වසංගතය, ධනවාදයේ ගෝලීය අර්බුදය, පන්ති අරගලයේ පුනර්ජීවනය හා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) කර්තව්‍යයෝ - තුන්වන කොටස

මෙය, 2022 මැයි 14-16 දක්වා අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තුන්වන ජාතික සම්මේලනය විසින් ඒකමතිකව සම්මත කරන ලද ප්‍රධාන යෝජනාවේ තුන්වන සහ අවසාන කොටසයි.

සසප සම්මේලනය “රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීම හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” යන හිසින් යුත් හදිසි යෝජනාව ද සම්මත කලේය.

[පලමු කොටස ]

[දෙවන කොටස]

සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

57. සසප ක්‍රියාමාර්ගය පදනම් වන්නේ, 1905 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් පලමු වරට සූත්‍රගත කරන ලද නො නවතින විප්ලව න්‍යායය මත යි. 1917 ඔක්තෝබර් විප්ලවයේ දී රුසියානු නිර්ධන පන්තිය ජයග්‍රහනය කරා සාර්ථක ව මෙහෙයවූ මෙම ක්‍රියාමාර්ගය ස්ථාපිත කෙරුනේ, ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ජාතික ධනේශ්වරයට මූලික ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් හා මහජනතාවගේ සමාජ අභිලාෂයන් ඉටුකල නො හැකි බව පිලිගැනීම මතය. මෙම රටවල ධනේශ්වරය එක් අතකින් අධිරාජ්‍යවාදයට ගැටගැසී සිටින අතර, අනෙක් අතින් විප්ලවවාදී කම්කරු පන්තිය පිලිබඳ භීතියෙන් පසුවෙයි. එක්සත් වූ කම්කරු පන්තියට පමනක් ම, දුගී ගොවීන්ට හා පීඩිත මහජනයාට නායකත්වය දෙමින්, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස නිර්ධන පන්තියේ ආඥාදායකත්වය ස්ථාපිත කොට, මෙම ඓතිහාසික කර්තව්‍යයන්ට ආමන්ත්‍රනය කල හැක.

58. දකුනු ආසියාව තුල කටුක මූලෝපායික අත්දැකීම, නො නවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදීමේ තීරනාත්මක වැදගත්කම අවධාරනය කරයි. බ්‍රිතාන්ය අධිරාජ්‍යවාදය හා ජාතික ධනේශ්වරයන් විසින් දකුනු ආසියාව ඉන්දියාව, පකිස්තානය හා ශ්‍රී ලංකාව ලෙස වෙනස් රාජ්‍යයන්ට බෙදීම, වාර්ගික හා ආගමික ගිනි කටාරමක් නිර්මානය කර ඇත.

හතරවැනි ජාත්‍යන්තරයේ ඉන්දියානු ශාඛාව වූ ඉන්දියානු බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි), ගොවි ජනයාට සහ අනෙකුත් පීඩිතයන්ට නායකත්වය දෙමින් කම්කරු පන්තියේ එක්සත් අරගලයක ඉදිරි දර්ශනය සඳහා, පලමුව බ්‍රිතාන්‍ය යටතේ සහ නිදහසෙන් පසුව එහි විවිධ සේවාදායකයන්ගේ නායකත්වයෙන් කලාපය පුරා පැවති ධනපති පාලනයට එරෙහිව, සමාජවාදයේ ධජය යටතේ සටන් වැදුනේ ය. කෙසේ නමුත්, බීඑල්පීඅයි පසුව, මයිකල් පැබ්ලෝගේ සහ අර්නස්ට් මැන්ඩල්ගේ නායකත්වයෙන් සහ දිරිගැන්වීමෙන් හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගයට එල්ල කෙරුනු දියකරහැරීම්වාදී ප්‍රහාරයේ කොටසක් ලෙස, පශ්චාත් යුද සමථයේ අංගයක් ලෙස ඇටවූ රාජ්‍ය ව්‍යූහයන්ට අනුගත විය. එය 1951 දී, ජාතිකව-දිශාගත ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සමග අවස්ථාවාදීව එක්වූයේ, බීඑල්පීඅයි වෙතින් ලසසප බෙදීමට තුඩුදුන් කවර හෝ මතභේදයක් පැහැදිලි කර ගැනීමෙන් තොරව ය. “එක්සත්” ලසසප ක්‍රමානුකූලව ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම අත්හැර දැමීය. පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයට එරෙහිව 1953 දී හජාජාක ගත් ආස්ථානයට එරෙහි වූ ලසසප සිංහල ජනතාවාදයට අනුගත ව, අවසානයේ 1964 දී ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් බන්ඩාරනායක මැතිනියගේ සභාග ආන්ඩුවට ඇතුලු වී “මහා පාවා දීම” සිදු කලේය. 

විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය 1970 මුලදී විකොස රැස්වීමක් අමතමින්. ඛේදජනක ලෙස බාලසූරිය සහෝදරයා 1987 දී මිය ගියේ යන්තම් වයස අවුරුදු 39 දී ය.

පැබ්ලෝවාදයට එරෙහි ව හජාජාක ගෙන ගිය අරගලයේ පදනම මත, 1968 දී සසප පූර්වගාමියා වූ විකොස පිහිටුවන ලදී. සිය  සමස්ත ඉතිහාසය පුරා විකොස/සසප අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු විසින් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කල ප්‍රහාරවලට විරුද්ධ ව සටන් කිරීම පිනිස කම්කරුවන් වාර්ගික බෙදීම් කපා එක්සත් කිරීම සඳහා සිංහල ස්වෝත්තමවාදයට එරෙහිව සටන් කරන අතර යුද්ධයට විරුද්ධ වී, උතුරින් හා නැගෙනහිරින් ශ්‍රී ලංකාවේ හමුදාවන් කොන්දේසි විරහිත ව ආපසු කැඳවන ලෙස බල කලේය. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර  සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන සසප ක්‍රියාමාර්ගය, නො නවතින විප්ලවයේ මෙම සාරභූත ඉදිරි දර්ශනයෙන් ගලා එයි.

59. වසංගතය ආර්ථික හා දේශපාලන අර්බුදය ගැඹුරු කර තිබෙන තතු තුල හා වාර්ගික රේඛා කපාගෙන කම්කරුවන් අරගලවලට එලැඹෙන්නා වූ තතු තුල, පාලක පක්ෂය, විපක්ෂය හා ඔවුන්ගේ ස්වෝත්තමවාදී සගයන් දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී බෙදීම් ඇවිලවීම අරඹා ඇත. කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවේ පදනම මත, ආන්ඩුව හා පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම විසින් අවුලුවන සකලාකාර ජාතිකවාදයන්ට, ප්‍රජාගනවාදයන්ට හා ස්වෝත්තමවාදයන්ට එරෙහි ව සසප ශක්තිමත් ව සටන් කල යුතු ය.

60. කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීමට පක්ෂයට හැකි වන්නේ, හජාජාක ගෙන ගිය අරගලය තුල සංකේන්ද්‍රිත ව තිබෙන පසුගිය ශතවර්ෂයේ මූලෝපායික අත්දැකීම මත, එය මුලුමනින් ම සන්නද්ධ කිරීමෙන්  පමනි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මෙම කර්තව්‍යය විදාරනය කරමින්, 2019 සසප (එක්සත් ජනපද) ගිම්හාන පාසලේ දී ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේ ය: “තීව්‍ර වෙමින් පවතින දේශපාලනික අභියෝගයන්ට මුහුන දීම සඳහා සමස්තයක් ලෙස පක්ෂයේ -පැරනි හා තරුන යන සාමාජික දෙගොල්ලන්ගේ ම- න්‍යායික මට්ටම ඉහල නංවන දේශපාලන වර්ධනයට, වර්තමානයේ, සාරභූත අන්තර්ගතය සමන්විත කරන අද්‍යතන වර්ධනයන් හා ඓතිහාසික ක්‍රියා දාමයන් හඳුනා ගැනීමටත්, විවේචනාත්මක ව විශ්ලේෂනය කිරීමටත්, තීව්‍රතර නිමග්න වීමක අන්තර්ක්‍රියාව අවශ්‍ය වේ.” පක්ෂයේ කේඩරයන් හා පක්ෂයට ආකර්ශනය වන්නන්ගේ න්‍යායික මට්ටම ඉහල දමමින් මෙම කර්තව්‍යය සූදානම් කිරීමට, ශ්‍රී ලංකාවේ සසප ක්‍රමානුකූල හා මනාව විස්තාරනය කරනු ලබන අධ්‍යාපනික වැඩපිලිවෙලක් දියත් කරනු ඇත.

61. ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කරමින් හා ජාතික අවස්ථාවාදය වැලඳ ගනිමින් පැබ්ලෝවාදයට යටත් වූ බ්‍රිතාන්‍යයේ භ්‍රෂ්ට කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් 1985-1986 සමයේ හජාජාක බිඳී වෙන්වීම ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ වැදගත් සැතපුම් කනුවකි. හජාජාක ට්‍රොට්ස්කිවාදීහු සම්මතධාරී මාක්ස්වාදය ආරක්ෂා කිරීමටත්, එලඹෙන කාලපරිච්ඡේදයට ව්‍යාපාරය සූදානම් කිරීමටත් සමත් වූ හ. 1995 සිට විකොස සසප බවට පරිවර්තනය කිරීම ඇතුලු ජාක ශාඛාවන් ලීගයන්ගේ සිට පක්ෂ බවට පරිවර්තනය කිරීම සහ 1998 දී හජාජාක ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රකාශන මාධ්‍යය ලෙස ලෝසවෙඅ දියත් කිරීම මෙම අරගලයේ වැදගත් ජයග්‍රහනයන් වේ.

62. පසුගිය වසරේ ඔක්තෝබර් 2දා ලෝසවෙඅ යලි දියත් කිරීම සසප සාදරයෙන් පිලිගනී. 1998 දී ආරම්භ කල තැන් පටන් හජාජාක ශාඛාවන්ගේ වැඩකටයුතු ඒකාග්‍ර කිරීමටත්, මාක්ස්වාදයෙන් කම්කරුවන් හා තරුනයන් පරම්පරාවක් උගන්වා ගැනීමටත්, ලෝසවෙඅ බරපතල ලෙස උදවු විය. පූර්ව-විප්ලවවාදී තත්ත්වයක දිගහැරීම සමගින් වර්ධනය වන අරගලයන් තුලට අතීත පාඩම් ගෙන ඒමටත්, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමටත්, මෙම යලි දියත් කිරීම වාහකයක් වනු ඇත. කාලීන ලිපි හා විශ්ලේෂන පල කරමින්, ඉංග්‍රීසි වෙබ් අඩවියට ලිවීමට අමතර ව ලෝසවෙඅ සිංහල හා දෙමල භාෂා අංශ වර්ධනය කිරීමට ද, සසප මූලිකත්වය ගත යුතු ය.

63. සසප අරගලයේ වැදගත් අංශයක් වන්නේ කලාව හා සංස්කෘතිය ක්ෂේත්‍ර තුල මැදිහත් වීමයි. කලාවට හා සංස්කෘතියට සම්බන්ධ ප්‍රශ්න පිලිබඳ ව ලෝසවෙඅට ලිපි ලිවීම හා විවාද තුල නිරත වීම ක්‍රමානුකූල ව වර්ධනය කල යුතු ය. ලේඛකයන් හා කලාකරුවන් සිරගත කිරීම ඇතුලු රාජ්‍යයේ හා ප්‍රතිගාමී ස්වෝත්තමවාදී බලවේගයන්ගේ ප්‍රහාරවලින්, ප්‍රකාශනයේ හා කලාවේ නිදහස ආරක්ෂා කිරීමට සසප ආරම්භ කල ක්‍රියාකාරී කමිටුවේ වැඩකටයුතු ප්‍රසාරනය කිරීම ද තීරනාත්මක ව වැදගත් ය. 

