රාජපක්ෂ ආන්ඩුව ගොවි ජනයා අගාදයටම ඇද දමයි

වසරකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පනවන ලද රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම මගින් ද, මෑත කාලීනව උද්ගත කෙරුනු ඉන්ධන අර්බුදය සහ ඉසිලිය නොහැකි ජීවන බර මගින් ද ගොවියා ගැඹුරුතම අගාදයකට ඇද දමා ඇත.

'හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයක්' ඇති කිරීමට ගත් පියවරක් ලෙස රසායනික පොහොර තහනම පැනවූ බව ජනාධිපති රාජපක්ෂ කියා පෑව ද, එය, රජය සතු විදේශීය මුල්‍ය සංචිත සිඳීයාම හේතුවෙන් ආනයන සීමා කිරීමට ගත් මංමුලාසහගත තීන්දුවකි.

පොහොර සහ කෘෂි රසායන නොමැතිකමෙන් තම වගාවන් කරගත නොහැකි වූ ලක්ෂ සංඛ්‍යාත ගොවියෝ, තම කුඹුරුයාය වල‌ට, යාබද කඩමන්ඩිවල‌‌ට සහ නගරවලට එක්‍රොක්වෙමින් ආන්ඩුවට එරෙහිව විරෝධතා දැක්වූහ. තහනම පැනවූ 2021 මැයි මාසයේ සිට මාස ගනනාවක් අඛන්ඩව මෙම විරෝධතා ඇදී ගිය අතර, දිවයිනේ කොතැනක හෝ විරෝධතාවක් නොපැවති දිනයක් නොවී ය.

නැගෙනහිර කින්නියා පීන්ගාන් උඩයින්ධාරු ගොවියෝ-2021 ජූනි 19

කෝවිඩ් වසංගතයෙන් සහ යුක්‍රේනය මැදිකරගෙන එක්සත් ජනපදය සහ නැටෝ බලයන් ‌රුසියාව‌ට එරෙහිව ගෙනයන යුද්ධයෙන් ගැඹුරු වූ ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ලොවපුරා නිර්මානය කෙරී ඇති, අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස් ඇතුලු භාන්ඩ හිඟය මෙන් ම, මිල ගනන්වල අඛන්ඩ ඉහලයාම ශ්‍රී ලංකාව තුල බලගතු ලෙස ප්‍රකාශයට පත්ව ඇත.

ජනාධිපති රාජපක්ෂ ට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගිය අප්‍රේල් මාසයේ මුල සමස්ත දිවයින අලලාගත් විරෝධතා ව්‍යාපාරයක් ලෙස පුපුරා ගියේ මෙම දුෂ්කර කොන්දේසි වලට එරෙහිව සමුච්ඡය වූ මහජන කෝපයයි. කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් පීඩිත කොටස් සමග ලක්ෂ සංඛ්‍යාත ගොවියෝ ද එය‌ට එක්වූහ.

මහ කන්නයේ අස්වනු අඩකටත් වඩා අඩු විම, ඒ නිසාම ආදායම් අහිමිවීම, අත්‍යවශ්‍ය භාන්ඩ මිල දරාගත නොහැකි වීම, පොහොර, බිත්තර වී සහ වගා කටයුතුවලට වියදම දැරීමට නොහැකිවීම සහ නයගැති බව වැනි ඉතා දුෂ්කර කොන්දේසිවලට විවිධ භෝග වගාවන් හි නිරත මිලියන 2.2ක් වන ගොවි පවුල් මුහුන දී සිටිති.

එලඹෙන යල කන්නය ගැන පුරෝකථනයක යෙදෙන රුහුනු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යා මහාචාර්ය අරුන කුමාර අප්‍රේල් 27 මාධ්‍යට මෙසේ ප්‍රකාශ කලේය: “මෙම යල කන්නයේ වගාව මෙතෙක් ආරම්භ වී නෑ. නමුත් යල කාලය දැනටමත් අවසන් වෙලා. ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ... බිත්තර වී ප්‍රමානවත් ලෙස ලබාගැනීමට නොහැකි වුවහොත්, තත්ත්වය අතිශය බරපතල වෙයි.'

