පන්ති අරගල, ඉදිරි මැතිවරනවලට යටත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දරන ප්‍රයත්නයට එරෙහිවනු! ආන්ඩුවේ කප්පාදුවට එරෙහිව මහා වැඩ වර්ජනයක් සූදානම් කරමු! සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් වදිමු!

මේ මස මුල සිට, ශ්‍රී ලංකාව තුල, දහස් සංඛ්‍යාත රාජ්‍ය සේවකයින් සහභාගිවන විරෝධතා මාලාවක් වර්ධනය වෙමින් පවතී. ඒ අතර දුම්රිය, තැපැල් සහ විදුලිබල සේවකයන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ රජයේ පාසල් ගුරුවරුන් වේ.

2024 ජූනි 18 වැනි දින කොලඹ දී වැඩ වර්ජන කරන අනධ්‍යයන සේවකයින්ගේ 3,000-යුත් පෙලපාලියේ කොටස

මේ සතියේ සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි, රජයේ පාසල්වල දහස් ගනන් අනධ්‍යයන සේවකයින් දින දෙකක අසනීප නිවාඩු උද්ඝෝෂනයක නිරත වූ අතර, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 250,000 කට වැඩි පිරිසක් අද අසනීප නිවාඩු විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය. රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ අඛන්ඩ වැඩවර්ජනය මේ වන විට අටවැනි සතියට අවතීර්නවී තිබේ. ජීවන හා සමාජ කොන්දේසිවල අඛන්ඩ පරිහානිය සම්බන්ධයෙන් කම්කරුවන් අතර වැඩෙන කෝපය මධ්‍යයේ මෙම ක්‍රියාවන් කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරී ඇත.

මෙම විරෝධතා බොහොමයක් පැවැත්වෙන්නේ, වැඩි වැටුප් ඉල්ලා සහ රජය සතු ව්‍යවසාය (රසව්‍ය) පෞද්ගලීකරනයට එරෙහිව හා මහජන සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වන අරමුදල් කප්පාදු කිරීමට එරෙහිව ය. මෙම ඉල්ලීම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් විධානය කරන ලදුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල සමග සෘජුවම ගැටෙයි. ජාමූඅ වැඩපිලිවෙලේ අරමුන වන්නේ, රටේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීම, දැවැන්ත විදේශ නය ආපසු ගෙවීම සහතික කිරීම සහ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ ප්‍රසාරනය සඳහා රාජ්‍ය ආදායම ඉහල නැංවීම ය.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති නිලධරයන් මෙම විරෝධතා එකිනෙකින් හුදකලා, විසිරුනු, සීමිත ක්‍රියා ලෙස කැඳවුම් කරමින්, මැතිවරන එලඹෙන තතු තුල ආන්ඩුවට බලපෑම් කිරීමෙන් කම්කරුවන්ට තම වැටුප්, රැකියා සහ ජීවන කොන්දේසි ආරක්ෂා කර ගත හැකි බවට ව්‍යාජ ප්‍රකාශ කරයි. ප්‍රශ්න වලට විසඳුම් ලබා ගනුවස්, එලැඹෙන ජනාධිපතිවරනයේදී ජාතික ජන බලවේගයේ (ජාජබ) අපේක්ෂකයා බලයට පත් කිරීම උදෙසා, කම්කරුවන් තම කාර්මික ක්‍රියාවන් නවතා දැමියයුතු බවට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ වෘත්තීය සමිති සහ ඔවුන්ගේ ආධාරකරුවෝ ඝෘජුවම උද්ඝෝෂනය කරති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ, වෘත්තීය සමිති, සිය අරගල පීලි පැන්නවීමට සහ ධනේශ්වර පාර්ලිමේන්තු රාමුවට කොටු කිරීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන ලෙසයි. කම්කරු පන්තියේ සෑම කොටසකම විරෝධතා සහ වැඩ වර්ජන, වික්‍රමසිංහ තන්ත්‍රයේ කප්පාදු පියවර පරාජය කිරීමේ පොදු අරගලයක වෛෂයික අවශ්‍යතාවය පෙන්නුම් කරයි.

