විරෝධතා දැක්වූ දහස් සංඛ්‍යාත ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේ පොලිසිය ම්ලේච්ඡ ලෙස පහර දෙයි

[මෙය Sri Lankan police brutally attack thousands of protesting teachers යන මැයෙන් 2024 ජූනි 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2024 ජුනි 26 වන දින, කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවයේ කොටසක්

බදාදා (26), ශ්‍රී ලංකා පොලිසිය, කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත සහ කොලඹ යාබද මාර්ගවල 10,000 ක් පමන ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ විරෝධතාවයකට දරුනු ලෙස පහර දුන්නේය. ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාරයකින් ගුරුවරුන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත.

නිසැකව ම රාජ්‍යයේ ඉහලම මට්ටමින් සංවිධානය කර තිබූ පොලිස් ක්‍රියාව, කම්කරුවන්ට හා තරුනයින්ට තියුනු අනතුරු ඇඟවීමකි. ආන්ඩුව දැවැන්ත සමාජ විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ වැඩිවන මර්දනයෙනි.

දිගු කාලයක් පුරා නොතකන ලද, තමාට හිමි වැටුප් වැඩිවීමක් ඉල්ලමින් කොලඹ පැවැත්වූ විරෝධතාව, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ උපදේශකවරුන් ඇතුලු අධ්‍යාපනඥයින් 250,000 ක පමන පිරිසක් විසින් එදින ක්‍රියාත්මක කල ජාතික අසනීප නිවාඩු ක්‍රියාමාර්ගයක කොටසක් විය. ආන්ඩුව සිය ගනනක් පොලිස් නිලධාරීන්, කැරලි මර්දන පොලිස් භටයින් සහ හමුදා බලකායන් බලමුලු ගන්වා තිබුනි; සමහරු රයිෆල් වලින් සන්නද්ධ වී සිටියහ; තවත් අය බැටන් පොලුවලින් සහ කඳුලු ගෑස් වලින් සන්නද්ධව සිටි අතර ඒ අසල ජල ප්‍රහාරක රථ ස්ථානගත කර තිබුනි.

බදාදා ක්‍රියාමාර්ගය කැඳවනු ලැබුවේ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය (ටීපීටීයූඒ)—ලංකා ගුරු සංගමය (ලංගුස), ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) ඇතුලු ගුරු සංගම් 20 කට වැඩි ගනනක එකතුවකි—සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ එක්සත් ගුරු සේවා සංගමය විසිනි.

දිවයිනේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලින් ද ඇතුලුව දහස් ගනන් අධ්‍යාපනිකයන් උදේ 9 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රැස් වීමට පටන් ගත් අතර, ඔවුන්ගේ සංඛ්‍යාව පැය කිහිපයක් තිස්සේ වර්ධනය විය. පසුව පොලිසිය පැමිනියේ, ඇතැම් මාර්ග ඔස්සේ පෙලපාලි යාම තහනම් කරමින් කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනය නිකුත් කල නියෝගයක් ද රැගෙනය.

වික්‍රමසිංහ ආන්ඩුව, 2024 ජූනි 26 වැනි දින ශ්‍රී ලංකාවේ කොලඹදී, විරෝධතා දක්වන ගුරුවරුන්ට එරෙහිව පොලිසිය සහ හමුදාව බලමුලු ගන්වා තිබූ අයුරු

කෙසේ වෙතත්, උද්ඝෝෂකයින් අධිකරන නියෝගය නොතකා, මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත දිවෙන, අසල පිහිටි මංසන්ධියට යොමු වූ මාර්ගයක් දෙසට ගමන් කලහ. “ගුරු හා විදුහල්පති සේවාවල උසස්වීම් ලබා දෙනු,” “දරුවන්ට අඩු මිලට පාසල් උපකරන ලබා දෙනු,” “අධ්‍යාපනය පෞද්ගලීකරනය නවතනු”, “ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව විසඳනු!” වැනි සටන් පාඨ ඔවුහු හඬ නැගූහ.

ගුරුවරු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනවන ආන්ඩුවේ කප්පාදු පියවර පරාජය කරන ලෙස ද කැඳවුම් කර සිටියහ.

