[මෙය Oppose the death threat against UAW presidential candidate Will Lehman! යන මැයෙන් 2026 ජූලි 21 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ජුලි මස 16 වෙනි දා යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) සමිතියේ ඉහල නිලධාරියකු වන රේමන්ඩ් එල්. ජෙන්සන් (කනිෂ්ඨ) එම සමිතියේ ම සභාපති තනතුරට තරග කරන මැක් ට්‍රක් රථ අංශයේ සමාජවාදී කම්කරුවකු වන විල් ලේමන්ට විරුද්ධ ව මරන තර්ජනයක් එල්ල කලේ ය.
එම තර්ජනය, සිදුකර තිබුනේ විල් ලේමන්ගේ මුහුනු පොතේ, සභාපති තනතුරට තරග කිරීමේ උද්ඝෝෂන පිටුවේ කෘතිම බුද්ධිය යොදා සකස්කල ඡායාරූපයක් හැටියට ය. එහි ලේමන් කඹවලින් බැඳ දමා ඔහුගේ කට වැසෙන ලෙස හිස වටා ටේප් ඔතා, කටින් ලේ බේරෙමින් සිටින අතර මුහුන ආවරනය කරගත් තුවක්කුකරුවකු ස්වයංක්‍රිය රයිෆලයක් ඔහුට එල්ල කරගෙන සිටී.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය විල් ලේමන්ට විරුද්ධ ව ප්රචන්ඩත්වය ඇවිලවීම හෙලා දකින ලෙස ද යූඒඩබ්ලිව් සමිතිය විසින් මෙම තර්ජනය එක හෙලා ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයක් නිකුත් කිරීමට බල කරන ලෙස ද සියලු ම කම්කරුවන්ගෙන් හා ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරකින්නන්ගෙන් ඉල්ලා සිටී.
ජෙන්සන් ගේ තර්ජනාත්මක පෝස්ටුව තනි ව ම ක්‍රියා කරන ඔලුව නරක් වූ තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් ලෙස බැහැර කල හැක්කක් නොවේ. ජෙන්සන් යූඒඩබ්ලිව් කාර්ය මන්ඩලයේ සංවිධායකවරයෙකි. මෑතක් වන තුරු ම ඔහු යූඒඩබ්ලිව් කලාප අංක 9 හි සහකාර අධ්යක්ෂ විය. විල් ලේමන් ද අයත්වන්නේ එම කලාපයට ය. එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුවට යූඒඩබ්ලිව් සමිතිය විසින් බාර දී ඇති එල්එම් -2 පෝර්මයට අනුව ඔහු 2025 වර්ෂය සඳහා ඩොලර් 202,000 ක වැටුප් හා ගෙවීම් ලබා ගෙන ඇත. ඔහු යූඒඩබ්ලිව් සමිතියේ වර්තමාන සභාපති ශෝන් ෆේන් ගේ ප්‍රධාන ආධාරකරුවකු වේ. ඔහුගේ මුහුනු පොතේ ප්‍රොෆයිලයේ දැක්වෙන්නේ “මම ශෝන් ෆේන් සමගයි” යන උද්ඝෝෂන ලාංඡනය යි.
විල් ලේමන් යනු ඩිට්රොයිට් නුවර පැවැත්වුනු සමිතියේ 39 වන මහ සභාවේ දී සභාපති ධුරයට නාම යෝජනා ලැබූ නිල වශයෙන් අනුමත අයදුම්කරුවෙකි. ඔහු තරග කරන්නේ සමිති නිලධරය අහෝසි කර සෑම කම්හලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා බලය කම්කරුවන් අතට පවරා ගැනීමේ ප්‍රතිපත්ති ප්රකාශනයක් මත ය. 2022 දී පැවැත්වුනු, පාලක නිලධරය විසින් සැලසුම් සහගත ව සාමාජික සහභාගිත්වය වලක්වනු ලැබූ නිලවරනයේ දී ලේමන් ඡන්ද 5000 ක් පමන ලබා ගත්තේ ය. එවර සහභාගි වූයේ සාමාජික සංඛ්‍යාවෙන් සියයට දහයකටත් අඩුවෙනි.