තම වැටුප්, රැකියා, ජීවන කොන්දේසි සහ මහජන සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමටත්, ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදුවලට එරෙහිව සටන් කිරීමටත් දේශපාලන මහා වැඩ වර්ජනයක් සූදානම් කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. වික්‍රමසිංහ තන්ත්‍රයට එරෙහි සහ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ දේශපාලන සටනකින් තොරව ඔවුන්ට මේ කිසිදු අයිතියක් ආරක්ෂා කරගත නොහැක.

මෙම මස මුලදී, ජාමූඅ සිය ඩොලර් බිලියන 3 ක ඇප නයෙන් ඩොලර් මිලියන 336 ක තුන්වන වාරිකය මුදා හැරියේ, එහි වැඩපිලිවෙල දිගටම කරගෙන යාමේ අවශ්‍යතාවය අවධාරනය කරමිනි. ජූනි 14 දා, ශ්‍රී ලංකාව සඳහා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පීටර් බෲවර් පැවසුවේ, 'ආර්ථිකය තවමත් අවදානමේ පවතින අතර, නය ආපසු ගෙවීම තිරසාරවීමේ මාවත වැටී ඇත්තේ පිහි මුවහතක් ඔස්සේ' බවයි.

ජාමූඅ වැඩසටහන ගැන 'යලි සාකච්ඡා' කරන බවට ප්‍රචාරයේ යෙදෙන ඇතැම් දේශපාලන පක්ෂ සම්බන්ධිත ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් බෲවර් අනතුරු ඇඟවීය: 'ඉදිරි කාලයේ ප්‍රධාන ප්‍රමුඛතාවය වන්නේ ප්‍රතිසංස්කරන නොසැලී ඉදිරියට ගෙන යාමයි...'

විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජවිපෙ මැතිවරන පෙරමුන වන ජාජබ, ජනතාව රැවටීම සඳහා ජාමූඅ වැඩපිලිවෙල 'යලි සාකච්ඡා කිරීම' පිලිබඳ වාචාල කතා පවත්වති. මෙම පක්ෂ දෙකමත්, ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නිලධරයත් මුලුමනින්ම කැපවී සිටින්නේ ජාමූඅ පියවරයන් සඳහා ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, කොරෝනා වෛරස් වසංගතයෙන් ද, එක්සත් ජනපදය හා නැටෝව යුක්‍රේනය යොදා ගනිමින් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය තීව්‍ර කිරීමෙන් ද, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ජන සංහාරක යුද්ධයට ලබා දෙන අධිරාජ්‍යවාදී පිටුබලයෙන් ද උග්‍ර කරන ලද ගෝලීය ආර්ථික අර්බුදයේ තියුනුම ප්‍රකාශනය බවට පත්ව ඇත.

අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනගහනය 2021 දී සියයට 13 සිට 2023 දී සියයට 25 දක්වා දෙගුනයක් වී ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. ක්‍රියාත්මක වෙමින් පවත්නා කප්පාදු පියවර, තත්වය වඩාත් නරක අතට හරවනු ඇත. ජාමූඅ නයෙහි තුන්වන වාරිකය සමඟ, යම් පුද්ගලයෙකුට නිවසක් හිමිනම් ඒ සඳහා වන දේපල බද්ද සමග තවත් බදු පැනවීමටත්, සේවා සඳහා වන බදු නිදහස ඉවත් කිරීමටත් ආන්ඩුව එකඟ වී තිබේ.

අනධ්‍යන සේවකයන්ගේ මොනයම් හෝ වැටුප් වැඩිවීමක් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැවසුවේ, කිසිදු රාජ්‍ය අංශයක වැඩි වැටුප් සඳහා ආන්ඩුවට මුදල් නොමැති බවත්, ඒවා සලකා බැලිය හැක්කේ 2025 දී පමනක් බවත් ය.

ධනපති පන්තියේ සම්මුතිය වන්නේ, 2022 අප්‍රේල් මාසයේ දී පැහැර හරින ලද විදේශ නය කම්කරු පන්තියේ වියදමින් ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ විදේශ ආන්ඩු වෙත ආපසු ගෙවීමයි. ඒ සඳහා මුදල් රැස්කර ගැනීම සඳහා, ආන්ඩුව විසින් සමාජ සුබසාධනය සඳහා වන අත්‍යවශ්‍ය වියදම් සඳහා අරමුදල් තවදුරටත් කප්පාදු කල යුතුය, රජය සතු ව්‍යවසායන් විකුනා දැමිය යුතුය, බදු වැඩි කල යුතුය.

ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ලබා ගත් මෙම අතිවිශාල විදේශ නය සඳහා කම්කරු පන්තිය වගකිව යුතු නොවේ. එය ධනේශ්වර අර්බුදයට වගකිව යුතු නැත.

කම්කරු පන්තිය සහ දුගීන් තම වැටුප්, රැකියා, විශ්‍රාම වැටුප්, මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ සුබසාධන වැඩසටහන් කැප කරමින් ධනේශ්වර අර්බුදයට උර දිය යුත්තේ ඇයි? දැනටමත්, කප්පාදු ප්‍රහාර, මහජනතාවගේ සමාජ හා ජීවන තත්වයන් දරාගත නොහැකි මට්ටමට තලා දමා තිබේ.

වික්‍රමසිංහ තන්ත්‍රයට හෝ වෙනත් ධනපති ආන්ඩුවකට හෝ බලපෑම් යෙදීමෙන් කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. එහෙත් වෘත්තීය සමිති නිලධරයන් අවධාරනය කරන්නේ එකම විකල්පය මෙය බවයි.

ජවිපෙන් පාලනය වන වෘත්තීය සමිති, කම්කරුවන් තම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තම පෙරමුනේ ජාජබ ආන්ඩුවක් ගෙන ආ යුතු බවට දැඩිව උද්ඝෝෂන කරති. නිදසුනක් ලෙස, ජවිපෙ පාලනය කරන වරාය වෘත්තීය සමිති එකමුතුවේ සහ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ නායක නිරෝෂන් ගොරකාන කම්කරුවන්ට නිකුත් කල නිවේදනයක, “ඔබට ඇත්තේ තව මාස හතරක් පමනයි” යනුවෙන් වික්‍රමසිංහට අනතුරු ඇඟවීය. ඒ හුස්මටම ඔහු කම්කරුවන්ට මෙසේ පැවසුවේය: “ආදරනීය සහෝදර සහෝදරියනි, ඒ දවස උදාවන තුරු අපි අපට කල හැකි සෑම දෙයක්ම කරන්නෙමු.”

ලංකා විදුලිබල මන්ඩලය කඩා බිඳ දැමීම සඳහා ජූනි 6 වැනිදා පාර්ලිමේන්තුව විසින් නව විදුලිබල පනත සම්මත කරන විට ජනතා විමුක්ති පෙරමුන පාලනය කරන සමස්ත ලංකා විදුලි සේවක සංගමයේ නායක රංජන් ජයලාල් මෙසේ පැවසුවේය: “මේ ආන්ඩුවට ගෙදර යන්න වෙනවා, ඔවුන් පරාජය ලැබීමට සුදුසුයි.” එයට ඇත්තේ මාස හතරක් පමනක් බව ද ඔහු සිහිපත් කලේය.

ජවිපෙ පිලිවෙත අනුව යමින් මෙම වෘත්තීය සමිති නායකයන් දෙදෙනාම කියා සිටියේ, කම්කරුවන් ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව පන්ති ක්‍රියාමාර්ග දියත් නොකර ජනාධිපතිවරනය එන තෙක් බලා සිටිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ 2022 මහජන නැගිටීමේ දැවැන්ත අත්දැකීමක් කම්කරු පන්තිය සතුව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව නැගී එන අරගල රැල්ලට මුහුන දී සිටින අතරේ, එක්දින මහා වැඩවර්ජන දෙකක් කැඳවූ වෘත්තීය සමිති, ධනේශ්වර පාලනය ගලවා ගැනීම සඳහා 'අන්තර්වාර ආන්ඩුවක්' සඳහා වන සජබ සහ ජවිපෙ කැඳවුමට සහාය දැක්වීම සඳහා කම්කරුවන් හරවා යවන ලදී. ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම ව්‍යාපාරයට පූර්න සහයෝගය ලබා දුන්නේය. කම්කරුවන් ධනපති පක්ෂවලට දේශපාලනිකව යටත් කිරීම මහජන නැගිටීම බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවකි.