අනතුරු ඇඟවීමකින් තොරව ම, පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. එක් ගුරුවරියක් මාධ්‍ය වෙත පැවසුවේ ප්‍රහාරයෙන් 50 දෙනෙකු පමන තුවාල ලබා ඇති බවයි. අධි පීඩන ජල ප්‍රහාරයකින් එක් ගුරුවරයෙකුගේ ඇසක් සහ තවත් ගුරුවරයෙකුගේ ඇස් දෙකම තුවාල වී ශල්‍යකර්මයකට භාජනය කිරීමට සිදු විය.

ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ හා කම්කරුවන්ගේ නැඟී එන කෝපයට මුහුන දී සිටින වෘත්තීය සමිති, ඊයේ දිනයේ (27) අධ්‍යාපන වෘත්තීය සමිති සාමාජිකයින්ගේ පූර්න සහභාගීත්වය දැකගත හැකි වූ තවත් ජාතික කාර්මික ක්‍රියාවක් කැඳවා තිබුනි.

අඟහරුවාදා විරෝධතාව අතරතුර, ලංගුස සහ ලංගුසේස නායකයන් වන, පිලිවෙලින් ජෝසප් ස්ටැලින් සහ මහින්ද ජයසිංහත්, තවත් වෘත්තීය සමිති නිලධාරීන් කිහිප දෙනෙකුත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවිය. ඔවුන් පිටව ගියේ හිස් අතිනි.

ස්ටැලින් උද්ඝෝෂකයින්ට පැවසුවේ සාකච්ඡාවලින් කිසිවක් අත්කර නොගත් බවයි. ඉන්පසු ඔහු ව්‍යාජ ඝෝෂාවක් නගමින් මෙසේ ප්‍රකාශ කලේය: “මේ අරගලය අවසන් වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව නෙරපා හැරීමත් එක්කයි... ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියේ කොහොමද? එය සිදු වූයේ ගුරු අරගලයෙන් ආරම්භ වූ අරගලයක යි.”

ස්ටැලින්ගේ ප්‍රකාශයේ සඳහන් කෙරුනේ, හිටපු ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහ කල 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම සහ වැඩි වැටුප් සහ වැටුප් විෂමතා නිවැරදි කිරීම ඉල්ලමින් පැවති ගුරුවරුන්ගේ—2021 ජූලි සිට සැප්තැම්බර් දක්වා—දින 100 ක වැඩ වර්ජනය ගැන ය.

ලංගුසේස නායක ජයසිංහ පෙලපාලිකරුවන්ට පැවසුවේ “ජනතාවාදී ආන්ඩුවක් ගොඩනැගීමෙන් මෙම ගැටලු විසඳනු ඇති” බවයි. නායකයින් දෙදෙනාම සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරනය උලුප්පා දැක්වූහ.

වික්‍රමසිංහගේ මැතිවරන පරාජය හරහා ගුරුවරුන්ගේ ඉල්ලීම් විසඳනු ඇතැයි කියා සිටීම, ආන්ඩුවේ ජාමූඅ කප්පාදු ප්‍රහාරයන්ට එරෙහිව නැගෙන කම්කරු පන්තියේ විරෝධය දේශපාලනිකව පීලි පැන්නවීමේ ද්‍රෝහී උත්සාහයකි.

ජනතා විමුක්ති පෙරමුන සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති මෙම ප්‍රචාරනය මංමුලා සහගත ලෙස ප්‍රවර්ධනය කරති. ලංගුසේස නායක ජයසිංහ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකි. එහෙත් සමගි ජන බලවේගය (සජබ), ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය ඇතුලු සියලුම විරුද්ධ පාර්ලිමෙන්තු පක්ෂ, ජාමූඅ වැඩපිලිවෙලට මුලුමනින්ම කැපවී සිටිති.

එසේම, මැතිවරනයෙන් සියල්ල විසඳෙනු ඇතැයි යන පිලිවෙත ආන්ඩුවට සහ රාජ්‍යයට ඔවුන්ගේ මර්දනකාරී පියවර තීව්‍ර කිරීමට අවශ්‍ය හුස්ම ගැනීමේ අවකාශය ලබා දෙයි.

