රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද තර්ජන දකුනු ආසියාවේ භූ-දේශපාලනික අර්බුදය උත්සන්න කරයි

[මෙය US-NATO war threats against Russia heighten geopolitical crisis in South Asia යන මැයෙන් 2022 පෙබරවාරි 26 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

රුසියාවට එරෙහි සර්ව-පාර්ශවික ව එක්සත් ජනපදය හා නැටෝව විසින් යොදන රාජ්‍ය-තාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි-මූලෝපායික ප්‍රහාරය මගින් දකුනු ආසියාවේ භූ-දේශපාලන අර්බුදය දැඩි කෙරෙමින් පවතී.

පුටින් පාලන තන්ත්‍රය යුක්‍රේනය ආක්‍රමනය දියත් කිරීමෙන් අනතුරුව, චීනය මූලෝපායික වසයෙන් හුදකලා කොට වැටලීම පිනිස වන වොෂින්ටනයේ ධාවනය පිටුපස සාර්ථක ව ගොනු කරගනු ලැබ ඇති ඉන්දියාවට, මොස්කෝවට එරෙහි තම යුද ධාවනය පිටුපස මුලුමනින් පෙලගැසෙන ලෙස යොදන පීඩනය බයිඩන් පරිපාලනය විසින් දැඩි කෙරෙමින් පවතී.

නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව හා ඉන්දියානු ධනේශ්වරය, වොෂින්ටනය සමග නව දිල්ලියේ වැඩෙන සබඳතා, ඔවුන්ගේ වඩාත් ම වැදගත් මූලෝපායික සම්බන්ධය ලෙසත්, ඔවුන්ගේ මහා බල අභිලාෂයන් යථාවත් කරගැනීමේ දී තීරනාත්මක බවත් දැකගනිති. එහෙත්, ඉන්දියාවට රුසියාව සමග වන මිලිටරි සබඳතා ඇතුලු සමහර අංශවලින් වැදගත් හා දීර්ඝ කාලීන සබඳතා ද පවතී.

2019 දී හවුස්ටන්හි දී කතා කරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි (ඒපී ඡායාරූප/ මයිකල් වයික්)


එක්සත් ජනපදය, එහි නැටෝ සහචරයන් සහ රුසියාව අතර ගැටුම මෑත මාසවල දී තීව්‍ර වී තිබෙන තතු තුල, මෝදි ආන්ඩුව අවධානම් සහගත තුලනයකට වෑයම් කර තිබේ. වොෂින්ටනයේ අප්‍රසාදයට හා වැඩෙන කෝපයට තුඩු දෙමින්, දැනට ඉන්දියාව තාවකාලික ආසනයක් දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී ද ඇතුලු ව, රුසියාවේ ක්‍රියා හෙලාදකින ලෙස එක්සත් ජනපදය කරන විධානයන්ට නව දිල්ලිය මේ දක්වා ප්‍රතිරෝධය දක්වා ඇත.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට එරෙහි බරපතල සම්බාධක නිවේදනය කල බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවේ දී, මොස්කෝවට එරෙහි එක්සත් ජනපද ආස්ථානය සමග ඉන්දියාව මුලුමනින් අනුකූලදැයි ඔහුගෙන් විමසන ලදී. “අපි අද ඉන්දියාවෙන් විමසනවා. අපි එය සම්පූර්නයෙන් විසඳාගෙන නැහැ” යි බයිඩන් ප්‍රතිචාර දැක්වී ය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව, එදින ම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, “රුසියාවේ ආක්‍රමනය හෙලා දකිමින්, ක්ෂනික ව හමුදා ඉවත් කරගැනීමකට හා සටන් විරමායකට කැඳවුම් කිරීම සඳහා ශක්තිමත් සාමූහික ප්‍රතිචාරයක වැදගත් කම” අවධාරනය කිරීමට ඔහුගේ ඉන්දීය සගයා වන සුබ්‍රමනියම් ජෙයිශංකර් සමග කතා කලේ ය.

