සෞඛ්‍ය සේවක අරගලය සඳහා ඉදිරි මාවත

[මෙය The way forward for the Sri Lankan health workers’ struggle යන මැයෙන් අද දින පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සෞඛ්‍ය සේවකයෝ 50,000ක් පමන වැඩි වැටුප් සහ යහපත් සේවා කොන්දේසි සඳහා දිගු කලක් තිස්සේ ඉදිරිපත් කරන ඉල්ලීම මත අද දින දෙකක වර්ජනයක් දියත් කලහ.

වැටුප් විෂමතා නිවැරදි කිරීම, රුපියල් 3,000 සිට 10,000 දක්වා ප්‍රවාහන හා අඛන්ඩ වැඩ දීමනා වැඩි කිරීම, ඉහල අතිකාල රේට්ටු ලබාදීම සහ වැඩි වර්ධිත උසස් වීමේ පටිපාටි යනාදිය ඔවුන්ගේ ඉල්ලීම් අතර වේ.

මෙම වර්ජනය කැඳවා ඇත්තේ, හෙද හා අතුරු වෛද්‍ය සේවකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂන ශිල්පීන් සහ ඖෂධවේදීන් සම්බන්ධ වෘත්තීය සමිති 18ක සන්ධානයක් වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය (සෞවෘස)යි.

දෙසැම්බර් 30 දා යාපනයේ සෞඛ්‍ය සේවකයන්ගේ පෙලපාලියක් (ලෝසවෙඅ)

පෙබරවාරි 7දා, මෙම ඉල්ලීම් මතම සෞඛ්‍ය සේවකයන් 65,000කට අධික පිරිසක් අඛන්ඩ ජාතික වැඩ වර්ජනයක් දියත් කල හ.

වර්ජනය බිඳීම සඳහා ආන්ඩුව මර්දනයක් මුදා හැරියේය. ආන්ඩුව විසින් කූත්තු කරන ලද නීතිපතිවරයාගේ ඉල්ලීම මත, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) සාමාජිකයින් වැඩ වර්ජනයට සහභාගි වීම තහනම් කරන නියෝගයක් උසාවිය විසින් නිකුත් කෙරිනි. ජනාධිපති රාජපක්ෂ සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජන කිරීම අපරාධයක් බවට පත් කරමින් අත්‍යවශ්‍ය මහජන සේවා පනත ප්‍රකාශයට පත්කලේ ය.

ආන්ඩුවේ ප්‍රහාරවලට හිස නැමූ සෞවෘස, කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන දින නවයකින් වර්ජනය නවතා කම්කරුවන් පාවා දුන්නේ ය.

සෞවෘස නායක රවී කුමුදේශ් ප්‍රකාශකර සිටියේ ආන්ඩුවට සති දෙකක් කල් දීම පිනිස තම සංගමය වර්ජනය නතර කල බවයි. ප්‍රශ්නයට මැදිහත්වී විසඳුමක් ලබාදෙන්නැයි ඔහු රාජපක්ෂගෙන් අයැද සිටියේය. වර්ජනය නතර කිරීමට ඉදිරිපත් කල ව්‍යාජ හේතුව කුරිරු මිථ්‍යාවක් බව ඔප්පු වී ඇත.

තම ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන කෝපය නිසා බල කෙරෙන තතු යටතේ සෞවෘස යලි වර්ජනය කැඳවා ඇත. පෙබරවාරි 24 දා පුවත්පත් සාකච්චාවක් පැවැත්වූ කුමුදේශ් වැටුප් විෂමතා සාකච්චා කිරීමට 'තාක්ෂනික කමිටුවක්' පිහිටුවන ලෙස සෞඛ්‍ය ඇමතිට ආයාචනය කලේය. 'විෂයානුබද්ධව, තාක්ෂනිකව සහ න්‍යායාත්මකව' තම ආස්ථානය කමිටුවට පැහැදිලි කිරීමට තම සමිති සන්ධානය සුදානම් යයි ඔහු කීවේය.

'දින තුනකින් විසඳුමක් ලබා නොදුන්නොත් සෞවෘස මාර්තු 10 දා සිට අඛන්ඩ වර්ජනයකට යනවා' යයි ඔහු සඳුදා අනතුරු ඇඟවුයේය.