ජාමූඅ විසින් ඉල්ලා සිටින කප්පාදු පියවරවල පරිමානය ප්‍රජාතන්ත්‍රවාදය සමග නොගැලපේ. අධ්‍යාපනිකයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ ම නිර්ලජ්ජිත පොලිස් ප්‍රහාර එල්ල කරන අතර, ඊටත් වඩා බැරෑරුම් අත්තනෝමතික පියවර සඳහා වැසූ දොරවල් පිටුපස සාකච්ඡා සිදුවෙමින් පවතින බවට සැකයක් නැත.

ස්ටැලින්ගේ තක්සේරුව මෑත ඉතිහාසයේ සම්පූර්න මුසාකරනයක් මත පදනම් වේ. ඇත්ත වශයෙන්ම 2021 දී පැවති ගුරුවරුන්ගේ ජාතික වැඩ වර්ජනය, වෘත්තීය සමිති විසින් එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ හමුවීමෙන් පසු පාවා දෙන ලදී. ශ්‍රී ලංකාවේ ගැඹුරු වන ආර්ථික අර්බුදය හේතුවෙන් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල නොහැකි බවට ආන්ඩුව කල ප්‍රකාශය වෘත්තීය සමිති නිලධාරීන් අනුමත කලහ. ඉන්පසු ඔවුහු, ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීමෙන් තුනෙන් එකක් සඳහා ගනුදෙනුවක් ද, ඉතිරිය, පලමුවැන්න 2022 ජනවාරි සහ අනෙක 2023 දී වන පරිදි වාරික දෙකකින් ගෙවන බවට වූ බොරු පොරොන්දු ද පිලිගත්හ.

ගුරු සංගම් නිලධාරීහු තමන් “යම් ආකාරයක ජයග්‍රහනයක්” අත්කර ගෙන ඇති බව පවසමින් ඔවුන්ගේ පාවාදීම සාධාරනීකරනය කිරීමට උත්සාහ කලහ. යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය පුපුරා යාමෙන් පසුව, ආර්ථික අර්බුදය ගැඹුරුවත්ම වැටුප් වැඩිවීමේ හිඟ තුනෙන් දෙක ගෙවීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ගුරුවරුන් සහ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සහ දුප්පතුන්ගේ සියලුම කොටස්, ආහාර, විදුලිබලය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට ඉහල යාමෙන් මෙන්ම ආන්ඩුව ඔවුන්ගේ සමාජ තත්වයන්ට එල්ල කරන දරුනු ප්‍රහාරවලින් පීඩාවට පත්ව ඇත. වික්‍රමසිංහ ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් කෲර ලෙස පැටවීම මිලියන ගනන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත විනාශ කර ඇත.

අනෙකුත් ක්ෂේත්‍රවල ඔවුන්ගේ සගයන් මෙන්, 2022 සිට ගුරු සංගම් නායකත්වය මෙම සමාජ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වා ඇත්තේ කඩින් කඩ, සීමිත සහ හුදකලා විරෝධතා වලිනි; මේ සියල්ල සැලසුම් කර ඇත්තේ ඔවුන්ගේ සාමාජිකයින්ගේ නැගෙන කෝපය විසුරුවා හැරීමට ය.

ජනවාරි මාසයේ සිට වෘත්තීය සමිති නිලධාරීන් වැඩි වැටුප් ඉල්ලා සහ පෞද්ගලීකරනයට විරුද්ධ ව විදුලිය, සෞඛ්‍ය, විශ්ව විද්‍යාල, වරාය, තැපැල් සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල වැඩවර්ජන සහ විරෝධතා කැඳවා ඇත. කෙසේ වෙතත්, වෘත්තීය සමිති නිලධරයන් ඒකාබද්ධ ජාතික ක්‍රියාමාර්ගවලට දැඩි ලෙස විරුද්ධ ය.