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමනය හෙලාදකිමින්, සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට (යූඑන්එස්සී) ඉදිරිපත් කරන ලද යෝජනාවකට සහයෝගය දෙන ලෙස එක්සත් ජනපදය ඉන්දියාවට පීඩනය යෙදුවේ ය. එහෙත් නව දිල්ලිය ඡන්දය දීමෙන් වැලකුනු අතර, රුසියාව තම නිෂේධ බලය පාවිච්චි කලේ ය.

රුසියාවට එරෙහි ව තමන් සමග ඉන්දියාව මුලුමනින් පෙලගැසීමෙන් මොබ කිසිවකින් එක්සත් ජනපදය තෘප්තිමත් නො වනු ඇතැයි පැහැදිලි ව අනතුරු අඟවමින්, බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේ දී බයිඩන් මෙසේ වැඩිදුරටත් කීවේ ය: “යුක්‍රේනයට එරෙහි රුසියාවේ නග්න ආක්‍රමනයට අනුබල දෙන ඕනෑ ම ජාතියක් සබඳතාවන්ගේ පලුදුවීමකට මුහුන දෙනු ඇත.” “යුක්‍රේනයේ රුසියානු ආක්‍රමනයට සාමූහික ප්‍රතිචාරයක් දැක්වීම පිලිබඳ ව අපි එකදිගට ම අපේ ඉන්දීය සගයන්ගේ අදහස් විමසනවා” යි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් එයට එකතු කලේ ය.

ඉන්දියාව රුසියාවෙන් වෙන්කිරීම, මොස්කෝව ආර්ථික, දේශපාලනික හා මූලෝපායික වසයෙන් තවදුරටත් දුර්වල හා හුදකලා කරනු ඇතැයි වොෂින්ටනය ගනන් බලයි. රුසියාව සමග ඉන්දියාවට දශක ගනනාවක් පුරා පවතින සමීප සබඳතා බිඳ දැමීම ද නව දිල්ලිය එක්සත් ජනපදයේ සහකාරක රාජ්‍යයකට යන්තම් නො වැඩි දෙයක් බවට ලඝු කරනු ඇත්තේ, ඉහලින් පුරසාරම් දොඩවන එහි “මූලෝපායික ස්වාධීනත්වයේ” මිනී පෙට්ටියට ඇනය තදකරමිනි.

යුක්‍රේනයේ දොන්බාස් කලාපය තුල රුසියානු ගැති බෙදුම්වාදීන් බලය දරන ප්‍රදේශ දෙකක් වන ඩොනෙට්ස්ක් හා ලුගාන්ස්ක්හි “මහජන සමූහාන්ඩුවල” “නිදහස” ප්‍රකාශයට පත්කිරීම් පිලිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරනය හෙලාදැකීම පිනිස, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය හා අනෙකුත් යූඑන්එස්සී සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා පැවති විවාදයට ඉන්දියාව සම්බන්ධ නො වී ය. ඒ අතර ම, පුටින්ගේ ක්‍රියා කිසිදු ආකාරයකින් අනුමත කිරීමකින් ද ඉන්දියාව වැලකී සිටියේ ය. “ආතතීන් තීව්‍රකිරීමේ” යෙදී සිටින්නේ කවරෙක් ද යන්න විශේෂයෙන් සඳහන් නො කරමින්, ඉන්දීය එක්සත් ජාතීන්ගේ නියෝජිත ටී. එස්. තිරුමූර්ති “හැකි ඉක්මනින්...අන්‍යෝන්‍ය වසයෙන් මිත්‍රශීලී විසඳුමක්...තහවුරු කිරීමට...සියලු පාර්ශවයන් කැපවන්නැ” යි කැඳවුම් කලේ ය.

එක්සත් ජනපදය හා එහි නැටෝ සගයන් විසින් අවුලුවමින් සිටින යුද ආතතීන්, එක්සත් ජනපදය හා රුසියාව අතර මිලිටරි ගැටුමකට තුඩු දුන්නහොත්, පැත්තක් ගැනීමට ඉන්දියාවට බලකරනු ලබනු ඇතැයි හොඳින් දන්නා නව දිල්ලිය, එවන් තත්ත්වයක් වැලැක්වීමට මංමුලා සහගත ලෙස අපේක්ෂා කරමින් සිටී.

