[මෙය දෙසැම්බර් 13 වැනි දින, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් Sri Lankan fake-left FSP offers to aid government amid crisis over cyclone devastation යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාව අඹරා දැමූ දිට්වා සුලි කුනාටුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් නිසා උත්සන්න වී තිබෙන ආර්ථික හා සමාජ අර්බුදය මධ්‍යයේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ඉන් ඇතිවන විනාශකාරී දේශපාලන ප්‍රතිවිපාක වලක්වා ගැනීමට ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජේවීපී/එන්පීපී) ආන්ඩුවට යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.
දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 639 දෙනෙකු මිය ගොස් තවත් 203 දෙනෙකු අතුරුදහන් වීමත් සමඟ ජනතාව අතර කෝපය වර්ධනය වෙමින් පවතී. පාලක ජවිපෙ/එන්පීපී අඛන්ඩ ව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන හේතුවෙන් සමාජ කොන්දේසි විනාශයට මුහුන දී සිටින බොහෝ දුගී ගැමියන් සහ කම්කරුවන් අතරින් මිලියන දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත් ව සිටිති.
මීට පෙර, පෙසප රජයට ප්‍රසිද්ධ සීමිත විවේචන ඉදිරිපත් කරමින්, කියා සිටියේ ආන්ඩුව “හරි මාවතට” ගෙන ඒමට එම විවේචන කරන බවයි. නමුත් නොවැම්බර් 28 සුලි කුනාටුව ඇති වූ දා සිට, ආන්ඩුව සම්බන්ධයෙන් කරන සියලු විවේචන පෙසප විසින් නතර කර දමා තිබේ. ඒ වෙනුවට, පෙසප “ව්‍යසනය මධ්‍යයේ මනුෂ්‍යත්වය” යන තේමාව යටතේ ගංවතුරෙන් විපතට පත් වූවන් අතර සහන කටයුතු සඳහා තම සාමාජිකයන් මෙහෙයවා ඇත. මෙම උද්ඝෝෂනයේ අරමුන නැගී එන මහජන කෝපය ගසා කමින්, ආන්ඩුව වෙත තම සහයෝගීතාවය ප්‍රදර්ශනය කිරීමයි.
“හැමදාම සිදුවන මේ ව්‍යසන වලක්වා ගැනීමට ක්‍රමයක් තිබුනේ ම නැද්ද? ආන්ඩුව කල්තියා අනතුරු ඇඟවූයේ නැත්තේ ඇයි?” යනුවෙන් ජනතාව අසන්නට පටන් ගෙන තිබේ. දිට්වා සුලි කුනාටුව හුදකලා ව්‍යසනයක් නොවීය; එය ලංකාව හඹා ආවේ අග්නිදිග ආසියානු රටවල ඇති වූ ඒ හා සමාන ව්‍යසනයන් පසුපසිනි.
සති දෙකකට පසුවත්, බොහෝ දෙනෙකුට මූලික සහනාධාර පවා ලැබී නොමැත. ආන්ඩුව විවිධ සහන පැකේජ ප්‍රකාශයට පත් කල ද, මහජනයා සිටින්නේ අනාගතය පිලිබඳව අවිනිශ්චිතතාවයකිනි.
ව්‍යාජ වාම පෙසප, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුවට දේශපාලන සහයෝගය ලබා දීමට ඉදිරිපත් ව සිටින්නේ, ව්‍යසනයට ආන්ඩුව හා ධනේශ්වර ක්‍රමය වගකිව යුතු බව වසන් කරමිනි.
පෙසප නායකයින් දක්ෂිනාංශික, ඇමරිකානු ගැති ජවිපෙ/එන්පීපී ආන්ඩුව බලයට ආ දින පටන් ව්‍යාජ ලෙස හඳුන්වන්නේ “ජනතා අපේක්ෂාවන්ගේ ප්රකාශනයක්” බවයි. 1960 ගනන්වල අගභාගයේ පක්ෂය ආරම්භ කල අවධියේ සිට ම සිංහල ස්වෝත්තමවාදයේ ගිලී සිටි පාලක ජවිපෙ, පසුගිය දශක තුන තුල කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලට තරයේ ඒකාග්ර වී සිටි. එය පසුගිය වසරේ, සිය මැතිවරන පෙරමුන ලෙස ජාජබ ඉදිරිරිපත් කරමින් බලයට පත් වූයේ සාම්ප්‍රදායික ප්රභූන්ගේ පක්ෂවලට එරෙහි මහජන විරෝධය ගසාකමිනි.