සිකුරාදා ලේමන්ගේ නීතිඥ එරික් ලී, උසාවියෙන් පත්කල අධීක්ෂන කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් සිද්ධිය ගැන පූර්න විමර්ශනයක් ඉල්ලා සිටියේ ය. ලිපියේ මෙසේ සඳහන් විය :
“දැනට සිටින සභාපතිගේ ඡන්ද ව්‍යාපාරය සමග ප්‍රසිද්ධියේ අනන්‍ය ව සිටින, දැනට බලයේ සිටින පරිපාලනයේ ඉහල වැටුප් ලබන නිලධාරියෙක්, තරගකාරී අපේක්ෂකයාගේ රුධිරය වහනය වන කට ටේප්වලින් ඔතා, ඔහු ස්වයංක්‍රීය තුවක්කුවකට ඉලක්කය වී සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කල විට යූඒඩබ්ලිව් සාමාජිකත්වයට දෙන පනිවිඩය ඉතා පැහැදිලි ය: විල් ලේමන්ට විරුද්ධ ව උපරි ම ප්රචන්ඩත්වය පාවිච්චි කිරීමට එයින් දිරි ගන්වන අතර ඊට සමිති නායකත්වයේ අනුමැතිය සහතික කරනු ලැබේ.”
ෆෙඩරල් නීතිය අනුව එවැනි පෝස්ටුවක් සාපරාධී වේ. 18 U.S.C. § 875(c) යටතේ පුද්ගලයෙකුට හානි කිරීමට අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කිරීම වසර පහක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි අපරාධයක් වේ. එ සේ ම ප්‍රාන්ත නීතිය අනුව ප්රචන්ඩ ක්‍රියා කිරීමට තර්ජනය කිරීම ද සාපරාධී වේ. මීට අමතර ව, ෆෙඩරල් නීතියේ 29 U.S.C. § 530 යටතේ වෘත්තීය සමිති සාමාජිකයකුගේ අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා ඔහුට තර්ජනය කිරීම, බලපෑම් කිරීම හා ඔහු වැලැක්වීම සඳහා ප්රචන්ඩත්වය පාවිච්චි කිරීමට තර්ජන කිරීම ද ෆෙඩරල් අපරාධ වේ.
සමිතියේ ඉහල ම තනතුර සඳහා තරග කරන අපේක්ෂකයකුට එරෙහි ව මෙම වර්ගයේ තර්ජනයක් කල හැකි නම් “ප්‍රාදේශීය මට්ටමේ සමිති නිලධරය සමග තරගයට එන කිසි ම කම්කරුවකුට ආරක්ෂාවක් නොමැති” බවට අනතුරු අඟවන ප්‍රකාශයක් නිකුත් කරමින්, ලේමන්, ඉරිදා ප්‍රතිචාර දැක්වී ය.
මෙම තර්ජනය හුදෙකලා සිදුවීමක් නොවේ. ගොතන ලද ඒවා බව තමා එවකට දැන සිටි චෝදනා මත උප සභාපති රිච් බෝයර් අස්කිරීම ඇතුලු ව, ශෝන් ෆේන් තම නිල බලය අයථා ලෙස පාවිච්චි කරමින් විරුද්ධවාදීන්ට එරෙහි ව පලිගැනීම් සඳහා තම බලධාරිත්වය වැරදි ලෙස භාවිතා කිරීම්, ෆෙඩරල් අධීක්ෂන කාර්යාලයේ නීල් බරොෆ්ස්කි විසින් ලේඛනගත කර මාසයක් ගත වී නැත. දැන් ෆෙඩරල් ග්‍රෑන්ඩ් ජූරියක් (චෝදනා ඉදිරිපත් කිරීමට පෙර එසේ කිරීමට සාධාරන හේතු තිබේදැයි සොයන ජූරියක්) ෆේන්ගේ කටයුතු ගැන විමර්ශනයක් කරමින් සිටී.
යූඒඩබ්ලිව් නායකත්වය, “පලිගැනීම් සිදුවන විෂ සහිත වාතාවරනයක්” නිර්මානය කර තිබෙන බව ද ශෝන් ෆේන් තම සමීප සගයන්ට අත තබන ඕනෑ ම කෙනෙකුගේ “ගෙල සිඳින” බවට පුද්ගලික ව තර්ජනය කර තිබෙන බව ද විමර්ශන කාර්යාලය සොයා ගත්තේ ය.
සමිතිවල සාමාන්‍ය සාමාජිකයන්ට එරෙහි ව සමිති නිලධරයන්ගේ ප්රචන්ඩත්වය පිලිබඳ දීර්ඝකාලීන ඉතිහාසය හොඳින් ම ප්‍රසිද්ධ කාරනයකි. යූඒඩබ්ලිව් සමිතිය ගතහොත්, එම සමිතිය සඳහා වෙන ම රජයේ විමර්ශන කාර්යාංශයක් පිහිට වූයේ ද නිලධරයේ සාපරාධීත්වයේ ඉතිහාසය නිසා ම ය.