එක්සත් ජනපදය හා රුසියාව සම්බන්ධ වන විවෘත මිලිටරි ගැටුමක් වැලැක්වීමට ඉන්දියාව යොදන උත්සාහයන්ගේ කොටසක් ලෙස, “සාකච්ඡාවක් හා සටන් විරාමයක්” සඳහා කැඳවුම් කිරීමට බ්‍රහස්පතින්දා දුරකථනයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට කතා කලේ ය. “හොඳ ම ඉදිරි මාවත වන්නේ සාකච්ඡාව හා රාජ්‍යතාන්ත්‍රිකත්වය බව අවධාරනය කිරීම” පිනිස, මෝදිගේ විදේශ ඇමති ජෙයිශංකර් ඔහුගේ රුසියානු සගයා වන සර්ජි ලැව්රොව්ට කතා කල බව ද කීවේ ය.

“අන්‍යෝන්‍ය වසයෙන් මිත්‍රශීලී විසඳුමක්” සඳහා ඉන්දියාවට පවතින අපේක්ෂාවන් කවරක් වුව ද තම ආධිපත්‍යය යටතේ රුසියාව මුලුමනින් ම නතු කරගැනීමෙන් මෙපිට කිසිවකින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තෘප්තිමත් නො වනු ඇත. දශක තුනකට පෙර ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය බිඳවිසුරුවීමේ තැන් පටන්, නැගෙනහිර යුරෝපය තුලට සිය මිලිටරි ශක්තිය ආක්‍රමනශීලී ලෙස විස්තාරනය කිරීම මගින් සමස්ත යුරේසියානු කලාපය සිය ආධිපත්‍යය යටතට ගෙන ඒමට, වොෂින්ටනය ක්‍රමානුකූල ව ක්‍රියාකරමින් සිට ඇත. මෙම මූලෝපායෙහි මූලික අංගයක් වන්නේ, වහල්කොට තබාගැනීමට වඩා පහසු වන කුඩා රාජ්‍ය කැබලිති කිහිපයක් බවට රුසියාව බෙදා වෙන් කිරීම යි.

චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ යථා පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කරගනු ලැබ තිබෙන තතු තුල, මෑත වසර කිහිපය පුරා රුසියාවට එරෙහි ව ඉන්දියාවට තමන් සමග පෙලගැසෙන ලෙස යොදන පීඩනය එක්සත් ජනපදය විසින් වැඩි දියුනු කර ඇත. කලින් පැවති කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන් ආන්ඩුව විසින් වාත්තු කරගන්නා ලද “ඉන්දු-එක්සත් ජනපද ගෝලීය මූලෝපායික හවුල්කාරීත්වය” මත කටයුතු කරන මෝදි පාලනය, එක්සත් ජනපදය සහ එහි සමීපත ම ආසියා-පැසිෆික් සගයන් වන, ජපානය හා ඕස්ට්‍රේලියාව සමග අනවරතව විස්තාරනය කරන ද්වි-පාර්ශවික, ත්‍රෛ-පාර්ශවික හා චතුර්-පාර්ශවික මිලිටරි ආරක්ෂක සබඳතා ජාලයක් වර්ධනය කරගෙන තිබේ. එක්සත් ජනපදය නායකත්වය දෙන නිල නො වන චීන-විරෝධී මිලිටරි-ආරක්ෂක සන්ධානයක් වන “ක්වොඩ්” මෙයට ඇතුලත් ය.

වර්තමාන අර්බුදයට පෙරාතුව, රුසියාව සමග වන සබඳතා ලඝුකරන ලෙස එක්සත් ජනපදය ඉන්දියාවට යෙදූ පීඩනය නාභිගත වූයේ, ඉන්දියාව රුසියාවේ එස්-400 මිසයිල ආරක්ෂන පද්ධතියක් මිල දී ගැනීම මත යි. එක්සත් ජනපදයේ විරෝධතා සහ සම්බාධක පනත හරහා ඇමරිකාවේ සතුරුකම්වලට ප්‍රතිරෝධය පෑම (සීඒඒටීඑස්ඒ) යටතේ ඉන්දියාව එක්සත් ජනපද සම්බාධකවලට මුහුන දිය හැකි ය යන තර්ජන නො තකා, රුසියාවේ සාදන ලද එස්-400 (ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියට අයත්) බැටරිවලින් පලමුවැන්න ඉන්දියාව විසින් මෑත දී ලබාගෙන දියත් කර ඇත.

දකුනු ආසියාවේ හා ඉන් ඔබ්බේ බෙයිජිනයෙහි ආනුභාවයට වලකැපීම පිනිස, වොෂින්ටනය සමග වැඩ කිරීම ආදිය මගින්, චීනයට ප්‍රතිරෝධය පෑමට එක්සත් ජනපදය දරන උත්සාහයන්ට ඉන්දියාව දෙන නො මසුරු සහයෝගය හේතුවෙන්, එස්-400 ගනුදෙනුව අරබයා වන සම්බාධකවලින් ඉන්දියාවට මුක්තියක් ලබාගත හැකිවනු ඇතැයි සමහර එක්සත් ජනපද නිලධාරීහු කලින් ඉඟි කල හ. එහෙත් දැන් ඒ සියල්ල ප්‍රශ්නයට බඳුන් ව පවතී. සත්‍ය වසයෙන් ම, යුක්‍රේනය අරබයා වන ගැටුම තුල වොෂින්ටනයේ ආඥාව පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා දඬුවම් දීමේ විධියක් ලෙස, එස්-400 ගනුදෙනුව හේතුවෙන් ඉන්දියාවට සම්බාධක පැනවීමේ හැකියාව උලුප්පා දැක්වීමට ඇමරිකානු නිලධාරීන් විසින් අරඹා ඇත.

ඉන්දීය පාලක ප්‍රභූව, සිය මිලිටරිමය ශක්‍යතාවන් නඩත්තු කර පවත්වාගෙන යාමට තීරනාත්මක කාරනාවක් ලෙස, රුසියාව සමග වන සමීප සබඳතා දැකගනී. වොෂින්ටනයේ “ප්‍රධාන ආරක්ෂක හවුල්කාරයෙක්” යන නාමෝද්දිෂ්ටය හේතුවෙන්, එක්සත් ජනපදයේ සාදන ලද ඉහල-තාක්ෂනික මිලිටරි උපාංගවලට ප්‍රවේශය ලැබෙන බව ඉන්දියාවට පොරොන්දු ලැබී තිබෙන අතර ම, ඉන්දියාව තවමත් රුසියාවේ මිලිටරි සැපයුම් මත විශාල වසයෙන් රඳා සිටී. තව ද ඉන්දියාව සමග ඒකාබද්ධ ව ඉහල-තාක්ෂනික ආයුධ වර්ධනය කිරීමේ හා බෙදාහදා ගැනීමේ තහවුරු වූ වාර්තාවක් මොස්කෝවට ඇත. ස්ටිම්සන් මධ්‍යස්ථානයේ අධ්‍යයනයකට අනුව, ඉන්දියාවේ මිලිටරි උපාගවලින් සියයට 86කට ආසන්න ප්‍රමානයක ප්‍රභවය වන්නේ රුසියාව යි. ඉන්දියාවේ සිවිල් න්‍යෂ්ටික වැඩපිලිවෙල ද රුසියාවෙන් සම්පාදනය කරන තාක්ෂන සැපයුම් මත විශාල වසයෙන් රැඳී සිටී.

එක්සත් ජනපදය හා එහි සගයන් විසින් පනවනු ලබන සම්බාධක රුසියාවෙන් ලැබෙන වැදගත් පොහොර ආනයන කඩාකප්පල් කරනු ඇතැයි බිය වන ඉන්දීය නිලධාරීහු රුසියාව සමග රුපියල්වලින් ගෙවන ගෙවීම් යාන්ත්‍රනයක් ස්ථාපිත කරගැනීමේ හැකියාව සොයාබලමින් සිටින බව වාර්තා වේ.

තවමත් සුලුතරයක් වුව ද ඉන්දීය පාලක ප්‍රභූවේ සමහර කොටස්, සිය භූ-දේශපාලනික අවශ්‍යතා වඩා හොඳින් අභිවර්ධනය කරගැනීම පිනිස ඉන්දියාව රුසියාවට එරෙහි ව ඍජු ලෙස එක්සත් ජනපදයෙ පැත්ත ගත යුතු යයි තර්ක කරති.