වෙනත් වචනවලින් කියතොත්, සෞවෘස කියා සිටින්නේ ඉල්ලීම් සාකච්චා කිරීමට 'තාක්ෂනික කමිටුවක්' මිස ඉල්ලීම ලබාදීම ගැන නොවේ. රාජපක්ෂ පාලනය ද ඇතුලු ලංකාවේ ආන්ඩු මෙවන් කමිටු සහ කොමිෂන් සභා කම්කරුවන්ගේ ඉල්ලීම් යට ගැසීමට යොදාගෙන ඇත. සෞවෘස එවන් උපාමරුවක් සමග සහයෝගී වීමට සුදානම් ය.

ගිය මාසයේ මහනුවර රෝහලේ කම්කරුවෝ විරෝධතාවක යෙදෙමින් (ලෝසවෙඅ)

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව අප සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞවෘසයේ මෙම නරුම කුටෝපාය ප්‍රතික්ෂේප කරන ලෙසයි. අරගලවලට ඇදෙන අනෙකුත් කම්කරුවන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට ද ඉහල වැටුප් වැඩිකිරීම්, මනා සේවා කොන්දේසි සහ අන්තරායකාරී කෝවිඩ් 19 වසංගතය ඇතුලු අන්තරායන්ගෙන් ආරක්ෂා වීමට වැඩපොල ආරක්ෂාව අවශ්‍ය ය.

කම්කරුවන්ගේ ඉල්ලීම් දීම ප්‍රතික්ෂේස්ප කරමින් ආන්ඩුව අඛන්ඩව මර්දන පියවරයන් බල ගන්වමින් සිටී. ගිය සතියේ රාජපක්ෂ අත්‍යවශ්‍ය සේවා නියෝග තවත් දින 10 කින් දීර්ඝ කලේය. මෙම නීති උල්ලංඝනය කිරීම කම්කරුවන් දොට්ට දැමීමට සහ බරපතල සිර දඬුවම් හා දඩ නියම කිරීමට යොදා ගත හැකිය.

ගිය සිකුරාදා කොලඹ දිස්ත්‍රික් උසාවිය රහෙනිසට පනවා තිබූ උසාවි නියෝගය මාර්තු 11 දක්වා දීර්ඝ කරමින් එම සංගමයේ සාමාජිකයින් වර්ජනයට සහභාගිවීම තහනම් කලේය. රහෙනිසට 20,000ක් පමන සාමාජිකයන් ඇත. එහි නායක සමන් රත්නප්‍රිය සඳහන් කලේ සමිති සාමාජිකයන් වර්ජන කාලය තුල පිකට් කිරීම්වලට පමනක් සහභාගී වන බවයි.

සෙනසුරාදා ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතු රාජපක්ෂ වර්ජකයන්ට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ කලේය. වගකීමක් සහිත කිසිදු පාර්ශ්වයක් කඩාකප්පල්කාරී වැඩ වර්ජන කිරීමක් හෝ බොරු ප්‍රචාරවල යෙදීමක් තමන් අපේක්ෂා කලේ නැතැයි ඔහු කීවේය. 'වර්තමාන අභියෝග ජයගැනීමට විරුද්ධ පක්ෂ, මහජනයා, සහ ආන්ඩුව එක්සත්ව වැඩ කලයුතුය' යි ඔහු ඉල්ලා සිටියේය.

ගෝලීය කොරෝනා වෛරස් වසංගතය විසින් උග්‍ර කරන ලද පෙර නොවූ විරූ ආර්ථික කඩා වැටීමකින් ආන්ඩුව ඇලලී ගොස් ඇත. වැටුප් වැඩිකිරීම් පිලිබඳ හෝ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන් වැඩිදියුනු කිරීම පිලිබඳ ඉල්ලීම් නොසලකා ඇති ආන්ඩුව, අර්බුදයේ බර ජනතාව මත පැටවීමට කප්පාදු පියවර ක්‍රියාත්මක කරයි.

අත්‍යවශ්‍යතාවයන් සඳහා ප්‍රමානවත් විදේශ විනිමය නොමැතිව රට නය පැහැර හැරීමේ අද්දර සිටී. තාප විදුලි බල නිෂ්පාදනය සඳහා භාවිතා කරන ඉන්ධන සඳහා ගෙවීමට ඩොලර් නොමැති බැවින් ජනගහනය දිගු විදුලි කප්පාදු වලට ලක්ව ඇති අතර ප්‍රවාහනය ඇන හිටීම ඇරඹී තිබේ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල දිනෙන් දින ඉහල යමින් පවතින අතර හිඟය උග්‍ර වේ.

