පොලීසිය ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් 21ක් අත්අඩංගුවට ගනී

(මෙහි පලවන්නේ Sri Lankan police arrest 21 anti-government protesters මැයෙන් 2022 ජුනි 21දා පලවූ ලිපියේ පරිවර්තනයයි.)

කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලු ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටි මහා භාන්ඩාගාර කාර්යාලයට ඇතුලුවන දොරටුව අවහිර කලේ යයි චෝදනා කරමින්, පොලීසිය සඳුදා උදෑසන ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.

දැඩි ලෙස සන්නද්ධ වුනු පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිය ගනනක්, එම කාර්යාලය වටා පිහිටි ප්‍රදේශය වටකොට, පිරිමි විරෝධතාකරුවන් 16ක් හා කාන්තා විරෝධතාකාරියන් 5ක් අත්අඩංගුවට ගෙන බස් රථවලට පැටවූ හ. ඔවුන් ව පෑලියගොඩ පොලිස් ස්ථානයට ගෙන යනු ලැබිනි. පොලීසිය දැඩි ලෙස උද්ඝෝෂනකරුවන්ට අඩන්තේට්ටම් කිරීම වීඩියෝ පට වලින් වාර්තා කෙරුනි.

-2022 ජුනි 20දා ගාලු මුවදොර විරෝධතාවට පහර දීම සඳහා බස්සවන ලද විශේෂ කාර්ය බලකායේ කැරලි මර්දන පොලීසිය (ඡායාරූපය සුදු ඇඳගෙන කලු ඇවිදින් විසිනි/ ෆේස්බුක්) [Photo: Sudu Andagena Kalu Avidin/Facebook]

අත්අඩංගුවට පත් වූවන් අප්‍රේල් මුල සිට ගාලු මුවදොර පිටියේ ආන්ඩු-විරෝධී වාඩිලාගැනීමේ නිරත ව සිටින කන්ඩායමේ කොටසකි. මෙම අඛන්ඩ විරෝධතා පවත්වනු ලබන්නේ, ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත්, ආහාර, ඖෂධ හා ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අහස උසට නගින මිල ගනන් හා දීර්ඝ විදුලි කප්පාදු අවසන් කරන ලෙසත් බලකිරීම සඳහා ය.

දස දිනක සාකච්චා සඳහා පැමින සිටින ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝජිත කන්ඩායමක් සමග රැස්වීමකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා පවා සහභාගි වීම වැලක්වූයේ යයි පොලීසිය විරෝධතාකරුවන්ට චෝදනා කලේ ය. විරෝධතාව “අයුතු ජනරාශියක්” වන නිසා ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය කියා සිටියේ ය.

පොලීසිය වෙත ප්‍රකාශ ලබා දී, මහෙස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව, රුපියල් 500,000ක ශරීර ඇප මත අත්අඩංගුවට ගත් අය නිදහස් කෙරුනි. “අයුතු ජනරාශිය” හා “අත්‍යවශ්‍ය රාජකාරිවලට බාධා කිරීම” යන චෝදනා ඔවුන්ට විරුද්ධ ව ඉදිරිපත් කල හැකි ය. ඔවුන්ගේ නඩු යලිත් ජූලි 22දා උසාවියේ දී විභාග කරනු ඇත.

දවස් හතරකට පෙර, පොලීසියේ ඉල්ලීමක් අනුව, ගාලු මුවදොර විරෝධතාවේ පුද්ගලයින් නව දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස, කොලඹ මහේස්ත්‍රාත්වරයෙක් නියෝග කලේ ය. ඔවුන් නම්, රතිඳු සේනාරත්න, වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, ජගත් මනුවර්න, ධම්මික මුනසිංහ, එරංග ගුනසේකර, ජෙහාන් අප්පුහාමි සහ බෞද්ධ භික්ෂූන් වන රත්කරව්වේ ජිනරතන හා ගල්වැව සිරිධම්ම යන අයයි.

ලහිරු වීරසේකර යනු ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙක් වන අතර, වසන්ත මුදලිගේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) සභාපති ය. එරංග ගුනසේකර යනු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන සමාජවාදී තරුන සංගමයේ කැඳවුම්කරුවා ය.

ජුනි 9දා කොලඹ පොලිස් මූලස්ථානය අසල සහ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිටත “ප්‍රචන්ඩ” විරෝධතා ක්‍රියාවල යෙදීම ගැන ඔවුන් සියලු දෙනාට චෝදනා නගනු ලැබිනි. මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර, කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහි ව ආන්ඩුව සූදානම් කරන පලල් කඩාපැනීමක කොටසකි.