ෆෙඩරල් ආන්ඩුවේ අනුකූලතා නියෝගයක් අනුව 2021 දී එම කාර්යාංශය පිහිටුවන ලද්දේ දූෂන චෝදනා මත ජාත්‍යන්තර සභාපතිවරුන් තිදෙනෙක් ඇතුලු ව සමිති නිලධාරීන් දුසිමක් පමන මුදල් වංචා කිරීම, අල්ලස් ගැනීම හා පිටස්තර පාර්ශ්ව වලට අයුතු ලාභ ගැනීමට ඉඩ සලසා මුදල් ලබා ගැනීම යන චෝදනා යටතේ හිරගෙට යැවීමෙන් පසු ව ය.
ලේමන්ගේ ප්‍රකාශයේ අන්තර්ගත ඉල්ලීම් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය අනුමත කරයි.
1. ජෙන්සන්ගේ ක්‍රියාකලාපය පමනක් නොව යූඒඩබ්ලිව් නායකත්වයේ අනුදැනුම, දිරිගැන්වීම හා එකඟත්වය ඇතුලු ව පෝස්ටුව ගැන සම්පූර්න විභාගයක්.
2. සමිතිය විසින් හැකි ප්‍රබල ම වචනවලින් ලේමන්ට විරුද්ධ තර්ජනය ප්‍රසිද්ධියේ හෙලා දැකීම, ලේමන්ගෙන් විධිමත් ලෙස සමාව ඉල්ලීම සහ ලේමන්ට තම ඡන්ද ව්‍යාපාරය කර ගෙන යාමට තිබෙන අයිතිය පිලිගන්නා බවට සමස්ත සාමාජිකත්වයට ම සංසරනය කරන ප්‍රසිද්ධ ප්‍රකාශයක් සමිතිය විසින් නිකුත් කිරීම.
3. එවැනි තර්ජන ඉදිරි කාලයේ දී නොඉවසනු ඇති බවට අනතුරු ඇඟවීමක් හා මේ ගැන විභාගයක් ආරම්භ කල බවට විමර්ශන කාර්යාලයෙන් දැනුම් දීමක්.
4. පරීක්ෂන අවසන් වන තෙක් වැටුප් රහිත ව ජෙන්සන්ගේ වැඩ තහනම් කිරීම සහ ඔහුට විරුද්ධ ව සුදුසු පරිදි නෛතික හා විනයානුකූල සම්බාධක පැනවීම.
5. සිද්ධිය සුදුසු පරිදි කම්කරු දෙපාර්තමේන්තුවට හා ෆෙඩරල් නීති ක්‍රියාත්මක කරන අංශවලට රපෝර්තු කිරීම.
6. තර්ජන හා බිය ගැන්වීම් වලින් තොර ව 2026 නිලවරන ව්‍යාපාරයේ ඉතිරි කොටස කර ගෙන යන බවට සහතික වීමට අවශ්‍ය පියවර ගැනීම.
ලේමන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම තමන් ගේ ම අයිතීන් ආරක්ෂා කිරීම ලෙස ගෙන ඒ සඳහා පෙරට එන ලෙස යූඒඩබ්ලිව් සාමාජිකයන්ගෙනුත් ඇමරිකාවේ හා ජාත්‍යන්තර ව සෙසු කර්මාන්තශාලාවල කම්කරුවන්ගෙනුත් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ඉල්ලා සිටී.
ලේමන් සඳහන් කල පරිදි “මේ තර්ජනය මට පමනක් එල්ල කල එකක් නොවේ. එය විරුද්ධවාදී සමස්ත සාමාන්‍ය සාමාජිකත්වයට ම එරෙහි ව එල්ල වූවකි.”
මෙම තර්ජනය හෙලා දකින ලෙස ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සියලු වාමාංශික හා ප්රගතිශීලි සංවිධානවලින් ඉල්ලා සිටී.
මේ ප්රචන්ඩත්වය අවුලුවාලීම කෙරෙහි ඔබේ විරෝධය සටහන් කරන්න !
ලේමන්ට විරුද්ධ තර්ජනය ප්‍රසිද්ධියේ හෙලා දකින්නට යූඒඩබ්ලිව් සමිතියට බල කරමින් feedback@uaw.org වෙත ඊ මේල් පනිවිඩයක් යවන්න. එහි පිටපතක් විල් ලේමන්ගේ නිලවරන ව්‍යාපාරය වන info@willforuawpresident.org වෙත ද යවන්න.
වැඩිදුර කියවන්න
- විල් ලේමන් උද්ඝෝෂනය පන්ති අරගලයේ වර්ධනයේ නව අදියරක් සනිටුහන් කරයි
- සමාජවාදී අපේක්ෂක විල් ලේමන්, ඡන්දය වැලැක්වීමට සමිති නිලධරයේ බාධා තිබියදී, යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා ඡන්ද 5,000 කට ආසන්න ප්‍රමානයක් ලබා ගනියි
- "සසප සාමාජිකයින්ට එරෙහි ප්‍රහාරය, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ප්රහාරයකි": විල් ලෙහ්මන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි
