කොලඹ පැවති දැවැන්ත රැලිය ජනාධිපති රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටී

[මෙය Huge rally in Colombo demands Sri Lankan President Rajapakse resign යන මැයෙන් යන මැයෙන් අප්‍රේල් 11 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සති අන්තයේ‍ ශ්‍රී ලංකාව පුරා දහස් ගනනක් ජනයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්විය යුතු යැයි කියමින් කොලඹ වරාය අසල ගාලු මුවදොර පිටියේ පැවති ප්‍රධාන උද්ඝෝෂන වලට සම්බන්ධ වූහ. අහස උසට නැඟෙන මිල ගනන්, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ පැය ගනන් දෛනික විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් ආන්ඩුව හෙලා දකිනු ලැබේ.

විරෝධතාකරුවන් ගාලු මුවදොර පාරේ පාගමනක [ලෝසවෙඅ මාධ්‍ය]

පසුගිය දෙසතිය තුල පැවති විශාලතම පෙලපාලිය වන ගාලු මුවදොර පිටියේ විරෝධතා බොහෝ දුරට සමාජ මාධ්‍ය හරහා #GoHomeGota2022 යන හැෂ් ටැගය යටතේ සංවිධානය කරන ලදී.

කම්කරුවන්, තරුනයින්, සිසුන්, වෘත්තිකයන් සහ ගෘහනියන් විරෝධතාවයේ දී සිංහල, දෙමල සහ මුස්ලිම් වාර්ගික රේඛා කපාගෙන එකමුතු වී, “අපට වගකීමක් සහිත ආන්ඩුවක් අවශ්‍යයි,” “අපේ හොරකම් කල මුදල් ආපසු දෙනු,” “දූෂිත දේශපාලඥයින් අත්අඩංගුවට ගනු,” “අපේ දරුවන්ට හොඳ අනාගතයක් අවශ්‍යයි”, 'ඇති කියන්නෙ ඇති' යනුවෙන් හඬ නැගූහ.

සෙනසුරාදා සවස් වන විට ගාලු මුවදොර පිටියට යාබද මාර්ගය දෙපස කිලෝමීටර් දෙකක් පමන දුරට විරෝධතාකරුවන් 20,000 ක් පමන රැස්ව සිටියහ. පෙලපාලිය වැලැක්වීමේ මංමුලා සහගත සහ අසාර්ථක උත්සාහයක් ලෙස, සිකුරාදා ගාලු මුවදොර පිටිය මහජන භාවිතයට තහනම් කරන බව ආන්ඩුව සිකුරාදා නිවේදනය කලේය.

ජනාධිපති මන්දිරය ඇතුලු අධි ආරක්ෂිත ප්‍රදේශවලට පෙලපාලිකරුවන් ඇතුලුවීම වැලැක්වීමට කොටුව ප්‍රදේශය වටා පොලිසිය බලමුලු ගන්වා ඇති අයුරු [ලෝසවෙඅ මාධ්‍ය]

සමහර පෙලපාලිකරුවන් පාරේ පාගමන් පැවැත්වූ අතර තවත් සමහරු වීදි නාට්‍ය සහ විරෝධතා ගීත ගායනා කලහ. විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලුවීම වැලැක්වීමට ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් සහිතව පොලිසිය සහ හමුදාව සීරුවෙන් තබා තිබුනි.

ඉරිදා උදෑසන තවත් කන්ඩායම් එක්වීමත් සමඟ රාත්‍රිය පුරාම විරෝධතාව පැවතුනි. විවිධ සංවිධාන සහ පුද්ගලයන් විරෝධතාකරුවන්ට සෙනසුරාදා රාත්‍රියේ සහ ඉරිදා උදෑසන ආහාර පාන ලබා දුන් අතර රියැදුරන් නලාව නාද කරමින් සහයෝගය පල කලහ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයෝ ඔවුන්ගේම සටන් පාඨ සහිත එකම දේශපාලන පක්ෂය ලෙස විරෝධතාවට මැදිහත් වූහ: 'රාජපක්ෂ ආන්ඩුව පලවා හරිනු!', 'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!', 'ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරනු!', 'ක්‍රියාකාරී කමිටු ගොඩනඟනු!', 'අන්තර්වාර පාලනය ප්‍රතික්ෂේප කරනු!' සහ 'විදේශ නය ප්‍රතික්ෂේප කරනු!' වැනි සටන්පාඨ ඒ අතර විය.

සසප සහ සසජාතශි සාමාජිකයින් අප්‍රේල් 9 කොලඹ විරෝධතාවයේ උද්ඝෝෂනය කරමින් [ලෝසවෙඅ මාධ්‍ය]

සසප උද්ඝෝෂකයෝ පක්ෂයේ ක්‍රියාකාරී වැඩපිලිවෙල ගෙනහැර දක්වන ප්‍රකාශ සිය ගනනක් බෙදා හැරියහ, එය විරෝධතාකරුවන්ගෙන් උද්‍යෝගිමත් ප්‍රතිචාර දිනා ගත් අතර, බොහෝ දෙනෙක් එහි ඉදිරිදර්ශනය පිලිබඳ දීර්ඝ සාකච්ඡාවල නිරත වූහ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලාසිටින පුවරුවක් රැගත් එක් තරුනියක් සසප උද්ඝෝෂකයන් වෙත පැමිනියාය. ඇය සසප කන්ඩායම සමග රැඳී සිටීමට තීරනය කලේ එහි ඉල්ලීම් දැකීමෙන් පසුවය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වත්මන් අරගලයේ ඉතා තීරනාත්මක බව ඇය පැවසුවාය.