පසුගිය මාසය පුරා, ප්‍රචන්ඩ ක්‍රියාවල නිරත වීම පිලිබඳ චෝදනා නගමින්, පොලීසිය රට පුරා පුද්ගලයින් 1,808ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පුද්ගලයින් 780ක් පමන බන්ධනාගාරගත කරනු ලැබ තිබේ. (බලන්න: “පොලීසිය ආන්ඩු-විරෝධී ක්‍රියාධරයන්ට එරෙහි දඩයම තීව්‍ර කරයි”).

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය සඳුදා සිදුකල පොලිස් අත්අඩංගුවට ගැනීම් හා ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් දඩයම් කිරීම හෙලාදකී.

ඒ අතර ම, ගාලු මුවදොර පිටියේ විරෝධතාවන් වල මූලිකත්වය ගෙන සිටින ජවිපෙ, පෙසප, අවිශිබම හා අනෙකුත් මධ්‍යම පන්තික කන්ඩායම්වල දේශපාලනයට, සසප හා සසජාතශි කිසිදු අයුරකින් සහයෝගය නො දෙන බව ප්‍රකාශ කල යුතු ය.

ඊයේ පැවති මාධ්‍ය හමුවක දී, විරෝධතාකරුවන්ගේ ප්‍රකාශකයෙක් අත්අඩංගුවට ගැනීම් හෙලාදුටුවේ, එදින සාකච්ඡා සඳහා ජාමූඅ කන්ඩායම භාන්ඩාගාරය වෙත පැමිනෙන බව නො දැන සිටියේ යයි සඳහන් කරමිනි.

“අපිට කිසි කෙනෙක් දැනුම් දුන්නේ නැහැ. ජාමූඅ කන්ඩායම එන බව දැන සිටියේ නම්, ඔවුන්ට සැලුයුට් කරල අපි ඉවත් ව යනවා. රට අරාජික වීමක් අපිට අවශ්‍ය නැහැ” යි ඔහු කීවේ ය.

විසින් පසුව නිකුත් කරන ලද ප්‍රකාශයකින් විරෝධතාකරුවන් සඳහන් කලේ තම උද්ඝෝෂනය ජාමූඅට එරෙහි ව එල්ල කල එකක් නොවූ බවයි. චේතනාන්විතවම ජාමූඅ වෙත යාම ප්‍රමාද කල ආන්ඩුව, දැන් විරෝධතාකරුවන්ට වරද පැටවීමට උත්සාහ දරන බව එය තව දුරටත් කීවේ ය.

මෙම ප්‍රකාශවලින් යලිත් පෙන්නුම් කෙරන්නේ, “ගෝඨා ගෝගම” විරෝධතාකරුවන්ගේ එකම අවශ්‍යතාව, ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව ඉවත් කර, ජාමූඅ විධානය කරන කප්පාදු පියවරයන් ඒ තරම් ම රුදුරු ලෙස පටවන, වෙනත් ධනපති ආන්ඩුවකට පාර කැපීම බව යි. සමගි ජන බලවේගය (සජබ) හා ජවිපෙ යන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ මෙන් ම පෙසපහි ද දේශපාලනික න්‍යාය පත්‍රය වන්නේ මෙය යි.

ආන්තික උද්ධමනයේ, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දරුනු හිඟයේ, සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ, ඉහල බදු සහ රාජ්‍ය අංශයේ රැකියා දරුනු කප්පාදුකට සූදානම් වීමේ කොන්දේසි යටතේ, රාජපක්ෂ-වික්‍රමසිංහ පාලනය සමග සාකච්ඡා සඳහා ජාමූඅ කන්ඩායම ලංකාවට පැමින සිටී. මෙම සාකච්ඡාවල අරමුන වන්නේ, මිලියන ගනන් ලාංකිකයන් මුහුන දෙන ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්න විසඳීම නො ව, ආන්ඩුව තව තවත් ව්‍යසනකාරී කප්පාදු පියවරයන් පැටවීමට පියවර ගන්න බව තහවුරු කරගැනීම යි.

කම්කරු පන්තිය හා දුගීන් මුහුන දෙන යෝධ සමාජ ගැටලුවලට ධනවාදය ඇතුලත විසඳුමක් නැත. විසඳුම පවතින්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ද සමාජවාදී පිලිවෙත් ද සඳහා කරන දේශපාලනික අරගලය තුල ය.

ජූලි 3 ඉරිදා සවස 4ට සසප හා සසජාතශි සංවිධානය විසින් පවත්වනු ලබන “ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමේ පාඩම්” නමැති ඔන්ලයින් රැස්වීමේ දී මෙම ක්‍රියා මාර්ගය සාකච්ඡාවට ගැනෙනු ඇත. මෙම තීරනාත්මක රැස්වීමට ලියාපදිංචි වන ලෙසත්, එයට සහභාගි වන ලෙසත් අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

රැස්වීමට ලියාපදිංචිය:

Loading