64. පසුගිය ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදියා වන ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ දී, ජීපීයූ ඒජන්ත රේමන් මර්කාඩර්ට සහයෝගය දෙමින් ජීපීයූ ඒජන්ත  සිල්වියා ඇජිලොෆ් ඉටුකල භූමිකාව මෑත හෙලිදරවු කිරීම්, ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය නමැති හජාජාක විමර්ශනයේ වැදගත් ජයග්‍රහනයකි. ගෝලීය ධනවාදය පෙර නුවූ විරූ අර්බුදයකට මුහුන දෙද්දී හා කම්කරු පන්තිය පූර්ව-විප්ලවවාදී කාලපරිච්ඡේදයක් හරහා ගමන් කරමින් සිටිද්දී, පාලක පන්තිය, රාජ්‍යය හා එහි ඒජන්තයන් ව්‍යාපාරයේ අරගලය කඩාකප්පල් කිරීම පිනිස එයට විනිවිදීමට උත්සාහ කල හැකි ය. ට්‍රොට්ස්කි ඝාතනය සහ ස්ටැලින්වාදයේ හා ජීපීයූ ඒජන්තයන්ගේ පැබ්ලෝවාදී දේශපාලන ක්ෂමාලාපකයන්ගේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව පිලිබඳ ව මෙම විමර්ශනය තුලින් හෙලිදරවු කරගත් ඓතිහාසික පාඩම්වල ධනස්කන්ධය, ට්‍රොට්ස්කිවාදී කේඩරය පුහුනු කරගැනීමට යෝධ ඥානයක් සම්පාදනය කරනු ඇත.

65. ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ කම්කරුවන් හා තරුනයන්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා බලමුලුගැන්වීම, සසප ප්‍රධාන කර්තව්‍යයක් ලෙස ගනී. චීනයට එරෙහි ව එක්සත් ජනපදයේ මිලිටරි-මූලෝපායික සූදානම්වීම හා එම මූලෝපායික මෙහෙයුමේ ප්‍රධාන සගයා ලෙස ඉන්දියාව ඇතුලත් කරගැනීම ද, එය සමග දකුනු ආසියාවේ පාලන තන්ත්‍ර පෙලගස්වා ගැනීමට පීඩනය යෙදීම ද මෙම සටනේ හදිසි අවශ්‍යතාව අවධාරනය කරයි.

66. පසුගිය වසර ආරම්භයේ දී, හජාජාක හා ලෝසවෙඅ අප දැන් පසුකරමින් සිටින කාලපරිච්ඡේදය “සමාජවාදී විප්ලවයේ දශකය” ලෙස ගුනාංගීකරනය කල හ. ඉන් මාසයක් ඇතුලත, ලෝක අර්බුදය ගැඹුරු කරමින් ගෝලීය වසංගතය පුපුරා ගියේ, කම්කරු පන්තියේ මහා අරගලවල කාලපරිච්ඡේදයක් ආරම්භ කරමින් හා ජාත්‍යන්තර ව සමාජවාදයේ ක්‍රියාමාර්ගය සඳහා සටනට නව අවස්ථාවන් විවෘත කරමිනි. කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා පීඩිතයන්ගේ සෑම අරගලයක් තුල ම සසප ක්‍රියාශීලී මැදිහත් වීමේ අවශ්‍යතාව මෙමගින් ඉල්ලා සිටියි. ලෝසවෙඅ ඉදිරි දර්ශනය විග්‍රහ කල දෙය අප සිත්හි තබා ගත යුතු ය:

“විප්ලවවාදී පක්ෂයේ මැදිහත්වීමෙහි බලපෑම ඉවත ලමින් වෛෂයික තත්ත්වය පිලිබඳ තක්සේරුවක් කිරීම හා දේශපාලනික ශක්‍යතා පිලිබඳ යතාර්ථවාදී ගනන් බැලීමක් කිරීම, මාක්ස්වාදයට අත්‍යන්තයෙන් ම ආගන්තුක ය. සිද්ධීන් පිලිබඳ ව හුදෙක් අදහස් දැක්වීම පමනක් නො කරන මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය, එය විශ්ලේෂනය කරන සිද්ධීන්ට මැදිහත් වෙමින්, කම්කරු බලය හා සමාජවාදය සඳහා අරගලයට එහි නායකත්වය දෙමින් ලෝකය වෙනස් කිරීමට උත්සාහ දරයි (සසප [එක්සත් ජනපදය]) “පන්ති අරගලයේ පුනර්ජීවනය සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ - ” නමැති 2018 ඉදිරි දර්ශනයෙන් උපුටා ගන්නා ලදී.)

67. කම්කරුවන්ගේ අරගල සුලු කොට තකමින් පක්ෂය තුල දේශපාලනික අක්‍රීයභාවයට හෝ උදාසීනත්වයට ඉඩක් නැත. පන්ති අරගලයේ කේන්ද්‍රීය වැදගත්කම පක්ෂය විසින් අවබෝධ කරගත යුතු ය. එහි කේඩරය හා සෑම උපකරනයක් ම, කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමේ දේශපාලන හා න්‍යායික අරගලය තුල නිමග්න විය යුතු ය. පසුගිය අගෝස්තුවේ පැවති සසප (එක්සත් ජනපද) ගිම්හාන පාසලේ දී, පක්ෂයේ මැදිහත්වීමෙහි තීරනාත්මක භාවය නෝර්ත් මෙසේ විස්තර කලේ ය:

“අසමසම අවස්ථාවන් සම්පාදනය කරමින් වෛෂයික කොන්දේසි වෙනස් වෙමින් පවතින බව අපට ඉතා පැහැදිලි ව දැකගත හැක. සෑම දෙයක් ම රඳා පවතින්නේ අප මෙම අවස්ථාවන් උපයෝගී කරගන්නේ කෙසේ ද යන්න මත ය. පසුගිය වසර දෙක තුල පවා, ක්ෂනික දේශපාලනික ප්‍රතිචාරයක් මත සාර්ථකත්වය රඳා පැවතුනු බොහෝ සිද්ධීන් පවතී. අප මෙම අවස්ථාවන් හඳුනාගැනීම සත්‍ය වසයෙන් ම ගැඹුරු ඓතිහාසික අවබෝධයක් මත රඳා පැවතුනි. එහෙත්, වෛෂයික තත්ත්වයේ විභවය යතාවත් කරගැනීමට පක්ෂය ක්‍රියාත්මක වීම හා තීරනාත්මක ව ක්‍රියා කිරීම අවශ්‍ය කරයි.”

සසප විසින් ආරම්භ කරන ලද ග්ලෙනුගි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවනු ලැබූ අප්‍රේල් 5 වැඩවර්ජනය සහ පෙලපාලිය අතරතුර, ග්‍රාමීය දුගීන් සමග සන්ධානගතව කම්කරු ආන්ඩුවක් ඉල්ලා සිටින වතු කම්කරුවෝ පුවරු අතැතිව සිටිති. [ඡායාරූපය: WSWS]