කොලඹ සිට කිලෝමීටර් 140ක් පමන දුරින් පිහිටි රත්නපුර ප්‍රදේශයේ විශ්‍රාමික බැංකු සේවකයෙකු වන සිසිර චන්ද්‍ර මෙසේ පැවසුවේය: “මගේ දුෂ්කරතා තවදුරටත් දරාගත නොහැකි තැන මම මෙහි ඒමට තීරනය කලා. රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පෙරලා දැමිය යුතු නමුත් ඉන් පසු බලයට පත්වන්නේ කුමන ආන්ඩුවක්දැයි මම කල්පනා කලා. පාර්ලිමේන්තුවේ වෙනම කන්ඩායමක් බලයට ආවත් වෙන්නේ ඒදේම තමයි. අන්තර්වාර ආන්ඩුවක් පිහිටෙව්වත් ඇමතිවරුන් පත්කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා.”

සිසිර චන්ද්‍ර, මැද [ලෝසවෙඅ මාධ්‍ය]

සසප සාමාජිකයන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට ඇඳිරි නීතිය සහ අත්‍යාවශ්‍ය සේවා නියෝග පැනවිය හැකි බවත්, කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කල හැකි බවත් ය. රාජපක්ෂ කල් බලමින් සිටින බවත් පසුව මෙම බලතල යොදා ගනිමින් මහජන ව්‍යාපාරය මර්දනය කිරීමට උත්සාහ කල හැකි බවත් ඔවුහු අනතුරු ඇඟවූහ.

සිසිර චන්ද්‍ර මෙසේ ප්‍රතිචාර දැක්වීය: “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සසප කරන ඉල්ලීම දැන් ඉතා අදාල ය. රට බොහෝ දුෂ්කරතාවන්ට මුහුන දී සිටින්නේ ඔවුන් [ආන්ඩුව] මිනිසුන් වෙනුවෙන් නය ලබා ගත් නිසා නොවේ. එල්ටීටීඊයට එරෙහි යුද්ධය සඳහා විශාල නය මුදලක් වැය කල බවත්, ජාත්‍යන්තර ප්‍රාග්ධන ආයෝජකයින් සඳහා යටිතල පහසුකම් ඇති කිරීමට තවත් විශාල මුදලක් වැය කල බවත් මට වැටහෙනවා. අපි අනුන්ගේ පව් ගෙවන්න අවශ්‍ය නැහැ. සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කල යුතුය යන සසප ඉල්ලීම මුලුමනින් ම නිවැරදි ය.

කොලඹ පෞද්ගලික සමාගමක තරුන සේවකයෙකු වන බිෂාන් එසිත් මෙසේ පැවසීය: “මෙතරම් ශීඝ්‍රයෙන් මිල ඉහල යන මේ තත්ත්වය තුල අපගේ වැටුප් ජීවත් වීමට ප්‍රමානවත් නොවේ. මූලික ප්‍රශ්නය අත්‍යාවශ්‍ය භාන්ඩ හිඟය යි, නමුත් මේ ‘ගෝඨා ගෙදර යන්න’ උද්ඝෝෂනයේ එකදු සටන් පාඨයක්වත් මේ ගැටලු විසඳන්නේ කෙසේදැයි කියන්නෙ නෑ.

බිෂාන් එසිත්, දකුනේ සිට දෙවැන්නා [ලෝසවෙඅ මාධ්‍ය]

“රාජපක්ෂ ගෙදර යැව්වත් ඊට පස්සේ මොකද වෙන්නේ කියන එකයි මගේ ප්‍රශ්නය. 2015 මැතිවරනයේදී ජනතාව පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමා තවත් ධනපති ආන්ඩුවකට පාර කැපුවා. හොඳ නායකයන් පාර්ලිමේන්තුවට යැව්වොත් අපේ ප්‍රශ්න විසඳෙයි කියලා මම මුලින් හිතුවත් දැන් ඒ ගැන විශ්වාසයක් නැහැ.

“ඔබ කියන විදියට මේ ආන්ඩු ධනපති ආන්ඩු. මොන ධනපති ආන්ඩුවක් ආවත් ක්‍රියාත්මක කරන්නේ ධනපතියන්ගේ ලාභය ආරක්ෂා කරන ප්‍රතිපත්ති ය කියන ඔබේ අදහසට මම සම්පූර්නයෙන්ම එකඟයි.”