2012 දී ජවිපෙන් වෙන් වූ කන්ඩායමක් විසින් පිහිටුවන ලද පෙසප, සමාජවාදී යයි පෙනී සිටීමට තැත් කලත් ඇත්ත වශයෙන්ම නම් එය ජවිපෙ වාර්ගික සහ ධනේශ්වර ගැති දේශපාලනයෙන් බිඳී නැත. මෙම පක්ෂයට සමාජවාදය සමඟ කිසිදු සම්බන්ධයක් ද ඇත්තේ නැත.
සඳුදා, පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවක දී, අර්බුදයට පක්ෂය ඉදිරිපත් කරන “කෙටි කාලීන යෝජනා” නිවේදනය කලේ ය. පක්ෂය “ප්‍රවීනයන්” සමඟ සාකච්ඡා කර අනාගතයේදී “දිගු කාලීන යෝජනා” සකස් කරන බව ද ඔහු තවදුරටත් පැවසී ය.
ජයගොඩ අදහස් දක්වමින් ගෝලීය උනුසුම නිසා එවැනි ව්‍යසන ඇති වන බවට “සාකච්ඡාවක්” පවතින බව අනියම් කාරනාවක් ලෙස කියා සිටියේ ය. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සඳහා ධනවත් රටවල් වගකිව යුතු බව ද, එය ගෝලීය උනුසුමට හේතු වන බව ද ප්‍රකාශ කල ඔහු, කාබන් විමෝචනයෙන් සියයට 25කට වගකිව යුත්තේ ඇමරිකා එක්සත් ජනපදය බව ද සඳහන් කලේ ය.
කෙසේ වෙතත්, ජයගොඩ ශ්‍රී ලංකාවේ තත්වය නිවැරදි කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ යෝජනා ඉදිරිපත් කලේ පක්ෂයේ තත්කාර්යවාදී හා ජාතිකවාදී දෘෂ්ටියට ගැලපෙන ආකාරයටයි.
ගංගා වැලි කැනීම සහ පහත් බිම් ගොඩ කිරීම වැනි සැලසුම් නොකල ක්‍රියාකාරකම් ඇතුලු ව පාරිසරික පද්ධතියට හානි කිරීම සම්බන්ධයෙන් පසුගිය පාලනයන්ගේ “ආර්ථික සංවර්ධන” ප්‍රතිපත්තිවලට ඔහු දොස් පැවරී ය. 2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආපදා කලමනාකරන ආයතනය මුලුමනින් ම පාහේ අහෝසි කරන ලද බව ඔහු සඳහන් කලේ ය.
වත්මන් අර්බුදයට හේතු වූ මෙම ප්‍රතිපත්ති සහ ජාමූඅ නියෝග කල කප්පාදු ප්‍රතිපත්ති දිසානායක දිගට ම කරගෙන යන්නේ මන්දැයි ජයගොඩ ප්‍රශ්න කලේ ය.
ඇත්ත වශයෙන්ම, අනුප්‍රාප්තික ආන්ඩු අනුගමනය කල එබඳු ධනවාදී ප්‍රතිපත්ති වර්තමාන ව්‍යසනය ඇතුලුව නිතිපතා ව්‍යසනයන්ට විශාල වශයෙන් හේතු වී තිබේ .
කෙසේ වෙතත්, පෙසප අධ්‍යාපන ලේකම්වරයාට අනුව, මේවා හුදෙක් “වැරදි ප්‍රතිපත්ති” වල ප්රතිඵලයකි. ඒ ආන්ඩු “නිවැරදි” ප්‍රතිපත්ති අනුගමනය කලේ නම්, එවැනි ව්‍යසන වලක්වා ගත හැකි ව තිබුනි. ප්රතිපත්තිවල වරදින් ව්‍යසනය ඇති වී තිබෙන බවට කරුනු දැක්වීමෙන් පෙසප නායකයා සිදු කරන්නේ එය කෙරෙහි ශ්‍රී ලංකාවේ ධනවාදය සහ ගෝලීය ධනවාදය වගකිව යුතු බව ආවරනය කිරීමයි.
