BA5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය ලංකාව තුල පැතිරීම ගැන වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති

ඔමික්‍රෝන් වෛරසයේ නව ප්‍රභේද වන BA4 සහ BA5 ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් කොවිඩ් ආසාදන රැල්ලක අනතුර මතුකොට ඇත. සෞඛ්‍ය ආරක්ෂන පියවර කිසිවක් නොමැති තතු තුල එම නව ප්‍රභේද ලංකාව තුල නව ආසාදන රැල්ලක් ඇතිකිරීමේ හැකියාව ගැන ලංකාවේ වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

වෛද්‍ය කාර්ය මන්ඩලය නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සුපිරි වෙලඳසැල් රථගාලක ප්‍රජාව වෙනුවෙන් පවත්වාගෙනයන COVID-19 පරීක්ෂන මධ්‍යස්ථානයක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සාප්පු හිමියන් පරීක්ෂා කරයි. (AP Photo/Mark Baker)

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂනවල නියැලුනු වෛද්‍ය චන්දිම ජීවන්දර නව ප්‍රභේදය පිලිබඳව ජූනි 27 වනදා දිවයින පුවත්පතට පැවසුවේ ඕනෑම අවස්ථාවක මෙරටට ද මෙම වයිරස් රෝගය පැමිනිය හැකි බව සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව “අවධානයෙන්” සිටිය යුතු බවයි.

ඊට පෙර දිනයේ ට්විටර් පනිවිඩයක් නිකුත්කල ජීවන්දර, “අප සියල්ලන්ගේ අවධානය වෙනතකට යොමුවෙමින් පැවතුනත්, තවමත් වසංගතය පැතිරෙමින් පවතී” යැයි පැවසීය. BA5 යනු “වසංගතය ආරම්භ වීමෙන් පසුව හමුවූ වඩාත් පැතිරෙන සහ ප්‍රතිශක්තිය ඉක්මවා යා හැකි ප්‍රභේදයයි. එය මෘදු ප්‍රභේදයක් නොවේ” යනුවෙන් ඔහු අනතුරු ඇඟවූයේය.

ජූලි 1 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වෛද්‍ය ජයරුවන් බන්ඩාර කියා සිටියේ, වෙනදා පැවතුනු ආරක්ෂිත ක්‍රියාමාර්ග, කොවිඩ් සම්බන්ධ පරීක්ෂන, කොවිඩ් ආසාදන වාර්තා ඉවතලා ඇති තත්වය තුල මාරාන්තික BA5 ප්‍රභේදය පැමිනියහොත් “කරගන්නම දෙයක් නැතිවෙන' බවයි.

මිලියන ගනන් ජනයා සාගින්නට සහ අනෙක්විධ දුෂ්කරතාවන්ට ඇද දමා ඇති රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව, මානව ජීවිත පිලිබඳ තම සාපරාධී නොතැකීම තහවුරු කරමින්, මෙම අනතුරු ඇඟවීම් සියල්ල නොතකා හරිමින් සිටී.

ලොවපුරා වැඩෙන නව ආසාදන රැල්ල මෙම අනතුරු ඇඟවීම් සනාථ කරයි. පසුගිය මාසයේ ජුනි 20 වනදායින් අවසන් වන සතියේ දී ලෝකයේ නව ආසාදන සියයට 23 කින්ද මරන සියයට 8 කින්ද ඉහල ගියේය. එය පෙබරවාරි මාසයේ මුලදී වාර්තා වූ ඉහල යෑමෙන් පසු වාර්තා වූ පලමු සීඝ්‍ර නැග්මයි. ජූලි 1 වනදා වන විට නිකුත් වූ දත්ත වලට අනුව ආසාදන වලින් සියයට 55 ක් වාර්තා වන්නේ නව ප්‍රභේදයෙනි.

නව ප්‍රභේදය දැනටමත් අසල්වැසි ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, එක්සත් ජනපදය සහ යුරෝපයේ රටවල් පුරා නව ආසාදන රැල්ලක් වාර්තා කර ඇත. ලොවපුරා ආන්ඩු කොවිඩ් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂන මුලුමනින්ම ඉවත දමා ඇති තතු තුල මෙම සංඛ්‍යා ලේඛන සැබෑ අනතුර අවතක්සේරු කෙරුනු ඒවාය.

BA4 සහ BA5 ප්‍රභේද වල සීඝ්‍ර පැතිරීම ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ඇතුලුව ලෝකය පුරා ධනපති ආන්ඩු විසින් පසුගිය කාලය පුරා තොරොම්බල් කල “වසංගතය අවසන්” යන ප්‍රලාපය කීතු කර දමයි. මෙම තර්කය යටතේ ගතවූ මාස කිහිපය තුල වසංගතය සම්බන්ධයෙන් පැවතුන සීමිත සීමා හෝ ඉවත් කෙරුනු අතර ගෝලීයවම සෞඛ්‍ය පද්ධතිය පවතින්නේ වසංගතයේ ඉහල පැතිරීමකට මුලුමනින්ම නුසූදානම්වය.