ඊයේ, ජනාධිපති වික්‍රමසිංහ, ගුරුවරුන්ගේ විරෝධතා සහ දැනට පවතින අනධ්‍යයන විශ්වවිද්‍යාල සේවක වර්ජනය පිලිබඳව පැහැදිලි සඳහනක් කරමින්, තම ආන්ඩුව රාජ්‍ය අංශයේ සේවකයින්ට කිසිදු වැටුප් වැඩිවීමක් ලබා නොදෙන බව යලිත් කියා සිටියේය. එය ලබන වසරේ සලකා බැලිය හැකි බව ඔහු පැවසීය, නමුත් මෙය රඳා පවතින්නේ රජයට වියදම් කලමනාකරනය කල හැකිද යන්න මතය—එනම් ඊටත් වඩා විශාල බදු වැඩි කිරීම් සහ සමාජ වියදම් කප්පාදු හරහා ය.

සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා එකතු කල අගය මත බද්ද වැඩි කිරීම, භාන්ඩ හා සේවා සඳහා ඉහල මිල ගනන් සහ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හා වානිජකරනය සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ආන්ඩුව දැනටමත් කම්කරුවන් සහ දුප්පතුන් මිරිකාලමින් සිටී. ප්‍රධාන වශයෙන් දරුනු ප්‍රහාර සැලසුම් කර ඇත්තේ විදේශ නය ආපසු ගෙවීම සඳහා ය.

විරෝධතාවයේ නිරත ගුරුවරුන්ට එරෙහිව ආන්ඩුව එල්ල කරන ලද රුදුරු පොලිස් ප්‍රහාර සහ රාජ්‍ය අංශයේ සේවකයන්ට මේ වසරේ වැටුප් වැඩි වීමක් සිදු නොවන බවට යලි යලිත් ප්‍රකාශ කිරීම, සමස්ත කම්කරු පන්තියම වික්‍රමසිංහ පරිපාලනයට සහ ලාභ පද්ධතියට එරෙහිව දේශපාලන අරගලයක නිරතව සිටින බව පැහැදිලි කරයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) “පන්ති අරගල, ඉදිරි මැතිවරනවලට යටත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දරන ප්‍රයත්නයට එරෙහිවනු! ආන්ඩුවේ කප්පාදුවට එරෙහිව මහා වැඩ වර්ජනයක් සූදානම් කරමු! සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් වදිමු!” ප්‍රකාශයේ සිංහල සහ දෙමල පිටපත් බෙදාහරිමින්, බදාදා පැවති ගුරු විරෝධතාවට සහ කොලඹින් පිටත පාසල් දිස්ත්‍රික්කවල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ආධාරකරුවෝ මැදිහත් වූහ.

දේශපාලන මහ වැඩවර්ජනයක් සූදානම් කිරීම සඳහා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ඔවුන් පෙලගැසී සිටින ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ස්වාධීනව, වැඩපලවල, කම්හල්වල සහ වතුකරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස එම ප්‍රකාශය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. කප්පාදු ප්‍රහාර පරාජය කිරීමටත්, මහජනතාවගේ සමාජ අවශ්‍යතා සුරක්ෂිත කිරීමටත්, විවෘතව ම ඒකාධිපති පාලනයන් පැනවීම වැලැක්වීමටත් ඇති එකම මාර්ගය එයයි.

ප්‍රකාශය මෙසේ පැහැදිලි කරයි: “සාර්ථක දේශපාලන මහ වැඩවර්ජනයක් සඳහා, දිවයින පුරා කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් (ඩීඑස්සී) ගොඩනැගීමට ඉදිරියට යාම අත්‍යවශ්‍ය වේ. ධනේශ්වර ප්‍රහාරයට එරෙහිව සසප මෙම වැඩපිලිවෙල ආරම්භ කලේ 2022 ජුලි මැද මහජන නැගිටීම අතරතුරදීය.

“කම්කරුවන්ට ආන්ඩුවේ පක්ෂවල හෝ විපක්ෂයේ සජබ හෝ ජවිපෙ හෝ ජාමූඅ කප්පාදුව ක්‍රියාත්මක කරන වෙනත් ධනේශ්වර ආන්ඩුවක් අවශ්‍ය නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ, ඉහත වැඩපිලිවෙල ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි. ධනේශ්වර රාජ්‍යය පෙරලා දමා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට මග පෑදීම සඳහා ඩීඑස්සී කම්කරු පන්තියේ විප්ලවවාදී බලය සූදානම් කර බලමුලු ගන්වනු ඇත.”

Loading