ජයගොඩගේ “කෙටි කාලීන යෝජනා” අතර මේ ඉල්ලීම් විය: අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වැට් බද්ද ඉවත් කිරීම; විදුලිය, තෙල් සහ ගෑස් සඳහා මිල වැඩි කරන යාන්ත්රනයන් අත්හිටුවීම; ඉහල පිරිවැටුමක් ඇති සමාගම් සඳහා එක් වරක සුපිරි ලාභ බද්දක්; රාජ්‍ය ආයෝජන වැඩි කිරීම; සහ රජය සතු ලංකා විදුලිබල මන්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව සමාගම් බවට පරිවර්තනය කිරීමට යෝජනා කර ඇති පනත් අහෝසි කිරීම.
මේවා කම්කරු පන්තිය සහ දුප්පත් ජනතාව තම සමාජීය හා ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා බලමුලු ගැන්වීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා නොව, රජයට මෙම පියවර ගැනීමට බලපෑම් කල හැකි බවට මිත්‍යාවන් වැපිරීම සඳහා ඉදිරිපත්කර ඇති ඉල්ලීම් ය. මෙම යෝජනා ජාමූඅ කප්පාදු ක්‍රියාත්මක කිරීමට රජයේ කැපවීම සමග අනුකූල නොවේ.
දිට්වා රට තුලට කඩා වැදීමෙන් සතියකට පසු දෙසැම්බර් 5 වන දින, දිසානායක පාර්ලිමේන්තුවට සහතික කර කියා සිටියේ තම ආන්ඩුව ජාමූඅ වැඩසටහනෙන් කිසිසේත්ම ඉවත් නොවන බවත් එහි “පරාමිතීන්” අනුව කටයුතු කරන බවත් ය - එනම් කප්පාදු වැඩපිලිවෙල දිගට ම කර ගෙන යාම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම, රාජ්‍ය වියදම් කපා හැරීම සහ විදේශ නය ආපසු ගෙවීම ආදී වැඩපිලිවෙල දිගට ම කර ගෙන යන බවයි. ජාමූඅ හදිසි මුල්‍යාධාර වැඩසටහන යටතේ රජය ආන්ඩුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කීවේ ය.
දිසානායක විවිධ සහන පැකේජ ප්‍රකාශයට පත් කර ඇත - බොහෝ ඒවා අනාගතයේ දී නිකුත් කිරීමට නියමිත ය - එහෙත් ඒවා ක්‍රියාත්මක වේද යන්න දැක ගන්නට ලැබෙන්නේ අනාගතයේ දී ය. අතීත අත්දැකීම් නම්, මහජන කෝපය වාෂ්ප කර දැමීම සඳහා පමනක් ම මෙවැනි පොරොන්දු දුන් බවයි, තම ජීවිත නැවත ගොඩනඟා ගැනීම මහා ජනතාවගේ කර මතට ම වැටුනි. 2004 ආසියානු සුනාමියෙන් ශ්‍රී ලංකාවේ 40,000 කට වැඩි පිරිසක් මිය ගිය නමුත්, පීඩාවට පත් වූවන්ගෙන් බහුතරයකට ප්‍රමානවත් හෝ කිසිදු සහනයක් නොලැබුනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, අනෙකුත් සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් පිලිබඳ ප්‍රශ්න මෙන් ම, සුලිකුනාටුව, නායයාම් හා ගංවතුර නිසා ඇති ව තිබෙන ව්‍යසන තත්වයෙන් ගොඩ ඒම කම්කරු පන්තියට සහ ග්‍රාමීය දුප්පතුන්ට ධනේශ්වර ක්‍රමය සහ ජාතික රාමුව තුල විසඳුම් සොයාගත නොහැකි බවයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි, “ප්‍රධාන වශයෙන් ගෝලීය උනුසුම මගින් මෙහෙයවනු ලබන දේශගුනික විපර්යාසවල ඒකාබද්ධ බලපෑම සහ අනුප්‍රාප්තික රජයන් විසින් විද්‍යාත්මක හා ආපදා වැලැක්වීමේ යටිතල පහසුකම් ක්රමානුකූල ව විසුරුවා හැරීම” එවැනි ව්‍යසන ඇති කරයි.
