගයන් ලෙස දකින්නේ ප්‍රධාන අධිරාජ්‍යවාදී කේන්ද්‍රස්ථානයි.

පලස්තීන හෝ කුර්දි හෝ වේවා, ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර වේවා, ඔවුන් අධිරාජ්‍යවාදයේ ඍජු ඉලක්ක වුවත්, ඔවුන්ගේ මිතුරන් වුවත් ඒ සියලු දෙනාට එම වෛෂයික පන්ති ආස්ථානය අදාලවෙයි. අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය ඇමතීමට සහජයෙන්ම අසමත් සියලුම ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍ර සහ දේශපාලන ව්‍යාපාර, ගැටලුවේ මූල හේතුව වන ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය තුල අධිරාජ්‍යවාදී බලවතුන් සමග සංහිඳියාව සෙවීම මත පදනම් වූ ප්‍රතිගාමී උපාමාරුවලට සැමවිටම යටත් වෙති.

රුසියානු විප්ලවයේ සම නායක සහ හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි තම නොනවතින විප්ලව න්‍යාය තුල පැහැදිලි කර ඇති පරිදි සහ 20 වන සහ 21 වන සියවස්වල ඉතිහාසය සනාථ කර ඇති පරිදි, අධිරාජ්‍යවාදයෙන් ස්වාධීන වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස කම්කරු පන්තිය බලය ලබා ගැනීම අවශ්‍ය කෙරෙයි.

ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනය විසින් ගාසා තීරයේ පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම තුර්කි ආන්ඩුවේ මෙන් ම සියලුම නේටෝ සහ මිත්‍ර රටවල හවුල්කාරිත්වය හෙලිදරව් කර ඇත. නෙතන්‍යාහු පිලිබඳ ඔහුගේ පුහු වාචාල විවේචන තිබියදී පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ යුද ප්‍රයත්නයට ඉන්ධන අපනයන දිගටම කරගෙන යාමෙන් ජනාධිපති රිසෙප් තායිප් එර්දොගන් ගේ ආන්ඩුව අධිරාජ්‍යවාදයේ සහ සියොන්වාදයේ සහචරයෙකු ලෙස හෙලිදරව් වී ඇත. එපමනක් නොව, එර්දොගන් ඊශ්‍රායලයට සහාය දෙන එක්සත් ජනපද-නේටෝ කඳවුරු තුර්කියේ පවත්වාගෙන යයි.

2022 ජූනි 29 වැනි දා නේටෝ සමුලුව අතරවාරයේ දී රිසෙප් තායිප් එර්දොගන් ජෝ බයිඩන් මුන ගැසෙයි [Photo: Official White House Photo by Adam Schultz]

ක්ෂනික වැඩ වර්ජන රැල්ලකට තුඩු දුන්, වර්ධනය වන සමාජ අසමානතාවය සහ ජීවන වියදම ගැඹුරු වන අර්බුදයේ කොන්දේසි යටතේ, ජනගහනයෙන් අතිමහත් බහුතරයක අධිරාජ්‍ය විරෝධී, සියොන්වාදී විරෝධී සහ පලස්තීන හිතවාදී හැඟීම් තිබියදී මෙම ප්‍රතිපත්තිය පිලිබඳව එර්දොගන්ගේ අවධාරනය, පසුගිය මාර්තු මාසයේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී, පාලක යුක්තිය සහ සංවර්ධන පක්ෂයට (ඒකේපී) මිලියන ගනනින් ඡන්ද අහිමි වීමෙන් ප්‍රථම වරට පාලක පක්ෂය දෙවන ස්ථානයේ පක්ෂයක් බවට පත් වීමේ දී සැලකිය යුතු සාධකයක් විය.

එහෙත් අධිරාජ්‍යවාදය සහ සියොන්වාදය සමග ඇති මිලිටරි-මූලෝපායික සන්ධානය සම්බන්ධයෙන් එර්දොගන් සහ ඔහුගේ ධනේශ්වර ප්‍රතිවාදීන් අතර මතභේදයක් නැත. පලාත් පාලන මැතිවරනයේ දී ආන්ඩුවට එරෙහි මහජන විරෝධයේ අනිසි ප්‍රතිලාභියා බවට පත් වූ, ගාසා තීරයේ ජන සංහාරය සහ ඉරානයට එරෙහි ආක්‍රමන පිටුපස සිටින ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන වන වොෂින්ටනය සහ බර්ලිනය සමග සමීප සබඳතා ඇති රිපබ්ලිකන් මහජන පක්ෂය (සීඑච්පී ), රුසියාවට එරෙහි ආක්‍රමනය උත්සන්න කිරීමේ කොටසක් වන ෆින්ලන්තයට සහ ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ප්‍රදානය කිරීම සඳහා පූර්න සහයෝගය ලබා දී ඇත.

2024 වන විට තුර්කිය සිය ආරක්ෂක අයවැය ඩොලර් බිලියන 40 දක්වා දෙගුනයකින් වැඩි කලේ ය. මිලිටරිවාදයේ නැගීම සහ විදේශයන්හි යුද්ධයට සූදානම් වීම රට තුල කම්කරු පන්තියට එරෙහි පන්ති යුද්ධයක කැටුව යන්නකි.

එර්දොගන් ආන්ඩුව සහ ධනේශ්වර විපක්ෂය කම්කරු පන්තියට එරෙහිව සමාජ ප්‍රහාරවල ම්ලේච්ඡ ධනේශ්වර වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් කම්කරුවන්ගේ ප්‍රතිරෝධය වෘත්තීය සමිති යාන්ත්‍රනය හෝ ඔවුන්ගේ පාලනය යටතේ ඇති වෙනත් ක්‍රම හරහා හෝ යටපත් කිරීමටත් එකඟවෙති. අප්‍රේල් මස මුල දී අන්කාරා අගනුවර ඒකේපී බලය හොබවන අල්තින්දාග් මහ නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් ක්ෂනික වැඩ වර්ජනයකට එලඹුන විට සීඑච්පී විසින් පාලිත මහ නගර සභාව තමන්ගේම වාහන යොදාගනිමින් අපද්‍රව්‍ය එක් රැස් කිරීම මගින් එය බිඳ දැමුවේ ය. .