භූ-දේශපාලනික කාරනාවන් පිලිබඳ ප්‍රමුඛ පෙලේ ඉන්දීය විචාරකයෙකු වන සී. රාජා මෝහන්, අඟහරුවාදා දි ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රයට මෙසේ ලිවී ය: “යුක්‍රේනයේ අර්බුදය සමනය කිරීමේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් අඛන්ඩ ව පවතින අතර ම, රුසියාව හා බටහිර අතර ගැටුමෙහි හදවතේ පවතින මධ්‍යම යුරෝපය වෙත නව දිල්ලිය වඩා විශාල අවධානයක් දීමේ කාලය පැමින ඇත. දිල්ලියට, බටහිර සමග රුසියාවේ ගැටුමෙහි ප්‍රිස්මයෙන් මෙම වැදගත් කලාපය සැමදා දැකිය නො හැක. එහි වැඩෙන මූලෝපායික වැදගත්කම ඉන්දියාව සැලකිල්ලට යුතුය.”

පෙබරවාරි 7දා ද ප්‍රින්ට් හි පලකල අදහස් දැක්වීමේ ලිපියක් තුල රාජේෂ් රාජගෝපාලන් මෙසේ සඳහන් කලේ ය: “ඉන්දියාවේ මූලෝපායික ස්වාධීනත්වයට රුසියාව සමග ආරක්ෂක සබඳතාවල ඉහල මට්ටමක් අවශ්‍ය ය යන තර්කය මුග්ධ ය. ආයුධ සඳහා (රුසියාව මත) රැඳී සිටීම අවසන් කර දැමීමට කාලය එලඹ ඇත.” ඉන්දියාව තම පිලිවෙත් වොෂින්ටනය සමග වඩා සමීප ලෙස සම්බන්ධීකරනය කල යුතු යයි අවධාරනය කරමින්, “ඉන්දියාවේ පිලිවෙත පදනම් කල යුත්තේ එක්සත් ජනපදය කල හැක්කේ කවරක් ද යන්න මත මිස, එය ඔවුන් (වොෂින්ටනය) කරනු ඇතැයි මනාප වන දෙය මත නො වේ” යයි තවදුරටත් සටහන් කලේ ය.

දකුනු ආසියාව තුල ඉන්දියාවේ අංක එකේ ප්‍රතිමල්ලවයා වන පකිස්ථානය ද එක්සත් ජනපදය හා රුසියාව අතර වැඩෙන ගැටුමේ දී විවෘත ව පැති ගැනීමෙන් වැලකීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරමින් සිටී. තවමත් එක්සත් ජනපදය සමග මිලිටරි-ඔත්තු සේවා සබඳතා පවත්වාගෙන යන පකිස්ථානය, වඩ වඩා මොස්කෝව වෙත හැරෙමින් සිටී. ඉන්දියාවේ විරෝධතා නො තකා රුසියාව තමන්ගේ පැත්තෙන් පකිස්ථානය සමග සමීප සබඳතා සාධාරනීකරනය කරන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඉන්දියාවේ සන්ධානය ගෙනහැර දක්වමිනි.

ඉස්ලාමාබාදය සමග දශක ගනනාවක් තිස්සේ “සැමකල් පවතින හවුල්කාරීත්වයක්” තිබෙන, එමෙන් ම එක්සත් ජනපදයෙන් පැමිනෙන පොදු තර්ජනයට ප්‍රතිරෝධය පෑමට රුසියාව සමග ක්‍රියා කරමින් සිටින බෙයිජිනය මෑත කාලීන රුසියා-පකිස්ථාන සබඳතා ප්‍රතිස්ථාපනයට උදවු කර ඇත.

දෙදින සංචාරයක් සඳහා පකිස්තාන අගමැති ඉම්රාන් කාන් බදාදා මොස්කෝවට පැමිනි අතර, එය දශක දෙකක් තුල පකිස්ථාන අගමැතිවරයෙක් සිදු කල පලමු එවන් සංචාරය යි. රුසියා-යුක්‍රේන යුද්ධයට බොහෝ පෙර සංචාරය සැලසුම් කර තිබුන ද ගැටුමේ එලියෙන් බලන විට එය සුවිශේෂී වැදගත්කමක් අත් කරගනී.