ඉකොනොමි නෙක්ස්ට් වෙත අදහස් දැක්වූ කෘෂි විශේෂඥයින් පිරිසක්, 'ශ්‍රී ලංකාව දශක ගනනකින් එහි නරකම වගාකාලයට මුහුන දී සිටින්නේ එලඹෙන යල කන්නය තුල' බවටත්, ඉදිරි මාසවල ආහාර අර්බුදය වඩාත් උග්‍ර වන බවටත් අනතුරු අඟවා ඇත. රසායනික පොහොර තහනමින් වී නිෂ්පාදනය සියයට 50කින් පමන කඩා වැටී ඇති බව පවසන ඔවුන්, සත්ත්ව ආහාරවලට බහුලව භාවිත කෙරෙන භෝගයක් වන බඩඉරිඟු අස්වැන්න සියයට 70කින් පහත වැටී ඇති බව පෙන්වා දේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හි වාර්තාකරුවෝ , මහියංගනය සහ මින්නේරිය ප්‍රදේශයන්හි ගොවියන් සමග මේ සම්බන්ධව සාකච්ඡා කලහ. පසුගිය මහකන්නය ඔවුන් මුලුමනින් ම අපේක්ෂා භංගත්වයට පත් කල අන්දම ගොවියෝ
කෝපයෙන් විස්තර කලහ.

මින්නේරියේ ගොවිජනපදයේ චාමින්ද කරුනාරත්න(51) මෙසේ කීවේය: “... කරන්න කිසිම දෙයක් දැන් ඉතිරිවෙලා නෑ, හෙක්ටෙයාරයකට බිත්තර වී බුසල් 06ක් ඕනෑ, ඒත් එහෙම වැඩකරන්න වියදම් කරන්න සල්ලි කොහෙන් ද? කැඳ ටිකක් බීලා ජීවත් වෙන්න තමයි බුසලක් දෙකක්, වගා කලේ. හෙක්ටෙයාරයක් සීසෑමට ඉස්සර ගියේ රු.20000 යි. දැන් 40000කට කිට්ටුව යනවා. කෘමිනාශක, දිලීර නාශක ඇතුලු වෙනත් තෙල් වර්ගවලට පහුගිය කාලේ ගියේ රු.11500ක් විතර දැන් යන වියදම රු.50000ටත් වැඩිවෙනවා...”

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ගොවි සංවිධාන සම්බන්ධයෙන් කලකිරී සිටි ඔහු මෙසේ පැවසීය: 'පහුගිය කාලේ අපිත් ජේවිපි ගොවි සංවිධානයේ උද්ඝෝෂනවලට ගියා. බෝඩ් අල්ලන් හිටියට අපිට ලැබුනු දෙයක් නෑ. ජේවීපී, සමගි ජන බලවේගය (සජබ) සහ අනෙකුත් ගොවි සංවිධාන ඇවිත් ආන්ඩුවට බලපෑම් දාන විරෝධතාවලට ගොවීන් සම්බන්ධ කර ගන්නවා. අවුරුදු ගනනක් එවැනි උද්ඝෝෂන වලට අපි සම්බන්ධ වුනා, ඒත් ඒව පල දරන්නෙ නෑ. අපි හෙම්බත් වෙන එක විතරයි වෙන්නෙ.”

'සමාජවාදී සමානතා පක්ෂය කියනව වගේ, මේ පොහොර සහ කෘෂි රසායන නිෂ්පාදනය කරන ෆැක්ටරි, අපේ අස්වැන්න මිලදී ගන්න ආයතන, අපට නය දෙන බැංකු, ධනපති‌යන්ගෙ සහ ධනපති රජය අතේ තියල අපේ ප්‍රශ්න විසඳ ගන්න බැරිබව මේ අත්දැකීම් වලින් හොඳින් පැහැදිලි වෙනව. කම්කරුවන්ගෙ අතට මේවායෙ පාලනය ගත්තොත් විතරයි දුප්පත් ගොවියො වන අපිට සහනයක් ලැබෙන්නෙ කියල මම විශ්වාස කරනව.'

පොහොර සහ කෘෂි රසායනික නිපදවන විදේශීය කම්හල් ද ඒ ඒ රටවල කම්කරු පංති පාලනයට ගැනීමේ අවශ්‍යතාව මෙහිදී ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ. 'සැබැවින්ම මේ ඩොලර් සංචිත ප්‍රශ්නයක් ඇවිල්ල අපේ ජීවිත වලට මේ තරම් බලපායි කියල කවදාවත් අපි හිතුවෙ නෑ. මේ ඔක්කොම දිහා බැලුවම ජාත්‍යන්තර විසඳුමක් අවශ්‍ය බව මට පැහැදිලියි.'