68. පන්ති අරගල තුල මැදිහත්වීමේ දී, වැඩපොලවල හා කම්කරු පන්තික නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තීරනාත්මක ය. වෘත්තීය සමිති ඇතුලු පැරනි සංවිධාන, රාජ්‍යයේ, සමාගම්වල හා මූල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්තයන් බවට පත් වී ඇත්තේ, කම්කරුවන් අසීරුවෙන් දිනාගත් අයිතීන් ආපසු උදුරා ගැනීමට ඔවුන්ට සහයෝගය දෙමිනි. වතු හා සෞඛ්‍ය කම්කරුවන් සහ ගුරුවරුන් අතර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ එවන් ආරම්භකත්වයන් සසප ගත් අතර, එම කමිටු සැලකිය යුතු සහයෝගයක් දිනාගෙන තිබේ. සෑම වැඩපොලක ම හා කම්කරු පන්තියේ මූලික කොටස් අතර මෙම ආරම්භකත්වය ගැනීම පක්ෂය විසින් බලගතුව දියත් කල යුතු ය. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ අරගල, වර්ධනයන වන ජාත්‍යන්තර පන්ති අරගලවල කොටසක් වන අතර, ඔවුහු පොදු ගැටලුවලට මුහුන දෙමින් සිටිති. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරයට එරෙහි ව ඕනෑ ම සාර්ථක අරගලයක් දියත් කල හැක්කේ, ඔවුන්ගේ සටන ජාත්‍යන්තර ව දියත් කිරීමෙන් පමනි. හජාජාක දියත් කර තිබෙන ක්‍රිකජාස ධජය යටතේ, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප එහි සහෝදර පක්ෂ සමග ශක්තිමත් ව සටන් කල යුතු ය. 

69. සෞඛ්‍ය, අධ්‍යාපන, සංක්‍රමනික හා ඇඟලුම් කම්කරුවන් අතර ලෝසවෙඅ සසප පනිවුඩ නමින් ප්‍රකාශන දියත් කිරීමට සසප ගත් තීරනය වැදගත් ආරම්භකත්වයකි. ජාත්‍යන්තර වර්ධනයන් හා සමාජවාදය සඳහා අරගලය පිලිබඳ අවබෝධය ප්‍රවර්ධනය කරමින් හා ලෝසවෙඅ බලපෑම කම්කරුවන් තුලට ගෙන එමින් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එම සසප පනිවුඩ උදවු වනු ඇත. කම්කරුවන්ගේ අදාල කොටස්වල වැඩෙන උනන්දුව හා ඔවුන් සසප පනිවුඩ වලට දායක වීම, පක්ෂයට පවතින ඉමහත් අවස්ථාවන් පෙන්නුම් කරයි.

70.    කම්කරු පන්තිය තුල සංක්‍රමන ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ඔවුන් විප්ලවවාදී ඉදිරි දර්ශනයට දිනාගැනීමේ දී වැදගත් වේ. අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ එපා; රැකියා අහිමිවීම්වලට සම්පූර්න වන්දි ගෙවනු; පැය 8 වැඩ දිනය අවලංගු නොකරනු හා ඉහල යන උද්ධමනය පූරනය කිරීමට අනුක්‍රම වැටුප් පරිමානයක් වැනි ඉල්ලීම් ඉදිරියට දැමිය යුතු ය.

71. ආඥාදායක සූදානම්වීම්වලට, ව්‍යවස්ථාව යලි ලිවීමට හා කුනු වූ පාර්ලිමේන්තුව ප්‍රකෘතිමත් කිරීමේ මිථ්‍යාවට විරුද්ධ ව, මහජනයා විසින් ඍජු ව තෝරාපත් කරනු ලබන ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් සඳහා වන ඉල්ලීම සසප ඉදිරිපත් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු “ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක්” ලෙස වාඩිවීම, ව්‍යාජයක් මෙන්ම මහජනයාට එරෙහි කුමන්ත්‍රනයකි.  ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් සඳහා වන ඉල්ලීම සඳහා සටන් කල යුත්තේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස පමනි. සමාජවාදය සඳහා අරගලයෙන් තොර ව, කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් දිනාගනු ලැබිය නො හැක.

72. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ගොඩනැගීමේ අරගලය, කම්කරු පන්තිය තුල සසප ආරම්භකත්වයේ දී හා පක්ෂය ගොඩනැගීමේ දී කේන්ද්‍රීය විය යුතු ය. තරුනයන් පාලක පන්තියේ හා ආන්ඩුවේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් ව ඇත. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා ගුරුවරුන් මෙන් ම අනධ්‍යයන කාර්ය මන්ඩල ද මැඩීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය බුද්ධි සේවාවේ (එස්අයිඑස්) ඒජන්තයන් ව විශ්ව විද්‍යාල තුලට යැවීමට නියෝග කර තිබේ. ආන්ඩුව තරුනයන් සඳහා සන්නද්ධ හමුදා යටතේ අනිවාර්ය මිලිටරි පුහුනුවට තල්ලුව දෙන්නේ ඔවුන් ව පැරාමිලිටරි කන්ඩායම් ලෙස යොදාගැනීමේ අටියෙනි. මහ ව්‍යාපාරිකයට ශ්‍රමය සැපයීමට සුදුසු ලෙස හා ප්‍රතිගාමී සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය ප්‍රචාරනය කිරීම පිනිස පාසල් විෂය නිර්දේශ වෙනස් කරනු ලැබෙමින් පවතී. අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීම ආන්ඩුව විසින් ඉදිරියට දමනු ලැබ ඇත. පෙසප පාලනය කරන අවිශිබම, ශිෂ්‍යයන් අතර විරුද්ධත්වය අපසරනය කිරීමට හා ඔවුන් කම්කරු පන්තියෙන් ඉවතට හැරවීමට විරෝධතා තීව්‍ර කර තිබේ. විරැකියාවට හා දරිද්‍රතාවට මුහුන දෙමින් සිටින ගම්බද තරුනයන් අතර යලි වතාවක් නොසන්සුන්තාව වර්ධනය වෙමින් පවතී. නිදහස් වෙලඳ කලාප හා අවිධිමත් අංශ තුල කම්කරු පන්තියෙන් වඩාත් ම ම්ලේච්ඡ ලෙස සූරාකෑවෙන කොටස වන්නේ තරුන කම්කරුවන් ය. තරුනයන්ට එරෙහි ප්‍රහාරවලට විරුද්ධ ව ශක්තිමත් ව අරගල කල යුතු සසජාතශි, විප්ලවීය මාක්ස්වාදී පිලිවෙත්වලට ශිෂ්‍යයන් හා තරුනයන් දිනාගැනීමට සටන් කල යුතු ය. විශ්ව විද්‍යාල තුල පශ්චාත්-නූතනවාදය වැනි ප්‍රති-මාක්ස්වාදී න්‍යායයන් හෙලිදරවු කිරීමේ දෘෂ්ටිවාදාත්මක අරගලය, පක්ෂයට ශිෂ්‍යයන් දිනාගැනීමේ දී වැදගත් භූමිකාවක් ඉටුකරනු ඇත.

73. මෙම සියලු කර්තව්‍යයන් කේන්ද්‍රගත වන්නේ, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීම වටා ය. මෙම අරගලය ගෙන යා හැක්කේ, පක්ෂයේ කේඩරයන් මාක්ස්වාදීන් ලෙස අධ්‍යාපනගත කිරීමෙන් සහ හජාජාක තුල මූර්තිමත් ව පවතින මාක්ස්වාදී ව්‍යාපාරයේ ඓතිහාසික හා මූලෝපායික පාඩම් වලින් ඔවුන් පුබුදුවාලීමෙන් පමනි. සටන්කාමීත්වය හා ධෛර්යය පමනක් ප්‍රමානවත් නො වේ. සමාජවාදී විප්ලවය යනු කර්තව්‍යයකි. එය සාර්ථක ව ගෙන යා හැක්කේ මාක්ස්වාදී පක්ෂයක නායකත්වය යටතේ පමනි - එය සසප යි.

සමාප්තයි

Loading