සංචාරයේ මුව විට දී කාන් වර්තමාන යුක්‍රේන අර්බුදය නො තකා හැරියේ ය. “මේ ගැන අපි උත්සුක වන්නේ නැහැ, අපිට රුසියාව සමග ද්වි-පාර්ශවික සබඳතාවක් තිබෙනවා, අපිට ඇත්තට ම ඒක ශක්තිමත් කරගන්න අවශ්‍යයි” යැයි සී නිව්ස් සමග පැවති සාකච්ඡාවක දී ඔහු කීවේ ය. “මේ යුක්‍රේන අර්බුදය සාමකාමී ව විසඳේ යයි මම බලාපොරොත්තු වෙන” බව රුසියානු ආන්ඩුවට අයත් ආර්ටී රූපවාහිනී ජාලය සමග තවත් සාකච්ඡාවක දී ඔහු කීවේ ය.

පුටින් සමග තම ප්‍රථම හමුව බ්‍රහස්පතින්දා පැවැත්වූ කාන්, මොස්කෝව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව “ද්වි-පාර්ශවික සබඳතාවේ ප්‍රධාන අංශ සාකච්ඡා කොට, දකුනු ආසියාවේ වර්ධනයන් ඇතුලු වර්තමාන කලාපීය මාතෘකා පිලිබඳ අදහස් හුවමාරු කරගත්තේ ය.”

සංචාරය පිලිබඳ පකිස්ථාන ආන්ඩුවේ ප්‍රකාශයක්, රුසියාව හා යුක්‍රේනය අතර නවතම තත්ත්වය පිලිබඳ කාන් “කනගාටු වූ” බව සටහන් කලේ ය. “මෙම ගැටුම කිසිවෙකුගේ යහපත පිනිස නො වන බවත්, ඝට්ටනයක දී ආර්ථිකමය වසයෙන් වඩාත් ම පහර වදින්නේ සංවර්ධනය වන රටවලට බවත්, අගමැතිවරයා අවධාරනය කලේ ය. ගැටුම් විසඳාගත යුත්තේ සාකච්ඡාව හා රාජ්‍යතාන්ත්‍රිකත්වය හරහා බව පකිස්තානය විශ්වාස කරන්නේ යයි ඔහු අවධාරනය කලේ ය”.

එක්සත් ජනපද-නැටෝ සන්ධානය සහ රුසියාව අතර යුද්ධයේ තර්ජනය වැඩෙද්දී පැතිගැනීමෙන් වැලකීමට ඉන්දියාව හා පකිස්ථානය උත්සාහ දරමින් සිටින අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉවබව නැති යුද ධාවනය දකුනු ආසියාව ඇතුලු සමස්ත භූගෝලය න්‍යෂ්ටික ආයුධවලින් කරන මිලිටරි වහ්නිජාලයක් දෙසට ඇදගෙන යාමට තර්ජනය කරයි.

බෙයිජිනය රාජ්‍යතාන්ත්‍රික ව, ආර්ථිකමය හා මිලිටරිමය ලෙස හුදකලා කිරීමේ සිය ධාවනයේ දී වොෂින්ටනයට, චීනයට ආබද්ධ ව පිහිටන දකුනු ආසියාව තීරනාත්මක කලාපයකි. දකුනු ආසියාව තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය, ලෝක වෙලඳපොල වෙතින් කරන ආනයන හා එය වෙතට කරන අපනයනවල දී ගමනාගමනයන් සඳහා චීනයට උදව්කාරක වන ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු මාවත් පාලනය කිරීමේ හැකියාව වොෂින්ටනයට ලබා දෙනු ඇත. එය, රුසියාවට ආසන්න ව පිහිටීම ද සමස්ත යුරේසියානු භූ-ස්කන්ධය මත ආධිපත්‍යය දැරිය හැකි ලෙස ඉතා හොඳින් පිහිටා ඇති වාසිදායක ස්ථානයක් බවට මෙම කලාපය පත්කරයි.

Loading