දැන් එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් විසින් කුපිත කරන ලද සහ රුසියානු ආක්‍රමනයෙන් අවුලුවා ඇති යුක්‍රේන යුද අර්බුදය, සෑම රටකම ආර්ථික අර්බුදය තව දුරටත් ගැඹුරු කරන පුලුල් ව්‍යසනයකට තර්ජනය කරයි.

අර්බුදය වැඩකරන ජනතාවගේ කර මත පටවන ආන්ඩුවේ සහ එහි මහා ව්‍යාපාරික ප්‍රතිපත්ති පරාජය නොකර, කම්කරු පන්තියට ආන්ඩුව විසින් මුදාහරින ප්‍රහාරය නැවැත්විය නොහැක.

සෞඛ්‍ය සේවකයින්ට එරෙහිව වෘත්තීය සමිති ආන්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරති. හෙදියන්ට එරෙහි අධිකරන නියෝග සහ වර්ජන තහනම් කිරීමේ අත්‍යාවශ්‍ය සේවා ආඥාව හෙලා දකිමින් එකදු සංගමයක්වත් ප්‍රකාශයක් නිකුත් කර නැත. වෘත්තීය සමිති ඇත්ත වශයෙන්ම කාර්යබහුලව සිටින්නේ ඔවුන්ගේ සාමාජිකයින්ගේ අරගල මර්දනය කිරීමේ කාර්යයේ ය.

ආන්ඩුවට පක්ෂපාතී රාජ්‍ය සේවා ඒක්සත් හෙද සංගමය සහ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන පාලනය කරන සමස්ත ලංකා සුව සේවක සංගමය පෙබරවාරි 7 සිට පැවැත්වුනු වැඩවර්ජනය කඩාකප්පල් කල අතර වත්මන් වැඩවර්ජනය තුල ද එයම කරති.

අපගේ සගයන් කිහිප දෙනෙක් ආන්ඩුව සහ වෘත්තීය සමිති පිලිබඳ ඔවුන්ගේ ආකල්පය පැහැදිලි කලහ. සෞඛ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනය සෞවෘස විසින් පාවාදීම සහ අනෙකුත් හෙද සංගම් විසින් සිදු කරන ලද හොරිකඩකම් සම්බන්ධයෙන් පේරාදෙනිය ලමා රෝහලේ හෙදියක් සිය පිලිකුල ප්‍රකාශ කලාය. “මම සෞකක්‍රිකට සහය දක්වන්නේ හෙදියන්ඇතුලු සෞඛ්‍ය සේවකයින් බෙදීමේ වෘත්තීය සමිතිවල ක්‍රියා කලාපයට මම විරුද්ධ නිසා. මෙම අරගලයේදී වෘත්තීය සමිති විසින් සිදු කෙරෙන පාවා දීමෙන් සෞඛ්‍ය සේවකයින් පාඩම් ඉගෙන ගනු ඇතැයි මා විශ්වාස කරනවා,” යැයි ඇය පැවසුවාය.

සෞඛ්‍ය සේවකයින් වැඩවර්ජන කරන විට පමනක් රෝගීන් ගැන කිඹුල් කඳුලු හෙලන බවට ගම්පොල රෝහලේ හෙදියක් ආන්ඩුව හෙලා දුටුවාය. “අපි, හෙදියන් වෘත්තීය සමිති විසින් නිර්මානය කරන ලද හුදකලාවෙන් බිඳී එක්සත් අරගලයක් සඳහා අනෙකුත් කම්කරුවන් සමඟ සම්බන්ධ වීමට හැරී ගත යුතුයි. මම කියන්නේ මේ මර්දනකාරී ආන්ඩුවට එරෙහිව සාමූහික සටනක් කරන්න කියලා.”