වසංගතය ආරම්භයේ පටන්ම ධනපති ආන්ඩු කටයුතු කලේ ධනපතියන්ගේ ලාභයට මුල් තැන දෙමිනි. සෞඛ්‍ය ආරක්ෂන සීමා ඇතුලු වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය සියළු පියවර ධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලියට බාධා කරන බැවින් ඔවුන් ඒවාට විරුද්ධ විය. ඔවුන් මහජනතාව වෛරසය ආසාදනය වීමට ඉඩ හරින “සමූහ ප්‍රතිශක්ති” පිලිවෙත ක්‍රියාවට දැමූහ. “වසංගතය අවසන්” යන ප්‍රෝඩාකාරී තර්කය හරහා තව දුරටත් සියළු සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් අතහැර දැමිනි.

ඒ අනුව යමින් වසංගතයේ මෙතෙක් හමුවූ විනාශකාරීම ප්‍රභේදය පැතිරෙද්දී ලොවපුරා අනෙකුත් පාලකයන් මෙන්ම ලංකාවේ ආන්ඩුව මහජනතාව මුලුමනින්ම නිරාවරනය කොට ඇත.

වසංගතය පාලනය කිරීමේදී තීරනාත්මක වන සෞඛ්‍ය ආරක්ෂන සීමා රාජපක්ෂ ආන්ඩුව විසින් බොහෝ කලකට පෙරම ඉවත් කෙරුනු අතර, ගෘහස්ථ සහ එලිමහන් ස්ථානවල මුව ආවරන පලඳින ලෙස පනවා තිබූ සීමාවන් ජුනි 10 වනදා ඉවත් කෙරුනි. ඒ යටතේ දෛනික ඇන්ටිජන් සහ පීසීආර් සංඛ්‍යාව තියුනු ලෙස කපා හරිමින් වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ නම් පමනක් පරීක්ෂන කිරීමට හැකියාව ලැබෙන සේ මාර්ගෝපදේශ වෙනස් කෙරිනි.

වසංගතය පිලිබඳ දත්ත වාර්තා කරන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ වෙබ් අඩවිය තුල, දෛනිකව කෙරෙන පිසීආර් පරීක්ෂන සංඛ්‍යාව සහ දෛනික ආසාදිතයින් වාර්තා කිරීම ජූනි 15 දායින් පසුව නවතා දමා ඇත. ඒ වන විටත් සිදු කෙරුනේ පීසීආර් පරීක්ෂන දහසකටත් අඩු සොච්චම් සංඛ්‍යාවකි.

කොරෝනා වසංගතයෙන් සහ නැටෝ-රුසියානු යුද්ධයෙන් උග්‍ර කෙරී ඇති ගෝලීය ධනේශ්වර අර්බුදයේ තියුනුම ප්‍රකාශනය දිග හැරෙමින් පවතින ලංකාව තුල සෞඛ්‍ය ක්ෂේත්‍රය මුලුමනින්ම අඩපන වී ඇත. විදේශ සංචිත හිඳී යාමෙන් ආනයනය දැඩිලෙස සීමා කෙරී ඇති තතුතුල අත්‍යාවශ්‍ය ඖෂධ වල තියුනු හිඟයක් පවතින අතර, ඉන්ධන හිඟය විසින් සෞඛ්‍ය සේවකයන්ට සේවයට පැමිනීමට නොහැකි අර්බුදකාරී තත්වයක් මතු කොට ඇත. වසංගතය වේගයෙන් පැතිර ගියහොත්, දශක ගනනාවක් තිස්සේ කප්පාදුවට ලක්ව ගරා වැටුනු රෝහල් පද්ධතියට එය කිසිසේත් දරාගත නොහැකිව ඉමහත් ව්‍යසනයක් නිර්මානය කෙරෙනු ඇත.

වෛරසයේ නව ගෝලීය පැතිරීම මධ්‍යයේ, හතරවන එන්නත් මාත්‍රාවත් ලබා ගන්නා ලෙසට ආන්ඩුව මහජනතාවට ඉතා සීමිත ආයාචනයක් කරමින් සිටී. ජූලි 5 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් “කෝවිඩ් උවදුර ඉවර නෑ, හතරවෙනි එන්නත ගනිමු” යනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කලේ නව කොවිඩ් පැතිරීමකට “මුහුන දිය හැකි” හොඳම ක්‍රමය එන්නත ලබා ගැනීම බවයි.