එවන් පරාජයක් වැලැක්වීම සඳහා, දේශපාලන මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමට කම්කරුවන් තම දැවෙන ඉල්ලීම් සඳහා වන අරගලය තමන්ගේ අතට ගත යුතුය. වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ඔවුන් පෙලගැසී සිටින ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ස්වාධීනව වැඩබිම්, කර්මාන්තශාලා, වතුකරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අපි කම්කරුවන්ට කැඳවුම් කර සිටින්නෙමු.

දේශපාලන මහා වැඩ වර්ජනයේ ගාමක බලවේගය ලෙස සසප පහත සඳහන් ප්‍රධාන ඉල්ලීම් යෝජනා කරයි:

*ජාමූඅ විසින් නියම කර ඇති සියලු කප්පාදු පියවර ඉවත් කරනු

*සියලු කම්කරුවන් සඳහා රුපියල් 100,000 න් ආරම්භවී ජීවන වියදම අනුව වැඩි වන, ජීවත්විය හැකි වැටුපක් සහතික කරනු

* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! නය ගෙවීම වෙනුවට වැඩකරන ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන, විදුලිය, ජලය, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල සහ රේට්ටු පහත හෙලීමට අරමුදල් යෙදවිය යුතුය.

* ඵලදායී අධ්‍යාපනයක් සහ යහපත් සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට, ගම්බද ගොවීන්ට පොහොර සම්පාදනය කිරීමට සහ ගොවීන්ගේ අස්වැන්න සඳහා ප්‍රමානවත් මිලක් සහතික කිරීමට, ප්‍රමානවත් අරමුදල් සපයනුවස් සියලු සහනාධාර නැවත ස්ථාපිත කරනු!

* රැකියා සැපයීම සහ වැඩකරන ජනතාවගේ සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා මහා ව්‍යාපාර අත්පත් කරගෙන ඒවා කම්කරුවන්ගේ පාලනය යටතට පත් කරමු!

* යහපත් සහ ආරක්ෂිත සේවා කොන්දේසි සහිතව, සැමට රැකියා සහතික කරනු!

* ගම්බද ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ නය අහෝසි කරනු!

සාර්ථක දේශපාලන මහ වැඩවර්ජනයක් සඳහා, දිවයින පුරා කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් (ඩීඑස්සී) ගොඩනැගීමට ඉදිරියට යාම අත්‍යවශ්‍ය වේ. ධනේශ්වර ප්‍රහාරයට එරෙහිව සසප මෙම වැඩපිලිවෙල ආරම්භ කලේ 2022 ජුලි මැද මහජන නැගිටීම අතරතුරදීය.

කම්කරුවන්ට ආන්ඩුවේ පක්ෂවල හෝ විපක්ෂයේ සජබ හෝ ජවිපෙ හෝ ජාමූඅ කප්පාදුව ක්‍රියාත්මක කරන වෙනත් ධනේශ්වර ආන්ඩුවක් අවශ්‍ය නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ, ඉහත වැඩපිලිවෙල ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි.

ධනේශ්වර රාජ්‍යය පෙරලා දමා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට මග පෑදීම සඳහා ඩීඑස්සී කම්කරු පන්තියේ විප්ලවවාදී බලය සූදානම් කර බලමුලු ගන්වනු ඇත.

මෙම සටනේදී, තම සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහ යුද්ධයට එරෙහිව අරගලයේ යෙදී සිටින ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එක්සත් වීම අවශ්‍ය බව, ශ්‍රී ලංකාවේ සටන් වදින කම්කරුවන් අවබෝධ කර ගත යුතුය.

මෙම සටන, ගෝලීය ධනවාදයේ ආර්ථික ආධිපත්‍යයට එරෙහිව සහ ලෝකය න්‍යෂ්ටික වහ්නි ජාලාවක් කරා ඇදගෙන යාමට එරෙහිව ජාත්‍යන්තරව සම්බන්ධීකරනය වූ අරගලයක් දක්වා වර්ධනය කල හැක.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ජාකස) සමග සම්බන්ධීකරනය කල යුතුය.

අපි කම්කරුවන් හා තරුනයන් උනන්දු කර සිටින්නෙමු: මෙම විප්ලවවාදී වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට සසප හා එක්වන්න.

Loading