සාකච්ඡාවේ දී සසප උද්ඝෝෂකයින් පැහැදිලි කලේ, අර්බුදය හුදෙක් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පවසන පරිදි වංචාව හා දූෂනයේ ප්‍රතිඵලයක් නොව, ලාභ පද්ධතියම බව ය.

එසිත් එකඟ වෙමින් මෙසේද පැවසීය: “ධනපතියා කම්හලේ වැඩ නොකරන නමුත් කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ලාභ ලබයි. නිෂ්පාදන මාධ්‍යයන්, සැබෑ නිෂ්පාදකයන් වන කම්කරු පන්තිය අතට ගැනීම ඉතා තාර්කික යි.

“ක්‍රම වෙනසක් අවශ්‍ය බවට බොහෝ දෙනා තර්ක කලත්, සැබෑ ක්‍රම වෙනසක් යනු ධනේශ්වර ලාභ ක්‍රමය අහෝසි කිරීම බව මෙම සාකච්ඡාවෙන් මම ඉගෙන ගත්තා. ඒ අරගලයට ඔබත් එක්ක එකතු වෙන්න මම කැමතියි.”

ධනේශ්වර පාලනය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමට ක්‍රියාකාරී කමිටු සඳහා සසප කරන සටන ගැන තමන් උනන්දු වන බව එසිත් පැවසීය.

“සසප ව්‍යාපාරය සහ ‘ගෝඨා ගෙදර යන්න’ ව්‍යාපාරය අතර බෙදුම්කඩනය ඔබේ සටන් පාඨවලින් ඉතා පැහැදිලි යැයි,” ඔහු කියා සිටි අතර, විරෝධතාවයේ දී සසප කන්ඩායම සමග එක් වීමට තීරනය කලේය.

පුද්ගලික ඉංග්‍රීසි ගුරුවරයෙකු වන සුරේෂ් සිල්වා මෙසේ පැවසීය: “මම මේ විරෝධතාවට ආවේ ගෝඨාභය රාජපක්ෂ එලවන්න උදව් කරන්න. මම හිතුවා මුලින්ම කරන්න ඕන දේ ඒකයි කියලා. රාජපක්ෂ එලවා දමා අපගේ ප්‍රශ්න විසඳන ආන්ඩුවක් පිහිටුවීම වෙන් කල නොහැකි ලෙස එක් ක්‍රියාවලියක ඇතුලත් වන බව ඔබ සමඟ කල සාකච්ඡාවෙන් පසුව මට වැටහුනා.

සුරේෂ් සිල්වා [ලෝසවෙඅ මාධ්‍ය]

“රාජපක්ෂලා සහ ඔවුන්ගේ හිතවතුන් මහජන මුදල් අවභාවිත කිරීම නිසා මේ අර්බුදය ඇති වූ බව මම විශ්වාස කලා. නමුත් දැන් ඔබ පැහැදිලි කරන දෙයට—අප මුහුන දෙන ගැටලු ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේ ප්‍රතිඵලයක් බවට—මම එකඟයි.'

නිෂ්පාදනය ගෝලීයකරනය වීම ගැන තමන් යමක් දන්නා බවත් වත්මන් ගැටලු ජාතික සීමාවන් තුල විසඳා ගත හැකි යැයි විශ්වාස නොකරන බවත් සිල්වා පැවසීය. “අපි ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව සටන් කල යුතුයි, එබැවින් අපගේ සටන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙස ගොඩනැගිය යුතු බව මම පිලිගන්නවා,” ඔහු පැවසීය.

දේශපාලන පක්ෂවලට ආරාධනා නොකල නිසා සසප විරෝධතාවලට සම්බන්ධ වූයේ මන්දැයි කැලනිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු වන මාලිංග ඇසුවේය.

ගාලු මුවදොර පිටියේ පෙලපාලියේ කොටසක් [ලෝසවෙඅ මාධ්‍ය]

සසප උද්ඝෝෂකයින් පැහැදිලි කලේ තම පක්ෂය, ඔවුන්ගේම දේශපාලන අරමුනු සඳහා විරෝධතා ගසාකෑමට උත්සාහ කරන ධනපති පාර්ලිමේන්තු පක්ෂ මෙන්, නොවන බවයි. සසප කම්කරු පන්තියට ඉදිරිපත් කලේ තමන්ගේම පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට ඉදිරිදර්ශනයක්.

මාලිංග සසප ප්‍රකාශය කියවීමෙන් අනතුරුව මෙසේ පැවසීය: “මීට පෙර මම දේශපාලන පක්ෂ හඳුනා ගත්තේ ඔවුන්ගේම ප්‍රයෝජනය සඳහා ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන අය ලෙස ය. සසප වැඩසටහන කියවන විට විශාල වෙනසක් ඇති බව දැන් මට වැටහෙනවා. මම හිතන්නේ මේ ප්‍රකාශයේ තියෙන ඉල්ලීම් අපේ අරගලයට අදාලයි.”

ජනතා අවශ්‍යතා සැබෑ ලෙසම නියෝජනය කරන දේශපාලන පක්ෂයක් දැන් අවශ්‍ය බව ඔහු නිගමනය කලේය.

Loading