වත්මන් ව්‍යසනයට විසඳුම් සොයා ගැනීම් සඳහා මෙන් ම, තමන්ගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ද ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී විසඳුමක් අවශ්‍ය වන බව කම්කරුවන් හා තරුනයන් ඉදිරියේ, කෙලින් ම හා තියුනු ලෙස මතු කර තිබේ.
දැනට පිහිටුවා ඇති, රාජ්‍ය නිලධාරීන් සහ රටේ ධනවත් ම ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් සැදුනු “ආපදා කලමනාකරන කමිටුව” විසුරුවා හරින ලෙස ජයගොඩ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. වෘත්තීය සමිති නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ඇතුලත් “ජන සහභාගීත්ව” කමිටුවක් පිහිටුවන ලෙස ඔහු යෝජනා කලේය. ජාමූඅ-ගැති සහ ධනේශ්වර ගැති කොටස් එකතුකර පිහිටුවන එවැනි කමිටුවක් ද “ජනතාව” නියෝජනය කරන්නේ යැයි පැවසීම බොරුවකි; එවැනි කමිටුවක් ද ක්‍රියාත්මක වනු ඇත්තේ ආන්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමටයි.
පෙසප ව්‍යසනය සම්බන්ධයෙන් ආන්ඩුවට උපදෙස් දෙමින් සිදුකර ඇති මැදිහත්වීම, එම පක්ෂයේ දේශපාලන පිලිවෙත් නිරුවත්කර පෙන්වයි.
ආන්ඩුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාමුඅ ප්‍රතිපත්ති “ඔහුටත් වඩා හොඳින්” දිගට ම කරගෙන යන බවට කාටත් ප්රත්යක්ෂ කරුන මේ පක්ෂය පිලිගනී.
එහෙත්, පෙසප, ජවිපෙ/ජාජබ පාලනයට “ජනතා රජයක්” ලෙසට සන්නාමයක් ලබා දී ඇත. නොවැම්බර් 7 වන දින යූ ටියුබ් නාලිකාවක කතා කරමින් පෙසප නායක කුමාර් ගුනරත්නම් මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙය ජනතාවගේ ආන්ඩුවක්… අපි පැරනි දූෂිත දේශපාලනඥයන්ට ආපසු බලයට ඒමට ඉඩ නොදිය යුතුයි.”
මෙම ප්‍රකාශ, ජනතා විමුක්ති පෙරමුන/එන්පීපී ආන්ඩුව නග්නව ම ආරක්ෂා කිරීමකි. මහජන විරෝධය පීලි පැන්වීමට මුක්කුව දීමට පෙසප දෙපිටකාට්ටු විවේචන ඉදිරිපත් කරයි. එහෙත්, ධනේශ්වර පාලනයට පෙසපයේ සේවය ලබාදීම පාලක ජවිපෙ/ජාජබ ආරක්ෂා කිරීමට පමනක් සීමා වුවක් නොවේ. පාලක පන්තියේ කුමන කොටසක වුවද දේශපාලන අර්බුදයන්හි දී එම කොටස්වලට පෙසප තම සේවාවන් ලබා දී තිබේ.
ගෝලීය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 දී ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය තීව්ර වූ විට, පෙසප නායක ගුනරත්නම් 2020 මාර්තු 24 වන දින අගමැති මහින්ද රාජපක්ෂට ලිපියක් යැව්වේය. “අඩුපාඩු” නොතකා ම, “කොවිඩ්-19 ට එරෙහි ව සටන් කිරීමේ” එහි උත්සාහයන්ට තම සහාය ලබා දෙන බවට ඔහු එම ලිපියෙන් පොරොන්දු විය.