ඊශ්‍රායලය සමඟ තුර්කියේ වෙලඳාම අවසන් කිරීමට එර්දොගන් ආන්ඩුව ප්‍රතික්ෂේප කිරීමට එරෙහි විරෝධතා ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාරවලට ලක් විය. ගාසා තීරයේ එක්සත් ජනපද පිටුබලය ලත් ජන සංහාරයට නිර්භීතව විරුද්ධ වූ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට ඇමරිකානු පොලීසිය උත්සාහ කරද්දී, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් ඉස්තාන්බුල් වෙත පැමිනි අවස්ථාවේ දී, ජන සංහාරයට ජර්මනියේ හවුල්කාරිත්වයට එරෙහි ව මෙහි පැවති විරෝධතාවලට තුර්කි පොලිසිය පහර දුන්නේ ය. ස්ටයින්මියර්ව පිලිගෙන ඔහු කැටුව ඒමට ගිය අය අතර ව්‍යාජ-වාම පක්ෂවල පිටුබලය ලබන සීඑච්පී පක්ෂයේ ඉස්තාන්බුල්හි නගරාධිපති එක්‍රෙම් ඉමාමොග්ලු ද සිටියේ ය.

ගාසාවේ පලස්තීනුවන්ට සහය දක්වන්නෝ 2024 අප්‍රේල් 5 වැනි සිකුරාදා, තුර්කියේ ඉස්තාන්බුල්හි විරෝධතාවයක නිරත වෙති[AP Photo/Khalil Hamra] [AP Photo/Khalil Hamra]

මින් අවධාරනය කෙරෙන්නේ පාලක ප්‍රභූව තුල යුද විරෝධී නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදී හිතැති කන්ඩායමක් නොමැති බවයි. කෙසේ වෙතත්, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ගාසා ජන සංහාරයට එරෙහිව ගෝලීය විරෝධතා තුලින් යුද්ධයට දැවැන්ත සමාජ විරෝධයක් පවතින බව පැහැදිලි කර ඇත. මෙම විරුද්ධත්වය කම්කරු පන්තිය දෙසට නැඹුරු විය යුතුයි. එය පැහැදිලි ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායකින් සන්නද්ධ විය යුතුයි.

මරනය සහ වසංගතයෙන් කායික දුබලයන් බවට පත් වීම පාලක පන්තිය විසින් සාමාන්‍යකරනය කිරීමට සහ ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කිරීමට එරෙහි ව සමාජවාදය සාමාන්‍යකරනය කිරීම මගින් ප්‍රතිචාර දැක්විය යුතුයි.

අධිරාජ්‍යවාදී හෝ ධනේශ්වර ආන්ඩුවලට යුද්ධය සහ ජන සංහාරය නැවැත්වීමට පීඩනය දැමීමේ පුටින්ගේ ප්‍රතිපත්තිය, නැතහොත් “සාමකාමී අධිරාජ්‍යවාදයේ” යුගයක් සාක්ෂාත් කර ගැනීමේ මවාපෑම් බංකොලොත් බව තේරුම් ගත යුතුයි. “අධිරාජ්‍යවාදී යුද්ධයේ හේතූන් පවතින්නේ දේශපාලන නායකයින්ගේ ආත්මීය අභිප්‍රායන් තුල නොව, ධනේශ්වර ක්‍රමයේ ද්‍රව්‍යමය පන්ති අවශ්‍යතා සහ විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතා තුල” බව ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී නායකයන් වූ ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කලහ. ධනවාදය පවතින තාක් අධිරාජ්‍යවාදී යුද්ධ පවතිනු ඇත.

ඔක්තෝබර් විප්ලවයේ දෙ වැනි සංවත්සර සමරුවක දී ලෙනින් සහ ට්‍රොට්ස්කි

එපමනක් නොව, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ජන සංහාරය, ඉරානයට සහ රුසියාවට එරෙහි යුද්ධය සහ චීනයට එරෙහි යුද්ධය සූදානම් කිරීම මෙම රටවල හෝ කලාපවල කම්කරුවන්ගේ අරගලයකින් පමනක් නැවැත්විය නොහැකිය. මෙම කලාපවල කම්කරුවන්ගේ හොඳම මිතුරන් අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ කම්කරු පන්තියයි.

1917 දී රුසියාවේ ආරම්භ වූ සමාජවාදී විප්ලවය ඒකීය ගෝලීය ක්‍රියාවලියක් ලෙස තේරුම් ගත යුතුයි. ලෝක විප්ලවයේ සාර්ථකත්වය සහ මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම, සියල්ලටමත් වඩා රඳා පවතින්නේ එක්සත් ජනපදයේ හා යුරෝපයේ කම්කරු පන්තිය බලය අතට ගෙන අධිරාජ්‍යවාදී ආක්‍රමනය තුරන් කිරීමට පියවර ගැනීම තුලයි.

මෙම තීරනාත්මක මැයි දිනයේ දී, තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායම ජන සංහාරය සහ අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමට සහ එහි මූල හේතුව වන ලෝක ධනවාදය අවසන් කිරීමට සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර අරගලයට අප හා එක්වන්නැයි මැද පෙරදිග පුරා කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියි. ගෝලීය යුද විරෝධී හා සමාජවාදී ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනඟන්න!

Loading