කෙසේ වෙතත් බූස්ටර් එන්නත්කරනය සඳහා කිසිදු විධිමත් වැඩපිලිවෙලක්, ප්‍රචාරනයක් පවා ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට වසංගතයේ අවසන් වී ඇති බවට කෙරෙන ප්‍රචාර වලට තල්ලුව සපයමින් වසංගතය පිලිබඳ සීමිත සැඳහුම් පවා ඉවත් කරගෙන ඇත.

රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින්නේ මීට පෙර අනුගමනය කල එන්නත්කරනය උත්කර්ෂයට නැංවීම හරහා සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් මුලුමනින්ම අතුගා දමන මිනීමරු “සමූහ ප්‍රතිශක්ති” පිලිවෙතමය. කෙසේ වෙතත් ලෝකය පුරා වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන පරිදි වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා එන්නත්කරනය පමනක් ප්‍රමානවත් නොවන අතර එහිදී අගුළු දැමීම් ඇතුලු සෞඛ්‍ය ආරක්ෂන පියවර තීරනාත්මක බවයි.

වෛරසය පැතිරීමට ඉඩ හැරීම හරහා නව විකෘති ඇතිවීමෙන් ඔමික්‍රෝන් ඇතුළු නව ව්‍යසනකාරී ප්‍රභේද වල බිහිවීමට හේතු වී ඇත්තේ මෙම මිනීමරු පිලිවෙතයි. ලංකාව තුල මෙම පිලිවෙත නිල වශයෙන් ජීවිත 16,519 ක් බිලිගෙන ඇත. රටෙහි නිල ආසාදන සංඛාව 663,972 කි. ගෝලීය නිල කොවිඩ් මරන සංඛ්‍යාව මිලියන 6.3 කි.

රාජපක්ෂ ආන්ඩුවේ මෙම මිනීමරු පිලිවෙතට ඊනියා විරුද්ධ පාර්ශ්වයෙන් ඉමහත් සහයෝගයක් ලැබේ. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන ඇතුළු කන්ඩායම් වසංගතය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකරන අතර මහජනතාව මේ සම්බන්ධයෙන් අඳුරේ තබා ඇත. ඔවුන්ට ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාවට දමා ඇති කප්පාදු වැඩපිලිවෙල සම්බන්ධයෙන් මෙන්ම වසංගතයට දක්වන මිනීමරු ප්‍රතිචාරය ගැනද කිසිදු විරුද්ධත්වයක් නොමැත.

ජාත්‍යන්තරව පැතිරෙන නව ප්‍රභේද වලින් මතු කෙරෙන තීරනාත්මක කාරනාව වනුයේ වසංගතය මුලිනුපුටා දැමීම සඳහා ගෝලීය මූලෝපායක අවශ්‍යතාවයයි. එය යලි වතාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් වෛරසය පිලිබඳ කල විශ්ලේශන වල නිරවද්‍යභාවය සනාථ කරයි.

නව ප්‍රභේද වල පැතිරීම මහජනතාව තවත් මරනයට ඇද දමමින් ලංකාව තුල වසංගතයේ ව්‍යසනය වඩාත් තියුනු කරනු ඇත. මෙම තත්වය පෙන්නුම් කරන්නේ දේවල් වල පාලනය ධනපති පන්තිය අත පැවතුනහොත් මහජනතාවට අත්වන ව්‍යසනකාරී ඉරනමයි. අත්‍යවශ්‍ය භාන්ඩ හිඟය සහ පෝලීම්, ජීවන වියදම හමුවේ නොසෑහෙන වැටුප්, අධ්‍යාපනය සහ ප්‍රවාහනය ආදී ගැටළු වලදී මෙන්ම වසංගතය මර්දනය කිරීමේදීත් කම්කරු පන්තිය අතට ඒවායේ පාලනය අත්පත්කර ගැනීම හදිසි අවශ්‍යතාවය ලෙස මතු කෙරේ.

කම්කරු පංතිය මේ සඳහා ගතයුතු මූලික පියවර වනුයේ, ඉහත වැඩපිලිවෙලින් තමන් වලකා ධනපති ක්‍රමයට ගැට ගසන වෘත්තීය සමිති සහ ධනපති පක්ෂ වලින් බිඳී තමන්ගේ වැඩපලවල් සහ රෝහල් තුල ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමයි. එම කමිටු හරහා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු ගොවි ආන්ඩුවක් පිහිටුවීමේ ඉදිරි දර්ශනයෙන්, අරගලයට ඇදෙන කම්කරු පන්තිය බලමුළු ගැන්වීම තීරනාත්මකය.

Loading