මහනුවර රෝහලේ විකිරනවේදියකු මෙසේ පැවසීය: “සෞවෘස නායකයින් සාමාජිකයින් වන අපටත් නොදන්වා වර්ජනය නැවැත්වූවා. දැන් ඔවුන් මෙම සංකේත වැඩවර්ජනය කැඳවා ඇත්තේ ඔවුන් කෙරේ ඒල්ලවී ඇති කම්කරුවන්ගේ පිලිකුලෙන් ගැලවීමටයි. අඛන්ඩ වැඩ වර්ජනය පාවා දීමෙන් පසු මෙම සංකේත වැඩ වර්ජනය මගින් අපගේ ඉල්ලීම් දිනාගනු ඇතැයි කිසිවෙකුට විශ්වාස කල හැකිද? සෞවෘස හිතාමතාම කම්කරුවන්ගේ සටන් කිරීමේ ශක්තිය දුබල කරනවා.”

අඛන්ඩ වැඩවර්ජනය ආරම්භයේ දීම සෞකක්‍රික රාජපක්ෂ තන්ත‍්‍රයේ ප‍්‍රහාර සහ වෘත්තීය සමිතිවල භූමිකාව පිලිබඳව අනතුරු ඇඟවීය. අපි කම්කරුවන්ට සටන් කිරීමේ වැඩපිලිවෙලක්ද විස්තාරනය කලෙමු. “සෞඛ්‍ය සේවක වර්ජනය වටා සහයෝගය බලමුලු ගන්වමු!” යන අපගේ ප්‍රකාශයේ අපි මෙසේ කීවෙමු.

“සෞඛ්‍ය කම්කරුවන් සෞවෘසයේ මිත්‍යා වැපිරීම හා රාජපක්ෂ ආන්ඩුවට කෙරෙන බංකොලොත් ආයාචන ප්‍රතික්ෂේප කල යුතු අතර යහපත් වැටුප්, සේවා කොන්දේසි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා මෙන්ම වසංගතයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වන අරගල වල ඉරනම කම්කරුවන් තම අතට ගත යුතුය. “මිනිස් ජීවිතවලට ඉදිරියෙන් ලාභය” නම් වූ ධනපති පන්ති පිලිවෙත මත ආර්ථිකය සාපරාධී ලෙස යලි විවෘත කිරීමට වෘත්තීය සමිති සහාය දක්වා ඇත.

“වෘත්තීය සමිතිවලින් ස්වාධීනවූ සහ වෘත්තීය සමිති නිලධරයන්ට ඉඩක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටු සෑම සෞඛ්‍ය ආයතනයකම ගොඩනැගිය යුතුය.

“ඒවා, පිරිහෙමින් පවතින සෞඛ්‍ය සේවාව නගා සිටුවීම, කම්කරුවන්ගේ ඉල්ලීම් විසඳීම, නව සේවකයින් බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් දියුනු කිරීම සඳහා රුපියල් බිලියන ගනනක් ඉල්ලා සිටිය යුතුය. එම ක්‍රියාකාරී කමිටු හරහා, සමිති සහ ශ්‍රේනි අනුව සේවකයින් බෙදීමට වෘත්තීය සමිති දරන උත්සාහයට එරෙහිව, සෞඛ්‍ය සේවකයින්ගේ එකමුතුව ස්ථාපිත කල යුතු අතර, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුකම ඇති කල යුතු ය.

“මෙම ඉල්ලීම් ඉටුකර ගැනීම දේශපාලන සටනක් බව සෞකක්‍රික අවධාරනය කරයි. ආර්ථිකය කැපවී ඇත්තේ සුලු පිරිසකගේ ලාභය සඳහා මිස දුක් විඳින සමාජයේ බහුතරයකගේ යහපත සඳහා නොවේ. සමාජයේ බහුතරයකගේ අවශ්‍යතා ඉටුකල හැක්කේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. ඒ සඳහා, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන වැඩපිලිවෙලකට සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

අපගේ ප්‍රකාශය ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරී ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩ නගන ලෙසයි. එක්සත් ජනපදයේ, තුර්කියේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සෞඛ්‍ය සේවකයින් ඒවන් අරගලවලට පිවිස ඉදිරියෙන් සිටී.

සෞකක්‍රික විසින් ඉදිරිපත් කෙරෙන ක්‍රියාමාර්ගය මත සටන් වැදීම කල් හැරිය නොහැකිය. ඒය ආරම්භ කරන ලද්දේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි. අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

සෞකක්‍රිකවේ දුරකථනය: 0773562327

ඊ මේල් ලිපිනය: healthworkers-sl@wsws.org

Loading