2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම අතරතුර, පෙසප, වෘත්තීය සමිති නිලධරය සහ ධනේශ්වර පක්ෂ සමඟ කල්ලි ගැසී, ධනපති පාලනය ආරක්ෂා කිරීම සඳහා තම කාර්යභාරය ඉටු කලේ ය. මහජන අරගලය සම්බන්ධයෙන් පෙසප මෙසේ අවධාරනය කලේ ය: “පාර්ලිමේන්තුව පවතින තත්වයක් යටතේ, යථාර්තවාදී විසඳුම වන්නේ, පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ සියලු පක්ෂ එකතු වූ තාවකාලික අන්තර්වාර පාලනයක්, පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැගෙන අරගල ව්‍යූහ සමග එක් ව සංක්රමනීය දේශපාලන ආර්ථික ප්රතිසංස්කරන මාලාවක් ක්‍රියාත්මක කර ඉක්මනින් මැතිවරනයක් කැඳවීමයි” (මන්දිර කැලඹු අරගලය, 24, පෙරටුගාමී සමාජවාදී පක්ෂය). පාර්ලිමේන්තුවෙන් පිටත මෙම අරගල ව්‍යූහ අතර පෙසප ප්රමුඛ විය.
අර්ථය පැහැදිලි ය: “අන්තර්කාලීන පාලනයක්” තුල අපකීර්තිමත් ධනේශ්වර පක්ෂ සමඟ හවුල්කරුවෙකු වීමට පෙසප සූදානම් වෙමින් සිටියේ ය. ජවිපෙ/ජාජබ සහ සමගි ජන බලවේගය ද අන්තර් වාර පාලනයක් පිලිබඳව එම යෝජනා ව ම ඉදිරිපත් කලහ.
පෙසපයේ සහාය ඇති ව සිදු කරන ලද මෙම උපාමාරු දැමීම් අවසානයේ, අපකීර්තිමත් පාර්ලිමේන්තුවට, ජාමූඅ සහ ඇමරිකානු-ගැති, කුප්‍රකටයෙකු වන, කිසිදු මහජන සහයෝගයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට ඉඩ සලසා දුන්නේ ය.
පුවත්පත් සාකච්ඡාවේ දී සිය අදහස් දැක්වීමේ දී, ජයගොඩ, සුලි කුනාටු අර්බුදය නිසා ඇති වී තිබෙන තත්වය යොදා ගනිමින්, ජාත්‍යන්තර නය හිමියන් සමඟ දැනට ඇති කරගෙන තිබෙන නය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් නැවත සාකච්ඡා කිරීමට ද යෝජනා කලේ ය. ආන්ඩුව ජාමූඅ සහ නය හිමියන් සමඟ දැඩි ලෙස කේවල් කිරීමට අපොහොසත් වූ බව ඔහු පැවසී ය.
පෙසප නායකයා පැවසුවේ, දැනට තම “Exit IMF” හෙවත් “ජාමූඅයෙන් ඉවත්වීමේ” වැඩසටහන පසෙකින් තබා වත්මන් වැඩපිලිවෙල ඉදිරිපත් කරන බවයි. ජාමූඅයෙන් ඉවත්වීමේ පෙසප වැඩසටහන මඟින් යෝජනා කර තිබුනේ ජාමූඅයෙන් බැහැර ව නය හිමියන් සමඟ සෘජු ව ම සාකච්ඡා කිරීමකි. එමගින් “විලෝපිත නය” නොගෙවිය යුතු බව අවධාරනය කෙරුනු අතර, “සාධාරන නය අඩුකිරීමක්” සහ ආපසු ගෙවීම සඳහා දීර්ඝ කාල සීමාවන් අයැදීමට යෝජනා කෙරුනි.
මෙම වැඩසටහනේ මූලික හරය නම් නය ආපසු ගෙවන බවට ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට සහතික කිරීමයි. පෙසප යෝජනා මගින් හෙලිදරවු වන්නේ එහි අධිරාජ්‍ය සහ ධනේශ්වර ගැති ස්ථාවරයයි.