එම ජාත්‍යන්තර විසඳුම ජාත්‍යන්තර සමාජවාදය බව, එනම් ලොවපුරා ඇති නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතුකර මානව අවශ්‍යතා වෙනුවෙන් ආර්ථිකය ගෝලීය පරිමානව ප්‍රතිසංවිධානය කර ගැනීම බව, වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ. මේ සඳහා ගොවියන් කම්කරු පංතිය වෙතට හැරී ඔවුන් සමග එක්ව, ඉහත වැඩපිලිවෙලට සටන් වදින ක්‍රියාකාරී කමිටු ගොඩ නැගියයුතු බවත් එහිදී පැහැදිලි කෙරින.

මහියංගනයේ, ගින්නෝරුව ප්‍රදේශයේ ගොවියකු වන ටී.එම්.කරුනාරත්න ද සිටියේ “ ගොවියෝ ආන්ඩුවට එරෙහිව නැගී සිටියත්, ගොවි සංවිධාන ඇවිත් බෝඩ් ලෑල්ලක් අතට දී කොහේ හරි කෑගහන්න සලස්වලා ඔවුන්ගෙ කැකෑරෙන විරෝධය වාෂ්පකර දමන' බවයි.

හෙබරව තරුන ගොවියකු වන වසන්ත සරත් කුමාර මෙසේ පැවසීය: “අද (06) කුඹුරුවැඩ අවසන් කරනවා. හරියට වතුරටික, පොහොර ටික ලැබුනෙ නෑ ඔහේ වැඩ කලා. අපි මේ තත්ත්වයට දාපු දේශපාලකයෝ ගැන කතාකරන්න දෙයක් නෑ” යනුවෙන් කියා සිටි ඔහු,ආන්ඩුවෙන් බෙදාහල ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර නිසා පනුවෙකු බෝවී වගා පාලු වී යන බව පෙන්වා දුනි.

ගොවි සංවිධාන ගැන කතා කරමින් වසන්ත මෙසේ කීවේය: 'ඒ අය මාධ්‍ය සංදර්ශන සඳහා ගොවීන් හමුවට එනව. පසුගිය කාලේ ගොවියෝ ඉන්නව ද? නැද්ද කියලා නෑ, බොරු කාරයෝ. අපි සජිත් (ප්‍රේමදාස) හරි, අනුර (දිසානායක) හරි, යමක් කරයි කියලා හිතුව. දැන් ඒ සියල්ල අවසන්.'

ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා තුල ගොවියන්ගේ කෝපය දියකරලීමේ ලා පෙරමුනගත් ජවිපෙ ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ ද, සර්වපාක්ෂික හෝ අන්තර්වාර ආන්ඩු ඇටවීමට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටිති. මෙම සියලු ආන්ඩු වල කර්තව්‍යය වනුයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු ප්‍රහාරයන් ඉදිරියට ගෙන යාමයි.

බදු වැඩි කිරීම, නය පොලී අනුපාත ඉහල දැමීම සහ රාජ්‍ය වියදම් කප්පාදු ඇතුලු පියවර හරහා ආන්ඩුව දැනටමත් අරඹා ඇති මෙම ප්‍රහාර හේතුවෙන් ගොවි ජනතාව ද ඇතුලු කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසි මුලුමනින්ම විනාශ වෙමින් පවතී. ඉහත පක්ෂ සහ සංවිධාන ඝෘජුවම එම ප්‍රහාර වලට සහයෝගය දෙති. කම්කරුවන් මෙන්ම, පීඩිත ගොවීන් ද මෙම පක්ෂ සහ සංවිධාන වලින් මුලුමනින්ම බිඳී ගත යුතු ය.

අවශ්‍ය වන්නේ, කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය මැයි 31 දා නිකුත් කල ප්‍රකාශයේ සඳහන් වන පරිදි, 'සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු ඉල්ලීම් එපා!' සහ 'බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය අත්පත් කර ගනු! ග්‍රාමීය හා නාගරික පීඩිතයින්, දිලිඳු ගොවීන්, ධීවරයන් සහ කුඩා ව්‍යාපාරිකයන්ගේ සියලු නය අහෝසි කරනු! පොහොර සහනාධාර ඇතුලු සියලුම ගොවි සහනාධාර නැවත ලබා දෙනු!' යන ඉල්ලීම් ඇතුලු සංක්‍රමන ඉල්ලීම් සාක්ෂාත් කෙරෙන, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ගොවීන් කම්කරුවන් සමග සන්ධානගතව සටන් වැදීමයි.

Loading