පෙසපයේ නිවට බියගුලු ප්‍රතිපත්තිවලට ප්‍රතිකූල ව, සසප “නීත්‍යානුකූල” වේවා “විලෝපිත” වේවා කිසිදු ආකාරයක සියලු ම විදේශ නය ආපසු ගෙවීමට විරුද්ධ වේ. 26 වසරක දෙමල විරෝධී වාර්ගික යුද්ධය සඳහා නය ගැනීම ඇතුලුව, ධනේශ්වර ප්රභූවේ ප්‍රයෝජනය සඳහා දශක ගනනාවක් තිස්සේ ගොඩ ගසාගත් දැවැන්ත නය කන්දට කම්කරුවන් සහ දුප්පතුන් කර ගැසිය යුතු නොවේ.
විදේශ නය ආපසු ගෙවීම් දිගට ම කර ගෙන යාම සඳහා ජීවන තත්වයන් කප්පාදු කරමින් ජවිපෙ/ජාජබ පලනය විසින් ගෙන යන ප්‍රතිපත්තියට සහ ජාමූඅ කප්පාදුවලට අපි විරුද්ධ වෙමු. සුලි කුනාටු ව්‍යසනයෙන් පසු, යලි අවධාරනය වන්නේ, විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඉතිරි කර ගන්නා ඩොලර් බිලියන ගනන් මුදල් පීඩාවට පත් ජනතාවගේ ජීවිත නැවත ගොඩනැගීමට සහ සමාජ සුභසාධනය පුලුල් කිරීමට භාවිතා කල යුතු බවයි.
පෙසපයේ ධනේශ්වර ගැති වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කර සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ තම අරගලයට එක්වන ලෙස සසප කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටී. කම්කරුවන් ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා ප්‍රධාන පියවරක් වන්නේ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ දේශපාලන සංස්ථාපිත පක්ෂවලින් ස්වාධීන ව සෑම වැඩබිමක ම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි. ග්‍රාමීය ජනතාව තමන්ගේම ක්‍රියාකාරී කමිටු තමන්ගේ අදාල ප්‍රදේශවල ගොඩනගා ගත යුතු යැයි අපි යෝජනා කර ඇත්තෙමු.
ජීවිත බේරා ගැනීමට, ජීවන තත්වයන් ආරක්ෂා කිරීමට සහ ඉන් ඔබ්බට යාමට කම්කරුවන් සහ දුප්පතුන් පොදු ප්රයත්නයක් සඳහා බලමුලු ගැන්වීමේ දී ක්‍රියාකාරී කමිටුවල වැදගත්කම සුලි සුලං ව්‍යසනය පෙන්වා දී ඇත.
වාර්ගික වෙනස්කම් කපා ගෙන එක්සත් වෙමින්, මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරු හා ග්‍රාමීය දුප්පතුන්ගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට අපි ඉල්ලා සිටිමු. එම කොන්ග්රසය, ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ප්රජාතන්ත්රවාදී සහ සමාජ අයිතිවාසිකම් සඳහා සහ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන අරගලයේ මධ්‍යස්ථානයක් ලෙස බලමුලු ගැන්විය හැකි ය.
ගෝලීය උනුසුම ඉහල යාමට මුහුන දීමට සහ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂනික, විද්‍යාත්මක සහ ද්‍රව්‍යමය සම්පත් සංවිධානය කල හැක්කේ සමාජයේ ජාත්‍යන්තර සමාජවාදී ප්රතිසංවිධානයකට පමනි.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?
- වසංගතය ව්‍යසනකාරීව පැතිර යද්දී ධනපති ආර්ථිකය විවෘතව තබාගැනීමට පෙසප තල්ලුව සපයයි
- ව්‍යාජ-වාම පෙසප දක්ෂිනාංශික පක්ෂ සමග සාකච්ඡා පවත්වයි
- ව්‍යාජ-වාම පෙසප, ධනපති ගැති ප්‍රතිපත්ති ගෙන යන ගමන් තමන් සමාජවාදී බව කියා ගනී
- ජනාධිපතිවරනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින්ගේ ධනේශ්වර-ගැති වැඩපිලිවල
